Monday, September 11, 2017

පුංචි හීන

ටිකෙන් ටික
ලොකු වෙන්න වෙන්න
මට තිබුණේ පුංචි හීන

පොඩි රස්සාවක් කරන්න
ඉන්දියන් බයික් එකක් ගන්න
ඔබේ වැඩ හැරුණු විට
රැගෙන යන්නට එන්න

අඳුරත් එක්ක මුසුව
හීන් පොදයක් වැටෙන විට
ජැකට් එක ගලවා
ඔබට පොරවාලන්න

වාතය දෙබෑ කරගෙන
තදින් මුහුණේ ඇනෙන
හීන් වැහි උණ්ඩවලට
තනියමම මුහුණ දෙන්න

රේස්කළවිට,තද බ්‍රේක් එකකට
ඔබ තරමක් ගැස්සෙන විට
කිටි කිටියේ බඳ වටා ගිය ග්‍රහණය
තව තවත් තදවෙන හැටි දැනෙන්න

කිසිවිටක ඉටු නොවුණට
මට තිබුණේ පුංචි හීන

Saturday, July 22, 2017

අරාජිකවාදියා (ලේඛකයා සහ දොස්තර කටු සටහන්


"මිනිස්සු රැකුණේ ඔවුන් විසින් පද්ධතියක් ආරම්භ කරපු නිසා.මම හිතන්නේ මේකට ලිඛිත සාධක ඇති පැරණිම උදාහරණය මෝසස් විසින් සිනායි කන්දේ ඉදිරිපත් කරපු දස පනත.අනික් හැමදේම වගේ මේ පද්ධතියත් පරිනාමය වුනා.


එන්න එන්නම ඔවුන්ට වැටහුණු දේ තමා පද්ධතිය විසින් ඔවුන් ගිලගනිමින් ඉන්නා බව.හැබැයි පද්ධතිය නැති වුනොත් ඔවුන්ගේ පැවැත්ම නැතිවෙලා යන්න තිබ්බ.ඉතින් මේකේ පරාමිතීන් නිර්මාණය කරන්න වුනෙත් මිනිස්සුන්ටමයි.ඉතින් යම් මිනිසුන් පිරිසක් විසින් මේක ෆයින් ටියුන් කරන්න වගකීම ගත්තා.

මෙන්න මේ පද්ධතිය අන්තිමේට අද තියන තත්ත්වෙට එද්දී ගත්තේ පිරමීඩාකාර හැඩයක්.ඉහලයන්න යන්න කුඩාවෙමින් තියුණු කෙලවරකින් ඉවර වෙමින්,පහල විශාල පාදමක් මත රැඳී පවතින විදිහට.මේක තමා මේ පද්ධතියට ගන්න පුළුවන් වුනු ස්ථායිම හැඩය.නමුත් පාදමට එහෙම අඩුවක් නොදැනෙන්න ඔවුන් පොඩි පොඩි දේවල් ලබාදුන්නා.ආගම දර්ශනය ලිවින් ස්ටැන්ඩඩ් වගේ.(ඒ වගේම කවදාවත් ධනවත් හෝ බලවත් අනුග්‍රාහකයෙක් නැති ආගමක්වත් දර්ශනයක්වත් බිහිවෙලා නැහැ)

උඹට දැන් නම්බර් එකක් තියනවනේ..මම කිව්වේ කම්පැනි එකෙන් දීපු.දැන් උඹේ අංකෙ ඩේටාබේස් එකේ ගැහුව ගමන් උඹ ගැන විස්තර එනවා.නම,වයස,ලිපිනය,ගෑණි,දරුවෝ,උපත විපත මේ හැම රෙද්දක්ම.උඹ මොකක් හරි කේස් එකක් දාගෙන අයින් වුනොත් උඹේ බොසාල කරන්නේ අලුත් නොම්මරයක් හදල උඹේ නොම්මරේ මකල දාන එක.උන්ට උඹ හැඟීම් දැනීම් වලින් හැදිච්ච,හුස්ම ගන්න,බරක් තියන ප්‍රාණියෙක් නෙවේ.අංකයක් විතරයි.මේකයි ඇත්ත.... අයි. ඩි, ,සෝෂල් සිකියුරිටි නම්බර් මේ ඔක්කොම.ලෝකෙම ලොකු හිරගෙයක්.අපිට මුන් අංක දීල තියෙන්නේ.

උඹ හිතනවද පිරමිඩේ ඉහලට නගින එක ලේසියි කියල.එහෙම නැත්තන් ඉහලට ගියාම මුදුන ගලවල විසි කරන්න හිතෙනවා කියල.නැහැ.. ඉහලට යන්න යන්න මේකට තියන ආශක්ත බව වැඩිවෙනවා.පහලින් ඉන්න උන්ව පාගන් ඉන්න තියන ආසාවත් එක්කම.ඉතින්....කරන්න තියෙන්නේ...පාදම වැඩේ තේරුම් අරගෙන..මේ පිරමිඩෙන් ගැලවෙන එක විතරයි...එතකොට පිරමිඩේ වැටෙනවා...මුදුනත් එක්කම.

Tuesday, July 18, 2017

vertex (1)

''සදේවකේ ලෝකේ,සමාරකේ සබ්‍රහ්මකේ''
(දෙවිවරු,මාරයින් බ්‍රහමයින් සහිත වූ විශ්වයේ)


දරුවා උපන්නේ 80 දශකයේදී මැද හරියේදී කඳු ගැටවලින් වටවූ ග්‍රාමයකටය.ගැලපෙන නැකත අනුව ඔහුට 'පුලතිසි' ලෙස නම ඔහුගේ දෙමාපියන් තෝරාගත්හ.

හෙතෙම කුඩා කල සිටම වැඩි දැගලීමක් හෝ ඇඩිල්ලක් නොමැති දරුවකු විය.මාස තුන හතර වන විට යමක් දෙස බලමින් හෝරා ගණනක් කල්පනා කිරීමට පටන් ගෙන තිබුණි.ඔහුගේ දෙමාපියන් මාමලා,නැන්දලා සහ අත්තා අත්තම්මාද ගුරුවරුන් වූහ. ඔහු උපන් මහ ගෙදර සිටියේ ඔහුගේ මව සහ ඇගේ දෙමාපියනුයි.පියා තරමක් දුර බැහැර පාසලක උගැන්වූ නිසා නිවසට පැමිණියේ සති අන්තයේ පමණි.තවද ගෙදර සහ අක්කර 3ක් පමණ වූ ගම්මිරිස්,පලතුරු වගාකළ වත්ත බලාගැනීමට වසර 5ක පමණ සිට ගමට අමුත්තෙකු ලෙස පැමිණි හැඩි දැඩි අගොරිස් එහි රැඳී සිටියේය.

දරුවාට අවුරුද්දක් පමණ වූ විට ඇවිදින්නට පටන් ගත්තේය.හෙතෙම නිවාසය පිටුපසට ගොස් තරමක් ගස් කොලන් සහිතව වනයක් මෙන් දිස්වන බැවුමේ ඇති වත්ත දෙස බලා සිටියේය.එම වත්තට පිවිසෙන තැනට මඳ දුරකින් කළු පැහැති තුඹසක් බැඳ තිබුණි.

මහගෙදර එකල බොහෝ පැරණි ගෙවල් මෙන්ම සොල්දරයකින් සමන්විත විය.කවුරුන් හෝ සොල්දරයට නැඟ ගමන් කිරීමේදී එහි සාදා තිබු ලෑලි තරමක ශබ්දයක් ගෙන දීමට සමත් විය.දිනක් දහවලක මව රැකියාව සඳහා සහ අත්තම්මා සමුපකාරය බලා පිටත්ව ගිය වෙලාවක සොල්දරයෙන් පැමිණි කෑගැසීමක් අසාදිවගිය අත්තා දුටුවේ ඔහුට කිසිදිනක අමතක කල හැකි දර්ශනයක් නොවේ.

කුඩා දරුවා හඬමින් සිටියේය.ඔහුගේ අත රුධිරයෙන් නැහැවී තිබුණි.තරමක් මැතින් අඩි 10ක් පමණ දිග කළු පැහැති දැවැන්ත නාගයකුගේ සිරුරක් වැටි තිබුණි.හොඳින් පරික්ෂා කලවිට අත්තා දුටුවේ කුඩා දරුවාගේ අතක නාගයාගේ කඳින් වෙන්වූ හිස රැඳී තිබු ආකාරයයි.හෙතෙම වහාම දරුවා වඩාගෙන පිරිසිදු කර අගොරිස් කැඳවා වහාම සොල්දරය ශුද්ධ පවිත්‍ර කරන ලෙස දැන්විය.හැඩි දැඩි යකෙකුටවත් බය නැති අගොරිස් සිද්ධිය අසා සුදුමැලි වී ගිය අයුරු දුටු අත්තා හට තරමක පුදුමයක් ඇතිවිය.නමුත් අගොරිස් දරුවාට ඉමහත් ලැදියාවකින් පසුවූ බව රහසක් නොවේ.

යන්තම් අවුරුද්ද පසුවූ දරුවා පියගැටපෙලින් සොදරයට නැග්ගේ කෙසේද සහ සොදරයේදී ඇවිදින විට දරුවාගේ පාතැබුම නිසා ශබ්දයක් නාවේ මන්දැයි අත්තාට ප්‍රහේලිකාවක් විය.නමුත් මේ සිද්ධිය කිසිවකුට නොකියන්න ඔහු තීරණය කරගත්තේ ''ගෑනුන්ගේ හැටි'' දන්නා නිසාවෙනි.පිරිසිදු කටයුතු වලින් ඉක්බිතිව අගොරිස් කැඳවා කිසිවකුට නොකියන ලෙස උපදෙස් දුන්නේය.නමුත් එය අවශ්‍ය වුවක් නොවේ.අගොරිස් කිසිවකු හා කතා කලේ නොකරම බැරි අවස්තාවක පමණි.

දරුවා අවුරුදු 3 පමණ වන විට හොඳින් කතාකරන්නට හැකිවිය.හෙතෙම බොහෝ විට අත්තම්මා අසලින් හිද ඇය කියූ කතා අසමින් සිටියේය.සුභාෂිතයේ,ලෝකෝපකාරයේ,සිරිත් මල්දමේ කවි ඔහුට පාඩම් කරවීමට අත්තම්මා සමත්විය.අවුරුදු 5 වන විට ඔහු ඕනෑම අකුරක් කියවන්නට සමත්වී සිටියේය.මේ අතර ඔහුගේ ලොකු අත්තා මියගියේ රහස අගොරිස්ට පමණක් දායාද කරමිනි.හැමෝම හඬමින් සිටි නමුත් අත්තාගේ දේහයට තරමක් ඔබ්බෙන් ඉතා සියුම් ආලෝකයක් තිබු බව දරුවා දුටුවේය.

ආදාහනයෙන් සති දෙක තුනකට පසු කුඩා පුලතිසි වත්තේ දුව පනිමින් සිටියේය.මේ අතර කහට ගහකින් පැමිණි ශබ්දයක් නිසා ඔහු ඉහල බැලුවේය.අත්තක සිට කළු ගුලියක් බිමට වැටෙන අයුරු ඔහුට පෙනෙන්නට විය.

බිමට පතිත වූ මිනිසා සිටගත්තේය.හෙතෙම අඩි 8ක් පමණ උසින් වූ කාල වරණ දේහයක් දරුවෙකි.රැවුල සහ කොණ්ඩය දිගට වැවී හැඩපලු ගැසී තිබුණි.දැඩි බැල්මකින් ඔහු පුලතිසි දෙස බලමින් ඉදිරියට ඇදෙන්නට විය.උඩුකය වසා කිසිවක් හැඳ නොසිටි ඔහුගේ සවිසම්පන්න බාහු උරතලය සහ පපුව දැඩි කළු පැහැයෙන් දිලිසුණි.කෙටි ඇඳුමකින් යටිකය වසා සිටි අතර එක් අතකින් මන්නයක් තරම් පළලින් යුතු කඩුවක් දරා සිටියේය.දරුවා විමතියෙන් බලාසිටි මුත් කෑගැසුවේ නැත.මේ අතර එක වරම දෙදෙනා අතරට අගොරිස් පැන්නේය.ඉන්පසු තමන්ට හැකිතාක් හඬ මෘදු කර ආදරයෙන් කුඩා පුලතිසිව ඇමතිය.


''බබා... ඉක්මනට ගෙදර යන්ට,ලොකු ඉස්කෝලේ නෝනා හොයනවා.''

මෙය ඇසු පුලතිසි තම අත්තම්මා සොයමින් දිව ගියේය.
(මතු සම්බන්ධයි)

vertex නොහොත් සුර අසුර යුද්ධය සඳහා පූර්විකාව.....

දේව සභාව හදිසියේම රැස්විය.සියළු සන්නාහයෙන් සන්නද්ධ වූ දෙවිවරුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබිණි.මේ අතර සනන් කුමාර දෙවියන් මුලසුන දැරූ ඉන්ද්‍ර දෙවි රජුගෙන් අවසර ගෙන තම වාර්තාව ඉදිරිපත් කළේය.


"ආකාශවාසී සහ භූවාසී සියළු දෙවිවරුනී.තත්ත්වය අප බලාපොරොත්තු වූවාට වඩා බැරෑරුම්.දිගු කාලයකින් අසුරයින්ගෙන් කිසි ආක්‍රමණයක් නොවූ නිසා අපගේ පරීක්ෂාකාරී බව ගිලිහී ගියත් දැන් ලැබෙන වාර්තා අනුව ඔවුන් කාලය වැය කර ඇත්තේ සංවිධානය ශක්තිමත් කරගැනීමටයි.
මේ වන විට ඔවුන් මෙතෙක් කල් සුර-අසුර යුධයට සහභාගී නොවූ නිශ්ක්‍රීය ස්වභාවයක් ගත් සියළුම සමුද්‍ර නාග රජරවරුන් සහ ඉහළ කට්ටුවේ යක්ෂයින් පිසාචයින් සහ කුම්භාණ්ඩයින් මේ වර යුද්ධය සඳහා සූදානම් කරගෙන අවසන්.එමෙන්ම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාත් ඔවුන්ගේ පහරදීමට සහය පළකර සිටි බව සැලයි. මෙතරම් බරපතළ සටනකට මුහුණ දීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ."



පැහැදිලි කිරීමෙන් අනතුරුව පැමිණි නිහැඬියාව ඉන්ද්‍ර විසින් බිඳින ලද්දේය.


"නමුත් මේ අවස්ථාවේ ඔබ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට ඇති යතුර සම්පූර්ණෙන්ම නොසලකා හැර තියෙන්නෙ....."
සනන් කුමාර විෂ්මයෙන් ඉන්ද්‍ර දෙස බැලීය.
"කුමක්ද මා නොසලකා හැරි යතුර?"

"මිනිසුන්....."

* * *


2) 
'අසුරයින් හා සටනට දේව සේනාව තම සේනාංකාධිපතිවරු පසුපස පෙළ ගැසී සිටියහ. 

හෙළි,තෝමර,කුන්ත,වජ්රායුධ,අසිපත් අහසට එල්ල වී තිබුණි.ධ්වජයන් සොලවමින් මද සුළඟක් හමන්නට විය. දෙදෙව් ලොවට අධිපති ඉන්ද්‍ර දෙව් රජු තම ශ්වේත අසු මත සිට ඔබ මොබ යමින් හෙණ හඬින් ඔවුන්ව ඇමතුවේය.


"පින්වත්නි. යුධයේදී තොපට බියක් හෝ තැතිගැන්මක් ඇතිවුවහොත් එවිට මාගේ කොඩිය දෙස බලවු.
එකල්හි තොපගේ බිය සන්සිදෙනු ඇත.


මාගේ කොඩිය නොදුටුවහොත් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය දෙස බලවු.
එය නොදුටුවහොත් වරුණ දෙව් රජුගේ කොඩිය දෙස බලවු.


එයත් නොදුටුවහොත් ඊසාන දෙව් රජුගේ කොඩිය දෙස බලවු''

(ධජග්ග සුත්‍රයේ[බුද්ධ-ධම්ම-සඟ ගුණ] නිධාන කතාව)

* * *

3) 
ලෝක ධාතුවේ සියලු දෙවිවරුන්,අසුරයින්,යක්ෂයින්,රාක්ෂයින් ශාක්‍යමුනින්ගේ ආඥාව පිළිගත්හ. සක්වලම සාමයකින් පිරි ගියේය.
ශාක්‍යමුනින්ගේ බුද්ධත්වයෙන් වසර 12කට පසු මහා සාගර පතුලේ අසුර විමානයේ විසෙන පහාරාද සමුද්‍ර නාග රජු තම සේනාව පිරිවරා ශාක්‍යමුනින් දැකීමට පැමිණියහ.

හෙතෙම අභිමානවත් අසුර රජෙක් වුවද බුදුන්ගේ තේජස නිසා කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත්ව සිටි දුටු ශාක්‍යමුනින් පහාරාද ලිහිල් කරනු පිණිස මෙසේ වගතුග අසා සිටිහය.


''පහාරාද රජ. ඉදින් අසුරයින් සමුද්‍රයේ සිත් අලවා සතුටින් වාසය කරත්ද?''


