Saturday, September 24, 2016

ස්කොට්ලන්තයේ ජාතික සත්වයා

මමයි අන්තිමේට ඉතුරු වුණේ.අනික් ඔක්කොම මැරුණා..එක එක කාලවල..ඒත් මගේ වර්ගයා මැස්සො වගේ මැරිලා යන්න පටන් ගත්තේ අඳුරු යුගයේදී මායාකාරියන් අතින්.අපේ අං වල තිබ්බ මායා බලයට ආසාවෙන්...අහු වුණු අයව.... මරල දැම්ම.මායාකාරියෝ...කඟවේන අං අඳුරු මායාවලට යොදාගත්තා.

මම මේ ලොකෙට ආවේ කොහොමද කියන එක මට දැන් අමතකයි.ඒක එච්චර ලොකු කාලයක්.ඒත් දන්න කියන දවසක ඉඳන්මම මම තනියම හිටියේ.මිනිස්සු කවුරුවත් නැති සත්තු විතරක් හිටපු විල්,කඳු ගංගා පිරුණු නිල් මිටියාවතක.එක ගිම්හානයක තමයි මට මගේ වෙනස තේරුණේ.ඉර එළිය මගේ අඟේ වැඩිලා දේදුන්නක් විදිහට පරාවර්තන වෙද්දි...මම හුලඟ උඩට නැංගා.ඉර එළිය තියන ඕනේ වෙලාවක මට ඒ සැහැල්ලුවත් එක්කම අහසට නගින්න පුළුවන් වුණා එදායින් පස්සේ...

තරුණ කාලෙදි තමා මට මුලින්මම පියාසැරියකදි මගේ වර්ගයේ තව කෙනෙක්ව හම්බුණේ.එතකොට තමා මම දැනගත්තේ මම විශේෂිත කෙනෙක් නෙවේ අතරමං වුණු තවත් එක පරාණයක් විතරයි කියලා. පළවෙනි වතාවට මගේ අදහස් තව කෙනෙක් එක්ක චිත්ත සංවාදයක් විදිහට බෙදාගන්න ඉගෙන ගත්තේ එදා...ඒ වගේම මට මගේ වර්ගයා ගැන තිබ්බ ප්‍රශ්න ගොඩක් එදා නිරාකරණය වුණා.මායාකාරියෝ බලවත් වුණු අඳුරු යුගය ඊට පස්සෙ පටන්ගත්තා...ඊට පස්සෙ උගුල් අටවලා,පළිඟු බෝල වලින් අන්ජනම් බලලා අපේ වර්ගයා හොයන්න පටන් ගත්තා.හොඳ වෙලාවට මායාකාරියන් විනාශ කරන්න නයිට්වරුන්ට රජුගේ අණ ලැබුණු නිසා අතලොස්සක් බේරුණා.ඒත් ඒ අයත් මැරිල ගියා වයස්ගතබව නිසාම පස්සෙ කාලෙක.

ස්වාභාවික මරණයට අභියෝග කරන්න පුළුවන් විශේෂ කඟවේනෙක්ට විතරයි.මොකද ඒක ඉතාම දුශ්කර ක්‍රියාවක් නිසා.වයස්ගත වෙලා මැරෙන්න යනව කියල තේරෙද්දි ගල්පර්වතයකට ගිහින් මායා අඟ සම්පූර්ණෙන් ගෙවිල යනකල් ගලේ අතුල්ලන්න ඕනේ.එතකොට මායා බලය නැතිවෙලා යනවා.හෙල්ලෙන්නවත් ශක්තියක් එන්නේ නෑ.සති ගාණක් වැතිරිලා ඉන්න ඕනේ.මැරුණනම් හොඳයි කියල හිතෙන තරම් දුකක් ඒක.ඒත් 21 වෙනි දවසේ දැනෙනවා ආයෙත් මායා බලය වැඩෙන්න අරන් අඟ හෙමීට හෙමීට දික්වෙන්න පටන් ගන්න එක.

ඉතින් දැන් මගෙ වයස්ගත වීම නිසා මම මේ ප්‍රතිකර්මය ආයිත් කරගන්න යන්නේ.අවුරුදු 300කින් පස්සේ.මගේ වර්ගයාගෙන් ඉතුරු වුණේ මම විතරක්ම වුණාට මම එහෙම ලේසියෙන් ජීවිතේ අතාරින්නේ නෑ...ඔවු එහෙනන් මම දැන්මම වැඩේ පටන් ගන්නවා.



*****



දොස්තරවරයා කැමරා මොනිටරය මඟින් රෝගියාගේ කාමරය නිරීක්ෂණය කළේය.ඉන් පසු පටිගතකිරීමක් ඇරඹීය.

"දිනය 24-12-2014 වේලාව 1615,මම දොස්තර ග්‍රැහැම් එරික්සන්, ඩාට්මුවර් රෝහල ස්කොට්ලන්තය,පරීක්ෂණ අංක 66,රොජර් වොලස් රෝගියා.. මම අපේක්ෂාකළ පරිදිම ඔහු කලින් වතාවන්වල මාසිකව කරපු දෙයම ඒ වේලාවටම අද දිනයේත් කරමින් සිටිනවා .ඔහු තම හිස බිත්තියේ අතුල්ලනවා... සෙමෙන් රිද්මයානුකූලව...තව විනාඩි කිහිපයක් යනතුරු නිරීක්ෂණය කර සාත්තු සේවකයින් කැඳවීමට අපේක්ෂා කරනවා.දැනට එපමණයි"

'ටුක්' යන හඬින් පටිගත කිරීම නැවතුණි..


No comments:

Post a Comment