Tuesday, September 27, 2016

කවියෝ!

ගහකොළට සතා
සීපාවන්ට ආදරේ
සී සෑ පොළව දෙස
සොම්නසින් බලන
කවියන් සිටී
අකුරු නූගත්


දළ රළ මත නඟින
නිල් කතරක සිරව
හිරු නඟින ආකාරය
සම්පූර්ණ දේදුණු
වශීකෘතව බලන
කවියන් සිටී
කිසිවක් නොලියූ

මිනිසුන් ගැන කලකිරී
නැතිනන් හොඳින් වටහාගෙන
ගල් ගුහාවල
අඳුරු වන පෙත්වල
තනිවූ
විශාදයෙන් හෝ
යථාවබෝධයෙන් පෙළෙන
කවියන් සිටී
ලියන්නට උවමනා නැතී!

Saturday, September 24, 2016

ස්කොට්ලන්තයේ ජාතික සත්වයා

මමයි අන්තිමේට ඉතුරු වුණේ.අනික් ඔක්කොම මැරුණා..එක එක කාලවල..ඒත් මගේ වර්ගයා මැස්සො වගේ මැරිලා යන්න පටන් ගත්තේ අඳුරු යුගයේදී මායාකාරියන් අතින්.අපේ අං වල තිබ්බ මායා බලයට ආසාවෙන්...අහු වුණු අයව.... මරල දැම්ම.මායාකාරියෝ...කඟවේන අං අඳුරු මායාවලට යොදාගත්තා.

මම මේ ලොකෙට ආවේ කොහොමද කියන එක මට දැන් අමතකයි.ඒක එච්චර ලොකු කාලයක්.ඒත් දන්න කියන දවසක ඉඳන්මම මම තනියම හිටියේ.මිනිස්සු කවුරුවත් නැති සත්තු විතරක් හිටපු විල්,කඳු ගංගා පිරුණු නිල් මිටියාවතක.එක ගිම්හානයක තමයි මට මගේ වෙනස තේරුණේ.ඉර එළිය මගේ අඟේ වැඩිලා දේදුන්නක් විදිහට පරාවර්තන වෙද්දි...මම හුලඟ උඩට නැංගා.ඉර එළිය තියන ඕනේ වෙලාවක මට ඒ සැහැල්ලුවත් එක්කම අහසට නගින්න පුළුවන් වුණා එදායින් පස්සේ...

තරුණ කාලෙදි තමා මට මුලින්මම පියාසැරියකදි මගේ වර්ගයේ තව කෙනෙක්ව හම්බුණේ.එතකොට තමා මම දැනගත්තේ මම විශේෂිත කෙනෙක් නෙවේ අතරමං වුණු තවත් එක පරාණයක් විතරයි කියලා. පළවෙනි වතාවට මගේ අදහස් තව කෙනෙක් එක්ක චිත්ත සංවාදයක් විදිහට බෙදාගන්න ඉගෙන ගත්තේ එදා...ඒ වගේම මට මගේ වර්ගයා ගැන තිබ්බ ප්‍රශ්න ගොඩක් එදා නිරාකරණය වුණා.මායාකාරියෝ බලවත් වුණු අඳුරු යුගය ඊට පස්සෙ පටන්ගත්තා...ඊට පස්සෙ උගුල් අටවලා,පළිඟු බෝල වලින් අන්ජනම් බලලා අපේ වර්ගයා හොයන්න පටන් ගත්තා.හොඳ වෙලාවට මායාකාරියන් විනාශ කරන්න නයිට්වරුන්ට රජුගේ අණ ලැබුණු නිසා අතලොස්සක් බේරුණා.ඒත් ඒ අයත් මැරිල ගියා වයස්ගතබව නිසාම පස්සෙ කාලෙක.

ස්වාභාවික මරණයට අභියෝග කරන්න පුළුවන් විශේෂ කඟවේනෙක්ට විතරයි.මොකද ඒක ඉතාම දුශ්කර ක්‍රියාවක් නිසා.වයස්ගත වෙලා මැරෙන්න යනව කියල තේරෙද්දි ගල්පර්වතයකට ගිහින් මායා අඟ සම්පූර්ණෙන් ගෙවිල යනකල් ගලේ අතුල්ලන්න ඕනේ.එතකොට මායා බලය නැතිවෙලා යනවා.හෙල්ලෙන්නවත් ශක්තියක් එන්නේ නෑ.සති ගාණක් වැතිරිලා ඉන්න ඕනේ.මැරුණනම් හොඳයි කියල හිතෙන තරම් දුකක් ඒක.ඒත් 21 වෙනි දවසේ දැනෙනවා ආයෙත් මායා බලය වැඩෙන්න අරන් අඟ හෙමීට හෙමීට දික්වෙන්න පටන් ගන්න එක.

