Tuesday, April 26, 2016

අද හෙළදිවට බුදුරජු වැඩියොත්?



ක්‍රෛස්තවයෝ ක්‍රෛස්තව ඇසින් ඔබ බලති. හෛන්දවයෝ හින්දු ඇසින් ඔබ බලති. තදන්‍ය ලබ්ධිකයෝ තම තමන් හුරු පුරුදු ඇසින් බලති. තමන් ඇසට නොහුරු බැවින් ගෙන පුරුදු බැවින් ඔබ නො පිළිගනිති. ඒ ආශ්චර්යය නො වෙයි.

ආශ්චර්ය නම් මේ යැ.

ඔබ චීන ටිබෙට් ජපන් ආදී උතුරු දෙස රටෙකැ හැසුරුණොත් ඒ මහායාන බෞද්ධයෝ තම තමනට හුරු පුරුදු සිරිතින් ඔබ මනිති. ඔබ කොහෙත් මැ ඔවුනට නො ගැළපෙන්නුවන්සේ දකිති. ඔබ මැනැවින් නො මැ පිළිගනිති.
බුදුරජුහු “ශුද්ධ” බුද්ධාගම ඇතැයි කියන ලක්දිවට එති. ලැකි බෞද්ධයෝ ඔබ පිළිගනිත් ද? හැමතැනට ඒකාංශික ප්‍රාවරණය සැරියැයි දැඩිසේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයෝ ඔබත් ඒකාංශික දැයි බලති. නො එසේ වතොත් ඔහු ඔබ මැනැවින් නොපිළිගනිති. කිසි විටෙක සිය දායකයන් හා හෙළා දැක්නෝ ද වෙති. ඔබට ඔවුන්ගෙන් සුදුසු ගෞරවය නැත.

ඉක්බිති ගමට දෙවුර වසා පොරවාලන එ පෙරැවුම මැ දැඩි යේ ගත් සියම් නිකායෙහි ශ්‍රමණයන් වෙත ඔබ වැඩියොත්, ඔබ ඒකාංශික වතොත් ඔහු ඔබ මැනැවින් නො මැ පිළිගනිති. ඉදින් ඔබ අතැ එකපණ්ණච්ඡන්තං පන සබ්බත්ථ වට්ටති’ යි එක්පන් සත නම් හැම තැනැමැ වටී’ යි දැක්වුණු ගොටු අත්ත වී නම් ඔහු දෙපක්‍ෂය මැ ඔවුන් පස දැඩි සේ ගත් ගිහි බෞද්ධයෝ පවා ඔබට මදිකම් සිතති ඔබ හෙළා ද දකිති. ඔබට ඔවුන්ගෙන් ද සම්පූර්ණ ගෞරවය නැත.

ඔබ හෙළා දකිති

අමරපුර නිකායික ශ්‍රමණයන් වෙත ඔබ වැඩියොත් ඔබ ඒකාංශික හෝ ඇස්බැම ගෑවකු හෝ වෙතොත් තලගොටුවක් හෝ ඔබ අත වතොත් ඔව්හු ද ඔබ මැනැවින් නො පුදත්. ඔහු අමරපුර නිකායික ඇසින් ඔබ බලති. අමරපුර නිකායික මිම්මෙන් ඔබ මනිති. එයට නො සරිවුව ඔහු තමන්ගේ යැ යි නොගනිති. ඔබට ඔවුනතුරෙහි ඉඩ නැත.

