Showing posts with label cow සිතුවිලි. Show all posts
Showing posts with label cow සිතුවිලි. Show all posts

Sunday, May 22, 2022

වික්ෂිප්තය

මම ඉතින් මේ

සුනිලවන් විල් තෙරය

ඔබේ ප්‍රතිබිම්බය 

වරින් වර කළඹවන

Monday, September 17, 2018

ඒකාත්මික

නුඹ අමාවක කරුවලකි
සියලු දේ
නුඹගෙන්ම පිරීයති

Saturday, January 13, 2018

....

පිපී හිනැහෙන මල්වලට
සොහොනක්ය පූජාසනය

Friday, October 13, 2017

කාලය..

සැතපුම් දහසක්
ආලෝකයට
තත්පරයක්
මීටර් සීයක්
ඉබ්බෙකුටනම්
කල්පයක්

පොඩි වතුර පාරකට
ඔච්චම් කළත් මහ ගංගාවක්
අවසානයේ කිසිම වෙනසක් නැති
'සයුරක්'

චැට් දෙකක් අතර
ඇති එක විනාඩියක්
පිළිතුරු ලැබෙනතුරු එය
ජීවිත කාලයක්

Monday, September 11, 2017

පුංචි හීන

ටිකෙන් ටික
ලොකු වෙන්න වෙන්න
මට තිබුණේ පුංචි හීන

පොඩි රස්සාවක් කරන්න
ඉන්දියන් බයික් එකක් ගන්න
ඔබේ වැඩ හැරුණු විට
රැගෙන යන්නට එන්න

අඳුරත් එක්ක මුසුව
හීන් පොදයක් වැටෙන විට
ජැකට් එක ගලවා
ඔබට පොරවාලන්න

වාතය දෙබෑ කරගෙන
තදින් මුහුණේ ඇනෙන
හීන් වැහි උණ්ඩවලට
තනියමම මුහුණ දෙන්න

රේස්කළවිට,තද බ්‍රේක් එකකට
ඔබ තරමක් ගැස්සෙන විට
කිටි කිටියේ බඳ වටා ගිය ග්‍රහණය
තව තවත් තදවෙන හැටි දැනෙන්න

කිසිවිටක ඉටු නොවුණට
මට තිබුණේ පුංචි හීන

Tuesday, September 27, 2016

කවියෝ!

ගහකොළට සතා
සීපාවන්ට ආදරේ
සී සෑ පොළව දෙස
සොම්නසින් බලන
කවියන් සිටී
අකුරු නූගත්


දළ රළ මත නඟින
නිල් කතරක සිරව
හිරු නඟින ආකාරය
සම්පූර්ණ දේදුණු
වශීකෘතව බලන
කවියන් සිටී
කිසිවක් නොලියූ

මිනිසුන් ගැන කලකිරී
නැතිනන් හොඳින් වටහාගෙන
ගල් ගුහාවල
අඳුරු වන පෙත්වල
තනිවූ
විශාදයෙන් හෝ
යථාවබෝධයෙන් පෙළෙන
කවියන් සිටී
ලියන්නට උවමනා නැතී!

Monday, September 19, 2016

...

එවකට මම
කුරුලෑවක් ගැනත්
දින ගණන් ලතවුණෙමි
කාලය ගෙවී ගියේය

සෘතු වෙනස් විය
වසන්තයන් පැමිණ යන්නට විය


නැවතත් ශීත කාලයකි
නැවතත් වසන්තයකි
නමුත් හැමවිටකමම
පසුව ආ වසන්තය
පෙරට වඩා කෙටිවිය


නළලේ රැලි ගැඹුරු විය
ඇස් වටා කළු පැහැ ගැන්විණි


පණහට කිට්ටු වන විට
හිසකෙස් තනිකරම
සුදු පැහැ ගැන්වී තිබුණි
නමුත් ඒ වනවිට මට
කොණ්ඩය කළු කිරීමට
උවමනාව නැතිවී තිබුණි.

Saturday, September 17, 2016

.......

