Wednesday, October 19, 2016

තරඟය

ඉස්සර කාලයක කෝමුර් කියල රාජධානියක කාසීර් කියල රජතුමෙක් හිටියා.මේ රජතුමාගේ මාලිගාව තිබුනේ නගරයෙන් පොඩ්ඩක් ඈතකට වෙන්න ගල් පර්වතයක් පාමුල තිබුණි බලකොටුවක් මැද.ඉතින් මේ රජතුමා දැන් ටිකක් වයසයි.ඔහු දවසක් උදෑසනක මාලිගාවේ 11 වෙනි තට්ටුවේ තිබුණු තමන්ගේ සිරි යහන් ගබඩාවේ ඉඳල ජනේලෙන් ඈත පේන නගරය දිහා බලාගෙන බර කල්පනාවක යෙදිලා හිටියා.


+ + +


එදා උදේ නගරයට පණිවිඩ කාරයෙක් ආව.ඇවිල්ල දිග ලෝගු ඇඳගෙන හිටපු රැස් කකා මිනිස්සු හිටපු මාකට් එකට ඇවිල්ල මෙහෙම කිව්වා.


''කොමුර් වැසියනි.මේ රජතුමාගේ පණිවිඩයට සවන් දෙන්න.
අපේ කාරුණික සහ නුවණැති පාලක කාසීර් රජතුමා ඔබ සියලුදෙනා වෙනුවෙන් තෑග්ගක් දීමට කල්පනා කර ඇත.


හෙට දිනයේදී රාජ භෝජනයක් වන 'කම්ශිර්' නම් මිහිරැති කැවිල්ල නගරයේ සියලුම පුරවැසියන් සඳහා ලබාදීමට එතුමා නියෝග කර ඇත.
හෙට උදෑසන හිරු එලිය වැටෙන මොහොතේ සිට මේ කැවිල්ල සියලු නගරවාසීන් එක අයෙකුට එක බැගින් බෙදාදීම ඇරඹෙනවා ඇත.
මුලින්ම එන අයට ලොකු කැවිලිත් පසුව එන අයට එන්න එන්නම කුඩාවන කැවිලි ලැබෙන බැවින් කරුණාකර උදෑසනම පැමිණ පෝලිමේ හිඳින්න.ස්තුතියි.''



හැමෝම රජතුමාගේ පණිවිඩයක් කිව්ව නිසා සැලකිල්ලෙන් අහන් හිටියා.ඇත්තෙන්ම මේ කම්ශිර් කියන කැවිල්ල හදන්නේ මාලිගාවේ කුස්සියේ විතරමයි.මේක ගොඩක් රසවත් කියල නගර වැසියෝ අහල තිබ්බට මේක රහ බලපු එක්කෙනෙක් නගරයේ හිටියේ නැහැ.ඉතින් දැන් හැමෝටම ගොඩක් සතුටුයි.එදා නගර වැසියෝ ඔක්කොම වගේ කලින් නිදාගන්න ගියේ උදේම නැගිටලා මේ කැවිල්ල ගන්න පෝලිමට එන්න හිතාගෙන.


+ + +


ඉර පායන්නත් කලින්ම එක්කෙනා දෙන්න පෝලිමට ඇවිල්ල රාජ මාලිගාවේ ගේට්ටුව ඉස්සරහ පෝලිමක් හදාගන්න පටන් ගත්තා.ඉර පායන්න කිට්ටු වෙලා අහස රතු පාට වීගෙන එනකොට මේ පෝලිම සෑහෙන්න දික් වෙලා තිබුනා.මේ පෝලිමේ හිටියා බාල,මහලු,තරුණ පිරිමි සහ ගැහැණු සෑහෙන පිරිසක්.නගරයේ ඉන්න අයගෙන් ඇවිදින්න පුළුවන් කමක් තිබ්බ හැමෝම මෙතනට රැස් වෙලා හිටියා.ඉතින් ඉර පායන්න පටන් ගත්තට පස්සේ රාජ මාලිගාවේ ලොකු ගේට්ටුව ඇරිලා මේ කම්ශිර් රස කැවිල්ල පුරවපු කරත්ත එලියට එන්න පටන් ගත්තා.