රාමඤ්ඤ නිකායික ශ්‍රමණයන් වෙත යෙත් නම් නිකාය භේදය දැඩිසේ කරට ගත් ඔවුන්ගේ යම් ගිහි පැවිදි කෙනෙක් වෙත්නම්, ඔව්හු ඔබ තමන්ගේ නිකායට විශේෂ වූ දැයින් වෙන් වූවක් කොට දකිත්නම් මැනැවින් නොපුදති. හෙලාත් දකිති. මේ මහා නිකාය තුනේ අය ඔබට සලකන සැටි යැ. ඒ ඒ එක එක නිකායේ අයකු සැටියෙන් යම් හෙයකින් ඔව්හු ඔබ දැකැ ද ඉන් නො නවතිති. එහි මැ තමන්ගේ අතුරු නිකායේ මිම්මෙන් ඔබ මැන ඊට වෙනස් නම් ඔබට මදිකම් සිතති. හෙළා දකිති.
හීනයාන මහායාන දෙකට මැ සරිලන සේ පාසිවුරු දැරුම් ආදියෙන් එක මැ ඔබ සිටිය නො හැක. ලද්දිව්හි ද සියලු මහනිකාය තුනටත් එහි හැම අතුරු නිකායටත් සාධාරණ වන සේ පාත්‍ර චීවර ඡත්‍ර ධාරණාදිය ද එක මැ ඔබට කළ නොහැක. එක් පක්‍ෂයෙක සෙයින් ඔබ එය දැරුව හොත්, අන් හැම පක්‍ෂයෝ එක් වැ ඔබ පිටු දකිති. ඒ හැම වෙත පැමිණෙන විට ඒ ඒ නිකායිකයන් සෙයින් හැඳුම් ඈ කළාහොත් නිතොර වෙස් පෙරළන්නෙකැයි ඔබට නිගාකරති. ඔවුන් හැමට වෙනස් වැ සිටියොත් ඔහු හැම එක්වැ ඔබට විරුද්ධ වෙති. එහෙත් ඔහු හැම ඒ අත මැ “බුද්ධං සරණං ගච්ඡාමි” යැයි කියති. ඔවුන් එක එකා සරණ යනුයේ තම තමන් අයත් නිකායයේ බුදු කෙනෙකුන් සේ යැ. ජගද් ගුරු වූ ඔබ නො වන සේ යැ. අපුරු යැ!

තවදුරටත් බලමු. බුදුරජුහු ‘ප්‍රාචීන පණිඩිතයෙම්’ යි මානයෙන් මත් වූ තමා සර්වඥ සේ සිතාගත් මහණක හමුවුවොත් හේ ඔබ ‘ප්‍රාචීන පණ්ඩිත’ උපාධිය නැත්තෙකැයි දැනැ ඔබ තමා තරම් නො උගතකු කොට තකයි. සිය බාරදූර කම ඔබ ඉදිරියේ ද පාය.

තේවතුකාර රබර්වතු කාර මහණෙක් ඔබ දැකැ, ඔබ මුදල් නැති සිඟා වළඳනා කෙනෙකැයි දැනැ පහත් කොටැ සිතති. ඔබ ඉදිරියේ ඔහු ගේ උරුප්පුව ඉතා මහති. එහෙත් හේත්. බුද්ධං සරණං ගච්ඡාමි’ යි කියයි. කියවයි. ඔහු ගේ ‘බුද්ධ සරණය’ තේ වතුª හෝ රබර් වතු මගින් හෝ අන් පරිද්දෙකින් හෝ මුදල් ඉපයැයීමේ සරණයයැ!

පොත් ලියා මුද්‍රිත කරවා විකොටැ මුදල් සපයන මහණ තෙම ඔහු කරනා සැටි නො යෙදේ යැ යි ඔබ කිවහොත් සුහද බුද්ධ පබ්බජිතයා කළ පමණටත් වැඩි තරමින් ඔබට වෛර බඳී.

ඔබ නමින් කළ ප්‍රතිමා ගෘහය ද මුදල් සම්මාදන් කරන තෙනක් කැරැගත් – ඔබේ ධර්මය බෙදාදෙන ධර්ම ශාලාව සල්පිලක් – තරඟ වෙළඳාමෙන් දුප්පතාගේ මුදල් කඩාගන්නා තෙනක් කළ - ඔබ නමින් කළ විහාරාරාම භූමිය රඟ මඬලක් කළ විහාරාධිපතිනට, තද් දායකයනට ඔවුන් කරනා සැටි නො සැරි යැ යි ඔබ වදාළොත්, අමුතු බණ දෙසතැ’යි ඔහු ඔබ කෙරෙහි අවනත නොවෙති.

