Wednesday, April 13, 2016

අලුත් අවුරුද්ද

"කාරුණික භාවයට අධිපති වූ,ධර්මය දේශනා කිරීමට ඕනෑම සිරුරක් මවාගැනීමට හැකි වූ,ලොව සියලු ශබ්ද වලට ඇහුම්කම් දෙන අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ තිබ්බතයේ කුරුල්ලන් වෙනුවෙන් කුරුළු රජ වූ කොහකුගේ වේශයක් ගෙන කුරුල්ලන් හට ධර්මය දේශනා කිරීමට නික්මිය"

(කූඩුවක් නොසාදන,මිහිරි වූ හඬ නිසා,ඇලීම් අඩු නිසා ටිබෙට් වාසීහු කොහා කුරුළු රජු ලෙස හඳුන්වති)

(අවලෝකිතේශ්වර සම්බන්ධ වැඩි විස්තර සඳහා මෙය ක්ලික් කරන්න)


අලුත් අවුරුද්ද...


ගම් පියසක් අසල පිහිටි වන ලැහැබක උරගයින්ද,සිවුපාවුන්ද,කෘමියන් හා කුරුල්ලන්ද වාසය කලා.ගමේ මනුෂ්‍යයින්ගෙන් උන්ගේ ජීවිතයට එච්චර බලපෑමක් ඇති වුනේ නෑ.
බක් මහේ උදාව ඔවුන් මුලින්ම දැනගන්නේ පළතුරු පිරී යන ගස් වැල් වලින්..ඒ වගේම තෙල් බැදෙන සුවඳ,රබන් සද්දේ,සන්වේදී සත්තුන්ගේ කණට අමිහිරි ගමේ සිදුවන වෙනස්කමුත් ඔවුන්ට හුරුයි..ඔවුනුත් පිලිගත්තා අවුරුද්ද ප්‍රීතියෙන්.

කොහොම වුනත් මේ සත්තු අතර අවුරුද්ද මිනිසුන්ට දැනුම් දෙන කොහා හිටියෙ නෑ..මිනිසුන්ට ඒ අඩුව වැටහුණත් සත්තුන්ට නම් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.ඉතින් අවුරුද්ද ආයෙත් ලබන්න ගත්තා..
අවුරුද්දට සතියක් වගේ තියෙද්දි මේ ලැහැබට අමුත්තෙක් ඇතුළු වුනා.ඉතාමත් ගමන් මහන්සියෙන් හිටි ඔහු අත්තක් උඩ නැවතිලා ගිමන් හරින්න පටන් ගත්තා.ආරන්චිය ලැහැබේ පැතිර ගිය නිසා එහි ඉන්න අනික් සත්තුත් ඉක්මණින්ම අමුත්තා කව්ද කියලා බලන්න ආවා.අමුත්තා ගිමන් අරින එකේ නිමක් නෑ ඒත් 'පක්ෂී ආචාර ධර්ම' අනුව යම් ආගන්තුක ස්ථානයකට ඇතුළු වෙන තැනැත්තා සන්වාදය ඇරඹිය යුතු බැවින් කවුරුත් කතා කලේ නෑ.(බොහෝදුරට මෙහි අදහස වන්නේ පක්ෂීන් බොහෝ දුර සිට පැමිණෙන නිසා ඔවුන්ට ප්‍රමාණවත් විවේකයක් ගැනීමට අවස්ථාව දීම විය යුතුය-වාර්තාකරු ) ඒත් කපුටාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා.


''මිත්‍රයා අපි ගොඩ කාලයක් තිස්සෙ බලන් හිටියේ ඔහේ වගේ කෙනෙක් අපිට එකතු වෙන්න එයි කියලා..ඉතින් කොහොම්ද වාසදේස??'' කොහාට (අමුත්තා කොහෙක්..කදිමයි ) හීන් හිනාවක් ආවේ තමන් නිසා වැඩියෙන්ම දරු සෙනෙහස වගේ සන්වේදී ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙන්නෙ කපුටන්ට බව මතක් වුණු නිසා.නමුත් ඒ බව සඟවාගෙන ඔහු මිහිරි හඬින් කතාව ඇරැඹුවා.