ඉතින් දැන් මගෙ වයස්ගත වීම නිසා මම මේ ප්‍රතිකර්මය ආයිත් කරගන්න යන්නේ.අවුරුදු 300කින් පස්සේ.මගේ වර්ගයාගෙන් ඉතුරු වුණේ මම විතරක්ම වුණාට මම එහෙම ලේසියෙන් ජීවිතේ අතාරින්නේ නෑ...ඔවු එහෙනන් මම දැන්මම වැඩේ පටන් ගන්නවා.



*****



දොස්තරවරයා කැමරා මොනිටරය මඟින් රෝගියාගේ කාමරය නිරීක්ෂණය කළේය.ඉන් පසු පටිගතකිරීමක් ඇරඹීය.

"දිනය 24-12-2014 වේලාව 1615,මම දොස්තර ග්‍රැහැම් එරික්සන්, ඩාට්මුවර් රෝහල ස්කොට්ලන්තය,පරීක්ෂණ අංක 66,රොජර් වොලස් රෝගියා.. මම අපේක්ෂාකළ පරිදිම ඔහු කලින් වතාවන්වල මාසිකව කරපු දෙයම ඒ වේලාවටම අද දිනයේත් කරමින් සිටිනවා .ඔහු තම හිස බිත්තියේ අතුල්ලනවා... සෙමෙන් රිද්මයානුකූලව...තව විනාඩි කිහිපයක් යනතුරු නිරීක්ෂණය කර සාත්තු සේවකයින් කැඳවීමට අපේක්ෂා කරනවා.දැනට එපමණයි"

'ටුක්' යන හඬින් පටිගත කිරීම නැවතුණි..


Friday, September 23, 2016

(සමාන්තර විශ්වයකින් ලැබුනු ලේඛණයක් ඇසුරින්)

පාරුවේ එගොඩ යමින් සිටි කච්ඡපුට හට සේරිවාණිජ හොඳින් දර්ශනය විය.ඔහු මෙසේ සිතන්නට විය. 

"මොහුගේ වත වස්තු ලෝභයෙන් විරූපී ගොසිනි.කලින් නියම කරගත් ආකාරයට නොව වෙලඳාමක් නොවූ නිසා මොහුගිය ප්‍රදේශයට මා විසින් යාම නිසා මේ අකරතැබ්බය මොහුට විය.නමුත් මේසා වන්චාවක් කිරීම ගැන සමාවක් නොදිය යුතුය.මේ ආකාරයෙන් සිටියහොත් රන්තළිය පිලිබඳ ලෝභයෙන් මොහු ළය පැලී මිය යනු නිසැකය."

 ඉක්බිතිව ඔහු පාරුව නැවත්ත් මෙගොඩ පදින ලෙස තොටියාට නියම කලේය....සේරිවාණිජ ඔරුව ගන් තෙරට ලඟාවනතුරු සිටියේ නොඉවසිල්ලෙනි.හෙතෙම කච්ඡපුට හට නොසරුප් වදන් කියා කඩාපැනීමට සූදානම් විය.නමුත් කච්ඡපුට ඔහු වලකා මෙසේ කීවේය. 

"සබඳ, දුක්පතුන් වූ සිටු පවුලට තොප කල ක්‍රියාව අධමය.මාහට මේ තළිය රැගෙන යාමට අපමණ අවකාශ තිබුනත් තොපගේ ජීවිතය සලකා එසේ නොකලෙමි.නමුත් මෙය තොප හට දීමද කල නොහැක මාගේ සියලුම මුදල්ද කදා වළලුද ඔවුනට දුනිමි.අප නගරයට ගිය වහාම මෙය විකුණමු.මිලෙන් අඩක් මාගේය ඉතිරිය තොපගේය.නමුත් මින් ඉදිරියට මෙවැනි දීන ක්‍රියා නොලක යුතුය." 

ලැජ්ජාවෙන් හිස බිමට හැරවූ සේරිවාණිජ එකඟත්වය පල කලේය.ඔවුන් දෙදෙනාම පාරුවට නංවාගත් තොටියා එගොඩට යාම ආරම්භ කලේය.