තමාගේ පරිසරය ගැන ඇසු ප්‍රශ්නය නිසා අසුර රජහට ප්‍රීතියක් ඉපදුනි. හෙතෙම මෙසේ පිළිවදන් දුන්නේය.
''ශාක්‍යමුනින්ද්‍රයාණෙනි. මහා සාගරයේ ආශ්චර්යමත අත්භූත කාරනා අටෙකි.
1)සමුද්‍රය එක තැනකින් ගැඹුරු නැතිව අනුපිළිවෙලින් එහි ගැඹුර වැඩිවී යයි.මෙය පළමු ආශ්චර්යමත් කාරණයයි.
2)සමුද්‍රය කිසිවිටෙක වෙරල නොඉක්මවයි. මෙය දෙවන ආශ්චර්යමත් කාරණයයි.
3)කිසිදු කුණපයක් සමුද්‍රයේ නොරඳෙයි.වෙරළට ගසාඑයි.මෙය තෙවන ආශ්චර්යමත් කාරණයයි.
4)ගංගා,යමුනා අචිරවති සහ ලොව සියලුම ගංගා සමුද්‍රය කෙරේ පැමිණ තම මුල් නම හැර දමා සමුද්‍රය ලෙස නම් ලබා ගනී.මෙය සිව්වන ආශ්චර්යමත් කාරණයයි.
5)කොපමණ වැස්සත්,කොපමණ ගංගා ගලා ආවත් කිසිව්ටෙක සමුද්‍රයේ ඉඩ මඳ නොවේ.මෙය පස්වන ආශ්චර්යමත් කාරණයයි.
6)සමුද්‍රයේ කොතනින් දිය බිඳක් ගත්තද එය ලුණු රස ගනී.මෙය සයවන ආශ්චර්යමත් කාරණයයි.
7)මුතු, මැණික්, වෛදූර්ය,දක්ෂිණාවර්ත.සංක, දියමන්ති, පබලු, රන්, මැසිරිගල්, ලෝහිතංක මාණික්‍ය යන දසවස්තුන්ගෙන් සමුද්‍රය පිරි පවතී.මෙය සත්වන ආශ්චර්යයි.
8)සමුද්‍රය කුඩා මසුන්ගේ සිට යොදුන් ගණනක් දිග තිමින්ගලයින්,අසුර,නාග ගාන්ධර්වාදී සත්වයින්ටත් නිවහන වෙයි.මෙය අටවන ආශ්චර්යයි.

ශාක්‍යමුනින්ද්‍රයාණෙනි...මේ අද්භූත ආශ්චර්යමත්කරුණු නිසා අප සමුද්‍රයේ සිත් අලවා සතුටින් වාසය කරන්නෙමු.

(පළමු කොටස සඳහා මෙතැන ක්ලික් කරන්න)


Monday, July 17, 2017

රාත්‍රියක්

මුහුදත් ගැහැණිය බඳුය.

විටෙක දරාගත නොහැකි තරම් නිශ්චලය.එවිට සුමුදු රැලි නැති ගැඹුරු මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිසිලේ.

විටෙක චණ්ඩය එවිට ලොව විශාලතම යුධ නෞකාව වුවද එය තරණය කිරීමට නිර්භීත නොවේ.විරහව දරාගැනීමට නොහැකි වූ විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි.

 නමුත් බොහෝ වෙලාවල තරමක් රැලි නංවමින් වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.


දිගු පඩිපෙල් මෙන් සැදු කොන්ක්‍රීට් බැම්මේ ඉහලින් වාඩිවී මා සිටි අතර ඇය මට පියවරක් පහලින් තිබු කොන්ක්‍රීට් බැම්මේ වාඩිවී සිටියාය.මගේ දෑත් ඇය සිර නොවී නමුත් මිදෙන්නට නොහැකි මෙන්ම අපහසුවක් නොවන පරිදි වෙලී තිබුණි.ඇය හිස මාගේ දකුණු බාහුවේ තබාගෙන සිටි නිසා හිස මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් ගොඩ සුළං හඬ අසමින් සඳ අර්ධයක් පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන අඳුරක රල බිඳෙන හැටි බලා සිටියාය.


මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.


ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.


මම මුහුද දෙස බැලීමි.

Sunday, July 16, 2017

ෆුට් බෝල් ජර්සියක්

සයිම ඉස්පාඥ්ඥෙ පොඩි හෝටලේක උදේ ආහර ගන්න ගමන් හිටියේ මලයෙක් එක්ක.
සුද්දො පිරිලා,පොඩි උන් එහෙම බලන්නෙ වෙලාවකට සත්තු වත්තෙ ඉන්න උන් දිහා බලනව වගේ.සමහර විට දුඹුරු හමක්(කළු පැත්තට බර) දකින්න හම්බෙන්නෙ කලාතුරකින් නිසා වෙන්න පුළුවන්.කොහොම වුණත් ආතල්ම වැඩේ කියන්නෙ මුන්ට කඩ්ඩ බැහැ.ඉස්පැනිෂ් විතරයි.බනිස් ගෙඩියක් ඉල්ලුවහම ටූත් පික් ලැබෙන තත්වයක් ඒක.

කොහොම වුණත් නාකි ඉස්පැනිෂ් සුද්දෙක් ගේමට වගේ මගේ දිහාට ඇවිදගෙන ඇවිදගෙන ආව.සයිම කෑම කන එක පොඩ්ඩක් නවත්තලා සෙට් වෙන්න යන පෝරියල් එක මොකක්ද කියල බැලුවේ.සුද්ද ඇවිල්ල හිනාවෙලා මගේ ටී ෂර්ට් එක පෙන්නලා අත දුන්නා.අන්ද මන්ද වුනු සයිම බැලුවේ මොනවහරි හලාගෙනවත්ද කියල.

සයිම ඇඳගෙන හිටියෙ හද්ද පිටිසර අප්‍රිකානු රටකින් රු. 750ක් වගේ වියදම් කරල ගත්ත ෆුට් බෝල් ජර්සියේ බැජ් එක තමා ඩයල් එක පෙන්නල තියෙන්නෙ.හරියට දන්නෙත් නෑ ක්ලබ් එක මොකක්ද කියල.සඟ සඟ ගාල සර්ච් පාරක් දාල ක්‍රෙස්ට් එක ගලපපුවහම ඒක රියල් මැඩ්‍රිඩ් ජර්සියක්.වෙලාවට සුද්දට පොඩ්ඩක් වත් කඩ්ඩ බැහැ.නැත්තන් එහෙම ඇහුවනම් සයිමට ඩිස්කෙ අම්මට ඩිස්කාඩි සීන් එකක් වෙන්න තිබ්බා.

ඉතින් යුරෝප් යනවනම් උපක්‍රමයක් විදිහට මේක දැනගෙන පාවිච්චි කරන්න.හැබැයි මැන්චෙස්ටර් යුනයිටඩ් ඒවා ලිවර්පූල් පැත්තෙ ඇඳල ගුටි කන්න වුනොත් සයිමව අල්ලගන්න එහෙම එපා.
(පඩ දර්සනයක් සහිත දැනුවත් කිරීමක්)

Tuesday, June 13, 2017

teaser 1

ලේඛකයා ආයෙත් ගාලු මුවදොර...

'සුභ සැන්දෑවක් වේවා උද්‍යෝගී පාඨකයිනී අද අපට පෙනී යන පරිදි පශ්චිම යාමය වේලාසනින් උදාවී තියනවා.පොද වැස්සක් වැටෙන බව දැනට ආරම්භ වී ඇති කඩ වල නික්මෙන ආලෝකයේ පසුබිමින් පෙනී ගියත් මේ අවස්ථාවේ එක් කුඩයක් හෝ ගාලු මුවදොර දක්නට නොලැබීම තරමක ශෝචනීය තත්ත්වයක්.'

ලේඛකයා ඉන්නේ පිළිමේ ගාව.එතන තියන අඳුර නැතිකරල දාන පහනේ මලානික කහපාටට ඔහු ගොඩක් කැමතියි.

ඊට පොඩ්ඩක් විතර එහාට්ට වෙන්න එක් හාදයෙන් අඳුරේ මුවාව අරගෙන සිමෙන්ති බැම්මේ වාඩිවෙලා දැල්වෙන පුළිඟුවක් වරින් වර ඉහළ පහළ යවනවා.කොහොම වුණත් ඒ ඡායාව ලේඛකයට බොහොම හුරු පුරුදු කෙනෙක්ගෙ වෙන්න ඕනේ කියල හිතෙනවා.අර පුද්ගලයා ආලෝකයේ සීමාවේ ඉන්න ලේඛකය දැකල දැල්වෙන පුළිඟුව එක පාරක් උඩට අරගෙන (ඒක දීප්තිමත් වෙනවා) බිම දාල බැම්මෙන් නැගිටින්නේ පුළිඟුව පෑගෙන විදිහට.

ඔහු ලේඛකයගෙ ළඟට ඇවිත් හිනාවක් දානවා.ලේඛකය ඔහුව හඳුනාගන්නවා.ඒ තමා ලේඛකයට ඇත්තටම වෙන්න ඕනේ වෙලා තිබ්බ චරිතය.මේ චරිතය මීට කලිනුත් ලේඛකයට තැන තැන හම්බෙනවා.නමුත් මේ තරම් කිට්ටුවට හම්බුණු පළවෙනි වතාව.ලේඛකයා ඔහුව හඳුන්වන්නේ "වෙන්ඩ මම" කියලා.කොහොම වුණත් ඔහු එක්ක කලින් කතාකරන්න වෙලා නැහැ.මොකද හැම පාරකම ලේඛකයා ඔහුව දැක්කෙ තරමක් ඈතින්.
මේ අතර අර හිනාවත් එක්කම වෙන්ඩ මම කථා කරනවා.

" ඉතින්. කොහොමද? ඇත්තටම උඹට මේ වගේ තැනක මේ වගේ වෙලාවක අපර්ණව මතක් වෙන්නෙ නැද්ද?"

ශෝටක් ගහල ශර්ට් එකයි බාට දෙකයි දාල කොණ්ඩෙ අපිලිවෙලට හදාගෙන අහිපිල්ලමත් විදල යකඩ බින්දුවක් තියාගෙන ඉන්න ඔහු අහන්නේ කෙළින්ම 'ඩිරෙක්ට්' ප්‍රශ්නයක්.

අපර්ණා.


අපර්ණා කියන්නේ ලේඛකය කොළඹ ආව මුල් කාලේ බස් නැවතුම්පලේ ඔහු එන වෙලාවටම හිටිය ලස්සන කෙල්ලෙක්.එයා වැඩ කළේ මාධ්‍ය ආයතනයක.මුල් දවස් වල ඉඳන් එයාව ලේඛකය නෝටිස් කරගෙන හ්ටියත් එයාගෙ අවධානයට ලක්වෙන්නෙ ටික කාලයක් ගියහම. තරමක් තදබදයක් තියන බස් එකේ එයාගෙ පිටිපස්සෙන් නඟින ඔහු පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇයගේ නොගෑවී ඉන්න.දවස් දෙක තුනක්ම බස් නැවතුමට එනකොට ඇය ඔහුව හඳුනාගන්නවා.පොඩි මිත්‍රශීලි හිනාවකින් ලේඛකයට සංග්‍රහයක් ලැබෙනවා.ඔය ගෑණු ළමයි නාඳුනන අය එක්ක හිනා වෙනවා නේ? අන්න ඒක හරි භයානකම වැඩක්.මොකද හොඳ ගෑණු ළමයි එහෙම නොදන්න අය එක්ක හිනාවෙන්නෙ නැහැ.

එහෙම හිනාවෙන ගෑණු ළමයෙක් අනික් හිනාව ලබන නාඳුනන්නා ඇය ගැන වටහාගන්න විදිහ පිලිබඳව ලොකු අවදානමක් දරාගෙන තමා වැඩේ කරන්න ඕනෙ. ඉතින් ලේකඛයා මේ කාරණේ ගැන දැනුවත්. ඔහුට ඇයගේ නිර්භීතකම ගැන පහන් හැඟීමක් ඇතිවුණු එක පුදුමයක් නෙවෙයි.හැබැයි පිළිතුරු හිනාවේ තත්වෙ ගැන ඔහුට තිබ්බෙ ලොකු සැකයක්.නමුත් ඇය ඒක පිළිගත් ආකාරයෙන් එච්චර අවුලක් නැතිවෙන්න ඇති කියල ඔහුට හිතුණා.

දැන් දෙන්න දන්නවා. ඔහු කථාකරනකම් ඇය බලාගෙන ඉන්න බව ලේකඛයට තේරෙනවා.දවසක් ඇය ලඟම අසුනක් ලේකඛයට හම්බෙනවා.ඇය ජනේලෙ ගාව අසුනෙ ඉඳල ආයෙත් සුහදතාවය ඉතිරිලා යන විදිහෙ සිනහවක් ඔහුට ලබාදෙනවා.මේක පැහැදිලිවම සංවාදයකට ආරම්භයක්.ඒත් වැඩේ කියන්නේ ලාවට පිළිතුරු හිනාවක් දෙන ඔහු සංවාදය පටන් ගන්නෙ නැහැ.
ඊට පස්සේ දවසේ ඉඳන් ඔහු බස් නැවතුම්පලට යන්නේ හිතාමතාම පැය බාගයක් විතර වේලාසනින්.ඔහු මෝටර් බයිසිකලයක් ගන්නේ ඒ සතියේමයි.
ලබන සතියේ ඔහු වෙනද වෙලාවටම බස් නැවතුම්පලට යනවා... ඇය ඉන්නවා... කල්පනාවක.ඔහුව දකින ඇයට මතුවන්නේ පුදුමයක් එක්ක සතුටක්.පාරෙන් එහා පැත්තෙන් ඉන්න ඔහුට ඇය අත වනනවා.
ලේකඛය එදා ඉඳල වැඩට යන්නේ බයිසිකලයෙන්.ඔහු මේ යන්නේ අර බස් නැවතුම්පල මඟහැරල යන්න තියන කෙටි පාරක.මොකක් හෝ හෙතුවක් නිසා ඔහු සොයපු ගොඩක් දේවල් ඇය තුල තියෙන බව ඔහු තේරුම් ගන්නවා. 

"අපර්ණා.." ඔහු ඒ නම ඇයට දෙනවා.ඇයගේ නම මොකක් වුණත් ඔහුට ඇය අපර්ණා.
දැන් මේ කතන්දරේ හොඳටම දන්න වෙන්ඩ මං ආයෙත් සිගරට් එකක් දල්වලා දුම් පිඹලා මෙහෙම අහනවා.

"මට මේකට උත්තර දීපන්. මේ මොහොතේ උඹට අතීතෙට යන්න පුළුවන්නම්,උඹ අර බස් එකේ ඒකිට එහා සීට් එකේ වාඩිවෙලා හිටිය අවස්ථාවට උඹ මොකද කරන්නේ?"
ලේකඛය සිනහවක් එක්ක මෙහෙම පිළිතුරු දෙනවා.


"මොනව කරන්නද බං. ඔය කරපු දේම තමා කරන්නේ ඉතින්."
මේ පිළිතුර අහන වෙන්ඩ මම හිනාවෙන්න ගන්නවා.ඊට පස්සේ මෙහෙම කියනවා. "උඹ ලේකඛයෙක් නෙවේ බං.looser කෙනෙක්.කැපිටල් L අකුරත් එක්කම."
සමුගැනීමක් නොකරම වෙන්ඩ මම මුහුද දිහාවට ඇවිදගෙන යනවා.

Tuesday, March 14, 2017

කළුවර

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.


මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය.උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති තම සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් රැඳී නැති බව ඔහුට දැනුණි.

හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය.තැලී පොඩිවී ගිය සිගරට් පැකට්ටුව එලියට ගෙන එහි අත යැවූ විට යම්තමින් නැවි ගිය එක සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව ඔහුට දැනුනි.මඳක් සැනසුමට පත්වූ එය මුවේ රුවාගෙන ඔහු අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට දැරූ අසාර්ථක තැත් කිහිපයකින් පසුව හොඳින් හුස්මක් ගෙන සියලු ශක්තිය එයට යොදා සිගරට්ටුව පත්තු කළේය.

නමුත් ඔහු ආග්‍රහණය කලේ සුපුරුදු දුම්කොළ හා තුනී කඩදාසි දැල්වෙන සුවඳක් නොව ස්පොන්ජයක් පිළිස්සෙන සුවඳකි.ඔහුගේ මුවට නීරස කහට රසයක් දැනුණි.


කාමරයෙන් ඉකි බිඳුමක් නික්මිණි

Monday, March 13, 2017

ලේඛකයා සහ දොස්තර

ලේඛකයා ඒ දිනවල ජිවත් වූයේ නගරාසන්න,සත් මහල් තට්ටු නිවාස සංකීර්ණයක තෙවන තට්ටුවේය. ඔහු අතින් අවුරුදු දෙකකින් 'කිසිවක්' නොලිවී තිබිණි.ඔහු අවසාන වරට වැඩ කරමින් සිටි වෙළඳ ප්‍රචාරණ සමාගමට මාස දෙකකට කලින් සමුදුන්නේ ඉවසිය නොහැකි තරමට තමන්ගේ ලේඛණයේ පරාමිතීන් සිමා කිරීමට වූ බැවිනි.නමුත් මාස දෙකක් නිකරුණේ සිටීම යනු ඊටත් වඩා ඉවසිය නොහැකි දෙයක් බව ඔහුට ඒ වන විට වටහා ගත්තේය.යන්තම් තිස්විය ඉක්මවූවත් හෙතෙම ඔහු තම 'කාලය' අවසාන යයි තීරණය කර තරමක් කල් ගත වී හමාරය.පෑනක් අතට ගත්කල එහි උසුලා ගත නොහැකි බරක් දැනෙන්නට විය.
ඔහු උදෑසන නැගිට කුඩා කුස්සියට ගොස් ගෑස් ලිප පත්තු කළේය.ගෑස් අවසානයේ පෙරනිමිති කියමින් පත්තු වූ ලිපේ වතුර කේතලය තැබිය.කුණු බක්කියේ දින දෙකක පමණ සිට තිබූ බිත්තර රොටි කැබලි නරක වී දුගඳක් හැමීමට පටන් ගෙන තිබුණි.හෙතෙම සුසුමක් හෙලා ජනේලයෙන් පිටත ඇති විසල් අඹ ගස දෙස බැලුවේය.