විරහව දරාගන්නට
බැරි ඉඳහිටක
සයුර පැමිණෙයි
ගොඩබිමට

Thursday, September 15, 2016

ඒකාත්මික

දැනෙනවද නුඹ හට
ඇවිද ගිය බව අප එකට
කල්ප ගණනකට පෙර
මේ ලොව උපන් දා සිටම


හමන මේ මඳ සුළඟ
මත අපේ සුසුමන් නැතිද


සිටින මේ පස මතට
අප පස් වී ගොස් නැතිද

ගලන මේ දිය මතින්
අප ලෙය ගලාගොස් නැතිද


ආදරය කරමි
මේ මහා ලෝකයට
නුඹ සහ මම
ඉන්නා බැවින්
හැමතැනම....




Wednesday, September 7, 2016

සොයා දෙනු මැන

ඇය ආගිය අතක් නැත
දුටුවහොත් දන්වන්න

ඇයගේ විස්තර මෙසේය

අඳින්නේ සාරියකි
දරන්නේ සිතාරයකි
අත් දෙකක


ඉතිරි අත් දෙකින්
එකක මුතුහරකි
අනෙකේ මුදල් නෝට්ටු..


මුදලනම් අවැසි නැත
මුතුහරත් එසේමය
සිතාරය විතරක් එක්ක
ඇය හමුවුනොත් ඇතිය


Thursday, August 25, 2016

කුමරිය

 හදවතට කොපුව දී
මොළයට කඩුව දුන්
මනමේ කුමරියයි
නුඹ...

Friday, August 19, 2016

කවියා මැරීම

මාගේ
හදවතට කොපුව දී
මොළයට කඩුව දුන්
නුඹයි කුමරිය
මනමේ

Saturday, May 14, 2016

TLOR රසිකයින් වෙනුවෙන් රැගෙන එන වාද බයිලා පෙළහර!!


(අළු ක්සේම භූමියේ සිට පැමිණි සුදු වත හැඳි ගැන්ඩල්ෆ්)

කලින් ඇඳන් හිටියේ මම තනිකරමම අළු
මොරියා වලදි වැටිල ආවේ ඇඳගෙන කිරි සුදු
උස් මිටි කම් නැතුවම මම සලකමි සම ලෙස
හොබිට්ලගෙයි ඩෝෆ්ලගෙයි හිතවතානෙ මම










(ආරම්භක බයිලාව අසා සමච්චල් හිනාවක් පෑ; මුලින්ම සුදු පැහැය මායාකරුවන්ට හඳුන්වාදුන් සරුමාන්...)

හැමදාමත් හොස්ස දැම්මේ අනුන්ගෙ වැඩකට
අල ගෙඩි දෙකකුත් උස නැති කොට කොට උන්ගෙම
එල්ෆ්ල එක්ක හිතවත්කම් තිබුණත් ලොකුවට
ඇයිද ගොනෝ පිටුපෑවේ සවුරොන් ලොක්කට






 

(ඕක් කෑල්ලක් අතේ හයිකරගත්,කඩුවක් සොයාගත නොහැකි වූ නිසා,සඟයකුගේ පොරවක් ගෙන එය මුවාත් තියමින් සරුමාන්ගේ අපහාස නිසා මළ අතට ගත් තොරින්)

එකයි දෙකයි තුනයි කියල හතරට ගැනපන්
පහ කියන්න කලින් පොරෝ පාරක් කාපන්
කොට මහතට රැවුල වවල හිටියත් පොඩියට
ත්‍රන්ඩුයිලුත් ඔළුව නැවුවා මේ මගෙ සීයට




(පියාගේ නම ඇසූ බැවින් මනෝ පාර නැවැත්වූ වෙන්න යන රණ්ඩුව දුටු ලෙගෝලස්)

ඩෝෆ්ල එක්ක තරහ වුනත් අපගේ මහ උන්
ගිම්ලි තමයි ලඟින් ගිටියේ ඕන සටනකට
පරණ කථා නවත්තලා දැන්වත් අපි හැම
එකතුවෙලා යමුද ඉතින් ඕක්ලා නැසුමට




(ඇරතෝන්ගේ වටින පුත්‍ර රත්නය වූත් ඉසිල්ඩර්ගේ උරුමක්කාරයා වූත්;ඒකාකාරී බෝරින් දිවිය නිසා කළකිරුණු,පස්චාත් යුද ආතතියෙන් පෙළෙන ඇරගෝන්)

