Showing posts with label කෙටිම කෙටි. Show all posts
Showing posts with label කෙටිම කෙටි. Show all posts

Wednesday, May 18, 2022

ප්‍රීති වෙසක්

නැගෙනහිර පැසිෆික් සාගරය ජාත්‍යයන්තර දින රේඛාව හරහා තරණය කර,ඇලස්කාව හරහා ජපානයට මාලු ගෙනයන කුඩා නෞකාවක මාගෙ පළමු පුහුණු වාරය ගෙවුණි.

සෑම පුහුණුවකම මෙන් මෙහිදීද මාගේ කාල පරිච්ඡේදය ගලාගියේ තද පාලන නීති රීති වලට යටත්වය.කෙසේ වුවද සියරට කිසිවකු නොමැතිව ජාතීන් කිහිපයක් සමඟ වැඩකිරීමට සිදුවීම නව අද්දැකීමකි.මෙයින්ද පිලිපීන ජාතික ප්‍රධාන කෝකියා මා සමඟ ඉතා හොඳින් යහලු විය.


නත්තල සහ අනෙකුත් සැමරීම් වලදී ඔහුගේ අතින් නිමවන්නේ විශේෂිත සාදවලට ගැලපෙන ආහාරය.දිනක වැඩ නිමවීමෙන් පසුව හුරුපුරුදු අල්ලාප සල්ලාපයේදී ඔහු මගෙන් ආගම ගැන විමසා සිටියේය.බොහෝ ලාංකිකයින් මෙන්ම මමත් බෞද්ධයෙක් බව කියා සිටියෙමි.ඒ වන විටත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය.වෙසක් යනු බෞද්ධයිනගේ උත්සවයක් බවත් අපගේ ශාස්තෲවරයා ඉපදුණේ ඒ දිනයේ බවත් මම කියාසිටියෙමි.බුද්ධත්වය ලැබීම ගැන නොකීවේ ඒ ගැන ඔහුට සංකල්පීයව තිබූ අනවබෝධය හා අප අතර තිබූ භාෂා පරතරය නිසාවෙනි.


මම එහි සිටි එකම බෞද්ධයා වූ බවද කිව යුතුය.


එක් දිනක මම ආහාර ගැනීමට භෝජනාගාරයට යාමේදී එහි උත්සවාකාරයෙන් සකසා තිබූ ආහාර දැක්කෙමි.රෝස් කරන ලද කළුකුමෙක්,විවිධාකාරයට සැකසූ හරක් මස්,බේකන් සුප් සහ කැරමල් පුඩිම,චීස් කෙක් දැක තරමක් පුදුමයකටත් සතුටක්ටත් පත්වුයෙමි.ප්‍රධාන කෝකියා මාව දැක අතට අත දී 'හැපි වෙසක්' කීවේය.


එදින වෙසක් පොහෝ දිනය බව මටත් මතක් වූයේ එවිටය...


වෙසක් උත්සවය අප සමරන ආකාරය ගැන ඔහුට කලින් කිවීමට නොහැකිවීම ගැන මට කණගාටුවක් මෙන්ම මේ ආකාරයෙන් මාංශමය සැමරීමකට එය මඟ පෑදීම ගැන මම මටම දොස් පවරාගතිමි.ඔහු මෙය වටහගෙන ඇත්තේ බෞද්ධයින්ගේ නත්තල ලෙසයි.කෙසේ වුවද මම ඔහුට ස්තූති කළෙමි. අවංක ලෙස ස්තුතිපූර්වක බව පෙන්විමට මම උත්සහ කළෙමි.


පරිනිර්වාණයද එදිනටම යෙදී ඇති බව ඔහු කලින් නොකියා සිටීම ගැන පසුතැවීමක් ඇතිවිය.


එය දැනසිටියනම් වෙසක් යනු සැමරිය යුත්තක්ද ශෝක විය යුත්තක්ද යන්න සිතාගත නොහැකිව ඔහු පත්වන ව්‍යාකූලත්වය වටහාගත් බැවින් ඒ ගැන නොකියාම සිටීමට මම තීරණය කළෙමි.


(ප්‍රබන්ධයකි)

Sunday, November 28, 2021

මන්දාරම

වැස්ස වැටෙන්නට සියලු පෙරනිමිති පහල වී තිබුණි. සුළඟක් පැමිණ ටකරම් සොලවන්නට විය. මම කුඩා තේ කඩයෙන් පිටතට පැමිණ ඈත පෙනෙන විවෘත තණබිමට ඉහළින් ඇති අහස දෙස බලා සිටියෙමි. මට පසුපසින් මගේ සඟයා සිගරට්ටුව සහ ප්ලේන්ටියද සමඟ පිටතට පැමිණියේය.


' හෙන මූසලයි නේද බං'


අහස සම්පූර්ණයෙන්ම වළාකුලු වලින් පිරී ගොස් තිබුණි. නමුත් දහවල් කාලය වූ බැවින් සහ හිරු මුවා කළ වළාකුලු  එතරම් තද කලු පැහැ නොවූ බැවින් පැතිර තිබූ දසුනේ අන්ධකාරයක් නොවීය. ඉඳ හිටක අහසින් තේජාන්විත ගිගුරුමක් ඇසුණි. මේ අතර මෘදු සුළඟක් අපගේ දැවටී යන්නට විය. වැස්ස තවම ඇද නොවැටුණු නිසා පාරේ හෝ වටපිටාවේ කිසිම තෙත් බවක් නොවුණි.


' නෑ බං. මේක තමා සිරාම... මම වැස්සට කැමති නෑ. ඒත් මේ වෙලාව, මේ මොහොතෙ තියන සැනසීම... මන්දාරම!!!

 බලපං ඒ වචනෙම කොච්චර ලස්සනයිද?'


සාවඥ මුහුණකින් යුතුව ඔහු තම සිගරට්ටුවෙන් බරැති උගුරු ඇද්දේය. ඒ අතර ප්ලේන්ටියත් ශබ්ද නගා බොමින් ඔහු මට කතාකලේය.


' අනේ යකෝ... උඹට මෙහෙම ඇරිල  තියනකොටත් මේ මූසල වෙලාවෙත් ලස්සනක් පේනවනම්....'


මාගේ සිව් අවුරුදු ප්‍රේමය නිමවී තිබුණි. ඇත්තෙන්ම එය නිමවූයේ මම අපේක්ෂා නොකළ මොහොතක, ඒක පාර්ශ්විකව හේතූන් මතය.


සඟයාගෙන් සිගරට්ටුව උදුරා ගත් මම උගුරක් ඇද දුම යවා කතාකලෙමි. 


' අනේ මන්ද බං. මට ඒකි හම්බුණේ වැරදි බස් එකක ගිහින්, මාව බැස්සුවහම එතන තිබ්බ බස් හෝල්ට් එකේදි. මම ඒකිගෙන් යන්න ඕනෙ බස් එක ගැන විස්තර අහපු එක, ඒ වෙලාවෙ වැස්ස එක, ඒ වෙලාවෙ අපි දෙන්නටම කුඩයක් තිබ්බෙ නැති නිසා හෝල්ට් එකේ හිරවෙන්න වුණු එක වගේ අහම්බයන් ගොඩක් එකතුවෙලා.

මම හරි බස් එකට නැග්ගනම්, මට කුඩේ අමතක නොවුණනම්, ඒ වෙලාවේ වැස්සෙ නැත්තන්...

එහෙමනම් අද මේ තත්වෙ උදාවෙන්නෙ නෑ...'


' උඹට මතකද අනූජයව?' නැවත සිගරට්ටුව ඉල්ලා ගත් සඟයා මගෙන් විමසා සිටියේය.


' අනූජ... නෑනෙ බං'


' ඇයි යකෝ... අහිංසක...'


' ආ...'


අනූජ යනු එකල අපේ පන්තියේ සිටි අහිංසකම ළමයා විය.  පාඩමකදී ' අහිංසක' යන නමට උදාහරණයක් ලෙස ඔහුව ගත් දිනයේ සිට ඔහු ' අහිංසක' ලෙස නම් දැරීය.


' ඉතින් මොකද කේස් එක?'


' ඌට lung cancer එකක් බං. ඒක හොයාගෙන තියෙන්නෙ ටිකක් කල් ගිහින්.'


' හුටා... ඒ කොහොමද??? ඌ කැම්පසුත් ගියානේ... නැහැදුණාද පස්සෙ...'


' නෑ බං අහපංකො. සීන් එක දැනගත්තෙ මම දවසක් ඔඒසිස් එකේදි මූව සෙට් වුණාම. එදා මූ හල්මිල්ල බාගයකුයි ගෝල්ලීෆ් පැකට් එකකුයි තනියම තියාගෙන ගහනවා.'


' ඉතින් යකෝ ආයෙ cancer නොහැදෙයියැ'


සඟයා සිගරට්ටුව මහපට ඇඟිල්ල සහ මැඳැගිල්ල පාවිච්චි කර ඈතට වීසිකර කතාව ඇරඹීය.


' අහපංකො ඉතින්. ඌගෙ සීන් එක මම දැනන් හිටියෙ. ඉතින් මට ෂුවර් නැතුව හිටියෙ මූට මාව දකින එක අවුලක් වෙයිද කියල. මූ මාව දැක්ක. දැක්ක ගමන් නැගිටල ඇවිල්ල හෙන ගැම්මෙන් මාව බදාගෙන උගෙ මේසෙට ගෙන්නගත්ත.