Tuesday, September 20, 2016

මනමේ අතුරු කතාවක්...

ද්වන්දව යුද්ධය ආරම්භ කිරීමට පෙර මනමේ කුමරු තම කුමාරිකාවට අවසාන වතාවට කතාකිරීමට වැදී රජුගෙන් අවසර ගත්තේය.මනමේ කුමරිය සිටියේ සා දෙනක් මෙන් බියෙන් තැති ගනිමිනි.වැදී රජුට නොඇසෙන මානයකට පැමිණි මනමේ කුමරු මෙසේ කුමරිය ඇමතීය.

'සොඳුර බිය නොවනු.ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ මමය.මම මෙහි වගකීම හා දඬුවම සම්පුර්ණයෙන්ම භාර ගනිමි.

ඇත්ත වශයෙන්ම මාහට නුඹ හා ප්‍රේමයෙන් බැඳී අවුරුදු ගණනක් හිඳ නුඹත් සමඟ වියපත් වීමට මට ආශාවක් තිබුණි.නමුත් නිසි මඟ යාම වෙනුවට අන්තරායක් දැන දැනම නුඹව මේ වනය හරහා රැගෙන ඒමට තරම් මම මුග්ධ වූයෙමි.


රාජාදී රාජගුරුන්ගේ ගුරුවරයා වූ දිසාපාමොක් ඇදුරු තුම ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගෙන කෙල පැමිණි මාහට මූව එක් අතක් පමණක් වුව භාවිතයෙන් මෙල්ල කල හැක.නමුත් කාරණය එය නොවෙයි...

මූ මරා දැමුවහොත් බොහෝ දුරක් විදිහෙන මේ කැලයේ පිරි ඉන්නා මූගේ ගෝත්‍රික සේනාව අප අල්ලා ගන්නවා නිසැකය.මට වධ දී අත්,පා වෙන්කර අවසානයේ සිව් කඩකට පලා මාව මේ වනයේ මායිම් සතරේ එල්වනු ඇත.

නුඹව මුන් එකිනෙකා විසින් දුෂණය කර මාස ගණනක් තිස්සේ සිර කුඩුවකට දමා මනදොල සපිරිමටම පමණක් වහලියක් මෙන් භාවිතා කරනු ඇත.නුඹ අනන්ත පිඩා ඉවසාගත නොහැකිව වැහැරී ගිය විට මුන් නුඹව පණපිටින්ම මාංශ භක්ෂක සත්වයින්ට ආහාරය පිණිස දමා අත් හැර දමා යනු ඇත.

දැන් හොඳින් මෙය අසාගන්න...මම මූ මල්ලව පොරයෙන් පරදවමි.
ඉන්පසු මාගේ අසිපත ඉල්ලා සිටිමි.නුඹ එය මට නොදිය යුතුය.
නැතිනම් මා වෙනුවට අසිපත වැදී රජුට පෑ යුතුය.ඒ ආකාරයෙන් නුඹට නුඹේ දුක්ඛදායක ඉරණමින් මඳ වෙලාවකට හෝ අත්මිදිය හැක.නුඹට වැදී රජු විසින් අභය දානය දී නිසි සත්කාර දක්වනු ඇත.ලැබෙන අවස්ථාව ගෙන පලායාමට උත්සාහ දරන්න.


නැතිනම් මාගේ මරණය පිලිබඳ පුවත දැනගත් වහාම පියරජු විසින් මේ වැද්දන් එකා බැගින් ගෙන උන්ගේ හිස් ගසා දමා ඒ හිස් වලින් පවුරු ප්‍රාකාරයේ ඇති උල් වැට සරසනු ඇත.එතෙක් ඉවසන්න.
දැන් මඳක් සමීපයට එන්න.නුඹට දිය යුතු අවසාන චුම්භනය මම නුඹේ කැළැල් නැති අඩ සඳක් මෙන් වූ නළල් තලය මත තබමි...''



Monday, September 19, 2016

...

එවකට මම
කුරුලෑවක් ගැනත්
දින ගණන් ලතවුණෙමි
කාලය ගෙවී ගියේය

සෘතු වෙනස් විය
වසන්තයන් පැමිණ යන්නට විය


නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය


නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි


පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.

Saturday, September 17, 2016

.......