මුලින්ම මේ රසකැවිල්ල ගන්න පුළුවන් වුණේ නාසීර් කියල අවුරුදු 10ක කොලු ගැටයෙක්ට.ඔහුට හම්බුනේ පිඟානක් තරම් ලොකු රසකැවිල්ලක්.ඉතින් මෙහෙම එක එක්කෙනා තමන්ට හිමි කැවිල්ල අරන් යනකොට දැක්ක දෙයක් තමයි මේ රසකැවිල්ල එන්න එන්නම කුඩා වෙන බව.සමහර විට පෝලිමේ අන්තිම හරියට යනකොට එතන ඉන්න අයට ලැබෙන්නේ පොඩි පිරිසියක් තරම් ලොකු කැවිල්ලක් වෙන්න පුළුවන්.
මෙන්න මේ වැඩේ යනකොට තමා ජානුන් කියන තරුණයා පෝලිමට ආවේ.පෝලිමේ ඉස්සරහම හිටපු කට්ටිය ඔහුට හිනාවෙන්න ගත්ත.මොකද ඔවුන් දන්නවා ජානුන්ට ලැබෙන්න යන්නේ පොඩිම පොඩි රසකැවිල්ලක් කියල.'කම්මැලියෙක්,පල් මෝඩයෙක්' ඔවුන් එකෙනෙකාට කොඳුරාගත්ත.නමුත් මේ කවුරුත් දැනගෙන හිටියේ නැති කාරණාව තමා ජානුන් උදේම නැගිටලා ලිඳෙන් වතුර ඇදල,තමන්ගේ අසනීප වෙලා හිටපු අම්මට ඒ වතුර නාන්න උණු කරලා ලැස්ති කලාට පස්සේ මේ පෝලිමට ආව බව.ඉතින් ජානුන් පෝලිමේ අන්තිමට ගිහින් හිටගත්තා.


ඔහොම ටිකක් වෙලා යද්දී එක දුවිලි වැදුණු දිග ලෝගුවක් ඇඳගත්ත වකුටු වුනු මහල්ලෙක් ඇවිල්ල පෝලිමේ ඉස්සරහ හිටපු කිපදෙනෙක්ගෙන් ඇහුව එයා ගොඩක් වයසක නිසා පෝලිමට එකතු වෙන්න දෙනවද කියල.නමුත් කවුරුත් කැමති වුනේ නැහැ.මෙහෙම තැනක් හොයාගෙන හොයාගෙන ආවට කවුරුවත් ඔහුට අවස්තාවක් දෙන්නේ නැහැ කියල තේරුණු නිසා වකුටු මහල්ලා කොඳුර කොඳුරා ඇවිත් පෝලිමේ ජානුන්ට පිටිපස්සෙන් හිටගත්තා.ඔහුව දැකල ගොඩක් අනුකම්පාවක් හිතුනු ජානුන් ඔහුට තමන් හිටපු තැනට එන්න දීලා වකුටු මහල්ලාට පස්සෙන් හිටගත්තා.


දවල් ඉර මුදුන් වෙන්න කිට්ටු වෙනකොට තමා මහල්ලා සහ ජානුන්ට රසකැවිලි කරත්ත ගාවට යන්න පුළුවන් වුනේ.ඉතින් ඔවුන්ට ලැබුනේ පොඩි පිරිසි බාගයක් තරම් ලොකු රසකැවිලි.ජානුන් තමන්ගේ අම්මටත් එකක් ඉල්ලුවා.ඒත් රාජ පුරුෂයෝ කිව්වේ රසකැවිලි දෙන්නේ පෝලිමේ එන අයට විතරයි කියල.සුසුමක් හෙලපු ජානුන් තමන්ගේ රසකැවිල්ල ඔතල ලෝගුව අස්සෙන් දාගත්ත.ඊට පස්සේ ගෙදර ගියා.

ජානුන්ගේ අම්මට ටිකක් හොද වෙලා තිබ්බ.ඇය ඇදෙන් නැගිටලා දහවලට උයන්න ලැස්ති වෙමින් හිටියේ.ඉතින් ජානුන් තමන් ඉතුරු කරගත්ත කම්ශිර් කෑල්ල අම්මට දුන්න.අම්ම ඇහුවේ මුලින්ම 'එතකොට පුතාට?' කියලයි.