උගෙන් සීන් එක වටෙන් ගොඩෙන් අහනකොට ඌ කෙලින්ම මට කිව්වෙ මෙහෙම,

' මචං. මම ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන් බැලුවෙ හරි දේ කරන්න. නීති පිළිපදින්න, පන්සිල් රකින්න, ආගම ධර්මෙට අනුව ඒ රටාවට හැඩගැහෙන්න. ඒක මමම හෙන ආසාවෙන් කරේ කොහොමත්. මම කැම්පස් එකේ රැග් වුණත් එක්ක, ඒත් මම අයින් වෙනකම් බියර් බින්දුවක් වත් බිව්වෙ නැහැ. කාමරේ උන් ජොයින්ට් පලනකොට මම බ්‍රිස්ටල් එකක් වත් බිව්වෙ නෑ.


මේ cancer එක චෙකප් එකකදි තමා මාට්ටු වුණේ මෙඩිකල් එකක් ගන්න යනකොට. ඩොකානම් කිව්ව මට තාම චාන්ස් තියනව කියල මේක හරිගස්සගන්න.

මම කල්පනා කරා යකෝ, මම මේ තරම් කාලයක් කාපු කට්ටෙ තේරුම මොකක්ද කියල... 

මොන මඟුලක්ද බං... ඊට පස්සෙ දවසක් දෙකක් කල්පනා කරන්න ගත්ත... දවස් දෙකකට පස්සෙ තවදුරටත් මගෙ ඇතුලෙ බයගුල්ලෙක් හිටියෙ නෑ...'


ඉතින් මට මූ හෙන සැහැල්ලුවෙන් මේ කතාව කිව්වෙ. මමත් ඌට පොඩි ආතල් එකක් දෙන්න හිතල ' එතකොට අහිංසක අන්තිමේට අංගුලිමාල වුණා' කියල කිව්ව... ඌට හිනා ගියේ තණකොලත් ගලවගෙනම.'

Tuesday, December 31, 2019

සාතන්ගේ පරීක්ෂාව

අධ්‍යාත්මය සහ භෞතිකත්වය අතර දෙගිඩියාවකින් ඇඹරිලා ජීවිතේ යුෂ එලියට ගලා යන ඕනෙම කෙනෙක්ට එක පාරක් හමුවන අවස්ථාවක් වන සාතන්ව මුණ ගැසීම මටත් අත්විඳින්න ලැබුණා, ඉර බැහැගෙන යන හැන්දෑවක සිරීපාදේ, දඹගිරිය අවසානයට කිට්ටුවෙන්... 

 'දරුවා' 

කියල සාතන් මට කතාකළා. 
'දරුවා, මේ තමා ආදි මනුලොවට ගොඩබැස්ස පාරාදීසිය. තව ටිකකින් කලුවර වැටේවි. ඉර බහින පැත්ත දිහා බැලුවොත් නුඹට කොළඹ දීප්තිමත් ආලෝක තව ටිකකින් ඉතා කුඩාවට පෙනේවි. 
මේ මිහිමත සියලූම දේ නුඹගේම කියා සිතාපන්... කැමති දෙයක් මගෙන් ඉල්ලාපන්.' මම කල්පනා කළා. 

 වටේම තියන හැම කඳු පන්තියකටම ඉහළින් මම ඒ වෙලාවෙ හිටියෙ. තෙත් ගතියක් දවටාගෙන තරමක සුළඟක් හමායමින් තිබුණ. ඉරේ මළානික කහ පාට එළිය වැටිල පඩිපෙළ දෙපැත්තේ බෑවුමේ තිබ්බ පොඩි පඳුරු වල මල් දිලිසෙන්න ගත්තා. 

 "අපි ශිෂ්ඨාචාරයක අවසානයේ ඉන්නේ... අපගේ අසීමාන්තික ඕනෑකම් අහස පොළව ජලය මේ හැමදේම විනාස කරලා... 
මම ඔබෙන් ඉල්ලා හිටින්නට කැමතියි මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා එකතුවී ඇති සියලුම අහිතකර දේවල්, මේ මිහිතලයට, මහමුහුදට ජීර්ණය කරගැනීමට අපහසු නොදිරන දේවල් ක්ෂණයෙන් නැති වී යන ලෙස. එමෙන්ම වාතයට එකතු කරන ලද දූෂක වායූන්ද මේ ලෙසම නැතිවී යන ලෙස..." සාතන් දිගු හුස්මක් ඇද්ද... 

"දරුවා... නුඹේ ඉල්ලීම් බොහොම දරුණුයි. ඒ වගේම මගේ වැඩ කටයුතු වන්නේ ඉටු කරන ඉල්ලීමකට සුදුසු පරිත්‍යාගයක් සහිතව බව නුඹ දන්නවා ඇති."

 "මා පරිත්‍යාග කිරීමට අවශ්‍ය මොනවාද?" 

"නුඹේ ජීවිතය සහ ආත්මය... නමුත් නුඹේ ඉල්ලීම් ඒ සීමාව ඉක්මවා යනවා..." 

 සාතන් ගිවිසුම අත්සන් කරන්නෙ පරණ පාච්මන්ට් කඩදාසියක. ඒකෙ කෙලවර ඔහුගෙ කබායෙ උඩසාක්කුවෙන් යාන්තම් එළියට පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් කමක් නෑ, ජීවිතේ යකාටම ගියාවෙ. අඩුම ගානෙ මම ජීවිත බිලියන ගාණක් වෙනුවෙන් කැපවුණු හැටිවත් ආදිගේ පරම්පරාව මතක තියාගයි. ඒ නිසා වැඩි ගානකට නැතුව මම මෙහෙම ඇහුව...

"තවත් ඔබට ඕනෙ මොනවාද?" 

 "දරුවා, මම නුඹට පැහැදිලි කරන්නම ඕනෙ කාරණය මේක. 
ලෝකය අනිවාර්‍යෙන්ම ජීවයට වඩා යහපත් වෙයි, ආදිගේ සහ නෝවාගේ පරම්පරා ගණනක් මෙයින් සුරක්ෂිත වෙයි, නමුත් නුඹේ පරිත්‍යාගය ගැන කිසිවෙක් දැන ගන්නේ නැහැ. 
ඊයේ උදයේ නිවසින් පිටව ආ නුඹ අදින් පසුව ආගිය අතක් නැතිවෙයි... නුඹේ කතාව එපමණයි." 

 දේව ශාපයට අහුවුණු කායින් වගේ මමත් පරාජිතව ඔහේ පඩිපෙළ බහින්න ගත්ත.



Friday, June 14, 2019

අසුබවාදියා

'මම අසුබවාදියෙක්.'

වැව් තලය මතට පැතලි ගලක් වීසි කරන ගමන් මම ඇයට කීවෙමි.

ඇය අසා සිටියාය.
සාමාන්‍යයෙන් ලිවීමේදී 'අශුභවාදියා' ලෙස ලියූවිට එන බරපතලකම කථනයේදී හැඟවීමට ඇති අපහසුව මම වටහාගතිමි. 'අශුභවාදියා' ලෙසම මම කියූවානම් එයින් ලැබෙන්නේ තරමක අභව්‍යකමකි.
කතාවට වඩා ලිවීමට මම ආශක්ත වූයේ මෙවැනි හේතූන් නිසා විය යුතුය.

'මම ඉස්සර වුණත් කැමති වුණේ හොඳට ඉගෙනගන්න ළමයෙක් කියල අහනවට වඩා,ඉගෙනගන්න පුලුවන් වුණත් උවමනාවක් නැති ළමයෙක් කියල අහන්න.
දැන් කියලත් වැඩි වෙනසක් නැහැ.'

ඇය සිනහවක් පෑවාය.සුළඟ විසින් ඒ මේ අත අඹරවන කෙස් රොදවල් ඇය වරින් වර සකසාගත්තාය.ඒ අතර මෙසේ කීවාය

'හැබැයි ඉගෙනගන්න බැරි ළමයෙක් කියල අහගන්න කැමති වුණේ නෑනේද?'

ඇයටම විශේෂ වූ තියුණු උපහාසයට ලක්වීම මට සෑමවිටකම තරමක් ආනන්දජනක කාරණයක් විය.මම පිළිතුරු දුනිමි.

'ඔව් එහෙම එහෙකුත් තියනවා තමයි ඉතින්.
මොන තරම් අසුබවාදියෙක් වුණත් මම හිතන්නෙ නෑ මෝඩයි කියල අහගන්න කැමති ඇති කියල.'

'අනේ මන්දා' කෙහෙ රොදක් අඹරවමින් ඈත බලාගෙන ඈ කතාකලාය.

'මමනම් හිතන්නෙ නියම අසුබවාදියෙක්ට ඒක කොහොමටත් වැදගත් වෙන්න බෑ කියල.
ඉතින් ඔයාට අසුබවාදයෙන් මිදෙන්න බැරිවෙයිද?'

මම තවත් පැතලි ගලක් සෙවීම නවතා ඇය ඇමතුවෙමි.
'මම හිතන විදිහට බැරිවෙයි.'