විරහව දරාගන්නට
බැරි ඉඳහිටක
සයුර පැමිණෙයි
ගොඩබිමට

Thursday, September 15, 2016

ඒකාත්මික

දැනෙනවද නුඹ හට
ඇවිද ගිය බව අප එකට
කල්ප ගණනකට පෙර
මේ ලොව උපන් දා සිටම


හමන මේ මඳ සුළඟ
මත අපේ සුසුමන් නැතිද


සිටින මේ පස මතට
අප පස් වී ගොස් නැතිද

ගලන මේ දිය මතින්
අප ලෙය ගලාගොස් නැතිද


ආදරය කරමි
මේ මහා ලෝකයට
නුඹ සහ මම
ඉන්නා බැවින්
හැමතැනම....




Friday, September 9, 2016

කතා දෙකක්...

පළමු කතාව-

                              කුඩයක්

(කළු පාට කුඩලවට
විතරක් කැමති මම
මල් මල් කුඩයකට
නතු වුනු අපූරුව)


දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..

"ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"


ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...
 
"Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa. :( ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."

ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.

"dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana! ;) . "

හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..

"ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"


මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!

මගේ කුඩ රාජයා...


මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...

"Mama kudayak newe... MANUSSAYEK!!"

+++++++++++++++++++++++++++++++++++



දෙවෙනි කතාව

පරඬැල්
මම එච්චරම tough කෙල්ලෙක් නෙවේ ඒ දවස්වල.

මගේ පලවෙනි affair එක break up වුනේ දැන් මාස දෙක තුනකට කලින්.හරියටම කියනවනම් මාස 2යි දවස් 18ක්.ඇත්තටම මට ඒ shock එක දරාගන්න අමාරු වුණා.කොච්චරම දරාගන්න අමාරුවුනාද කියනවනම් මම train එකෙන් වැඩට එන එක පවා අත් හැරියා.මොකද මට එයා හම්බුනේ දවසක් උදයක train එකේ වැඩට යනකොට.අපි දෙන්නගේ relationship එක පටන් ගත්තට පස්සේ එයා හැමදාම මම එනකල් station එකට වෙලා ඉන්නවා.මම සාමාන්‍යයෙන් ටිකක් late තමා වැඩ කරන්නේ.ඉතින් ගොඩක් දවස්වල බැණුම්.

break up එකෙන් පස්සේ දවසේ මම station එකට ඇවිත් ticket counter එකේ පෝලිමේ ඉන්නකොට මට දරාගන්න අමාරුවෙලා ඇස් වලින් කඳුළු වැක් කෙරෙන්න ගත්ත.මතක සටහන්...ගොඩක්.....මම ටිකක් oversensitive.ටිකක් නෙවේ...සෑහෙන්න.ඉතින් මම පැත්තකට ගිහින් bench එකක වාඩිවෙලා මගේම උකුලේ ඔලුව තියාගෙන,අත් වලින් මූන වහගෙන හොඳටම අඬන්න ගත්තා.මම දන්නේ නෑ මිනිස්සු මම ගැන මොනවා හිතුවද කියල.ඇත්තටම මට ඒක වැඩකට ඇති දේකුත් නෙවේ.ඉතින් මම එදා වැඩට ගියේ නැහැ.
මම ඊට පස්සේ හිතාගත්ත ආයේ කවදාවත් seriously love කරන්නේනම් නැහැ කියල.එයා මාව දාල ගියේ මම ජිවිතේ කොච්චර දුක් වින්දද,මගේ ජිවිතේ කොච්චර ප්‍රශ්න තියනවද කියන එක හොඳටම දැන දැනමයි.අනික් එක එයයි පස්සෙන් ඇවිල්ල මගේ ඇඟේ එල්ලුනේ.කොහොම වුනත් ඌට ආයේ මගෙන්නම් සමාවක් නැහැ.
මම මෙහෙම moody වෙලා ඉන්න කාලේ තමා කවි ලියන්න ගත්තේ.බස් එකේ යන එන වෙලාවල,කරගන්න දෙයක් නැති වෙලාවක මොකක් හරි phone එකෙන් type කරනවා.හෙලකුරු නිසා වැඩේ තව ලේසියි.ඉතින් මම මේ ලියන දේවල් FB එකේ ගෘප් එකක පෝස්ට් කරන්න පටන් ගත්ත.දවසක් මට inbox එකට message එකක් ඇවිල්ල තිබ්බ.ඒක පටන් අරන් තිබ්බේ මම ලිව්ව කවියකින්මයි.

තවත් නැහැ
වසන්තය කොලපාට
මෙතැන් සිට
ග්‍රීෂ්මය
කොළ හැලෙන
කහ පාට
wow nangi.meka oyama liwwa ekakda?