ජානුන් අම්මට බොරුවක් කිව්වා 'මම එතනදීම මගේ කොටස කෑවා අම්මේ... පුදුම රසක් තිබ්බේ.' කියල.

මේ අතර ඔවුන්ගේ දොරෙන් සද්දයක් එන්න ගත්ත.කවුරුහරි කොටුවකින් තට්ටු කරනවා වගේ.
'ටොක්,ටොක්.ටොක්'



ජානුන් දොර ඇරලා බැලුව.තට්ටු කරලා තියෙන්නේ ඔහු විසින් ඉඩ ලබා දුන්නු වකුටු මහල්ලා.ඔහුගේ හැරමිටියෙන්.මහල්ලා ඉතින් මෙහෙම කිව්වා.


'ජානුන්.නුඹ මට ඉඩ දීලා,පැය ගණනක් ඉඳල ගත්ත රස කැවිල්ල ගෙදර ඇවිත් අම්මට දුන්න නේද කිසිම කණගාටුවක් හෝ පසුතැවීමක් නැතුවම?'

මේක අහපු ජානුන්ගේ අම්ම දොස් කිව්වා ජානුන්ට.ඇයට බොරු කිව්වා කියල නැත්තන් ජානුන්ට කොටසක් දෙන්න තිබ්බ නිසා.

ඒත් අර වකුටු මහල්ලා හිනා වෙලා මෙහෙම කිව්වා.හිතාගන්න බැරි තරම් ප්‍රතාපවත් හඬකින්

'ජානුන්..සුභ පැතුම්.නුඹ තරඟය ජයග්‍රහණය කළා.'

ජානුන්ට පුදුමයි.ඉතින් අර මහල්ලා තමාගේ දුවිලි වැකුණු ලෝගුව,බොරු සුදු රැවුල ගලවලා කෙලින් හිටගත්තා.ජානුන් ඔහු කවුද කියල වටහාගත්තේ එතකොට.

'දෙවියනේ...කාසීර් රජතුමා' ජානුන් සහ ඔහුගේ මව එකපාරටම දණින් වැටිලා බිම බලාගත්ත.
කාසීර් රජතුමා ඊට පස්සේ කතාකලා.

'ජානුන් සහ ජානුන්ගේ මව.දෙදෙනාම නැඟී සිටින්න.මෙය ලොකු තරඟයක පළමු අදියර පමණයි.'



-මතු සම්බන්ධයි-

Thursday, October 6, 2016

බෝධි චිත්තය

කාශ්‍යප බුදුන්ගේ පිරිනිවීමෙන් පසුව සහස්‍ර දෙකක් පමණ ගියවිට මුළු ලෝ තළයෙන්ම උන්වහන්සේගේ ධර්මය අතුරුදහන් වී ගියේය.නැවතත් අංග ධර්මය බලවත් විය.මේ කාලයේදී උසස් ගුණදම් හා පාරමිතා පිරූවන් ජන සන්නිපාතයෙන් ඈත්ව හුදෙකලාව තම පුර්ණයන්හි අභිමතාකාරයෙන් යෙදෙමින් සිටියහ.

මේ අතර ගෞතම බුද්ධෝප්පත්තියෙන් එක සියක් හත් බුද්ධාන්තරයකට පසු ලොව්තුරා බුද්ධත්වයට සුමන බුදුන්ගෙන් නියත විවරණ ලැබ ආපසු නොහැරෙන මාර්ගයට පිළිපන් ඝෝසාල නම් බෝධිසත්ත්වවරයෙක් අත්හැර දමා ගිය සොහොනක දස පාරමිතා,උප පාරමිතා හා පරමත්ථ පාරමිතා පූරණය කරමින් සිටියේය.හෙතෙම යැපුණේ වනයෙන් ලැබෙන පල,අල වර්ග යන්තමින් තම්බා ආහාරයට ගැනීමෙනි.දිනක් දඩයමේ ගොස් වල් අලි රෑනක් කඩා වැදීම නිසා සහචරයින් සමඟ පලායාමේදී අසු පිටින් වැටි,පාදයක මඳ තැලුමක් ඇතිකරගත් රජු විසින් වනාන්තරයේ හා ග්‍රාමයේ කෙලවර වූ සොහොන කරා එළඹෙන ලදී.

