Wednesday, May 25, 2016

සයිමගේ epic අධි සංබාවීය විචාර (1)

උපුටා ගැනීම-

හිතවතිය,
මේ සිහින සුරුවම
අවසාන කඩයිමය


මේ ඉමෙන් ඉක්බිතිව,
ප්‍රේමයේ පුරවරය
සියක් වසකට පෙර
විනාසව වල් වැදුණ


ඔබ යළිත් යා යුතුය
අනවසර පුද බිමෙන්
වසන්තය සොයා ගෙන.

පසු ගමන් නො එන්නෙමි
මග ලකුණු නොදන්නෙමි


එකතු කර ගල් කැබැලි
නටබුන්ද විසිර ඇති
මතු පුරය නගන්නෙමි
යළි ඇයට පුදන්නෙමි

-රවිෂ තිලකවර්ධන-


-උපුටා ගැනීම අවසන්.



සයිමාගේ විචාරය

මේක කියන්නේ සමාජවාදීන්ට..

//හිතවතිය,
මේ සිහින සුරුවම
අවසාන කඩයිමය//

සුරු වම>හුරු වම>වාමන්ශිකයින්.
වාමාන්ශිකයිනේ උඹලාගේ අවසාන අභිප්‍රාය වන සමාජවාදී උතෝපියාව සිහිනයක් පමණි..

//මේ ඉමෙන් ඉක්බිතිව,
ප්‍රේමයේ පුරවරය
සියක් වසකට පෙර
විනාසව වල් වැදුණ//

දැන් අවුරුදු 100ක් විතර වෙනවා නොවැම්බර් වල වෙච්චි ඔක්තෝබර් විප්ලවය(1917) වෙලා.ඒ වුනාට අද රුසියාවේ සමාජවාදේ වල් වැදිලා.

//ඔබ යළිත් යා යුතුය
අනවසර පුද බිමෙන්
වසන්තය සොයා ගෙන.
පසු ගමන් නො එන්නෙමි
මග ලකුණු නොදන්නෙමි//

ආයෙත් විප්ලවය ඇති වෙන්න ඕනේ.අරාබි වසන්තය වගේ.ඒත් එක ඇතිවෙන්න ඕනේ මිනිස්සුන්ගේ එකමුතුවත් එක්ක.නැතුව බලෙන් ඇති කරන්න ඕනේ එකක් නෙවේ.(මම හිතන්නේ මේක ජෙප්පන්ට කියන්න ඇත්තේ)

//එකතු කර ගල් කැබැලි
නටබුන්ද විසිර ඇති
මතු පුරය නගන්නෙමි
යළි ඇයට පුදන්නෙමි//

පරණ විප්ලව වල මතක සටහන් අරගෙන මතු විප්ලවය වෙනුවෙන් මම රැකගෙන ඉන්නම්.අනාගත සමාජවාදී රාජ්‍ය ඒ අත්දැකීම් වලින් වඩා හොද තැනක් කරන්න ඒ මතක සටහන් ඉවහල් වේවි.

ඒත් මට තේරෙන්නේ නැත්තේ මෙහෙම බලාපොරොත්තු දෙන ගමන් මුලම පැදියෙන් අශුභවාදී වුනේ කියලා.

Tuesday, May 24, 2016

රට ඉඳන් ආව යාළුවා

සයිමගේ ගෙවල් පැත්තේ ඉස්කෝලේ යාලුවෙක් රට ඉඳල ආව.දැන් මු අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල කියනවා.හැබැයි සෙට් වුනේ නෑ.සයිමට යකා නැඟල ගත්ත මුට කෝල් එකක්.
මූ ආන්ස්වර් කළා..

''හෙලෝ මචන් සයිමා..මොකද සින් එක?කියහන්''


''මොකක්ද සින් එක.,.. ඈ හු**** පු* තෝ අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල **** ****වද එන්නේ නැතුව...''

''මචන් සයිමා.මේකයි...''

''උඹ පු* දීපන් මෙතන කැ* වේ** ** දැන් මෙතන බබා හුකුම්ද?''

''මචන් මේකයි.මම දැන් ඩ්‍රයිව් කරන ගමන් ගෙදර අය එක්ක මාතර යනවා.මම ඩ්‍රයිව් කරන ගමන් ආන්ස්වර් කලේ ලවුඩ්ස්පිකර් දාලා....''

කෙලලා තියෙන්නේ..සයිමා කන ගලවල සාක්කුවේ දාගත්ත.

Friday, May 20, 2016

අසදෘෂ දානය

සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය.මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම,සන්ථාගාර,ගිලන්හල්,ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා 
කර තිබුණි.මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.

එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය.මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි.එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය.දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය.ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.
නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි.මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.

මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය.රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ.දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්,තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.
එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි.ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.

බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.

බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක.උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය.සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.

''සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?''

සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.

''භාග්‍යවතුන් වහන්ස.. ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි..''

ඉක්බිති බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ.ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.

''සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??''

සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.

''එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!..ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?"

ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ..

''සාවිත්‍රය ..අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??''

සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ..

''ස්වාමීනී..ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය,ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ,ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද,අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී..අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි.ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි.ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි,චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි,එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි,අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි.දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි.ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී.රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය...

මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි..''

බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ..

''සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත.උත්සවය කෙළවර වන්නේ අද සවසයි.

මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි.දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය.මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී.අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි.අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය.මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.


මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි.වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය.මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය.නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි..මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.

පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය.මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය.මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ.මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.
ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි.අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි.මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.


තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය.නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද ,දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය..මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි.මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය..

සාවිත්‍රය..තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු..


ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??''

''ස්වාමීනී,අසූ කෙළකි''

''සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?''
'' නැත ස්වාමීනී..එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය''

''රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??''
''ස්වාමීනි..එය ප්‍රවේණිගත ධනයකි.තව අයබදුද අය කෙරේ.''

''රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??''
''නැත ස්වාමීනී..ඔහු එය මෙහෙයවූවා පමණි..''

''රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??''
''ස්වාමීනී..ඔහු භක්තිමත් බව දනිමි..එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය.''

''සාවිත්‍රය සිහි එළවා ගනු.මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය..තොප කුමක් සිතයිද?''

සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ.ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ..

''ස්වාමීනී වැටහේ..මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක.එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි.''

බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.

''සාවිත්‍රය,ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය..
හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය.එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය.ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.


මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය.ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය.ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය..


කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.


සියදහස් වාරයක් සක්විති රජවන්නේය.


ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.

අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය..


සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!"


මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය.ගස් සෙමෙන් පැද්දෙන්නට විය.තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.

Tuesday, May 17, 2016

හමුදා බංකරවල,බිත්ති හා ගල් මත අඟුරු හෝ ගඩොලින් ලියැවුණු සෙබළුන්ගේ කුරුටු ගී..

රජ කුමරෙක් නොවෙමි මම සුර සැප විඳින
දුප්පත් කොල්ලෙක්ය හමුදාවට බැඳුන


විරැකියාවෙන් නොපෙළුනානම්
සටන් බිමෙ අද නෑ
එදා සිළුමිණ නොබැලුවානම්
මෙදා සුසුමක් නෑ


(සෙබළුන් බඳවාගැනීමට දැන්වීම් පළවන්නේ සිළුමිණේය)


වෙඩි හඬ ඇසෙන විට
තැති ගන්න නුඹලාට
ලේ බිඳක් වැටෙන හඬ
හදවතට දැනේවිද?
 


යුද බියත් මර බියත්
ඇතිවූ විට
සිහිවේ පළමුව
දෙවියාත් සෙබළාත්


ඔවුන් ගතකළේ ආතතියකින් පිරි ජීවිතයකි.


