Monday, July 4, 2016

තුන්වන ප්‍රාග්ධනය

'සංවර්ධනය' අර්ථකතනය වන්නේ එකම ආකාරයකට අනුව නොවේ.එහි අර්ථ්දැක්වීම අර්ථදක්වන්නාගේ දෘෂ්ඨිකෝණය අනුව වෙනස් වේ.සංවර්ධනය මනින සමීකරණ,ශ්‍රිත සහ එහි යෙදුම්,දත්ත වාර්තා හරහා විශ්ලේෂණ කාලානුරූපීව සහ පසුබිම මත වෙනස් විය හැක.

සංවර්ධනය සෑම විටම මහපොලවේ යථාර්තයන් සහ ප්‍රායෝගිකත්වය සමඟ බැඳී පවතී.මෙය මේසයක් මත සිට සංක්‍යා ලේඛණ විශ්ලේෂණයෙන් හැදෑරිය හැකි විශයක් නොවේ.භූමිය,සම්පත්,මානව සම්පත,ඔවුන්ගේ ආකල්ප හා විභවය අනුව මේ ක්‍රියාදාමයට ගතයුතු උපායමාර්ග වෙනස්වේ.උදාහරණ ලෙස අනුරාධපුරයේ ඉස්සන් බෝ කළ නොහැක.ගාල්ලේ ස්ට්‍රෝබෙරි වගා කළ නොහැක.මහනුවර වැවේ මිරිදිය මාළු ව්‍යාපෘතියක් කළ නොහැක.

අපේ රට අනාදිමත් කාලයක සිට පැවත එන පරිදි සහ දේශගුණික,සම්පත් අතින් වඩාත් ගැලපෙන්නේ කෘෂි කර්මය මූලික වූ ආර්ථිකය ක්‍රමයකටයි.වර්තමානයේ ඇඟළුම් කර්මාන්තය අපනය සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙයි.වාහන කර්මාන්පුරයක් සෑදීමේ සැලසුම්,විදේශික ආයෝජකයින්ට කර්මාන්ත සඳහා අවස්ථාව වැඩිකිරීමට යෝජනා සකස්වෙමින් පවතී.මෙයින් අදහස් වන්නේ කාර්මීකරණය සම්පූර්ණෙන්ම නොසලකා හැරිය යුතු බවක් නොවේ.නමුත් මූලිකත්වය දී මුලින්මම දියුණු කළ යුත්තේ වඩාත්ම ගැලපෙන දෙයයි.
රාවුල් ප්‍රෙබිස්(Raul Prebisch) ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති කේන්ද්‍ර පරිවාර (center and periphery) න්‍යායට අනුව ගෝලීයකරණය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සූරාකෑමක් පිළිබඳව ඉදිරිපත් කර ඇත.සංවර්ධනය වූ රටවල් මේ වෘත්තයේ කේන්ද්‍රයේ සිටී,පරිධියේ සංවර්ධනය නොවූ රටවල් (වෙමින් පවතින කිව්වත්) කේන්ද්‍රයේ ඇති රටවලට අමුද්‍රව්‍ය,සම්පත්,බුද්ධිමතුන්,(බුද්ධි ගලනය ) හා ශ්‍රමය සපයමින් සිටී.කේන්ද්‍රයේ ඇති රටවල් මේ දේ රැගෙන එහි නිෂ්පාදන/ ඵලයන් ඔවුන් බෙදාගෙන අතිරික්තිය නැවතත් සංවර්ධනය නොවූ රටවලට අපනයන කරති.මේ අමුද්‍රව්‍ය සපයන රටවල් දියුණු වුවහොත් කුණු කොල්ලයට මේවා සපයාගත නොහැක.මේ පැහැදිලි කිරීමට අනුව පරිධියේ රටවල් සංවර්ධනය වීම කේන්ද්‍රයට පැහැදිලි අවාසියකි.