'සමහරවිට ලෝකෙ වෙනස් විදිහකට තිබ්බනම් මම එහෙම වෙන එකක් නෑ..
බැරි වෙලාවත් අපි නාකි වෙලා,සිහි කල්පනාව අඩුවෙලා,එක්තැන් වෙලා දුර්වලම වෙලා,මර බයේ මැරෙන එකට වඩා අපි තරුණකමින්,ශක්තියෙන්,ආවේගශීකමෙන් උපරිමයට ආවහම මැරෙන්න තිබ්බනම්. මරණය පිළිගන්න පුලුවන් වුණානම්..
අපි ඉන් පස්සෙ මතකයේ රැඳෙන්නෙ ඒ විදිහටනම්.
සමහරවිට මම එහෙම වෙන එකක් නැහැ.'

ඇය කොක් හඬලා සිනාසුණාය.

'ඇයි දැන් ඔයා නාකියිද?'


පාවෙන හාද්ද

'දූ අපි යමු.. අංකල්ට බායි කියන්න.' 

 ඇගේ අතේ එල්ලී සිටි ඇයගේ කුඩා දියණිය මට 'පාවෙන හාද්දක්' දුන්නාය. මම තරමක පුදුමයකින් සිනහවෙමින් ඈ දෙස බලා සිටියෙමි. ඇය, පරීක්ෂාකාරීව මදෙස බලා, ප්‍රතිචාර ලෙස ආපසු පාවෙන හාද්දක් නොදීම ගැන ඇගේ මවට පැමිණිලි කර සිටියාය.

 'ඒ අංකල්ගෙ හැටි දූ... ඒ දවස්වලත් ඔහොමයි.'

Friday, August 31, 2018

....

"අපි සැරින් සැරේ එකතු වෙනවා වෙන් වෙනවා.
මම දැන් මාස හයක වගේ ඉඳන් ඔයාට 'ආදරෙයි' කිව්වෙ නැහැ."

"මං දන්නවා..."

"මොකක්ද?"

"ඔයා දැන් අදහස් කරපු දේ"

"ඔයා මොකක්ද තේරුම් ගත්තෙ?
මම ඔයාට ආදරේ නෑ කියනෙකද,නැත්තන් ආදරේ කරනව වුණත් ආදරෙයි කියන්නෙ නෑ කියන එකද,එහෙමත් නැත්තන් අපි දෙන්නම මේ කරන්නෙ අපේ හුදෙකලාව මකාගන්න ඉඳල හිටල මෙහෙම හම්බෙනවා විතරයි කියන එකද?"

"මෝඩයෝ!!! දැන් ඕනෙවට වඩා හිතන එක නවත්තලා නිදාගන්නවා..."

(නම් ගම් මනකල්පිතය)

Monday, January 15, 2018

ඇයි

ඔහු පුටුවෙන් නැගිට දොර හැර මොහොතකට කලින් දොරට ගසමින් සිටි අමුත්තා දෙස නොරිස්සුම්ව බලා මෙසේ ඇසුවේය.

"ඇයි?"

කිසි පිළිතුරක් නොදුන් අමුත්තා වැරෙන් ඔහු ගෙබිමේ වැටෙන ලෙස තල්ලු කර දමා තම ඉනේ සඟවාගෙන සිටි සයිලන්සරයක් සහිත පිස්තෝලය ගෙන ඔහුගේ හිස පසාරු කරගෙන යන පරිදි උණ්ඩ දෙකක් නිකුත් කළේය.ඇතිවූයේ කම්බි දැලකට ගල් දෙකක් වදින හඬක් පමණි.ඉන්පසු ඔහු මේසය වෙත ගොස් එහි ලාච්චු අදින්නට විය.මේසය මත ආමන්ත්‍රණයක් රහිත අවසන් නොකල ලිපියක් දුටු ඔහු එය කියවන්නට ගත්තේය.

"මෙය කියවන විට ඔබ මහත් කැළැඹීමකට හා චිත්‍ත වික්ෂේපයකට පත්වනු නොඅනුමාන බව මා හොඳ හැටි දනිමි. "ඇයි?" යන ප්‍රශ්නය නොනවත්වා නින්නාද වනු නියතය.
"ඇයි" යන ප්‍රශ්නයට මටද හේතුකාරණා නිශ්චිතවම කිව නොහැක.අමුතුවෙන් සංතෘෂ්ටියට හෝ දුක්ඛිතභාවයට පත්වීමට හේතූන් මෑතකදී මට නොතිබුණි.ඔබ ඇතුලු සියලු දෙනාම දුටු පරිදි මා කාලයක පටන් දක්වන ලද සැහැල්ලුව හුදු මායාවක් හෝ මවාපෑමක් නොවෙති.

නමුත් මම දිනෙන් දිනම අන්ධකාරයේ ගිලීයන හැඟුමකින් පෙලුනෙමි.එම හැඟුම නිසි ලෙස වචනාර්ථයෙන් අර්ථදැක්වීමට මා අපොහොසත්ය.ඔබ අනන්ත ගැඹුරක ගිලී යන ආකාරයක් සිහි නංවාගන්න.පිහිනීමට නොහැකි තරමට විඩාපත්වී එසේ නැතිනම් පිහිනීමට උවමනාවක් නොමැති ඔබ උඩුකුරුව ජල පෘෂ්ඨය මත වැටෙන ආලෝකය දෙස බලමින් ඔබේ පිටුපස තිබෙන අනන්ත ගැඹුර වෙත ගිලීයයි.ඉහළින් පෙනෙන ආලෝකය කෙමෙන් දුරස් වීමට ගනී.

මේ හැඟීම,මේ මහා ශූන්‍යත්වය තුලට මා ඇදී යන්නේ ඉසිලිය නොහැකි තරම් මන්දගාමීත්වයකිනි.එබැවින් මා මේ මොහොතේ තීරණයකට...."

ලියුම එතැනින් අවසන්ව තිබුණි.මේසය මත පෙති කිහිපයක් තිබූ කුප්පියක් විය.

Monday, December 25, 2017

මඟ හැරීම

"මොකද කරන්නෙ ඉතින්.පලයන් ගිහින් කතාවට අල්ලගනින්.ඒකිත් උඹ දිහා රබර් ඇහැදානව දෙතුන් පාරක්ම මම බලන් හිටියෙ."

"පිස්සුද බං..."

"දැන් උඹට මොකද ඔච්චර බැරි නිකන් කතාවට අල්ලගන්න..උඹ ටිකකට කලින් කිව්වෙ ඒකිගෙ මාර ආකර්ෂණයක් තියනව කියල...උඹ ගෑණියෙක් ගැන කොච්චර කලාතුරකින්ද ඔහොම කතාවක් කියන්නෙ..
දැන්ම පලයන් ඒකිත් කොළ සිග්නල් එක දීල තියෙද්දි."

"එහෙම නෙවේ බං..මට බයයි....."

"මොකක්?"

"නෑ..මේකයි සීන් එක..මම ඒකි දිහා බලාගෙන හෙණ මනෝපාරක් ගහගෙන හිටියෙ.
ඒකි එක්ක මන්දාරම් වෙලාවක ලෝකාන්තෙ දිහා බලන් ඉන්න,ට්‍රින්කො වල බෝට් රයිඩ් එකක් යන්න,ඔපෙරා හවුස් එකේ මෝසාට්ගෙ මැජික් ෆ්ලූට් අහන්න.."

"යකෝ එච්චර දුරට හිතුවද? යකෝ මිනිහෙක්ට බය හිතෙන්නෙ කසාදයක් ළමයෙක් ගෙයක් දොරක් ගැන හිතෙද්දිනෙ.මට හිතුණ උඹ වුඩි ඇලන්ගෙ ෆිල්ම් බලන්න පටන් ගත්තහම....."

"බය වෙන්න කාරණාව මේකයි..
ඒකි ඇත්තටම මම කැමති දේවල් වලට කැමති නැත්තන්...එහෙම නැත්තන් මම කැමති දේවල්වල තේරුමක් හිතාගන්න බැරිනම්.ඒකි ගැන මම දැන් හිතුව දේවල් වැරදිනම්.වැඩිය ඕනෙ නෑ..ඒකිගෙ කටහඬවත් මම හිතෙන් මවාගත්‍ත කටහඬට වෙනස්නම්..මේ හැඟීම බිඳිල යනව.ඉතින් මම හිතපු දෙවල් එක්ක සමපාත වෙන්න තියන සම්භාවිතාවය සීයට....."

"බින්දුවයි දශම බින්දු දහයයි එකක්..."

"ඔවු ඒ ගාණට කියමු...ඉතින් ඒ තරම් පොඩි චාන්ස් එකක් වෙනුවෙන් මම මේ හිතෙන් හදාගත්ත හැඟීමට කෙලවාගන්නෙ ඇයි.
මම යන්නෙ නෑ කතාවට.."


Friday, December 15, 2017

මඟ හැරීම

ඔයා දන්නවද,පේරාදෙණිය කැම්පස් එක දකින හැම පාරකම වරදකාරී සහ ඊරිසියාසහිත හැඟීමකින් හිත පිරිලා යන්නේ චමත්කාරයකුත් එක්ක.