ඒ විසල් අඹ ගස අයිති වී තිබුනේ යාබද ඉඩමටය.විටින් විට එහි අතු තර්ජනාත්මක ලෙස තට්ටු නිවාස සංකීර්ණය පැත්තට යාමට උත්සාහ කරන විට කප්පාදු කරමින් එය පාලනය කිරීමට අයිතිකරු නිරතුරුවම සැලකිලිමත් විය. කොන්ක්‍රිට් පසුබිමක තිබූ ස්වභාවිකත්වයේ විශාලම සාධකය වූ එහි කලකට පෙර ලේනෙකුද වාසය කළේය.ආසන්නයේම පිහිටි කුඩා වන ලැහැබ වුවද කි.මි. කිහිපයක් එපිටින් පිහිටා තිබූ බැවින් ලේනා මෙහි පැමිණියේ කෙසේදැයි කිසිවකු නොදැන සිටියේය.ඇත්ත වශයෙන්ම ඒ කරුණ ලේඛකයා හැර කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය වුවක් නොවේ.කෙසේ වුවද අඹගසට මුහුණ ලා සිටි නිවැසියෝ කුස්සියෙන් එපිට තිබු බැල්කනියේ ලේනා සඳහා කෑමට යමක් තැබීමට තරම් කාරුණික විය.මුලින්ම පලතුරු තැබීමට පටන් ගත ඔවුහු පසුව පාන් කැබලි,බත් වැනි ඝන ආහාර වලින් නොනැවතී කඩෙන් ගෙනෙන ලද ෆ්‍රයිඩ් රයිස්,කොත්තු තැබීම දක්වා පරිණාමය වුහ.ලේනාද දිනෙන් දින තර වෙමින් සිටියේය.දිනක් ලේනා තට්ටු නිවාසයේ බැල්කනි ආහාර වේලෙන් පසු තම නිවහන වෙත යාමට හතර වන තට්ටුවේ සිට යාබදව තිබු අඹ අත්තට අවුරුදු ගණනාවක් පිනූ ලෙසටම තම සුපුරුදු පිම්ම පැන්නේය.නමුත් ලේනාට අඹ අත්ත අල්ලා ගැනීමට නොහැකි විය.සතියකට පසු ලේඛකයාට හැර අනෙක් සියල්ලන්ටම ලේනා අමතක වී තිබුණි.


ලේඛකයා උදෑසන සහ හැන්දෑවේ අතුරු පාරවල් වල ඇවිදීමට යන්නේය.සමහර දිනවල බසයකට රුපියල් විසි පහක් දී මුහුදු වෙරළට ගියේය.හෙතෙම දිනෙන් දින සෙමෙන් සෙමෙන් වැඩිවන කලකිරීමකින් හා දුකකින් පෙළෙමින් සිටියේය.නමුත් ඔහුට එය හඳුනාගැනීම අපහසු විය.ඔහුට ප්‍රේම වියෝගයක් හෝ පවුලේ ප්‍රශ්නයක් නොතිබුණි.ඕනෑම වෙලාවක රැකියාවක් සොයාගැනීමේ හැකියාවක් තිබුණි.කිසිවක් ලියාගැනීමට නොහැකිවීම සමහරවිට හේතුව වන්නට ඇත.ඔහු ලිවිම ආරම්භ කල මුල්ම අවදියේ පුවත්පත් වල ප්‍රකට විචාරකයින් ඔහුව පසසන්නට විය. එක විචාරකයෙක් ඔහු සයිමන් නවගත්තේගම පසුකිරීමට තරම් ප්‍රතිභාවක් හා විභවයක් ඇති නවකයෙක් බව හඳුන්වාදී තිබුණි.ඔහු ඒ වචනය මතක් කර තමන්ටම සිනාසුණේය. 'ප්‍රතිභාව'
දිනක් ඔහු පාරේ යනවිට අළු පැහැ වෑන්රියක් වේගය පාලනය කල නොහැකිව මන්තිරුවෙන් පිටපැන ඔහුගේ ඇඟේ ගෑවී නොගැවී ගොස් ඉදිරියේ තිබු ලයිට් කණුවක හැපුනි.'ගෑවී නොගැවී' ලෙස කියුවත් වැන්රිය ඔහුගේ දකුණු බාහුව යාන්තමින් ස්පර්ශ කල බව ඔහුට විශ්වාසය.ඉන්පසු ඔහු සිතුවේ වැන්රියට යටවුවානම් කුමක් වන්නට ඇතිද යන්නයි.වැන්රිය පැමිණි වේගය හා සැසඳීමේ එය බොහෝ දුරට නියත මරණයකි.ඔහු පසෙකට විසිවී ගොස් තදින් බිම පතිත වනු ඇත.වදින්නේ පිටුපසින් බැවින් ඔහු බොහෝ දුරට යටිකුරු අතට වැටිමේ සම්භාවිතාවය වැඩිය.උඩුකුරු අතට වැටීමට වඩා යටිකුරු අතට වැටීම ඔහු ප්‍රිය කළේය.ඔහුගේ සිරුරෙන් පිටතට පිත්ත පටියක් මෙන් ලේ දහරාවක් ගලාගෙන එනු ඇත.මිනිසුන් වික්ෂිප්තව,කසු කුසුවෙන් ඔහු වටා වටවෙනු ඇත.තරමක් ඉහල සිට බැලුවහොත් එහි පෙනෙනු ඇත්තේ එකම හිස් ගොඩකි.ඔහුට නැවතත් සිනහා පහළවූයේ ඉහල සිට මිනිස් හිස් ගොඩ දෙස බලන චිත්ත රුපයේ පහල තීරුවේ වරහන් ඇතුලේ සටහන් වූ දේ දැකීමෙනි. (indistinct chatters)


එතැන් සිට ඔහු විසින් තමාගේ මරණය වන ආකාරය තැන අනුව චිත්ත රූප මවාගැනීම ආරම්භ කළේය.මුලින් සෙල්ලමක් ලෙස ආරම්භ වූ එය පසුව ඇබ්බැහියක් දක්වා වර්ධනය විය.ඔහු ගොඩනැගිල්ලක් සාදන තැනක් අසලින් යන විට එහි තිබූ දොඹකරයේ රැහැනක් කැඩී එහි එක පැත්තක් ඔහු මතට කඩාවැටේ.පඩිපෙළ බසින විට ලිස්සා ගොසින් සුසුම්නා ශීර්ෂකය හා අනුමෂ්ඨිෂ්කය තදින් පඩියක වැදී එතනම මියැදෙයි.බසයේ කලබල වී සිටින බෑගය තදින් බදාගත් මගියා සියදිවි නසාගන්නා බෝම්බකරුවෙකි.පාර පනින විට අධිවේගයෙන් මතුවන බස් රථයක ඉදිරිපස ඔහුගේ හිසේ වදී.ඔහු මිලට ගත් බොම්බයි මොටයි මල්ලේ සයනයිඩ් අඩංගුව ඇත.වෙළෙන්දා පරපිඩක ආබාධයක් සහිත කුඩා ළමුන් ඝාතකයෙකි.ඔහු වැටි ඇති තත්ත්වයේ බරපතලකම වැටහෙන්නට ගත්තේ ඒ සිතුවිල්ලත් සමඟය.නමුත් එදින ඔහු නිදාගත්තේ සැහැල්ලුවෙනි.


කේතලය උතුරන්නට විය.ඔහුගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. සිනි රහිත කෝපි කෝප්පයක් සාදාගත් ඔහු තමන් හට තවදුරටත් ජීවත්වීමට හේතුවක් නැති බව අවබෝධකරගත්තේය.අරමුණක් නොවේ...හේතුවක්.තවදුර යාමෙන් උමතු භාවයට පත්වීම නොවැලක්විය හැකි දෙයකි.ඔහු කිසිසේත්ම මනෝ විද්‍යා උපදේශනය හෝ මනෝ වෛද්‍යවිද්‍යාව විශ්වාස නොකළේය.මනෝ විද්‍යාව ඔහු ලේඛනයට භාවිතා කල රසකාරකයක් බැවින් ඒ ගැන කොහොමත් ඔහුට අතරින් පතර දැනුමක් තිබුණි.එබැවින් උමතු වී අනෙක් අයට කරදරයක් වනවාට වඩා තමාගේ ජීවිතය අවසාන කරගත යුතු බව ඔහු වටහාගෙන සිටියේය.නින්දට පෙර මේ අදහස ඇතිවී තිබුණි.කේතලය උතුරන විට ඔහු එය තහවුරු කරගත්තේය.


ඔහු දන්නා පරිදි ලොව ජනප්‍රියම ක්‍රමය වන එල්ලී මැරීම සලකා බැලුවේය.එය තරමක් වේදනා ගෙන දෙන ක්‍රමයකි.එමෙන්ම ඔහු කඹයේ වර්ගය,ගැටය නිවැරදි නොවීම වැනි තාක්ෂණික දෝෂ නිසා පැය ගණන් දුක් විඳීමට සිදුවූ එල්ලී මැරුණු පුද්ගලයින් ගැන අසා ඇත.එමෙන්ම දිව සම්පුර්ණයෙන්ම පිටතට පැනගත් විරූපී මළසිරුරක පෙනුමකට ඔහු කිසිසේත්ම කැමති නොවුනි.වස විස කෑම මඟින් අපේක්ෂිත ප්‍රථිපල ලැබීම තරමක් පමාවිය හැකි අතර මැරෙන්නට නොහැකි වුවහොත් ලැබෙන අනවශ්‍ය ප්‍රතිවිපාක නිසා ඇතිවන තත්ත්වය මරණයට වඩා බියකරු විය හැක. මරණය නිවැරදිව ලගාකරගතහැකි නම් එය බියකරු නොවනු ඇත.ඔහු මුහුකුරායත්ම මරණයෙන් පසු ජිවිතයක් පිලිබඳ විශ්වාසය කෙමෙන් කෙමෙන් වියකි යන්නට විය.ඒ පදනම ඔහුගේ ලේඛන වලට යෙදූ බව සැබෑවකි,නමුත් ලේඛනය යනු සැබෑ ජීවිතය හා ඡේදනය වන දෙයක් නොවේ.ඔහු එහි යෙදුනේ විනෝදාංශයකටත් වඩා තමන්ගේම විශ්වයක් සාදාගන්නා සර්වබලධාරියකුගේ ස්වරූපයක් සිතේ මවාගෙනය.පෑන සහ කඩදාසිය මඟින් වෙනත් ලෝකයකට යමෙකු ගෙනයාහැකි දොරටු සෑදීමේ නිපුනයකු ලෙස ඔහු තමාවම සලකාගෙන සිටි කාලය මතක් විය.ඔහු සාර්ථක වූයේ අනෙක් ලේඛකයින් කියනවා මෙන් තමන්ගේ ඇති කටුවක් ඉවත්කිරීම හෝ සමාජීය ප්‍රගමනයට යමක් දායක කිරීමේ අරමුණක් පෙරදැරිකරගෙන නොවේ.ලියනා දෙය අවිඥානිකවම කියවන්නා හට 'පෙවීමට' නොනිත් හැකියාවක් ඔහුට වූ බැවිනි.


කෝච්චියට බෙල්ල තැබීමද ඔහු කොහෙත්ම ප්‍රිය නොකළේය.ඔහු අසා ඇති පරිදි කෝච්චි රියදුරු විසින් මල සිරුර කෝච්චියට පටවා ගත යුතු අතර,රියදුරුට ඇතිවිය හැකි කම්පනය වරදකාරී චිත්තය, හිස සුන් මළකඳක රුපයක් දකින මගින් හෝ දරුවන්හට කිසිදින එය අමතක කල නොහැකි දසුනක් මවාපෑමට ඇති හැකියාව යනු අමතර කරුණු විය.හෙලකට පැනීමත් තරමක් සමාන අතුරුපල දෙන ක්‍රියාවක් වන අතර තමා සිටි ජනාකීර්ණ නගරයේ සිට හෙළක් සොයායාමද 'නවකතාවක්' වනු ඇත.




නිදිපෙති පිළිබඳව ඔහු සලකා බැලුවේ මුල සිටමය.නමුත් ප්‍රතිපලදායක වීමට ගතයුතු මාත්‍රාව,ප්‍රමිතියෙන් යුතු නිදිපෙති වර්ග,වැඩේ ගැස්සුණු හොත් ඇතිවිය හැකි අතුරුපල ආදී සියල්ලම ඔහුට සලකාබැලීමට අවශ්‍යව තිබුණි.එබැවින් කුඩා කල සිටම තම මිත්‍රයා වූ දොස්තරට කතාකිරීමට ඔහු සිතාගත්තේය.ඔහු සිටි නිවසේ දුරකථනය විසන්ධි කර තිබුණි.එමෙන්ම දොස්තරට කිසිසේත්ම සත්‍ය කතාව පැවසිය නොහැක. ඔවුන් එකිනෙකා හඳුනාගත්තේ පෙරපාසල් වියේදීමය එබැවින් මුහුණට මුහුණ හමුවීමේදී බොරු කියන්නට උත්සාහ කලොත් හසුවන බව ඔහු හොඳින්ම දත්තේය.නමුත් තමා ළඟ නොමැති පුද්ගලයකුට බොරු කිරීම පහසු දෙයකි,එය කතන්දරයක් කීමක් බඳුය,එමෙන්ම ඔහු කතාන්දර කීමේ කෙල පැමිණියෙක් වී සිටියේය.
අසල පිහිටි කමියුනිකේෂන් එක කරා යාම සඳහා ඔහු හැද පැළඳගන්නට විය.






ලේඛකයා තම නිවසින් බැහැර වූ විගසම අසල්වැසි ගෘහණියක් ඇයගේ නිවසට යාමට පඩිපෙළ නගිමින් සිටියාය.තට්ටු නිවාස වල වෙසෙන්නන් මීටර් කිහිපයක් එපිට තම ජිවන චර්යාවල යෙදුනත් ඔවුනොවුන් හා එතරම් හඳුනුම්කම්ක් ඇතිකරගැනීමට කැමැත්තක් නොදක්වන බැවින් දෙදෙනා අතර කිසිම කතාබහක් නොවුනි.නමුත් ලේඛකයා ඇය තමාගෙන් සිරිත් පරිදි උදෑසන රෝන්දය සඳහා යනවාද කියා අසන අයුරු සිතේ මවාගත්තේය.එමෙන්ම ඔහු විසින් එයට පිළිතුරු ලෙස තමන්ට එතරම් ගුණයක් නොදැනෙන බැවින් දොස්තරගෙන් බෙහෙතක් ඉල්ලා ගැනීමට යන බව කියනයුරුද ඔහු සිතාගත්තේය.මේ පිළිතුරේ ඇති ව්‍යන්ගාර්තය නිසා ඔහු නැවතත් තමාටම සිනාසුනේය.රස්සාවක් නොකරන,විවාහයක් හෝ දරුවන් නැතිව ජනාකීර්ණ නගරයේ තට්ටු නිවාසයේ සිටින,තනියම සිනාසෙන පිස්සෙක් කියා එම ගෘහණිය තමන් ගැන සිතාගෙන සිටිනවාට සැකයක් නැත.ඇය ගැන ඔහුට 'පවු' කියා සිතුණි.