හෙතෙම සොහොනේ මැද තිබූ බෝධිසත්ත්වවරයා විසූ අතුපැල දෙස බලා සා පිපාසාව බැවින් බිමට පැන් පොදක් සොයා එය කරා ඇදෙන්නට විය.ඔහු ගරාවැටුණු ගේට්ටුව පසුකළා පමණි යමක පා පැටලුනු වගක් දැනුනි.

''ඌහ්''
 ලෙස කෙඳිරියක් බිමින් ඇසෙන්නට විය.ඔහු බිම බැලු විට දිරාගිය කඩමාල්ලක් සහ දිරා යන සිරුරක් සහිත ඝෝසාල බෝධිසත්ත්වවරයා දුටුවේය.ඉන් පසු කට කොනක සිනා සහිතව මෙසේ ඇසිය.

''තාපසය...මේ ජනශුන්‍ය සොහොනේ කුමක් කරයිද? තොප තාපසයෙක් අයුරින් වෙස් ගන්වාගත් මළ සොහොන් යකෙක් විය නොහැකිද?''

තමාව මේ අමතන්නේ රජු බව ආභරණ සහ හැඳුමින් හඳුනාගත් බෝධිසත්ත්වය තෙම ක්ෂණයෙන් මොහොතකට සමාධිගතව අනාගතය දැකිය හැකි චක්ඛුව අවදී කර කාරණය පිලිබඳ අවධානය යොමු කළේය.ඔහුගේ මනස තුල ඒ මොහොතේ පටන් කර්මානුරුපිව හා ධර්මානුරුපිව සිදුවීමට නියමිත සිදුවීම් පෙළ ගැසෙමින් තිබුණි.ඔහු ඒවා දෙස පිටස්තරව තුන්වැන්නෙක් ලෙස බලා සිටියේය.

* * *

රජුගේ ප්‍රකාශයට ඔහු පිළිතුරු දෙන ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


''රජතුමනි, මම තාපසයෙක්මි.නමින් ඝෝසාල වෙමි. මළ සොහොන් යකුන්ට වේදනා දැනෙන්නේ නැත.''

තමාව හඳුනාගත් බැවින් මඳ ශන්කාකුල බවක් ආරූඪ කරගත් රජ තෙම මෙසේ විමසිය.
''හඃ.. තොපට වේදනාව දැනෙනවා එසේනම්.තොප සිටින්නේ මා සමඟ දැඩි කෝපයකින් විය යුතුය.''

තාපස තෙම සයනාසනයෙන් මිදී තණගොල්ල මත පර්යන්කයෙන් හිද ගත්තේය.
ඉන්පසු මෙසේ කිවේය.

''නැත රජතුමනි.මම නුඹට තුති පුදමි.''

විශ්මයට පත් රජු මෙසේ කිය.
''තවුසන් මුසා බස් නොකියති.නමුත් තා මේ රජු සමඟ කෙලිමට යන්නේ ඉතා අන්තරාදායක කෙලියකි.තගේ වචනයක් පාසා සැඟවී ගිය උත්ප්‍රාසය වටහා ගැනීමට මට දිසාපාමොක් වරයාගෙන් උගත් ශාස්ත්‍ර අවශ්‍ය නැත.
නොඑසේනම් මිට කරුණු දක්වනු''


තාපස තෙමේ පිළිවදන් දෙන්නට විය.
''එසේ කිසි යටි අරමුණක් අදහස් නොකලෙමි මහරජතුමනි.මම කර්මය නම් නියාම ධර්මය විශ්වාස කරමි.ඒ අනුව නුඹ වහන්සේ මාව මේ ජනශුන්‍ය සොහොනේ පාගන ලද්දේ අහම්බයකින් නොවේ.මෙය මාගේ පෙර අකුසලයකට දඬුවමකි.මම දැන් දඬුවම ලැබූ බැවින් මෙහි විපාක අවසාන වී ඇත.එබැවින් මම නුඹ වහන්සේට ස්තුති කරමි.''

රජු මෙය අසාසිට මඳක් තුෂ්නිම්භූතව සිටියේය.ඉන්පසු රැවුල අතගාමින් ඒ අතට මේ අතට ඇවිදින්නට විය.ඉන්පසු කුරිරු සිනහවක් නංවමින් මෙසේ කියන්නට විය.