මුදල් ලැබෙන මඟ
නායකකම් දීමත් ගැන්මත් දෙක යැ කිසි මැ විනය නීතියෙකින් පණවන ලද්දක් නො වෙ යැ යි ඒ සඳහා දඟලන පැවිදි තැන් කරණුයේ වියරුවෙකැ ය, නායකෝත්සවය පිණිස නිස්ඵලයේ කාලයත් ධනයත් වියදම් කරනුවට වඩා අසරණයන්, දිළින්දන් යාචකයන් සඳහා එය වියදම් කරණු මැනැවැ’ යි ඔබ කියතොත් ඔබට දුප්පත් ගිහියන් පැවිද්දන් ඉතා ටික දෙනකුන් ඇහුම්කන් දෙතත් ලොකු පැවිද්දෝ නම් ඔබ බසට කනුදු නො හෙළති.
වන්දනාකාරයන් බොහෝ එළඹෙන ලොකු ආදායම් ඇති පූජ්‍ය ස්ථානවල නායකකම් අධිපතිකම් පිණිස දෙපක්‍ෂයක් වී පොරකන, කා වැටෙන්නට සැරසෙන පැවිද්දනට ඔය වියරුව හැරැ දමා පැවිදි වන විටැ කී ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සජ්ජිකරනත්ථාය’ ආදිය යළිත් සිහියට ගන්නැයි ඔබ කීවොත් එය අපි දනිමු’ යි පවසා ඔවුහු ඇස් බමවා නාස්පුඩු මහත් කොටැ දත්මිටි කා ඔබ දෙස බලති. ඔවුන් සරණ යන්නෝ ඔබ නො වැ ‘බුද්ධං සරණං’ කියමින් ආධිපත්‍යය හෝ මුදල් ලැබෙන මඟය!
මුදලට, පිරිකරට, කීර්තියට නැතහොත් අනුන්ට ඇනුම් පිණිස බණ කියන ධර්ම කථිකයා හමු වැ, ‘ඔහු කරනා සේ නො යෙදේ යැ’ යි ඔබ වදාළොත් ඔහු කට කොණක් අස්කැරැ ඒ පැත්තෙන් මැ ඇස හීන් කැරැ ඇතුළත කෝපයත් පිටත මඳ සිනහවත් ඇති වැ හෙළා දැකුම් සහිත වචනයෙන් ඔබට වාග්විතුදනය (වචනයෙන් ඇනුම්) කරනා සැටි දැක්කැකි, අසතැකි! ඔව්හු ඔබ නො වැ ‘බුද්ධං සරණං’ යනුවෙන් මුදල් පිරිකර ඈ සපයන මඟ මැ සරණ යෙති!

මන්ත්‍රී ඡන්ද කාලයෙහි වාසිය තකා හෝ පක්‍ෂ තකා පක්‍ෂග්‍රාහී වැ ප්‍රසිද්ධියේ හෝ රහසේ ක්‍රියා කරන පැවිද්දන් වෙත, ගිහි ප්‍රධානයනට නිලධාරීනට පැවිද්දන් විසින් නො කටයුතු ගෞරව දක්වමින්, ඔවුන්ගේ මෙහෙවර කරමින්, කලින් කල ඔවුන් වෙත එළඹැ රටේ තොටේ ඕපාදූප කියමින්, චාටු බස් බෙණෙමින්, කුල දූෂණයෙන් ගිහියන් රවටා සිත් ගෙන මෙලොවැ සුළු වාසියක් පතා ක්‍රියා කරන නායක කමින් හෝ විහාරාධිපති කමින් හෝ පරිවේණාධිපති කමින් හෝ සාමාන්‍ය භික්‍ෂුන් හැටියට හෝ පෙනී සිටින අලජ්ජ ශ්‍රමණයනට ඔවුන් කරනා සැටි වරදැයි ඔබ වදාළොත් ඒ පැවිද්දන් ඔබට විරුද්ධ වැ ක්‍රියාකරන සැටි දකින්නට ලැබේ. ‘බුද්ධං සරණං’ යි කියමින් ඔව්හු ද මේ ලොව යම් වාසියක් ලැබෙන මඟ මැ සරණ යෙති.