කොහොම නමුත් මෙය ලතින් අමෙරිකානු කලාපය හරහා බිහිවූ අර්ථදැක්වීමකි.
එක් දහවල මම බොරැල්ලේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට මඳක් ඔබ්බෙන් ඇති වනාතමුල්ලට පිවිසීමට ඇති අතුරු පාරට පිවිසුණෙමි.එහි රේල්පාර හමුවනතුරු ගොස් කොන්ක්‍රීට් දමා තිබූ තවත් අතුරු පාරකට පිවිස වැඩි අපහසුවකින් තොරවම මඟ සළකුණු අසා 'කාන්තා සමූපකාර මූලස්ථානය' සොයාගතිමි.තෙමහල් ගොඩනැඟිල්ලේ දෙවන තට්ටුවේ තිබූ කාර්යාලයේ මම කාන්තා සමූපකාරයේ නිර්මාතෲ හා සාමාන්‍යාධිකාරී නන්දසිරි ගමගේ මහතා මුණගැසුණෙමි.

සාදරයෙන් මා පිළිගත් ඔහු මෙසේ ප්‍රශ්නය ඇසුවේය.


''රටක ප්‍රාග්ධන වර්ග මොනවාද?''


මම පිලිතුරු දුනිමි.

''රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය.''


ගමගේ මහතා ඉන් අනතුරුව නැවතත් ප්‍රශ්නයක් නැඟීය.

''හොඳයි..දෙකක් හරි..මොකක්ද තුන්වෙනි එක?''


මම තුන්වැන්නක් ගැන නොදන්නා බව කීවෙමි.ඔහු ඊර පිළිතුරු ලබාදුන්නේය.

''සමාජ ප්‍රාග්ධනය(Social Capital).එහෙම නැත්තන් සමූපකාර.''




බොහෝ දෙනෙකුට සමූපකාර කියූ සැණින් සිහි වන්නේ ලොකු ළුෑණු,කරෝල,අර්තාපල් ඇති පඩිදමා කිරන තරාදි සහිත තැනින් තැන පැරණි පෙනුමක් ඇති ගොඩනැඟිලි වල නඩත්තු වන වෙළඳසැල් බව මම දන්නේ මමත් පෙරදී එසේ සිතා සිටි බැවිනි.නමුත් සමූපකාර යනු රජය හෝ පුද්ගලයෙක් මඟින් නියාමයන/පාලනය වන්නේ නැත.සරලවම කිවහොත් එය ප්‍රජාවගේ මුදල් යොදවා,ඔවුන්ම සම්පූර්ණයෙන්ම එහි යාන්ත්‍රණයක් සාදා ක්‍රියාත්මක වන ව්‍යාපාර විශේෂයකි.ගමගේ මහතා තවදුරටත් පැහැදිලි කරමින් සිටියේය.


''මේ සංකල්පය වැරදි විදිහට අපේ රටේ වටහාගෙන ඉන්නෙ.ඒත් මේක ඉන්දියාවෙ ජාතික ආර්ථිකයට සෑහෙන උපකාරයක් දෙන ප්‍රධාන ව්‍යාපර වලින් එකක්.දැන් සමූපකාර කිව්වම වෙළඳසැල් සහ බැංකු විතරක්ම නෙවේ..ප්‍රවාහන සේවා,විශ්ව විද්‍යාල,රෝහල් එහෙමත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒ වගේම මේ ව්‍යාපාර කිසිසේත්ම පාඩු ලැබිය හැකි ව්‍යාපාර ක්‍රමයක් නෙවේ.''

