Friday, December 30, 2022

සයිමා ගැන කැලෑපත්තරයක්!

 ගරු බ්ලොග්වාසී හිතෝතුනී,

පොඩි ආරංචියක් ආවා සයිමා ගැන යම් කිසි ආකාරයක එතරම් කෙටි හෝ දීර්ඝ නොවන සඳහනක් සඳහන් තැනක් ගැන. මේක සෝබනකාරයා කියල පොතක්. හෙන අමුතුම සීන් එකක් කියල බලපු උං සයිමට කිව්වෙ. සයිමානුතල් එකක් කියල.

මෙන්න මෙතනින් ගෙන්නගෙන බලල මටත් කියන්න.




Saturday, August 13, 2022

රට පටලැවිල්ලක මූලක්

 මම හිතන්නෙ ලංකාවට තියන ලොකුම අවුලක් දේශපාලන පක්ෂවල නමේ ඉඳලම ප්‍රතිපත්තියක් නැති වැනෙන සුලු බව.


එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මේකෙ අනු නම් සියල්ල), සජබ, (පොහොට්ටුවෙ නම මතක නෑ) වගේ නම් අරන් බලමු. එකකවත් පැහැදිලිව නෑ ඒව වාමාංශිකද, දක්ෂිණාංශිකද කියල. එහෙම පැහැදිලිවම දැක්වෙන පක්ෂයකට උදාහරණය තමා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදි සමානතා පක්ෂය වගේ ඒව. ඒත් ඒව ප්‍රධාන පක්ෂ නෙවේ.


මේ නොපැහැදිලිතාවය හින්ද ප්‍රධාන පක්ෂ වලට පුලුවන් ඕනෑම වෙලාවක එක කොණක ඉඳන් අනික් කොණට රූපාන්තරණය වෙන්න. වැල යන අතට මැස්ස ගහන්න. මිනිස්සුන්ගෙන් ඩිමාන්ඩ් එකක් එනකොට ඒක බලාගෙන තමන්ගෙ ප්‍රතිපත්ති හදන්න. ප්‍රධාන පක්ෂ දෙක රවුම කැරකිල වැටෙන්නෙ එකම පාරට. ඒ නිසයි රනිල් වික්‍රමසිංහගෙන් අවසාන වෙන මේ දේශපාලනික පරිච්ඡේදයට අනුව අපිට තවදුරටත් විපක්ෂය කවුද කියල තෝරාගන්න බැරි.


මේක එක ප්‍රශ්නයක්.


දෙවෙනි ප්‍රශ්නෙ දක්ෂිණාංශික කියන වචනෙත් නිකන් පාපයක් විදිහට සලකන එක. හරිනම් සිංගප්පූරුව ආදර්ශයක් විදිහට අරන් යන ගමනෙදි සමාජවාදෙ කියන වචනෙ ඇහුණත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න ඕනෙ...


මම අදහස් කරන්නෙ නෑ දක්ෂිණාංශික වීමෙන් මේ සියලු ප්‍රශ්න විසඳන්න පුලුවන් කියල. ඒත් මේ ප්‍රවාහ දෙක (වම, දකුණ) එකිනෙකට විරුද්ධව වෙන වෙනම, පැහැදිලිව ගොඩනැඟෙන්න ඕනෙ.

මේ දෙකේ ගැටුම නිසා ඵලදායී දේවල් එලියට විසිවෙනවා.



Sunday, May 22, 2022

වික්ෂිප්තය

මම ඉතින් මේ

සුනිලවන් විල් තෙරය

ඔබේ ප්‍රතිබිම්බය 

වරින් වර කළඹවන

Wednesday, May 18, 2022

ප්‍රීති වෙසක්

නැගෙනහිර පැසිෆික් සාගරය ජාත්‍යයන්තර දින රේඛාව හරහා තරණය කර,ඇලස්කාව හරහා ජපානයට මාලු ගෙනයන කුඩා නෞකාවක මාගෙ පළමු පුහුණු වාරය ගෙවුණි.

සෑම පුහුණුවකම මෙන් මෙහිදීද මාගේ කාල පරිච්ඡේදය ගලාගියේ තද පාලන නීති රීති වලට යටත්වය.කෙසේ වුවද සියරට කිසිවකු නොමැතිව ජාතීන් කිහිපයක් සමඟ වැඩකිරීමට සිදුවීම නව අද්දැකීමකි.මෙයින්ද පිලිපීන ජාතික ප්‍රධාන කෝකියා මා සමඟ ඉතා හොඳින් යහලු විය.