''බොහොම අපූරුයි.තොප දන්නවා ඇති අප කර්මය හෝ කුමනාකාරයකවත් ලෝක පාලන ධර්ම පිලිබඳ විශ්වාස නොකරන වග,අණ,නියම,නීති,පිළිපැදීම යන ස්ථම්භ සතර මුලික කරගත් පදනම මත ශ්‍රේෂ්ට රාජ වංශ ගොඩනැඟී ඇත.
ඉදින් මම නුඹට කලේ සුළු උපකාරයක් පමණි.නුඹේ ස්තුති පුර්වක බව මිට වඩා වැඩි වැඩියෙන් ලබා ගෙන බැලීමට මට ආශාවක් උපන්නේය.
සත්‍ය පවසනු තොපට මා ගැන බිඳක හෝ ක්‍රෝධයක් මතුවුයේ නැද්ද?''


තාපස තෙමේ මෙසේ කියා.
''තවුසන් මුසා නොකියන බව නුඹ වහන්සේම කිවේය.මම තවුසෙකි.''


රජු මෙය අසා තාපස කරා එළඹෙන්නට විය.හෙතෙන එන අතරමඟ තම අසිපත කොපුවෙන් එලියට ගත්තේය.එක්බිතිව තාපසවරයාගේ කන් පෙත්තක් අල්ලමින් මෙසේ කීය.

''එසේනම් තාපසය.නුඹේ අයහපත් කර්ම තව දුරටත් නිෂ්ක්‍රිය කිරීමට මම ඉටා ගතිමි.''

වමතේ මහපට හා දබරැඟිල්ලෙන් තවුසාගේ දකුණු කන්පෙත්ත ඇල්ලු රජු විසින් එක වරම සුරතේ තිබු කඩුව ගෙන 'චිරිස්' ගා පසුපසට ඇද්දේය.කන්පෙත්ත බිම වැටුණි.කනේ නෂ්ටාවශේෂය තිබු තැනින් ලේ දහරා ගොස් බිම තිබූ කන්පෙත්ත මත වැටෙන්නට විය.

ඉන්පසු රජු ගුගුරා තාපසයාගෙන් මෙසේ ඇසිය.

''දැන්...නුඹට අශුමාත්රයක හෝ ක්‍රෝධයක් ඇතිවනවා නොවේද?''


තියුණු වේදනාව මධ්‍යයේ තවුසා මෙසේ කියන්න විය.
''නැත රජතුමනි.වේදනාවක් ඇත.ක්‍රෝධයක් නොමැත.ඔබ වහන්සේට යහපතක්ම වේවා''


මෙය ඇසු රජුගේ ක්‍රෝධය පුපුරා හැලුනි.හෙතෙම ඉන්පසේ වම් කන් පෙත්ත,නාසය ද කපා දමා තවුසාගේ මුහුණින් ලේ විහිදෙන ආකාරය හා වේදනාව යටපත් කිරීමට උත්සාහ කරන ඉරියව් දැක සිනාසෙන්නට විය.ඉන්පසු පෙර පරිදිම ප්‍රශ්නය ඇසුවේය.නමුත් තාපස තෙම නැවතත් රජුට යහපතක්ම ප්‍රාර්ථනා කළේය.
වියරු වැටුණු රජු තෙමේ තාපසයාගේ අත්,පා කපා දැමු පසු තවදුරටත් හිඳගත නොහැකි වූ තවුසා බිම වැටි හොත්තේය.දණහිස් හා උරහිස අසලින් තවුසාගේ අධි පීඩන රුධිර නාල වලින් තද රතු පැහැ දීප්තිමත් ලේ එලියට විදින්නට විය.

ඉන්පසු රජු 

''දැන් වත් නුඹට ක්‍රෝධයක් ඇති වනවා නොවේද?'' කියා ඇසිය.

වේදනාව දරාගත නොහැකිව සිහි විසංඥ වෙමින් සිටි තවුසා හිස දෙපසට වැනිය.ඔහුගේ දකුණු කන තිබු තැන කොළ රොඩු ඇලි තිබුණි.

