Wednesday, October 19, 2016

තරඟය

ඉස්සර කාලයක කෝමුර් කියල රාජධානියක කාසීර් කියල රජතුමෙක් හිටියා.මේ රජතුමාගේ මාලිගාව තිබුනේ නගරයෙන් පොඩ්ඩක් ඈතකට වෙන්න ගල් පර්වතයක් පාමුල තිබුණි බලකොටුවක් මැද.ඉතින් මේ රජතුමා දැන් ටිකක් වයසයි.ඔහු දවසක් උදෑසනක මාලිගාවේ 11 වෙනි තට්ටුවේ තිබුණු තමන්ගේ සිරි යහන් ගබඩාවේ ඉඳල ජනේලෙන් ඈත පේන නගරය දිහා බලාගෙන බර කල්පනාවක යෙදිලා හිටියා.


+ + +


එදා උදේ නගරයට පණිවිඩ කාරයෙක් ආව.ඇවිල්ල දිග ලෝගු ඇඳගෙන හිටපු රැස් කකා මිනිස්සු හිටපු මාකට් එකට ඇවිල්ල මෙහෙම කිව්වා.


''කොමුර් වැසියනි.මේ රජතුමාගේ පණිවිඩයට සවන් දෙන්න.
අපේ කාරුණික සහ නුවණැති පාලක කාසීර් රජතුමා ඔබ සියලුදෙනා වෙනුවෙන් තෑග්ගක් දීමට කල්පනා කර ඇත.


හෙට දිනයේදී රාජ භෝජනයක් වන 'කම්ශිර්' නම් මිහිරැති කැවිල්ල නගරයේ සියලුම පුරවැසියන් සඳහා ලබාදීමට එතුමා නියෝග කර ඇත.
හෙට උදෑසන හිරු එලිය වැටෙන මොහොතේ සිට මේ කැවිල්ල සියලු නගරවාසීන් එක අයෙකුට එක බැගින් බෙදාදීම ඇරඹෙනවා ඇත.
මුලින්ම එන අයට ලොකු කැවිලිත් පසුව එන අයට එන්න එන්නම කුඩාවන කැවිලි ලැබෙන බැවින් කරුණාකර උදෑසනම පැමිණ පෝලිමේ හිඳින්න.ස්තුතියි.''



හැමෝම රජතුමාගේ පණිවිඩයක් කිව්ව නිසා සැලකිල්ලෙන් අහන් හිටියා.ඇත්තෙන්ම මේ කම්ශිර් කියන කැවිල්ල හදන්නේ මාලිගාවේ කුස්සියේ විතරමයි.මේක ගොඩක් රසවත් කියල නගර වැසියෝ අහල තිබ්බට මේක රහ බලපු එක්කෙනෙක් නගරයේ හිටියේ නැහැ.ඉතින් දැන් හැමෝටම ගොඩක් සතුටුයි.එදා නගර වැසියෝ ඔක්කොම වගේ කලින් නිදාගන්න ගියේ උදේම නැගිටලා මේ කැවිල්ල ගන්න පෝලිමට එන්න හිතාගෙන.


+ + +


ඉර පායන්නත් කලින්ම එක්කෙනා දෙන්න පෝලිමට ඇවිල්ල රාජ මාලිගාවේ ගේට්ටුව ඉස්සරහ පෝලිමක් හදාගන්න පටන් ගත්තා.ඉර පායන්න කිට්ටු වෙලා අහස රතු පාට වීගෙන එනකොට මේ පෝලිම සෑහෙන්න දික් වෙලා තිබුනා.මේ පෝලිමේ හිටියා බාල,මහලු,තරුණ පිරිමි සහ ගැහැණු සෑහෙන පිරිසක්.නගරයේ ඉන්න අයගෙන් ඇවිදින්න පුළුවන් කමක් තිබ්බ හැමෝම මෙතනට රැස් වෙලා හිටියා.ඉතින් ඉර පායන්න පටන් ගත්තට පස්සේ රාජ මාලිගාවේ ලොකු ගේට්ටුව ඇරිලා මේ කම්ශිර් රස කැවිල්ල පුරවපු කරත්ත එලියට එන්න පටන් ගත්තා.


මුලින්ම මේ රසකැවිල්ල ගන්න පුළුවන් වුණේ නාසීර් කියල අවුරුදු 10ක කොලු ගැටයෙක්ට.ඔහුට හම්බුනේ පිඟානක් තරම් ලොකු රසකැවිල්ලක්.ඉතින් මෙහෙම එක එක්කෙනා තමන්ට හිමි කැවිල්ල අරන් යනකොට දැක්ක දෙයක් තමයි මේ රසකැවිල්ල එන්න එන්නම කුඩා වෙන බව.සමහර විට පෝලිමේ අන්තිම හරියට යනකොට එතන ඉන්න අයට ලැබෙන්නේ පොඩි පිරිසියක් තරම් ලොකු කැවිල්ලක් වෙන්න පුළුවන්.
මෙන්න මේ වැඩේ යනකොට තමා ජානුන් කියන තරුණයා පෝලිමට ආවේ.පෝලිමේ ඉස්සරහම හිටපු කට්ටිය ඔහුට හිනාවෙන්න ගත්ත.මොකද ඔවුන් දන්නවා ජානුන්ට ලැබෙන්න යන්නේ පොඩිම පොඩි රසකැවිල්ලක් කියල.'කම්මැලියෙක්,පල් මෝඩයෙක්' ඔවුන් එකෙනෙකාට කොඳුරාගත්ත.නමුත් මේ කවුරුත් දැනගෙන හිටියේ නැති කාරණාව තමා ජානුන් උදේම නැගිටලා ලිඳෙන් වතුර ඇදල,තමන්ගේ අසනීප වෙලා හිටපු අම්මට ඒ වතුර නාන්න උණු කරලා ලැස්ති කලාට පස්සේ මේ පෝලිමට ආව බව.ඉතින් ජානුන් පෝලිමේ අන්තිමට ගිහින් හිටගත්තා.


ඔහොම ටිකක් වෙලා යද්දී එක දුවිලි වැදුණු දිග ලෝගුවක් ඇඳගත්ත වකුටු වුනු මහල්ලෙක් ඇවිල්ල පෝලිමේ ඉස්සරහ හිටපු කිපදෙනෙක්ගෙන් ඇහුව එයා ගොඩක් වයසක නිසා පෝලිමට එකතු වෙන්න දෙනවද කියල.නමුත් කවුරුත් කැමති වුනේ නැහැ.මෙහෙම තැනක් හොයාගෙන හොයාගෙන ආවට කවුරුවත් ඔහුට අවස්තාවක් දෙන්නේ නැහැ කියල තේරුණු නිසා වකුටු මහල්ලා කොඳුර කොඳුරා ඇවිත් පෝලිමේ ජානුන්ට පිටිපස්සෙන් හිටගත්තා.ඔහුව දැකල ගොඩක් අනුකම්පාවක් හිතුනු ජානුන් ඔහුට තමන් හිටපු තැනට එන්න දීලා වකුටු මහල්ලාට පස්සෙන් හිටගත්තා.


දවල් ඉර මුදුන් වෙන්න කිට්ටු වෙනකොට තමා මහල්ලා සහ ජානුන්ට රසකැවිලි කරත්ත ගාවට යන්න පුළුවන් වුනේ.ඉතින් ඔවුන්ට ලැබුනේ පොඩි පිරිසි බාගයක් තරම් ලොකු රසකැවිලි.ජානුන් තමන්ගේ අම්මටත් එකක් ඉල්ලුවා.ඒත් රාජ පුරුෂයෝ කිව්වේ රසකැවිලි දෙන්නේ පෝලිමේ එන අයට විතරයි කියල.සුසුමක් හෙලපු ජානුන් තමන්ගේ රසකැවිල්ල ඔතල ලෝගුව අස්සෙන් දාගත්ත.ඊට පස්සේ ගෙදර ගියා.

ජානුන්ගේ අම්මට ටිකක් හොද වෙලා තිබ්බ.ඇය ඇදෙන් නැගිටලා දහවලට උයන්න ලැස්ති වෙමින් හිටියේ.ඉතින් ජානුන් තමන් ඉතුරු කරගත්ත කම්ශිර් කෑල්ල අම්මට දුන්න.අම්ම ඇහුවේ මුලින්ම 'එතකොට පුතාට?' කියලයි.


ජානුන් අම්මට බොරුවක් කිව්වා 'මම එතනදීම මගේ කොටස කෑවා අම්මේ... පුදුම රසක් තිබ්බේ.' කියල.

මේ අතර ඔවුන්ගේ දොරෙන් සද්දයක් එන්න ගත්ත.කවුරුහරි කොටුවකින් තට්ටු කරනවා වගේ.
'ටොක්,ටොක්.ටොක්'



ජානුන් දොර ඇරලා බැලුව.තට්ටු කරලා තියෙන්නේ ඔහු විසින් ඉඩ ලබා දුන්නු වකුටු මහල්ලා.ඔහුගේ හැරමිටියෙන්.මහල්ලා ඉතින් මෙහෙම කිව්වා.


'ජානුන්.නුඹ මට ඉඩ දීලා,පැය ගණනක් ඉඳල ගත්ත රස කැවිල්ල ගෙදර ඇවිත් අම්මට දුන්න නේද කිසිම කණගාටුවක් හෝ පසුතැවීමක් නැතුවම?'

මේක අහපු ජානුන්ගේ අම්ම දොස් කිව්වා ජානුන්ට.ඇයට බොරු කිව්වා කියල නැත්තන් ජානුන්ට කොටසක් දෙන්න තිබ්බ නිසා.

ඒත් අර වකුටු මහල්ලා හිනා වෙලා මෙහෙම කිව්වා.හිතාගන්න බැරි තරම් ප්‍රතාපවත් හඬකින්

'ජානුන්..සුභ පැතුම්.නුඹ තරඟය ජයග්‍රහණය කළා.'

ජානුන්ට පුදුමයි.ඉතින් අර මහල්ලා තමාගේ දුවිලි වැකුණු ලෝගුව,බොරු සුදු රැවුල ගලවලා කෙලින් හිටගත්තා.ජානුන් ඔහු කවුද කියල වටහාගත්තේ එතකොට.

'දෙවියනේ...කාසීර් රජතුමා' ජානුන් සහ ඔහුගේ මව එකපාරටම දණින් වැටිලා බිම බලාගත්ත.
කාසීර් රජතුමා ඊට පස්සේ කතාකලා.

'ජානුන් සහ ජානුන්ගේ මව.දෙදෙනාම නැඟී සිටින්න.මෙය ලොකු තරඟයක පළමු අදියර පමණයි.'



-මතු සම්බන්ධයි-

Thursday, October 6, 2016

බෝධි චිත්තය

කාශ්‍යප බුදුන්ගේ පිරිනිවීමෙන් පසුව සහස්‍ර දෙකක් පමණ ගියවිට මුළු ලෝ තළයෙන්ම උන්වහන්සේගේ ධර්මය අතුරුදහන් වී ගියේය.නැවතත් අංග ධර්මය බලවත් විය.මේ කාලයේදී උසස් ගුණදම් හා පාරමිතා පිරූවන් ජන සන්නිපාතයෙන් ඈත්ව හුදෙකලාව තම පුර්ණයන්හි අභිමතාකාරයෙන් යෙදෙමින් සිටියහ.

මේ අතර ගෞතම බුද්ධෝප්පත්තියෙන් එක සියක් හත් බුද්ධාන්තරයකට පසු ලොව්තුරා බුද්ධත්වයට සුමන බුදුන්ගෙන් නියත විවරණ ලැබ ආපසු නොහැරෙන මාර්ගයට පිළිපන් ඝෝසාල නම් බෝධිසත්ත්වවරයෙක් අත්හැර දමා ගිය සොහොනක දස පාරමිතා,උප පාරමිතා හා පරමත්ථ පාරමිතා පූරණය කරමින් සිටියේය.හෙතෙම යැපුණේ වනයෙන් ලැබෙන පල,අල වර්ග යන්තමින් තම්බා ආහාරයට ගැනීමෙනි.දිනක් දඩයමේ ගොස් වල් අලි රෑනක් කඩා වැදීම නිසා සහචරයින් සමඟ පලායාමේදී අසු පිටින් වැටි,පාදයක මඳ තැලුමක් ඇතිකරගත් රජු විසින් වනාන්තරයේ හා ග්‍රාමයේ කෙලවර වූ සොහොන කරා එළඹෙන ලදී.

හෙතෙම සොහොනේ මැද තිබූ බෝධිසත්ත්වවරයා විසූ අතුපැල දෙස බලා සා පිපාසාව බැවින් බිමට පැන් පොදක් සොයා එය කරා ඇදෙන්නට විය.ඔහු ගරාවැටුණු ගේට්ටුව පසුකළා පමණි යමක පා පැටලුනු වගක් දැනුනි.

''ඌහ්''
 ලෙස කෙඳිරියක් බිමින් ඇසෙන්නට විය.ඔහු බිම බැලු විට දිරාගිය කඩමාල්ලක් සහ දිරා යන සිරුරක් සහිත ඝෝසාල බෝධිසත්ත්වවරයා දුටුවේය.ඉන් පසු කට කොනක සිනා සහිතව මෙසේ ඇසිය.

''තාපසය...මේ ජනශුන්‍ය සොහොනේ කුමක් කරයිද? තොප තාපසයෙක් අයුරින් වෙස් ගන්වාගත් මළ සොහොන් යකෙක් විය නොහැකිද?''

තමාව මේ අමතන්නේ රජු බව ආභරණ සහ හැඳුමින් හඳුනාගත් බෝධිසත්ත්වය තෙම ක්ෂණයෙන් මොහොතකට සමාධිගතව අනාගතය දැකිය හැකි චක්ඛුව අවදී කර කාරණය පිලිබඳ අවධානය යොමු කළේය.ඔහුගේ මනස තුල ඒ මොහොතේ පටන් කර්මානුරුපිව හා ධර්මානුරුපිව සිදුවීමට නියමිත සිදුවීම් පෙළ ගැසෙමින් තිබුණි.ඔහු ඒවා දෙස පිටස්තරව තුන්වැන්නෙක් ලෙස බලා සිටියේය.

* * *

රජුගේ ප්‍රකාශයට ඔහු පිළිතුරු දෙන ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


''රජතුමනි, මම තාපසයෙක්මි.නමින් ඝෝසාල වෙමි. මළ සොහොන් යකුන්ට වේදනා දැනෙන්නේ නැත.''

තමාව හඳුනාගත් බැවින් මඳ ශන්කාකුල බවක් ආරූඪ කරගත් රජ තෙම මෙසේ විමසිය.
''හඃ.. තොපට වේදනාව දැනෙනවා එසේනම්.තොප සිටින්නේ මා සමඟ දැඩි කෝපයකින් විය යුතුය.''

තාපස තෙම සයනාසනයෙන් මිදී තණගොල්ල මත පර්යන්කයෙන් හිද ගත්තේය.
ඉන්පසු මෙසේ කිවේය.

''නැත රජතුමනි.මම නුඹට තුති පුදමි.''

විශ්මයට පත් රජු මෙසේ කිය.
''තවුසන් මුසා බස් නොකියති.නමුත් තා මේ රජු සමඟ කෙලිමට යන්නේ ඉතා අන්තරාදායක කෙලියකි.තගේ වචනයක් පාසා සැඟවී ගිය උත්ප්‍රාසය වටහා ගැනීමට මට දිසාපාමොක් වරයාගෙන් උගත් ශාස්ත්‍ර අවශ්‍ය නැත.
නොඑසේනම් මිට කරුණු දක්වනු''


තාපස තෙමේ පිළිවදන් දෙන්නට විය.
''එසේ කිසි යටි අරමුණක් අදහස් නොකලෙමි මහරජතුමනි.මම කර්මය නම් නියාම ධර්මය විශ්වාස කරමි.ඒ අනුව නුඹ වහන්සේ මාව මේ ජනශුන්‍ය සොහොනේ පාගන ලද්දේ අහම්බයකින් නොවේ.මෙය මාගේ පෙර අකුසලයකට දඬුවමකි.මම දැන් දඬුවම ලැබූ බැවින් මෙහි විපාක අවසාන වී ඇත.එබැවින් මම නුඹ වහන්සේට ස්තුති කරමි.''

රජු මෙය අසාසිට මඳක් තුෂ්නිම්භූතව සිටියේය.ඉන්පසු රැවුල අතගාමින් ඒ අතට මේ අතට ඇවිදින්නට විය.ඉන්පසු කුරිරු සිනහවක් නංවමින් මෙසේ කියන්නට විය.

''බොහොම අපූරුයි.තොප දන්නවා ඇති අප කර්මය හෝ කුමනාකාරයකවත් ලෝක පාලන ධර්ම පිලිබඳ විශ්වාස නොකරන වග,අණ,නියම,නීති,පිළිපැදීම යන ස්ථම්භ සතර මුලික කරගත් පදනම මත ශ්‍රේෂ්ට රාජ වංශ ගොඩනැඟී ඇත.
ඉදින් මම නුඹට කලේ සුළු උපකාරයක් පමණි.නුඹේ ස්තුති පුර්වක බව මිට වඩා වැඩි වැඩියෙන් ලබා ගෙන බැලීමට මට ආශාවක් උපන්නේය.
සත්‍ය පවසනු තොපට මා ගැන බිඳක හෝ ක්‍රෝධයක් මතුවුයේ නැද්ද?''