තනිපටි දෙපටි හා තුන්පටි තරු ඔටුණූ
මේවා තමයි හමුදාවේ බල ලකුණූ
සාජන් මේජර් හවසට බය බෙදනවලූ
සාසේ නිකන් දුකසේ දුක විඳිනවලූ


(තනිපටි-ලාන්ස් කෝප්‍රල්,දෙපටි-කෝප්‍රල්,තරු-දෙවැනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල)



කන්නෙත් තොපි-බොන්නෙත් තොපි
නිදන්නෙත් තොපි-බනින්නෙත් තොපි

තෙමෙන්නෙත් අපි-විඳින්නෙත් අපි
රකින්නෙත් අපි-මැරෙන්නෙත් අපි


තුමනි තුමන්ලා මාසෙන් ගෙදර යතී
මාස දෙකක් ගත්වී අපි ළතම වෙතී
 

(තුමණි යනු ඉහළ නිලයක් රපෝර්තු කිරීමෙන් පසු අමතනා ආකාරයයි.නිලධාරීන්ට මසකට වරක් නිවාඩු හිමිවේ)


ආසේ සාසේ රාසේ ඉසේ දුකසේ
ලාකෝ කෝප්‍රල් සාජන් සැපසේ
ලුතිනන් කැප්ටන් මේජර් රිසිසේ
කර්නල් ජෙනරල් සැමදා සුවසේ
 

(ආසේ-ආධුනික සෙබළ,සාසේ-සාමාන්‍ය සෙබළ,රාසේ-රයිෆල් සෙබළ,ඉසේ-ඉංජිනේරු සෙබළ)
සෙබළුන් ඉහළ නිලවලට ලැබෙන සැලකිල්ල උපහාසාත්මකව හා උපේක්ෂවෙන් බලති!

තරු ඔටුණු රජවෙති
තනි තරුව වැළපෙති
පටි ටික ෂේප් වෙති
අහෝ ප්‍රයිවෙට් තාම කුණ කති
 

(ප්‍රයිවට් යනු සාමාන්‍ය සෙබළාවේ.තනි තරුව යනු දෙවැනි ලුතිනන්ය.ඉහළ නිලධාරීන්ගේ වැඩ රාජකාරි පැවරෙන්නේ ඔහුටයි)


පුන්සඳ ගිහින් වෙන දවසක එන්න
ගිනි අවි ගල් තොප්පි නැති තැනකට එන්න
 

(සෙබළාගේ ප්‍රාර්ථනයද සාමයයි)


කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයෝ
හිනා වේවි හරි සතුටින්
අපි මැරුණොත් උඹලගෙ අය
උඩ පැන පැන සතුටු වේවි
උඹත් නොමැරි අපිත් නොමැරි
අපි දෙගොල්ලො හිනාවෙන්නේ
කවදද කුංජන්??
 

(කුංජන් යනු කොටි සාමාජිකයෙකි )


නියං කාලයේදී සිඳී ගිය වැවක් අසලින් වලක් හාරා ලබා ගත් ජලය පානය සඳහා වෙන් කෙරුන ආකාරය ගැන කවියක්.

උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපට
කොටි ගහල මදි තොපට


(තරු-දෙවෙනි ලුතිනන්ගේ සිට ඇරඹෙන කොමිෂන් ලත් නිල,පටි-ලාන්ස් කෝප්‍රල්,කෝප්‍රල්,සැරයන්)

Saturday, May 14, 2016

TLOR රසිකයින් වෙනුවෙන් රැගෙන එන වාද බයිලා පෙළහර!!


(අළු ක්සේම භූමියේ සිට පැමිණි සුදු වත හැඳි ගැන්ඩල්ෆ්)

කලින් ඇඳන් හිටියේ මම තනිකරමම අළු
මොරියා වලදි වැටිල ආවේ ඇඳගෙන කිරි සුදු
උස් මිටි කම් නැතුවම මම සලකමි සම ලෙස
හොබිට්ලගෙයි ඩෝෆ්ලගෙයි හිතවතානෙ මම










(ආරම්භක බයිලාව අසා සමච්චල් හිනාවක් පෑ; මුලින්ම සුදු පැහැය මායාකරුවන්ට හඳුන්වාදුන් සරුමාන්...)

හැමදාමත් හොස්ස දැම්මේ අනුන්ගෙ වැඩකට
අල ගෙඩි දෙකකුත් උස නැති කොට කොට උන්ගෙම
එල්ෆ්ල එක්ක හිතවත්කම් තිබුණත් ලොකුවට
ඇයිද ගොනෝ පිටුපෑවේ සවුරොන් ලොක්කට






 

(ඕක් කෑල්ලක් අතේ හයිකරගත්,කඩුවක් සොයාගත නොහැකි වූ නිසා,සඟයකුගේ පොරවක් ගෙන එය මුවාත් තියමින් සරුමාන්ගේ අපහාස නිසා මළ අතට ගත් තොරින්)

එකයි දෙකයි තුනයි කියල හතරට ගැනපන්
පහ කියන්න කලින් පොරෝ පාරක් කාපන්
කොට මහතට රැවුල වවල හිටියත් පොඩියට
ත්‍රන්ඩුයිලුත් ඔළුව නැවුවා මේ මගෙ සීයට




(පියාගේ නම ඇසූ බැවින් මනෝ පාර නැවැත්වූ වෙන්න යන රණ්ඩුව දුටු ලෙගෝලස්)

ඩෝෆ්ල එක්ක තරහ වුනත් අපගේ මහ උන්
ගිම්ලි තමයි ලඟින් ගිටියේ ඕන සටනකට
පරණ කථා නවත්තලා දැන්වත් අපි හැම
එකතුවෙලා යමුද ඉතින් ඕක්ලා නැසුමට




(ඇරතෝන්ගේ වටින පුත්‍ර රත්නය වූත් ඉසිල්ඩර්ගේ උරුමක්කාරයා වූත්;ඒකාකාරී බෝරින් දිවිය නිසා කළකිරුණු,පස්චාත් යුද ආතතියෙන් පෙළෙන ඇරගෝන්)

උදේ ඉඳන් කැලේ ගිහින් අස්පය එක්කම
හැන්දෑවට තැබෑරුමේ ඒල් ගහපු සැප
දැන් ගන්නට බෑනේ ඉතින් රජෙක් වෙච්චි මට
එකම සතුට ආර්වෙන් ඇත මගේ පාළුවට



(රෝහන් දේසයේ නයිට් පදවියට පත්වීමට නියමිත මෙරියඩොක් බ්‍රැන්ඩිබක් හෙවත් මෙරී ;ෆ්‍රෝඩෝ වෙනුවෙන්)

කකා බිබී ඔහේ හිටියා සෙල්ලම් කර කර
හැම වෙලේම සතුටු වුණේ පයිප්පේ ඇද ඇද
දුබලයි අපි චූටියි අපි හැමෝම කිව්වට
සවුරොන් ලොක්ක කෙළවගත්තේ හීන් සැරයකට




 (මේ අතර හැඩය අහිමි සවුරොන් බයිලාව ආරම්භ කරයි

ASH NAGH KRIMPATUZA SIRIKOWI.....

(ගැන්ඩල්ෆ් ඔහු ලඟට පැමිණ කියන බයිලාවක් මෝඩෝර් වල බාසාවෙන් නැතුව තේරෙන සින්හලෙන් කියන ලෙස කියයි.අඳුරු අධිපතියා නැවතත් අරඹයි)

මුදු විස්සක් හැදුවා මම මගේ කම්මලේ
නියම මුද්ද තියං අනික් ඒව බෙදුවනේ
ඉසිල්ඩරය කපල දැම්ම මුද්ද දැමූ අත
රැගෙන ගියා මම බිහිකළ ශාපය දිගටම

(සියළු දෙනා එක්ව)

මිනිස්සුන්ට නැහිල යන්න මුදු ඕනේ නෑ
තණ්හාවයි ආසාවයි මුද්දට ඉහළයි
....
(සරුමාන්ගේ චරිතය රඟපෑ ශ්‍රීමත් ක්‍රිස්ටෝෆර් ලී අවුරුදු 92ක් ආයු වලඳා මිය පරළොව ගොස් ඇත.)

හිටපු කවියෙකුගේ හයිකු මාත්‍රාවක්....

ඔබ ගියේ
සරස්වතියත්
අරගෙනම....

Friday, May 13, 2016

බලාපොරොත්තුව


ජීවිතයේ ආලවට්ටම්
සොයනා බහුතරය'තර
ඔබ නොමැති බව දුටිමි


තුරු අතර කඳු මුදුන්වල
ඔබේ දෝංකාරය ඇසුණි
වළාකුළු පිසිමින් හැමූ
ඔබේ සුවඳ හඹා ගියෙමි
සප්ත මහා සාගරයේ ඉපිලෙමින්
ඔබේ සළකුණු සොයා ආවෙමි
පාළු අඳුරු හුදෙකලා තැන් වල
ඔබ එනතුරු බලා සිටියෙමි


සමාජයේ ප්‍රවාහයට හසු වුණු
ජීවී මළවුන් හට සිනාසෙන
සාපේක්ෂ රාමු වලට පිටින් ඉන්නා
ඔබව සෙව්වෙමි


තවමත් හමුනොවූවත්
ඔබත් මා සොයමින්
සිටිනා බව දනිමි!