මම දන්න කාලෙක ඉඳන් උත්සාහ කළේ දවසක පේරාදෙණියේ ඉගෙනගන්න.මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනෙ.ඒ දවස්වල ඒ තරමට 'මදන විසයක්' නැත්තන් රොමාන්තික හැඟීන් තිබ්බෙ නැතිවුණාට පාසි බැඳිලා දුර්වර්ණව වැහැරෙමින් යන ඒත් ප්‍රෞඩ වික්ටෝරියානු ගොඩනැගිලි,මල් හැලෙන 'රොබරෝසියා' වගේ අමුතු නමකට ප්‍රසිද්ධ වුණු ගස්,සරච්චන්ද්‍ර නිකටෙ අතක් තියාගෙන කකුලක් උඩ කුල දාගෙන පෙර පුහුණුවීම් බලන්නට ඇති වල,කෝච්චි පාරට උඩින් තියන පොඩි ගල් පාලම,හැමදාම දුඹුරු පාටින් ගලාගෙන යන මහවැලි ගඟ,වහින කාලෙට මන්දාරමත් එක්ක දිලිසෙන කොළපාට පරිසරය,ගලහ හන්දියේ ඉඳන් යන්න තියන ඉර එළියක් වැටෙන්නෙ නැති තරමට දෙපැත්තෙ ගස් වලින් හෙවණ ලැබෙන පාර,පොඩි පාලමෙන් එහා තියන අක්බාර් හෝල් එක..මේ වගේ වරින් වර දැකපු දේවල් වලින් හදාගත්ත හරියටම පැහැදිලි කර නොගත් ආකෘතියක් මගෙ ඔලුවෙ තිබ්බා.

ඒත් මට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.වැඩේ කියන්නෙ කාලය එක්ක තීවෲ වුණු හැඟීමක් මට ඇතිවුණත් මම ආයෙ සැරයක් උත්සාහ කරන්නෙවත් නෑ.

මම හොදටම දන්නවා මම පේරාදෙණියට ගියානම් අවුරුද්දක් යන්නත් කලින්ම මට පේරාදෙණිය එපා වෙන බව.මොකද මගේ ස්වභාවය ඕනෙ දෙයක් ලේසියෙන් එපා වෙන එක.එහෙම වුණානම් මට අවුරුදු හතරක් ඉන්න තැන දිහා බලන්න වෙන්නෙ අපිරියාවකින් නැත්තන් නොරිස්සුමකින් වෙන්නත් පුළුවන්.ඒත් මට පේරාදෙණිය දිහා අදටත් පුංචි ළමයෙක්ගෙ ඇස් වලින් බලන්න පුළුවන්.

අපේ කතාව හරියට පටන් ගන්නත් කලින් ඔයා නවත්තන්න හදද්දි මම කිසිම උත්සාහයක් ගන්නෙ නැත්තෙත් ඒකයි.මම දන්නවා බොහෝ දුරට මට ආයෙ ඔයාට තරම් ආදරයක් හිතෙන, ගැලපෙන කෙනෙක් හම්බවෙන එකක් නැහැ,මේ මගේ අවසාන අවස්ථාව කියලත්.ඒත් මම ඔ‍යාට ඇවිටිලි කරන්නවත් නවත්තන්නවත් උත්සාහ නොකරන එක ගැන ඔයා තේරුම් ගනියි කියල මම හිතනවා.ඒකෙ තේරුම ඔයා වටින්නෑ කියන එක නෙවේ...



Friday, October 20, 2017

රැවුල

ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී දෙමල චිත්‍රපට බලන්නට පටන් ගත්තේය.

සාමාන්‍ය පෙළ අවසන්ව උසස් පෙළ සදහා පන්ති ආරම්භ වූ දවසේ රැවුල නොකපා පාසලට පැමිණීම නිසා පිලිවෙලින් පන්ති භාර,අංශ භාර ගුරුවරුන්ගෙන් අතුල් පහර කිහිපයකුත්,වේවැල් පහර කිහිපයකුත් ලද්දේය.දිගු කලිසම නිසා වේවැල් පහරට වඩා අතුල් පහර වේදනා දෙන්නට විය.නිකටේ තැන තැන අපිලිවෙලින් පැමිණි රැවුල් ගස් දැක පන්තියේ පිටත දණගසාගෙන ගෙන සිටි ඔහුට නියෝජ්‍ය විදුහල්පතිවරයාද කෑ ගැසුවේය. 

“බලනවා අයිසේ.හරියට මාලුවෙක්ගේ වගේ...”

ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් නොවුනේය.විශ්ව විද්‍යාලයට යන්නට අදහසක් නොවුණු බැවින් ආරක්ෂක පිටයේ පරීක්ෂණ වලට ගියේ වැඩිමනත්ම දෙවන වර විභාගය කිරීමට ගෙදරින් එල්ල වූ බලපෑමෙන් බේරෙන්නටය.සහතිකපත් හා ලේඛන පරික්ෂා කල පසු ඔහු දෙස අප්‍රසන්න බැල්මක් හෙලු හමුදා නිලධාරියා පැහැදිලි ඉංග්‍රීසියෙන්  මෙසේ කිවේය.

“සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඔබගේ බාහිර ස්වරුපය පිළිබිඹු වන ආකාරයත් වැදගත්.කරුණාකර ඔබ නැවත මේ ආකාරයේ පරීක්ෂණයක් සදහා යන්නේනම් හොඳින් රැවුල කපා යන්නට වගබලාගන්න.”

සම්මුඛ පරීක්ෂණය ගැන බලාපොරොත්තු අත්හැර සිටි ඔහුට ලියාපදිංචි තැපෑලෙන් ලියමනක් පැමිණියේය.ඔහු ආරක්ෂක පීඨයට තේරී තිබුණේය.ඔහු එය භාරගැනීමට තීරණය කළේය.

උදැසන 4ට අවදිව,දත් මැද,එක් රෝමයක්වත් නැතිවන පරිදි රැවුල කපා ඔවුන් හට දැඩි ශාරීරික අභ්‍යාස වල යෙදෙන්නට සිදු විය.සුළු වරදවලටද කුණුහරුප වැල් ගලාගියේය,එකෙක්ගේ අතපසුවිමකට මුළු කණ්ඩායමටම දරාගත නොහැකි ශාරීරික ‘ඩබල්’ හිමිවිය.ඉන්පසුව සම්පූරණ නිල ඇදුමින් සැරසී ඉගෙන ගැනීමට සිදුවිය.සවස ඝන සරඹ වලින් පසුව ක්‍රීඩා වල යෙදුනේය.මෙලෙස සිවු වසරක් ගතවිය.

ඔහුගේ සමුහය කොමිෂන් ලත් නිලවලට සමත්වී විසිර ගියේය.ඔහු එදින මව හා පියා සමග ඡායාරූප වලට පෙනී සිටියේය.ඉන්පසු ඔහුට පත්වීම ලැබිණි.

ඔහුට උඩු රැවුල පමණක් වැවීමට හැකි වූ බැවින් සති කිහිපයක් උඩු රැවුල වැවීමට උත්සාහ ගත්තේය.නමුත් ඔහුට ආරුඩ වූ පරිණත පෙනුමට ඔහු කැමති නොවිය.එය කපා දැමුවේය.

අවුරුදු 9ක් ගතවූ පසු ඔහු නිල ඇදුමට සමුදුන්නේය.පෞද්ගලික සමාගමක තරමක් හොද රස්සාවක් සොයාගත්තේය.එතනම සේවය කල ඇය ඔහුට හමුවිය.ඔවුහු සැන්දෑවන් වල ඇවිද ගියහ.එකට රාත්‍රී ආහාර ගත්හ.දිනක් ඔහුගේ තුරුලේ හිද ඔහුගේ මුහුණ අතගාමින් ඇය මෙසේ කීවාය.

“දන්නවද වැඩක්.මම ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්නම්...රැවුල කපන්න පුලුවන්ද?”

ඔහු හිස සලා එයට එකග විය.

“I want a clean shave……”

මාස හයකට පමන පසුව ඇය ඔහුගෙන් වෙන්විමට අවශ්‍ය බව කියා සිටියාය.ඇයට නිවසින් පැමිණි යෝජනාවකට කැමති වන්නට සිදුව ඇත.මනාලයා මාතලේ පැත්තේ පාරම්පරික රදළ තේවතු හිමියෙකි.

සුසුමක් හෙළු ඔහු ඇයගේත් තේවතු හිමියාගේත් මංගල ඡායාරූපය සිතට නගා ගැනීමට උත්සාහ කළේය.මනාලයාගේ මුල් ඇදුම සහිත සේයාව සිතින් මවාගත් ඔහුට සිනහවක් නැගුණි. 

"කමක් නෑ.." ඔහු කියා සිටියේය...

"දැන්වත් මට පුළුවනි………………රැවුල වවන්න."

Monday, July 17, 2017

රාත්‍රියක්

මුහුදත් ගැහැණිය බඳුය.

විටෙක දරාගත නොහැකි තරම් නිශ්චලය.එවිට සුමුදු රැලි නැති ගැඹුරු මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිසිලේ.

විටෙක චණ්ඩය එවිට ලොව විශාලතම යුධ නෞකාව වුවද එය තරණය කිරීමට නිර්භීත නොවේ.විරහව දරාගැනීමට නොහැකි වූ විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි.

 නමුත් බොහෝ වෙලාවල තරමක් රැලි නංවමින් වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.