තාපස තෙමේ මෙසේ කියා.
''තවුසන් මුසා නොකියන බව නුඹ වහන්සේම කිවේය.මම තවුසෙකි.''


රජු මෙය අසා තාපස කරා එළඹෙන්නට විය.හෙතෙන එන අතරමඟ තම අසිපත කොපුවෙන් එලියට ගත්තේය.එක්බිතිව තාපසවරයාගේ කන් පෙත්තක් අල්ලමින් මෙසේ කීය.

''එසේනම් තාපසය.නුඹේ අයහපත් කර්ම තව දුරටත් නිෂ්ක්‍රිය කිරීමට මම ඉටා ගතිමි.''

වමතේ මහපට හා දබරැඟිල්ලෙන් තවුසාගේ දකුණු කන්පෙත්ත ඇල්ලු රජු විසින් එක වරම සුරතේ තිබු කඩුව ගෙන 'චිරිස්' ගා පසුපසට ඇද්දේය.කන්පෙත්ත බිම වැටුණි.කනේ නෂ්ටාවශේෂය තිබු තැනින් ලේ දහරා ගොස් බිම තිබූ කන්පෙත්ත මත වැටෙන්නට විය.

ඉන්පසු රජු ගුගුරා තාපසයාගෙන් මෙසේ ඇසිය.

''දැන්...නුඹට අශුමාත්රයක හෝ ක්‍රෝධයක් ඇතිවනවා නොවේද?''


තියුණු වේදනාව මධ්‍යයේ තවුසා මෙසේ කියන්න විය.
''නැත රජතුමනි.වේදනාවක් ඇත.ක්‍රෝධයක් නොමැත.ඔබ වහන්සේට යහපතක්ම වේවා''


මෙය ඇසු රජුගේ ක්‍රෝධය පුපුරා හැලුනි.හෙතෙම ඉන්පසේ වම් කන් පෙත්ත,නාසය ද කපා දමා තවුසාගේ මුහුණින් ලේ විහිදෙන ආකාරය හා වේදනාව යටපත් කිරීමට උත්සාහ කරන ඉරියව් දැක සිනාසෙන්නට විය.ඉන්පසු පෙර පරිදිම ප්‍රශ්නය ඇසුවේය.නමුත් තාපස තෙම නැවතත් රජුට යහපතක්ම ප්‍රාර්ථනා කළේය.
වියරු වැටුණු රජු තෙමේ තාපසයාගේ අත්,පා කපා දැමු පසු තවදුරටත් හිඳගත නොහැකි වූ තවුසා බිම වැටි හොත්තේය.දණහිස් හා උරහිස අසලින් තවුසාගේ අධි පීඩන රුධිර නාල වලින් තද රතු පැහැ දීප්තිමත් ලේ එලියට විදින්නට විය.

ඉන්පසු රජු 

''දැන් වත් නුඹට ක්‍රෝධයක් ඇති වනවා නොවේද?'' කියා ඇසිය.

වේදනාව දරාගත නොහැකිව සිහි විසංඥ වෙමින් සිටි තවුසා හිස දෙපසට වැනිය.ඔහුගේ දකුණු කන තිබු තැන කොළ රොඩු ඇලි තිබුණි.

ඉන්පසුව රජ තෙමේ තවුසා අසලට ගොස් දණ ගසා තම අසිපත් තුඩින් ඇන දෑස් අන්ධ කර දැමිය.තවුසා සිහිසුන් විය.

අහස එක්වරම අඳුරු පැහැ ගන්නට විය.කළු වලාවකින් පිපුරු හෙනයක් රජු අසලම තිබු නුග ගසකට වැදුනි.හෙතෙම බිය පත්ව සුසානයෙන් පිටත් වීමට දුවන්නට විය.රජුගේ බර අඩිය එක් පස් බුරුල් වී ගිය සුසානයක් උඩින් පතිත විය.හෙතෙම සිතීමටත් පෙර ඒ සුසානය ඇතුලට ගිලී යන්නට විය.අවිචියේ දැල් රජු පිළිගැනීමට පොරොත්තුවෙන් ඉන්නා ලදී..

* * *
බෝසත් තවුසා තම අනාගත චක්ඛු දර්ශනය එතකින් අවසන් කළේය.හොරා කිහිපයක් ගිය මේ දර්ශන දැක අවසන් කිරීමට ඔහුට වැයවූයේ තත්පර කිහිපයක් පමණි.හෙතෙම අවිචියේ ඇති අනන්ත දුක් කරදර ගැන හොඳින් වැටහීමක් තිබු බැවින් රජු කරගැනීමට යන මහා පාපකර්මයෙන් නිදහස් කරගැනීමට සිතුවේය.
හෙතෙම රජු පෑගු පසු නොසරුප් වදන් කියමින්,පෑගු පුද්ගලයාට ශාප කරමින් නැඟී සිටයේය.රජුට සිනහ පහල විය.හෙතෙම
 ''විකාර රූපී මහල්ල, මේ වනසිමාවෙන් ඔබ්බේ ළඟම ඇති ගම්මානයට යාමට මා හට මං සලකුණු කියව'' 
කියා බෝසත් තවුසාගෙන් විමසා සිටියේය.

Tuesday, September 27, 2016

කවියෝ!

ගහකොළට සතා
සීපාවන්ට ආදරේ
සී සෑ පොළව දෙස
සොම්නසින් බලන
කවියන් සිටී
අකුරු නූගත්


දළ රළ මත නඟින
නිල් කතරක සිරව
හිරු නඟින ආකාරය
සම්පූර්ණ දේදුණු
වශීකෘතව බලන
කවියන් සිටී
කිසිවක් නොලියූ

මිනිසුන් ගැන කලකිරී
නැතිනන් හොඳින් වටහාගෙන
ගල් ගුහාවල
අඳුරු වන පෙත්වල
තනිවූ
විශාදයෙන් හෝ
යථාවබෝධයෙන් පෙළෙන
කවියන් සිටී
ලියන්නට උවමනා නැතී!

Saturday, September 24, 2016

ස්කොට්ලන්තයේ ජාතික සත්වයා

මමයි අන්තිමේට ඉතුරු වුණේ.අනික් ඔක්කොම මැරුණා..එක එක කාලවල..ඒත් මගේ වර්ගයා මැස්සො වගේ මැරිලා යන්න පටන් ගත්තේ අඳුරු යුගයේදී මායාකාරියන් අතින්.අපේ අං වල තිබ්බ මායා බලයට ආසාවෙන්...අහු වුණු අයව.... මරල දැම්ම.මායාකාරියෝ...කඟවේන අං අඳුරු මායාවලට යොදාගත්තා.

මම මේ ලොකෙට ආවේ කොහොමද කියන එක මට දැන් අමතකයි.ඒක එච්චර ලොකු කාලයක්.ඒත් දන්න කියන දවසක ඉඳන්මම මම තනියම හිටියේ.මිනිස්සු කවුරුවත් නැති සත්තු විතරක් හිටපු විල්,කඳු ගංගා පිරුණු නිල් මිටියාවතක.එක ගිම්හානයක තමයි මට මගේ වෙනස තේරුණේ.ඉර එළිය මගේ අඟේ වැඩිලා දේදුන්නක් විදිහට පරාවර්තන වෙද්දි...මම හුලඟ උඩට නැංගා.ඉර එළිය තියන ඕනේ වෙලාවක මට ඒ සැහැල්ලුවත් එක්කම අහසට නගින්න පුළුවන් වුණා එදායින් පස්සේ...

තරුණ කාලෙදි තමා මට මුලින්මම පියාසැරියකදි මගේ වර්ගයේ තව කෙනෙක්ව හම්බුණේ.එතකොට තමා මම දැනගත්තේ මම විශේෂිත කෙනෙක් නෙවේ අතරමං වුණු තවත් එක පරාණයක් විතරයි කියලා. පළවෙනි වතාවට මගේ අදහස් තව කෙනෙක් එක්ක චිත්ත සංවාදයක් විදිහට බෙදාගන්න ඉගෙන ගත්තේ එදා...ඒ වගේම මට මගේ වර්ගයා ගැන තිබ්බ ප්‍රශ්න ගොඩක් එදා නිරාකරණය වුණා.මායාකාරියෝ බලවත් වුණු අඳුරු යුගය ඊට පස්සෙ පටන්ගත්තා...ඊට පස්සෙ උගුල් අටවලා,පළිඟු බෝල වලින් අන්ජනම් බලලා අපේ වර්ගයා හොයන්න පටන් ගත්තා.හොඳ වෙලාවට මායාකාරියන් විනාශ කරන්න නයිට්වරුන්ට රජුගේ අණ ලැබුණු නිසා අතලොස්සක් බේරුණා.ඒත් ඒ අයත් මැරිල ගියා වයස්ගතබව නිසාම පස්සෙ කාලෙක.

ස්වාභාවික මරණයට අභියෝග කරන්න පුළුවන් විශේෂ කඟවේනෙක්ට විතරයි.මොකද ඒක ඉතාම දුශ්කර ක්‍රියාවක් නිසා.වයස්ගත වෙලා මැරෙන්න යනව කියල තේරෙද්දි ගල්පර්වතයකට ගිහින් මායා අඟ සම්පූර්ණෙන් ගෙවිල යනකල් ගලේ අතුල්ලන්න ඕනේ.එතකොට මායා බලය නැතිවෙලා යනවා.හෙල්ලෙන්නවත් ශක්තියක් එන්නේ නෑ.සති ගාණක් වැතිරිලා ඉන්න ඕනේ.මැරුණනම් හොඳයි කියල හිතෙන තරම් දුකක් ඒක.ඒත් 21 වෙනි දවසේ දැනෙනවා ආයෙත් මායා බලය වැඩෙන්න අරන් අඟ හෙමීට හෙමීට දික්වෙන්න පටන් ගන්න එක.

ඉතින් දැන් මගෙ වයස්ගත වීම නිසා මම මේ ප්‍රතිකර්මය ආයිත් කරගන්න යන්නේ.අවුරුදු 300කින් පස්සේ.මගේ වර්ගයාගෙන් ඉතුරු වුණේ මම විතරක්ම වුණාට මම එහෙම ලේසියෙන් ජීවිතේ අතාරින්නේ නෑ...ඔවු එහෙනන් මම දැන්මම වැඩේ පටන් ගන්නවා.



*****



දොස්තරවරයා කැමරා මොනිටරය මඟින් රෝගියාගේ කාමරය නිරීක්ෂණය කළේය.ඉන් පසු පටිගතකිරීමක් ඇරඹීය.

"දිනය 24-12-2014 වේලාව 1615,මම දොස්තර ග්‍රැහැම් එරික්සන්, ඩාට්මුවර් රෝහල ස්කොට්ලන්තය,පරීක්ෂණ අංක 66,රොජර් වොලස් රෝගියා.. මම අපේක්ෂාකළ පරිදිම ඔහු කලින් වතාවන්වල මාසිකව කරපු දෙයම ඒ වේලාවටම අද දිනයේත් කරමින් සිටිනවා .ඔහු තම හිස බිත්තියේ අතුල්ලනවා... සෙමෙන් රිද්මයානුකූලව...තව විනාඩි කිහිපයක් යනතුරු නිරීක්ෂණය කර සාත්තු සේවකයින් කැඳවීමට අපේක්ෂා කරනවා.දැනට එපමණයි"

'ටුක්' යන හඬින් පටිගත කිරීම නැවතුණි..


Friday, September 23, 2016

(සමාන්තර විශ්වයකින් ලැබුනු ලේඛණයක් ඇසුරින්)

පාරුවේ එගොඩ යමින් සිටි කච්ඡපුට හට සේරිවාණිජ හොඳින් දර්ශනය විය.ඔහු මෙසේ සිතන්නට විය. 

"මොහුගේ වත වස්තු ලෝභයෙන් විරූපී ගොසිනි.කලින් නියම කරගත් ආකාරයට නොව වෙලඳාමක් නොවූ නිසා මොහුගිය ප්‍රදේශයට මා විසින් යාම නිසා මේ අකරතැබ්බය මොහුට විය.නමුත් මේසා වන්චාවක් කිරීම ගැන සමාවක් නොදිය යුතුය.මේ ආකාරයෙන් සිටියහොත් රන්තළිය පිලිබඳ ලෝභයෙන් මොහු ළය පැලී මිය යනු නිසැකය."

 ඉක්බිතිව ඔහු පාරුව නැවත්ත් මෙගොඩ පදින ලෙස තොටියාට නියම කලේය....සේරිවාණිජ ඔරුව ගන් තෙරට ලඟාවනතුරු සිටියේ නොඉවසිල්ලෙනි.හෙතෙම කච්ඡපුට හට නොසරුප් වදන් කියා කඩාපැනීමට සූදානම් විය.නමුත් කච්ඡපුට ඔහු වලකා මෙසේ කීවේය. 

"සබඳ, දුක්පතුන් වූ සිටු පවුලට තොප කල ක්‍රියාව අධමය.මාහට මේ තළිය රැගෙන යාමට අපමණ අවකාශ තිබුනත් තොපගේ ජීවිතය සලකා එසේ නොකලෙමි.නමුත් මෙය තොප හට දීමද කල නොහැක මාගේ සියලුම මුදල්ද කදා වළලුද ඔවුනට දුනිමි.අප නගරයට ගිය වහාම මෙය විකුණමු.මිලෙන් අඩක් මාගේය ඉතිරිය තොපගේය.නමුත් මින් ඉදිරියට මෙවැනි දීන ක්‍රියා නොලක යුතුය." 

ලැජ්ජාවෙන් හිස බිමට හැරවූ සේරිවාණිජ එකඟත්වය පල කලේය.ඔවුන් දෙදෙනාම පාරුවට නංවාගත් තොටියා එගොඩට යාම ආරම්භ කලේය.

Tuesday, September 20, 2016

මනමේ අතුරු කතාවක්...

ද්වන්දව යුද්ධය ආරම්භ කිරීමට පෙර මනමේ කුමරු තම කුමාරිකාවට අවසාන වතාවට කතාකිරීමට වැදී රජුගෙන් අවසර ගත්තේය.මනමේ කුමරිය සිටියේ සා දෙනක් මෙන් බියෙන් තැති ගනිමිනි.වැදී රජුට නොඇසෙන මානයකට පැමිණි මනමේ කුමරු මෙසේ කුමරිය ඇමතීය.

'සොඳුර බිය නොවනු.ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ මමය.මම මෙහි වගකීම හා දඬුවම සම්පුර්ණයෙන්ම භාර ගනිමි.

ඇත්ත වශයෙන්ම මාහට නුඹ හා ප්‍රේමයෙන් බැඳී අවුරුදු ගණනක් හිඳ නුඹත් සමඟ වියපත් වීමට මට ආශාවක් තිබුණි.නමුත් නිසි මඟ යාම වෙනුවට අන්තරායක් දැන දැනම නුඹව මේ වනය හරහා රැගෙන ඒමට තරම් මම මුග්ධ වූයෙමි.


රාජාදී රාජගුරුන්ගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරු තුම ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගෙන කෙල පැමිණි මාහට මූව එක් අතක් පමණක් වුව භාවිතයෙන් මෙල්ල කල හැක.නමුත් කාරණය එය නොවෙයි...

මූ මරා දැමුවහොත් බොහෝ දුරක් විදිහෙන මේ කැලයේ පිරි ඉන්නා මූගේ ගෝත්‍රික සේනාව අප අල්ලා ගන්නවා නිසැකය.මට වධ දී අත්,පා වෙන්කර අවසානයේ සිව් කඩකට පලා මාව මේ වනයේ මායිම් සතරේ එල්වනු ඇත.

නුඹව මුන් එකිනෙකා විසින් දුෂණය කර මාස ගණනක් තිස්සේ සිර කුඩුවකට දමා මනදොල සපිරිමටම පමණක් වහලියක් මෙන් භාවිතා කරනු ඇත.නුඹ අනන්ත පිඩා ඉවසාගත නොහැකිව වැහැරී ගිය විට මුන් නුඹව පණපිටින්ම මාංශ භක්ෂක සත්වයින්ට ආහාරය පිණිස දමා අත් හැර දමා යනු ඇත.

දැන් හොඳින් මෙය අසාගන්න...මම මූ මල්ලව පොරයෙන් පරදවමි.
ඉන්පසු මාගේ අසිපත ඉල්ලා සිටිමි.නුඹ එය මට නොදිය යුතුය.
නැතිනම් මා වෙනුවට අසිපත වැදී රජුට පෑ යුතුය.ඒ ආකාරයෙන් නුඹට නුඹේ දුක්ඛදායක ඉරණමින් මඳ වෙලාවකට හෝ අත්මිදිය හැක.නුඹට වැදී රජු විසින් අභය දානය දී නිසි සත්කාර දක්වනු ඇත.ලැබෙන අවස්ථාව ගෙන පලායාමට උත්සාහ දරන්න.


නැතිනම් මාගේ මරණය පිලිබඳ පුවත දැනගත් වහාම පියරජු විසින් මේ වැද්දන් එකා බැගින් ගෙන උන්ගේ හිස් ගසා දමා ඒ හිස් වලින් පවුරු ප්‍රාකාරයේ ඇති උල් වැට සරසනු ඇත.එතෙක් ඉවසන්න.
දැන් මඳක් සමීපයට එන්න.නුඹට දිය යුතු අවසාන චුම්භනය මම නුඹේ කැළැල් නැති අඩ සඳක් මෙන් වූ නළල් තලය මත තබමි...''