උදේ ඉඳන් කැලේ ගිහින් අස්පය එක්කම
හැන්දෑවට තැබෑරුමේ ඒල් ගහපු සැප
දැන් ගන්නට බෑනේ ඉතින් රජෙක් වෙච්චි මට
එකම සතුට ආර්වෙන් ඇත මගේ පාළුවට



(රෝහන් දේසයේ නයිට් පදවියට පත්වීමට නියමිත මෙරියඩොක් බ්‍රැන්ඩිබක් හෙවත් මෙරී ;ෆ්‍රෝඩෝ වෙනුවෙන්)

කකා බිබී ඔහේ හිටියා සෙල්ලම් කර කර
හැම වෙලේම සතුටු වුණේ පයිප්පේ ඇද ඇද
දුබලයි අපි චූටියි අපි හැමෝම කිව්වට
සවුරොන් ලොක්ක කෙළවගත්තේ හීන් සැරයකට




 (මේ අතර හැඩය අහිමි සවුරොන් බයිලාව ආරම්භ කරයි

ASH NAGH KRIMPATUZA SIRIKOWI.....

(ගැන්ඩල්ෆ් ඔහු ලඟට පැමිණ කියන බයිලාවක් මෝඩෝර් වල බාසාවෙන් නැතුව තේරෙන සින්හලෙන් කියන ලෙස කියයි.අඳුරු අධිපතියා නැවතත් අරඹයි)

මුදු විස්සක් හැදුවා මම මගේ කම්මලේ
නියම මුද්ද තියං අනික් ඒව බෙදුවනේ
ඉසිල්ඩරය කපල දැම්ම මුද්ද දැමූ අත
රැගෙන ගියා මම බිහිකළ ශාපය දිගටම

(සියළු දෙනා එක්ව)

මිනිස්සුන්ට නැහිල යන්න මුදු ඕනේ නෑ
තණ්හාවයි ආසාවයි මුද්දට ඉහළයි
....
(සරුමාන්ගේ චරිතය රඟපෑ ශ්‍රීමත් ක්‍රිස්ටෝෆර් ලී අවුරුදු 92ක් ආයු වලඳා මිය පරළොව ගොස් ඇත.)

හිටපු කවියෙකුගේ හයිකු මාත්‍රාවක්....

ඔබ ගියේ
සරස්වතියත්
අරගෙනම....

Friday, May 13, 2016

බලාපොරොත්තුව


ජීවිතයේ ආලවට්ටම්
සොයනා බහුතරය'තර
ඔබ නොමැති බව දුටිමි


තුරු අතර කඳු මුදුන්වල
ඔබේ දෝංකාරය ඇසුණි
වළාකුළු පිසිමින් හැමූ
ඔබේ සුවඳ හඹා ගියෙමි
සප්ත මහා සාගරයේ ඉපිලෙමින්
ඔබේ සළකුණු සොයා ආවෙමි
පාළු අඳුරු හුදෙකලා තැන් වල
ඔබ එනතුරු බලා සිටියෙමි


සමාජයේ ප්‍රවාහයට හසු වුණු
ජීවී මළවුන් හට සිනාසෙන
සාපේක්ෂ රාමු වලට පිටින් ඉන්නා
ඔබව සෙව්වෙමි


තවමත් හමුනොවූවත්
ඔබත් මා සොයමින්
සිටිනා බව දනිමි!

Thursday, May 12, 2016

Paradox කවි

විරිත් කුඩු කරලා 
ඡන්දසත් විසි කරලා
රාමුවෙන් මිදිලා
ලියමි නිසඳැස් හුරේ දමලා


(මහ පියුම් විරිත)

Saturday, April 16, 2016

සිත කල කිරි

 

තවත් නැහැ
තෙතමනය
කොළ පාට
මෙතැන් සිට
ග්‍රීෂ්මය
කොළ හැලෙන
කහ පාට...

Friday, April 15, 2016

සමාධිය

හුස්ම ගැන
විමසිල්ලෙන්
දමා ඉහළ පහළ
නවත්වා අතරමඟ
හිස් කර සිතිවිල්ල
සමාධිගතව
නිසොල්මන්ව
ඩෝං......
මුවා ඇදගෙන වැටුණි!