දිගු පඩිපෙල් මෙන් සැදු කොන්ක්‍රීට් බැම්මේ ඉහලින් වාඩිවී මා සිටි අතර ඇය මට පියවරක් පහලින් තිබු කොන්ක්‍රීට් බැම්මේ වාඩිවී සිටියාය.මගේ දෑත් ඇය සිර නොවී නමුත් මිදෙන්නට නොහැකි මෙන්ම අපහසුවක් නොවන පරිදි වෙලී තිබුණි.ඇය හිස මාගේ දකුණු බාහුවේ තබාගෙන සිටි නිසා හිස මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් ගොඩ සුළං හඬ අසමින් සඳ අර්ධයක් පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන අඳුරක රල බිඳෙන හැටි බලා සිටියාය.


මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.


ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.


මම මුහුද දෙස බැලීමි.

Tuesday, March 14, 2017

කළුවර

ඔවුන් කාමරයෙන් පිටව ගියේ විදුලි පහන නිවාගෙනය.


මේසය අසල වැටි සිටි මිනිසා කෙඳිරියක් නංවමින් උඩුබැලි අතට හැරෙන්නට විය.උණ්ඩ කිහිපයකින් පසාරු වී ගොස් ඇති තම සිරුරේ ප්‍රාණය වැඩි වෙලාවක් රැඳී නැති බව ඔහුට දැනුණි.

හෙතෙම ජැකට්ටුවේ දකුණු සාක්කුවට අත දමා බැලිය.තැලී පොඩිවී ගිය සිගරට් පැකට්ටුව එලියට ගෙන එහි අත යැවූ විට යම්තමින් නැවි ගිය එක සිගරට්ටුවක් සුරක්ෂිතව ඇති බව ඔහුට දැනුනි.මඳක් සැනසුමට පත්වූ එය මුවේ රුවාගෙන ඔහු අනෙක් සාක්කුවෙන් ලයිරටය ගෙන දැල්වීමට දැරූ අසාර්ථක තැත් කිහිපයකින් පසුව හොඳින් හුස්මක් ගෙන සියලු ශක්තිය එයට යොදා සිගරට්ටුව පත්තු කළේය.

නමුත් ඔහු ආග්‍රහණය කලේ සුපුරුදු දුම්කොළ හා තුනී කඩදාසි දැල්වෙන සුවඳක් නොව ස්පොන්ජයක් පිළිස්සෙන සුවඳකි.ඔහුගේ මුවට නීරස කහට රසයක් දැනුණි.


කාමරයෙන් ඉකි බිඳුමක් නික්මිණි

Saturday, September 24, 2016

ස්කොට්ලන්තයේ ජාතික සත්වයා

මමයි අන්තිමේට ඉතුරු වුණේ.අනික් ඔක්කොම මැරුණා..එක එක කාලවල..ඒත් මගේ වර්ගයා මැස්සො වගේ මැරිලා යන්න පටන් ගත්තේ අඳුරු යුගයේදී මායාකාරියන් අතින්.අපේ අං වල තිබ්බ මායා බලයට ආසාවෙන්...අහු වුණු අයව.... මරල දැම්ම.මායාකාරියෝ...කඟවේන අං අඳුරු මායාවලට යොදාගත්තා.

මම මේ ලොකෙට ආවේ කොහොමද කියන එක මට දැන් අමතකයි.ඒක එච්චර ලොකු කාලයක්.ඒත් දන්න කියන දවසක ඉඳන්මම මම තනියම හිටියේ.මිනිස්සු කවුරුවත් නැති සත්තු විතරක් හිටපු විල්,කඳු ගංගා පිරුණු නිල් මිටියාවතක.එක ගිම්හානයක තමයි මට මගේ වෙනස තේරුණේ.ඉර එළිය මගේ අඟේ වැඩිලා දේදුන්නක් විදිහට පරාවර්තන වෙද්දි...මම හුලඟ උඩට නැංගා.ඉර එළිය තියන ඕනේ වෙලාවක මට ඒ සැහැල්ලුවත් එක්කම අහසට නගින්න පුළුවන් වුණා එදායින් පස්සේ...

තරුණ කාලෙදි තමා මට මුලින්මම පියාසැරියකදි මගේ වර්ගයේ තව කෙනෙක්ව හම්බුණේ.එතකොට තමා මම දැනගත්තේ මම විශේෂිත කෙනෙක් නෙවේ අතරමං වුණු තවත් එක පරාණයක් විතරයි කියලා. පළවෙනි වතාවට මගේ අදහස් තව කෙනෙක් එක්ක චිත්ත සංවාදයක් විදිහට බෙදාගන්න ඉගෙන ගත්තේ එදා...ඒ වගේම මට මගේ වර්ගයා ගැන තිබ්බ ප්‍රශ්න ගොඩක් එදා නිරාකරණය වුණා.මායාකාරියෝ බලවත් වුණු අඳුරු යුගය ඊට පස්සෙ පටන්ගත්තා...ඊට පස්සෙ උගුල් අටවලා,පළිඟු බෝල වලින් අන්ජනම් බලලා අපේ වර්ගයා හොයන්න පටන් ගත්තා.හොඳ වෙලාවට මායාකාරියන් විනාශ කරන්න නයිට්වරුන්ට රජුගේ අණ ලැබුණු නිසා අතලොස්සක් බේරුණා.ඒත් ඒ අයත් මැරිල ගියා වයස්ගතබව නිසාම පස්සෙ කාලෙක.

ස්වාභාවික මරණයට අභියෝග කරන්න පුළුවන් විශේෂ කඟවේනෙක්ට විතරයි.මොකද ඒක ඉතාම දුශ්කර ක්‍රියාවක් නිසා.වයස්ගත වෙලා මැරෙන්න යනව කියල තේරෙද්දි ගල්පර්වතයකට ගිහින් මායා අඟ සම්පූර්ණෙන් ගෙවිල යනකල් ගලේ අතුල්ලන්න ඕනේ.එතකොට මායා බලය නැතිවෙලා යනවා.හෙල්ලෙන්නවත් ශක්තියක් එන්නේ නෑ.සති ගාණක් වැතිරිලා ඉන්න ඕනේ.මැරුණනම් හොඳයි කියල හිතෙන තරම් දුකක් ඒක.ඒත් 21 වෙනි දවසේ දැනෙනවා ආයෙත් මායා බලය වැඩෙන්න අරන් අඟ හෙමීට හෙමීට දික්වෙන්න පටන් ගන්න එක.

ඉතින් දැන් මගෙ වයස්ගත වීම නිසා මම මේ ප්‍රතිකර්මය ආයිත් කරගන්න යන්නේ.අවුරුදු 300කින් පස්සේ.මගේ වර්ගයාගෙන් ඉතුරු වුණේ මම විතරක්ම වුණාට මම එහෙම ලේසියෙන් ජීවිතේ අතාරින්නේ නෑ...ඔවු එහෙනන් මම දැන්මම වැඩේ පටන් ගන්නවා.



*****



දොස්තරවරයා කැමරා මොනිටරය මඟින් රෝගියාගේ කාමරය නිරීක්ෂණය කළේය.ඉන් පසු පටිගතකිරීමක් ඇරඹීය.

"දිනය 24-12-2014 වේලාව 1615,මම දොස්තර ග්‍රැහැම් එරික්සන්, ඩාට්මුවර් රෝහල ස්කොට්ලන්තය,පරීක්ෂණ අංක 66,රොජර් වොලස් රෝගියා.. මම අපේක්ෂාකළ පරිදිම ඔහු කලින් වතාවන්වල මාසිකව කරපු දෙයම ඒ වේලාවටම අද දිනයේත් කරමින් සිටිනවා .ඔහු තම හිස බිත්තියේ අතුල්ලනවා... සෙමෙන් රිද්මයානුකූලව...තව විනාඩි කිහිපයක් යනතුරු නිරීක්ෂණය කර සාත්තු සේවකයින් කැඳවීමට අපේක්ෂා කරනවා.දැනට එපමණයි"

'ටුක්' යන හඬින් පටිගත කිරීම නැවතුණි..


Sunday, July 17, 2016

සුදු චොකලට්...


එකම පුතු දෑවුරුද්දකට පසු ජර්මනියේ සිට නිවසට පැමිණියේය.

නිවාස තීන්ත ගා තිබුණි.බිම පොලිෂ් කර ලිස්සන තරමට ඔප වැටි තිබුණි.


ජිවිතයේ පළමු වතාවට මවුපියන් වයස්ගත වී ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


ඔවුන් නිවාස පිරිසිදු කිරීම් වලට දරා තිබු දැඩි උත්සාහය හා පරිශ්‍රමය සබන්ධයෙන් පුතුට මහත් අනුකම්පාවක් දැනුනි.නමුත් දූවිල්ල,දුර්වර්ණ වීම් කලකට පසු දුටු නිසා ඔහුගේ සිතේ තිබූ කුඩා අප්‍රසන්න හැඟීම සම්පුර්ණයෙන්ම ඉවත් වී නොතිබුණි.

දින දෙකකට පමණ පසු හෙතෙම තම ගමන් මළු වල අසුරා තිබු තෑගී බෝග සහ ඇඳුම් ආයිත්තම් පිළිවෙලකට සකස් කිරීම ඇරඹිය.