Monday, September 19, 2016

...

එවකට මම
කුරුලෑවක් ගැනත්
දින ගණන් ලතවුණෙමි
කාලය ගෙවී ගියේය

සෘතු වෙනස් විය
වසන්තයන් පැමිණ යන්නට විය


නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය


නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි


පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.

Saturday, September 17, 2016

.......

විරහව දරාගන්නට
බැරි ඉඳහිටක
සයුර පැමිණෙයි
ගොඩබිමට

Thursday, September 15, 2016

ඒකාත්මික

දැනෙනවද නුඹ හට
ඇවිද ගිය බව අප එකට
කල්ප ගණනකට පෙර
මේ ලොව උපන් දා සිටම


හමන මේ මඳ සුළඟ
මත අපේ සුසුමන් නැතිද


සිටින මේ පස මතට
අප පස් වී ගොස් නැතිද

ගලන මේ දිය මතින්
අප ලෙය ගලාගොස් නැතිද


ආදරය කරමි
මේ මහා ලෝකයට
නුඹ සහ මම
ඉන්නා බැවින්
හැමතැනම....




Friday, September 9, 2016

කතා දෙකක්...

පළමු කතාව-

                              කුඩයක්

(කළු පාට කුඩලවට
විතරක් කැමති මම
මල් මල් කුඩයකට
නතු වුනු අපූරුව)


දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..

"ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"


ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...
 
"Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa. :( ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."

ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.

"dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana! ;) . "

හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..

"ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"


මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!

මගේ කුඩ රාජයා...


මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...

"Mama kudayak newe... MANUSSAYEK!!"

+++++++++++++++++++++++++++++++++++



දෙවෙනි කතාව

පරඬැල්
මම එච්චරම tough කෙල්ලෙක් නෙවේ ඒ දවස්වල.

මගේ පලවෙනි affair එක break up වුනේ දැන් මාස දෙක තුනකට කලින්.හරියටම කියනවනම් මාස 2යි දවස් 18ක්.ඇත්තටම මට ඒ shock එක දරාගන්න අමාරු වුණා.කොච්චරම දරාගන්න අමාරුවුනාද කියනවනම් මම train එකෙන් වැඩට එන එක පවා අත් හැරියා.මොකද මට එයා හම්බුනේ දවසක් උදයක train එකේ වැඩට යනකොට.අපි දෙන්නගේ relationship එක පටන් ගත්තට පස්සේ එයා හැමදාම මම එනකල් station එකට වෙලා ඉන්නවා.මම සාමාන්‍යයෙන් ටිකක් late තමා වැඩ කරන්නේ.ඉතින් ගොඩක් දවස්වල බැණුම්.

break up එකෙන් පස්සේ දවසේ මම station එකට ඇවිත් ticket counter එකේ පෝලිමේ ඉන්නකොට මට දරාගන්න අමාරුවෙලා ඇස් වලින් කඳුළු වැක් කෙරෙන්න ගත්ත.මතක සටහන්...ගොඩක්.....මම ටිකක් oversensitive.ටිකක් නෙවේ...සෑහෙන්න.ඉතින් මම පැත්තකට ගිහින් bench එකක වාඩිවෙලා මගේම උකුලේ ඔලුව තියාගෙන,අත් වලින් මූන වහගෙන හොඳටම අඬන්න ගත්තා.මම දන්නේ නෑ මිනිස්සු මම ගැන මොනවා හිතුවද කියල.ඇත්තටම මට ඒක වැඩකට ඇති දේකුත් නෙවේ.ඉතින් මම එදා වැඩට ගියේ නැහැ.
මම ඊට පස්සේ හිතාගත්ත ආයේ කවදාවත් seriously love කරන්නේනම් නැහැ කියල.එයා මාව දාල ගියේ මම ජිවිතේ කොච්චර දුක් වින්දද,මගේ ජිවිතේ කොච්චර ප්‍රශ්න තියනවද කියන එක හොඳටම දැන දැනමයි.අනික් එක එයයි පස්සෙන් ඇවිල්ල මගේ ඇඟේ එල්ලුනේ.කොහොම වුනත් ඌට ආයේ මගෙන්නම් සමාවක් නැහැ.
මම මෙහෙම moody වෙලා ඉන්න කාලේ තමා කවි ලියන්න ගත්තේ.බස් එකේ යන එන වෙලාවල,කරගන්න දෙයක් නැති වෙලාවක මොකක් හරි phone එකෙන් type කරනවා.හෙලකුරු නිසා වැඩේ තව ලේසියි.ඉතින් මම මේ ලියන දේවල් FB එකේ ගෘප් එකක පෝස්ට් කරන්න පටන් ගත්ත.දවසක් මට inbox එකට message එකක් ඇවිල්ල තිබ්බ.ඒක පටන් අරන් තිබ්බේ මම ලිව්ව කවියකින්මයි.

තවත් නැහැ
වසන්තය කොලපාට
මෙතැන් සිට
ග්‍රීෂ්මය
කොළ හැලෙන
කහ පාට
wow nangi.meka oyama liwwa ekakda?


මට ඉතින් ටිකක් තද වුණා.සාමාන්‍යයෙන් reply කරන්නේ නැහැ මම නොදන්න කට්ටිය message කරපුවාම.ඒත් මට ආව තරහටම මම reply කළා.

No. It was written by my granny.. Got a prob??

ටික වෙලාවකට රිප්ලයි නැහැ.මම ඊට පස්සේ message කරපු එකාගේ profile එකට ගියා.එතකොට දැක්කේ.එයා ටිකක් ප්‍රසිද්ධ,නම මතක හිටින,හොඳ කවි ලියන එක්කෙනෙක්.අයියෝ.. අපරාදේ...දැන් ඉතින් මොනවා කරන්නද.එතකොටම reply එකක් ආව..

Ane sorry nangi.mage waradda.anyway mama mara kamathiy oya awankawama raw emotions liyana eka.mokada ohoma liyana kello aduyi.so keep it up.. Bye..TC.

මට තේරෙනව මෙයාට ඕනෙනම් මාත් එක්ක කඩ්ඩෙන්ම කතාකරන්න තිබ්බ.ඒත් එයාට මාව එහෙම impress කරන්න උවමනාවක් නැහැ වගේ.මම කරපු වැඩේ දෙපාරක් හිතන්නේ නැතුව request එකක් යැව්ව එක.ඔන්න ඔහොමයි මට ඒ 'අයියව' හම්බවුණේ.හැබැයි එයා මගේ request එක accept කරන්න දවස් 3ක් ගත්ත.මට එයාගේ photos බලාගන්න පුළුවන් වුනේ ඊට පස්සේ. shape කොල්ලෙක් කියල හිතුනේ දැක්ක ගමන්ම.එයා මට පස්සේ කාලෙක කිව්වා දවස් 3ක් ගත්තේ මම ක්ෂණික තීරණයක් ගත්ත නිසා මට ඒක වෙනස් කරගන්න වුනොත් ඒකට අවස්තාව දෙන්න කියල..පවු අප්පා...හිනත් යනවා වෙලාවකට එයා කියන දේවල් වලට.කතාකරන්නේ නියම සිංහලෙන් සමහරවෙලාවට.උදේ මම GM ayye කියල දැම්මොත් reply එවන්නේ subha udasanak nagaa කියල.මට ඉතින් ඇදේම ඉඳගෙන හිනා යනවා.

පුදුම කොල්ලෙක්.අපි ඉතින් වරු ගණන් over the phone කතාකරන්න ගත්ත පස්සේ.එයා ගොඩක් වෙලාවට කරන්නේ අහගෙන ඉන්න එක විතරයි.මම තමා කතාව ඉතින්.


එයා training accountant කෙනෙක්.හැබැයි මාර දැනුමක් තිබ්බ language එක සහ creative writing ගැන.ඉතින් මමත් වැඩ කරන්නේ පත්තරේක නිසා මම එයාට එක එක දේවල් යවනවා 'ane ayye meka poddak balanna' කියලා.එයා ඉතින් වෙලාව කොහොමහරි adjust කරගෙන පුළුවන් ඉක්මනට එයාගේ suggestion එක මට දෙනවා.

එදා කාලෙකට පස්සේ උදේ ඉඳලම වහින්න ගත්ත.සැරට.මම ගෙදරින් එලියට බැස්සේ ටිකක් වෙලා ගිහින්.ගිය ගමන්ම features editor ගෙන් බැණුම්.එයා මගෙන් බලාපොරොත්තු වුනාලු ලංකාවේ E writing ගැන article එක එදා උදේ මම ඉවරකරලා ඇති කියල.හැබැයි එයා එහෙම deadline එකක් මට දීල තිබ්බේ නැහැ.මම ඉතින් කොහොමද හිතේ තියන දේ දන්නේ.හෙට උදේ දෙන්නම් කියල මම වැඩ කරන්න ගත්ත.උදෙන්ම මෙහෙම වුනාම සසර කලකිරෙනවා අප්පා.වැඩ ඉවරවෙලා මම ගෙදර ආව.අම්මගේ කිසිම සතුටක් තිබ්බේ නැහැ මම පත්තරේක වැඩ කරන එක ගැන.තාත්තටනම් මම night club එකක වැඩකලත් ඒක ප්‍රශ්නයක් වුනු මනුස්සයෙක් නෙවේ.මොකද එයාට ඉන්නවනේ පොඩි පුතාල දෙන්නෙක්.ඉතින් බස් එකේ තැලිලා පොඩිවෙලා ගෙදර ආවම අම්මා ආව මංගල යෝජනාවක් අරගෙන.ලෝයර් කෙනෙක්ලු.මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල්ලු.හපෝ..මට පෙන්න බැරි රස්සාවක්...මට ෆොටෝ එකක් පෙන්නුවා.ලාවට තට්ටේ තියන,මුහුණේ කිසි හැඟීමක් නැති,අහංකාර උද්දච්ච මනුස්සයෙක්.බැන්දට පස්සේ මම රස්සාවට යන එක නවත්තන්න ඕනෙලු.

'බැන්දට පස්සේ???' මගේ හිතට සෑහෙන ලොකු ආවේගයක් ආව.දැන් කවුද මෙතන බඳින කතාවක් කිව්වේ..මගේ කැමැත්ත පොඩ්ඩක් හරි ඇහුවද? හොඳයි බලාගමුකෝ මම නියම කසාදයක් කරගන්නම්.ඒත් දැනට මෙතන ප්‍රධානම දේ අම්මව යවාගන්න එක මට මගේ වැඩේ සැනසිල්ලේ කරගන්න.ඉතින් මම ලොකු විරුද්ධත්වයක් හරි අනුබලයක් හරි පෙන්නන්නේ නැතුව අම්මට බලාපොරොත්තු දෙන විදිහේ කතාවක් කියල අම්මව යවල අයියට කෝල් එකක් ගත්ත.අර article එක ගැන අහන්න.

ඇත්තටම එයා මුල සිට අගටම මට අවශ්‍ය දේවල් කිව්වා.හැබැයි එයත් මට සද්දෙකින් කතාකලේ.මම බලාපොරොත්තු වුණේ අඩුම ගානේ එයාගෙන් වත් සැනසිලිදායක දෙයක් අහන්න.කතාකරන්න.ඒත් එයා කවදාවත් අහන්නේ නැහැ.'නංගි..ඔයාට කොහොමද?,රෑට කෑවද?,අවුලක් නෑනේද?' ඒ වගේ දේවල් අහන එක එයා මදිකමක් විදිහට හිතාගෙන ඉන්න ඇත්තේ.අනේ මන්ද...එයාටවත් මාව තේරෙන්නේ නැති හැටියක්.article එක යකාට ගිය දෙන්.මම එයාට කෙලින්ම එයාගේ voice color එක ගැන මට දැනුන අවුල ගැන කියල කෙලින්ම phone එක cut කළා.ආයේ ලියන්න බැහැ..job එකටත් හෙණ ගහපුවාවේ,editorටත් හෙන ගහපුවාවේ.මට ඒ වෙලාවේ ඒ හිතපු දේ ගැන regret කලේ එතකොටත් හෝ ගාල අකුණු ගගහ වැස්ස වැටුණු නිසා.

මම phone එක off කරලා ඇඳේ හාන්සි වුනා.මීටත් වඩා හොඳ වෙලාවක් තියනවද නිදාගන්න....

ටිකක් relax වීගෙන යද්දී මට අයිය ගැන දුක හිතුන.මම ගැනත් දුක හිතුන.
කාලෙකට පස්සේ වැස්ස අස්සෙම මගේ ඇස් දෙකට කඳුළු ඇවිල්ල කන් දෙපැත්තෙන් රූටගෙන ගිහින් කොට්ටේ තෙත් කරන්න ගත්තා....


අයියේ..සමාවෙන්න මට.මගේ හිතේ තෙතමනේ ඇත්තටම නැති වෙලා..මගේ හිත දැන් වේලිච්චි පරඬැලක් වෙලා ගිහින්.ගහෙන් බිම වැටෙන්න ඔන්න මෙන්න තියන.....

Wednesday, September 7, 2016

සොයා දෙනු මැන

ඇය ආගිය අතක් නැත
දුටුවහොත් දන්වන්න

ඇයගේ විස්තර මෙසේය

අඳින්නේ සාරියකි
දරන්නේ සිතාරයකි
අත් දෙකක


ඉතිරි අත් දෙකින්
එකක මුතුහරකි
අනෙකේ මුදල් නෝට්ටු..


මුදලනම් අවැසි නැත
මුතුහරත් එසේමය
සිතාරය විතරක් එක්ක
ඇය හමුවුනොත් ඇතිය


Thursday, August 25, 2016

කුමරිය

 හදවතට කොපුව දී
මොළයට කඩුව දුන්
මනමේ කුමරියයි
නුඹ...

සුතෝපියානු කතා...

සුතෝපියාව කියන ෆුල් මාවලස් රටේ අලුත පත්වුණු ජනනායක ඉතින් දේශීය යාන්ත්‍රණයක් එහෙම හදල එකෙම්ම යුද අපරාද ගේමට බහිනවා කියල නඩුවක් සංවිධානය කරාලු මොංගල් ලුක් එකක් තිබ්බ විදේශ මැතිගේ දැඩි විරෝධය මැද.මොංගල් ඇමති වැඩේ එපා කියල තියෙන්නේ මේකට අන්තර් රාජ්‍ය මණ්ඩලේ පරීක්ෂණ ඕනේ කියල දැඩිව කියා හිටපු නිසා.ඒත් හැමෝගෙන්ම 'පඹය පඹනායක' කියන වදන් අහගෙන ඉඳල එපාවෙලා
'නෑ මේක වෙන්නේ මට ඕනේ විදිහට'
කිව්වලු.


කලින් හිටපු එකාවයි උගේ මලය එහෙම අල්ලාගෙන බංකුවක ඉන්දල වැඩේ නමෝ විත්තියෙන පටන් ගන්න ගියාලු හෙණ ගැම්මකින්.

දැන් නඩු නිමිත්ත පටන් ගන්නලු යන්නේ.මුලසුනේ වත්මන් ජනනායක,විත්ති කූඩුවේ හිටපු ජනනායක.පැමිණිලි පාර්ශවේ මොන්ගල ඇතුළු කල්ලිය.

හින් හිනාවක් දැම්ම හිටපු ජනනායක මලය මෙහෙම ඇහුවලු.

'කෝ මෙච්චරද විත්ති කූඩුවේ? කෝ හිටපු හමුදා සෙන්පති?'

මේකට උත්තර දුන්නලු මුලසුනේ තෝල්කයා

'එයා මේකට අදාළ නෑ.ඔයානේ මේක තනි කැමැත්තට කලේ'

මලයාගේ හිනාව පළල් වුනාලු.

' හෑ ඒ කියන්නේ යුද්ධේ අවසන් කලේ මගේ කැමැත්තෙ අකමැත්තෙ විදිහටද? ඔය හාදය රට බේරගත්ත සෙන්පති කියන්නේ බොරුවටද?'

දැන් ජනනායකට එනපොට හරි නෑ කියල තේරුණු හින්ද පොඩි සයින් එකක් දීලා මැති මණ්ඩලේ ඉන්න හිටපු සෙන්පතිවත් විත්තිය පැත්තට දැම්මලු.

මලය ශේප් එකේ අයියට ඇහැක් ගැහුවලු.අයියත් කටහඬ අවදි කරාලු.

'මමත් ඔය අන්තිම දවස් වල රටේවත් හිටියේ නැහැ.වැඩ බලන්න එක්කෙනෙක්ට සෙනධිනායකකම දීලා ගියේ' 
කිව්වලු.

මොංගල් මැතිට වැඩේ එන පොට තෙරිගෙන ඇවිල්ල ඔලුවේ අතගහගත්තලු.

හිටපු ජනනායක දිගටම කතාකරාලු.
 

'ඉතින් මම කියන්නේ ඒ වැඩ බලපු හාදයත් විත්තියට අදාලයි.'

දිග හුස්මක් අරන් ෆුල් ගටෙන් මුලසුනෙන් නැගිටපු අලුත් ජනනායක ගිහින් විත්තිය පැත්තෙන් හිටගත්තලු.

 මුලසුන නැති නිසා නඩුව දින නියමයක් නැතුව කල් ගියාලු.