කමියුනිකේෂන් එක ඔහුට තරමක් හුරු පුරුදු තැනක් විය.පෑනක්,කොළ,පොත් වැනි දේ ගැනීමට ඔහු නිරන්තරයෙන් ගොඩවැදුනේ එතැනටය.එතන සඟරා,පරණ නවකතාද විකිනීමට තිබුණි..එහි අයකැමි,වෙළඳ සහායක ලෙස සිටි තරුණ, රූමත් ගැහැණු 'දරුවා' ඔහු අසල ගැවසෙන විට තරමක් කලබල වන බවද ඔහු හොඳින් දැන සිටියේය.කලකට පෙර ඔහු එයට ගොඩවදිද්දී අයකැමි මේසය මත ඇය වරක් උසස් පෙළ සිංහල විෂය නිර්දේශය සඳහා විචාර පොතක් තබාගෙන සිටිනු ඔහු දුටුවේය.මෙය දුටු ඔහු ඇය හා සංවාදයක් ආරම්භ කර ඇය දෙවරක් උසස් පෙළ කළා අංශයෙන් කර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි බැවින් තෙවන වරද පෙනී සිටීමට අදහස් කරගෙන සිටින බවත්,ආත්ම විශ්වාසය මඳ බැවින් අවුරුදු දෙකක් පමණ කල් දමා සිටි බවත් දැනගන්නට ලැබුණි.ඇයගෙන් විෂය නිර්දේශය අසා ඇයට වැඩදායක විය හැකි පොත් පත් විචාර කිහිපයක් නම් කල ඔහු සාහිත්‍ය හැදෑරීම සඳහා වටිනා උපදෙස් කිහිපයක්ද දුන්නේය.එදා සිට ඇය තමන් ගැන තරමක් උනන්දු වන අයුරු ඔහුට හොඳින්ම වැටහුණත් කිසිවිටක ඇයට අනුබලයක් නොදුන්නේය.පොත් භාවිතා කරමින් විවිධ පුද්ගලයින් තම සිත ඒකාග්‍ර කරගන්නේ විවිධ ආකාරවලටයි.සමහරු පොත් හෝ පත්තර පිටු පෙරලාගෙන එහි ඇති අකුරක් හෝ හිස්තැනක් දෙස බලා කල්පනා සයුරේ ගිලියයි.සමහරු එහි රුපයක් දැක ඒ හරහා එහි ඇති ප්‍රවෘත්තියට හෝ වෙළඳ දැන්වීමට කිසිම අදාලත්වයක් නැති සිතිවිලි ගොඩනගමින් සිටි.තවත් සමහරුන්ට පත්තර පිටුවට තම මුහුණ සඟවාගැනීම සහනයකි.කමියුනිකේෂන් එකේ තිබු පොත් අවුස්සමින් ඔහු තම සිත ඒකාග්‍ර කරගනිමින් සිටියේය.ඉන් පසු දුරකථන කුටියට වැද දොස්තරගේ ගෙදර නොම්මරය අමතා කළු පැහැ විදුරු දොරේ කැඩීගිය අගුලට තට්ටු දමමින් සිටියේය.හතර වරක් නාද වුනු දුරකථනයට එහා කෙලවරින් පිළිතුරු ලැබුණි.


දොස්තරගේ නොසැලකිලීමත් කටහඬ එහා කොනින් ගලා ආවේය.
'හැලෝව්??'


ඔහු හුස්මක් ඇද එයට පිළිතුරු දුන්නේය.
'ඩො සී ටර්... මේ මම.'


ලේඛකයා ඔහු හා තනිව සංවාදයේ යෙදෙන විට ඇමතුයේ එනමිනි. 'ඩො සී ටර්'.


හතර වන පන්තියේ සිටියදී පවා දොස්තරට අවශ්‍ය වී තිබුනේ දොස්තර කෙනෙක් වන්නටය.එම නිසා ඔහුට 'doctor' ලෙස ඉංග්‍රීසියෙන් ලියාගැනීමට උගෙනිමින් සිටියත් එය ඉතා අමාරු දෙයක් ලෙස වටහාගෙන සිටියේය.ලේඛකයා මතක ඇති කාලයක පටන් වචන හා ඉතා හොඳින් සෙල්ලම් කර තිබුණි.එබැවින් ඔහු කුඩා දොස්තරට අකුරු නොවරද්දා ලිවීමට පහසු ක්‍රමයක් කියාදුන්නේය.'ඩොක්ටර්' කියල කිව්වත් 'ඩොසීටර්' කියල මතක තියාගන්න.එතකොට 'K' අකුර එක්ක පැටලෙන්නේ නැහැ.එදා පටන් අනාදිමත් කාලයක සිට ඔහු දොස්තරට පෞද්ගලික ආමන්ත්‍රණය කලේ එනමිනි. 'ඩො සී ටර්'


ලේඛකයාගේ හඬ හඳුනාගත් දොස්තරගේ හඬ ප්‍රීතියෙන් ඉපිල යන්නට විය.


'අම්මටසිරි...ලියනආරච්චි. (ලියන ආරච්චි යනු දොස්තර විසින් ලේඛකයා හැඳින්වීමට භාවිතා කල නම මිස ඔහුගේ සැබෑ නම නොවේ.) ගෙරි ලියන්නා..කියපිය මොකද මේ එකපාරටම මාව මතක් වුනේ.'


'එකපාරටම නෙවේ බන්.මම මේ දවස්වල වැඩක් කරන්නේ නැහැ.මාර කම්මැලිකමකින් ඉන්නේ.කාලෙකින් සෙට් වෙන්නත් බැරිවුනා ඒකයි බැලුවේ.'


'හ්ම්ම්.. උඹ එතකොට රස්සාවෙන් අයින් වුනාද?'


'ඔවු බන්..ලඟදි අයින් වුනා.කිසි නිදහසක් නැහැ.මට මාර වදයක් දුන්නා බන් එන්න එන්නම.ඒක නෙවේ උඹේ තත්ත්වේ මොකද?'


ලේඛකයාට තමා රැකියාවෙන් ඉවත්ව මාස දෙකක් ගතවූ බවට ඇඟවීමට කිසිම අවශ්‍යතාවයක් නොවුනි.එමෙන්ම ඔහුට රැකියාව වැනි නොවැදගත් දෙයක් ගැන බොරු කීමටද අවශ්‍ය නොවුනි.බොරු කිවිය යුත්තේ 'ජීවිතය' වැනි වැදගත් දේවල් සම්බන්ධවය.එම නිසා ඔහු වැඩියෙන් දොස්තර 'රස්සාවෙන් අයින් වෙලා දැන් කොච්චර කල් වෙනවාද?' යන ප්‍රශ්නය ඇති නොවෙන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටියේය.


'මට ඉතින් කවදත් අවුලක් නෑනේ බං.මම සැබෑ ලෝකේ මොකක්ද කියල හරියට තේරුම් අරගෙන ජිවත් වෙන එකක්නේ.ඉතින් ටග්ගාල කියපන් මොකක්වත් හදිස්සියක් නැහැනේ.'


ඒ වචනය ලේඛකයාගේ මොලයේ උණ්ඩයක් මෙන් වැදුනි. 'ටග්ගාල'.ඔහුගේ සැලසුම සාර්ථක වීම රඳා පවතින්නේ දොස්තර හා සෙල්ලම නියමිත ආකාරයට ගියහොත් පමණි.ඔහු සැලසුම් කරන ලද්දේ අදියර කිහිපයකින් යුතු සංවාදයකි.එහිදී ඔහුට තම අවශ්‍යතාවය සම්බන්ධයෙන් 'බොරුවක්' කීමට හා එය ස්වභාවික ලෙස පෙන්වීම අනිවාර්යෙන්ම කාලය ගතකලයුතු දෙයකි.අස්වැන්න සරුවට ලැබෙන්නේ නියමිත කාලයේ වගාකර,නියමිත ආකාරයට සාත්තු කර,නියමිත කාලයේ නෙලුවහොත් පමණි.නමුත් අනිවාර්යෙන්ම එයට කාලයක් වැයවේ.එය 'ටග්ගාල' කල හැකි දෙයක් නොවේ.එබැවින් ඔහු දොස්තරගේ කලබලයට හේතුව ඇසුවේය.


'ඇයි බන්.උඹ වැඩකද හිටියේ.වැදගත් වැඩක්ද?'


'වැදගත් කියන්නේ යකෝ වැදගත්ම වැඩේ.කඩේ අරින්න යන්නොනේ.පාරිභෝගිකයින් අමාරුවේ දාන්න බැහැ.උඹට වගේ මට ඕනේ ඕනේ වෙලාවට රස්සා කරන්න අතාරින්න,රස්සා නැතිවුනත් ආතල් එකේ ඉන්න ප්‍රාග්ධනයක් තියනවය.යකෝ මම දරුපවුල්කාරයෙක්.හරිනම් මම දැන් පිටත් වෙලා තියෙන්න ඕනේ.ඉතින් කියපන් හදිස්සියක්ද?'


'කඩේ අරින්න' කියා දොස්තර අදහස් කලේ ඔහුගේ පෞද්ගලික සායනය ඇරඹීමයි.එය බදාදාවක් බව ලේඛකයාට අමතක වී තිබුණි.කොහොමටත් ලේඛකයාට දින වල වෙනසක් නැත.ඔහු ඉරිදා හඳුනාගන්නේ මිනිසුන් අඩු නිසා සහ සිල්ලර කඩ කිහිපයක් වසා දමන නිසාය.අවශ්‍යතාවයක් නොමැති වුවත් අනෙක් දින සඳහාද ඔහුට විවිධ හඳුනාගැනීමේ ක්‍රම ඇත.මනස පාලනය කල හැක්කේ කවරෙකුටද? නොබැඳි මනසක්.දරුපවුල් යන වචනය ඇසුණු සැනින් ඔහුට යමක් මතක් විය.


'අහන්නත් බැරිවුනා කොහොමද හාමිනේ එහෙම? ලොක්ක ශිෂ්‍යත්වේ කරන්න නේ ඉන්නේ?'


'අනේ මේ බම්බු ගහපන්.ඔක්කොම හොඳින්.හරි අද හවසට උඹ බිසිද?? හුටා මාත් මාර ප්‍රශ්න අහන්නේ නිකමෙකුගෙන්.මේ අද හවස වරෙන් 'ඔඑසිස්' එකට.උඹට කතාකරන්නත් ආසයි.අවුලක් නැහැනේ.'


ඔඑසිස් යනු ඔවුන්ගේ සුපුරුදු තැබෑරුමය.එය ඔවුන්ට අවශ්‍ය පරිදි 'පාදඩම' උන් හෝ 'සුපිරි' පැලැන්තිය ආගිය තැනක් නොව මධ්‍යම පාන්තිකයින් තරමක සංවරයක් සහිතව තමන්ගේ පාඩුවේ එක්වුණු තැනකි.මුහුණට බොරු කීම නොකළැකි දෙයක් වුවත් මේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම නිසා අනවශ්‍ය පීඩනයක් ඇතිවනු ඇත.එම නිසා සැලසුම වෙනස් කර සැබෑ කාරනාව කල් දැමීම ඔහුට අවශ්‍යව තිබුණි.කෙතරම් හෙමිහිට වුවද නිවැරදිව තමාගේ අරමුණට ලඟාවිය යුතුය.එබැවින් ඔහු දොස්තරව හමුවීමට එකඟ විය.


'හරි හවස 8ට?'


'අට? ඇයි උඹට මාසෙ මාරු වුනාද? පිස්සු කෙලින්නේ නැතුව හය වෙද්දී ඇවිල්ල හිටපං. එහෙනං තිබ්බා.' බීප්.බීප්.


විසිල් හඬ එනතුරුම ලේඛකයා රිසිවරය කනේ තබාගෙන කල්පනා කළේය.ඉන්පසු පාරට පැමිණියේය.නමුත් ඔහුට ඇතිවුයේ කලකිරීමක් නොවේ.සැලසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් කල්පනාවකි.එක්වරම ඔහු තමා ඇමතුම සඳහා මුදල් නොගෙවූ බව මතක් වී නියමිත මුදල ගෙවා නැවත පාරට පැමිණියේය.ඇයගේ මුහුණේ කිසි අමනාපයක් නොවුණි.මඳ සිනහවක් සහිතව වම් ඇස අඩවන් කර 'අමතක වුනා නේහ්' කියා විමසා සිටියාය.


ඔහු පාරට පැමිණ තවදුරටත් සැලසුම් ගැන නොසිතා,සාක්කුවට අත්දෙක දමාගෙන බිම බලාගෙන ඇවිදයන්නට විය.එසේ යනවිට ඔහුට සැහැල්ලුවක් දැනුනි.ඇත්ත වශයෙන්ම සෑම පුද්ගලයකුටම ඇවිදීමේදී අනන්‍ය ඉරියව්වක් සහ අනන්‍ය වේගයක් පවතී.ලේඛකයා බොහෝවිට තවකෙකු හා කතාකරමින් ඇවිද යන්නට අකමැති වුයේ තමාගේ වේගය අනෙකාගේ වේගයට ගලපාගැනීමත්,අනෙකාගේ අනන්‍ය වේගයට තමාගේ වේගයට වඩා වෙනස් වේගයක් ඇති නම් එය ගලපා ගැනීමට යාම ඔහුගේ සිතට නොරිස්සුම් ස්වභාවයක් ගෙනඒමට සමත්වූ බැවිනි..ඔහු තනිව ඇවිදීමට ප්‍රිය කලේ මේ හේතුව නිසා විය යුතුය.ඔහුගේ මිතුරු කවය අතිශය සීමාසහිත වීමට මෙවැනි කුඩා කුඩා හේතු සෑහෙන්න බලපෑවේය.ඇත්තවශයෙන්ම මෙවැනි හේතු කිසිසේත් කුඩා වන්නේ නැත.ඒවාගේ ප්‍රතිපලයක් ලෙස පාසල් යන කාලයේ ඔහුගේ ඇසුර ප්‍රියකරන්නන් මද වූ අතර ඔහු සමාජ ආශ්‍රයක් නැති පසුගාමියෙක් ලෙස හංවඩු ගැසුණි.
බෝ ගහ හන්දියට ආ පසු ඔහු එතන මාර්ග සංඥා එලි අතර සිටගත්තේය.පාර පැනීමේ තේරුමක් නැතිවුවත් පාර පැනීම ඔහුට අවශ්‍ය වී තිබුණි.මඟින් සඳහා කොළ එලිය දැල්වෙන තුරු ඔහු නිසලව බලා සිටියේය.ඈත අහසේ සරුංගලයක් පාවනු ඔහුට පෙනුනි.


සරුංගලයක් ඉහල යන සීමාව පාලනය වන්නේ එහි ඇති නූලේ දිගිනි.නමුත් නූල නොමැති විට සරුංගලය අසීමිත උසක් යන්නේ නැත.

*
ලේඛකයා 'ඔඑසිස්' තබරුමට පැමිණියේ සවස හයට කාලක් පමණ තිබියදීය.මෙනුපතක් ගෙන එහි මුල සිට අගට කියවීමට පටන් ගත්තේය.ඉන්පසු එහි ගණන් අවුරුදු දෙකකට පමණ පෙර ගණන් හා සැසඳූවේය.හයයි පහ වුවත් දොස්තර පැමිණියේ නැත.දොස්තර එනවිට හයයි කාලත් පසුවිය.

මුලින්ම යමක් ආමාශගත කරගෙන සිටීමට දෙදෙනාම එකඟ වුහ.ඔඒසිස්හි විශේෂත්වය වුයේ ආහාර වල තිබු යහපත් තත්ත්වය සහ මිල සාධාරණ මට්ටමක පැවතීමයි.මේ කාරනා දෙක සමඟ අනෙකුත් දේද සැලකීමේදී එය කලාතුරකින් හමුවන තැබෑරුමකි.ආගිය කතා අතර දොස්තර සාක්කුවෙන් යමක් පිටතට ගෙන ලේඛකයා වෙත පෑවේය.එය හතරට නවන ලද කොළයකි.රෝනියෝ පිටපතක් වූ එය ලැබුණේ කොහෙන්ද කියා දොස්තර හෙළි නොකළේය.කියවා බලන ලෙස පමණක් ඔහු ලේඛකයාට කියා සිටියේය.ලේඛකයා කියවන්නට ගත්තේය.එය කුඩා කතාවකි.


''මනමේ අතුරු සිදුවීමක්.
ද්වන්දව යුද්ධය ආරම්භ කිරීමට පෙර මනමේ කුමරු තම කුමාරිකාවට අවසාන වතාවට කතාකිරීමට වැදී රජුගෙන් අවසර ගත්තේය.මනමේ කුමරිය සිටියේ සා දෙනක් මෙන් බියෙන් තැති ගනිමිනි.වැදී රජුට නොඇසෙන මානයකට පැමිණි මනමේ කුමරු මෙසේ කුමරිය ඇමතීය. 

'සොඳුර බිය නොවන්න.ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ මමය.මම මෙහි වගකීම හා දඬුවම සම්පුර්ණයෙන්ම භාර ගනිමි.

ඇත්ත වශයෙන්ම මාහට නුඹ හා ප්‍රේමයෙන් බැඳී අවුරුදු ගණනක් හිඳ නුඹත් සමඟ වියපත් වීමට මට ආශාවක් තිබුණි.නමුත් නිසි මඟ යාම වෙනුවට අන්තරායක් දැන දැනම නුඹව මේ වනය හරහා රැගෙන ඒමට තරම් මම මුග්ධ වූයෙමි. රාජාදී රාජගුරුන්ගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරු තුම ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගෙන කෙල පැමිණි මාහට මූව එක් අතක් පමණක් වුව භාවිතයෙන් මෙල්ල කල හැක.නමුත් කාරණය එය නොවෙයි...
මූ මරා දැමුවහොත් බොහෝ දුරක් විදිහෙන මේ කැලයේ පිරි ඉන්නා මූගේ ගෝත්‍රික සේනාව අප අල්ලා ගන්නවා නිසැකය.මට වධ දී අත්,පා වෙන්කර අවසානයේ සිව් කඩකට පලා මාව මේ වනයේ මායිම් සතරේ එල්වනු ඇත. නුඹව මුන් එකිනෙකා විසින් දුෂණය කර මාස ගණනක් තිස්සේ සිර කුඩුවකට දමා මනදොල සපිරිමටම පමණක් වහලියක් මෙන් භාවිතා කරනු ඇත.නුඹ අනන්ත පිඩා ඉවසාගත නොහැකිව වැහැරී ගිය විට මුන් නුඹව පණපිටින්ම මාංශ භක්ෂක සත්වයින්ට ආහාරය පිණිස දමා අත් හැර දමා යනු ඇත.
දැන් හොඳින් මෙය අසාගන්න...මම මූ මල්ලව පොරයෙන් පරදවමි. ඉන්පසු මාගේ අසිපත ඉල්ලා සිටිමි.නුඹ එය මට නොදිය යුතුය. නැතිනම් මා වෙනුවට අසිපත වැදී රජුට පෑ යුතුය.ඒ ආකාරයෙන් නුඹට නුඹේ දුක්ඛදායක ඉරණමින් මඳ වෙලාවකට හෝ අත්මිදිය හැක.නුඹට වැදී රජු විසින් අභය දානය දී නිසි සත්කාර දක්වනු ඇත.ලැබෙන අවස්ථාව ගෙන පලායාමට උත්සාහ දරන්න. නැතිනම් මාගේ මරණය පිලිබඳ පුවත දැනගත් වහාම පියරජු විසින් මේ වැද්දන් එකා බැගින් ගෙන උන්ගේ හිස් ගසා දමා ඒ හිස් වලින් පවුරු ප්‍රාකාරයේ ඇති උල් වැට සරසනු ඇත.එතෙක් ඉවසන්න. දැන් මඳක් සමීපයට එන්න.නුඹට දිය යුතු අවසාන චුම්භනය මම නුඹේ කැළැල් නැති අඩ සඳක් මෙන් වූ නළල් තලය මත තබමි...''


