Tuesday, December 31, 2019

සාතන්ගේ පරීක්ෂාව

අධ්‍යාත්මය සහ භෞතිකත්වය අතර දෙගිඩියාවකින් ඇඹරිලා ජීවිතේ යුෂ එලියට ගලා යන ඕනෙම කෙනෙක්ට එක පාරක් හමුවන අවස්ථාවක් වන සාතන්ව මුණ ගැසීම මටත් අත්විඳින්න ලැබුණා, ඉර බැහැගෙන යන හැන්දෑවක සිරීපාදේ, දඹගිරිය අවසානයට කිට්ටුවෙන්... 

 'දරුවා' 

කියල සාතන් මට කතාකළා. 
'දරුවා, මේ තමා ආදි මනුලොවට ගොඩබැස්ස පාරාදීසිය. තව ටිකකින් කලුවර වැටේවි. ඉර බහින පැත්ත දිහා බැලුවොත් නුඹට කොළඹ දීප්තිමත් ආලෝක තව ටිකකින් ඉතා කුඩාවට පෙනේවි. 
මේ මිහිමත සියලූම දේ නුඹගේම කියා සිතාපන්... කැමති දෙයක් මගෙන් ඉල්ලාපන්.' මම කල්පනා කළා. 

 වටේම තියන හැම කඳු පන්තියකටම ඉහළින් මම ඒ වෙලාවෙ හිටියෙ. තෙත් ගතියක් දවටාගෙන තරමක සුළඟක් හමායමින් තිබුණ. ඉරේ මළානික කහ පාට එළිය වැටිල පඩිපෙළ දෙපැත්තේ බෑවුමේ තිබ්බ පොඩි පඳුරු වල මල් දිලිසෙන්න ගත්තා. 

 "අපි ශිෂ්ඨාචාරයක අවසානයේ ඉන්නේ... අපගේ අසීමාන්තික ඕනෑකම් අහස පොළව ජලය මේ හැමදේම විනාස කරලා... 
මම ඔබෙන් ඉල්ලා හිටින්නට කැමතියි මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා එකතුවී ඇති සියලුම අහිතකර දේවල්, මේ මිහිතලයට, මහමුහුදට ජීර්ණය කරගැනීමට අපහසු නොදිරන දේවල් ක්ෂණයෙන් නැති වී යන ලෙස. එමෙන්ම වාතයට එකතු කරන ලද දූෂක වායූන්ද මේ ලෙසම නැතිවී යන ලෙස..." සාතන් දිගු හුස්මක් ඇද්ද... 

"දරුවා... නුඹේ ඉල්ලීම් බොහොම දරුණුයි. ඒ වගේම මගේ වැඩ කටයුතු වන්නේ ඉටු කරන ඉල්ලීමකට සුදුසු පරිත්‍යාගයක් සහිතව බව නුඹ දන්නවා ඇති."

 "මා පරිත්‍යාග කිරීමට අවශ්‍ය මොනවාද?" 

"නුඹේ ජීවිතය සහ ආත්මය... නමුත් නුඹේ ඉල්ලීම් ඒ සීමාව ඉක්මවා යනවා..." 

 සාතන් ගිවිසුම අත්සන් කරන්නෙ පරණ පාච්මන්ට් කඩදාසියක. ඒකෙ කෙලවර ඔහුගෙ කබායෙ උඩසාක්කුවෙන් යාන්තම් එළියට පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් කමක් නෑ, ජීවිතේ යකාටම ගියාවෙ. අඩුම ගානෙ මම ජීවිත බිලියන ගාණක් වෙනුවෙන් කැපවුණු හැටිවත් ආදිගේ පරම්පරාව මතක තියාගයි. ඒ නිසා වැඩි ගානකට නැතුව මම මෙහෙම ඇහුව...

"තවත් ඔබට ඕනෙ මොනවාද?" 

 "දරුවා, මම නුඹට පැහැදිලි කරන්නම ඕනෙ කාරණය මේක. 
ලෝකය අනිවාර්‍යෙන්ම ජීවයට වඩා යහපත් වෙයි, ආදිගේ සහ නෝවාගේ පරම්පරා ගණනක් මෙයින් සුරක්ෂිත වෙයි, නමුත් නුඹේ පරිත්‍යාගය ගැන කිසිවෙක් දැන ගන්නේ නැහැ. 
ඊයේ උදයේ නිවසින් පිටව ආ නුඹ අදින් පසුව ආගිය අතක් නැතිවෙයි... නුඹේ කතාව එපමණයි." 

 දේව ශාපයට අහුවුණු කායින් වගේ මමත් පරාජිතව ඔහේ පඩිපෙළ බහින්න ගත්ත.