Thursday, May 12, 2016

හුවාන් යින්ගේ ධර්මදේශනා..(හුවාන්-යින්ගේ කථා-2)

(හුවාන් යින්ගේ පලවෙනි කතාව මෙතැනින්)

කඳුලු කන්ද සමීපයටම පැමිණි භික්ෂුව අශ්වයා මඳකට නැවැත්වීය.හිස ඔසවා තැනිතලාවේ කෙළවර වළාකුළු දක්වා විහිදුණු නෙරුමක් වූ කඳුළු කන්ද දෙස බැලුවේය.

කන්දේ සම උසකින් ආරම්භ වී සමාන්තරව ගමන් කළ රිදී ඉරි දෙකක් දක්නට ලැබුණි.


මේ ඒ කන්දට නම ලැබීමට හේතු වූ දිය ඇළි දෙක බව භික්ෂුව දැන සිටියේය.කන්දේ හෘදයෙන් ආරම්භ වූ ජල උල්පත මේ ආකාරයෙන් වැටෙන්නට සැලැස්වූයේ පුරාණතම මකර රජවරයෙක් බව පුරාවෘත වල සඳහන් විය.කන්ද පාමුලින් ආරම්භ වූ තෙරක් නොපෙනෙන පඩිපෙළ සමීපයේ භික්ෂුව උපස්ථායකට සමුදුන්නේය.බඩු බාහිරාදියෙන් හිස්වූ අශ්වයා පිට නැඟ කොටළුවාද සමඟම උපස්ථායක පිටත් වන්නට විය.
කාලය ගලා ගියේය.වසන්ත ශෘතු,ගිම්හානයන් පසුවී යන්නට විය.හුවාන් යින්ගේ උදාසීන නායකත්වයට කෙමෙන් අනෙක් භික්ෂූන් අනුගත විය.හුවාන් යින් කියවීමට ඉගෙනගත්තේය,ලියන්න හුරු පුරුදු විය.ඔහුගේ සිවුරු අවපැහැ ගැන්විණි,මුඩු හිසේ තැනින් තැන සුදු පැහැ කෙස් කොට පැමිණෙන්නට විය.කලක් සරදම් සිනහවකින් සැරසුණු මුහුණ නිරාමිස ප්‍රීතියකින් පිරී තිබුණි.දෙඇසේ ඥාණය හා කාරුණික භාවය උතුරන්නට විය.


දිනක් හුවාන් යින් දොඩම් අත්තක් ගෙන ඔහුගේ ආවතේවකරු වූ දොළොස් හැවිරිදි භික්ෂුවක් සමඟ ටියෑන් සූජින් සොයා ගඟ අසල පිහිටි කොළ උණගස් වනයට ඇතුළු විය.සූජින් උණගසක් පාමුල බද්ධ පර්යංකයෙන් භාවනාවකට සමවැදී සිටියේය.ඔහුව අවදි කරන ලෙස හුවාන් යින් ආවතේවකරුට දැන්වීය.කුඩා භික්ෂුව සූජින්ගේ උරහිස තදින් සොළවා ඔහු අවදිකළේය.දැඩි නොරිස්සීමක් සහිතවම සූජින් පියවි සිහියට පැමිණියේය.


''නුඹ සෙල්ලම් කරනවාද?මම සිටියේ අත්හැරීමේ අභ්‍යාසය තුල දැඩි ලෙස කිමිදෙමින්.නුඹේ බාධාව නොවන්නට මා හට සමාධිගත වන්නට තිබුණා.හිටපන් නුඹට..''
කියමින් නැඟී සිටියේය.හුවාන් යින් ඉතා සන්සුන්ව මෙසේ ඇමතීය.
''ටියෑන් සූජින්,කලබල කරන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්.''

සූජින් හුවාන් යින්ව දුටුවේ එවිටයි.
හෙතෙම ක්ෂණයෙන් දණ ගසා කොන්ද පහත්කොට,හිස බිම තබා,දෙ අත් හිස ඉදිරියෙන් තමා මෙසේ ඇමතුවේය.
''ගුරුතුමනි සමාවුව මැන.''
සෙමෙන් සූජින්ගේ පිටුපසට පැමිණි හුවාන් යින් තම අතේ තිබූ දොඩම් කෝටුවෙන් සූජින්ගේ පශ්චාත්භාගයට වැරෙන් පහරක් එල්ලකළේය.උණගස් වනය දෙදරන කෑගැසීමක් ඇසුණි.කුරුල්ලන් ඉවතට පියාඹා යන්නට විය.හුවාන් යින් සන්සුන්ව සූජින් අමතන්නට විය.

''ටියෑන්,වහාම පලයන් ගමට.නුඹේ මවගේ අසනීපය අසාධ්‍ය වෙලා.මේ වෙලේ නුඹ කරන්න ඕනේ උණ ගස් යට කෝලම් කරන එක නෙවේ ඇයගේ හිත නිදහස් වන පරිදි වැඩ කරන එක.දැන්ම ගිහින් ඇය එක්ක හිටපන් අවසාන මොහොතේ.''

සූජින්ගේ දෑස් වලින් කඳුළු කඩා හැළිණි.හෙතෙම අසාර්ථක ලෙස උත්සාහ ගනිමින් සිටියේ මවගේ වියෝව දරාගැනීමට සිත සකස් කරගැනීමකටයි.ස්වල්ප වේලාවකින් ඔහු ගමට යන්නට පිටත් විය.


හුවාන් යින් සෑම විටම ප්‍රශ්න සඳගා ලබාදෙන විසඳුම් අති සරල විය.එමෙන්ම තර්කයෙන් බිඳීමට නොහැකි වන තරම් ශක්තිමත් විය.වරක් ඔහුගේ ඥාණයේ ගැඹුරුභාවය ගැන පැහැදුණු සත්‍ය ගවේෂක සංචාරකයෙක් ඔහුගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසා සිටියේය.

''නායකවරයාණෙනී,ඔබගේ දැනුම පූර්ණය,ගැඹුරුය.එමෙන්ම පැහැදිලිකීරීම් සරලය,ප්‍රායෝගිකය.ඔබ මේ උගැන්ම භව ගණනක් තිස්සේ ප්‍රගුණ කල බවක් හැඟේ.පසුගිය භවයේ ඔබ කවරෙක් වීද?දැනගනු කැමැත්තෙමි.''

හුවාන් යින් සරල පිළිතුරක් ලබාදුන්නේය.
''නොදනිමි,මට ඉන් ඇති වැඩක් නැහැ.''

සංචාරකයා මවිතයට පත්විය.ඉන්පසු මෙසේ කීවේය.
''නායකවරයාණෙනී සමාවුව මැන.ඔබ මනැස දියුනු කිරීම මඟින් අවම ලෙස ජාතිස්මරණයවත් ප්‍රගුණ කර ඇතැයි සිතුවෙමි.''

හුවාන් යින් මෙසේ ප්‍රශ්නයක් ඇසීය.
''ගවේෂකය,ඔබ ඇසුවේ මඳක් පැටලිලි සහිත ප්‍රශ්නයක් මම එය මඳක් නිරවුල් කිරීමට උත්සාහ කරන්නම්.හුවාන් යින් යනු කවරෙක්ද?''
ගවේෂයකා මුග්ධ ලෙස පෙණුනු මේ ප්‍රශ්නයට අවිනිශ්චිතතාවයකින් මෙසේ පිළිතුරු දුන්නේය.

''හුවාන් යින් යනු ඔබයි නායකතුමණී''


''හුවාන් යින් යනු මොන මමද?ඔබගෙන් ප්‍රශ්නය ඇසූ මමද?මේ කථාකරන මමද?ඊයේ සිටි මමද?හෙට ඉන්න මමද?''


''මේ සියළු කාලවල ඉන්නේ එක හුවාන් යින් කෙනෙකි ඒ ඔබයි.''