'මෙතුවක් වෙලා නිහඬව හිටපු එක වරදවා හිතන්න එපා මිත්‍රවරුණි.ගමන් විඩාවත් මට සිදුවූ දේවලුත් නිසා මම පොඩ්ඩක් හිත නිදහස් කරගන්න හැදුවා විතරයි."

මේක අහපු අනික් කුරුල්ලෝ කොහාට ගිමන් හරින්න දී නිහඬව හිටියත් කටකාර දෙමලිච්චිකුටනම් තමන්ගේ සැකය දුරු කරගන්න තද අවශ්‍යතාවයක් ආව..ඉතින් ඔහු කොහාට කතාකලා. ''ඉතින් මිත්‍රයා තාම කිව්වේ නෑනේ ඇයි කියලා මේ අවුරුද්ද ලන් වෙල මෙහාට්ට ආවේ කියලා.කොයි ඉසව්වෙන්ද පියාසර කරන්නේ''
'අවුරුද්ද' කියන වචනේ ඇහුණු ගමන් කොහා තරමක් තිගැස්සෙන බවක් සන්වේදී කුරුල්ලන් කිහිප දෙනෙක් දැක්කා.ඒත් ඔවුන් ඒක නොදැක්කා වගේ හිටියා. කොහා හඬ අවදි කලා..'මට එහෙනන් වෙච්චි දේවල් කියන්න වෙනවා ..දිග කතාවක් අහන්න කැමතිද??''

සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත කොහා කතාව පටන් ගත්තා.

* * *

(දින දෙකකට පෙර උදෑසන )
ජනාකීර්ණ නගරයේ තට්ටු නිවාසයක් පිටුපස තිබූ බෝ ගසේ කොහා වසා සිටියේ නාදය පතුරවමිනි.ඌ වසා සිටි අත්තට එම තට්ටු නිවාසයේ තුන්වන මහලේ සිටි උදවියගේ කථාබහද කුස්සියේ දොර ඇර තිබූ නිසා වැඩි ආයාසයකින් තොරවම ඇසිය හැකි විය.කොහාට නාද කරමින් සිටි මුත් ගෙතුලින් පැමිණි කතාබහ කෙරෙහි මඳ අවධානයක් යොමු කලේය.''අවුරුද්ද'' යන වචනය දෙතුන්පාරක් ඇසුණු බැවින් මෙය තමා හා සම්බන්ධ දෙයක්දැයි දැනගැනීමට කොහාට අවශ්යට විය.වඩා හොඳින් සවන්දීමට අත්තේ කෙළවරකට ගොස් තම නාදය නැවැත්වූයේය.. ගෙතුලින් ආ දෙබස මෙසේය..


(පිරිමි හඬක්) ''නාලිකා, අපිට තව ටික දවසයි අවුරුද්දට ඒත් වැඩ එහෙම්මයි"

(ගැහැණු හඬක්,බිරිඳ විය යුතුය කියා කොහා සිතීය) "ඒක මම දන්නවා...තව කොච්චර දේවල් කරන්න ඕනේද??බිම පොලිශ් කරන්න ඕනේ,පේන්ට් කරන්න ඕනේ,තිර රෙදි මාරු කරන්න ඕනේ..මට අළුත් ඇඳුම් ගන්න ඕනේ,ලේඩි ග්රේ් එකට අලුත් සාරීස් වගයක් ඇවිත්"

(පිරිමි හඬ උස් වේ ) "මේ ඔහේට මම ගිය මාසෙත් අරන්දුන්නා නේද සාරියක් වෙඩින් එකට යන්න කියලා.අපි පොඩි ළමයිද මේ හැටි ඇඳුම් වලට නාස්ති කරන්න.."