Friday, August 19, 2016

කවියා මැරීම

මාගේ
හදවතට කොපුව දී
මොළයට කඩුව දුන්
නුඹයි කුමරිය
මනමේ

Tuesday, July 26, 2016

key tag 2 වෙනි කොටස

(පළමු කොටස මෙතනින්)

(සංජීවගේ ජංගම දුරකථනයේ පණිවිඩයක් සටහන් වෙමින් තිබේ...)

අනේ මගේ වස්තුව.ඔයා දන්නවනන් මට හිතෙන දේවල්.මම ඇසිපිය ගහන නිමේශයකට ඇස් දෙක වැහිල යද්දිත් ඔයාව පේන්නේ.ජීවිතේම ඔයා වෙලා.මම හෙළන හැම හුස්මකම සද්දේ මට ඇහෙන්නේ චේතනා කියලා එලියට යනව වගේ.මගේ පපුව ගැහෙන්නෙත් චේතනා...චේතනා කියලා.
මගේ ජීවිතේ වැඩි සතු..........)

දිනිඳු... තමුසේ මොකක්ද මගේ ෆෝන් එක අරන් කරන්නේ... ඔය කාටද කොටන්නේ....
උඹට පිස්සුද බන්.මොනවද මේ ගහල වල් බූත තියන වැල්වටාරම්!!ඊයා යකෝ ලැජ්ජා නැද්ද බං)



(Key tag-2)

*********(ජයවීර නිවසෙන් සන්ජීව නික්ම ගොස් මාස තුනකට පමණ පසු )

කුඩා නිවස සමන්විත වූයේ සාලයකින් කාමර දෙකකින් හා කුස්සියකින් පමණි.සාලයේ පසෙක තිබූ කුඩා මේසයේ පිය පුතු දෙදෙන රාත්‍රී ආහාරය ගනිමින් සිටියහ.දෙදෙනා ඉතා ලෙන්ගතු වූවත් වැඩිය කථාබහ නොකරන නිසා නිහඬතාව රජකළේය.

දිනපතා රැකියාව අවසාන වී ගෙදරට පැමිණි ඔවුන්ගේ කාලය ගෙවුණේ ඉබේම අනුගමනය කළ කාලසටහනකට අනුවය.ආහාර ගැනීමෙන් පසුව ඔවුන් යොමුවන්නේ ප්‍රවෘත්ති නැරඹීමටය.එදින සිය පුතු තරමක් නොසන්සුන් වී සිටි බව පියාට නිරීක්ෂණය විය.නමුත් ඔහු එය නොහැඟුණු ලෙසටම දිගටම ප්‍රවෘත්ති නැරඹීම කරගෙන ගියේය.ප්‍රවෘත්ති අවසානයේ ඔවුන්ගේ ප්‍රියතම නාට්‍ය පටන් ගැනීමට පෙර වෙලඳ දැන්වීම් යන අතරවාරයේ සන්ජීව තම හඬ අවදි කළේය...

''අප්පච්චි....... මට දෙයක් කියන්න තියනවා.....''

සති ගණනක් තිස්සේ පුතුගේ කාමරයෙන් රෑ දෙගොඩහරි ජාමයේ පවා පහත් හඬින් ඇසුණු දුරකථන සන්වාද,ඔහුගේ සිනා හඬවල්,සරින් සැරේ මනෝලෝකයක සැරි සරන ඔහුගේ මුහුණේ ප්‍රකාශිත හැඟීම් ගැන අවධානයෙන් සිටි බණ්ඩාර මහතා මේ මොහොත එනතුරු සිටියේ ඉවසුම්ගතවය..තමන්ට ඉතුරු වූ එකම මහාර්ඝ වස්තුව වූ සිය එකම පුතු ඔහුගේ කුලුඳුල් ආදර ගැන ප්‍රකාශ කිරීමට යයි..එය විශේෂ අවස්ථාවක් වූ බැවින් ඔහු රූපවාහිනිය ක්‍රියා විරහිත කළේය.

නමුත් සන්ජීවට එක එල්ලේ යමක් කියා ගැනීමට අපහසු විය.තම පියාට වන්චාවක් කලාක් මෙන් අහේතුකව ඔහුගේ සිත සලිත වී තිබුණි.එම සසලභාවය කටහඬද වෙවුලුම් කෑමට ලක්කර තිබුණි

''අප්පච්ච්චී......මේ..මේ.. මේකයි වැඩේ...මම මේ කියන්න යන්නේ.. මේ මේ....''

බණ්ඩාර මහතාට තම පුතුගේ අසරණ භාවය පිළිබඳ දුකක් පහළ විය.ඔහු තම හඬ අවදි කළේය...

''හරි පුතා...මොකක්ද ඒ දැරිවිගේ නම??''


සන්ජීවට තරමක සහනයක් දැනුනි.බණ්ඩාර මහතා ඔහුගේ අස්ථාවරභාවය නැතිකර දමා තිබුණි.

''එයාගේ නම චේතනා... I-Chem එකේ R.A. කෙනෙක්..දැන් මාස තුනක් විතර වෙනව හම්බවෙලා.....''

තරමක නිහැඬියාවක් ඇතිවිය...

''චේතනා..හ්ම්ම්ම්...''

බණ්ඩාර මහතා තරමක නිහැඬියාවක ගිලිණි.මේ අතර සන්ජීව තම දුරකථනයේ වූ ඇගේ සමීප සේයාරුවක් පෙන්වීය.ඇගේ අතිශය රූමත් එහෙත් අවන්කභාවය හා එඩිතර බව ගැබ් වූ එම මුහුණ දෙස බණ්ඩාර මහතා විමසිල්ලෙන් බලා සිටියේය...කුමක් වූවත් තම පුතු වැරදි තීරණයක් නොගන්නා ඕනෑම දෙයක් හැම අතින්මම විමසුමට භාජනය කරන බවත් ඔහු දැන සිටියේය..ආදර සබඳතාවය ගැනද ඔහු එසේ සැලකූවා විය යුතුය.


එදින බොහෝ වේලා යන තුරු බණ්ඩාර මහතාට නින්ද නොපැමිණියේය...ඔහු තමා ඉතාමත් ආදරය කළ සන්ජීව කුඩා කලම මිය ගිය තම බිරිඳගේ ඡායාරූපය දෙස බලමින් ඔහු කල්පනා කළේය..


****(සන්ජීව ජයවීර මහතාගේ ගෙදර ගොස් සති තුනකට පමණ පසු )

සති කිහිපයක් දිගු දුරකථන සන්වාද හා කෙටි පණිවිඩ හරහා කෙමෙන් කෙමෙන් සමීප වූ චේතනා තමන් දෙපළ මුණ ගැසීමට කාලය එලඹ ඇතැයි යෝජනා කළාය.සන්ජීවටද එය සාධාරණ බව පෙනී ගියනිසා එයට කැමැත්ත පළ කළේය..

චිත්‍රපටයක් බැලීමට යාමට යෝජනා කළේ චේතනා විසිනි..චිත්‍රපටය තෝරාගැනීම සන්ජීව භාරගත්තේය.ඔහු ප්‍රන්ශ-අමෙරිකානු අධ්‍යක්ශක Pierre Lewisගේ Normandie infiltrationයන දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගත් වෙනස් අවසානයක් දෙන චිත්‍රපටයක් විය.

10:30 ප්‍රදර්ශනයට ඔවුන් 10:15ට පැමිණීමට එකඟ වූහ.සන්ජීව 10:05 ට ගේට්ටුව අසලට පැමිණ සිටියේය..දස දෙනෙක් පමණ චිත්‍රපට නැරඹීමට පෝලිමේ සිටියත් ඔවුන්ගේ සිනමා රසිකත්වය ගැන සන්ජීව වද නොවුයේ සියළු දෙනාව යුවල් වශයෙන් පැමිණ සිටි නිසාය..ඔහු මඟ බලමින් සිටිනාකාර දුටු පසුකරගෙන ගිය පුද්ගලයෙක් අවලම් හිනාවක් පෑවේය.නමුත් සන්ජීව නොසන්සුන් වූයේ 10:25 පමණ වන විටත් චේතනා නොපැමිණි බැවිනි.ඇයගේ දුරකථනයත් ප්‍රතිචාර නොදැක්විය.නමුත් විනාඩි පහක් යාමට මත්තෙන් ඈතින් කඩිමුඩියේ එන චේතනා ඔහුට පෙනුණි.සන්ජීව ඇය හමුවීමට පෙරගමන් ගියේය..

කොට කොණ්ඩයද ගසමින් දණහිස දක්වා වූ සරල ගවුමක් හැඳ අත්බෑගයද අල්ලාගෙන ඇය හැල්මේ දිවගෙන ආ ආකාරය දුටු ඔහුට සිනා නැඟුණි.ඇය මවාගත් බැගෑපත් සමාව අයදිනසුළු මුහුණ දුටු ඔහුගේ නොසන්සුන්තාවය පහව ගියේය..

''අනේ extremely sorry පැටියෝ...ගෙදරින් පැන ගන්න වෙලා ගියා..යමු යමු දැන් පටන් ගෙනත් ඇති''

එය විශිෂ්ඨ චිත්‍රපටයකි..සන්ජීව ඉමහත් ආශාවෙන් මුල සිට අගටම නැරඹීය..යුද්ධය සමඟම ව්‍යාකූල මිනිස් සබඳතා ගැනද එහි යටිපෙළක් විය.දෙදෙනාම නිහඬව චිත්‍රපට ශාලාවෙන් පිටතට පැමිණියහ..
වෙනදා ඉස්පාසුවක් නැතිව කියවන දඟලන චේතනා සෑහෙන serious වී තිබුණි.සන්ජීවට එය අස්වැසිල්ලක්ද විය.ඇයද එම චිත්‍රපටය ගැන කල්පනා කරනවා විය යුතුය..ප්‍රශ්නයක් අසා තහවුරු කර ගත යුතුය.

''චේතනා ඔයා මොකද හිතන්නේ ලුවී මැරුණු විදිහ...මිනිහ මළේ වෙඩි වැදිල ලේ ගිහින් ඇතිවුණු shock එකටද නැත්තන් කරපු ද්‍රෝහී වැඩේ ගැන හිතේ අමාරුව නිසාද??''

චේතනා නැවතුණි.ඉන්පසු දවා හළු කරනාකාරයේ බැල්මක් සන්ජීව වෙත හෙලුවාය.

''ලුවී මළේද...ලුවී මළේ ***** *** **** හන්දා''

ඇය පැවසූවේ මොනවාදැයි හිතාගැනීමට සන්ජීවට මඳ වේලාවක් ගතවිය..කෝපයෙන් වියරු වැටුණු විට චේතනාගේ මුහුණ කොටිදෙනකුගේ වැනිය.

''මටත් ප්‍රශ්නයක් තියන්වා.... කියනවා තමුසේ මොන රෙද්දකටද මාව මේකට එක්කන් ආවේ??''

සන්ජීවට පිළිතුරු දීමට වචන සොයාගැනීමට මඳ වේලාවක් ගතවිය..

''ඇයි මතක නැද්ද..ඔයාමනේ කිව්වේ අපි film එකක් බලමු කියලා..''

''මම එහෙම කිව්වා තමා.. ඕනේ මගුලක් ඕන් නැති විදිහට serious ගන්නවා ඒත් තමුසෙට simple දේවල් තේරෙන්නෙ නෑ..''

සන්ජීවට ඇත්තෙන්මම ඇය අදහස් කළ දේ නොතේරිණි..

''මොකක්ද මම තේරුම් නොගත්තේ??ලුවී මැරුණු හැටිද??''
චේතනාගේ කෝපය දෙගුණ විය.

''ලුවී මැරුණු හැටි??? ආච්චිගේ රෙද්ද.ගොනෝ සාමන්‍යෙන් කෙල්ලෙක් තමන්ගේ කොල්ලට film hall යමු කිව්වම ඒකේ අදහස තේරුම් ගන්න බැරි තරම් මැට්ටෙක්ද තමුසේ...''

සන්ජීවට කාරණය වැටහිණි..
'අම්මටසිරි'
ඔහු තමන්ටම කියාගත්තේය..ඉන්පසු චේතනා ඇමතුවේය..

''ඇයි ඉතින් මම ඔයාගේ අත ඇල්ලුවනේ දෙතුන් පාරක්ම..''

සමච්චල් සිනහවක් සමඟම හැරෙන තැපෑලෙන් පිළිතුරු ලබුණි..

''අත් අල්ලගන්නනන් තමුසෙට මම hall එන්න කියන්වද???බූරුවා,මැට්ටා...''

පාරේ හැරි හැරි යන මිනිසුන්ද ගණන් නොගෙන ඇය බැණීම ආරම්භ කළාය.සන්ජීව ඉතාමත් අපහසුතාවයට පත්විය..ඔහු චේතනා ඉතා කාරුණිකව ඇමතුවේය..

''ඉතින් ළමයෝ එහෙම දෙයක් හිතුවනම් එතෙන්දි කියන්න තිබ්බනේ..''
නමුත් එයින් වුණේ ඇගේ බැණීම වේගවත් වීම පමණි..

''හැම මඟුලම තමුසෙට කියන්න ඕනේද??මහ ලොකුවට Sherlock Holmes කියල හිතන් ඉන්නේ ඒත් කෙල්ලෙක් film එකක් බලමු කිව්වම ඒකේ තේරුම දන්නේ නෑ.තමුසේ ආය ජීවිතේට ඔය පණ්ඩිත කතා කිව්වොත් බලාගමු.තමුසෙට කොච්චර මොළේ තිබ්බත් වැඩක් නෑ තියෙන්න ඕනේම එක නෑ..common sense නෑ තමුසෙට...''
තත්වය දරුණු වන බව සන්ජීවට වැටහුණි..ඇයව වහාම නිහඬ කළ යුතුය..ඔහු ඒ සඳහා සැලසුමක් කල්පනා කළේය.. '.chloroform' කලබල වූ ඔහුගේ සිතට ආ මුල්මම විසඳුම එයයි..ඔහු ඒ ආකාරයේ සිතිවිලි නවත්වා දැමීය..චේතනාව නිහඬ කළ හැකි හොඳම මාර්ගය ඔහුට ක්ෂණයෙන් වැටහුණි.

ඇයට හිතාගැනීමටවත් ඉඩක් නොතබා ඔහු ඇයව තදින් වැලඳගත්තේය.එයට විරුද්ධත්වයක් නොපෙන්වූ ඇගේ කඳුළු බිඳු තම කමිසය තෙමී යනු ඔහුට දැනුණි.ඇය නිහඬවම කිටි කිටියේ ඔහුගේ ග්‍රහණයට තවත් නතුවිය..සාමන්‍යයෙන් ලැජ්ජාශීලී පුද්ගලයකු වූවත් සන්ජීව බාහිර ලෝකය සම්පූර්ණයෙන්මම අමතක කර තිබුනි...


************(සන්ජීව ජයවීර මහතාගේ නිවසේ)

දුරකථනය charge වූ පසු සන්ජීව දිනිඳුගෙන් මඟ සලකුණු අසා යාමට සැරසුණා පමණි ජයවීර මහතා අවශ්‍යනම් ඔහුව ඇරලවිය හැකි බව කියා සිටියේය.එයට එකඟ වූ සන්ජීව නවීන මෝටර් රථයක් දැකීමට බලාපොරොත්තුවෙන් ගියත් ජයවීර මහතා නැඟුණේ තම Royal Enfield යතුරුපැදියටයි..

ගිගුම් දෙමින් පණැගැන්වුණු යතුරුපැදිය සන්ජීවද රැගෙන විනාඩි කිහිපයකින් ගමනාන්තයට ලඟාවිය.ඔහු නොවැටී සිටියේ නූලෙනි.අධික වේගය හා ජයවීර මහතා දෙතුන් තැනකම ලඟ නැවූ බවින් බහින විට කකුල් වෙව්ලන්නට විය.දිනිඳු ඔවුන් අපේක්ෂාවෙන් ගේට්ටුවෙන් එළියට වී සිටියේය.ජයවීර මහතා ඔහුගෙන් සුහදව සිනාසී සමුගත් අතර දිනිඳු සන්ජීවව නිවසට කැඳවාගෙන ගොස් තම මවට හඳුන්වාදුන්නේය,ඉන්පසු තම රාජධානිය වූ කාමර වෙත ඔහුව කැඳවාගෙන ගියේය.
කාමරය හිරු එළිය නොවැටෙන ලෙස තිර දමා ආවරණය කර තිබුණි.දහවල රැය කියා එහි වසන්නෙකුට වෙනසක් නොවීය.නමුත් එය ඉතා පිළිවෙලකට හා පිරිසිදුවට තිබුණි..මේ අතර දිනිඳු දොර වසා මෙසේ ප්‍රශ්න කළේය..


'' **** **** **** ** තෝ ** *** ගියාද මෙච්චර වෙලා''

(සාමාන්‍යයෙන් දිනිඳු කුණුහරුප වලට ලැදි භාවයක් දක්වන නිසා මෙතැනින් ඉදිරියට ඔහුගේ දෙබස් සන්ස්කරණය කර ඇත.)

මෙයට පිළිතුරු වශයෙන් සන්ජීව key tag පළහිලව්ව ඔහුට මුල සිට විස්තර කළේය.කථාව ඉවර වන විට දිනිඳුගේ මුව බාගෙට විවරව තිබුණි.

