Saturday, April 30, 2022

මාර පරාජය

 ඈෂ්ට්‍රේ එකේ දාරයක නිදැල්ලේ පත්තුවමින් තිබූ සිගරට්ටුව ගෙන අලු කඩා, උගුරක් ඇද දුම් යවා ඔහු කතාව කරගෙන යන්නට විය.


"සිරාවට මචං, එතකොට අපි හතර වසරෙනෙ. මාර පරාජෙ තේරුණාට මරඟනන්... අඩෝ ඒ කාලෙ මොකක්ද බං උංට කිව්ව වචනෙ... ඔය තණ්හා, රති, රඟාලට... මාර දූතියොද? 


හරි කොහොමහරි මේකනෙ, 

එකෙක් වෙස් ගත්‍තලු තරුණ ගෑණියෙක්ගෙ,


තව එකෙක් මැදිවියෙ ගෑණියෙක්ගෙ,


අනෙක් එකා මහලු ගෑණියෙක්ගෙ.


මුං දන්නෙ නෑ දැන් සිද්ධාර්ථ තාපසය බුදු වෙලා කියල. දැන් දාගෙන නටනවලුනෙ..."


ඔහු නැවතත් සිගරට් උගුරක් ඇද, වීදුරුවේ තිබූ පරණ අරක්කු උගුරට හලාගත්තේය.


"මේ කතාවට මම ආසයි, හැබැයි ඒකෙන් බවුන් කඩන්න උත්සහ කරපු එක මට තේරුමක් තිබ්බෙ නෑ.


හය වසරට වගේ යනකොට මට ලාවට තේරුම් වෙන්න ගත්ත. හැබැයි මට තේරුණේ අර තරුණ ගෑණියක් විදිහට වෙස් අරන් නැටුව එක ගැන විතරයි. අනික් ගෑණු දෙන්න මොන බොරු වැඩක්ද කරන්නෙ කියල මට හිතුණේ."


මෙසේ කියූ ඔහු කාලක් පමණ ඉතුරුව තිබූ සිගරට්ටුව ඈෂ්ට්‍රේ එකේ සිරස්ව ගසා නිමමින් මෙසේ කීවේය.


"හැබැයි මචං මට ඒක අද තේරෙනවා."