Sunday, May 22, 2022

වික්ෂිප්තය

මම ඉතින් මේ

සුනිලවන් විල් තෙරය

ඔබේ ප්‍රතිබිම්බය 

වරින් වර කළඹවන

Wednesday, May 18, 2022

ප්‍රීති වෙසක්

නැගෙනහිර පැසිෆික් සාගරය ජාත්‍යයන්තර දින රේඛාව හරහා තරණය කර,ඇලස්කාව හරහා ජපානයට මාලු ගෙනයන කුඩා නෞකාවක මාගෙ පළමු පුහුණු වාරය ගෙවුණි.

සෑම පුහුණුවකම මෙන් මෙහිදීද මාගේ කාල පරිච්ඡේදය ගලාගියේ තද පාලන නීති රීති වලට යටත්වය.කෙසේ වුවද සියරට කිසිවකු නොමැතිව ජාතීන් කිහිපයක් සමඟ වැඩකිරීමට සිදුවීම නව අද්දැකීමකි.මෙයින්ද පිලිපීන ජාතික ප්‍රධාන කෝකියා මා සමඟ ඉතා හොඳින් යහලු විය.


නත්තල සහ අනෙකුත් සැමරීම් වලදී ඔහුගේ අතින් නිමවන්නේ විශේෂිත සාදවලට ගැලපෙන ආහාරය.දිනක වැඩ නිමවීමෙන් පසුව හුරුපුරුදු අල්ලාප සල්ලාපයේදී ඔහු මගෙන් ආගම ගැන විමසා සිටියේය.බොහෝ ලාංකිකයින් මෙන්ම මමත් බෞද්ධයෙක් බව කියා සිටියෙමි.ඒ වන විටත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය.වෙසක් යනු බෞද්ධයිනගේ උත්සවයක් බවත් අපගේ ශාස්තෲවරයා ඉපදුණේ ඒ දිනයේ බවත් මම කියාසිටියෙමි.බුද්ධත්වය ලැබීම ගැන නොකීවේ ඒ ගැන ඔහුට සංකල්පීයව තිබූ අනවබෝධය හා අප අතර තිබූ භාෂා පරතරය නිසාවෙනි.


මම එහි සිටි එකම බෞද්ධයා වූ බවද කිව යුතුය.


එක් දිනක මම ආහාර ගැනීමට භෝජනාගාරයට යාමේදී එහි උත්සවාකාරයෙන් සකසා තිබූ ආහාර දැක්කෙමි.රෝස් කරන ලද කළුකුමෙක්,විවිධාකාරයට සැකසූ හරක් මස්,බේකන් සුප් සහ කැරමල් පුඩිම,චීස් කෙක් දැක තරමක් පුදුමයකටත් සතුටක්ටත් පත්වුයෙමි.ප්‍රධාන කෝකියා මාව දැක අතට අත දී 'හැපි වෙසක්' කීවේය.


එදින වෙසක් පොහෝ දිනය බව මටත් මතක් වූයේ එවිටය...


වෙසක් උත්සවය අප සමරන ආකාරය ගැන ඔහුට කලින් කිවීමට නොහැකිවීම ගැන මට කණගාටුවක් මෙන්ම මේ ආකාරයෙන් මාංශමය සැමරීමකට එය මඟ පෑදීම ගැන මම මටම දොස් පවරාගතිමි.ඔහු මෙය වටහගෙන ඇත්තේ බෞද්ධයින්ගේ නත්තල ලෙසයි.කෙසේ වුවද මම ඔහුට ස්තූති කළෙමි. අවංක ලෙස ස්තුතිපූර්වක බව පෙන්විමට මම උත්සහ කළෙමි.


පරිනිර්වාණයද එදිනටම යෙදී ඇති බව ඔහු කලින් නොකියා සිටීම ගැන පසුතැවීමක් ඇතිවිය.


එය දැනසිටියනම් වෙසක් යනු සැමරිය යුත්තක්ද ශෝක විය යුත්තක්ද යන්න සිතාගත නොහැකිව ඔහු පත්වන ව්‍යාකූලත්වය වටහාගත් බැවින් ඒ ගැන නොකියාම සිටීමට මම තීරණය කළෙමි.


(ප්‍රබන්ධයකි)

Saturday, April 30, 2022

මාර පරාජය

 ඈෂ්ට්‍රේ එකේ දාරයක නිදැල්ලේ පත්තුවමින් තිබූ සිගරට්ටුව ගෙන අලු කඩා, උගුරක් ඇද දුම් යවා ඔහු කතාව කරගෙන යන්නට විය.