ලේඛකයා එය කියවා දොස්තර දෙස තරමක් බැරෑරුම් බැල්මක් හෙළිය.


'කවුද මේක ලිව්වේ?'


දොස්තර එය තමන්ට යහළු දොස්තර කෙනෙක්ගෙන් හමුවූ බවත් ලියා ඇත්තේ ප්‍රසිද්ධියට අකමැති 'සයිමා' ලෙස අන්වර්ථනාමයකින් පෙනී ඉන්නා පුද්ගලයෙක් බවත් ඔහු ලියනා දේවල් දොස්තරගේ යහළුවා විසින් රෝනියෝ කරන දන්නා අයට කියවීමට දෙන බවත් කියා සිටියේය.ඉන්පසු මේ පිලිබඳ අදහස ඔහු ලේඛකයාගෙන් විමසා සිටියේය.


ඔවුන් ඇණවුම් කල මත්පැන් මේසයට ලැබී තිබුණි.ලේඛකයාට බීර සහ දොස්තරට රම්.ලේඛකයා බිර උගුරක් ගිල තම විචාරය ආරම්භ කළේය.


''හ්ම්ම්.. මෙතන තියන ප්‍රධානම කාරණාව තමා මේ සිද්ධිය කතාවට කිසිම බලපෑමක් නොකරන එක.. මේ සිද්ධිය වුනත් කතාවයි අවසානයයි එහෙම්ම සිද්ධවෙනවා.මේ පුංචි ඡේදයෙන් කතාව 180ක් හරවන්න වගේ දෙයක් කරන්න හදල තියෙන්නේ.

ජාතක කතාවේ හැටියට මට මතක විදිහට චුල්ල ධනුද්දර ජාතකය වෙන්න ඕනේ, ගෑණි මනමේ පැත්තට කොපුවත්,වැද්ද පැත්තට කඩුවත් එන විදිහට තමා දෙන්නේ.හැබැයි මට තේරෙන විදිහට මේක ගෑණුන්ගේ චපලකමටත් වඩා මෝඩකම ඉස්මතු වෙන විදිහක් පෙන්වන්න හදන සිද්ධියක්.ඒ කියන්නේ ගෑණු අඩුමගානේ කඩුවක් දෙන්න ඕනේ කොහොමද කියන එකවත් දන්නේ නැහැ.කොහොමවුනත් සරච්චන්ද්‍ර මේ කඩු කොපු කතාව අයින් කරලා කුමාරියට තව සාධාරණයක් වෙන්න තමා නාට්‍ය ලියන්නේ.ඒකෙන් අඟවන්නේ රැකවරණය වෙනුවෙන් වැද්දව වර්ණනා කරලා වැද්දාගේ හිත දිනාගන්න හදනවා වගේ සිද්ධියක්...
හැබැයි ඒක වුනේ නැහැ.මනමේ කුමරිය දිහා නාට්‍ය ඉවරවුනහම සානුකම්පිතව බලන්නේ කවුද?
ආයෙත් අපි මේ අලුත් කතාවට එමු.මේක ලිව්ව එකා අන්වර්ථ නාමයකින් ලියන එක හොඳයි.මොකද නැත්තන් ඕකට මඩු වලිගේකින් ගහන්න වටින්නේ.''


දොස්තර මෙය අසා සිනාසුණේය.


''මම දන්නවා ලියන්නෝ උඹ කිසිම දේක හොඳක් දකින්නේ නැති බව.දැන් කියපන් උඹට හිතේ අමාරුවටද ඊරිසියාවටද මේක ලියපු එකාට බණින්නේ කියල.''


ලේඛකයා සිනාසුනේය.ඉන්පසු මෙසේ පිළිවදන් දෙන්නට විය.


'' මට ඔය දෙකම හරි අඩුවෙන් පිහිටලා තියෙන්නේ.කොහොම වුනත් මේකයි මෙතන කතන්දරේ.
අපි මුලින්ම හිතමු මෙන්න මේ කැලෑ පත්තරේ තිබ්බ කතාව වුනා කියල.

දැන් මේ අලුත් විදිහට ලියපු එකෙන් මනමෙට දීලා තියන තත්වේ බලපන්.තමන්ගේ ජිවිතයවත් නොතකා දවස් ගානක් කසාද බන්දපු කෙල්ල වෙනුවෙන් මැරෙන්න සුදානම් ප්‍රේමවන්තයා.මෙතන මනමේ තමන්ගේ ජිවිතේ පුජාවක් කරන්න හදන්නේ කිසිම දෙගිඩියාවක් නැතුව. ඒ කියන්නේ මනමේ එච්චර උදාර පුරුෂයෙක්.
ඉතින් අර කුමාරිය මේකේ තියන විදිහටම වැද්දට කඩුව දෙන නිසා මනමේ මැරිලා යනවා.
ඒ කියන්නේ පිරිමියා තමන්ගේ ගැහැණිය වෙනුවෙන් උදාර දෙයක් කරන්නේ.ඌ තමන්ගේ ජීවිතයටත් වඩා උතුම් කොට සලකන්නේ තමන්ගේ ගෑණි වැටෙන්න යන තත්වේ.

හැබැයි ගෑණි..ගෑණිට උදාර වෙන්න බැරිද? ඒ කියන්නේ වැද්දව ප්‍රතික්ෂේප කරලා? එහෙම නැත්තන් අර තමා වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරපු මනුස්සයාගේ නාමයෙන් කියාගෙන අර කඩුවෙන් ඇණගෙන මැරිලා ගියොත්?

ඒත් ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ.ඔය කතාව ලිව්ව සයිම කියන එකා මේක හිතල කරපු දෙයක්ද දන්නේ නැහැ.හිතල කරපු දෙයක්නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඌ වැඩ්ඩා.මොකද මේක කියවන ගෑනියෙක්ටවත් හිතෙන්නේ නැහැ මේකෙන් ඇත්තට අදහස් කරන දේ.මේකෙන් අවිඥානිකවම පාඨකයාට මනමේ එහෙම නැත්තන් පිරිමියාගේ උදාරත්වය පොවනවා.යමක් කමක් තේරෙන ගෑනියෙක්ගේ වුනත් කනින් රිංගවන ජාතියේ කතාවක් මේ.අන්න ඒක පුතා සැබෑ දක්ෂතාවය.....උඹට තේරුණාද නැත්තන් මම තව පැහැදිලි කරන්න ඕනෙද?''


දොස්තරගේ විස්මයට පත් මුහුණ තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව කියා පෑවේය.ඉන්පසු ලේඛකයා වාඩිවී සිටි අසුනින් නැඟිටින්නට විට.


''එහෙනං පොඩ්ඩක් හිටපන්.මම පොඩ්ඩක් සූ පාරක් දාන්න ගිහින් එන්නම්.බියර් බිව්වම තියන කේස් එක මේකයි.''


ලේඛකයා නොපෙනී යනතුරු බලාසිටි දොස්තර තම බෝතලයෙන් රම් ගෙන ලේඛකයාගේ බිර වීදුරුවට මිශ්‍ර කර කලත්තන්නට විය.



 ලේඛකයා අවදිවන විට උදෑසන 10ත් පසුවී තිබුණි.නමුත් ඔහු බලාපොරොත්තු වූ පරිදි හිසේ අමාරුවක් හෝ ඇඟට අපහසුවක් දැනුනේ නැත.ඔහුගේ ඇඳේ සිට නානකාමරයට යන මඟ දක්වා එකදිගට වේලිගිය වමනයක සලකුණු විය.ලේඛකයාට නිවසට ඒම පමණක් නොව තැබෑරුමෙන් නික්මිම ගැනද කිසිම මතකයක් හෝ අදහසක් නොවුනි.ඔහු පෙරදින ඔඒසිස්හි වූ දේවල් ආවර්ජනය කරන්නට විය.


මනමේ විචාරයෙන් පසු දොස්තර කිසි විටක ඒ ගැන වචනයක් වත් නොකියන්නට පරිස්සම් විය.මනමේ කතාව තමාට කියවීමට දීමේ අරමුණද ලේඛකයාට එතරම් අපැහැදිලි නොවුනි.ඒ හරහා ස්ත්‍රීවාදය නම් 'විහිළුවට' තමා පටලවා පසුව ගැහැණුන් ගැන,පවුල් ජීවිතය ගැන,මිනිසා ස්වභාවධර්මයේ ප්‍රධාන නියමයක් වූ පැවැත්ම ආරක්ෂාකරගැනීමේ වගකීම පැහරහැරිම බරපතල වරදක් බව,ආදරය ප්‍රේමය වැනි හැඟීම් හුදෙක් මිනිසාගේ පැවැත්ම සාධාරණිකරණය කිරීමට ස්වභාවධර්මයෙන් දායාද ලෙස දෙන ලබන හෝමෝන සහ මොලයේ රසායනික වෙනස්වීම් කියන තැනට සිරිත් පරිදි දොස්තර විසින් සාකච්ඡාව මෙහෙයවන බව ලේඛකයා හොඳින්ම දත්තේය.එතනට ගෙන ඒමට පෙර දොස්තරට මුලදීම දරාගත නොහැකි වන පරිදි පහරදී මෙල්ල කිරීම ඔහුට ඇත්තෙන්ම අවශ්‍ය වී තිබුණු දෙයකි.හෝමෝන,ජෛව රසායනය ගැන දොස්තරට තිබුණේ නොනිත්ම ලේඛකයාට වඩා වෘත්තිමය දැනුමකි.නොදන්නා දෙයක් ගැන එය හොඳින්ම දන්නා පුද්ගලයකු හා වාදයට යාමේදී එය වෙනතකට හැරවීම හෝ අයාලේ යැවීම ලේඛකයා දොස්තරට වඩා ප්‍රගුණ කර සිටි දෙයකි.මක්නිසාද යත් ලේඛකයාගේ වෘත්තීය පමණක් නොව විනෝදාංශයද ගොඩ නැඟී තිබුනේ ඒ හරහා බැවිනි.ඇත්ත වශයෙන්ම 'ස්ත්‍රීවාදය' තනිකරම විහිළුවක් නැතිනම් 'පුරුශෝත්තමවාදින්' විසින් ගැහැණුන්ට පටවන ලද තවත් උගුලක් බව ලේඛකයා හොඳින් වටහාගෙන සිටියේය.


ඉන්පසුව ඔවුන් කතාකල මාතෘකාව කුමක්දැයි ලේඛකයා තදින් ආවර්ජනය කරන්නට විය.එය දොස්තර විසින් දක්නට ලද මරණ දෙකකි.එකක් උදැසන රැකියාවට යන අතර දකින ලද අතර අනෙක දක්නට ලැබුනේ සවස තැබෑරුමට එන අතරවාරයෙදිය.

පළමු මරණය ප්‍රදේශයේ ඔහුගේ දෙමාපියන් දැනසිටි මහලු කලාකරුවකුගේ මරණයකි.ඔහු ප්‍රසිද්ධියක් ඉසිලු පුද්ගලයෙක් නොවේ.තරුණ කාලයේදීම නාට්‍ය සහ නැටුම් ප්‍රගුණ කල ඔහුට රුසියාවෙන් මුද්‍රා නාට්‍ය ඉගෙනගැනීම සඳහා මිත්‍රත්ව පදනම මඟින් ශිෂ්‍යත්වයක් ලැබ දෑවුරුද්දක් එහි ගතකළේය.පසුව සියරට බලා පැමිණි ඔහුහට එකල තම සමකාලීනයින් හා මිතුරන් විසින් ආධිපත්‍ය දරන ලද චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වීමට හැකියාවක් තිබුණද එය හැරදමා දුෂ්කර පලාතක නැටුම් ගුරුවරයෙක් ලෙස ගොස් එහි ළමුන් හට නැටුම් සහ නාට්‍ය උගැන්වීමේ යෙදුනේය.පසුව විශ්‍රාම යාමෙන් පසුවද කලායතනයකට ගොස් ඉතා අවම මිලට කුඩා දරුවන්ට නැටුම්.නාට්‍ය,මුද්‍රා නාටක උගන්වන්නට විය.ඔහුට විවාපත්විමට නොහැකි වූ අතර ඔහු තමාගේ මව මියෙන තුරු ඉතා කැපවීමෙන් ඇප උපස්ථාන කර බලාගන්නා ලදී.අවසානයේ ඇවිදගන්නට වාරු නැතිව මාස දෙකක් පමණ එක්තැන් වූ ඔහුව බලාගැනීමට සිටියේ ඥාති පුත්‍රයෙක් පමණි.මේ ඥාති පුත්‍රයාට උපන්දාසිටම කලාකරුවා විසින් සලකා ඇත්තේ තමාගේම දරුවකු ආකාරයටය.කලාකරුවාගේ ආදාහනය සඳහා සුසාන භූමියට යමින් සිටියේ විස්සකට නොඅඩු පිරිසකි.


සවස දොස්තර වැඩ අවසන් කර පැමිණෙන විට තවත් අවමඟුල් පෙරහරකට මුහුණ දුන්නේය.නොදන්නවා වුනාට ඒ දිනය අවමඟුල් 'නැකත්' දිනයක් විය හැක.මියගොස් සිටියේ පළාතේ නම ගිය කුප්‍රකට මැරයෙකි.හෙතෙම අවසන් ගමන් ගොස් සිටියේ අධික ආසාත්මිකතාවයක් සහිත වූ ආහාරයක් විෂවිමකිනි.ඔහුගේ පුත්‍රයාද දීප්තිමත් අනාගතයක් සහිත නැඟී එන මැරයෙක් වෙමින් සිටියේය.මොවුන් විසින් මංතීරු දෙකකුත් ඉක්මවා යන ආකාරයේ අවමඟුල් පෙරහැරක් කරමින් සිටියෝය.පෙරහරේ පෙරමුණ බෙන්ස් වර්ගයේ අවමඟුල් රථයක් වූ අතර,ගෝලයින් පස් දෙනෙකුගේ කරපිටින් කළුවර ලියෙන් සැදු මිනි පෙට්ටිය වඩම්මන ලදී.


වර්තමාන අවමඟුල් සංස්කෘතිය යටත් විජිතවාදීන් නිසා පරිණාමය වී ඇති බව ලේඛකයා ගෙන හැර පෑවේය.ඔවුන් ඇදහු ආගමික විශ්වාස වලට අනුව අවසාන විනිශ්චය සඳහා දෙවියන් විසින් මළවුන් සියල්ල නැවත නැගිට්ටවනු ලැබේ.එමනිසා සිරුර හැකිතාක් කාලයක් පරෙස්සම් වන පරිදි සකස් කර පසුව ආරක්ෂාව හා සුවපහසුව තකා මිනිපෙට්ටියකට දමා එය වලලා දමනු ලැබේ.නමුත් දැන් බොහෝ විට වන්නේ ඒ සියල්ල කර විසිදහසේ පමණ සිට ලක්ෂ ගණනක් දක්වා වටිනා මිනීපෙට්ටිය පුච්චා දැමීමකි.සමහර විට එකල යටත් විජිතවාදීන් අනුකරණය කරන ලද ස්වදේශික රදල පැලැන්තිය සාමාන්‍ය ජනයාගෙන් කැපී පෙනීමට හා යටත් විජිතවාදීන් හට වඩාත් නැඹුරු වීමට මේ සිරිත් භාවිතා කරන්නට ඇත.කතාව යටත් විජිත වාදීන් දක්වා දික්වූ නිසා යටත් විජිත වාදීන් විසින් ම්ලේච්ඡයින් ශිෂ්ටාචාරගත කිරීම පැත්තට සාකච්ඡාව නැඹුරු විය.
තාක්ෂණයේ දියුණුව හා පුනරුද සමය සමඟම ඔවුන් රටවල් ආක්‍රමණය කිරීමට පටන් ගත්තේ ප්‍රධානවම වෙළඳ අරමුණු මුලික කරගෙනය.කඩු,කිණිසි,දම්වැල් වලට ඇමිණු කටු සහිත යගුලි වෙනුවට ඔවුන් තුවක්කුව දක්වා පරිණාමය වූහ.ඇත්තෙන්ම කඩුවකින් ගෙල හෝ අත්පා සිඳ මරාදැමීමට වඩා තුවක්කුවකින් හිසට එක උණ්ඩයක් පමණක් භාවිතාකර මරාදැමීම කෙතරම් ශිෂ්ට සම්පන්නද? කෙසේ වුවද ඔවුන් මුල් යුගයේ භාවිතා කල තුවක්කුව වැඩි දියුණු කර එහි බයිනෙත්තුව ගලවා දමා එය පුර්ණ ශිෂ්ටත්වයට පත්කිරීමට තරමක කාලයක් ගන්නා ලදී.එමෙන්ම රජකාලයේ ඇතුන් ලවා පාගවා මැරීම,දියේ ගිල්වා මැරීම,ගෙල සිඳීම වැනි දඬුවම් වෙනුවට එල්ලා මරා දැමීම හඳුන්වාදෙනු ලබන ලදී.කෙසේ වුවද මිනිසකු මරාදැමීමේ ශිෂ්ටත්වය තීරණය කිරීම මේ රටවල් වල සම්ප්‍රදායනට අනුව සාපේක්ෂ වේ.