''යකෝ උඹ පිස්සු හුටන් කෙනෙක්නේ..උඹේ ඔය සමහර සීන් වලට මම ගොන්පාට් කියල හිනාවුනාට ඔය ලස්සනට වැඩ කරල තියෙන්නේ..
දැන් ඔය චේතනා කියන බඩ්ඩ ගැන මට කියපන්..ඒකි ටිකක් කොට,පොඩ්ඩක් විතර chubby,කොණ්ඩෙ කොටට කපපු දාන්ගලයක් තියන විසේකාර එකක්ද?''

සන්ජීව හිස ඉහළ පහළ වැනීය..
''උඹ දන්නවද එයාව??''
දිනිඳු අමුතු සිනහවක් පා ඔහුට අතට අත දුන්නේය..

''සුභ පැතුම් මස්සිනා...උඹට ඔය ජුවාන එකක් ඇදෙන්න යන්නේ...ඕකිගේ තාත්තා මේ පළාතේ ඉන්න ලොකුම කොන්තරත්කාරයින්ගෙන් එකෙක්.රන්සිරි අබේනායක''

මේ ප්‍රකාශය සමඟම සන්ජීව මඳක් ගැස්සිණි..විමලේ මුදලාලි කියූ කෙටි කලකින් අභිරහස් ලෙස දියුණු වූ කොන්ත්‍රාත්කරු..වෘත්තියෙන් ප්‍රමාණාත්මක මිනින්දෝරුවකු නිසා ඔහු රන්සිරි අබේනායක සතු මුදල් හා දේශපාලන බලය ගැනද මඳක් දැන සිටියේය..

දිනිඳුගේ ඇඳ මතට කඩා වැටී සුසුමක් හෙළා ඔහු මෙසේ ඇසුවේය.

''මොකද බන් කරන්නේ???''

දිනිඳු මඳ සිනහවක් පා උත්තර දුන්නේය.

''යකෝ ගෑණි මැරුණු මිනිහ වගේ ඉන්නැතිව ඒකිට call කරල බලපිය...හ්ම් හ්ම්... දැන්මම..''

සන්ජීව චකිතයකින් ඇමතුම ගත්තේය...මෙදෙස දිනිඳු බලා සිටියේ මස් කෑල්ලක් දෙස බල්ලෙක් බලා ඉන්නවා වැනි බැල්මකි...චේතනා නිදිබර හඬකින් පිළිතුරු දුන්නාය..

''හාල්ලෝ....මාත් බැලුවා මොකද මේ පරක්කු කියලා..phone එක charge කරගත්තද??''

''හ්හ්ම්ම්.. charge කළා''

''යාළුවාගේ ගෙදර හොයාගත්තද?''

''හ්ම්ම්..ඔවු හොයාගත්තා..''

''ආයෙත් අතරමන් උන් නැනේ'' (ඒ සමඟම කින්කිණි සිනාවක්..)

''ම්හු.. නැහැ..''

''ඔයා ඇත්තටම ලොකු උදව්වක් කළේ..ඒකට කොච්චර thank කළත් මදි..''

''හ්ම්ම්ම්.. ඒක සුළු දෙයක්නේ''

''මේ මම එක ප්‍රශ්නයක් අහන්නද??''

''ම්ම්ම් ප්‍රශ්නයක්..හරි අහන්න..''

''හැම එකකටම ඔයා හූම් හූම් ගාන්නේ..බකමූණෙක්ද??''

මෙය ඇසුණු දිනිඳු සීනාව නවත්වාගත නොහැකිව ඇඳට පැන කොට්ටය විකා ගත්තේය...

සන්ජීව කිව යුතු දෙයක් සිතමින් සිටි අතර චේතනා මෙසේ කීවාය..''

''අනේ විහිළුවක් කළේ ළමයෝ...ගණන් ගන්න එපා මගේ හැටි ඒ..හිතට එන එක ඔහේ කියවනවා..''

''හරි හරි ප්‍රශ්නයක් නෑ.. හී හී හී..'' සන්ජීව පිළිතුරු සිනාවක් දුණි.

''ඔවු ඔවු..ඔයාට මගේ හැටි තේරෙයි ටිකක් ආශ්‍රය කළාම...''
.........

සන්ජීව තත්පර කිහිපයක් නිහඬ විය..ජයවීර මහතා උපකල්පනය කළ ආකාරයට 'කිසිවක් ලඟදීම' සිදුවීමට නියමිතය..

Sunday, July 17, 2016

සුදු චොකලට්...


එකම පුතු දෑවුරුද්දකට පසු ජර්මනියේ සිට නිවසට පැමිණියේය.

නිවාස තීන්ත ගා තිබුණි.බිම පොලිෂ් කර ලිස්සන තරමට ඔප වැටි තිබුණි.


ජිවිතයේ පළමු වතාවට මවුපියන් වයස්ගත වී ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


ඔවුන් නිවාස පිරිසිදු කිරීම් වලට දරා තිබු දැඩි උත්සාහය හා පරිශ්‍රමය සබන්ධයෙන් පුතුට මහත් අනුකම්පාවක් දැනුනි.නමුත් දූවිල්ල,දුර්වර්ණ වීම් කලකට පසු දුටු නිසා ඔහුගේ සිතේ තිබූ කුඩා අප්‍රසන්න හැඟීම සම්පුර්ණයෙන්ම ඉවත් වී නොතිබුණි.

දින දෙකකට පමණ පසු හෙතෙම තම ගමන් මළු වල අසුරා තිබු තෑගී බෝග සහ ඇඳුම් ආයිත්තම් පිළිවෙලකට සකස් කිරීම ඇරඹිය.

තම නිවැසියන් සඳහා ඉස්තරම් ගණයේ අදුරු චොකලට් එකක් ගෙන කඩා ශීතකරණයේ දැමිය.ඒ තරම්ම වටිනා තවත් සුදු චොකලට් පැකට්ටුවක් ගෙන ශීතකරණයේ පහල තට්ටුවේ තිබු ට්‍රේ එක සහ ශීතකරණයේ ඇතුළු බිත්තිය අතර ඉඩේ සැඟවිය.ඒ තරමක රස්නයක් තිබු දින කිහිපයකි.


ඉදිරි දින දෙකේ නෑගමන් යෙදී තිබුණි.
දිගින් දිගටම එකම ප්‍රශ්න නාමාවලියකට පිලිතුරු දීමෙන් ඔහු හෙම්බත් වී තිබුණි.හම්බර්ග් වල සොබා සෞන්දර්ය සහ ඔහුගේ අධ්‍යාපනය,කල අමතර රැකියා ආදිය දිගු කතාවක් ලෙස ටේප් කරගෙන කැසට් පිස් බෙදාදීමක් වැනි විකාර අදහස් පවා ඔහුගේ මනසට ඇතුළු වී තිබුණි.

වටින් ගොඩින් ඔහු ජර්මානු සුද්දියන් ගැන දක්වන ආකල්පය ගැනත් දැනගැනීමට උනන්ඳු වූ නෑයින් බොහෝ සිටියහ.නමුත් ඔහු විසින් ජර්මනියේ සිටින කාලය තුල ලංකාවේම යුවතියක් හා දිගු කාලින සන්නිවේදනයක් පවත්වාගෙන ගිය බව මවුපියන්වත් නොදැන සිටි කාරණයක් විය .අධ්‍යාපන කටයුතු නිමවී නැවතත් පැය 4ක් පමණ අමතර රැකියා වල නිරතවී හෙම්බත්ව සිටියදී ලැබූ ලොකුම සැනසුම ඇය හා කතාකරන විනාඩි කිහිපය බව දැන සිටියේ ඔවුන් දෙදෙනා පමණි.කාල වෙනස,අධ්‍යාපන කටයුතු,අධි මිලැති දුරකථන කාඩ්පත් මේ කිසිවකටත් ඔවුන්ගේ මේ කුඩා වෙලාව උදුරාගන්න නොහැකි වී තිබුණි.

නෑගමන් වලින් තම තෑගී බෝග අහවර කරගත් පසු ඔහුගේ මල්ලේ ඉඩ එහෙම පිටින්ම ඉතිරි විය.ඊළඟ දිනයේ උදෑසනම තමන් ගෙනා චොකලට් කෑල්ලක් රස බැලීමට සිතු නිසා ශීතකරණය විවෘත කල ඔහුට තරු පෙනුනි.

සුදු චොකලට් පැකට්ටුවේ ඇසුරුම විවෘත වී කුඩා කැබලි දෙකක් අතුරුදහන් වී තිබුණි.ඔහු මවට කෑගසා කතාකර එය පිලිබඳ විමසුවේය.

අදුරු කළු පැහැ චෝකලට්ටුව මව එතරම් කැමති වී නැත්තේ සිනි මඳකම නිසාවෙනි.ඇය ශිතරණයේ පහල 'වැටි සිරවී' තිබු සුදු චොකලට් පැකට්ටුව දැක ඇත්තේ අහම්බෙනි.කිසිදිනක සුදු චොකලට් දැක නොතිබූ නිසා එය අත්හදා බැලීමට සිතුවාය.නමුත් එහි රස කිසිසේත්ම චොකලට් රසක් නොවිය.හරියට කිරි වලින් පමණක් සෑදුවක් මෙනි.එමෙන්ම ඇය හෝ පියා මේ චොකලට් ජාති දෙකටම අකමැති බැවින් සියල්ල පුතුට සිත්සේ භුක්ති විඳිය හැක.


පුතු මවුපියන්,ඇය හා තම ලැජ්ජාව අතර මොහොතකට අතරමන් විය.
.
.

''මොනවද ගෙන්න ඕනේ? කියන්නකෝ ඔච්චර වාත වෙන්නේ නැතුව''

ජර්මනියෙන් පැමිණීමට දින කිහිපයකට පෙර ඇය හා දුරකථන සංවාදයේ යෙදුනු අවසාන වර ඔහුට සිහිපත් විය....


''හ්ම්...එහෙමද... එහෙනං ලොකු දෙයක් නෙවේ...පුළුවන්නම් ගෙන්නකෝ සුදු චොකලට් එකක්....ජර්මන් සුදු චොකලට්''

Tuesday, July 12, 2016

කපුවෙකුට වුනු ඇබැද්දිය

ඔන්න මචන් එක පොරකට කලවයසත් පහුවීගෙන හතලිස් ඇඳිරිය ලන්වෙගෙන එනකොට ගෙදර උන් මඟුලක් හොයන්න බලල කපුවෙක්ට කතාකරාලු.

පොරගේ පියා- බලන්න කපු මහත්තය සමාජ සේවේ සමාජ සේවේ කිය කියා එහෙ මෙහෙ දිව්වා තමන්ගේ වැඩක් බලාගත්තේ නෑනේ.

අපිට ගැලපෙන තැනකින් වැඩක් සැට් කල්ල දෙනවකෝ..

දැන් කපුවා සතියක් යන්නත් කලින් තැනක් බලන්න සෙට් කරාලු.

ඔක්කොම ගිහින් කාල බිල කතාකරලා ඉන්නකොට කපුවා ශේප් එකේ ඇහැව්වලු පොරගෙන් මොකද කියන්නේ කියල.පොර ඔලුව දෙපැත්තට වනල වැඩේ හරියන්නේ නෑ කියල ඉඟි කරාලු.දැන් යනගමන් කපුවා අහනවලු මොකද කියල..


පොර-ඒ ගෑනු ළමය බොහොම බියසුලු කෙනෙක්. තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලවත් හරියට දන්නේ නෑ වගේ.මිනිහට යටහත් පහත වෙලා ඉන්න එක තමා ජිවිතේ කරගන්න හිතන් ඉන්නේ.

කපුවත් ඉතින් ''හා කමක් නෑ වෙන තැනක් බලමු'' කියල ටික දවසකින් තව තැනකට එක්කන් ගියාලු.
ගේට්ටුවත් පතරංග සයිස්ලු ඇතුලට ගියාම දැක්කලු ප්‍රාඩෝ දෙකයි,කාර් එකයි ඩුකාටියකුයි තියනවා.කොහොමහරි එතනත් පොරට ඇල්ලුවේ නැල්ලු.කපුවා ආයෙත් ඇයි කියල ඇහුවලු.

පොර-ඒ මිනිස්සු සාමාන්‍ය පොලවේ ජිවත් වෙන අය නෙවේ.නැත්තන් එකගෙදරට වාහන 4ක් මොකටද? අනික් එක ඩුකාටි මේ රටේ දුවන එකත් තහනම්.250 වලින් එහා රෙජිස්ටර් කරන්න බැහැ,එකනම් 1299cc වත් එකක්..

දැන් ඉතින් ඔහොම ඔහොම ගෙවල් ගණනාවකට ගියාලු.පොරටත් හේතු ගණනාවක් සෙට් වුනාලු එකක් නෑරම.

බත් ගොඩක් බෙදුවා.

බත් ටිකයි බෙදුවේ.

ඕපන් වැඩියි වගේ

කතාකරනවා වැඩියි.

හයියෙන් හිනාවෙනවා.

ටිකක් නාකියි වගේ.

රස්සාවක් කරන්නේ නෑ.

දේශපාලනය හෝ සමාජය ගැන කිසිම අවබෝධයක් නැහැ.

දකුණු කම්මුලේ ලපයක් තියනවා...

මේ අන්තිම පාර ගියපුවහම කියපු ලප හේතුව අහල කපුවට ඌරු ජුවල්ලු.ඌ වැඩේ අතැරලා දාන්නම බලාගෙන මෙහෙම කිව්වලු.

''ඈ යකෝ.තොපේ දේශපාලන හරක් රැලේ නායක නාම්බගේ තියන ලපේ හොඳයි,මේ ගෑනිට තිබ්බහම තමා අඩුපාඩුව.තොපි මෙහෙමද මේ රටත් හදන්න බලන්නේ.තුක් නොදකින් ආයෙනම් තොපේ එකෙක්ටවත් මඟුල් තුලා හොයන්න යන්නේ නෑ මේ අඩෝනිස්...
දැනගනියව් තොට කසාද බඳින්න වෙන්නෙ තොගේ පක්ෂෙට මේ රටේ ආණ්ඩුව ගිය දවසක තමා..''

Saturday, July 9, 2016

මහායානයට අනුව බුදුන් ථේරවාදය දේශනා කිරීමට හේතුව.. (සම්මා සම්බුදුවරයකුගේ උපාය කෞශල්‍ය)

(මහායානයට පෙරවදනක් බැලීමට මෙය මත ක්ලික් කරන්න)
චුල්ල පන්ථක කතාව මතක ඇති.කිසිම පදයක් මතකේ තියාගත නොහැකි වූ භික්ෂුවක් සරල උපක්‍රමයක් හරහා අවබෝධත්වයට පත්කිරීම.

සැරියුත් හාමුදුරුවෝ එක් ශිෂ්‍යයෙක්ට පිළිකුල් භාවනාව කරන්න කමටහන් දෙනවා.නමුත් ඒ ශිෂ්‍යයා උපරීමයෙන් උත්සාහ කළත් එයින් වැඩක් ගන්න,යථාර්තය දකින්න නොහැකිවෙනවා.

දවසක් උදේ තමන්ගේ අවාසනාව ගැන කම්පාවෙලා මහණකම අතාරින්න යනවා..

ඒ වේලාවේ බුදුහාමුදුරෝ ඔහුව විලක් ලඟට කැන්දාගෙන යනවා.ගිහින් උපදෙස් දෙනවා "අර පේන නෙළුම් මල් දිහා බලන් ඉන්න,ඒකයි මම දෙන කමටහන" කියලා.ඉතින් ශිෂ්‍ය හිමි ඒ දිහා බලාන ඉන්නවා.
ඉර උදාවත් එක්කම නෙළුම් පොහොට්ටුව පිපෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ දිනය පුරාම සුවඳ හා ලස්සන දර්ශනයක් දීල හවස් වෙද්දි පරවෙලා යනවා.

ඒ ක්ෂණයෙන්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන රහත්භාවට පත්වෙනවා.


ඔහු ඒ ආත්ම භවයේ සහ මෑත භවවල රන්කරුවෙක්.ඒක නිසා ලස්සන දේවල් දිහා විතරයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ.ඒත් මේ කාරණය සැරියුත් හාමුදුරුවන්වත් සලකා නොබලපු දෙයක්.

බුදු වරයෙක්ගේ උපාය කෞශල්‍ය අද්වතියයි...

නැවතත් මහායාන ප්‍රධාන සුත්‍රය සලකා බලමු.

මේකේ දෙවෙනි පරිච්ඡේදය ''උපාය කෞශල්‍ය පරිවර්තය''


බුදුන් විසින් තමන් වහන්සේගේ උපාය කෞශල්‍ය ගැන විස්තරාත්මක වර්ණනාවක් කරනවා..
http://www.sacred-texts.com/bud/lotus/lot02.htm

තුන්වන පරිච්ඡේදය ''උපමාව'' http://www.sacred-texts.com/bud/lotus/lot03.htm
ධනවත් පුරුෂයෙක්ගේ 'එක් දොරටුවක්' පමණක් ඇති මහා මන්දිරයක ලොකු ගින්නක් ඇතිවෙනවා.වහාම ගෙයින් එලියට යන මේ පුරුෂයා හිතනවා

''මම මෙහෙම ලේසියෙන් ආවට මගේ දරුවෝ එහෙම එන එකක් නැහැ.ඔවුන් තවම ගින්න,බිය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ ඔවුන්ගේ කෙලිබඩු සහ ඔවුන්ට වටිනා දේවල් තියෙන්නෙත් ගේ ඇතුලේ.