මට ඉතින් ටිකක් තද වුණා.සාමාන්‍යයෙන් reply කරන්නේ නැහැ මම නොදන්න කට්ටිය message කරපුවාම.ඒත් මට ආව තරහටම මම reply කළා.

No. It was written by my granny.. Got a prob??

ටික වෙලාවකට රිප්ලයි නැහැ.මම ඊට පස්සේ message කරපු එකාගේ profile එකට ගියා.එතකොට දැක්කේ.එයා ටිකක් ප්‍රසිද්ධ,නම මතක හිටින,හොඳ කවි ලියන එක්කෙනෙක්.අයියෝ.. අපරාදේ...දැන් ඉතින් මොනවා කරන්නද.එතකොටම reply එකක් ආව..

Ane sorry nangi.mage waradda.anyway mama mara kamathiy oya awankawama raw emotions liyana eka.mokada ohoma liyana kello aduyi.so keep it up.. Bye..TC.

මට තේරෙනව මෙයාට ඕනෙනම් මාත් එක්ක කඩ්ඩෙන්ම කතාකරන්න තිබ්බ.ඒත් එයාට මාව එහෙම impress කරන්න උවමනාවක් නැහැ වගේ.මම කරපු වැඩේ දෙපාරක් හිතන්නේ නැතුව request එකක් යැව්ව එක.ඔන්න ඔහොමයි මට ඒ 'අයියව' හම්බවුණේ.හැබැයි එයා මගේ request එක accept කරන්න දවස් 3ක් ගත්ත.මට එයාගේ photos බලාගන්න පුළුවන් වුනේ ඊට පස්සේ. shape කොල්ලෙක් කියල හිතුනේ දැක්ක ගමන්ම.එයා මට පස්සේ කාලෙක කිව්වා දවස් 3ක් ගත්තේ මම ක්ෂණික තීරණයක් ගත්ත නිසා මට ඒක වෙනස් කරගන්න වුනොත් ඒකට අවස්තාව දෙන්න කියල..පවු අප්පා...හිනත් යනවා වෙලාවකට එයා කියන දේවල් වලට.කතාකරන්නේ නියම සිංහලෙන් සමහරවෙලාවට.උදේ මම GM ayye කියල දැම්මොත් reply එවන්නේ subha udasanak nagaa කියල.මට ඉතින් ඇදේම ඉඳගෙන හිනා යනවා.

පුදුම කොල්ලෙක්.අපි ඉතින් වරු ගණන් over the phone කතාකරන්න ගත්ත පස්සේ.එයා ගොඩක් වෙලාවට කරන්නේ අහගෙන ඉන්න එක විතරයි.මම තමා කතාව ඉතින්.


එයා training accountant කෙනෙක්.හැබැයි මාර දැනුමක් තිබ්බ language එක සහ creative writing ගැන.ඉතින් මමත් වැඩ කරන්නේ පත්තරේක නිසා මම එයාට එක එක දේවල් යවනවා 'ane ayye meka poddak balanna' කියලා.එයා ඉතින් වෙලාව කොහොමහරි adjust කරගෙන පුළුවන් ඉක්මනට එයාගේ suggestion එක මට දෙනවා.

එදා කාලෙකට පස්සේ උදේ ඉඳලම වහින්න ගත්ත.සැරට.මම ගෙදරින් එලියට බැස්සේ ටිකක් වෙලා ගිහින්.ගිය ගමන්ම features editor ගෙන් බැණුම්.එයා මගෙන් බලාපොරොත්තු වුනාලු ලංකාවේ E writing ගැන article එක එදා උදේ මම ඉවරකරලා ඇති කියල.හැබැයි එයා එහෙම deadline එකක් මට දීල තිබ්බේ නැහැ.මම ඉතින් කොහොමද හිතේ තියන දේ දන්නේ.හෙට උදේ දෙන්නම් කියල මම වැඩ කරන්න ගත්ත.උදෙන්ම මෙහෙම වුනාම සසර කලකිරෙනවා අප්පා.වැඩ ඉවරවෙලා මම ගෙදර ආව.අම්මගේ කිසිම සතුටක් තිබ්බේ නැහැ මම පත්තරේක වැඩ කරන එක ගැන.තාත්තටනම් මම night club එකක වැඩකලත් ඒක ප්‍රශ්නයක් වුනු මනුස්සයෙක් නෙවේ.මොකද එයාට ඉන්නවනේ පොඩි පුතාල දෙන්නෙක්.ඉතින් බස් එකේ තැලිලා පොඩිවෙලා ගෙදර ආවම අම්මා ආව මංගල යෝජනාවක් අරගෙන.ලෝයර් කෙනෙක්ලු.මට වඩා අවුරුදු 6ක් විතර වැඩිමල්ලු.හපෝ..මට පෙන්න බැරි රස්සාවක්...මට ෆොටෝ එකක් පෙන්නුවා.ලාවට තට්ටේ තියන,මුහුණේ කිසි හැඟීමක් නැති,අහංකාර උද්දච්ච මනුස්සයෙක්.බැන්දට පස්සේ මම රස්සාවට යන එක නවත්තන්න ඕනෙලු.