නත්තල සහ අනෙකුත් සැමරීම් වලදී ඔහුගේ අතින් නිමවන්නේ විශේෂිත සාදවලට ගැලපෙන ආහාරය.දිනක වැඩ නිමවීමෙන් පසුව හුරුපුරුදු අල්ලාප සල්ලාපයේදී ඔහු මගෙන් ආගම ගැන විමසා සිටියේය.බොහෝ ලාංකිකයින් මෙන්ම මමත් බෞද්ධයෙක් බව කියා සිටියෙමි.ඒ වන විටත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය.වෙසක් යනු බෞද්ධයිනගේ උත්සවයක් බවත් අපගේ ශාස්තෲවරයා ඉපදුණේ ඒ දිනයේ බවත් මම කියාසිටියෙමි.බුද්ධත්වය ලැබීම ගැන නොකීවේ ඒ ගැන ඔහුට සංකල්පීයව තිබූ අනවබෝධය හා අප අතර තිබූ භාෂා පරතරය නිසාවෙනි.


මම එහි සිටි එකම බෞද්ධයා වූ බවද කිව යුතුය.


එක් දිනක මම ආහාර ගැනීමට භෝජනාගාරයට යාමේදී එහි උත්සවාකාරයෙන් සකසා තිබූ ආහාර දැක්කෙමි.රෝස් කරන ලද කළුකුමෙක්,විවිධාකාරයට සැකසූ හරක් මස්,බේකන් සුප් සහ කැරමල් පුඩිම,චීස් කෙක් දැක තරමක් පුදුමයකටත් සතුටක්ටත් පත්වුයෙමි.ප්‍රධාන කෝකියා මාව දැක අතට අත දී 'හැපි වෙසක්' කීවේය.


එදින වෙසක් පොහෝ දිනය බව මටත් මතක් වූයේ එවිටය...


වෙසක් උත්සවය අප සමරන ආකාරය ගැන ඔහුට කලින් කිවීමට නොහැකිවීම ගැන මට කණගාටුවක් මෙන්ම මේ ආකාරයෙන් මාංශමය සැමරීමකට එය මඟ පෑදීම ගැන මම මටම දොස් පවරාගතිමි.ඔහු මෙය වටහගෙන ඇත්තේ බෞද්ධයින්ගේ නත්තල ලෙසයි.කෙසේ වුවද මම ඔහුට ස්තූති කළෙමි. අවංක ලෙස ස්තුතිපූර්වක බව පෙන්විමට මම උත්සහ කළෙමි.


පරිනිර්වාණයද එදිනටම යෙදී ඇති බව ඔහු කලින් නොකියා සිටීම ගැන පසුතැවීමක් ඇතිවිය.


එය දැනසිටියනම් වෙසක් යනු සැමරිය යුත්තක්ද ශෝක විය යුත්තක්ද යන්න සිතාගත නොහැකිව ඔහු පත්වන ව්‍යාකූලත්වය වටහාගත් බැවින් ඒ ගැන නොකියාම සිටීමට මම තීරණය කළෙමි.


(ප්‍රබන්ධයකි)

Saturday, April 30, 2022

මාර පරාජය

 ඈෂ්ට්‍රේ එකේ දාරයක නිදැල්ලේ පත්තුවමින් තිබූ සිගරට්ටුව ගෙන අලු කඩා, උගුරක් ඇද දුම් යවා ඔහු කතාව කරගෙන යන්නට විය.


"සිරාවට මචං, එතකොට අපි හතර වසරෙනෙ. මාර පරාජෙ තේරුණාට මරඟනන්... අඩෝ ඒ කාලෙ මොකක්ද බං උංට කිව්ව වචනෙ... ඔය තණ්හා, රති, රඟාලට... මාර දූතියොද? 


හරි කොහොමහරි මේකනෙ, 

එකෙක් වෙස් ගත්‍තලු තරුණ ගෑණියෙක්ගෙ,


තව එකෙක් මැදිවියෙ ගෑණියෙක්ගෙ,


අනෙක් එකා මහලු ගෑණියෙක්ගෙ.


මුං දන්නෙ නෑ දැන් සිද්ධාර්ථ තාපසය බුදු වෙලා කියල. දැන් දාගෙන නටනවලුනෙ..."


ඔහු නැවතත් සිගරට් උගුරක් ඇද, වීදුරුවේ තිබූ පරණ අරක්කු උගුරට හලාගත්තේය.


"මේ කතාවට මම ආසයි, හැබැයි ඒකෙන් බවුන් කඩන්න උත්සහ කරපු එක මට තේරුමක් තිබ්බෙ නෑ.


හය වසරට වගේ යනකොට මට ලාවට තේරුම් වෙන්න ගත්ත. හැබැයි මට තේරුණේ අර තරුණ ගෑණියක් විදිහට වෙස් අරන් නැටුව එක ගැන විතරයි. අනික් ගෑණු දෙන්න මොන බොරු වැඩක්ද කරන්නෙ කියල මට හිතුණේ."


මෙසේ කියූ ඔහු කාලක් පමණ ඉතුරුව තිබූ සිගරට්ටුව ඈෂ්ට්‍රේ එකේ සිරස්ව ගසා නිමමින් මෙසේ කීවේය.


"හැබැයි මචං මට ඒක අද තේරෙනවා."