මම ශක්තිසම්පන්න පුද්ගලයෙක්.මට රෙදි කඩකින් බැඳගෙන හරි එලියට එන්න පුළුවන්.ඒත් මේ තියන එකම දොරටුව කුඩා එකක්.නමුත් මට සියලුදෙනාවම බේරාගන්න කාල වෙලාවක් ඇතිවෙන එකක් නැහැ.''

මෙහෙම හිතල ඔහු ශබ්ද නගා දරුවන් සියල්ලන්ටම පිටවෙන්න කියනවා.නමුත් දරුවෝ මේ ගැන අවබෝධයක් නැතුව සෙල්ලම් කර කර ඉන්නවා.

''මොවුන් වහාම පිටවුනේ නැත්තන් ගින්න මොවුන්ව දවා හළු කරන එක නියතයි.මම මගේ දරුවන්ගේ විශේෂ ආශාවන් ලැදියාවන් දන්නවා.උපායක් මඟින් ඔවුන්ව පිටතට ගෙන්නනවා''

දැන් මෙහෙම හිතන පුරුෂයා නිවසේ ඉන්න දරුවන්ව මෙහෙම ආමන්ත්‍රණය කරනවා.


''ඔබලාට අවශ්‍ය දුර්ලභ කෙලිබඩු ගැන මම දන්නවා.වහාම නිවසෙන් එලියට ආවොත් මම ඒ කෙලිබඩු අඩුවක් නැතිව සියල්ලන්ටම ලබා දෙනවා.මේ අවස්තාව නැතිකරගත්තොත් ඔබලා පසු කාලයකදී සෑහෙන්න දුක් වේවි.''

මේක අහපු ළමයි ඔක්කොම ඉන්න තැන් වලින් එලියට ඇවිල්ල තමන්ගේ පියා ලඟට එනවා.ඔහුට ගොඩක් සතුටුයි තමන්ගේ දරුවෝ බේරගන්න පුළුවන් වුනු නිසා.

ඉන්පසු ඔහු තම ධනයෙන් සප්ත රත්නයෙන් කරන ලද,මුතුකුඩ සහිත,සුදු ගොනෙක් බඳින ලද ඉතා වටිනා රථය බැගින් තම දරුවන් අතරේ බෙදල දෙනවා.


මේ උපමා කතාව දේශනා කරන ගෞතම බුදුන් සැරියුත් හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා.

''ඒ පුරුෂයා මුසාවාදයට හසුවනවද'' 


සැරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා.
''නැත ස්වාමිනි.
ඔහු මේ පොරොන්දුව ලබා දෙන්නේ තම දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි.


එමෙන්ම ඔහු පොරොන්දු ප්‍රාකාරව මේ රථ ලබා දුන්නේ නැතත් ඔහු මුසවාදයට හසුවන්නේ නැත.

මක්නිසාද යත් මේ පොරොන්දුව දීමට ප්‍රථමයෙන් ඔහු 'උපාය කෞශල්‍ය භාවිතා කර ඔවුන් නිවසින් පිටතට රැගෙන එමි' කියා සිතනා බැවිනි.''

බුදුන් ථේරවාදය දේශනා කරන්නේ එය මිනිසුන්ට වැටහෙන ධර්මයක් වූ නිසා.එකල හින්දු ධර්මය සහ ජෛන ධර්මය ප්‍රභල වෙලා තිබුණු අවධියක්.
ඒ සමාජය ථේරවාදය ඉතා පහසුවෙන් වැළඳ ගත්ත.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තව කෙනෙක්ව පිළිගන්නේ ඔහු තමන්ට වැටහෙන දෙයක් දේශනා කරනවානම් විතරයි.

අනික් දේ බුද්ධත්වය කියන්නේ සෑහෙන්න දීරඝ ගමනක්.මහායානිකයින් කියන විදිහට ථේරවාදය හරියට මූලික ගණිත සංකල්ප වගේ.උසස් ගණිතය කරන්න මේ මූලික සංකල්ප ගැන දැනගැනීමක් තියෙන්න ඕනේ.....

කොහොම වුනත් බුදුවරයකුගේ උපාය කෞශල්‍ය ඉගැන්වීම් විශිෂ්ටයි.''තුන්ලොවටම ගුරු'' විදිහට මහායාන,ථෙරවාදී කියල භේදයක් නැතිව එකඟ වෙන්න පුළුවන්.

මහයානිකයින්ට අනුව ථේරවාදය දේශනා කරන්න හේතුව වුණේ මේ කාරණාව.



(මෙය මහායානිකයින් ථේරවාදය ගැන දක්වන ආකල්පය ගැන පැහැදිලි කිරීමට යොදා ගන්න ලදී)

ෂර්ලොක් හෝම්ස් මරා දැමීම.... (දැනටම පරක්කු වැඩිවුනත්)


ෂර්ලොක් හෝම්ස් මේ රටේ සාර්ථකවම ස්ථාපනය වන්නේ චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලින්.මේ පරිවර්තනය කිරීම් වලට අවසර,කොපිරයිට් ප්‍රශ්න නැත්තේ ලේඛකයා මියගිහින් අවුරුදු 70ක් ගියාට පස්සේ පරිවර්තන හෝ එම චරිතය භාවිතා කිරීමකට නීතිමය බාධාවක් නැති නිසා(පොදු අයිතියට එය පැවරෙන නිසා).

කොනන් ඩොයිල් විසින් ලිව්වේ කෙටිකතා 56යි නවකතා (දීර්ඝ කතා) 4යි.මේ කතාවල ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ඔහු විසින් අමරණිය විදිහට ගොඩනන්වල තියනවා.තමන්ගේම පිළිවෙලකට මේ කතා පරිවර්තනය කරපු චන්දන මෙන්ඩිස් 'ඔබෙන් සමුගනිමි' කියන කියන කෙටිකතා මාලාවෙන් ඔහුගේ සියලු කතා පරිවර්තනය කරන එක අවසන් කරලා දානවා.නමුත් ලංකාවේ එතකොට අධික ඉල්ලුමක් ඇතිවෙලා ඉවරයි...

මේ කාරණාව නිසාම බොහෝදුරට වෙළඳ වාසි තකා ඔහු විසින් වෙනත් ලේඛකයින් ෂර්ලොක් හෝම්ස් හොදාගන්නා ලද නිර්මාණ පරිවර්තනය කරන්න පටන් ගන්නවා අර සුරක්ෂිතාගාරයක ලේඛන නැතිනම් අභිරහස් ලිපිගොනු කියල බයිලයක් ගහගෙන.වෙනත් ලේඛකයින් ලියූ කතාවලට ෂර්ලොක් චරිතය ආදේශ කරනවා.


ඩ්රැකියුලා ට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියන අපකීර්තිමත් විගඩමේ හැඳින්විමක ඔහු දාන දෙය බ්රෑම් ස්ටෝකර්ට පවා අපහාසාත්මක දෙයක්.ඒ වගේම ජැකිල් සහ හයිඩ් කතාවේ අන්තිමේට ස්ටීවන්සන් හම්බෙන එකත්.මෙන්න අර සුවපහසු නවාතැන කියන කතාවේ නියම කෙටිකතාව..මේක රෝල්ඩ් ඩාහ්ල්ගේ.
https://www.teachingenglish.org.uk/…/files/landlady_text.pdf

ඉතින් මෙතන ප්‍රශ්නේ මේකයි.ඔහු මේ අනික් ෂර්ලොක් හෝම්ස් කතා ගහන්නේ ඒවා කොනන් ඩොයිල් විසින් ලියපු ඒවා විදිහට හැඟවෙන ආකාරයට.ඔහුගේ වානිජමය අභිලාෂයන් හරියට කරගන්න මේ කාරණය අත්‍යවශ්‍ය දෙයක්.මෙතන ඒ කතාවන් ලිව්ව ලේඛකයින් සඳහන් කරන්නෙත් නැහැ.ඒ වගේම ඒ එක ලේඛකයෙක්ට්වත් මේ චරිතය කොනන් ඩොයිල් තරම් සාර්ථකව ගොඩ නංවන්න අසමත් වෙලත් තියනවා.මම දැකල තියනවා මේ කතා සහ අභිරහස් ලිපිගොනු විශ්වාස කරන සමහර පාඨකයින් පවා.

අන්තිමේදී කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් චරිතය විහිළුකාරයෙක් වෙලා ඉවරයි...

මම විශ්වාස කරන විදිහට ෂර්ලොක් හෝම්ස් කියන චරිතය සාමාන්‍ය මිනිස්සු හා ළමුන් අතරේ ප්‍රචලිත කිරීමට දායක වීම කියන යහපත් කාරනාව තනිකරම වාණිජ අරමුණු වලට කරපු මේ වැඩේ මගින් සම්පුර්නෙන්ම අහෝසි වෙලා ගිහින්..ඔහු මේ චරිතය විනාශ කරලා.

Monday, July 4, 2016

තුන්වන ප්‍රාග්ධනය

'සංවර්ධනය' අර්ථකතනය වන්නේ එකම ආකාරයකට අනුව නොවේ.එහි අර්ථ්දැක්වීම අර්ථදක්වන්නාගේ දෘෂ්ඨිකෝණය අනුව වෙනස් වේ.සංවර්ධනය මනින සමීකරණ,ශ්‍රිත සහ එහි යෙදුම්,දත්ත වාර්තා හරහා විශ්ලේෂණ කාලානුරූපීව සහ පසුබිම මත වෙනස් විය හැක.

සංවර්ධනය සෑම විටම මහපොලවේ යථාර්තයන් සහ ප්‍රායෝගිකත්වය සමඟ බැඳී පවතී.මෙය මේසයක් මත සිට සංක්‍යා ලේඛණ විශ්ලේෂණයෙන් හැදෑරිය හැකි විශයක් නොවේ.භූමිය,සම්පත්,මානව සම්පත,ඔවුන්ගේ ආකල්ප හා විභවය අනුව මේ ක්‍රියාදාමයට ගතයුතු උපායමාර්ග වෙනස්වේ.උදාහරණ ලෙස අනුරාධපුරයේ ඉස්සන් බෝ කළ නොහැක.ගාල්ලේ ස්ට්‍රෝබෙරි වගා කළ නොහැක.මහනුවර වැවේ මිරිදිය මාළු ව්‍යාපෘතියක් කළ නොහැක.

අපේ රට අනාදිමත් කාලයක සිට පැවත එන පරිදි සහ දේශගුණික,සම්පත් අතින් වඩාත් ගැලපෙන්නේ කෘෂි කර්මය මූලික වූ ආර්ථිකය ක්‍රමයකටයි.වර්තමානයේ ඇඟළුම් කර්මාන්තය අපනය සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙයි.වාහන කර්මාන්පුරයක් සෑදීමේ සැලසුම්,විදේශික ආයෝජකයින්ට කර්මාන්ත සඳහා අවස්ථාව වැඩිකිරීමට යෝජනා සකස්වෙමින් පවතී.මෙයින් අදහස් වන්නේ කාර්මීකරණය සම්පූර්ණෙන්ම නොසලකා හැරිය යුතු බවක් නොවේ.නමුත් මූලිකත්වය දී මුලින්මම දියුණු කළ යුත්තේ වඩාත්ම ගැලපෙන දෙයයි.
රාවුල් ප්‍රෙබිස්(Raul Prebisch) ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති කේන්ද්‍ර පරිවාර (center and periphery) න්‍යායට අනුව ගෝලීයකරණය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සූරාකෑමක් පිළිබඳව ඉදිරිපත් කර ඇත.සංවර්ධනය වූ රටවල් මේ වෘත්තයේ කේන්ද්‍රයේ සිටී,පරිධියේ සංවර්ධනය නොවූ රටවල් (වෙමින් පවතින කිව්වත්) කේන්ද්‍රයේ ඇති රටවලට අමුද්‍රව්‍ය,සම්පත්,බුද්ධිමතුන්,(බුද්ධි ගලනය ) හා ශ්‍රමය සපයමින් සිටී.කේන්ද්‍රයේ ඇති රටවල් මේ දේ රැගෙන එහි නිෂ්පාදන/ ඵලයන් ඔවුන් බෙදාගෙන අතිරික්තිය නැවතත් සංවර්ධනය නොවූ රටවලට අපනයන කරති.මේ අමුද්‍රව්‍ය සපයන රටවල් දියුණු වුවහොත් කුණු කොල්ලයට මේවා සපයාගත නොහැක.මේ පැහැදිලි කිරීමට අනුව පරිධියේ රටවල් සංවර්ධනය වීම කේන්ද්‍රයට පැහැදිලි අවාසියකි.


කොහොම නමුත් මෙය ලතින් අමෙරිකානු කලාපය හරහා බිහිවූ අර්ථදැක්වීමකි.
එක් දහවල මම බොරැල්ලේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට මඳක් ඔබ්බෙන් ඇති වනාතමුල්ලට පිවිසීමට ඇති අතුරු පාරට පිවිසුණෙමි.එහි රේල්පාර හමුවනතුරු ගොස් කොන්ක්‍රීට් දමා තිබූ තවත් අතුරු පාරකට පිවිස වැඩි අපහසුවකින් තොරවම මඟ සළකුණු අසා 'කාන්තා සමූපකාර මූලස්ථානය' සොයාගතිමි.තෙමහල් ගොඩනැඟිල්ලේ දෙවන තට්ටුවේ තිබූ කාර්යාලයේ මම කාන්තා සමූපකාරයේ නිර්මාතෲ හා සාමාන්‍යාධිකාරී නන්දසිරි ගමගේ මහතා මුණගැසුණෙමි.

සාදරයෙන් මා පිළිගත් ඔහු මෙසේ ප්‍රශ්නය ඇසුවේය.


''රටක ප්‍රාග්ධන වර්ග මොනවාද?''


මම පිලිතුරු දුනිමි.

''රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය.''


ගමගේ මහතා ඉන් අනතුරුව නැවතත් ප්‍රශ්නයක් නැඟීය.

''හොඳයි..දෙකක් හරි..මොකක්ද තුන්වෙනි එක?''


මම තුන්වැන්නක් ගැන නොදන්නා බව කීවෙමි.ඔහු ඊර පිළිතුරු ලබාදුන්නේය.

''සමාජ ප්‍රාග්ධනය(Social Capital).එහෙම නැත්තන් සමූපකාර.''




බොහෝ දෙනෙකුට සමූපකාර කියූ සැණින් සිහි වන්නේ ලොකු ළුෑණු,කරෝල,අර්තාපල් ඇති පඩිදමා කිරන තරාදි සහිත තැනින් තැන පැරණි පෙනුමක් ඇති ගොඩනැඟිලි වල නඩත්තු වන වෙළඳසැල් බව මම දන්නේ මමත් පෙරදී එසේ සිතා සිටි බැවිනි.නමුත් සමූපකාර යනු රජය හෝ පුද්ගලයෙක් මඟින් නියාමයන/පාලනය වන්නේ නැත.සරලවම කිවහොත් එය ප්‍රජාවගේ මුදල් යොදවා,ඔවුන්ම සම්පූර්ණයෙන්ම එහි යාන්ත්‍රණයක් සාදා ක්‍රියාත්මක වන ව්‍යාපාර විශේෂයකි.ගමගේ මහතා තවදුරටත් පැහැදිලි කරමින් සිටියේය.


''මේ සංකල්පය වැරදි විදිහට අපේ රටේ වටහාගෙන ඉන්නෙ.ඒත් මේක ඉන්දියාවෙ ජාතික ආර්ථිකයට සෑහෙන උපකාරයක් දෙන ප්‍රධාන ව්‍යාපර වලින් එකක්.දැන් සමූපකාර කිව්වම වෙළඳසැල් සහ බැංකු විතරක්ම නෙවේ..ප්‍රවාහන සේවා,විශ්ව විද්‍යාල,රෝහල් එහෙමත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒ වගේම මේ ව්‍යාපාර කිසිසේත්ම පාඩු ලැබිය හැකි ව්‍යාපාර ක්‍රමයක් නෙවේ.''