අරාබිකාරයින්ට අනුව ඉතා තියුණු අසිපතකින් ගෙල සිඳ දැමීම ශිෂ්ටය.ඇමෙරිකානුවන්ට අනුව අධිබල විභව අන්තරයක් කිහිප වරක්ම ලබාදෙන විදුලි පුටුව ශිෂ්ටය.ජපාන ජාතිකයින්ට අනුව කුඩා කිනිස්සකින් තම බඩේ වම් පැත්තට ඇන,දකුණු පැත්තට හා ඉහලට කපාගැනීම ඉතා ශිෂ්ට වන අතර එය මඟින් ඔවුන් හට ජීවිතයක වටිනාම දේ වූ ආත්ම ගෞරවයද නැවත ලබාගත හැක.


සංවාදය තමාට අවශ්‍ය අතට ගෙන යාම සාර්ථක බව ලේඛකයාට දැනුනි.නමුත් කිහිප වරක් කැසිකිලි යාමට වීමෙන් පසු අධික බිමත් කමක් දැනීමට හේතුව ඔහුට කිසිසේත් වටහාගත නොහැකි විය.ඔහු කැසිකිලි ගොස් නැවත අසුන කරා යාම ඔහුට දැනුනේ ජලය මත පිහිනා යන ආකරකිනි.ඔහු තමාගේ ස්වයං පාලනය ගිලිහීමේ සලකුණු හඳුනාගත්තේය.එමනිසා තව බිර ඇණවුම් කිරීම නවතාදැමිය.නමුත් 'තැපෑල' ක්‍රියාත්මක වන්නට විය.එතනින් පසුව සිදුවූ කිසිම දෙයක් ගැන ඔහුට කිසි මතකයක් නොවුනි.එතරම් බිමත් වීමට හේතුවක් සිතාගත නොහැකි තැන දොස්තර තමාට කවලම් පෙව්වාදැයි ඔහුට තර්කානුකුල සැකයක් ඇතිවිය.'නැහැ ඌ කීයටවත් එහෙම කරන්නේ නැහැ.' ඔහුගේ සිත කියන්නට විය. 'කාලෙකට පස්සේ නිසා වෙන්න ඇති'
කෙතරම් ආවර්ජනය කලත් තම මනසේ අන්ධ බින්දුව මත වැටි ඇති ස්මරණයේ ඉතිරිය ඔහුට නැවතත් කැඳවාගත නොහැකි විය.ඔහු දොස්තරට කුමක් පැවසුවේද යන්න දත්තේ 'දෙවියන්' පමණි.නමුත් දීර්ඝ කාලින බේබදු මිත්‍රයින් අතර ඇතිවන බිමත් මීටරයේ අන්‍යොන වටහාගැනීම අනුව දොස්තරද සිටියේ බමන මතින් බව ඔහු වටහාගෙන සිටියේය.කුමක් වුවද තමා සැලැස්ම අනතුරේ දාගත්තා යැයි ප්‍රත්‍යක්ෂ කරගන්නා තුරුම පෙර සැලසුම් අනුව ක්‍රියාත්මක වීමට ඔහු සිතාගත්තේය.ඔහු කිසිසේත්ම මෙය මෙතරම් දුර දිග යන්නට වෙන දෙයක් බවට සිතාසිටියේ නැත.ඔහු බලාපොරොත්තු වුයේ එක දුරකථන ඇමතුමකින් තම ප්‍රශ්නය නිරාකරණය කරගන්නටයි.කොහොමත් ඔහු කරන සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ ඉතාම කලාතුරකින්.නමුත් ඇත්තෙන්ම ඔහු යමක යෙදී සිටි නිසා අවිඥානිකව සතුටු වුවත් එය වටහාගෙන සිටියේ නැත.වමනය යන්තම් පිරිසිදු කර මුහුණ සෝදා නැවතත් ඔහු නිදාගත්තේය.


ඔහු අවදිවූයේ දොරට ගසන ශබ්දයකිනි. යාන්තමින නැඟිටි ඔහු සවස්භාගය එළඹී ඇතිබව අවබෝධ කරගත්තේ ජනේලයෙන් ඇතුලට ගලාගෙන ආ මල හිරු රැස් ධාරාවෙන් සහ වටපිටාවෙන් ඇතිවූ ශබ්දයන්ට සවන්දිමෙනි.ඔහු ඇස් නොඇරියත් එය සවස්කාලය බව වටහාගැනීමට නිරායාසයෙන්ම හැකියාවක් ඇත.කමිසය ඇඳගත් ඔහු කන්නාඩියෙන් මුහුණ නොබලාම දොර කරා ගොස් කවරෙක්දවත් නොවිමසාම එය විවෘත කළේය.පැමිණ සිටියේ දොස්තරයි.


''මොකද යකෝ ගොක් කොලයක් දැක්ක මල පෙරේතයා වගේ අන්දමන්ද වෙලා බලන් ඉන්නේ.මට ඇතුලට එන්න කියන්නෙවත් නැද්ද?''
එවැනි කිසි තේරුමක් නැති උපමා දොස්තරට පහල වන්නේ කෙසේදැයි ඇත්තෙන්ම ලේඛකයා නොදැන සිටියේය.ඔහුගේ පෙර කතාවල චරිත සඳහා දොස්තර භාවිතා කරනාකාරයේ උපමා භාවිතා කල අතර එයින් විපුල පල ලබාගත්තේය.විවිධ විචාරකයින් මේ උපමා නිර්වචනය කරන ආකාරය දුටු ඔහු තනිවම හක හක ගා සිනාසුනේ වරක් හෝ දෙවරක් නොවේ.

නමුත් මෙතැනදී මරණය හා සම්බන්ධ 'ගොක් කොලය' දොස්තර සඳහන් කලේ හිතමතාමදැයි ඔහු හට නිශ්චිත තාවයක් නොවුනි.

ලේඛකයා පසෙකට තල්ලු කරමින් දොස්තර ඇතුලට පිවිස වටපිට බලා මුහුණ ඇඹුල් කරගත්තේය.

''තෝනම් පෙරේත විමානයක්ම තමා.ඈ යකෝ උදේට කාපු කෑම එකවත් තාම අස්කරලා නැහැ.මැස්සොවත් වහල නැත්තේ උන්ටත් අප්පිරියවෙලාද කොහෙද.''


ඇස් හා මුහුණ පිසදමමින් ලේඛකයා මෙසේ පිළිතුරු දුන්නේය.

''හ්ම්ම්ප්ප්... ඔය උදේ කෑම එක නෙවේ බන්.දවල් එක.ඊයේ.''
 
කෑම පිඟාන රැගෙන ගොස් කුස්සියෙන් තැබූ දොස්තර නැවත සාලයට පැමිණියේය.

''මේ අහපන්.උඹ මේ නසරානිය වගේ ඉන්න එක මම උඹේ අක්කට කියනවා දැනගනින්.මොන මඟුලක්ද මොකක්ද බන් උඹට දැන් වේගෙන එන්නේ.''

ලේඛකයාට අවශ්‍ය වී තිබු අවසාන දෙය එය විය.වහාම දොස්තර නිෂ්ක්‍රිය කල යුතුය.

''අනේ නැහැ බන්.ඊයේ මම රෑ කලින් ගෙදර ඇවිල්ල ඔක්කොම පොඩ්ඩක් අස් කරලා දාන්න හිටියේ.ඒත් ඊයේ කාලෙකට පස්සේ නිසාද මන්ද මට ඇඩ්රස් නැති වෙන්න වැදුන.පොඩ්ඩක් කාමරේ බලපන් වමනේ හැමතැනම.ඇඟට අමාරුවෙන් හිටියේ දවසෙම මම තාම උදේට කාලවත් නැහැ.''


දොස්තරට දැඩි පශ්චාත්තාපයක් සමඟ ආ බලවත් කණගාටුවක් පහල විය.ඔහු ''පොඩ්ඩක් හිටපන්'' කියා වහ වහා ළඟම තිබු ජංගම සැන්දෑ කෑම අරන් යන තැනක් වූ ඩිමෝ බට්ටා වෙත ගොස් තෝසේ කිහිපයක් හා උඳු වඩේ හොදි සහ කට දන අමු මිරිස් සම්බෝලයක් සමඟ රැගෙන ආවේය.මේ ජංගම හෝටලය ලේඛකයා තට්ටු නිවාසයට පැමිණි මුල් අවදියේ පටන් ඔවුන් හට උපකාරී වී තිබුණි.


කිසිවක් ඉතුරු නොකර සියල්ල ගිල දමන ලේඛකයා දෙස ඔහු උඳු වඩයක් සපමින් බලා සිටියේය.ඉන්පසු මෙසේ කිවේය.


''මේ මොනවත් අහන්න කරන්න ඕනේ නෑ උඹ පොඩ්ඩක් මුණ හෝදගෙන වරෙන්.යමන් අපේ ගෙදර දවස් දෙක තුනකට.හාමිනේගෙන් බේරෙන්න බැහැ උඹ එක්ක සෙට් වෙලා ගෙදර ආව එක දැනගත්තහම.උඹව කාලෙකින් දැක්කෙත් නැහැ කිය කියා මට හොඳටම බැන්න බිලා එලවල උඹව ගෙදරට අතැරලා එක ගැන.''
ලේඛකයා කිසිත් නොකියා එයට එකඟතාවය පළකළේය.


ලේඛකයා ලැස්ති වන අතරතුර දොස්තර පරික්ශාකාරිව නිසොල්මනේ සිට අතේ මදුරුවකුට තැලුවේය.ඉන්පසු මදුරුවා මේසය මත දමා තට්ටක් ගලවා මෙසේ කීය.

'තනි තටුවෙන් පියාඹන්න.'

*******


දින දෙකකට පසුව උදාවූ සැන්දෑවේ දොස්තර රිය පදවමින් සිටි අතර ලේඛකයා ඊට යාබද අසුනේ හිඳ පාරේ පසුවන දේවල් දෙස උදාසීනව බලාසිටියේය.ඇත්තෙන්ම ලේඛකයා හට වාහනයක ඉදිරිපස අසුනේ යාම තරමක නොරිස්සුමක් සහිත භීතියක් ඇති කල දෙයකි.නමුත් ඔහු බියවුයේ කුමන හේතුවක් නිසාදැයි හරියටම නොදැන සිටියේය.මරණයට ආශක්ත වුවෙකු ලෙස තමන්වම සලකාගත් ඔහුට මෙවැනි කාරණා ප්‍රහේලිකාවක් බඳුය.''ආත්මගත දෙයක් වෙන්නැති.'' විඥානවාදියෙක් නොවූ ඔහු ඒ සිතිවිල්ලේ ඇති උපහාසය සලකා තමාටම සිනාසුනේය.දොස්තර එය දුටුවේය.


''ගල් බමුණා වගේ බුම්මගෙන ඉඳල හිනාවෙන හැටි විතරක්.''



ඔවුන් නැවතත් යමින් සිටියේ සුපුරුදු ගිමන්හල වූ ඔඑසිස් වෙතටයි.සයිමාගේ කතාවට ලේඛකයා දුන් විචාරය දොස්තර විසින් ඔහුට ඒ කතාව දුන් මිතුරු දොස්තරවරයාට පවසා ඇත. පුදුමයෙන් පුදුමයට පත්වූ මිතුරු දොස්තර එදිනම සයිමාව හමුවීමට ගොස් ලේඛකයාගේ නම සඳහන් කර එම විචාරය සයිමාට පවසා ඇත.ලේඛකයාගේ නම දැනගත් සයිමා කනගාටුවකටත් වඩා අධික ප්‍රීතියකට පත්වී ඇත.කෙසේ හෝ ලේඛකයාව මුණගැසීමට අවස්ථාවක් උදාකරදෙන ලෙස ඔහු පින්සෙන්ඩු වී ඇත.මෙය මිතුරු දොස්තරගෙන් දොස්තරටද,දොස්තරගෙන් ලේඛකයාටද සම්ප්‍රේෂණය වන ලදී.දොස්තරගේ ඉමහත් පුදුමයට හේතුවන පරිදි ලේඛකයා හමුවට එකඟතාවය පළකළේය.වාසනාවට මෙන් මිතුරු දොස්තරහට ලේඛකයා දුන් වෙලාවේ ඔහුගේ කඩයේ වැඩ යෙදී තිබුණි.


සයිමාව හඳුනාගැනීමට ඔවුනට වැඩි වෙලාවක් ගතවුයේ නැත.සියලුම මේස වල පුද්ගලයින් එකා දෙන්නා බැගින් සිටි අතර කොනේම තිබු මේසයක තනි පුද්ගලයෙක් වාඩි වී සිටියේය.


ඔවුන් මේසය කරා ගිය අතර එහි සිටි පුද්ගලයා නැගිට තමන් සයිමා ලෙස හඳුන්වාදුන්නේය.ලේඛකයා හමුවීමෙන් ඔහු තරමක් කලබලයට හා නොසන්සුන්තාවයකට පත්වී ඇති බව ලේඛකයාට පෙනුනි.ඔවුන් තිදෙනා අසුන් ගත් අතර ලේඛකයා සයිමාව මඳක් නිරීක්ෂණය කළේය.


සයිමාට බොහෝ දුරට වයස විසි ගණනක් වන්නට ඇත.ඔහු 'තලෙළු' යන වර්ණයේ කළු පැහැයට වඩාත් නැඹුරු සමක් හිමිකරගෙන සිටියේය.ඔහුගේ සෘජු කෙස් තරමක් දිගට වැවී තිබු අතර එහි කිසිම පිළිවෙලක් තිබුනේ නැත.දින ගණනකින් නොකැපු රැවුලක් ඔහු සතුව තිබු අතර එය මඟින් ඔහුට වයසට වඩා පෙනුමක් ලබා දී තිබුණි.නිල් පැහැ කොටු කොටු කමිසයකින් හා 'කැමා' කොට කලිසමකින් සැරසී සිටි හෙතෙම දෙපයට කළු පැහැ බෝල බෝල සහිත රබර් සෙරෙප්පු කුට්ටමක් පැළඳ සිටියේය.ඔහු 'කැන්ඩෙලා' සිගරට්ටුවක් බොමින් සිටි අතර ලේඛකයා වෙතටද එම සිගරට්ටුවක් පිරිනැමූ විට ලේඛකයා තමා අක්‍රිය දුම්පානය කරන්නෙක් පමණක් බව කියා එය ප්‍රතික්ෂේප කළේය.සයිමා මේ අවස්ථාවේ ඉතාමත් නොසන්සුන් බව ලේඛකයා වටහා ගත්තේ තත්පර පහෙන් පහට සිගරට්ටුවේ අළු කඩමින් සිටි බැවිනි.තරමක පුෂ්ටිමත් සිරුරක් තිබු සයිමා කරමින් සිටි රැකියාව කුමක්දැයි කියා ලේඛකයා කල්පනා කළේය.


ආගිය කතා අතර පළමු බියර් වටය නිමවූ විට දොස්තර තමන් නිවසට යායුතු යැයි කියා,වැඩේ අවසාන වූ විට ත්‍රි රෝද රථයක් සොයාගැනීමට නොහැකි වුවහොත් තමන්ගේ නිවසට කතාකරන ලෙස කියා ඔවුන්ගෙන් සමුගත්තේය.දොස්තර නික්මගිය පසු මේසයේ තරමක නිහැඬියාවක් විය.ලේඛකයා කල්පනා කරමින් සිටියේ තවත් දෙයකි.ලේඛකයාට සයිමා මිට කලින් හමුවී ඇති බවක් ඉතා තදින්ම දැනුනත් එය ගැන ඔහුට කිසිම මතකයක් නොවිය.කෙසේ වෙතත් ලේඛකයාගේ ලියන ලද පොත් එකක් නෑර තමන් කියවූ බවත් ඒවා අනර්ඝ තත්වයේ ලේඛන බවත් තමන්ගේ ලේඛනයට ලේඛකයාගෙන් ආදර්ශ ගත් බවත් සයිමා කියන්නට පටන් ගත්තේය.