"සිරාවට මචං, එතකොට අපි හතර වසරෙනෙ. මාර පරාජෙ තේරුණාට මරඟනන්... අඩෝ ඒ කාලෙ මොකක්ද බං උංට කිව්ව වචනෙ... ඔය තණ්හා, රති, රඟාලට... මාර දූතියොද? 


හරි කොහොමහරි මේකනෙ, 

එකෙක් වෙස් ගත්‍තලු තරුණ ගෑණියෙක්ගෙ,


තව එකෙක් මැදිවියෙ ගෑණියෙක්ගෙ,


අනෙක් එකා මහලු ගෑණියෙක්ගෙ.


මුං දන්නෙ නෑ දැන් සිද්ධාර්ථ තාපසය බුදු වෙලා කියල. දැන් දාගෙන නටනවලුනෙ..."


ඔහු නැවතත් සිගරට් උගුරක් ඇද, වීදුරුවේ තිබූ පරණ අරක්කු උගුරට හලාගත්තේය.


"මේ කතාවට මම ආසයි, හැබැයි ඒකෙන් බවුන් කඩන්න උත්සහ කරපු එක මට තේරුමක් තිබ්බෙ නෑ.


හය වසරට වගේ යනකොට මට ලාවට තේරුම් වෙන්න ගත්ත. හැබැයි මට තේරුණේ අර තරුණ ගෑණියක් විදිහට වෙස් අරන් නැටුව එක ගැන විතරයි. අනික් ගෑණු දෙන්න මොන බොරු වැඩක්ද කරන්නෙ කියල මට හිතුණේ."


මෙසේ කියූ ඔහු කාලක් පමණ ඉතුරුව තිබූ සිගරට්ටුව ඈෂ්ට්‍රේ එකේ සිරස්ව ගසා නිමමින් මෙසේ කීවේය.


"හැබැයි මචං මට ඒක අද තේරෙනවා."

Sunday, November 28, 2021

මන්දාරම

වැස්ස වැටෙන්නට සියලු පෙරනිමිති පහල වී තිබුණි. සුළඟක් පැමිණ ටකරම් සොලවන්නට විය. මම කුඩා තේ කඩයෙන් පිටතට පැමිණ ඈත පෙනෙන විවෘත තණබිමට ඉහළින් ඇති අහස දෙස බලා සිටියෙමි. මට පසුපසින් මගේ සඟයා සිගරට්ටුව සහ ප්ලේන්ටියද සමඟ පිටතට පැමිණියේය.


' හෙන මූසලයි නේද බං'


අහස සම්පූර්ණයෙන්ම වළාකුලු වලින් පිරී ගොස් තිබුණි. නමුත් දහවල් කාලය වූ බැවින් සහ හිරු මුවා කළ වළාකුලු  එතරම් තද කලු පැහැ නොවූ බැවින් පැතිර තිබූ දසුනේ අන්ධකාරයක් නොවීය. ඉඳ හිටක අහසින් තේජාන්විත ගිගුරුමක් ඇසුණි. මේ අතර මෘදු සුළඟක් අපගේ දැවටී යන්නට විය. වැස්ස තවම ඇද නොවැටුණු නිසා පාරේ හෝ වටපිටාවේ කිසිම තෙත් බවක් නොවුණි.


' නෑ බං. මේක තමා සිරාම... මම වැස්සට කැමති නෑ. ඒත් මේ වෙලාව, මේ මොහොතෙ තියන සැනසීම... මන්දාරම!!!

 බලපං ඒ වචනෙම කොච්චර ලස්සනයිද?'


සාවඥ මුහුණකින් යුතුව ඔහු තම සිගරට්ටුවෙන් බරැති උගුරු ඇද්දේය. ඒ අතර ප්ලේන්ටියත් ශබ්ද නගා බොමින් ඔහු මට කතාකලේය.


' අනේ යකෝ... උඹට මෙහෙම ඇරිල  තියනකොටත් මේ මූසල වෙලාවෙත් ලස්සනක් පේනවනම්....'


මාගේ සිව් අවුරුදු ප්‍රේමය නිමවී තිබුණි. ඇත්තෙන්ම එය නිමවූයේ මම අපේක්ෂා නොකළ මොහොතක, ඒක පාර්ශ්විකව හේතූන් මතය.


සඟයාගෙන් සිගරට්ටුව උදුරා ගත් මම උගුරක් ඇද දුම යවා කතාකලෙමි. 