ඇත්තෙන්ම එසේ කීමට ගමගේ මහතාට පූර්ණ අයිතියක් තිබුණි.1989 දී සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සහ රුපියල් 50කටත් වඩා අඩු ගණනකින් ආරම්භ කළ 'කාන්තා සමූපකාරය' අද වනවිට දිස්ත්‍රික්ක 19ක පැතිරී ගොස් ඇත.වර්තමානයේ මෙම සමූපකාරයේ වත්කම රුපියල් බිලියන 4.85කි.නමුත් වැදගත්ම කරුණ එය නොවේ....මෙම සමූපකාරය පාලනය හා නියාමනය වන යාන්ත්‍රණය සෑදී ඇත්තේ 100%ක්ම කාන්තාවන්ගෙනි.එයිනුත් සාතීශය බහුතරය අඩු ආදායම් ලාභී ග්‍රාමීය කාන්තාවනුයි.
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ ; විදේශ ශ්‍රමිකයින්ගෙන් 49%ක් පමණම වූ ගෘහසේවිකාවන්ගෙන්ය.මේ රැකියාවට අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් අනවශ්‍ය නිසා මෙයට යොමුවන්නේ ග්‍රාමීය උගත්කම අඩු කාන්තාවන්ය.පවුලක මව යනු ඉතාමත්ම වැදගත්ම භූමිකාවක් ඉටු කරන චරිතයයි. ග්‍රහසේවිකා රැකියාව නිසා දරුණු සමාජ සංකූලතා ඇතිවීමටත් හේතු වී ඇති කාරණාව එයයි.
ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රතිශතය 53%කි.එයිනුත් බහුතරය වන 74%ක් පමණ ග්‍රාමීයව ජීවත් වේ.මොවුන් නිහඬව නොමිලේම ඉටුකරන කාර්‍යයන් ගැන නිවැරදිව සමීක්ෂණයක් නොවුණත් ඉතා වැදගත් භූමිකාවක් මොවුන් විසින් ඉටු කරනු ලැබේ.ගමගේ මහතා මේ ග්‍රාමීය නූගත් ගැමි ගැහැණියගේ විභවය නිවැරදිව වටහාගත්තේය.සමූපකාර ව්‍යාපාරය හාඉබේම ලැබෙන ප්‍රතිලාභ වන සමාජ සුරක්ෂිතභාවය සහ ප්‍රගමනය මේ සාමාජිකාවන් අද භුක්ති විඳිමින් සිටී.

කාන්තා සමූපකාරයේ කුඩාම ඒකකය ශාඛාව ලෙස හැඳින්වේ.ශාඛාවක් සෑදෙන්නේ අසල්වැසි පවුල්වල කාන්තාවන් අවම වශයෙන් පස් දෙනෙක් එකතුවීමෙනි.ඊටත් වඩා සරල විය නොහැක.මේ කාන්තාවන් පස්දෙනා එම ශාඛාවේ කණ්ඩායම් නායිකාව,ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස පත්කරගනු ලැබේ.සතියකට වතාවක් අනිවාර්ය සාමාජික ගාස්තුවක් එකතු කරනු ලැබේ.අනෙක් තැන්පතු හෝ රක්ෂණ සඳහා මුදල් සියළුදෙනාගේ එකඟතාවය මත මුදල් එකතු වේ.මේ මුදල් වලින් කණ්ඩායමේ එකඟකත්වය මත සුළු එදිනෙදා කටයුතු වලට සාමාජිකාවන්ට ණය ගත හැක.කාන්තා සමූපකාරය ඔවුන් ශාඛාවක් ලෙස හඳුනාගන්නේ මාස 8ක් ක්‍රියාශීලී වුවහොත් පමණි.

ඉන්පසු ශාඛාවට එහි නමින් 'ප්‍රාදේශිකයේ' ගිණුමක් ඇරඹිය හැක.ප්‍රාදේශිකය සෑදී ඇත්තේ ශාඛාවන් 10ක් හෝ වැඩි ගණනකිනි.මෙයින් ගිණුම් තැන්පත් කිරීම සහ ශාඛා සාමාජිකාවන්ට ණය නිකුත්කිරීම සිදුවේ.ණය නිකුත්කිරීමට ශාඛා සමාජිකාවන්ගේ එකඟතාවය අවශ්‍යය.එමෙන්ම ණයකරුට එය ගෙවිය නොහැකිනම් ඒ සඳහා මුළු ශාඛාවම ඇප වේ.
'ජාතික සභාව' සෑදී ඇත්තේ ප්‍රාදේශික වල සිටිනා භාණ්ඩාගාරිකවරියන්ගෙනි.මෙය මුළු පද්ධතියේම හෘදය ලෙස හැඳින්වේ.ප්‍රාදේශික වල ඇතිවන ගැටළු,නව උපායමාර්ග සාකච්ඡාව මෙහි වගකීමයි.එමෙන්ම පහත කරුණුද මෙයින් ඉටුවේ.

1)ගිණුම්කරණය හා මුල්‍යකරණය පිළිබඳ සාමාජිකාවන්ට පුහුණුව ලබාදීම.
2)පාදේශිකයන්ට අවශ්‍ය ප්‍රධාන උපකරණ සැපයීම.
3)බාහිර මූලාශ්‍ර වලින් ලැබෙන ආධාර ණය අරමුදලට බැර කිරීම.
4)කණ්ඩායම් ව්‍යූහය ශක්තිමත් කර සහාය ලබාදීම.

මෙම ව්‍යූහයේ ඉහළම ස්ථරය(governing body) වන 'ජාතික විධායක සභාව' සෑදී ඇත්තේ දිස්ත්‍රික්කයක ප්‍රාදේශිකයකෙන් තෝරාගන්නා ලද භාණ්ඩාගාරිකවරියන්ගෙනි.දිස්ත්‍රික්කයක ප්‍රාදේශික 10ට වඩා ඇත්නම් ජාතික විධායක සභාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශික 2කින් භාණ්ඩාගාරිකවරියන් පත්කරගත හැක.
ප්‍රතිපත්ති සෑදීම හා ක්‍රියාත්මක කිරීම,සාමාන්‍යාධිකාරිවරයාගෙන් උපදෙස් ගෙන ගැටළුකාරී අවස්ථා විසඳීමට තීරණ ගැනීම මෙහි වගකීම් වේ.ව්‍යුහය නියෝජනය කරන සාමාජිකයෙක් නොවන එකම පුද්ගලයා වන්නේ මෙහි වර්තමාන සාමාන්‍යාධිකාරී වරයා වන ගමගේ මහතා පමණි.

සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තවත් අංශ ඇත.කාන්තාවන්ට සුළු පරිමාණ කර්මාන්ත වලට උපදෙස් දීමට හා ඇයව ව්‍යාවසායිකාවක් ලෙස සමාජගත කරන 'ව්‍යවසායක අංශය',සමාජ සුරක්ෂිතභාවය වෙනුවෙන් 'රක්ෂණ අංශය',ගොවිතැන් හා වගාවන් සඳහා උපදෙස් දීමට 'කෘෂිකාර්මික අංශය',තාක්ෂණික සහය දීමට 'තාක්ෂණික අංශය',අවම මිලට වෛද්‍ය පහසුකම්,රසායනාගාර පහසුකම් ලබාදෙන 'සුසේකා සේවය' පමණක් නොව 'මාධ්‍ය හා සංස්කෘතික අංශය'කින් පවා මෙය සමන්විත වෙයි.

කාන්තා සමූපකාරයේ ප්‍රධානම සේවය වන 'ණය ලබාදීම' වුවත් රැඳී පවතින්නේ නීතිමය රාමුවක් පදනම් කරගෙන නොවේ.හුදු විශ්වාසය මතය.එමෙන්ම ණය අයකරගැනීම මේ වන තෙක් 100%ක් සාර්ථකව ඉටුවී තිබේ.කාන්තා සමූපකාරයේ අද වනවිට දක්වා ඇති විශිෂ්ට සාර්ථකත්වයෙන් පැහැදිලි වන කාරණා කිහිපයක් ඇත.

1)සමූපකාර සඳහා රජයේ හෝ පෞද්ගලික ප්‍රාග්ධනය අවශ්‍ය නොවේ.
2)මේ රටේ කාන්තාවට නිසි පුහුණුවක් හා වගකීම් ලබාදුන්හොත් ඇය සමාජයට වටිනා දායාදයක් බවට පත්වේ.
3)අඩු ආදායම්ලාභීන්ව නීතියට් වඩා විශ්වාසය හරහා ණය ගණුදෙනු කිරීම සාර්ථක වී ඇත.අවශ්‍ය ඔවුන්ට නිසි අවස්ථාවක් හා මාර්ගෝපදේශයක් ලබාදීමයි.
අවසානයේ කාන්තා සමූපකාරයේ සමරු කලාපයක ඇති සටහනක් උපුටා දක්වමි.
''ළියන් නිළියන්,රැජිණන් හා වෙළඳ භාණ්ඩ කරන්නට කැසකවන සමාජයක කාන්තාව පරිභෝජන සමාජයේ නොව ආයෝජන සමාජයේ වීරවරියන් බව පසක් කළෙමු.''


Saturday, July 2, 2016

මහායානය සහ ථේරවාදය(හීනයානය)..

මහායාන බෞද්ධ සම්ප්‍රදායේ වෙනස්කම් මොනවද?

බිව්වට අවුලක් නෑ,ශරීරයට සැප දුන්නට අවුලක් නැහැ,හාමුදුරුවරු කසාද බඳිනවා? 

නැහැ....මේ එක එක නිකායන්ගේ ස්වභාවයන්.සමහර මහායානික නිකායන් තියනවා භික්ෂුන්ට මාංශ වැළඳීම පවා අකැපයි ඒ වගේම දැඩි විනය නීති යටතේ ඉන්න වෙන්නේ.

මහායානිකයින් විශ්වාස කරන්නේ නිර්වාණය ලබා ගන්න පුළුවන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් විතරයි කියල.ඒ වගේම ඔවුන් කියන්නේ මහායානය තමා බුදුන්ගේ ඉහලම ඉගැන්වීම කියල.මහායාන සුත්‍රයක තියනවා ගෞතම බුදුන් මෙහෙම කියන කොටසක්
 ''මා සොයාගත් ධර්මයෙන්,මා සරණ ගොස් ඔබහට මට වඩා අඩු බෝධියකින් නිවන් යැවීම මාගේ අරමුණ කියා ඔබ සිතනවානම්,මහණෙනි...මම එවැනි නායකයකු නොවෙමි'' කියල.

ථෙරවාදීන් විශ්වාස කරන්නේ නිවන තුන්තරා බෝධියෙන්ම අවබෝධ කරගන්න පුළුවන් කියල.ඒ කියන්නේ සම්මා සම්බුද්ධ,ප්‍රත්‍යෙක බුද්ධ(පසේ බුදු) සහ ශ්‍රාවක බුද්ධ (අරහත්) කියන යානා තුනෙන්ම නිවනට යන්න පුළුවන්.

මහායානය කියන වචනයේම තේරුම සම්මා සම්බුද්ධ කියන යානාවෙන් පමණක්ම නිවනට යන්න පුළුවන් කියන එක හිනයානයෙන් කියන්නේ සම්මා සම්බුද්ධත්වයට අඩු යානයකින් වුනත් නිවන් දකින්න පුළුවන් කියන එක.(මහායානයට-සම්මා සම්බුද්ධත්වයට වඩා අනෙක් යානා දෙක හීනයි,මේ නමේ තේරුමත් එන්නේ මෙහෙමයි.)

ථෙරවාදයට අනුව අරහත්වයට පත්වීමට දස පාරමිතා ප්‍රමාණවත්.
පසේ බුද්ධත්වයට දස පාරමිතා සහ දස උප පාරමිතා.
සම්මා සම්බුද්ධත්වයට පත්වීමට දස පාරමිතා,දස උප පාරමිතා සහ පරමත්ථ පාරමිතා සම්පුර්ණ කරන්න ඕනේ.


ඒ අතින් බැලුවම දස පාරමිතා පමණක් සම්පුර්ණ කරලා නිවන් දැකීම easy way out එක..ලේසිම ක්‍රමය...


ථෙරවාදීන් මහායානය බුද්ධ භාෂිතයක් කියල පිලිනොගත්තට මහායානිකයින් ථේරවාදය බුද්ධ භාෂිතයක් කියල පිලිගන්නවා...හැබැයි ඔවුන් පිළිගන්න විදිහට බුද්ධ භාෂිතයෙන් උසස්ම (supreme) ධර්මය ථේරවාදය නොවේ..ඒ වගේම බුදුන් ථේරවාදය දේශනා කිරීමට හේතුව සම්බන්ධයෙන් ඔවුන්ට ඉතාමත් සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් තියනවා..

(මතු සම්බන්ධයි)




Wednesday, June 22, 2016

නැව් ටෝක් (2)

(මුල් කොටස මෙතැනින්)


නැවක කොටස්...


සාමාන්‍යයෙන් නැව් ඒවාගේ වර්ගය අනුව තරමක් වෙනස් කම් තියෙන්න පුළුවන්.ඒත් මෙතන දක්වලා තියෙන්නෙ සාමාන්‍යයෙන් දකින්න පුළුවන් පොදු කොටස් පැහැදිලි කිරීමක්..පලවෙනි රූපේ අංක වලින් පෙන්නලා තියන ඒවා ඒ පිලිවෙලින්ම මෙහෙම පැහැදිලි කරනවා..රායිට් ඕකේ ...


1) Funnel
මේ වචනේ සාමාන්‍ය තේරුම තමා පුනීලය කියන එක.එත් නාවික ව්‍යවහාරයට අනුව මේක තමා නැවේ දුම් බටය.තෙල් දහනය වීමෙන් දුම් පිටවෙන්නේ මේක හරහා.මේක සම්බන්ධ වෙන්නේ නැවේ තට්ටුව යටින් තියන engine room (room කිව්වට මේක සැහෙන්න ලොකු ප්‍රදේශයක පිහිටි අවකාශයක්) එකේ ඉඳන්.


2)Jackstop
වැඩිය ව්‍යවහාරයේ නැති වචනයක්.වාරයකට ඇතුළු වෙද්දී නැව ලියාපදිංචි කරපු රටේ නාවික ධජය ඔසවන්නේ.


3)Propeller
මේක හරියට සම්බන්ධ කරපු විශාල බඹරයක් වගේ.මේකෙන් තමා වතුර තල්ලු කරන්නේ නැව ඉස්සරහට/පස්සට යන්න.


4)waterline
ජල මට්ටම


5)anchor
නැවේ නැංගුරම. මේ රුපයේ නැංගුරම තියෙන්නේ සම්පුර්නෙන්ම හකුලලා.මේක සම්බන්ධ වෙනවා දිග,ඝන,යකඩ මුදු වලින් හැදුනු cable එකකට...ඉතින් මේක පාවිච්චි කරලා පටු ගැඹුරක් තියන තැනක මේ නැංගුරම දැම්මම නැව එක තැනක නවත්තන්න පුළුවන්.මඩ හෝ වැලි තියන මතුපිටක මේ නැංගුරම ගිහින් ඇමිණුනාම ඒකෙ ඇමිනිමයි දිග ඇදෙන cable එකයි මේ නැව අල්ලාගෙන දියවැල්,රල පාරවල් වලට ඇදිල යන්න නොදී තියාගන්නවා.මේ විදිහේ නැංගුරම් දෙකක් තියනවා නැවකට.පැති දෙකින්ම ඉස්සරහින්.


6)(bulbous) bow
මේක තමා නැවේ ඉස්සරහම කොටස.මේක තමා වතුර කපාගෙන ඉස්සරහට යන්නේ.ඒක නිසා ශක්තිමත්වම හදන කොටස.මේක මේ bulb එකක් වගේ හැඩයකට හදන්නේ එකෙන් වේගය වැඩිකරගන්න පුළුවන් නිසා...


7)stemjack
නැව අයිතිකාරයාගේ කොඩිය උස්සන කොඩි ගහ.


8)Deck
නැවේ බිමට floor කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ.ඒකට කියන්නේ deck කියන වචනේ.තව බිත්ති වලට කියන්නේ bulk head කියලා.


9)bridge
deck එකේ ඉඳල ඉහලට යන ජනෙල් තියන සුදු කොටස පේනවා නේද? ඒ මුළු කොටසටම කියන්නේ accommodation කියල.මේ කොටසේ තමයි ඔක්කොගෙම කාමර,භෝජනාගාරය පිහිටලා තියෙන්නේ.accommodation එකේ උඩම තට්ටුව තමයි නැවේ පාලන මැදිරිය.හඳුන්වන්නේ bridge කියන නමෙන්.

එතකොට දෙවෙනි රූපේ..
hatchescargo hold වහන්නේ මේවගෙන්.මේකත් ඝන යකඩ තහඩුවක් තමයි.crane එකක් නැත්තන් නැවේම තියන hydrolic/electric mechanism එකකින් අරින්න පුළුවන්.ලොකු පියනක් වගේ.මේකෙන් තමයි ගෙනියන cargo වැහි වතුරෙන්,මුහුදු වතුරෙන් ආරක්ෂා කරගන්නේ.container නැව් වල cargo hold එක පිරෙනකල් container පිරෙව්වට පස්සේ මේ hatch cover එක වහල ඒක උඩ container load කරන්න පුළුවන්.
keelනැවේ තියන පහලම කෑල්ල.මේක හරියට කොඳු නාරටිය වගේ..මේකට තමා මුලික සැකිල්ල සෙට් වෙන්නේ.

stern
නැවේ පිටුපස කොටස.


forecastle
නැවේ ඉදිරිපස කොටස

අවසාන රුපයේ දක්වා තියෙන්නේ propeller එකකුයි rudder එකකුයි.rudder එක එන්නේ propeller එකට ඉස්සරහින්.මේකෙන් තමා නැව හැරවෙන්නේ.එහෙම කරන්නේ propeller එකෙන් වතුර තල්ලු කරන එකේදී අවශ්‍ය පැත්ත අවහිර කරලා.එතකොට නැව අනික් පැත්තට හැරෙනවා....
ඒ වගේම නැවේ ඉස්සරහ ඉඳන් කෙළවරටම යනකල් ටැංකි විශේෂයක් තියනවා.මේවා පාවිච්චි කරන්නේ මුහුදු වතුර පුරවන්න.නැවෙන් cargo discharge කරද්දී නැවේ බර අඩුවෙලා නැව ඉස්සෙන්න ගන්නවා.එතකොට ඒ අඩුවෙන බර වෙනුවට වතුර පුරවනවා.නැවට cargo load කරද්දීත් එහෙමයි.බර වැඩිවෙන නිසා ඒ ටැංකි වල තියන වතුර එලියට දානවා.මේ විදිහට නැවේ stability එක maintain කරගන්න ගන්න වතුරට කියන්නේ ballast water කියල.ඒ ටැංකි වලට කියන්නේ ballast tank කියලා.
(මතු සම්බන්ධයි)

Monday, June 6, 2016

නිර් රේඛීය(non-linear) මාධ්‍ය හැසිරවීම..