''එසේමද?එසේනම් පස් හැවිරිදි වියේ මවුපියන් අහිමි වූ මමමද මේ ඔබ හා සාකච්ඡා කරන්නේ?මොහොතින් මොහොත ශරීරය වයස්ගතවේ.කුඩා දරුවකු වැඩෙද්දී ශරීරය ශක්තිමත් වී මනසද අත්දැකීම් හරහා ප්‍රත්‍යක්ෂ ඥාණයන් ලබා ගනී.ඉන්පසු සම රැළි වැටී ඉන්ද්‍රිය සංවේදීතාවය අඩුවී සිහිකල්පනාව අඩුවීමේ පැත්තට ගමන් කිරීම ඇරඹේ.අවසානයේ ඔහු පූර්ණ නිශ්චලතාවයකට පත්වී මියයයි.මේ සියළු අවස්ථාවල ඉන්නේ එකම පුද්ගලයෙක් වන්නේ කෙසේද?''


ගවේෂකයා නිහඬ වූ බැවින් හුවාන් යින් මෙසේ කීය.

''සත්‍ය වශයෙන්ම පුද්ගලයා මොහොතින් මොහොත වෙනස් වේ.ශාරීරික වෙනස්කම් කල් ගත වූවත්,ක්‍රමාණුකූල වූවත් චිත්තයේ වෙනස්කම් අති ක්ෂණිකය.එය අකුණකටත් වඩා වේගවත්ය.දැන් මම යමක් කියන්නම්.

පුද්ගලයාගේ මනස මතක ගබඩාවකි.එයට මතක පරම්පරාවන් කාලය සමඟ එකතුවේ.මේ මතක පරම්පරාව ආවර්ජනය කරමින් සිටින ඔහු එක් වැටහීමකට පැමිණේ.එනම් මේ මතක සැබෑ දේවල් හා තමන්ට අයිති දේවල් ලෙස ගනී.මෙතැනින් ''මම'' යන අදහස උපදී.ඒ මතක සටහන් හා තවත් දේවල් ඈඳේ.ඥාතීන්,හිතමිතුරන්,සතුරන් හා සමාජය යන දේවල් ඔහු එමඟින් ව්‍යුත්පන්න කරගනී.එමෙන්ම යම් භාණ්ඩ හා වස්තූන්ගේ මතක සටහන් ඒවාගේ අයිතිය ඔහුට ඇති බවක් පෙන්වයි.
ඉන් පසු ඔහු සම්ප්‍රදායන්ට අනුකූල වේ.ඇඳුම්,ආහාර,විවාහ,රැකියා හරහා ඔහු තමන්ට අනුරූප ලෝකය සාදාගනී.මතක පරම්පරාවට ''මාගේ අතීතය'' කියා ඔහු වලන්ගුතාවයක් ලබා දෙයි.අවිනිශ්චිත හැඟීමකට හෝ බලාපොරොත්තුවකට ''අනාගතය'' කියා නමක් ලබා දෙයි.
ඔහු සෑම මොහොතකම සිතමින් ඉන්නේ පසුවූ අතීත මතක පරම්පරාව ගැනයි.නැතිනම් ඒ හරහා බිහිවන අවිනිශ්චිත අනාගතයක් ගැනය.

එක්වරම ඔහුගේ මතකය සම්පූර්ණෙන්ම නැතිවී ගියාකියා සිතන්න.ඔහු
තමා කවරෙක්දැයි නොදනී.

ඔහුට 'මම' යන හැඟීම නැත.

අනාගතයක් ඔහුට ප්‍රක්ෂේපණය කරගත නොහැක.ඔහු ඇත්තෙන්ම වර්තමානයේ ජීවත් වේ.නමුත් සිතේ ස්වභාවය මතකය ගබඩා කිරීම නිසා ඔහු එතැන් සිට මතක එකතු කිරීම අරඹයි.නමුත් මතකය නැතිවීමට පෙර සිටි මිනිසාත් මතකය නැතිවූපසු ඉන්නා මිනිසාගේත් සමානකම් නොමැත.


අප ලෝකය දකින්නේ පන්චේන්ද්‍රියන්ගෙනි.ඒවාට ගෝචර වන දේවල් මේ මතක ගබඩාවට ඇතුල් වේ.අප ඒ සියළු දේ ගබඩා කරගන්නේ අපගේ අත්දැකීම් හා බුද්ධියට අනුකූලව පෙරාගත් පසුවය.මේ සංස්කරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.එමෙන්ම අප යමක් දකින්නේ ඇති සැටියෙන්ම නොවේ.මේ කෝප්පය බලන්න.ඔබට සිතුණේ කුමක්ද?ඔබට මෙය තවත් එක් සාම්ප්‍රදායික දකුනු චීන මෙවලමක් පමණි නමුත් මගේ මතක සටහන් හා මේ කෝප්පය බැඳී පවතී.මාගේ උපස්ථායකට මෙය ගෞරවණීය වන්නේ මෙය මාගේ මෙවලමක් බැවිනි.නමුත් කෝප්පය වෙනස් නොවේ.


ගඟක් උදාහරණයකට ගන්න.

ගඟ අපි මොහොතක් නිශ්චල කරමු.ඉන්පසු එය සම්පූර්ණෙන්ම මතකයේ තබාගමු.මොහොතකට පසු නැවතත් නිශ්චල කර එය කලින් මතකය හා සසඳමු.ලැබෙන්නේ එක සමාන රූප දෙකකි.නමුත් ඒ එකම ගඟමද? පළමුවෙනි වර නිශ්චල කිරීමේදී එතන තිබූ ජලය දෙවැනි වර පිටපත් කිරීමේදී ගලාගෙන ගොස් හමාරය.නමුත් සමාන සැපයුමක් ඇති නිසා මතුපිටින් බලන විට මේ රූප දෙකේ වෙනසක් නොතිබේ.නමුත් මේ තිබෙන්නේ එකම ගඟ නොවේ.


අපගේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා බොහෝදුරට එක හා සමානය.නමුත් අප එය අර්ථකතනය කරගන්නේ අපගේ දැනුම හා අත්දැකීම් හරහාය.එය අප අපගේ මතක ගබඩාව හා සැසඳීමක්ද කරගන්නා ලැබේ.මේ අනුව අප සිටින්නේ එකම ලෝකයක වුණත් අපට සාපේක්ෂව අප සියළු දේ එකිනෙකාට වෙනස්ව වටහා ගන්නා බැවින් අප ප්‍රක්ෂේපණය කරගෙන ජීවත් වන ලෝක වෙනස්ය.ශාක්‍යමුණීන් ''ලෝකයක් බිහිවන්නේ බඹයක් පමණ වූ ශරීරයක් තුල'' බව පවසා සිටියේ එබැවිණි.


මෙයින් අත්මිදීමට කළයුත්තේ මේ මතක ගබඩා කිරීම නැවැත්වීමයි.සිතිවිලි නැවැත්වීම කළ නොහැක්කක් වූවත් එක සිතුවිල්ලක් ඔස්සේ හඹා යෑම නැවැත්වීමට උත්සාහ ගත යුතුය.එසේ හඹා යෑම හරහා බොහෝ දුරට වන්නේ අතීතයේ හෝ අනාගතයේ ජීවත්වීමකි.මෙය ඇහිරූ ගමන් පුද්ගලයකු වර්තමානයේ ජීවත්වීම අරඹයි.

සෑම දෙයක්ම පාහේ මෙයට සම්බන්ධය.කර්මය උදාහරණයකට ගන්න.මෙය බහුලව යෙදෙන්නේ අතීතයේ කළ දෙයක් වර්තමානයේ ඵල දීමකටයි.අතීතයේ කළ දේ නැවත නිවැරදි කළ හැකිද?වීමට නියමිත දේ වැළක්විය හැකිද?නැත.කළ යුත්තේ කර්මය යනු වර්තමානයේ පුද්ගලයා කරන දෙය බව සිතාගැනීමයි.එය පුද්ගලයාට තීරණය කිරීමේ හෝ වෙනස් කිරීමේ හැකියාව පවතී.එවිට එම සංකල්පයේ වැදගත්කම වටහා ගැනීම අසීරු නොවේ.

පුද්ගලයෙක් මතක පරම්පරාව අතහැර,අතීතය හෝ අනාගතය ගැන නොසිතා වර්තමානය ගැන සම්පූර්න සිහිය එළැඹ ගත්තා කියා සිතමු.එම මොහොතේ ඔහුගේ සිතේ පවතින අනවශ්‍ය දේ කෙරෙහි ඇති අවධානය දුරු වේ.විශ්වය හා සම්බන්ධ වේ.මනසේ සැඟවී ඇති තියුනු ආලෝකය දර්ශනය වීමට පටන් ගනී.