'බැන්දට පස්සේ???' මගේ හිතට සෑහෙන ලොකු ආවේගයක් ආව.දැන් කවුද මෙතන බඳින කතාවක් කිව්වේ..මගේ කැමැත්ත පොඩ්ඩක් හරි ඇහුවද? හොඳයි බලාගමුකෝ මම නියම කසාදයක් කරගන්නම්.ඒත් දැනට මෙතන ප්‍රධානම දේ අම්මව යවාගන්න එක මට මගේ වැඩේ සැනසිල්ලේ කරගන්න.ඉතින් මම ලොකු විරුද්ධත්වයක් හරි අනුබලයක් හරි පෙන්නන්නේ නැතුව අම්මට බලාපොරොත්තු දෙන විදිහේ කතාවක් කියල අම්මව යවල අයියට කෝල් එකක් ගත්ත.අර article එක ගැන අහන්න.

ඇත්තටම එයා මුල සිට අගටම මට අවශ්‍ය දේවල් කිව්වා.හැබැයි එයත් මට සද්දෙකින් කතාකලේ.මම බලාපොරොත්තු වුණේ අඩුම ගානේ එයාගෙන් වත් සැනසිලිදායක දෙයක් අහන්න.කතාකරන්න.ඒත් එයා කවදාවත් අහන්නේ නැහැ.'නංගි..ඔයාට කොහොමද?,රෑට කෑවද?,අවුලක් නෑනේද?' ඒ වගේ දේවල් අහන එක එයා මදිකමක් විදිහට හිතාගෙන ඉන්න ඇත්තේ.අනේ මන්ද...එයාටවත් මාව තේරෙන්නේ නැති හැටියක්.article එක යකාට ගිය දෙන්.මම එයාට කෙලින්ම එයාගේ voice color එක ගැන මට දැනුන අවුල ගැන කියල කෙලින්ම phone එක cut කළා.ආයේ ලියන්න බැහැ..job එකටත් හෙණ ගහපුවාවේ,editorටත් හෙන ගහපුවාවේ.මට ඒ වෙලාවේ ඒ හිතපු දේ ගැන regret කලේ එතකොටත් හෝ ගාල අකුණු ගගහ වැස්ස වැටුණු නිසා.

මම phone එක off කරලා ඇඳේ හාන්සි වුනා.මීටත් වඩා හොඳ වෙලාවක් තියනවද නිදාගන්න....

ටිකක් relax වීගෙන යද්දී මට අයිය ගැන දුක හිතුන.මම ගැනත් දුක හිතුන.
කාලෙකට පස්සේ වැස්ස අස්සෙම මගේ ඇස් දෙකට කඳුළු ඇවිල්ල කන් දෙපැත්තෙන් රූටගෙන ගිහින් කොට්ටේ තෙත් කරන්න ගත්තා....


අයියේ..සමාවෙන්න මට.මගේ හිතේ තෙතමනේ ඇත්තටම නැති වෙලා..මගේ හිත දැන් වේලිච්චි පරඬැලක් වෙලා ගිහින්.ගහෙන් බිම වැටෙන්න ඔන්න මෙන්න තියන.....

Wednesday, September 7, 2016

සොයා දෙනු මැන

ඇය ආගිය අතක් නැත
දුටුවහොත් දන්වන්න

ඇයගේ විස්තර මෙසේය

අඳින්නේ සාරියකි
දරන්නේ සිතාරයකි
අත් දෙකක


ඉතිරි අත් දෙකින්
එකක මුතුහරකි
අනෙකේ මුදල් නෝට්ටු..


මුදලනම් අවැසි නැත
මුතුහරත් එසේමය
සිතාරය විතරක් එක්ක
ඇය හමුවුනොත් ඇතිය