තම නිවැසියන් සඳහා ඉස්තරම් ගණයේ අදුරු චොකලට් එකක් ගෙන කඩා ශීතකරණයේ දැමිය.ඒ තරම්ම වටිනා තවත් සුදු චොකලට් පැකට්ටුවක් ගෙන ශීතකරණයේ පහල තට්ටුවේ තිබු ට්‍රේ එක සහ ශීතකරණයේ ඇතුළු බිත්තිය අතර ඉඩේ සැඟවිය.ඒ තරමක රස්නයක් තිබු දින කිහිපයකි.


ඉදිරි දින දෙකේ නෑගමන් යෙදී තිබුණි.
දිගින් දිගටම එකම ප්‍රශ්න නාමාවලියකට පිලිතුරු දීමෙන් ඔහු හෙම්බත් වී තිබුණි.හම්බර්ග් වල සොබා සෞන්දර්ය සහ ඔහුගේ අධ්‍යාපනය,කල අමතර රැකියා ආදිය දිගු කතාවක් ලෙස ටේප් කරගෙන කැසට් පිස් බෙදාදීමක් වැනි විකාර අදහස් පවා ඔහුගේ මනසට ඇතුළු වී තිබුණි.

වටින් ගොඩින් ඔහු ජර්මානු සුද්දියන් ගැන දක්වන ආකල්පය ගැනත් දැනගැනීමට උනන්ඳු වූ නෑයින් බොහෝ සිටියහ.නමුත් ඔහු විසින් ජර්මනියේ සිටින කාලය තුල ලංකාවේම යුවතියක් හා දිගු කාලින සන්නිවේදනයක් පවත්වාගෙන ගිය බව මවුපියන්වත් නොදැන සිටි කාරණයක් විය .අධ්‍යාපන කටයුතු නිමවී නැවතත් පැය 4ක් පමණ අමතර රැකියා වල නිරතවී හෙම්බත්ව සිටියදී ලැබූ ලොකුම සැනසුම ඇය හා කතාකරන විනාඩි කිහිපය බව දැන සිටියේ ඔවුන් දෙදෙනා පමණි.කාල වෙනස,අධ්‍යාපන කටයුතු,අධි මිලැති දුරකථන කාඩ්පත් මේ කිසිවකටත් ඔවුන්ගේ මේ කුඩා වෙලාව උදුරාගන්න නොහැකි වී තිබුණි.

නෑගමන් වලින් තම තෑගී බෝග අහවර කරගත් පසු ඔහුගේ මල්ලේ ඉඩ එහෙම පිටින්ම ඉතිරි විය.ඊළඟ දිනයේ උදෑසනම තමන් ගෙනා චොකලට් කෑල්ලක් රස බැලීමට සිතු නිසා ශීතකරණය විවෘත කල ඔහුට තරු පෙනුනි.

සුදු චොකලට් පැකට්ටුවේ ඇසුරුම විවෘත වී කුඩා කැබලි දෙකක් අතුරුදහන් වී තිබුණි.ඔහු මවට කෑගසා කතාකර එය පිලිබඳ විමසුවේය.

අදුරු කළු පැහැ චෝකලට්ටුව මව එතරම් කැමති වී නැත්තේ සිනි මඳකම නිසාවෙනි.ඇය ශිතරණයේ පහල 'වැටි සිරවී' තිබු සුදු චොකලට් පැකට්ටුව දැක ඇත්තේ අහම්බෙනි.කිසිදිනක සුදු චොකලට් දැක නොතිබූ නිසා එය අත්හදා බැලීමට සිතුවාය.නමුත් එහි රස කිසිසේත්ම චොකලට් රසක් නොවිය.හරියට කිරි වලින් පමණක් සෑදුවක් මෙනි.එමෙන්ම ඇය හෝ පියා මේ චොකලට් ජාති දෙකටම අකමැති බැවින් සියල්ල පුතුට සිත්සේ භුක්ති විඳිය හැක.


පුතු මවුපියන්,ඇය හා තම ලැජ්ජාව අතර මොහොතකට අතරමන් විය.
.
.

''මොනවද ගෙන්න ඕනේ? කියන්නකෝ ඔච්චර වාත වෙන්නේ නැතුව''

ජර්මනියෙන් පැමිණීමට දින කිහිපයකට පෙර ඇය හා දුරකථන සංවාදයේ යෙදුනු අවසාන වර ඔහුට සිහිපත් විය....


''හ්ම්...එහෙමද... එහෙනං ලොකු දෙයක් නෙවේ...පුළුවන්නම් ගෙන්නකෝ සුදු චොකලට් එකක්....ජර්මන් සුදු චොකලට්''

Wednesday, June 1, 2016

පොඩි නම

ඒබරන් සීයා මේස් බැනියම අඳින්නේ තරමක් වැදගත් ගමනක් යනවිට පමණි. ඔහු අත්දිග සුදෝසුදු කමිසයත් හැඳ අල්ලපු ගමේ පන්සලේ ආවාස ගෙයි තිබූ මිටි බන්කුවේ වාඩිවී ලොකු හාමුදුරුවන් සමඟ පිළිසඳරක යෙදී සිටියේය.

හාන්සි පුටුවේ සිටි හාමුදුරුවන් බුලත් විටකුත් හපමින්ම සිටීම ඔහු තරමක් නොසන්සුන්තාවයකට පත්කළත් ඉවසා සිටියේ ආවාස ගෙයි දක්නට ලැබුණේ හාන්සි පුටුව ලඟ තිබූ එක පඩික්කමක් පමණක් බැවිනි.ලොකු හාමුදුරුවන්ගේ ගෝල දෙනමම තමන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට බැහැර වී සිටියහ.පන්සලේ සිටියේ වපර කොර ගසමින් ගිය බණ්ඩා හා ඒබරන් සීයාගේ සනුහරේ ඉතිරිව සිටි කුඩා මුණුපුරා පමණි.අනෙක් නෑයින් අන්ත දුප්පතුන් වූ අතර යමක් කමක් කරගත් නෑයින් ගැන දිගු කලෙකින් ආරන්චියක්වත් නැතිවිය.පස් හැවිරිදි මුණුපුරා මහණ වූයේ ගිය මාසයේදීය.ඒබරන් සීයා මේ පොඩි උන්නනාන්සේ මහණ වූ පසු බැහැදකින්නට පැමිණි පළමු වතාවයි.


හාමුදුරුවන් ' ඉස්තානය' දියුණු කරමින් සිටියහ..ශීට් අයින්කර ආවාස ගෙය උළුවලින් සෙවිලි කර තිබුණි.අළුත් මේසයක් හා උයනගෙයට අවශ්‍ය දේවල් ලබාගෙන තිබුණි.උන්වහන්සේ ලඟදී සැලසුම් කරන්නේ කුඩා බණ මඩුවේ පරණ ටකරන් ඉවත්කර ශීට් දැමීමටයි.රටේ වාතාවරණයද කථාකිරීමෙන් පසු ඒබරන් සීයාට යායුතු වේලාව පැමිණ ඇති බව හැඟෙන්නට විය.මිටි බන්කුවේ වාඩි වීම හන්දිපත් රෝගියකු වූ ඔහුට තරමක් ආයාසයක් ගතයුතු දෙයක් වුවද නැඟී සිටින්නට එවැනි දෙගුණයක ශක්තියක් අවශ්‍ය බව ඔහුට දැනුණි.හැරමිටිය නොවේනම් එය මීටත් වඩා දුෂ්කර වනු ඇත.ලොකු හාමුදුරුවෝ ලඟට ගොස් අපසුවෙන් තුනටිය නවා අවසර ගත් ඔහු වටපිට බැලුවේය.ලොකු හාමුදුරුවෝ හඬ නඟා කථාකළහ.


''පොඩි නම...කෝ මේ පොඩි නම.ඒබරන් ආපුවෙලේ මූණ බැලුවා විතරයි මේ ටිකට කොහේ ගියාද??''


කඩිමුඩියේ දිව එන සිහින් අඩි ශබ්දයක් ඇසුණි.ආවාස ගෙය දොර ලඟට පැමිණි විට අඩි ශබ්දයේ වේගය අඩුවිය.පොඩි නම සෙමෙන් පැමිණ ආවාස ගෙයි දොරකඩෙන් ඇතුළුව බිම බලාගෙන සිටින්නට විය.උන්වහන්සේ සිතා සිටියේ ඒබරන් සීයා දෙතුන් දොහක් වත් නවතියි කියාය.සෙමෙන් සෙමෙන් තමන් කරා පිය මණින තමන්ට එකල සිටි එකම හිතවතා තකහනිකයක්ම ආපයින් යාමට සැරසීම ගැන උන්වහන්සේට තරමක් නොපහන් සිතක් විය.


පන්සලේ පිවිසුමට ඒබරන් සීයාව කැටුව ගිය ලොකු හාමුදුරුවෝ ත්‍රී වීල් එකකට එන්න පණිවිඩය යවා තිබුණි.ඔවුන් පිවිසුමට පැමිණෙන විටම ත්‍රී වීල් එක පැමිණ වන්ගුවක් කපා අනෙක් පැත්තට හරවා ඒබරන් සීයා එනතුරු සිටියේය.ඒබරන් සීයා නැවතත් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන පොඩි නම දෙසත් බැලුවේය.