(ගැහැණු හඬ ඊටත් වඩා උස්විය ) "මේ ඔහේ කල්පෙකට සැරයක් ඇඳුමක් අරන් දීලා කියවන්න එපා හරිද??මම හිතන් හිටියෙ මේ අවුරුද්දෙවත් ජුවලරි එකක් ගන්න.මම මෙච්චරකල් ඔහෙත් එක්ක හිටියට මට තාම තියෙන්නේ ගෙදරින් දීපුවා විතරයි.ඉස්සර කිව්වේනම් මෙහෙමද??"

(මෙල්ල වූ පිරිමි හඬ ) "නාලික ඉස්සර වගේද දැන්..අපිට කොච්චර දේවල් තියනවාද හිතන්න??පුතාට අවුරුදු හතරයි ටික කාලෙකින් හොඳ ඉස්කෝලයක් හොයන්නත් ඕනේ.ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තේ මම එයා වෙනුවෙන් මේ දේවල් කරන්නේ."

(පසුතැවිලි වන ගැහැණු හඬ ) " ඇත්ත තමයි.අනේ මන්දන්නේ නෑ ඉස්සරහට මොනව වෙයිද කියලා"

(දිගු සුසුමක් හෙළු පිරිමි හඬ ) "හ්ම්..අපි දැන් කරන්න ඕනේ දේවල් බලමු.යාලුවො වගයකුත් එනව කියල තිබ්බ මම කඩේ ගිහි එකපාරම බඩු ගේන්නම්.කෝ දෙන්නකො ලිස්ට් එක"

(ගැහැණු හඬ ) "මම කියවන්නම්කෝ මුලින්ම..මිස් වුනු මොනවාහරි තියනවාද බලන්න...කෝඩියල්,සීනි,පිටි,පරිප්පු,තේ කොල,මැගී නූඩ්ල්ස්,උඳුවැල් පැකට් 1,මුං කැවුම් 10,කොණ්ඩ කැවුම් 10,කොකිස් පැකට් 2ක් ( 20 ඒවා )...."

(පිරිමි හඬ විමසිලිමත්ව ) "ඔය කැවුම් 10,10 අරගෙන ඇත්ද?? "

(ගැහැණු හඬ )"එහෙම දෙයක් නෙවේ...මේක තියාගත්තේ හදිස්සියකට.අපිට කරන්න තියෙන්නේ අනික් අය ගේන කැවුම් කෙහෙල් එහෙම මාරු කරල යවන එක..අපිම දෙනවා වගේ පේන්න ඕනෙනම් කේක් එකක් හරි මාශ් මෙලෝස් වගේ අරගෙන පොඩ්ඩ පොඩ්ඩ තියලා යවමු.කව්ද අනේ මේ කාලේ කැවුම් කන්නේ,ඒ වගේම...."

කොහා තටු සලා බෝ ගසින් නික්මී ගියේය.


***********************************************************************************

කුරුල්ලෝ කතාව අහගෙන හිටියා..කොහා පොඩි විරාමයක් ගත්තා.දෙමලිච්චා ආයෙත් නොඉවසිලිවන්ත වෙලා මෙහෙම ඇහැව්වා "ඉතින් ඊට පස්සේ??"

කොහා මෙහෙම කිව්වා.."මම රෑවෙලා බෝගහට එද්දි අර එනවැයි කියපු යාලුවෝ ඇවිත්.. කතා කරල එහෙම මදුවිතට එක්වුනා කට්ටියම..මුලින්ම හිතවත් කතා ගියේ.ඒට පස්සෙ මම පොර කතා. ඒට පස්සෙ විවේචන බොසාගෙ ඉඳන් ජනාධිපතිට යනකල්.දේශපාලනේ ගැන කතාකරල තවපොඩ්ඩෙන් ගහගන්නවා"

කුරුල්ලන් විවිධ මත දරන්න පටන් ගත්තා

"විවෘත ආර්ථිකයත් එක්ක යන තරඟකාරී සමාජයකට අවුරුද්ද වගේ උළෙලක තියන නියම අගය දන්නේ නෑ මිනිස්සු..."

කෙටිල්ල පොඩ්ඩක් නවත්තපු කොට්ටෝරුවා සභාව දිහාවට ඔලුව දැම්ම "මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" කියල ආයෙත් කෙටිල්ල පටන් ගත්තා.සන්වාදය දිගටම ඇදිලා ගියා..