වනගතවීම
නායකකම් සඟරජකම් ආදියට ලොල්කම හිස් පුරුෂයන්ගේ ගතියෙකැ යි දක්නා, ගිහිගේ හිමි කම් ද හැර පැවිදි වැ යළි වෙහෙරට ආරාමයට තේ වත්තට රබර් වත්තට හිමිකම් පා වියරු වැටී දඟලන්නන් පිස්සන් සෙයින් දක්නා, ප්‍රාචීන පණ්ඩිත නම් හෝ වෙන පණ්ඩිතාචාර්යා දී නම් අනුන්ගෙන් ලැබැ කවුරුන් උධෘත වැ උන්නත්, නමට මුලින් ඈඳා ගත්තත් ධර්මානුකූල සැබෑ පාණ්ඩිත්‍යයෝ අනෙකක් මැ යැ යි දන්නා, බුදුරජුන් අද වැඩියොත් උඩ කී කිසිවකුට ඔබ නොරිස්සෙති. ඔවුනට ඔබ පි‍්‍රය නොවෙති. උපාධිනමක් දික්කරන්නහු මැ ඔබට වඩා ඔවුනට පිය වෙති. සමහරවිට ගිහි බෞද්ධයන් දහසෙකින් දහදෙනෙක් දහසෙකින් එක් කෙනෙක් හෝ දෙතුන් දෙනෙක් ඔබ පිළිගනිති. ඔබට විරුද්ධ බෞද්ධ නාමධාරි සෙසු බලසම්පන්න ඉතා වැඩි පිරිස මැඬැලන්නට ඒ දුර්වල ටික දෙනා අසමර්ථය. ඔබ පිළිගත් ටික දෙනාට වනුයේ ඔබත් සමඟ වන ගත වන්නට යැ. එහි ඔබට ඉඩ තිබේ. නැතහොත් කිසි මැ ආගමකට නිකායකට පක්ෂ නැති සත්‍ය දුටු තැන පිළිගන්නා මධ්‍යස්ථ ජනයා බහුල පෙදෙසක් සොයා යන්නට යැ එහි ඔබට සම්පූර්ණ ඉඩ ඇත. සම්පූර්ණ ගෞරවය ලැබේ. ඔබේ අගය ඔව්හු දනිති. ‘බෞද්ධ’ යන නම ඔහු නො දරති. එහෙත් එවැනි මධ්‍යස්ථයෝත් මෙහි හිඟ යැ.

එබැවින් අද බුදුරජුන් වැඩියොත් බෞද්ධ ගිහි පැවිද්දන් ඉතා වැඩි දෙනා අතර නිසි අවකාශ නොලැබේ. කාට සම්පූර්ණ ඉඩ ලැබේද? මාරයාට යැ. කවර හෙයින් යත්? ඉතා වැඩි ගිහි පැවිද්දන් එක්වැ බුදුන් දෙසූ මග යම්හැයි කිය කියා ඇතුළත අවුල් වසා පිටින් සුදු හුණු ගාන්නට තැත් කැරැ කැරැ මරහු ගේමග යන බැවිනි. බුද්ධවේශය ගෙන තබා, නො ගෙන ද ආ මරහු ඒ නායක විහාරාධිපති ආදීහුත් ඔවුන්ගේ අනුගාමික ගිහියොත් සතුටින් පිළිගනිත්. ඒ නායකකාදී බහුතරයන් කියන කර දෑ ඒ මරහු මැනැවැ යි සම්මත කරන බැවිනි.