එක්වරම බිම දණගසා පොඩි නම ඒබරන් සීයාට වැන්දහ.ක්ෂ්ණයෙන් සිදුවූ මේ වළක්වාගත නොහැකි වූ ක්‍රියාව නිසා ඒබරන් සීයා අසරණව ලොකු හාමුදුරුවන්ගේ මුහුණ දෙස බැලීය.


 ''හා හා ඒබරන්,ඒකට කාරියක් නෑ..තාම එහෙම තේරුමක් තියන එකක්යැ.ආ,මෙන්න මේ රුපියල් හැට ඔය ත්‍රී වීල් කරයට දෙනව බහිනකොට.දැන් සුනන්ගු නොවී ගියානන්,නැත්නම් බස් එක මඟ ඇරෙයි.'' 

ලොකු හාමුදුරුවන් වදාළහ.ඒබරන් සීයා ත්‍රී වීලරයට නැග්ගේය.
ත්‍රීවීලරය නොපෙනෙන තුරු බලා හුන් ලොකු හාමුදුරුවෝ පොඩි නමගේ කණින් ඇදගෙන ආවාස ගෙය පැත්තට වඩින්නට වූහ..

Wednesday, April 27, 2016

අලි පේර..

සියල්ල සූදානම්.

මම චකිතයකින් යුතුව පාස්පෝට් හා ගුවන් ටිකට්පත ඇති බව සැක හැර දැනගතිමි. තුන් හැවිරිදි පොඩි එකා මූණ එල්ලාගෙන සිටී.නොතේරෙන වයසක සිටියත් ඌට යමක් දැනෙනවා විය යුතුය.
ඥාති පුත්‍රයකු වූ රවී මට කවදත් හිතවත් හා උසස් පෙළ ප්‍රථිපල එනතුරු ඉන්නා බැවින් මේ දින දෙක තුනට මට සහය වීමට පැමිණියේය.බිරිඳ බොහෝ කලකට පෙර සිටම සැලසුම් කළ පරිදි අනුරාධපුරයේ දානමය කටයුත්තකට ගොසිනි.මම පිටත් වීමට පෙර එන බව කියා සිටියත් පැයකට පමණ කලින් ඇය හදිසි ප්‍රමාදයක් නිසා හවස් වරුවේ එන බව දැනුම් දුන්නාය.දහවල වන්නට පෙර මම ඇණවුම් කළ වාහනය ඒමට නියමිතය.
මඳ වේලාවක් ඉතුරුව තිබූ බැවින් පොඩි එකාගේ අමිහිරි වීමට යන මතක සටහන මඳක් තනුක කිරීමට සිතාගතිමි.


පෙරේදා අපගේ අලිපේර ගස් දෙකින් කැඩූ අලිපේර ගෝනියක් පමණ අප සතුව ඇත.පොඩි එකා අලිගැට පේර පානයට ඉමහත් කෑදර කමක් දක්වයි.


''පුතා,අලිපේර එකක් හදන්නම්??'' මම විමසූවෙමි.

ඇඹුල් කරගත් මුහුණ සොලවා ඌ එයට අනුමැතිය පළකළේය.මේ අතර රවී මැදිගත් විය. ''ඉන්න බාප්ප,ආය කුස්සියට යන ඕනේ නෑ..මම හදල දෙන්නම්.'' මම කිසිවක් කීමට පෙර ඔහු කුස්සියට ගියේය....

විනාඩි කිහිපයකින් ඔහු පොඩි එකාගේ කෝප්පයකට එය සාදා ගෙන දුන්නේය.

පොඩි එකා ඉන් උගුරක් බිව්වේය,මුහුණ තවත් ඇඹුල් කරගත්තේය,ඉන් පසුව කෝප්පය ඉව කර බැලීය.ඇඬීමට ඔන්න මෙන්න මුහුණ සාදාගෙන කට ඇදකරගත්තේය.''කිලි දාලා'' කියමින් මරහඬ තලා කෝප්පය පොළවේ ගැසීය...

වරද මාගේය.අලිගැට පේර වලට කිරි පිටි එකතුකිරීමට ඌ අකැමැති බව මට රවීට දැනුම් දීමට අතපසු විය.රවී අන්දමන්ද වී මා දෙස බැලුවේය. එවිටම හෝන් හඬක් ගේට්ටුව පැත්තෙන් ඇසුණි.

මම රවීගෙන් සමුගෙන, පොඩි එකා බඩගාගෙන මරහඬ දෙමින් හඬන ආකරයත් අසාගෙනම, බරවූ හදවතින්, ලගේජය ඔසවාගත් රියැදුරාත් සමඟ ඩෙලිකා වෑන් රිය කරා ගියෙමි.

Tuesday, April 26, 2016

අත්තම්මා..


ලොකු අත්තට අසනීප වෙලා අත්තම්මා ගමෙන් අපේ ගෙදර එක්කගෙන එද්දී මට අවුරුදු 8ක් වගේ වෙන්න ඇති.නාවලපිටියේ හිටපු අත්තම්මට කොළඹ අපි හිටපු ෆ්ලැට් එකේ ජීවිතේට හැඩගැහෙන්න කොච්චර අමාරු වෙන්න ඇත්ද කියල මට තේරෙන්නේ දැන්.

ලොකු අත්තා ග්‍රාම නිලධාරි කෙනෙක්.තාම ලොකු අත්තගේ ගෙදරට ගමේ මිනිස්සු කියන්නේ ආරච්චි ගෙදර කියලා.කාටවත් යටවෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය අකුරටම කරපු  නිලධාරියෙක්.ඒ කාලේ තනියම දහදෙනෙක් එක්ක වුනත් හැප්පෙන්න තරම් දහිරියක් තිබ්බ මනුස්සයෙක් කියල තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් අන්තිම කාලේදී අංශබාගෙන් ඔත්පල වුණු පාර අඩුම ගානේ කතාකරගන්නවත් බැරි වුණා.මහ ගෙදර පදිංචි වෙලා හිටිය මාමා ලෙඩාව බලාගන්න මනුස්සයෙක් මහා ගෙදරට ගෙන්න ගත්තා.අත්තම්ම හිටියේ හරි හිතේ අමාරුවෙන්.අත්තට හරියට සාත්තුවක්වත් කරන්න බැරිවුණු එක ගැන.අත්තම්මත් එකතකොට ලෙඩින්.

 අත්තගේ ලෙඩේ එක්ක අත්තම්මත් සෑහෙන්න මානසිකව වැටුණා.නිතර නිතර දේවල් අමතක වෙන්න ගත්තා.අත්තම්මගේ තත්ත්වේ බරපතල බව අපේ අප්පච්චිට තේරුණේ දවසක් අත්තම්මා ඉස්පිරිතාලේට ගෙනියන්න වුණහම.අත්තම්මා එක පාරකට ගන්න ඕනේ බෙහෙත් පෙති හතරපාරකට වඩා අරන් තිබ්බ.බලද්දී අත්තම්මට හරියට නිච්චියක් නැතිවෙලා,බෙහෙත් ගත්තේ නෑ කියල හිතල තමයි බිල තියෙන්නේ සැරින් සැරේ.

මාමත් වැඩට යන්න ඕනේ නිසා කරන්න තිබ්බ හොදම වැඩේ තමා අත්තම්මව අපේ ගෙදර අරන් එන එක.කාමර දෙකෙන් පුංචි කාමරේ අත්තම්මට වෙන් කළා.අත්තම්මගේ බෙහෙත් ඔක්කොම අප්පච්චි තමන්ගේ භාරයට ගත්තා.කෑමෙන් පස්සේ අප්පච්චි තමයි බෙහෙත් දෙන්නේ.ඉතින් මගෙත් ඉස්කෝලේ නිවාඩු කාලේ වුණු හින්දා මමත් අත්තම්මගේ කතා අහ අහ තමයි හිටියේ.අත්තම්මා එතකොට ලොකු අත්ත ගැනයි තමන් ගැනයි පරණ කතා කියනවා.

අත්තම්මා තමයි පවුලේ වැඩිමලා.අත්තම්මා අටේ පන්තියේ ඉන්නකොට අත්තම්මගේ අම්ම නැතිවෙලා.ඊට පස්සේ අත්තම්මවයි බාල හතර දෙනාවයි බලාගන්න අත්තම්මගේ අප්පච්චි කුඩම්ම කෙනෙක් ගෙනල්ල.කුඩම්ම මුලින්ම නපුරුකම් පෙන්නලා නැහැ.ඒත් ටික දවසකින් කුඩම්මට දරුවෙක් ලැබෙන්න ගිහින්.ඉතින් පවුලේ ඔක්කොම වැඩ බලාගන්න වෙලා තියෙන්නේ අත්තම්මට.අත්තම්මා ඉස්කෝලේ යන එක නවත්තල ගෙදර සුද්ධ කරන එක,කෑම හදන එක,කුඩම්මට නාන්න වතුර උණු කරන එක,රෙදි හෝදන එක,දර හොයාගන්න එක වගේ ගොඩක් වැඩ තනියම කරන්න වෙලා.මොකද අත්තම්මගේ නංගිලා මල්ලිලා පුංචි වැඩි නිසා.කුඩම්මටත් ඉක්මණට තරහ යන්න පටන් අරගෙන ඒ කාලේ,පොඩි අතපසුවිමකට වුණත් අතට අහුවෙන එකින් අත්තම්මට දමල ගහනවලු.දවසක් කුඩම්මා ගෙනාපු පැට්‍රොමැක්ස් ලාම්පුව අත්තම්මා පත්තු කරන්න හදද්දී ඒකේ මැන්ටල් එක වැටිලා.අත්තම්මට හොඳටම බය හිතිලා වත්ත ළඟ තිබ්බ කැලෑවේ හැංගෙන්න ගිහින්.

