Wednesday, April 27, 2016

අලි පේර..

සියල්ල සූදානම්.

මම චකිතයකින් යුතුව පාස්පෝට් හා ගුවන් ටිකට්පත ඇති බව සැක හැර දැනගතිමි. තුන් හැවිරිදි පොඩි එකා මූණ එල්ලාගෙන සිටී.නොතේරෙන වයසක සිටියත් ඌට යමක් දැනෙනවා විය යුතුය.
ඥාති පුත්‍රයකු වූ රවී මට කවදත් හිතවත් හා උසස් පෙළ ප්‍රථිපල එනතුරු ඉන්නා බැවින් මේ දින දෙක තුනට මට සහය වීමට පැමිණියේය.බිරිඳ බොහෝ කලකට පෙර සිටම සැලසුම් කළ පරිදි අනුරාධපුරයේ දානමය කටයුත්තකට ගොසිනි.මම පිටත් වීමට පෙර එන බව කියා සිටියත් පැයකට පමණ කලින් ඇය හදිසි ප්‍රමාදයක් නිසා හවස් වරුවේ එන බව දැනුම් දුන්නාය.දහවල වන්නට පෙර මම ඇණවුම් කළ වාහනය ඒමට නියමිතය.
මඳ වේලාවක් ඉතුරුව තිබූ බැවින් පොඩි එකාගේ අමිහිරි වීමට යන මතක සටහන මඳක් තනුක කිරීමට සිතාගතිමි.


පෙරේදා අපගේ අලිපේර ගස් දෙකින් කැඩූ අලිපේර ගෝනියක් පමණ අප සතුව ඇත.පොඩි එකා අලිගැට පේර පානයට ඉමහත් කෑදර කමක් දක්වයි.


''පුතා,අලිපේර එකක් හදන්නම්??'' මම විමසූවෙමි.

ඇඹුල් කරගත් මුහුණ සොලවා ඌ එයට අනුමැතිය පළකළේය.මේ අතර රවී මැදිගත් විය. ''ඉන්න බාප්ප,ආය කුස්සියට යන ඕනේ නෑ..මම හදල දෙන්නම්.'' මම කිසිවක් කීමට පෙර ඔහු කුස්සියට ගියේය....

විනාඩි කිහිපයකින් ඔහු පොඩි එකාගේ කෝප්පයකට එය සාදා ගෙන දුන්නේය.

පොඩි එකා ඉන් උගුරක් බිව්වේය,මුහුණ තවත් ඇඹුල් කරගත්තේය,ඉන් පසුව කෝප්පය ඉව කර බැලීය.ඇඬීමට ඔන්න මෙන්න මුහුණ සාදාගෙන කට ඇදකරගත්තේය.''කිලි දාලා'' කියමින් මරහඬ තලා කෝප්පය පොළවේ ගැසීය...

වරද මාගේය.අලිගැට පේර වලට කිරි පිටි එකතුකිරීමට ඌ අකැමැති බව මට රවීට දැනුම් දීමට අතපසු විය.රවී අන්දමන්ද වී මා දෙස බැලුවේය. එවිටම හෝන් හඬක් ගේට්ටුව පැත්තෙන් ඇසුණි.

මම රවීගෙන් සමුගෙන, පොඩි එකා බඩගාගෙන මරහඬ දෙමින් හඬන ආකරයත් අසාගෙනම, බරවූ හදවතින්, ලගේජය ඔසවාගත් රියැදුරාත් සමඟ ඩෙලිකා වෑන් රිය කරා ගියෙමි.

8 comments:

  1. හැක් හැක්.. මාත් මාමයිට් ගැන ඔය වගේ සමාන එකක් ලිව්වා ටික කලකට උඩදි ජය

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් දිය ඇහැකිද?

      Delete
  2. ගොඩක් අය ඉන්නවා කිරි බොන්න අකමැති. මම ඩෙංගු හැදිලා ගෙදර ඉන්න කාළේ යාළුවෙක් ආව හාමිනත් එක්ක මාව බලන්න. ගෙදර කවුරුත් උන්නේ නැති නිසා කිසි අමාරුවක් නැතිව හදාගන්න පුලුවන් මගේ ප්‍රියතම පානයක් වන ෆලූඩා දෙකක් හදලා දුන්නා. අර හාමිනා බොන්න ගත්ත ගමන් මේ මොන ජරාවක්ද මේ කියලා කියාපි. පස්සෙ එයැයිට හැමිනෙන්නෙයි කියලා ඒකටත් මමම වග කිව්වා. අරුන් දෙන්න ගෙදර ගිහින් කොක්කක් ඇදගෙන ඒක සැටල් කොරන්න උනෙත් මට. කියන එක කෙලින් කියන උන්ට මම කැමතියි කියලයි වැඩේ ෂෙප් කොලේ...

    ReplyDelete
    Replies
    1. හික්ස්... faluda ගුනද ඩෙංගු වලට?

      Delete
  3. අකුරු කුඹි කකුල් වගේ නිසා කියවන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. සමාවන්න ඒ ගැන..දැන්ම ලොකු කරන්නම්.

      Delete
  4. මම රට යනකොට පුතාට අවුරුදු 04යි.එයාපෝට් එකේදී මූන බලාගෙන හිටපු විදිය මතක් උනාම ඇස් තෙත් වෙනවා..

    ReplyDelete