මනමේ සම්බන්ධයෙන් ලේඛකයාගේ විචාරය අසා ඔහු තුෂ්නිම්භූත වූ බවත් තමන්ගේ තුන් හිතකවත් ලේඛකයා සඳහන් කල ආකාරයේ අරමුණක් නොවූ බවත් ඔහු විසින් ලේඛකයාට කිවේය.ඒ කතාව විශ්වාස නොකලත් එය මුහුණින් පල නොකිරීමට ලේඛකයා සංවේදී විය.කෙසේ වුවත් ඔවුන් එතැන් සිට කලාව,දේශපාලනය හා පුද්ගලික තොරතුරු පිලිබඳ පැය ගණනක් කතා කළහ.තමා හා සයිමා අතර කිසියම් විස්තර කර නොහැකි ආකාරයේ සම්බන්ධයක් ඇති බව ලේඛකයාට කතාබහ සමඟ දැනුනි.නමුත් එය හොඳ හෝ නරක පැත්තටද යන්න ඔහුට අවබෝධයක් නොවිය.මේ අතර දෙදෙනාම තමන් විසිර යායුතු අවස්තාව පැමිණ ඇති බව වටහාගත්හ.


තැබෑරුමෙන් පිටතට පැමිණ ත්‍රි රෝද රථයක් ලැබෙන තුරු ලේඛකයා හා සයිමා රැඳී සිටියේය.ලේඛකයාට ත්‍රි රෝද රථයක් හමුවූ විට නැවතත් ලේඛකයා හා හමුවීමට ලැබීම තමන් ලද භාග්‍යයක් බවත් මේ මීවිත සැන්දෑව තමන්ගේ මතකයේ බොහෝ කලක් රැඳෙනු ඇති බවත් කියා සයිමා කියා සිටියේය.ලේඛකයා ත්‍රිරෝද රථයට නැඟ යමක් එහි රියදුරුට මඳක් නවතින ලෙස කියා සයිමාගෙන් මෙසේ ඇසුවේය.

''එක දෙයක් අහන්න අමතක වුනා බං.උඹේ ඇත්ත නම සයිම නෙවේනේ....මොකක්ද?''

සයිමා තරමක් නොපැහැදිලි ලෙස මෙසේ කිවේය.

''ප්‍රභාත්....ප්‍රභාත් විතානගේ.''


+

ඉතා මිල අධික නොවූත්,ඉතා ලාභදායි නොවූත් ලැගුම් හලේ කාමරයේ සිටි ලේඛකයා සයනයෙන් බිමට බැස ඇය දෙස බැලුවාය.ඇය ඇගේම වමතේ පිටිඅල්ල මත හිස තබා,අනෙක් අත හිසෙන් ඉහල තිබෙන පරිදි යටිකුරුව වැතිර නින්දක පසුවුවාය.ඇයට තිබුනේ තලෙළු පැහැයෙන් දිලෙන පිරිපුන් දේහයකි.ඔහු ජනේලය කරා ගොස් මුහුද දෙස බලා කල්පනා කරන්නට විය.


දොස්තරගේ නිවසේ දින හතරක් පමණ නැවතී සිටියද ඔහුට තමාට අවශ්‍ය කාරනාව ඔහු හරහා ඉටු කරගන්නට නොහැකි විය.සාමන්‍යාකාරයට ඔහු සියදිවි නසාගැනීමේ මාතෘකාවට පිවිසුනත් දොස්තර සැකසහිතව ඒ පිලිබඳ තරමක උනන්දුවකින් ප්‍රශ්න කරන්න වූ බැවින් වහාම තම සංවාදයට හේතු වූ ප්‍රස්තුතය පිළිබඳව සාධාරණ හේතුවක් දෙන්නට ඔහු උත්සුක වූයේය.


'නැහැ බන් වෙන මොනවටවත් නෙවේ.මම ආයෙත් කතාවක් ලියන්න ගන්න හිතුවා ඒකයි.'


දොස්තර මෙය අසා ප්‍රමෝදයට පත්විය.ඔහුට කතාවේ පසුබිම,එය කෙටි කතාවක් හෝ නවකතාවක්ද යන කරුණු දැනගන්නට අවශ්‍ය විය.ඒ පිළිබඳව කිසි පෙර සුදානමක් නැති වුවත් ලේඛකයා වහ වහා පිළිතුරු දීමට පටන් ගත්තේය.


කතාව බොහෝ දුරට කෙටි-නවකතාවක් වනු ඇත.ලේඛකයා කෙලින්ම නවකතාවක් කියා නොකියන්නට හේතුවක්ද විය.එම කතාවට පසුබිම වන්නේ බ්‍රිතාන්‍ය ඉන්දියාවට නිදහස ලබා දුන් කාලසීමාවයි.මේ කාලයේදී ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල පාලකයින් පාලනය කරමින් සිටියහ.මහාරාජ වරු හෝ නවාබ්වරු ලෙස හැඳින්වූ මොවුන් බ්‍රිතාන්‍ය කිරීටයට තම පක්ෂපාතිත්වය පෙන්වූ නිසා සහ දෙවන ලෝක ලෝක යුද්ධයේදී ධනවත් මහාරාජා වරු බ්‍රිතාන්‍යට නොමසුරුව මුල්‍යමය ආධාර කර අධිරාජ්‍යයාගෙන් රාජකීය නම්බු නාම පවා ලබාගෙන සිටියහ.බ්‍රිතාන්‍යයින්ට ඉන්දියාවේ පාලනය මොවුන් විසින් පහසු කල බැවින් කිසිවිටක ඔවුන් ලද වරප්‍රසාද නැවත උදුරාගන්නට බ්‍රිතාන්‍යයින් කිසිවිටක කටයුතු නොකරන ලදී.එක මහාරාජා වරයෙක් කන්‍යාවියන් දහසක් සමඟ සයනය කරන බවට දිවුරා,ඒ ගෙන එන සෑම ගැමි,දුප්පත් කෙල්ලන්ගේ නාසයේ තිබූ කුඩා ආභරණය ගලවා තමාගේ කාර්යයේ සාක්ෂි ලෙස තබාගත්තේය.අවසානයේ ඔහු සතුවූ නාසාභරණ වල බර රාත්තල් දෙකත් ඉක්මවා තිබුණි.නමුත් මොවුන් කරන ලද සියලු නොපනත්කම් පිලිබඳ බ්‍රිතාන්‍යයින් දැරුවේ ඉතා උදාසින් ආකල්පයකි.


ලේඛකයා කතාව ගෙතීමට යන්නේ බැරෝඩා මහාරාජාගේ එකම පුත්‍රයා වටාය.හෙතෙම කෙම්බ්‍රිජ්හි ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය හදාරමින් සිටියදී නැවත සියරට පැමිණෙන්නේ ඔහුගේ පියාගේ හදිසි අභාවය නිසා ආදාහනයට සහභාගී වී බැරෝඩාහි අභිනව මහාරාජා ලෙස ලේ උරුමයෙන් ලැබෙන තනතුරේ දිවුරුම් දීම සඳහාය.බ්‍රිතාන්‍යයේ දෙවෙනි පන්තියේ සැලකුම් ලැබී ඔහු ආදාහනයෙන් පසුව දිවුරුම් දී තම ප්‍රාන්තය ප්‍රතිසංස්කරණය කිරීමට ඉටාගන්නේය.


ඔහු ප්‍රථමයෙන් කරන්නේ ලිවීමට හා කියවීමට හැකි තරුණයින් සේවයට බඳවාගෙන ඔවුන්ට සමුපකාර අර්ථ ක්‍රමය ගැන ඔහු විසින්ම පැහැදිලි කිරීමකි.සමුපකාර අර්ථ ක්‍රමයේ නියම අදහස ජනතාව එක්ව,ඔවුන්ගේම මුදල් එකතුකර,ඔවුන් අතරින්ම පරිපාලන මණ්ඩලයක් සාදා එයින් ව්‍යාපාර ආරම්භ කර ලාභ උපයා ලැබෙන සුද්ධ ලාභය නව ආයෝජන වලට යොදවා අනෙක් දේ ඔවුන් අතර සාධාරණව බෙදාගැනීමයි.ඔහු මේ තරුණයින්හට පෞද්ගලිකවම තමන් උගත් ආර්ථික විද්‍යාව තමන්ගේ ප්‍රදේශයේ ඇති සම්පත් වලට සාර්ථකව ආදේශ කරන හැටි ඉතා සරලව කියාදෙනු ලබයි.එමෙන්ම යම් ප්‍රදේශයක වටිනාම සම්පත මිනිරන්,ගල් අඟුරු හෝ මුතුමැණික් නොව මිනිසුන් බව අතීත උදාහරණද සමඟ පෙන්වා දෙයි.


ප්‍රථමයෙන්ම ඔහු තම භාණ්ඩාගාරයෙන් මුදල් යොදවා ආරම්භ කරනු ලබන්නේ සමුපකාර පාසැලක් සහ වෙළඳ සැලකී.පාසැලින් තමන්ගේ ක්‍රියාදාමයට අවශ්‍ය ලිවීමට,කියවීමට,ගණන් තැබීමට උගන්වා ශ්‍රම හමුදාව සොයාගැනීමට අදහස් කරනු ලබයි.කාලයත් සමඟම ඔහු සමුපකාර රෝහලක්,ප්‍රවාහන සමාගමක් සහ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම දක්වා දුර යයි.කාමර 35කින් යුතු තම පරම්පරාගත මහාරාජා වලව්ව ඔහු රෝහලට පරිත්‍යාග කරයි.ඉන්පසු ඔහු සමුපකාර විශ්ව විද්‍යාලයට ඇතුල් වූ පළමු කාන්තාව හා විවාහ වී සාමාන්‍ය නිවසක පදිංචියට ගොස් සම්පුර්ණ ක්‍රියාදාමයම තම ශ්‍රම බලකායට පවරයි.මේ අතර ඉන්දිරා ගාන්ධි විසින් මහාරාජ වරුන්ගේ සියලුම බලය අහෝසි කර දේපල රාජසන්තක කරන ක්‍රියාදාමය ගෙන එයි.නමුත් ඔහු සිය ප්‍රදේශයේ දේවත්වය හා සමාන තත්වයකින් 'ජනයාගේ රජු' යන අන්වර්ථ නාමයෙන් මිනිසුන්ගේ ගෞරවාදරයට පත්වේ.


විවාහ වී දියණිය බිහි කිරීමෙන් අවුරුදු කිහිපයක අවෑමෙන් ඔහුගේ බිරිද මියයයි.ඔහු තම දියණියට අසීමිතව ආදරය කරන අතර ඇයට තම සෙනෙහස නොඅඩුවම ලබාදෙයි.දිල්ලි විශ්ව විද්‍යාලයට තේරෙන ඇය පසුකාලීනව එහිම ශිෂ්‍යකු හා හාදවී ඔහු විසින් ප්‍රතාප්ගර් ප්‍රදේශයේ ඇතිවන රාජ්‍ය විරෝධී නැක්සලයිට් පිබිදීමකට සහභාගී වේ.රජයේ හමුදා විසින් ප්‍රතාප්ගර්හි කැලයක කරන ලද මෙහෙයුමකින් පසුව ඇය ගැන කිසිම ආරංචියක් නොලැබී යයි.


මහාරාජා තමන්ට හැකි සෑම ආකාරයකටම තම සම්බන්ධතා යොදාගෙන ඇය ගැන සොයා බැලුවත් කිසි ආරංචියක් දැන ගැනීමට ලැබෙන්නේ නැත.අවම වශයෙන් ඇය මියගියාදැයි කියාවත් ඔහුට තහවුරු කරගැනීමට ක්‍රමයක් නොමැති වී යයි.අවුරුදු 3ක නොපසුබට උත්සහයකින් පසුව තමන්ට ජිවත් වීමට හේතුවක් නැති බව වටහාගන්නා හෙතෙම 'නිදිපෙති' ගෙන තම ජීවිතය අවසාන කරගනී.නමුත් නියමිත මාත්‍රාවට නොදැන අඩු මාත්‍රාවකින් එය ලබාගන්න බැවින් ඔහු සිහි විකල් වී ඔහුම ආරම්භ කල සමුපකාර රෝහලේ විශේෂ කුටියක තම අවසාන දිනය තෙක් ජීවිතය ගතකරයි.


මෙම කතාව අනිවාර්යෙන්ම පාඨකයාට නව අත්දැකීමක් දෙනු ඇති බව දොස්තර විසින් දැනුම් දෙනු ලැබිය.එමෙන්ම තමා හැකි ආකාරයකින් උදව් කරන බවත් මෙහි මුල්ම ලිවිම ලියා හැකි ඉක්මනින් තමන් අතට පත්කරන ලෙසත් ඔහු විසින් ලේඛකයාට කියාසිටියේය.ලේඛකයා විසින් දොස්තර එම ඉල්ලීම කරනු ඇති බව දැනසිටියේ කතාවේ පසුබිම ආරම්භ කරන්නටත් පෙරය.ඔහු 'නවකතාවක්' නොකියා 'කෙටි-නවකතාවක්' කියා කියුවේ තමාගේ පහසුව තකාය.තම කතාවේ දළ සැලැස්ම දොස්තරට ඒත්තු ගැන්විය හැකි සුළු එකක්නම් තමාට ඇත්තටම අවශ්‍ය තොරතුරු සියල්ල කිසි අපහසුවකින් තොරවම ඔහුට දැනගතහැකි වනු ඇත.


එදාම දොස්තරගේ නිවසින් නික්ම තම නවාතැනට ගිය ලේඛකයා පසුදින උදෑසනම තමාගේ මුල්ම ලිවීමට අවශ්‍ය කරුණු සොයාගැනීමටය.ඔහු කවදත් කතා ලියුවේ කියවන්නා ඔහු ලියනා දේ විශ්වාස කිරීම මුලික කරගෙනයි.නමුත් මෙහිදී මහාරාජාගේ කතාව අඩංගු කෙටි නවකතාව කිසිවිට මුද්‍රණ ද්වාරයෙන් එලියට නොඑන බැවින් ඔහුට ඒත්තු ගැන්වීමට තිබුනේ දොස්තරව පමණි.යටත් විජිතවාදීන් ගැන බද්ධ වෛරයෙන් සිටි(බටහිර දොස්තර කෙනෙක් වුවත්) තරමක් සමාජවාදී අදහස් දැරූ දොස්තරට ඒත්තු ගැන්වීම ඔහුට එතරම් ප්‍රශ්නකාරී දෙයක් නොවේ.


'ඉන්දියානු තොරතුරු පියස' නම් පුස්තකාලයට වැදුණු ඔහු තමන්ට අවශ්‍ය වාර්තා,සටහන්,ප්‍රබන්ධ,චරිතාපදාන සියල්ල එක තැනකට ගෙන එකින් එකේ පටුන ගෙන සටහන් කරගැනීමට ගත්තේය.ඔහු වහා හිස ඔසවා බැලුවේ යමෙක් තමා දෙස බලාසිටිනා බවක් ඔහුට දැනුන බැවිනි.


ඇය අසුන්ගෙන සිටියේ ඔහු සිටි අසුනට ප්‍රතිවිරුද්ධ දිශාවෙනි.ඇයට රවුම් මුහුණක්,මඳ සිනහවකින් සැරසුණු දිගු දෙතොල් හා උරහිසින් මඳක් පහලට යන කෙස් කලඹක් තිබු අතර මුහුණේ තිබූ විශේෂිතම දේ වූයේ විශාල,හැඟීම් උතුරා යන දෙනෙත් යුගලකි.එම දෙනෙත් ඔහු කරා යොමුවී තිබු අතර ඇය සිය අසුනින් නැඟිට ඔහු කරා පියමැන්නා.ඇය හැඳ සිටියේ චාම් සල්වාරයකි.තරමක් පුෂ්ටිමත් වූ ඇයගෙන් දිස්වූයේ පිරිපුන් ස්වභාවයකි.සම ඉතා ප්‍රසන්න තලෙළු පැහැයකි.