ඔබ ඇසුවේ මාගේ පසුගිය භවය ගැනයි.ගවේෂකය මම මොහොතින් මොහොත වෙනස් වෙමි.මට මින් පෙර භවයක් තිබූ බව සැබෑවකි.නමුත් මම මේ මොහොතේ පවා වෙනස්වෙමින් සිටිමි.එබැවින් කවර හේතුවක් නිසා මම මගේ අවධානය භවයකට කලින් තිබූ සිතුවිලි පරපුර කෙරෙහි යොමු කළ යුතුද?හුදෙක් කාලය නාස්තියක් නේද?''

Paradox කවි

විරිත් කුඩු කරලා 
ඡන්දසත් විසි කරලා
රාමුවෙන් මිදිලා
ලියමි නිසඳැස් හුරේ දමලා


(මහ පියුම් විරිත)

Wednesday, May 11, 2016

කැම්පස් නංගි කෙනෙක් ගැන මතකයක්...

හරියට දවල් 2ට ටවුමෙ ඉඳන් කුවීන්ස් එක පැත්තෙන් මාළිගාව ඉස්සරහින් පදිකයින්ට යන්න තියන පාරෙ මම අවන්හළ පැත්තට ඇවිදගෙන ගියා.කැට හොල්ලන නන්ගිල සෙට් එකක් ඉස්සරහ වටවෙලා.මේ කට්ටිය පේරාදෙණියේ අයනම් නෙවේ.නුවර ඉඳල 100 කි.මී. විතර ඈතින් තියන විශ්ව විද්‍යාලයක කට්ටියක්.මේ විශ්ව විද්‍යාලෙ කට්ටිය මම නුවර ගොඩක් දවස්වල දැකල තියනවා..

ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා ඉක්මණීන් ඇවිදගෙන යද්දි මම දැක්ක ඒ නන්ගිලා වටවෙලා හිටියෙ කවුරු වටේද කියලා..අත බලා සාස්තර කියන ගෑණු මනුස්සයෙක් එක නන්ගි කෙනෙක්ගෙ අතින් අල්ලන් සාස්තරයක් කියනවා...මම තනියම හිනාවුණේ මේ අයගේ සංගම් වල ඉහළ අය කියවන ''භෞතිකවාදය'', ''දලෙයක්තය'' (සමහර වෙලාවට නිකන් දලෙයක්තයත් නෙවේ..ක්වොන්ටම් දලෙයක්තය) ''අන්ධ විශ්වාස'' වගේ බර වචන ඔළුවට ආව නිසා..ඒත් මම වැරදියි කියල මටම තේරුණා..


ඒ නන්ගි මොනව අහන්න ඇත්ද?

උදේ ඉඳන් අව්වේ හිටගෙන ඉඳලා මිනිස්සුන්ට කතා කරල කට්ට කාල කට්ට කාල ඉන්න වෙලාවක...මහන්සි වෙලා ගත්ත අධ්‍යාපනයෙන් මේ වගේ තැනකට ආවට පස්සේඉතුරු ටික වෙන්න ඕනේ...යහපත් ස්වාමිපුරුෂයෙක්,හොඳ රස්සාවක්,ලස්සන පොඩි ගෙයක් (කාරෙකකුත් එක්ක),සාර්ථක පවුල් ජීවිතයක් (සහ සමාජ තත්වය) සහ දරුවෝ?? මේවනෙ සාමාන්‍යයෙන් ඔය සාස්තර වලට කියවෙන්නෙ.

උගත්කම,රස්සාව දේශපාලන දර්ශනය මොනව වුණත් ගැහැණු ළමයින්ට පොදු දේවල් තියනව.ඉතින් ඒ අහිංසක බලාපොරොත්තු අනික් හැම දේකටම වඩා වටිනවා

Monday, May 9, 2016

සිරිධම්මගේ දෙවෙනි ඉනිම..



සිරිධම්මව පරද්දන්න අමාරු ඇයි?

  එක හේතුවක් කියනවනම් එයා තමන්ගේ චරිතේ තියන දුර්වලතා,මතුවන ප්‍රශ්න සඳහා කාල වෙලා ඇතිවම ත්රිපිටකෙන් ගන්න reference හරහා නිදහසට කාරනා හදාගෙන ඉන්නේ....

එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ චර්යාව වගේ පැහැදිලිව දක්වලා නැති දේවල් අරගෙන සංසන්දනය කරන්න හදන එක තේරුමක් නෑ..
(පිලිච්චන්ද හාමුදුරුවෝ වසලයා කියල කතා කරපු එක තමන්ගේ කතා විලාශය ගැන ප්‍රශ්න කරද්දී රෙෆරන්ස් එකක් විදිහට ගන්නවා.ඒත් විනය නීති අනුව පරුෂ වචනයෙන් කතාකරන්න,අත පය විසිකරමින් කතාකරන්න පුලුවන්ද?)


තව දෙයක් තමයි අර කොල්ලෙක් එක්ක ඉඳල නොන්ඩි වුනු ෆොටෝ ගැන කියන්නේ තමන් ගහගත්තා ඒවා කියලා.(negative marketing වලින් ජනප්‍රිය වෙන්න)ඒත් මම අහගෙන එක තැනක කියනවා ''ඉතින් මොකද කොල්ලෙක් එක්ක ඉඳල ෆොටෝ එකක් ගත්තම වරද ප්‍රශ්නයක් තියෙන්නේ ගෑනු ළමයෙක් එක්ක හිටියනන්නේ.'' වගේ කතාවක්...ඔහොම ගිහින් දවසක ''කොලු සීන් තහනම් කරලා තියෙන්නේ කොහෙද'' වගේ ප්‍රශ්න ඇහුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.


ඒ වගේම සිරිධම්ම ශාස්ත්‍රිය කාරනා වලින් වුනත් අල්ලන්න අමාරුයි..ලිස්සලා යනවා සරල දාර්ශනික උත්තර දීලා.උදාහරණයක් විදිහට ''නිර්වාන ධාතුව කොයි වගේ'' කියල ඇහුවම කියනවා ''මට කියන්න පුලුවන්ද අන්ධ මනුස්සයකුට පෙනීම කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා..අන්න ඒ වගෙයි මේක මේ වගේ කියල හරියටම කියන්න බෑ.එහෙම විස්තර කරන්න තරම් වචන නැහැ.එහෙම කිව්වොත් මම මහා මෝඩයෙක්..''

සිරිධම්ම ජනප්‍රිය වුනු කාලේ ඉඳන් මම කියනවා දන්න අයට ගෝර් විදාල්ගේ 'කල්කි' (kalki) සහ ගැලවුම්කාර ඉසිවරයා (the messiah) කියන පොත් දෙක (මේ පරිවර්තන දෙක වියන්ගොඩගේ,රාවය හෝ සංහිඳ ප්‍රකාශන) බලන්න කියල...අපේ සිරිධම්ම ලෝකල් ස්කේල් එකේ හාදයෙක්..


අර පොත් වල තියෙන්නේ ග්ලෝබල් ස්කෙල් එකේ ගේම් දෙකක්..


 පොඩ්ඩක් මොලේ තියෙන ඕනෙම කට්ටයෙකුට මේ සෙල්ලම කරන්න පුළුවන්...පොඩි කැපවීමක් විතරයි ඕනේ වෙන්නේ.

(ඒ වගේම හොඳ දේ අගය කරන්න ඕනේ,සිරිධම්ම විසින් වර්තමානයේ ශාසනයේ තියන විරුපිලෝලනය,සර්වාශුභාවාද,හිඟනකම උත්කර්ෂයට නැංවීම වගේ දේවල් වලට මරු පහරක් එල්ලකරනවා)

Monday, May 2, 2016

ත්‍රිකෝණය (හුවාන්-යින්ගේ කතා-1)

දකුණු චීන වැසියන් සෑම කාලවලදීම උතුරු චීනුන්ට වඩා සන්වරකමින්,නුවණින්,යහගුණයෙන් හා සෞභාග්‍යයෙන් ආඪ්‍ය වී සිටියහ.මින් රාජ වන්ශය ආර්ම්භ වූ අළුත දකුණු චීනයේ වූ ගොන්ෂෝ නම් ප්‍රදේශයේ මහායාන චීන බෞද්ධ නිකායක් වූ ජින්වින් නිකායේ පුරාණ පන්සලක් ශ්වේත කන්ද පාමුලෙහි තිබුණි.