ඇත්තෙන්ම එසේ කීමට ගමගේ මහතාට පූර්ණ අයිතියක් තිබුණි.1989 දී සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සහ රුපියල් 50කටත් වඩා අඩු ගණනකින් ආරම්භ කළ 'කාන්තා සමූපකාරය' අද වනවිට දිස්ත්‍රික්ක 19ක පැතිරී ගොස් ඇත.වර්තමානයේ මෙම සමූපකාරයේ වත්කම රුපියල් බිලියන 4.85කි.නමුත් වැදගත්ම කරුණ එය නොවේ....මෙම සමූපකාරය පාලනය හා නියාමනය වන යාන්ත්‍රණය සෑදී ඇත්තේ 100%ක්ම කාන්තාවන්ගෙනි.එයිනුත් සාතීශය බහුතරය අඩු ආදායම් ලාභී ග්‍රාමීය කාන්තාවනුයි.
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ ; විදේශ ශ්‍රමිකයින්ගෙන් 49%ක් පමණම වූ ගෘහසේවිකාවන්ගෙන්ය.මේ රැකියාවට අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් අනවශ්‍ය නිසා මෙයට යොමුවන්නේ ග්‍රාමීය උගත්කම අඩු කාන්තාවන්ය.පවුලක මව යනු ඉතාමත්ම වැදගත්ම භූමිකාවක් ඉටු කරන චරිතයයි. ග්‍රහසේවිකා රැකියාව නිසා දරුණු සමාජ සංකූලතා ඇතිවීමටත් හේතු වී ඇති කාරණාව එයයි.
ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රතිශතය 53%කි.එයිනුත් බහුතරය වන 74%ක් පමණ ග්‍රාමීයව ජීවත් වේ.මොවුන් නිහඬව නොමිලේම ඉටුකරන කාර්‍යයන් ගැන නිවැරදිව සමීක්ෂණයක් නොවුණත් ඉතා වැදගත් භූමිකාවක් මොවුන් විසින් ඉටු කරනු ලැබේ.ගමගේ මහතා මේ ග්‍රාමීය නූගත් ගැමි ගැහැණියගේ විභවය නිවැරදිව වටහාගත්තේය.සමූපකාර ව්‍යාපාරය හාඉබේම ලැබෙන ප්‍රතිලාභ වන සමාජ සුරක්ෂිතභාවය සහ ප්‍රගමනය මේ සාමාජිකාවන් අද භුක්ති විඳිමින් සිටී.

කාන්තා සමූපකාරයේ කුඩාම ඒකකය ශාඛාව ලෙස හැඳින්වේ.ශාඛාවක් සෑදෙන්නේ අසල්වැසි පවුල්වල කාන්තාවන් අවම වශයෙන් පස් දෙනෙක් එකතුවීමෙනි.ඊටත් වඩා සරල විය නොහැක.මේ කාන්තාවන් පස්දෙනා එම ශාඛාවේ කණ්ඩායම් නායිකාව,ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස පත්කරගනු ලැබේ.සතියකට වතාවක් අනිවාර්ය සාමාජික ගාස්තුවක් එකතු කරනු ලැබේ.අනෙක් තැන්පතු හෝ රක්ෂණ සඳහා මුදල් සියළුදෙනාගේ එකඟතාවය මත මුදල් එකතු වේ.මේ මුදල් වලින් කණ්ඩායමේ එකඟකත්වය මත සුළු එදිනෙදා කටයුතු වලට සාමාජිකාවන්ට ණය ගත හැක.කාන්තා සමූපකාරය ඔවුන් ශාඛාවක් ලෙස හඳුනාගන්නේ මාස 8ක් ක්‍රියාශීලී වුවහොත් පමණි.

ඉන්පසු ශාඛාවට එහි නමින් 'ප්‍රාදේශිකයේ' ගිණුමක් ඇරඹිය හැක.ප්‍රාදේශිකය සෑදී ඇත්තේ ශාඛාවන් 10ක් හෝ වැඩි ගණනකිනි.මෙයින් ගිණුම් තැන්පත් කිරීම සහ ශාඛා සාමාජිකාවන්ට ණය නිකුත්කිරීම සිදුවේ.ණය නිකුත්කිරීමට ශාඛා සමාජිකාවන්ගේ එකඟතාවය අවශ්‍යය.එමෙන්ම ණයකරුට එය ගෙවිය නොහැකිනම් ඒ සඳහා මුළු ශාඛාවම ඇප වේ.
'ජාතික සභාව' සෑදී ඇත්තේ ප්‍රාදේශික වල සිටිනා භාණ්ඩාගාරිකවරියන්ගෙනි.මෙය මුළු පද්ධතියේම හෘදය ලෙස හැඳින්වේ.ප්‍රාදේශික වල ඇතිවන ගැටළු,නව උපායමාර්ග සාකච්ඡාව මෙහි වගකීමයි.එමෙන්ම පහත කරුණුද මෙයින් ඉටුවේ.

1)ගිණුම්කරණය හා මුල්‍යකරණය පිළිබඳ සාමාජිකාවන්ට පුහුණුව ලබාදීම.
2)පාදේශිකයන්ට අවශ්‍ය ප්‍රධාන උපකරණ සැපයීම.
3)බාහිර මූලාශ්‍ර වලින් ලැබෙන ආධාර ණය අරමුදලට බැර කිරීම.
4)කණ්ඩායම් ව්‍යූහය ශක්තිමත් කර සහාය ලබාදීම.