ඉන්පසුව රජ තෙමේ තවුසා අසලට ගොස් දණ ගසා තම අසිපත් තුඩින් ඇන දෑස් අන්ධ කර දැමිය.තවුසා සිහිසුන් විය.

අහස එක්වරම අඳුරු පැහැ ගන්නට විය.කළු වලාවකින් පිපුරු හෙනයක් රජු අසලම තිබු නුග ගසකට වැදුනි.හෙතෙම බිය පත්ව සුසානයෙන් පිටත් වීමට දුවන්නට විය.රජුගේ බර අඩිය එක් පස් බුරුල් වී ගිය සුසානයක් උඩින් පතිත විය.හෙතෙම සිතීමටත් පෙර ඒ සුසානය ඇතුලට ගිලී යන්නට විය.අවිචියේ දැල් රජු පිළිගැනීමට පොරොත්තුවෙන් ඉන්නා ලදී..

* * *
බෝසත් තවුසා තම අනාගත චක්ඛු දර්ශනය එතකින් අවසන් කළේය.හොරා කිහිපයක් ගිය මේ දර්ශන දැක අවසන් කිරීමට ඔහුට වැයවූයේ තත්පර කිහිපයක් පමණි.හෙතෙම අවිචියේ ඇති අනන්ත දුක් කරදර ගැන හොඳින් වැටහීමක් තිබු බැවින් රජු කරගැනීමට යන මහා පාපකර්මයෙන් නිදහස් කරගැනීමට සිතුවේය.
හෙතෙම රජු පෑගු පසු නොසරුප් වදන් කියමින්,පෑගු පුද්ගලයාට ශාප කරමින් නැඟී සිටයේය.රජුට සිනහ පහල විය.හෙතෙම
 ''විකාර රූපී මහල්ල, මේ වනසිමාවෙන් ඔබ්බේ ළඟම ඇති ගම්මානයට යාමට මා හට මං සලකුණු කියව'' 
කියා බෝසත් තවුසාගෙන් විමසා සිටියේය.

Tuesday, September 27, 2016

කවියෝ!

ගහකොළට සතා
සීපාවන්ට ආදරේ
සී සෑ පොළව දෙස
සොම්නසින් බලන
කවියන් සිටී
අකුරු නූගත්


දළ රළ මත නඟින
නිල් කතරක සිරව
හිරු නඟින ආකාරය
සම්පූර්ණ දේදුණු
වශීකෘතව බලන
කවියන් සිටී
කිසිවක් නොලියූ

මිනිසුන් ගැන කලකිරී
නැතිනන් හොඳින් වටහාගෙන
ගල් ගුහාවල
අඳුරු වන පෙත්වල
තනිවූ
විශාදයෙන් හෝ
යථාවබෝධයෙන් පෙළෙන
කවියන් සිටී
ලියන්නට උවමනා නැතී!

Saturday, September 24, 2016

ස්කොට්ලන්තයේ ජාතික සත්වයා

මමයි අන්තිමේට ඉතුරු වුණේ.අනික් ඔක්කොම මැරුණා..එක එක කාලවල..ඒත් මගේ වර්ගයා මැස්සො වගේ මැරිලා යන්න පටන් ගත්තේ අඳුරු යුගයේදී මායාකාරියන් අතින්.අපේ අං වල තිබ්බ මායා බලයට ආසාවෙන්...අහු වුණු අයව.... මරල දැම්ම.මායාකාරියෝ...කඟවේන අං අඳුරු මායාවලට යොදාගත්තා.

මම මේ ලොකෙට ආවේ කොහොමද කියන එක මට දැන් අමතකයි.ඒක එච්චර ලොකු කාලයක්.ඒත් දන්න කියන දවසක ඉඳන්මම මම තනියම හිටියේ.මිනිස්සු කවුරුවත් නැති සත්තු විතරක් හිටපු විල්,කඳු ගංගා පිරුණු නිල් මිටියාවතක.එක ගිම්හානයක තමයි මට මගේ වෙනස තේරුණේ.ඉර එළිය මගේ අඟේ වැඩිලා දේදුන්නක් විදිහට පරාවර්තන වෙද්දි...මම හුලඟ උඩට නැංගා.ඉර එළිය තියන ඕනේ වෙලාවක මට ඒ සැහැල්ලුවත් එක්කම අහසට නගින්න පුළුවන් වුණා එදායින් පස්සේ...