තරමක් විශාල වූ ආශ්‍රම පරිශ්‍රයේ නේවාසික භික්ෂුන් 200කට පමණ ඉඩ පහසුකම් තිබුණි.ප්‍රධාන භික්ෂුවගේ වාසස්ථානය වෙනම විය.එය චීනයට අවේනික රවුම් ආරුක්කු,උළු සෙවිලි කල වහල හා දේවදාර දැවයෙන් සෑදූ බිමින් සමන්විත විය.පඩි සතරකින් ඇතුල්වීමේ දොරටුව තිබූ එහි ප්‍රවේශය වූයේ 50 දෙනෙකුට පමණ බිම හිඳගත හැකි වූ ධර්මශාලාවකි.එහි එක් කොණක නායක භික්ෂුව පමණක් අසුන් ගන්නා ධර්මාසනය විය.තවත් පැත්තක වූයේ මඳක් විශාල අමිතාභය බුදුන්ගේ පිළිමයකි.නායක භික්ෂුව හමුවීමට අවසර තිබුණේ ඔවුන්ගේ ජ්‍යේෂ්ඨ භික්ෂූන් අතලොස්සකට පමණි.තවද භික්ෂූන් සඳහා දිගැති නේවාසිකාගාර හතරක් විය.මේ ආරාමය උණබම්බු සහිත වැටකින් ආවරණය විය.මඳක් එපිටින් ජැන් ජියෑන් ගඟේ අතු ගන්ගාවක් ගලායන්නට විය.

එකල එහි නායක භික්ෂුව ලෙස කටයුතු කරමින් සිටියේ සංඝ පීතෲ හුවාන් යින් නම් භික්ෂුව විය.කාරණා දෙකක් නිසා ඔහු සුවිශේෂි විය.ලාබාල වියේදී එනම් අවුරුදු 17 දී නායක පදවියට පත්වූයේ ඔහුයි.එමෙන්ම ඔහු නායක පදවියට පත්වනවිට ලියන්න හෝ කියවන්න නොදැන සිටියේය.


භික්ෂූ භාවයට පත්වීමට පෙර ඔහු ගොවි පවුලකට උපන් ළමයෙක් විය.වරක් බැන්ඩිට් සොරුන් පැමිණ ඔහුගේ ගම කොල්ලකා ගිනි දමා විනාශ කරන්න පටන් ගෙන තිබුණි.ඔහුගේ මව ඔහුව බාල්දියක දමා වසා දැමූ ලිඳකට පහත්කර දැම්මාය.එසේ කරන්නට කලින් ''මොනව වුණත් සද්ද නොකර හිටපන්'' කියා ඇය කියූවාය.කවදාටත් වඩා එදා ඔහු තම මවගේ උපදෙස පිළිපැද්දේ එම ස්වරයේ තිබූ බියපත්භාවය හා සෙනෙහස හදවතටම දැනුණු බැවිනි.ළිං පත්ලේ තිබූ පාසි පල්වූ ගඳ,අන්ධකාරය හා බාල්දියේ ගැස්සිල්ල පස් වියැති දරුවා හැඬවීමට සමත් නොවුණි.රාජ පුරුෂයින් ඔහු සොයාගන්නා විටත් ඔහු ලිඳට පහත් කළ විට සිටි ලෙසම කඹය තදින් ග්‍රහණය කරගෙන සිටිනු දක්නට ලැබුණි.ගොඩට ආ විට දුටුවේ ඔහු දැන සිටි සෑම දෙයක්ම දැවී අළුවී ගොස් ඇති ආකාරයයි.රජුට විනාශය ගැන වාර්තාව ගෙන යන ගමන්ම ඔවුහු දරුවාව ජින්වින් ආරමයට භාර දීගෙන යන්නට විය.

හිස සම්පූර්ණයෙන්ම බූ ගා වී හැඩැති කතිරයක් බෙල්ල පහළින් එන පරිදි ගුරු පැහැ සිවුර ඇඳීමට හුවාන් යින් දරුවා දින දෙකක් පමණ පුහුණු කරන ලදී.ආධුනික භික්ෂුභාවය ලැබූවන් මුලින්මම සේවයේ යොදවන්නේ නායක භික්ෂුවගේ සේවයටයි.ඔහුට පැවරුණු මුල්ම රාජකාරිය අමිතාභය බුදු පිළිමය උදෑසන හා සැන්දෑ ආගමික වතාවත් සඳහා අවශ්‍ය ආකරයට සූදානම් කිරීමයි.ඔහු වයසින් හා ශරීර ශක්තියෙන් වැඩෙද්දී නායක භික්ෂුවගේ සයනාගාරය,ආසනය ඇතුළු ධර්ම ශාලාව ශුද්ධ පවිත්‍ර කිරීම,දර ගෙන ඒම,එළවලු කොටු හා කුස්සියේ වැඩ කිරීම,පනිට්ටු දෙකක් සමඟ ඇති කද ගඟට ගොස් පුරවාගෙන විත් ආශ්‍රමයේ විශාල පීප්ප පිරවීම,ජේෂ්ඨ භික්ෂූන්ගේ සිවුරු සේදීම ලෙස ඔහුගේ රාජකාරි කාලයත් සමඟම විකාශනය විය.ඔහු දිනපතා කුරුල්ලන්ට, නොගැඹුරු වූවත් පළල් වූ නදියේ ජලය ගල් කැට වල වැදී නඟන නාදයට හා ගොඩ සුලඟට සවන් දුන්නේය.හිරුරැස් දිය රැළි මත වැටී නිවී නිවී පරාවර්තනය වන ආකාරය බලා සිටියේය.වේලීමට දැමූ රෙදි සුලඟට නටන ආකාර දැකීමටත් එයින් එන ශබ්දය ඇසීමටත් ප්‍රිය කලේය.රෙදි වේළීමට දමා ගඟෙන් එහා පැත්තේ කොල්ලන් හා සරුන්ගල් යැව්වේය.ඔහු වැඩිවියට පත්වෙමින් සිටියේ මේ ආකාරයටයි.
ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් ඔහු තම රාජකාරි කළේය.නමුත් කිසිදිනයක ඔහු පැරණි ධර්මය අඩන්ගු ලේඛණ කියවීමට උත්සාහ කිරීම හෝ ධර්ම දේශනා වලට සහභාගී වීම මඟහැරියේය.එම නිසා ඔහු මෝඩයෙක් හා කම්මැලියෙක් ලෙසත් ජ්‍යේෂ්ඨ භික්ෂූන් හැඳින්වූහ.ඔහුට සමකාලීන සමීප මිතුරන්ද නොවුණි.ඉගෙනීමට කම්මැලි වූ නිසා ඔහුට තව තව වැඩ පැවරුණි.

දිනක් නායක භික්ෂුවගේ වාසස්ථානයේ පිටත ආරුක්කුවක දැන්වීමක් එල්ලා තිබුණි.භික්ෂූන් ඒ අවට කණ්ඩායම් සෑදී කථා වෙමින් සිටිහය.හුවාන් යින් භික්ෂූන් අතරින් රින්ගා එහි සඳහන් වන්නේ කුමක්දැයි වෙනත් භික්ෂුවකගෙන් අසා සිටියේය.
''සවස් යාමයේ නව සංඝ පීතෲ වරයා තෝරා ගැනීමට පරීක්ෂණ'' එය හඬනඟා කියූ භික්ෂුව අවඥා සහගත ලෙස හුවාන් යින් දෙස බැලුවේය.

''තමුසෙට මේකවත් කියවගන්න බැරිද? තමුසේනම් බර වැඩ වලටමම තමයි හරියන්නේ සතෙක් වගේ.'' කියා කියූවේය.සිරිත් පරිදි සරදම් සිනාවක් පා හුවාන් යින් එතැනින් ලිස්සා ගියේය.