මෙම ව්‍යූහයේ ඉහළම ස්ථරය(governing body) වන 'ජාතික විධායක සභාව' සෑදී ඇත්තේ දිස්ත්‍රික්කයක ප්‍රාදේශිකයකෙන් තෝරාගන්නා ලද භාණ්ඩාගාරිකවරියන්ගෙනි.දිස්ත්‍රික්කයක ප්‍රාදේශික 10ට වඩා ඇත්නම් ජාතික විධායක සභාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශික 2කින් භාණ්ඩාගාරිකවරියන් පත්කරගත හැක.
ප්‍රතිපත්ති සෑදීම හා ක්‍රියාත්මක කිරීම,සාමාන්‍යාධිකාරිවරයාගෙන් උපදෙස් ගෙන ගැටළුකාරී අවස්ථා විසඳීමට තීරණ ගැනීම මෙහි වගකීම් වේ.ව්‍යුහය නියෝජනය කරන සාමාජිකයෙක් නොවන එකම පුද්ගලයා වන්නේ මෙහි වර්තමාන සාමාන්‍යාධිකාරී වරයා වන ගමගේ මහතා පමණි.

සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තවත් අංශ ඇත.කාන්තාවන්ට සුළු පරිමාණ කර්මාන්ත වලට උපදෙස් දීමට හා ඇයව ව්‍යාවසායිකාවක් ලෙස සමාජගත කරන 'ව්‍යවසායක අංශය',සමාජ සුරක්ෂිතභාවය වෙනුවෙන් 'රක්ෂණ අංශය',ගොවිතැන් හා වගාවන් සඳහා උපදෙස් දීමට 'කෘෂිකාර්මික අංශය',තාක්ෂණික සහය දීමට 'තාක්ෂණික අංශය',අවම මිලට වෛද්‍ය පහසුකම්,රසායනාගාර පහසුකම් ලබාදෙන 'සුසේකා සේවය' පමණක් නොව 'මාධ්‍ය හා සංස්කෘතික අංශය'කින් පවා මෙය සමන්විත වෙයි.

කාන්තා සමූපකාරයේ ප්‍රධානම සේවය වන 'ණය ලබාදීම' වුවත් රැඳී පවතින්නේ නීතිමය රාමුවක් පදනම් කරගෙන නොවේ.හුදු විශ්වාසය මතය.එමෙන්ම ණය අයකරගැනීම මේ වන තෙක් 100%ක් සාර්ථකව ඉටුවී තිබේ.කාන්තා සමූපකාරයේ අද වනවිට දක්වා ඇති විශිෂ්ට සාර්ථකත්වයෙන් පැහැදිලි වන කාරණා කිහිපයක් ඇත.

1)සමූපකාර සඳහා රජයේ හෝ පෞද්ගලික ප්‍රාග්ධනය අවශ්‍ය නොවේ.
2)මේ රටේ කාන්තාවට නිසි පුහුණුවක් හා වගකීම් ලබාදුන්හොත් ඇය සමාජයට වටිනා දායාදයක් බවට පත්වේ.
3)අඩු ආදායම්ලාභීන්ව නීතියට් වඩා විශ්වාසය හරහා ණය ගණුදෙනු කිරීම සාර්ථක වී ඇත.අවශ්‍ය ඔවුන්ට නිසි අවස්ථාවක් හා මාර්ගෝපදේශයක් ලබාදීමයි.
අවසානයේ කාන්තා සමූපකාරයේ සමරු කලාපයක ඇති සටහනක් උපුටා දක්වමි.
''ළියන් නිළියන්,රැජිණන් හා වෙළඳ භාණ්ඩ කරන්නට කැසකවන සමාජයක කාන්තාව පරිභෝජන සමාජයේ නොව ආයෝජන සමාජයේ වීරවරියන් බව පසක් කළෙමු.''


2 comments:

  1. හැබැයි එක හොරෙකු හිටියා ම ඇති. සමූපකාරය සහ පරෝපකාරය නැති වී මමෝපකාරය වෙනවා

    ReplyDelete
    Replies
    1. නැහැ මේකේ structure එකත් සමාගමක සාමාන්‍ය එකකට සමානයි වෙනස තියෙන්නේ ප්‍රාග්ධනය සාමුහිකව යොදනවා වගේම ලාභයත් සාමුහිකව බෙදාගන්නවා. :D

      Delete