ඊට පස්සේ අත්තම්මගේ අප්පච්චි වැඩ ඇරිලා ඇවිත් ගමේ මිනිස්සුත් එක්ක අත්තම්මා හොයාගෙන එදා රෑම හුළු අතු පත්තු කරගෙන ගිහින්.අත්තම්මා ඒ කැලේ ගල් තලාවක් උඩට වෙලා අඬ අඬා ඉද්දි තමා හොයාගෙන තියෙන්නේ.අත්තම්මගේ අප්පච්චිට තරහ ඇවිත් ගහන්න යද්දී ගමට අළුතින් ආව ආරච්චි මහත්තයා තමා අත්තම්මව බේරාගෙන තියෙන්නේ.'මැන්ටලේ වැටුණු එක ඔහේගේ වරදක් නෙවෙයි ළමයෝ,ඒකට අලුතින් මැන්ටලයක් දාන්න පුළුවන්' කියලා ආරච්චි මහත්තය කියලා.කුඩම්මට පුතා හම්බවෙලා ටික දවසකට පස්සේ අත්තම්මව කැන්දාගෙන යන්නේ ඒ ආරච්චි මහත්තයම තමයි.''අපේ මහත්තයා තමා මාව ගලවාගත්තේ,දෙයියනේ කොහොම හිටපු මනුස්සයෙක්ද'' කියල කඳුළු ඔසරි පොටෙන් පිහින ගමන් අත්තම්මා කියනවා.

අපෙ ගෙදර ආවට පස්සේ දවස් දෙක තුනක් එච්චර විශේෂයක් නැතුව ගෙවිලා ගියා.ඒත් අත්තම්මට ආයෙත් අමතක වෙන ලෙඩේ උත්සන්න වුණා.බෙහෙත් බිල විනාඩි පහළවක් යන්නත් කලින් ආයෙත් අත දික්කරනවා අප්පච්චිට ''පුතා බෙහෙත්'' කියාගෙනම.''බෙහෙත් දුන්නන්නේ අම්මා'' කිව්වම සද්ද නැතුව ගිහින් ආයෙත් එනවා.ඉතින් මේකට කරපු වැඩේ තමයි බෙහෙත් දුන්නහම අත්තම්මගේ අතට ටිකක් මහත රබර් බෑන්ඩ් එකක් දාපු එක.බෙහෙත් ඉල්ලගෙන එද්දී අතේ දැම්ම රබර් බෑන්ඩ් එක පෙන්නනවා.මෙහෙම රෑ වෙද්දී එකතුවෙන රබර් බෑන්ඩ් තුන ගලවන්නේ අත්තම්මා නිදාගන්න කලින්.ඒත් ඒ වැඩෙත් හරිගියේ නෑ කියල තේරුණේ අත්තම්මා රෑ දෙගොඩහරියේ බෙහෙත් ඉල්ලලා අපේ කාමරේට තට්ටු කරපුවහම.සාමාන්‍යෙන් ගොඩක් ඉවසීමක් තියන අප්පච්චිට මේක දරාගන්න අමාරු වෙලා හොදටම බණින්න පටන් ගත්තා.අත්තම්මා කරබාගෙනම තමන්ගේ කාමරේට ගියා.

එදා උදේ ආයෙත් නින්ද කැඩුනේ ආව කෝල් එකක් නිසා.කෝල් එකට වචනෙන් දෙකෙන් උත්තර දුන්නු අප්පච්චිට තව දුරටත් නිදිබර ගතිය පෙන්න තිබ්බේ නෑ.අම්මා දිහා බලාගෙන අම්මගේ ඔලුව අතගෑව.අම්මා අඬන්න ගත්තා.ලොකු අත්තා නැතිවෙලා.

අපි අත්තම්මත් එක්ක ආයෙත් ගමට ගියා.ඒත් අත්තම්මට දුක දරාගන්න බැරි වෙයි කියල ගේ ලං වෙනකල් කිව්වේ නෑ.මටත් කිව්වා මොනවත් කියන්න එපා කියලා.අත්තම්ම ලොකු සතුටකින් හිටියේ කුකුල් කොටුවක වගේ හිරවෙලා ඉඳලා ආයෙත් ගමට යන්න පුළුවන් වුනු එක ගැන.ඒත් ගේ ලං වෙද්දී අත්තම්මට වෙනස තේරුණා.වාහනෙන් බැස්ස ගමන් මිනිස්සු මැදින් සාලෙට ගිහින් එතන තියල තිබ්බ ලොකු අත්තා දිහා බලාන හිටියා.එවෙලාවේ ඉඳන් දවස් තුනම එතනින් හෙල්ලුනේ නැහැ.හැමෝම හිතුවේ අත්තම්මට හිතේ අමාරුවටම පපුවේ අමාරුවක් හැදෙයි කියලා.
ඒත් ආදාහනෙන් පස්සේ අත්තම්මා කිව්වා ''අපේ මහත්තයා දුක් විදිනවා මට වාවන්න බැරිව හිටියේ...මෙහෙම කෙළවරක් වුනු එක හොදයි'' කියලා.

එදායින් පස්සේ අත්තම්මට කවදාවත් අමතක වුණේවත්,එක පාරකට වඩා බෙහෙත් ඉල්ලුවේවත් නෑ

Sunday, April 24, 2016

කුඩේ

දවසක් එයැයිට එයාගේ කරන්න යන වැඩක් ගැන අදහසක් දෙන්න කියල මට කෝල් කළා...අදහස දක්වපු ආකාරය ගැන එයා මෙහෙම අදහසක් දැක්කුවා..

"ඇයි ඔයා ඔච්චර තදින් කථා කරන්නේ මට.ඔයාගේ වොයිස් කලර් එකනම් අද සෑහෙන්න වෙනස්.හරි හරි මම පස්සේ කථාකරන්නම්,බොහොම ස්තූතියි අදහසට...බීප් බීප්!"

ඇත්ත,මම කවදාවත් එයාට කෙලින්ම දෙයක් කිව්වේ නැහැ..කිසිම අනුබලයක් නැති නිසා සම්පූර්ණෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් එකක් විදිහට මම පෙන්නුවේ..එයත් ඕනේම ප්‍රශ්නෙකදී මට කථාකරනවා..ඒත් සිද්ධිය ගැන මට මාර අප්සෙට්..මම හැරෙන තැපෑලෙන් මෙසේජ් එකක් කෙටුවා...

"Mama thama maha pare.gedara yana gaman.wahana saddeth ekkama meheta ho gala wahinawa. :(  ekai tikak sadden kathakaranna wune apahadili weyi kiyala....."

ගෙදෙට්ට ඇවිත් ආයේ ෆෝන් එක අතට ගත්තේ..රිප්ලයි නෑ...හිටහන්කෝ කියල තව එකක් කෙටුවා.

"dan gedara awe.thama akunu gagaha wahinawa.dan naganna kiyala lasthi wune hondatama themuna ena gaman.oyage wade karaganna puluwan wunu eka gana sathutuyi.oyata mara sanwedeethawayakne thiyenne voices gana! ;) "

හැබැයි මම අදහස් කලේ ඒක නෙවේ...මට කියන්න ඕනේ වුනේ..

"ගෑණියේ වැඩ ඉවර වෙලා දාරාණිපාත වැස්සේ තෙමි තෙමි පාර දිගේ ගෙදෙට්ට දුවන ගමන් තමා මම බොගේ ඔය උලව්වට අදහසක් දුන්නේ..ඒ වෙලාවේ අකුණු ගැහුවත් මම ෆෝන් එක තිබ්බේ නෑ.ඒත් ඒ එක දෙයක් වත් නෙවේ බොලා නෝටිස් කලේ ..වැඩේ කරගත්තටත් පස්සේ මගේ මඟුල් වොයිස් කලර් එකක් ගැන.,ගොන් වැස්සි"

මම හිතන්නේ නැහැ ඒක ඒකිට තේරුනයි කියලා...ෆෝන් එක පැත්තකට දාල කාමරේට යද්දි දැක්කේ...මට පරිප්පුවක් සෙට් වෙන්න හේතු වුණු අමතක වීම!

මගේ කුඩ රාජයා...

මිනිස්සු කුඩ ගැන සැලකිලිමත් වෙන්නේ වැස්ස කාලෙට විතරයි..එතකල් පැත්තකට දාල තියනව...පායන කාලෙකට ඒක දූවිලි කකා ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්නවා වහිද්දි වැහි වතුර වලින් දිලිසි දිලිසි අයිතිකාරයගේ අතින් එළියට බහින්න.කුඩේක අගය දැනෙන්න වහින්නම ඕනේ....මම දිග හුස්මක් ඇදලා අතීතය මතක් කරගත්තා..ඊට පස්සේ එයාට මගේ අන්තිම මැසේජ් එක ටයිප් කළා...

"Mama kudayak newe... MANUSSAYEK!!"