සංඝ පීතෘ වරයකුට තම නායකත්වය අත් හැරීමට කාලය එන විට එය විවිධ සංඥා වලින් දැනෙන්නට පටන් ගනී.නායක භික්ෂුව කලින් දින දුටුවේ සිහිනයකි.මුහුද ගිනිගෙන දැවෙනාකරයකි.තමන් නායකත්වය අත්හැර උසස් ධර්මධර භික්ෂූන් සිටි කඳුළු කන්ද කරා යාමට කාලය එලැඹ ඇති බව ඔහුට වැටහුණි.නව භික්ෂු පීතෲ තෝරාගන්නේ නායකත්වය අත්හැරීමට යන භික්ෂුවගේ අභිමත පරීක්ෂණයකි.මේ පරීක්ෂණය වාචික/හස්ත මුද්‍රා හෝ සංකේතාත්මකව දැක්වෙන පරීක්ෂණයක් පැවැත්වීම නායක භික්ෂුවගේ අභිමතය පරිදි සිදුවේ.
නායකත්වය සඳහා ජ්‍යේෂ්ඨ භික්ෂූන් තුන් දෙනෙක් ඉදිරිපත් වූහ.ධර්මාසනයේ නායක භික්ෂුව අසුන්ගෙන සිටියේය.අනෙක් භික්ෂූන් නායක භික්ෂුවගේ නිවස වටේ ජනේල හා දොරින් පරීක්ෂණය බලන්නට රැස් වී සිටියහ.බහුතරයක් වූ අවශේෂ භික්ෂූන් තැන තැන කණ්ඩායම් සෑදී පහත් හඬින් කතාවෙමින් සිටියහ.

ධර්මාසනයේ අසුන්ගෙන සිටි නායක භික්ෂූව ඉතා බැරෑරුම් ආකාරයෙන් ඉදිරියෙන් වූ ගෙබිම දෙස බලා සිටියේය.එහි සමපද ත්‍රිකෝණයක් ඇඳ තිබුණි.මෙය සංකේත පරීක්ෂණයකි.මෙහි පණිවිඩය තෙරුම් ගෙන එයට නිවැරදි පිළිතුර සංකේතාත්මකවම ඇඳිය යුතුය.පළමු අපේක්ෂිත භික්ෂූව කැඳවිනි.

හෙතෙම මඳ වේලාවක් සලකුන දෙස බලා සිටියේය.ඉන් පසුව අවසාධිත පාෂාණය ගෙන (මෙය යමක් සලකුණු කිරීමට යොදාගත් පාෂාණයකි ) එම ත්‍රිකෝණයේ ශීර්ෂ තුන මධ්‍ය ලක්ශ වන සේ ගෙන ඊට වඩා විශාල ත්‍රිකෝණයක් නිර්මාණය කළේය.

ඉන් පසු නායක භික්ෂුවගේ මුහුණ දෙස බැලීය.පිළිතුර නිවැරදි නොවූ බැවින් දෙවැන්නා කැඳවිණි.පළවෙනි පිළිතුර මකා දැමූ උපස්ථායක වරයා නැවතත් සමපාද ත්‍රිකෝණයක් දෙවැනි අපේක්ෂකයා වෙනුවෙන් ඇන්දේය.


දෙවැන්නා පැමිණ දණගසාගත්තේය.හෙතෙම ශීර්ෂ තුනම යා කරමින් ත්‍රිකෝනයේ මධ්‍ය කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තයක් නිර්මාණය කෙළේය.නමුත් එයත් නිවැරදි නොවුණි.නැවතත් පිළිතුර මකා නව ත්‍රිකෝණාකාර සළකුණක් තෙවැනි අපේක්ශකයා වෙනුවෙන් නිර්මාණය විය.


අවසාන අපේක්ෂක පැමිණියේය.බිම දිගාවූ හෙතෙම මහත් සැලකිල්ලෙන් ත්‍රිකෝණයේ පාද යාන්තමින් ස්පර්ශ වන පරිදි හා පාද වලින් එළියට නො එන පරිදි එහි අන්තර්වෘතය නිර්මාණය කළේය.


 නමුත් එයත් අපේක්ෂිත පිළිතුර නොවුනි.නායක් භික්ෂුවගේ මුහුණ දැඩි දොම්නසකින් අඳුරු වී ගියේය.

මේ අතර සෙනඟ පීරාගෙන කිසිවකි දොර කරා එළැඹිනි.අනෙක් භික්ෂුන් ගේ කසු කුසුව මැද හෙතෙම නායක භික්ෂුවගෙන් පරීක්ෂණයට සහභාගී වීමට අවසර ඉල්ලා සිටියේය.ඔහු හඳුනා ගත් භික්ෂූන්ගේ මුහුණු වලින් දැඩි වික්ෂිප්තභාවයක් මතුවිය.මළපොතේ අකුරු නොදත් හුවාන් යින්..නායකත්ව පරීක්ෂනයට.හොඳම ධර්මධර භික්ෂූන් තිදෙනා අසමත් වී ඇති පසුබිමක.නායක තෙරුන්ගේ අවසර ලැබෙනු දුටු ඔවුන්ගේ විමතිය දෙගුන තෙගුණ විය.

පාෂාණය ලී වලින් සෑදූ බිමේ තෙවරක් ඇතිල්ලෙනාකාරය සිව්වැනි වාරයටත් ඇසුනි.

මෙය බලා සිටි හුවාන් යින්ගේ මුහුණේ සුපුරුදු සරදම් මඳහස ඇඳුණි.ඔහු අවසාදිත පාෂාණය අතට ගත්තේය.ඉන්පසු ජනේලයක් සමීපයට ගොස් එහි සිටින්නන්ට මෑත් වන ලෙස සංඥා කළේය.පාෂාණය ජනේලයෙන් එළියට පියාඹා යන්නට විය.ඉන්පසු ඔහු ගෙබිම මදින රෙදි කෑල්ල උපස්ථායකගෙන් ගෙන ත්‍රිකෝණාකාර සළකුණ මකා දැම්මේය.සිටගත්තේය.

ධර්මාසනයෙන් නැගිටි නායක භික්ෂුව හුවාන් යින්ගේ උරහිස ඇල්ලුවේය.ඉන්පසු ඔහුව අතින් අල්ලා කැඳවාගෙන ගොස් ධර්මාසනයේ වාඩි කරවීය.හුවාන් යින් 8 වැනි සංඝ පීතෘ වරයා ලෙස පත්විය.බොහෝ භික්ෂූන්ට තම දිවියේ වැඩියෙන්මම මවිතයට පත්වූ දිනය ලෙස එදින සටහන් විය.

ඊලඟ දිනයේ උදෑසනම හිටපු නායක භික්ෂුව තම උපස්ථායක සමඟ කඳුළු කන්ද බලා යාමට පිටත් විය.භික්ෂුව අශ්වයකුගේ පිටද උපස්ථායක අවශ්‍ය බඩු භාණ්ඩ සමඟ කොටළුවකුගේ පිටද පිටත් වන්නට විය.උපස්ථායක සතු කාර්‍ය වූයේ ආරක්ෂිත ලෙස ඇරලවීමත් කුලියට ගත් අශ්වයා හා කොටළුවා අයිතිකරුවන්ට නැවත භාර දීමත් විය.මධ්‍යනය වන විට හිරු රැස් දැඩි වූ නිසාත් ඔවුන් ඉදිරියේ තිබුණේ ශුෂ්ක පරිසරයක් වූ බැවිනුත් මඳ වේලාවක් විවේක ගැනීමට පීච් ගසක් මුල දෙදෙනාම හිඳගත්හ.

පරීක්ෂාව වූ ආකාරය ගැන උපස්ථායක මේ අවස්ථාවේ භික්ෂුවගෙන් විමසා සිටියේය.කිසි අකමැත්තක් හෝ උකටලීභාවයක් නැතිව භික්ෂුව පිළිවදන් දුණි.


''හොඳයි,මම ඉදිරිපත් කළේ සමපාද ත්‍රිකෝණයක්..පළමුවැන්නා පැමිණ එහි ශීර්ෂ මධ්‍ය ලක්ෂ ලෙස ගෙන ඊට පිටින් එමෙන් දෙගුණයක විශාලත්වයෙන් යුතු ත්‍රිකෝණයක් නිර්මාණය කළා.

ඔහු මෙම ත්‍රිකෝණය සිතුවේ උප්පතිය ලෙස.එනම් එයට අවශ්‍ය කරුණු වූ මවගේ මාස් ශුද්ධිය,අඹු සැමි සංසර්ගය සහ ගන්ධබ්බයකුගේ පැමිණීම යන කාරණා.ඔහු එය විශාලනය කිරීමෙන් පෙන්වූයේ එය එන්න එන්නම වර්ධනය වීමක් පමණක්ම දක්නට ඇති බවක්.ඇත්තටම මෙය මාගේ බලාපොරොත්තු කඩවන ආකාරයේ පිළිතුරු දීමක්.