තරුණ කාලෙදි තමා මට මුලින්මම පියාසැරියකදි මගේ වර්ගයේ තව කෙනෙක්ව හම්බුණේ.එතකොට තමා මම දැනගත්තේ මම විශේෂිත කෙනෙක් නෙවේ අතරමං වුණු තවත් එක පරාණයක් විතරයි කියලා. පළවෙනි වතාවට මගේ අදහස් තව කෙනෙක් එක්ක චිත්ත සංවාදයක් විදිහට බෙදාගන්න ඉගෙන ගත්තේ එදා...ඒ වගේම මට මගේ වර්ගයා ගැන තිබ්බ ප්‍රශ්න ගොඩක් එදා නිරාකරණය වුණා.මායාකාරියෝ බලවත් වුණු අඳුරු යුගය ඊට පස්සෙ පටන්ගත්තා...ඊට පස්සෙ උගුල් අටවලා,පළිඟු බෝල වලින් අන්ජනම් බලලා අපේ වර්ගයා හොයන්න පටන් ගත්තා.හොඳ වෙලාවට මායාකාරියන් විනාශ කරන්න නයිට්වරුන්ට රජුගේ අණ ලැබුණු නිසා අතලොස්සක් බේරුණා.ඒත් ඒ අයත් මැරිල ගියා වයස්ගතබව නිසාම පස්සෙ කාලෙක.

ස්වාභාවික මරණයට අභියෝග කරන්න පුළුවන් විශේෂ කඟවේනෙක්ට විතරයි.මොකද ඒක ඉතාම දුශ්කර ක්‍රියාවක් නිසා.වයස්ගත වෙලා මැරෙන්න යනව කියල තේරෙද්දි ගල්පර්වතයකට ගිහින් මායා අඟ සම්පූර්ණෙන් ගෙවිල යනකල් ගලේ අතුල්ලන්න ඕනේ.එතකොට මායා බලය නැතිවෙලා යනවා.හෙල්ලෙන්නවත් ශක්තියක් එන්නේ නෑ.සති ගාණක් වැතිරිලා ඉන්න ඕනේ.මැරුණනම් හොඳයි කියල හිතෙන තරම් දුකක් ඒක.ඒත් 21 වෙනි දවසේ දැනෙනවා ආයෙත් මායා බලය වැඩෙන්න අරන් අඟ හෙමීට හෙමීට දික්වෙන්න පටන් ගන්න එක.

ඉතින් දැන් මගෙ වයස්ගත වීම නිසා මම මේ ප්‍රතිකර්මය ආයිත් කරගන්න යන්නේ.අවුරුදු 300කින් පස්සේ.මගේ වර්ගයාගෙන් ඉතුරු වුණේ මම විතරක්ම වුණාට මම එහෙම ලේසියෙන් ජීවිතේ අතාරින්නේ නෑ...ඔවු එහෙනන් මම දැන්මම වැඩේ පටන් ගන්නවා.



*****



දොස්තරවරයා කැමරා මොනිටරය මඟින් රෝගියාගේ කාමරය නිරීක්ෂණය කළේය.ඉන් පසු පටිගතකිරීමක් ඇරඹීය.

"දිනය 24-12-2014 වේලාව 1615,මම දොස්තර ග්‍රැහැම් එරික්සන්, ඩාට්මුවර් රෝහල ස්කොට්ලන්තය,පරීක්ෂණ අංක 66,රොජර් වොලස් රෝගියා.. මම අපේක්ෂාකළ පරිදිම ඔහු කලින් වතාවන්වල මාසිකව කරපු දෙයම ඒ වේලාවටම අද දිනයේත් කරමින් සිටිනවා .ඔහු තම හිස බිත්තියේ අතුල්ලනවා... සෙමෙන් රිද්මයානුකූලව...තව විනාඩි කිහිපයක් යනතුරු නිරීක්ෂණය කර සාත්තු සේවකයින් කැඳවීමට අපේක්ෂා කරනවා.දැනට එපමණයි"

'ටුක්' යන හඬින් පටිගත කිරීම නැවතුණි..