' අනේ මන්ද බං. මට ඒකි හම්බුණේ වැරදි බස් එකක ගිහින්, මාව බැස්සුවහම එතන තිබ්බ බස් හෝල්ට් එකේදි. මම ඒකිගෙන් යන්න ඕනෙ බස් එක ගැන විස්තර අහපු එක, ඒ වෙලාවෙ වැස්ස එක, ඒ වෙලාවෙ අපි දෙන්නටම කුඩයක් තිබ්බෙ නැති නිසා හෝල්ට් එකේ හිරවෙන්න වුණු එක වගේ අහම්බයන් ගොඩක් එකතුවෙලා.

මම හරි බස් එකට නැග්ගනම්, මට කුඩේ අමතක නොවුණනම්, ඒ වෙලාවේ වැස්සෙ නැත්තන්...

එහෙමනම් අද මේ තත්වෙ උදාවෙන්නෙ නෑ...'


' උඹට මතකද අනූජයව?' නැවත සිගරට්ටුව ඉල්ලා ගත් සඟයා මගෙන් විමසා සිටියේය.


' අනූජ... නෑනෙ බං'


' ඇයි යකෝ... අහිංසක...'


' ආ...'


අනූජ යනු එකල අපේ පන්තියේ සිටි අහිංසකම ළමයා විය.  පාඩමකදී ' අහිංසක' යන නමට උදාහරණයක් ලෙස ඔහුව ගත් දිනයේ සිට ඔහු ' අහිංසක' ලෙස නම් දැරීය.


' ඉතින් මොකද කේස් එක?'


' ඌට lung cancer එකක් බං. ඒක හොයාගෙන තියෙන්නෙ ටිකක් කල් ගිහින්.'


' හුටා... ඒ කොහොමද??? ඌ කැම්පසුත් ගියානේ... නැහැදුණාද පස්සෙ...'


' නෑ බං අහපංකො. සීන් එක දැනගත්තෙ මම දවසක් ඔඒසිස් එකේදි මූව සෙට් වුණාම. එදා මූ හල්මිල්ල බාගයකුයි ගෝල්ලීෆ් පැකට් එකකුයි තනියම තියාගෙන ගහනවා.'


' ඉතින් යකෝ ආයෙ cancer නොහැදෙයියැ'


සඟයා සිගරට්ටුව මහපට ඇඟිල්ල සහ මැඳැගිල්ල පාවිච්චි කර ඈතට වීසිකර කතාව ඇරඹීය.


' අහපංකො ඉතින්. ඌගෙ සීන් එක මම දැනන් හිටියෙ. ඉතින් මට ෂුවර් නැතුව හිටියෙ මූට මාව දකින එක අවුලක් වෙයිද කියල. මූ මාව දැක්ක. දැක්ක ගමන් නැගිටල ඇවිල්ල හෙන ගැම්මෙන් මාව බදාගෙන උගෙ මේසෙට ගෙන්නගත්ත.


උගෙන් සීන් එක වටෙන් ගොඩෙන් අහනකොට ඌ කෙලින්ම මට කිව්වෙ මෙහෙම,

' මචං. මම ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන් බැලුවෙ හරි දේ කරන්න. නීති පිළිපදින්න, පන්සිල් රකින්න, ආගම ධර්මෙට අනුව ඒ රටාවට හැඩගැහෙන්න. ඒක මමම හෙන ආසාවෙන් කරේ කොහොමත්. මම කැම්පස් එකේ රැග් වුණත් එක්ක, ඒත් මම අයින් වෙනකම් බියර් බින්දුවක් වත් බිව්වෙ නැහැ. කාමරේ උන් ජොයින්ට් පලනකොට මම බ්‍රිස්ටල් එකක් වත් බිව්වෙ නෑ.


මේ cancer එක චෙකප් එකකදි තමා මාට්ටු වුණේ මෙඩිකල් එකක් ගන්න යනකොට. ඩොකානම් කිව්ව මට තාම චාන්ස් තියනව කියල මේක හරිගස්සගන්න.

මම කල්පනා කරා යකෝ, මම මේ තරම් කාලයක් කාපු කට්ටෙ තේරුම මොකක්ද කියල... 

මොන මඟුලක්ද බං... ඊට පස්සෙ දවසක් දෙකක් කල්පනා කරන්න ගත්ත... දවස් දෙකකට පස්සෙ තවදුරටත් මගෙ ඇතුලෙ බයගුල්ලෙක් හිටියෙ නෑ...'


ඉතින් මට මූ හෙන සැහැල්ලුවෙන් මේ කතාව කිව්වෙ. මමත් ඌට පොඩි ආතල් එකක් දෙන්න හිතල ' එතකොට අහිංසක අන්තිමේට අංගුලිමාල වුණා' කියල කිව්ව... ඌට හිනා ගියේ තණකොලත් ගලවගෙනම.'