ඇය මුලින්ම ලේඛකයාගේ නම සඳහන් කර තමා නිවැරදිදැයි විමසා සිටියාය.තමාගේ පොත්වල පිටුපස කවරයට ඔහුගේ ඡායාරුප භාවිතා නොකරන බැවින් සහ පුවත්පත් සම්මුඛ සාකච්ඡා සඳහාද කිසිදින තමාගේ සේයාරු පලකිරීමට ඉඩ නොදුන් බැවින් ඔහුව හඳුනාගන්නා රසිකයින් සිටියෙම නැති තරම්ය.නමුත් ඇයට බොරු කිරීමට ඔහුට උවමනා නොවිය.ඔහු ඇය නිවැරදි බව පවසා ඇයගේ නම විමසා සිටියාය.
සුහද පිළිසඳරකින් පසු ආපන ශාලාවට ගොස් තේ පානය කිරීමට ඔහු යෝජනා කළේය.ඇයගේ සිනාමුසු දෙනෙතින් ඔහු තරමක් අපහසුතාවයට පත්වී සිටියේය.ඔවුන් තේ පානය කරන අතර බොහෝ දේ කතාකළහ.ඇයගේ පියා ඉන්දියානුවකු වූ අතර මව ලාංකික කාන්තාවක් වූවාය.ඉංග්‍රීසි,හින්දි,මලයාලම්,සිංහල සහ දෙමල ඉතා චතුරව හැසිරවූ ඇය සේවය කරමින් සිටියේ රාජ්‍ය නොවන සංවිධානයකටයි.ඇය විසින් ඔහු පලකල සෑම පොතක්ම කියවූ බවත් ඒවා සිංහල කෙටිකථා සහ නවකතා වෙනස්ම මානයකට ගෙනගිය බවත් ඇය විසින් කියද්දී ඔහු රත් පැහැ ගෙන බිම බලාගත්තේය.ඇය හඬ නඟා සිනාසී මේසය මත තිබු ඔහුගේ අතක් මිරිකුවාය.ඔහු ඉන්දියානු තොරතුරු පියසේ කරන්නේ කුමක්දැයි ඇය විමසා සිටියාය.ඔහු තමන්ගේ මූලික අරමුණ ගැන කිසිවක්ම නොකියා තමා ලිවීමට බලාපොරොත්තු වන අලුත් කෙටි නවකතාව පිලිබඳ විස්තර කරන්නට විය.ඇය තම අත මත නිකට තබා විස්මයානුකුල බව හා අපුර්වත්වය විහිදෙන දෑසින් ඔහු ලිවීමට යන කතාපුවත අසමින් සිටියාය.කතාව සම්බන්ධයෙන් තමන් දැන්ම අදහස් පල කිරීම ඔහුට හොඳ නොවන බවත් ලියු වහාම තමාට කියවන්නට දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.ඔහු සිනාසෙමින් එකඟ විය.
තවත් දේ කතාකල පසු ලේඛකයා නිහඬ විය.ඔහු බර කල්පනාවකට වැටුණි.මේ අතර ඇය නැගිට ඔහුගේ අතගෙන ඔහු කෙරේ මෘදු සිනාමුසු බැල්මක් හෙලා මෙසේ කීවාය.


'යමු'


ලේඛකයා ආරාධනාව පිළිගෙන ඇය හා ඉන්දියානු තොරතුරු පියසින් නික්ම අසල පිහිටි ලැගුම් හලට ඇතුළුවිය.කාමරයේ දොර වසාගත් පසු දෙදෙනා අතර කතාබහක් හුවමාරු නොවුනි.ඇය වරින් වර සිනාසුනාය.එතැන් සිට සිදුවූ දේවල් ගලාගියේ ස්වාභාවිකවමය.කිසිම අනුබලයකින්,බලකිරීමකින් හෝ අපහසුවකින් තොරවමය.ඇය තමන්ට ඉතා හුරු පුරුදු බව ලේඛකයාට දැනුනි.පැය දෙකකට පමණ පසුව ඇය නිදාගත්තාය.ඇයගේ මුහුණේ සිනාවක් ඇඳි තිබුණි.


ලේඛකයා ජනේලයෙන් පිටත බලාගෙන තමාගේ සිතුවිලි පිලිබඳ විමසිලිමත් වෙමින් සිටියේය.ඇය තෘප්තිමත් වූවාදයි ඔහු සිතන්නට විය.ඔහු එසේ සිතුවේ සාමාන්‍යයෙන් කාන්තාවක් පුර්ණ තෘප්තියට පැමිණවීමට නොහැකිවීම පුරුෂයා මදිකමක් ලෙස සලකන නිසාද නැතිනම් ඇත්තටම කාන්තාව කෙරේ ඇති වන සෙනෙහසින්දැයි ඔහු සිතා බැලුවේය.


ඔහු හැඳ පැළඳ අවසාන වූ විටත් ඇය නින්දේ පසුවූවාය. ඇයගේ දිලෙන සිරුර දෙස ඔහු නැවතත් බැලුවේය.
වසර ලක්ෂ දෙකකට පමණ පෙර සිටි අප්‍රිකානු මිත්තණියගෙන් ඇරඹි ඉසියස්-හොරෙස්,පාර්වතී,කන්‍යා-මරියා,කළු මැඩෝනා,ගුවාන් යින් හරහා සමස්ත මනුෂ්‍ය වර්ගයා කෙරේම වැටි ඇති ස්ත්‍රියගේ යෝධ සෙවනැල්ල එකිනෙම ලේඛකයා හට අවබෝධ විය.ඔහු සයනයේ නැවතත් හිඳගෙන ඇයගේ දෙපා මහත් ස්නේහයෙන් සිපගත්තේය.ඇය අවදිවිය.


කාන්තිමත් ඇස් හැර හැඳ පැළද සිටි ලේඛකයා දෙස බලා සිනාසී නැවතත් ඇය තම දෙනෙත් පියාගත්තාය.
ලැගුම් හලෙන් පිටතට පිවිසි ලේඛකයා තමාට කුමක් වුනිදැයි කල්පනා කරමින් ඇවිද යන්නට විය.ඔහු කිසි විටක ගැහැණියක් හඹා ගියේ හෝ ලඟින් ඇසුරු කලේ නැත.වරක් ඔඑසිස්හි ලේඛකයා එකල ජනප්‍රිය වූ මාධ්‍යවේදිනියකගේ ගවේශනාත්මක වාර්තා කිහිපයක් ගැන කල දරුණු විවේචනය අසා සිටි දොස්තර මෙසේ ඇසුවේය.




''මොකක්ද උඹට ගෑණු ජර්නලිස්ට්ල සම්බන්ධයෙන් තියන ප්‍රශ්නේ.''
ලේඛකයා බියර් උගුරක් හලා මෙසේ පිළිතුරු දුන්නේය.


''ප්‍රශ්න දෙකක් තියනවා.ගෑනියෙක් වුණු එක මදිවට මාධ්‍යවේදීත් වුනු එක.''


කෙසේ වුවද ගතවූ සතිය තුල තම හැසිරීම් හා චින්තන රටාවේ බරපතල වෙනසක් සිදුවෙමින් පවතින බව ඔහුට වැටහුණි.ලැගුම්හලෙන් තනිවම පිටවීම සම්බන්ධයෙන් ඔහුට වරදකාරී චිත්තයක් පහල විය.ඒ අතර ඔහු සතියේ වූ දේවල් අතර අනෙක් අමුතුම සිදුවීම වූ සයිමා හා හමුව ගැන සිතන්නට විය.ඔහු පසුම්බිය පරික්ෂා කළේය.එහි එදා සයිමා විසින් ලබාදුන් ඔහුගේ නවාතැනේ ලිපිනය සුරැකිව තිබුණි.ඔහු ඒ මොහොතේම සයිමා හමුවට යාමට තීරණය කරගත්තේය.


බස් ගමනකින් සහ රුපියල් 60ක ත්‍රිරෝද ගමනකින් පසු ඔහු 12/9 අංකය සලකුණු වූ රෝද සහිත කළු ගේට්ටුවක් ඉදිරියේ සිටියේය.ගේට්ටුවට තට්ටු කලත් කිසිවකු නිවසේ ඇති බවක් නොපෙනුණි.සයිමා එම කුලී නිවසේ වාසය කලේ ඔහුගේ අනෙක් යහළුවන් තිදෙනාද සමඟය.එයින් සිවිල් ඉංජිනේරුවා,ප්‍රමාණාත්මක මිනින්දොරුවා ඔහුගේ පාසල් මිතුරන් වූ අතර අනෙකා වූ මෘදුකාංග ඉංජිනේරුවා එම මිතුරකුගේ ළඟම ඥාතියෙකි.සයිමා පාඨමාලාවක් හදාරමින් සිටියේය.කෙසේ හෝ සිවුදෙනාම තමන්ගේ රැකියා සඳහා නික්මගොස් නැවත පැමිණ නැත.


ගේට්ටුව මඳක් තල්ලු කර ඇතුල් වූ විට ලේඛකයා දුටුවේ අබලන් කාර් රථයකි.එහි කොටස් ගලවා දමා තිබුණි.ඇතුලේ තිබුනේ රියදුරු අසුන පමණි.නිවසේ විදුලි සීනුව නාද කලද ඔහුගේ සැකය තහවුරු කරමින් කිසිවෙක් නොපැමිණියේය.ඔහු ඉවකින් මෙන් පාපිස්ස උස්සා බැලිය.එතැන යතුරක් තිබුණි.යතුර ගෙන ඔහු ඇතුල්විය.


විශාල සාලයක් සහ කාමර තුනකින් සමන්විත නිවසකි.ලේඛකයා සාලය හරහා ගොස් දෙවෙනි කාමරයට පිවිසියේය.එහි විශාල ලාච්චු වලින් සමන්විත ලියන මේසයක් විය.මේසය උඩ හාෆ්ශිට් සහ ෆුල්ස්කැප් කොළ රාශියකි.ඔහු අතරින් පතර අවුස්සා බැලිය.ඒවාගේ තිබුණේ අපැහැදිලි අකුරින් ලිවූ විවිධ කෙටිකතාය.එක කොලයකට පමණක් සිමා වූ කතා සහ කොළ කිහිපයක් දක්වා දිවෙන කතා මාලා බොහොමයක් විය.ඔහු අතරින් පතර නම් බැලුවේය. අසදෘශ දානය,සුදු චොකලට්,අලිපේර,ත්‍රිකෝණය සහ මනමේ අතුරු කතාවද එහි විය.මේ සයිමාගේ ලියන මේසය බව ලේඛකයා වටහාගත්තේය.ඔහු පලවෙනි ලාච්චුව විවෘත කළේය.එහි පිළිවෙලකට ගොඩගැසූ කොළ වගයක් විය.ඔහු එහි උඩින්ම තිබූ කොලය ගෙන කියවුයේය.


ලේකඛයා සහ දොස්තර....
ලේඛකයා ඒ දිනවල ජිවත් වූයේ නගරාසන්න,සත් මහල් තට්ටු නිවාස සංකීර්ණයක තෙවන තට්ටුවේය. ඔහු අතින් අවුරුදු දෙකකින් 'කිසිවක්' නොලිවී තිබිණි.ඔහු අවසාන වරට වැඩ කරමින් සිටි...............
මතක ඇති කාලයක ලේඛකයා මේ වගේ පුදුමයට පත්වෙලා තිබ්බේ නැහැ.සයිම ලියල තිබ්බ කොටස් හතරකින් යුතු කතාව ඉවරවුනේ // ඔහු එහි උඩින්ම තිබූ කොලය ගෙන කියවුයේය.// කියන පේලියෙන්.ඕනෙම දේයක් පැහැදිලි කරන්න හරි විශ්ලේෂණය කරන්න හරි පුළුවන්කම තිබ්බ ලේඛකයා ජිවිතයේ පලවෙනි වතාවට කිසිම අදහසක් නැතුව අන්ත අසරණයෙක් බවට පත්වෙලා හිටියේ.සයිම කතාව එතනින් නවත්තලා තිබ්බට ඊට පහලින් මෙහෙම සටහනක් ලියල තිබ්බ.


දයාබර ලේඛකයාණෙනි,


ප්‍රථමයෙන්ම මේ දයාබර ලේඛකයාණෙනි යන ආමන්ත්‍රණයේ යම් අමුත්තක් දැනුනානම් සමාව ඉල්ලමි.සිදුවී ඇත්තේ කුමක්දැයි කියා ඔබට හාන්කවිසියකවත් වටහාගැනීමක් නැති බව දනිමි.ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා නොසිටින්නේ මම ඔබේ සමාවට සුදුසු නැති බව හොඳින්ම දන්නා බැවිනි.

මතක ඇති කාලයක සිට මා හොඳ ලේඛකයකු වන්නට උත්සාහ කලෙමි.නමුත් එය එතරම් සාර්ථක වූයේ නැත.එතැන් සිට මම හොඳ ලේඛකයෙක් වූවානම් කෙසේ විය යුතුදැයි සිතන්නට ගත්තෙමි.ඔබේ ආරම්භය සිදුවන්නේ එතැනින්ය.

ඔබව මම මටම ආදේශ කරගනිමින් මා ඉමහත් චිත්ත ප්‍රිතියකට පත්වෙන්නෙමි.ඔබ මෙතෙක් කල් අනුන් වෙනුවෙන් කතා ලියා,උපක්‍රම භාවිතයෙන් ජනප්‍රිය වුවද අවසාන කතාව වන බැරෝඩාවේ මහාරාජා පිලිබඳ කතාව ලියන්නේ හුදෙක්ම ඔබ වෙනුවෙන්මය.අඩුම වශයෙන් ඔබට එය මුද්‍රණය කරන්නටවත් අදහසක් නැත.ඔබ විසින් දරන මහන්සිය තවකෙක් විසින් ආශ්වාදය කිරීම ඔබට තවදුරටත් වැදගත් වන්නේ නැත.ජිවිතයේ සිල්ලර සියලු දෙයින් ඔබ මිදී ඇත.



කෙසේ වුවද ඔබගේ පැවැත්ම සම්බන්ධව අවසාන තීරණය කිරීම මම ඔබට පවරමි.ඔබ මේ සතියම ගතකලේ ඔබේ යහළු දොස්තරගෙන් ඉතා සරල කාරනාවක් දැනගැනීමටයි.මෙය වෙන මාර්ගයක් හරහා ඉතා පහසුවෙන් කරගැනීමට ප්‍රමාණවත් තාර්කික බුද්ධියක් ඔබ සතු වූවත්,ඔබේ ස්වභාවය එය නොවන බැවින් දොස්තරගෙන්ම එම තොරතුර සොරාගැනීම මේ සතියේ ඔබේ ජිවිතයේ අරමුණ වී තිබුණි.කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් මිට වඩා ඔබට වද වීමට ඉඩ නොදෙන්නෙමි.


මෙම මේසයේ පහලම ලාච්චුවේ ඔබට කුඩා කුප්පියක් සහ සිරින්ජරයක් හමුවනු ඇත.මෙයින් මිලි ග්‍රෑම් 5ක් රුධිරයට එන්නත් කරගැනීමෙන් ඔබට අපේක්ෂිත ප්‍රථිපල කිසිම වේදනාවකින් හෝ පසුතැවිමකින් තොරවම ළඟාකරගත වනු ඇත.කරුණාකර මේ එන්නත ඔබ වාසය කරන තට්ටු නිවාසයට රැගෙන යාමට තරම් කාරුණික වන්න.


එසේනම් සියලු දේටම ඔබට මාගේ ස්තුතිය පිරිනමමි.ඔබත් මා මෙන්ම ආගමිකයෙක් වූවානම් 'අප නැවත මුණගැසෙනු නියතය' කියා කියන්නට තිබුණි.නමුත් ඔබ මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන බැවින් 'ප්‍රීතිමත් මරණයක්' කියා පතමින් නවතිමි.


-මීට හිතවත් සයිමා-


ලේඛකයා තමන්ට සිදුවුණු එතරම් ගැලපීමක් නැති සිදුවීම්,හමුවනු චරිතවල තිබ්බ ප්‍රතිවිරෝධීතාවලට,විශ්වාසය බිඳෙන සුළු අඩු ලුහුඬුකම් වලට හේතුව ඔහුට වැටහුණා.මොකද ලේඛකයාගේ කතාව ලියන සයිමා නියම ලේඛකයෙක් නෙවේ.


ලේඛකයාගේ තත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.සැකය,විශ්මය,ක්‍රෝධය වගේ හැඟීම් ඔක්කොම පලාගෙන ඉහලට මතුවුනේ ලොකුම ලැජ්ජාවක්..


ඒකට හේතුව වෙන මොනවත් නෙවේ,තමන් තවකෙනේක්ගේ කල්පිතයක් විතරයි කියන අදහස නිසා.ඊටත් වඩා ආධුනික ලියන්නේක්ගේ කල්පිතයක්.ඒ ආධුනිකයා ඔහු ගැන ලියල තිබ්බ කතාවේ තිබ්බ අඩුපාඩු දැක්කම ඔහුට සෑහෙන්නම ආත්මානුකම්පාවක් ඇතිවුනා.එදා ලේඛකයා කියල දෙනකල්ම සයිම දැනන් හිටියේ නැහැ ඔහුම ලියපු මනමේ කතාවෙන් අදහස් කරපු දේවත්.අන්න ඒ වගේ මෝඩයෙකුගේ කල්පිතයක්.එහෙම හිතද්දී ආපු ක්‍රෝධය නිසා ඔහු දත්මිටි කන්න පටන් අරන් අපැහැදිලි විදිහට මෙහෙම කිව්වා.... ''පාහරයා.....'' ඊට පස්සේ පහලම ලාච්චුව ඇරලා එකේ තිබ්බ පොඩි බෙහෙත් කුප්පියේ අඩංගු දියරය සිරින්ජරේට පුරවාගෙන වට පිට බැලුව.


මේසය උඩ විදුරු වතුර බෝතලයකුයි කඩපු කැන්ඩෙලා සිගරට් පැකට් එකකුයි තිබ්බ.සමහරවිට සයිම පිළිකාකාරක කියල ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්න බය ඇති.ඉතින් ලේඛකයා කරපු වැඩේ මේ බෝතලේ මුඩිය ඇරලා සිරින්ජරේ තිබ්බ දියරය ඔක්කොම ඒ වතුරට කලවම් කරලා රවුමට හෙල්ලුව එක.ඒ දියරය වතුරේ පැහැය පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැතුව දියවෙලා ගියා.සිරින්ජරයේ කට්ට ජනේලය ඇරලා එලියට විසි කරල,හිස් සිරින්ජරෙයි කුප්පියයි සාක්කුවට දාගත්ත ඔහු නිවසින් පිටවෙලා යතුර පාපිස්ස යටින් තිබ්බ විදිහට තියල පාරට බැස්ස.


-නිමි-