දෙවැන්නා ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා යන පරිදි එහි බාහිර් වෘත්තය නිර්මාණ කළා.ඔහු ත්‍රිකෝණයෙන් අදහස් කළේ ජාති ජරා මරණ යන ස්වභාවයන්.මෙය ජීවියාව චක්‍රයක් මෙන් ලුහු බඳින බව ඔහු බාහිර් වෘත්තය මඟින් පෙන්වූවා.නමුත් අවශ්‍ය පිළිතුර එයත් නොවේ.


තෙවැන්නා කළේ ඉතා සීරුවෙන් මේ ත්‍රිකෝණයේ පාද තුන අභ්‍යන්තරයෙන් ස්පර්ෂ වන පරිදි සහ ක්‍රිකෝණයෙන් පිටතට නොයන පරිදි අන්තර්වෘත්තය නිර්මාණය කිරීමයි.

ඔහු ශීර්ෂ වටහා ගත්තේ ත්‍රිකාය ලෙසයි (ත්‍රිකාය යනි නිර්මාණකාය-බුදුන් වහන්සේ,ධර්මකාය,සම්භෝගකාය-බොධිසත්ත්ව වරුන් ලෙස මහායානිකයින් තෙරුවන් මෙන් සලකන සංකල්පයයි ).ඔහු මේ ත්‍රිකාය මැද අඳින ලද වෘත්තයෙන් අදහස් කලේ ත්‍රිකාය වෙන් වෙන්ව පෙනුනත් එය පැන නඟින්නේ එකම මූලය එනම් සියළු දෙනා තුල පවතින උපරිම විභවය වූ බුද්ධ ස්වභාවය මත බවයි.මෙය තමා මොවුන් අතරින් පැමිණි හොඳම පිළිතුර එහෙත් මට ඊට වඩා වැඩි යමක් උවමනා වුනා.

හුවාන් යින් එන්නෙ ඊට පස්සේ.මිනිහා කරන්නේ මේ ත්‍රිකෝණෙ මකල දාන එක.ඔහු එයින් අදහස් කරන්නේ වෙනස්මම දෙයක්.අවබෝධ කරගත යුත්තේ සෑම දේකම පවතින ශුන්‍යතාවය නම් එයට කිසි සංකේත හෝ ආධාරක අනවශ්‍ය බව.එහෙන්ම සන්කේත මඟින් හා වචන මඟින් යථාර්තයට සමීප වීම වෙනුවට එයින් ඈත්වීමට හේතු වන්න ලොකු සම්භාවිතාවයක් තියනවා.

මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට වචන හා සන්කේත වල තේරුම් වටහා ගන්න ආකාරය වෙනස්.ඔවුන් එය වටහා ගන්නේ එය ඇති සැටියෙන්මම නොව තමන්ට වැටහෙන ආකාරයටනම් එහි තදබල ප්‍රශ්නයක් තියනවා එය ඔවුන් අනික් එයටත් විකාශනය කරන්න ගියොත්.මොකද ඔවුන් සත්‍ය කියා හඳුනාගන්න දෙය සත්‍ය හෝ යථාර්තය නොවී ඔවුන්ගේම මනෝභාවයන්හි අර්ථදැක්වීමක් වන්න පුළුවන්.

මම උදාහරණයක් දෙන්නම්.උණුසුම.මේ වචනේ ඇහෙද්දි එකපාරටම ඔළුවට ආවේ මොකක්ද?''


උපස්ථායක පිළිවදන් දුණි.

''ස්වාමීනි මම කුඩාකාලේ ශීත සෘතුවේදී ලිප ලඟට වී සිටි එහි ගිනි දළු බලා සිටි ආකාරය''


''බොහොම හොඳයි.නමුත් මගේ සිතට එන්නෙ වෙනස්මම දෙයක්.උණුසුම යනු අප දෙදෙනාම අත්විඳි දෙයක්.නමුත් අප දෙදෙනා එය හඳුනා ගන්නා ආකරය වෙනස්.යථාර්තය යනු අප දෙදෙනාම අවබෝධ කර නොමැති දෙයක්.ඉතින් එහෙම දෙයක් ගැන අපි අනෙක් අයට පැහැදිලි කරන්නේ කොහොමද?පැරනි ලියවිලි හා එම තත්ත්වයට පත්වූ අයගේ කථා අනුසාරයෙන් එය අපට තේරෙන ආකාරයට වටහාගෙන අනෙක් අයට විකාශනය කිරීම මඟින්.මෙය සාර්ථක වීමට වඩා අසාර්ථක වීමට ඇති හැකියාව වැඩියි.
කොහොම වුණත් මිනිසා උපදින්නේ ඉහළම විභවය වූ බුද්ධ ස්වභාවය සමඟ.නමුත් එය අවදි කරගතයුත්තේ තමන්ට අවේනික හා අනන්‍ය වූ විවිධ මාර්ග මඟින්.පුද්ගලයින් දස දෙනෙක් මාර්ග දහයක් භාවිතා කරනු ඇති.නමුත් ඔවුන් පැමිණෙන්නේ එකම තැනකටයි ගමනාන්තය ලෙස.හරියට ලෝකේ හැමතැනින්ම ආරම්භ වන විවිධාකාර නදියන් අවසානයේ සාගරයට එකතුවනවා වගේ.මෙහි මූලිකම අවශ්‍යතාවය උල්පත පාදා ගැනීම පමණයි.''


උපස්ථායක මේ පැහැදිලි කිරීම අසා සිට අතුරු ප්‍රශ්නයක් නැඟුවේය.
''ස්වාමීනි නමුත් හුවාන් යින් කිසිම දැනුමක් නැති අකුරක් වත් දන්නේ නැති මෝඩයෙක්.ඔහු මේ දේ ඔබතුමා කියූ ආකාරයටම අවබෝධ කරගෙන පිළිතුරු සැපයූවා කියා දන්නේ කෙසේද?''


භික්ෂුව හඬ නඟා සිනාසුණි..

''සන්කේත සටහන් කිරීමට අවශ්‍ය අවසාදිත පාෂාණය ඔහු මුලදීම වීසි කර දැමුවා..ඔවු පාෂාණය වීසිකළා''


(දෙවෙනි කතාව මෙතැනින්) 

Sunday, May 1, 2016

Friendzone theory


ෆ්‍රන්ඩ්සෝන් වීම ගැන සයිමාගේ පරීක්ෂණ..
 

(රැන්ඩම් කෙල්ලක් හා කොල්ලෙක්)

කෙල්ලන්ගේ සිතේ ''තරු කුමරෙක්'' සිටී.තරු කුමරා සොයද්දී රැන්ඩම් කොල්ලා හමුවේ.රැන්ඩම් කොල්ලා ප්‍රියමනාප,යහපත්,බලාපොරොත්තු සහිතව ඉන්නවා කෙල්ලට දැනේ....


කොල්ලාට 'ගුඩ් ප්‍රෙන්ඩ්ස්' කියා කියයි.කොල්ලාව සම්පූර්ණෙන්ම ප්‍රතික්ෂේප නොකරන අතර ලාවට එන්කරේජ් කරයි..නමුත් පැහැදිලිවම 'ලව්' සීන් එකක් නොකියයි.


මෙය කොල්ලකු ෆ්‍රෙන්ඩ්සෝන් එකට ඇතුළු වීම ලෙස හැඳිවිය හැක.
ඉන් පසු පහත දැක්වෙන විකල්ප විය හැක.


1)කෙල්ලට 'තරු කුමරෙක්' සෙට් වේ.කොල්ලාට අබසරණයි.සමහරවිට බජට් මඟුලක් නම් ඔහුට ඇරයුම් නොලැබේ.
2)කෙල්ලට 'තරු කුමරා' සෙට් නොවේ.කෙල්ල කල වයස ආවිට තම ෆ්‍රෙන්ඩ්සෝන් එක පිරික්සා බලයි.
අ )ඔබ ෆ්‍රෙන්ඩ්සෝන් ලැයිස්තුවේ ඉහලින්ම ඉන්නවානම් ඔබට චාන්ස් ඇත.
ආ )ඔබ ෆ්‍රෙන්ඩ්සෝන් එකේ පහළින් ඉන්නවානන් ඔබේ ඉරණම 1) යටතට අයත් වේ.

(පරීක්ෂණය අතරතුර මෙම ෆ්‍රෙන්ඩ්සෝන් යනු පීමේල් ඩයින්මික්ස් යටතට වැටෙන බවත්,සිතා මතා කරන දෙයක් නොව ස්වභාවික ක්‍රියාවක් බවත් සාදාරණ උපකල්පන වලට එළැඹුණු වග සලකන්න )