අවුරුදු ගණනාවකට පෙර 'සිව්දෙස' නම් සඟරාවේ,කැමිලස්ගේ කාටූනයක් වූ මෙහෙව් රටේහි එක් කාටූනයක් මතකයට පැමිණේ.ඇමති බන්ගලාවක් පිටත උද්ගෝෂණය කරමින් සිටින මිනිසුන් සමූහයකි.ඔවුන්ගේ පුවරු වල සඳහන්ව ඇත්තේ ''බඩු මිල අඩු කරනු'' යන්නයි.මෙය බලා ඇමති තම ලේකම් වරයාට මෙසේ කියයි.
 

''අපරාදේ ක්‍රිකට් මැච් ඔක්කොම පරාදයි'' යන්නයි.

ව්‍යන්ගාර්ථය නම් ක්‍රිකට් උන්මාදයක් තිබූ එකල මැච් දින්නානම් මේ මිල වැඩිකිරීම් ගැන ජනයා කිසි උනන්දුවක් නොගන්නා බවයි.මහජනයාට බලපාන ප්‍රශ්නය වන බඩු මිල වැඩි වීම දැනෙන්නේ මේ ක්‍රිකට් තරඟ පරාද වීම නිසාය.

නිර් රේඛීය මාධ්‍ය උපක්‍රම යනු මාධ්‍ය රාජ්‍යයට අවශ්‍ය වන පරිදි හසුරුවාගැනීමේ උපක්‍රමයකි.විවිධ ප්‍රවෘත්ති වලට ප්‍රමුඛතාවය දෙමින් පීඩනය සහිත,බිය ගැනෙන සුළු ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක් එක්වර මුදා හැරීමයි.බටහිර මාධ්‍ය සඳහා අයිසිස් ත්‍රස්තයින්ගේ ජයග්‍රහණ,ඉබෝලා වැනි වසන්ගත ගැන දිගට හරහට ප්‍රවෘත්ති දීමෙන් මෙය පවත්වාගෙන යයි.එකිනෙකට නොගැලපෙන,භයානක ලෙස පෙනෙන ප්‍රව්‍රත්ති විශාල ප්‍රමාණයකට මෙසේ අවධානය ඇදී යාම නිසා සැබෑ ප්‍රශ්න අවධානයෙන් ගිලිහී යයි.එසේ නැත්තන් සැබෑ ප්‍රශ්න කුමක්දැයි හඳුනා ගත නොහැකි වන පරිදි පටලැවී යයි.

බටහිරට යම් වැදගත් කමක් සහිත නිර් රේඛීය ප්‍රවෘත්ති දුන්නත් අප රටේ ඉතා පහසුවෙන් මේ තත්වයට පත්කළ හැක්කේ අපේ ග්‍රාහකයින්ගේ කුණු රසට ඇබ්බැහිවීම නිසාවෙනි.

යුරේනිගේ ජන්ගිය,වාරියපොළ කෙල්ල,කෙල්ලට ගහන පොප්සියන් දෙදෙනා වැනි ප්‍රවෘත්ති වුවත් මේ තත්වය ඇති කිරීමට ප්‍රමාණවත්ය


(වැඩකරන ආකාරය )
 

වැදගත් පුවතක් ඇත.එය මාධ්‍යයට හෝ ජනතාවට නිරාවරණය වීම රජයට අවාසියකි..කළ යුත්තේ කුමක්ද?
 

හොඳම දෙය තැති ගැන්වෙන සුළු එකිනෙකට නොගැලපෙන ක්‍රියාදාමයන් බොහෝමයක් එකවර ඇතිකිරීමයි.මාධ්‍ය වාර්තා පිරී මහජන අවධානය විවිධ අතට බෙදී යයි.එවිට මහජනයාට බලපාන,සැබෑ ප්‍රශ්නය වැසී යයි.එසේත් නැත්තන් එහි වැදගත්කම හඳුනා ගත නොහැකි ආකාරයට පටලැවී යයි.මේ පැටලිලි ඉවර වන විට ඒ ප්‍රව්‍රත්තියට අදාල වැදගත් සිහුවීම අවසාන වී එය ඉතිහාසයට එකතු වේ.තවදුරටත් එහි වැදගත්මක් නැත.

Wednesday, June 1, 2016

පොඩි නම

ඒබරන් සීයා මේස් බැනියම අඳින්නේ තරමක් වැදගත් ගමනක් යනවිට පමණි. ඔහු අත්දිග සුදෝසුදු කමිසයත් හැඳ අල්ලපු ගමේ පන්සලේ ආවාස ගෙයි තිබූ මිටි බන්කුවේ වාඩිවී ලොකු හාමුදුරුවන් සමඟ පිළිසඳරක යෙදී සිටියේය.

හාන්සි පුටුවේ සිටි හාමුදුරුවන් බුලත් විටකුත් හපමින්ම සිටීම ඔහු තරමක් නොසන්සුන්තාවයකට පත්කළත් ඉවසා සිටියේ ආවාස ගෙයි දක්නට ලැබුණේ හාන්සි පුටුව ලඟ තිබූ එක පඩික්කමක් පමණක් බැවිනි.ලොකු හාමුදුරුවන්ගේ ගෝල දෙනමම තමන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට බැහැර වී සිටියහ.පන්සලේ සිටියේ වපර කොර ගසමින් ගිය බණ්ඩා හා ඒබරන් සීයාගේ සනුහරේ ඉතිරිව සිටි කුඩා මුණුපුරා පමණි.අනෙක් නෑයින් අන්ත දුප්පතුන් වූ අතර යමක් කමක් කරගත් නෑයින් ගැන දිගු කලෙකින් ආරන්චියක්වත් නැතිවිය.පස් හැවිරිදි මුණුපුරා මහණ වූයේ ගිය මාසයේදීය.ඒබරන් සීයා මේ පොඩි උන්නනාන්සේ මහණ වූ පසු බැහැදකින්නට පැමිණි පළමු වතාවයි.


හාමුදුරුවන් ' ඉස්තානය' දියුණු කරමින් සිටියහ..ශීට් අයින්කර ආවාස ගෙය උළුවලින් සෙවිලි කර තිබුණි.අළුත් මේසයක් හා උයනගෙයට අවශ්‍ය දේවල් ලබාගෙන තිබුණි.උන්වහන්සේ ලඟදී සැලසුම් කරන්නේ කුඩා බණ මඩුවේ පරණ ටකරන් ඉවත්කර ශීට් දැමීමටයි.රටේ වාතාවරණයද කථාකිරීමෙන් පසු ඒබරන් සීයාට යායුතු වේලාව පැමිණ ඇති බව හැඟෙන්නට විය.මිටි බන්කුවේ වාඩි වීම හන්දිපත් රෝගියකු වූ ඔහුට තරමක් ආයාසයක් ගතයුතු දෙයක් වුවද නැඟී සිටින්නට එවැනි දෙගුණයක ශක්තියක් අවශ්‍ය බව ඔහුට දැනුණි.හැරමිටිය නොවේනම් එය මීටත් වඩා දුෂ්කර වනු ඇත.ලොකු හාමුදුරුවෝ ලඟට ගොස් අපසුවෙන් තුනටිය නවා අවසර ගත් ඔහු වටපිට බැලුවේය.ලොකු හාමුදුරුවෝ හඬ නඟා කථාකළහ.


''පොඩි නම...කෝ මේ පොඩි නම.ඒබරන් ආපුවෙලේ මූණ බැලුවා විතරයි මේ ටිකට කොහේ ගියාද??''


කඩිමුඩියේ දිව එන සිහින් අඩි ශබ්දයක් ඇසුණි.ආවාස ගෙය දොර ලඟට පැමිණි විට අඩි ශබ්දයේ වේගය අඩුවිය.පොඩි නම සෙමෙන් පැමිණ ආවාස ගෙයි දොරකඩෙන් ඇතුළුව බිම බලාගෙන සිටින්නට විය.උන්වහන්සේ සිතා සිටියේ ඒබරන් සීයා දෙතුන් දොහක් වත් නවතියි කියාය.සෙමෙන් සෙමෙන් තමන් කරා පිය මණින තමන්ට එකල සිටි එකම හිතවතා තකහනිකයක්ම ආපයින් යාමට සැරසීම ගැන උන්වහන්සේට තරමක් නොපහන් සිතක් විය.


පන්සලේ පිවිසුමට ඒබරන් සීයාව කැටුව ගිය ලොකු හාමුදුරුවෝ ත්‍රී වීල් එකකට එන්න පණිවිඩය යවා තිබුණි.ඔවුන් පිවිසුමට පැමිණෙන විටම ත්‍රී වීල් එක පැමිණ වන්ගුවක් කපා අනෙක් පැත්තට හරවා ඒබරන් සීයා එනතුරු සිටියේය.ඒබරන් සීයා නැවතත් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන පොඩි නම දෙසත් බැලුවේය.


එක්වරම බිම දණගසා පොඩි නම ඒබරන් සීයාට වැන්දහ.ක්ෂ්ණයෙන් සිදුවූ මේ වළක්වාගත නොහැකි වූ ක්‍රියාව නිසා ඒබරන් සීයා අසරණව ලොකු හාමුදුරුවන්ගේ මුහුණ දෙස බැලීය.


 ''හා හා ඒබරන්,ඒකට කාරියක් නෑ..තාම එහෙම තේරුමක් තියන එකක්යැ.ආ,මෙන්න මේ රුපියල් හැට ඔය ත්‍රී වීල් කරයට දෙනව බහිනකොට.දැන් සුනන්ගු නොවී ගියානන්,නැත්නම් බස් එක මඟ ඇරෙයි.'' 

ලොකු හාමුදුරුවන් වදාළහ.ඒබරන් සීයා ත්‍රී වීලරයට නැග්ගේය.
ත්‍රීවීලරය නොපෙනෙන තුරු බලා හුන් ලොකු හාමුදුරුවෝ පොඩි නමගේ කණින් ඇදගෙන ආවාස ගෙය පැත්තට වඩින්නට වූහ..

Wednesday, May 25, 2016

සයිමගේ epic අධි සංබාවීය විචාර (1)

උපුටා ගැනීම-

හිතවතිය,
මේ සිහින සුරුවම
අවසාන කඩයිමය


මේ ඉමෙන් ඉක්බිතිව,
ප්‍රේමයේ පුරවරය
සියක් වසකට පෙර
විනාසව වල් වැදුණ


ඔබ යළිත් යා යුතුය
අනවසර පුද බිමෙන්
වසන්තය සොයා ගෙන.

පසු ගමන් නො එන්නෙමි
මග ලකුණු නොදන්නෙමි


එකතු කර ගල් කැබැලි
නටබුන්ද විසිර ඇති
මතු පුරය නගන්නෙමි
යළි ඇයට පුදන්නෙමි

-රවිෂ තිලකවර්ධන-


-උපුටා ගැනීම අවසන්.



සයිමාගේ විචාරය

මේක කියන්නේ සමාජවාදීන්ට..

//හිතවතිය,
මේ සිහින සුරුවම
අවසාන කඩයිමය//

සුරු වම>හුරු වම>වාමන්ශිකයින්.
වාමාන්ශිකයිනේ උඹලාගේ අවසාන අභිප්‍රාය වන සමාජවාදී උතෝපියාව සිහිනයක් පමණි..

//මේ ඉමෙන් ඉක්බිතිව,
ප්‍රේමයේ පුරවරය
සියක් වසකට පෙර
විනාසව වල් වැදුණ//

දැන් අවුරුදු 100ක් විතර වෙනවා නොවැම්බර් වල වෙච්චි ඔක්තෝබර් විප්ලවය(1917) වෙලා.ඒ වුනාට අද රුසියාවේ සමාජවාදේ වල් වැදිලා.

//ඔබ යළිත් යා යුතුය
අනවසර පුද බිමෙන්
වසන්තය සොයා ගෙන.
පසු ගමන් නො එන්නෙමි
මග ලකුණු නොදන්නෙමි//

ආයෙත් විප්ලවය ඇති වෙන්න ඕනේ.අරාබි වසන්තය වගේ.ඒත් එක ඇතිවෙන්න ඕනේ මිනිස්සුන්ගේ එකමුතුවත් එක්ක.නැතුව බලෙන් ඇති කරන්න ඕනේ එකක් නෙවේ.(මම හිතන්නේ මේක ජෙප්පන්ට කියන්න ඇත්තේ)

//එකතු කර ගල් කැබැලි
නටබුන්ද විසිර ඇති
මතු පුරය නගන්නෙමි
යළි ඇයට පුදන්නෙමි//

පරණ විප්ලව වල මතක සටහන් අරගෙන මතු විප්ලවය වෙනුවෙන් මම රැකගෙන ඉන්නම්.අනාගත සමාජවාදී රාජ්‍ය ඒ අත්දැකීම් වලින් වඩා හොද තැනක් කරන්න ඒ මතක සටහන් ඉවහල් වේවි.

ඒත් මට තේරෙන්නේ නැත්තේ මෙහෙම බලාපොරොත්තු දෙන ගමන් මුලම පැදියෙන් අශුභවාදී වුනේ කියලා.

Tuesday, May 24, 2016

රට ඉඳන් ආව යාළුවා

සයිමගේ ගෙවල් පැත්තේ ඉස්කෝලේ යාලුවෙක් රට ඉඳල ආව.දැන් මු අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල කියනවා.හැබැයි සෙට් වුනේ නෑ.සයිමට යකා නැඟල ගත්ත මුට කෝල් එකක්.
මූ ආන්ස්වර් කළා..

''හෙලෝ මචන් සයිමා..මොකද සින් එක?කියහන්''


''මොකක්ද සින් එක.,.. ඈ හු**** පු* තෝ අද සෙට් වෙමු හෙට සෙට් වෙමු කියල **** ****වද එන්නේ නැතුව...''

''මචන් සයිමා.මේකයි...''

''උඹ පු* දීපන් මෙතන කැ* වේ** ** දැන් මෙතන බබා හුකුම්ද?''

''මචන් මේකයි.මම දැන් ඩ්‍රයිව් කරන ගමන් ගෙදර අය එක්ක මාතර යනවා.මම ඩ්‍රයිව් කරන ගමන් ආන්ස්වර් කලේ ලවුඩ්ස්පිකර් දාලා....''

කෙලලා තියෙන්නේ..සයිමා කන ගලවල සාක්කුවේ දාගත්ත.

Friday, May 20, 2016

අසදෘෂ දානය

සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය.මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.
උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම,සන්ථාගාර,ගිලන්හල්,ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා 
කර තිබුණි.මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.

එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය.මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි.එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය.දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය.ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.
නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි.මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.

මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය.රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ.දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්,තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.
එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි.ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.

බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.

බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක.උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය.සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.

''සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?''

සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.

''භාග්‍යවතුන් වහන්ස.. ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි..''

ඉක්බිති බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ.ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.

''සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??''

සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.

''එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!..ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?"

ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ..

''සාවිත්‍රය ..අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??''

සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ..

''ස්වාමීනී..ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය,ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ,ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද,අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී..අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි.ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි.ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි,චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි,එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි,අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි.දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි.ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී.රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය...

මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි..''

බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ..

''සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත.උත්සවය කෙළවර වන්නේ අද සවසයි.

මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි.දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය.මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී.අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි.අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය.මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.


මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි.වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය.මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය.නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි..මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.

පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය.මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය.මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ.මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.
ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි.අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි.මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.


තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය.නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද ,දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය..මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි.මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය..

සාවිත්‍රය..තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු..


ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??''

''ස්වාමීනී,අසූ කෙළකි''

''සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?''
'' නැත ස්වාමීනී..එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය''

''රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??''
''ස්වාමීනි..එය ප්‍රවේණිගත ධනයකි.තව අයබදුද අය කෙරේ.''

''රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??''
''නැත ස්වාමීනී..ඔහු එය මෙහෙයවූවා පමණි..''

''රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??''
''ස්වාමීනී..ඔහු භක්තිමත් බව දනිමි..එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය.''

''සාවිත්‍රය සිහි එළවා ගනු.මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය..තොප කුමක් සිතයිද?''

සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ.ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ..

''ස්වාමීනී වැටහේ..මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක.එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි.''

බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.

''සාවිත්‍රය,ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය..
හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය.එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය.ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.


මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය.ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය.ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය..


කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.


සියදහස් වාරයක් සක්විති රජවන්නේය.


ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.

අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය..


සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ!"


මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය.ගස් සෙමෙන් පැද්දෙන්නට විය.තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.