"මේ මිනිස්සු නමට විතරයි සමරන්නේ..චාරිත්‍ර වල නියම අගය,හේතුව වත් දන්නේ නෑ.."

"ඇත්තටම කිව්වොත් මේ අවුරුද්දේ පදනමම මොවුන්ගේ බෞද්ධ හර පද්ධතීන් වලට පටහැනියි..."

කෑරලාගේ මේ අදහස නිසා අනික් අය ගැස්සිලා ගියා.ඉතින් ඒකට හේතු පහදන්න කෑරලාටම සිද්ධ වුනා..

"අවුරුද්ද කියලා කියන්නේම සූර්යාගේ සාපේක්ශ චලිතය එක් රාශියකින් තව රාශියකට යන්වා කියලා හදාගත්තු සම්මතයක්...බුදුහාමුදුරුවෝ දේශනා කලා "මහණෙනි ගහ තාරකාවෝ කුමක් කරන්නද කියලා.නියම මන්ගල කරුණු උන්වහන්සේ වෙනමම දක්වලා තියෙනවා..."

කවුරුත් මේ අදහස පිළිගත්තේ නෑ.ප්‍රතික්ෂේප කළෙත් නෑ ,කොහොමටත් කුරුල්ලො අවුරුදු සමරන්නෙ නෑනේ.

"ගමේ අයනම් හරියටම චාරිත්‍ර වල යෙදෙනවා ඇති කියලා" සැළළලිහිණියා කිව්වා..

මේ අතර කොහා කතා කලා."මම ආවෙ ගම්පළාතක ඉඳලා..."

ඔක්කොම නැවතත් කොහාට අවධානය යොමු කළා..
**********************************************
කොහා නගරයකින් පිටවී ආවේ පිටිසර පෙදෙසකටයි..හේන්,ඕවිටි මැදින් ආ කොහා ගමගෙදරක වත්තේ වීසිකර තිබූ පොල්කට්ටක රැඳුනු වතුර වලින් පිපාසය සන්සිඳවා ගත්තේය.මේ අතර වට පිට බැලූ කොහාට අඹ ගසක අත්තක වසා සිටි කොවුල් ධේනුවක් දක්නට ලැබුණි.කොහා වහාම අඹ ගසේ යාබද අත්තක වැසුවේය..ඉන්පසු කටහඬ උපරීම ලෙස සුසර කර කොහෝ නාදයක් නැන්වීය...

මේ අතර ගම ගෙදර ඉන්නා කාන්තාව සිටියේ වලඳක් සෝදමිනි.කොහාගේ හඬ අසා එහි රැඳුනු ජලය වීසිකර ගෙපිලෙහි උන් සිය හිමියා ඇමතීය..

"ඇහුණද අගෝරිස්..කොහා ඇවිත් අවුරුද්දත් අරන්..ඔහේට තාම ඒ ගැන නිච්චියක් වත් නෑනේ.."
අගෝරිස් සිටියේ පිළ උඩ වාඩිවී විටක් සපන ගමන් තුවක්කුව ශුද්ධ කරමිනි..ඔහු කාරිය මඳකට නවතා පිළිතුරු දුන්නේය..

"මොකෝ ජේන් නෝනේ මම නොදන්නේ...පෝයත් කිට්ටු කරපු එකේ ඌරත් මේ දවස් වල සැරිසරනවා..රෑ ජාමේවත් ගියොත් එකෙක්ව එළාගෙන එන්න ඇහැකි වෙයි.හේනෙනුත් හරියකට පළදාව නැති නිසා දවසක් දෙකක් දඩයමේ ගියොත් මට ඌරු මස් වලින් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වෙයි.."

ජේන් නෝනා මෙය අසා හීල්ලුවාය.