මේ කෙසේ කීව ද අද බුදු රජුහු මෙහි නො වඩිති. ඔබ පිරිනිවීයහ. එයමැ සැනසෙන්නට කරුණු යැ. ඔබ තමන්ගෙන් පසු ශාස්තෘ කොට ගන්නැයි ශාස්තෘ තන්හි තබාලූ ඔබගේ ධර්ම විනයය ද අද පොතේ මැ වැජඹේ. ඒ ගිහි පැවිදි ඉතා ටික දෙනෙකුන් මැ අත අනුවැ යන්නත් කොටැ ඇති වැ ශ්‍රාවක පිරිස් අතින් හීන වැ දුර්වලවැ, මිනිස් පියෙසින්, බෞද්ධ පියෙසින් පලා යන්නට සෙයින් සිටී. ඉතා වැඩි ගිහි පැවිදි පිරිස මාර පිරිස වී සිටිති. ඉතා වැඩියක් විහාරාරාමාදිය බුද්ධ නාමයට මුවග වැ අන්වේශයෙන් පෙනී සිටින මාරයාගේ කෝවිල් බවට පෙරලා ගත්හ. බහුතර නායක අනුනායකාදීහු වෙස් වලාගත් මරහුගේ කපුවෝ යැ. ඉතින් බුදු රජුනට සද්ධර්මයට මෙහි කවර අවසර යැ! අද ‘බෞද්ධ ලෝකය වර්තමාන පංචශාලා ග්‍රාමයෙකි. නැතහොත් වේරංජාවෙකි.


(1937 මැයි 24 වෙනි දින 'සිංහල බෞද්ධයා' විශේෂ වෙසක් කලාපයේ පළවූ ලිපියකි.ලියා ඇත්තේ අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මහානාහිමි විසිනි.අවුරුදු 80කට ආසන්න වීමට ආවත් මෙහි සර්වකාලීන බව ගලපාගත මැනව)

4 comments:

  1. මෙහෙ තියෙන්නෙ සිංහල බුද්දාගමනේ. ඒක යන්ත්‍ර මංත්‍ර , දෙවි දේවතා, බූත යක්ශ පෙරහර පූජා දේශපාලන ජාතිවාද, සටන්, මිලිටන්සි ආදී දේවලින් වැඩි දියුණුකල වර්ශන් එකක් නිසා බුදු හාමුදුරුවො අවුට් ඩේටඩ්

    ReplyDelete
    Replies
    1. ඔවු..වැඩේ කියන්නේ ඒ කාලේ මාරයි කිව්වට ඒ කාලෙත් එහෙමට වෙනසක් තිබ්බේ නෑ..අපි මේ විඳින්නේ පරිණාමය වුනු විකෘතියක ප්‍රතිපලයක්.

      Delete
    2. හුඟක් ආගම් ඒවගේ නේද? දැන් තියන ක්‍රිස්තියානි ආගමත් ජේසුස් වහන්සෙට අඳුරගන්න අමාරුවෙයි. ඒකාලෙ පල්ලියක් තිබුනෙ නෑනෙ.
      යුදෙව් හා ඉස්ලාම් වුනත් පස්සෙ ආපු පූජකයින් හා scholars ලා විසින් අර්ථකතනය කරලා කෑලි හයි කරලා, කෑලි හලලා, ප්‍රභේදවලට බෙදලා තමන්ට හිතෙන/ඕනෙ විදිහට වෙනස් කරලා හදා ගත්ත දේවල් ගොඩක් තියනව නේද?

      Delete
    3. ඔව්..එක තමයි වර්තමාන පාප් වහන්සේ කිව්වේ ''කොමියුනිස්ට්වාදීන් පල්ලියේ ද්වජය සොරකම් කළා.ශුභාරංචියේ මධ්‍ය ලක්ෂය තමයි දුප්පත්කම.''

      Delete