Wednesday, June 1, 2016

පොඩි නම

ඒබරන් සීයා මේස් බැනියම අඳින්නේ තරමක් වැදගත් ගමනක් යනවිට පමණි. ඔහු අත්දිග සුදෝසුදු කමිසයත් හැඳ අල්ලපු ගමේ පන්සලේ ආවාස ගෙයි තිබූ මිටි බන්කුවේ වාඩිවී ලොකු හාමුදුරුවන් සමඟ පිළිසඳරක යෙදී සිටියේය.

හාන්සි පුටුවේ සිටි හාමුදුරුවන් බුලත් විටකුත් හපමින්ම සිටීම ඔහු තරමක් නොසන්සුන්තාවයකට පත්කළත් ඉවසා සිටියේ ආවාස ගෙයි දක්නට ලැබුණේ හාන්සි පුටුව ලඟ තිබූ එක පඩික්කමක් පමණක් බැවිනි.ලොකු හාමුදුරුවන්ගේ ගෝල දෙනමම තමන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වලට බැහැර වී සිටියහ.පන්සලේ සිටියේ වපර කොර ගසමින් ගිය බණ්ඩා හා ඒබරන් සීයාගේ සනුහරේ ඉතිරිව සිටි කුඩා මුණුපුරා පමණි.අනෙක් නෑයින් අන්ත දුප්පතුන් වූ අතර යමක් කමක් කරගත් නෑයින් ගැන දිගු කලෙකින් ආරන්චියක්වත් නැතිවිය.පස් හැවිරිදි මුණුපුරා මහණ වූයේ ගිය මාසයේදීය.ඒබරන් සීයා මේ පොඩි උන්නනාන්සේ මහණ වූ පසු බැහැදකින්නට පැමිණි පළමු වතාවයි.


හාමුදුරුවන් ' ඉස්තානය' දියුණු කරමින් සිටියහ..ශීට් අයින්කර ආවාස ගෙය උළුවලින් සෙවිලි කර තිබුණි.අළුත් මේසයක් හා උයනගෙයට අවශ්‍ය දේවල් ලබාගෙන තිබුණි.උන්වහන්සේ ලඟදී සැලසුම් කරන්නේ කුඩා බණ මඩුවේ පරණ ටකරන් ඉවත්කර ශීට් දැමීමටයි.රටේ වාතාවරණයද කථාකිරීමෙන් පසු ඒබරන් සීයාට යායුතු වේලාව පැමිණ ඇති බව හැඟෙන්නට විය.මිටි බන්කුවේ වාඩි වීම හන්දිපත් රෝගියකු වූ ඔහුට තරමක් ආයාසයක් ගතයුතු දෙයක් වුවද නැඟී සිටින්නට එවැනි දෙගුණයක ශක්තියක් අවශ්‍ය බව ඔහුට දැනුණි.හැරමිටිය නොවේනම් එය මීටත් වඩා දුෂ්කර වනු ඇත.ලොකු හාමුදුරුවෝ ලඟට ගොස් අපසුවෙන් තුනටිය නවා අවසර ගත් ඔහු වටපිට බැලුවේය.ලොකු හාමුදුරුවෝ හඬ නඟා කථාකළහ.


''පොඩි නම...කෝ මේ පොඩි නම.ඒබරන් ආපුවෙලේ මූණ බැලුවා විතරයි මේ ටිකට කොහේ ගියාද??''


කඩිමුඩියේ දිව එන සිහින් අඩි ශබ්දයක් ඇසුණි.ආවාස ගෙය දොර ලඟට පැමිණි විට අඩි ශබ්දයේ වේගය අඩුවිය.පොඩි නම සෙමෙන් පැමිණ ආවාස ගෙයි දොරකඩෙන් ඇතුළුව බිම බලාගෙන සිටින්නට විය.උන්වහන්සේ සිතා සිටියේ ඒබරන් සීයා දෙතුන් දොහක් වත් නවතියි කියාය.සෙමෙන් සෙමෙන් තමන් කරා පිය මණින තමන්ට එකල සිටි එකම හිතවතා තකහනිකයක්ම ආපයින් යාමට සැරසීම ගැන උන්වහන්සේට තරමක් නොපහන් සිතක් විය.


පන්සලේ පිවිසුමට ඒබරන් සීයාව කැටුව ගිය ලොකු හාමුදුරුවෝ ත්‍රී වීල් එකකට එන්න පණිවිඩය යවා තිබුණි.ඔවුන් පිවිසුමට පැමිණෙන විටම ත්‍රී වීල් එක පැමිණ වන්ගුවක් කපා අනෙක් පැත්තට හරවා ඒබරන් සීයා එනතුරු සිටියේය.ඒබරන් සීයා නැවතත් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර ගෙන පොඩි නම දෙසත් බැලුවේය.


එක්වරම බිම දණගසා පොඩි නම ඒබරන් සීයාට වැන්දහ.ක්ෂ්ණයෙන් සිදුවූ මේ වළක්වාගත නොහැකි වූ ක්‍රියාව නිසා ඒබරන් සීයා අසරණව ලොකු හාමුදුරුවන්ගේ මුහුණ දෙස බැලීය.


 ''හා හා ඒබරන්,ඒකට කාරියක් නෑ..තාම එහෙම තේරුමක් තියන එකක්යැ.ආ,මෙන්න මේ රුපියල් හැට ඔය ත්‍රී වීල් කරයට දෙනව බහිනකොට.දැන් සුනන්ගු නොවී ගියානන්,නැත්නම් බස් එක මඟ ඇරෙයි.'' 

ලොකු හාමුදුරුවන් වදාළහ.ඒබරන් සීයා ත්‍රී වීලරයට නැග්ගේය.
ත්‍රීවීලරය නොපෙනෙන තුරු බලා හුන් ලොකු හාමුදුරුවෝ පොඩි නමගේ කණින් ඇදගෙන ආවාස ගෙය පැත්තට වඩින්නට වූහ..

3 comments:

  1. අවු 16ක්වත් නොවී මහණකරවීම මොන ඉතිහාසයක් හා බණක් පෙන්නුවත් සාධාරණීකරණය කල නොහැක.

    ReplyDelete
  2. අම්මාගේ තාත්තගේ සෙනෙහස නොඅඩුව ලැබෙන්න ඕන කාලේ මහණකම තියා බුදුබව ලැබුනත් පලක් තියේද....

    ReplyDelete
  3. ඒ වගේම මෙතන වෙනම කාරනාවකුත් පෙන්නන්න හැදුවේ..
    සමහර ළමයි අන්ත දුප්පත්කම නිසා සහ රැකවරණයක් නැති නිසාත් මේ තිරනෙට යටත් වෙනවා....

    ReplyDelete