"අනේ අම්මපා..අවුරුද්දත් ලන් වෙච්චි පෝයත් ලන් වෙච්චි මේ මිනිහා අපාගත වැඩ කරන එකනම් නවත්තන්නේ නෑ වගේ...දැන් කී දොහක් කිව්වද මම ගොම පොඩ්ඩක් ගේන්නෙයි කියලා බිම ගාන්නයි ලිපේ ගාන්නයි..දරුවන්ට ඇඳුම් ගන්න ඕනේ.නෑයින්ව බලන්න ඕනේ.කඩේ ණයතුරුස් බේරන්න ඕනේ.."

මෙය ඇසූ අගෝරිස්ට කේන්ති ආවේය.. "ඈ බන්,මෙතුවක් කල් උඹලට මම කන්න නොදී හිටියාද??මම මොනවද උඹලට කරපු අඩුපාඩු"

ජේන් නෝනා සාවඥ සිනාවක් පෑවාය..

"අඩුපාඩු කලේ නෑ තමා.මොකටද මයෙ කට..ඇයි ගිය අවුරුද්දෙ මෙතන තිබ්බ ඔක්කොම ඔට්ටුවට තියතිය බූරුවා කෙලියේ.ඒට පස්සේ කටගොන්නක් බීගෙන ඇවිත් පොඩි එකාගේ වාසනාවන්ත මූන බලලා යන්න ඔනේ කියලා උගෙ පංචායුදෙත් අතගාගෙන ගියේ..තමුසෙ මහ පීචං මිනිහෙක් ඕයි."

අගෝරිස් කෝපයෙන් නැඟී සිටියේය.හෙතම පිළෙන් නැඟිට පිටතට යන ගමන් තමාටම "මේ ඉලවු අවුරුද්දක් නිසානේ මේ ඔක්කොම ..මොන මගුලක්ද.ඕක මකබෑවෙලා යන්න ඕනේ" කියා ගත්තේය.

මේ අතර කෝකිල ධේනුව කොහාට පිළිතුරු නාදයක් දීමට තීරණය කළාය.ඇයත් ඉතා මියුරු නාදයක් වාතලයට මුසු කළාය. අගෝරිස් සිටියේ ගසට කිට්ටුවයි.කොහෝ නාදයෙන් ඔහුට මාරයා ආවේශ විය.."තෝ ආයෙත් ආවද හිටපිය" කියා ඉලක්කය නොගෙනම වෙඩි තබා දැම්මේය.

කොණඩය ගැට ගසා ගනිමින් ජේන් නෝනා නිවසින් පිටතට දුව ආවාය.කෝකිල ධේනුවගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඇය දුටුවාය..

කොහා ඒ වනවිට අඹගසේ නොසිටියේය...

* * * * *

කුරුල්ලෝ සියල්ලෝම කොහාගේ යෙහෙළිය වෙනුවෙන් ශෝකී නිහැඬියාවක් පැවැත්තුවා.ලේනෙක්වත් එවෙලේ හඬ තැලුවේ නෑ.ඔක්කොම හිටියේ මේ නිහැඬියාව කොහාම බිඳිනකල්..............

කොහා අන්තිමේදී කථා කලා.. "මම ඊට පස්සේ නොනැවතීම මෙහාට පියෑඹුවා...මට හැමදේම එපා වෙලා තිබ්බේ..අවුරුද්ද ඉවර වෙනකල් මට මෙහෙ ඉන්න අවසර දෙනවාද???"

මේක අහපු කපුටා මෙහෙම කිව්වා..

"අවුරුද්ද ඉවරවෙනකල් නෙවේ..පණ කෙන්ද යනකල් හරි ඔහේ හිටියට කාරියක් නෑ යාළුවා."

2 comments:

  1. අලුත් අවුරුද්ද සමහර මිනිස්සුන්ට විතරක් නෙමේ, කොහාටත් ප්‍රශ්නයක් වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. සමරන එක කරන්න ඕනේ අනිවාර්යෙන්ම වෙන කට්ටියට හෝ තමන්ට හානි/වාත නොවෙන්න.මොකද මේක කිසිම අවුලක් නැතිව කරගන්න පුළුවන් සංස්කෘතික උළෙලක්...

      Delete