Sunday, November 28, 2021

මන්දාරම

වැස්ස වැටෙන්නට සියලු පෙරනිමිති පහල වී තිබුණි. සුළඟක් පැමිණ ටකරම් සොලවන්නට විය. මම කුඩා තේ කඩයෙන් පිටතට පැමිණ ඈත පෙනෙන විවෘත තණබිමට ඉහළින් ඇති අහස දෙස බලා සිටියෙමි. මට පසුපසින් මගේ සඟයා සිගරට්ටුව සහ ප්ලේන්ටියද සමඟ පිටතට පැමිණියේය.


' හෙන මූසලයි නේද බං'


අහස සම්පූර්ණයෙන්ම වළාකුලු වලින් පිරී ගොස් තිබුණි. නමුත් දහවල් කාලය වූ බැවින් සහ හිරු මුවා කළ වළාකුලු  එතරම් තද කලු පැහැ නොවූ බැවින් පැතිර තිබූ දසුනේ අන්ධකාරයක් නොවීය. ඉඳ හිටක අහසින් තේජාන්විත ගිගුරුමක් ඇසුණි. මේ අතර මෘදු සුළඟක් අපගේ දැවටී යන්නට විය. වැස්ස තවම ඇද නොවැටුණු නිසා පාරේ හෝ වටපිටාවේ කිසිම තෙත් බවක් නොවුණි.


' නෑ බං. මේක තමා සිරාම... මම වැස්සට කැමති නෑ. ඒත් මේ වෙලාව, මේ මොහොතෙ තියන සැනසීම... මන්දාරම!!!

 බලපං ඒ වචනෙම කොච්චර ලස්සනයිද?'


සාවඥ මුහුණකින් යුතුව ඔහු තම සිගරට්ටුවෙන් බරැති උගුරු ඇද්දේය. ඒ අතර ප්ලේන්ටියත් ශබ්ද නගා බොමින් ඔහු මට කතාකලේය.


' අනේ යකෝ... උඹට මෙහෙම ඇරිල  තියනකොටත් මේ මූසල වෙලාවෙත් ලස්සනක් පේනවනම්....'


මාගේ සිව් අවුරුදු ප්‍රේමය නිමවී තිබුණි. ඇත්තෙන්ම එය නිමවූයේ මම අපේක්ෂා නොකළ මොහොතක, ඒක පාර්ශ්විකව හේතූන් මතය.


සඟයාගෙන් සිගරට්ටුව උදුරා ගත් මම උගුරක් ඇද දුම යවා කතාකලෙමි. 


' අනේ මන්ද බං. මට ඒකි හම්බුණේ වැරදි බස් එකක ගිහින්, මාව බැස්සුවහම එතන තිබ්බ බස් හෝල්ට් එකේදි. මම ඒකිගෙන් යන්න ඕනෙ බස් එක ගැන විස්තර අහපු එක, ඒ වෙලාවෙ වැස්ස එක, ඒ වෙලාවෙ අපි දෙන්නටම කුඩයක් තිබ්බෙ නැති නිසා හෝල්ට් එකේ හිරවෙන්න වුණු එක වගේ අහම්බයන් ගොඩක් එකතුවෙලා.

මම හරි බස් එකට නැග්ගනම්, මට කුඩේ අමතක නොවුණනම්, ඒ වෙලාවේ වැස්සෙ නැත්තන්...

එහෙමනම් අද මේ තත්වෙ උදාවෙන්නෙ නෑ...'


' උඹට මතකද අනූජයව?' නැවත සිගරට්ටුව ඉල්ලා ගත් සඟයා මගෙන් විමසා සිටියේය.


' අනූජ... නෑනෙ බං'


' ඇයි යකෝ... අහිංසක...'


' ආ...'


අනූජ යනු එකල අපේ පන්තියේ සිටි අහිංසකම ළමයා විය.  පාඩමකදී ' අහිංසක' යන නමට උදාහරණයක් ලෙස ඔහුව ගත් දිනයේ සිට ඔහු ' අහිංසක' ලෙස නම් දැරීය.


' ඉතින් මොකද කේස් එක?'


' ඌට lung cancer එකක් බං. ඒක හොයාගෙන තියෙන්නෙ ටිකක් කල් ගිහින්.'


' හුටා... ඒ කොහොමද??? ඌ කැම්පසුත් ගියානේ... නැහැදුණාද පස්සෙ...'


' නෑ බං අහපංකො. සීන් එක දැනගත්තෙ මම දවසක් ඔඒසිස් එකේදි මූව සෙට් වුණාම. එදා මූ හල්මිල්ල බාගයකුයි ගෝල්ලීෆ් පැකට් එකකුයි තනියම තියාගෙන ගහනවා.'


' ඉතින් යකෝ ආයෙ cancer නොහැදෙයියැ'


සඟයා සිගරට්ටුව මහපට ඇඟිල්ල සහ මැඳැගිල්ල පාවිච්චි කර ඈතට වීසිකර කතාව ඇරඹීය.


' අහපංකො ඉතින්. ඌගෙ සීන් එක මම දැනන් හිටියෙ. ඉතින් මට ෂුවර් නැතුව හිටියෙ මූට මාව දකින එක අවුලක් වෙයිද කියල. මූ මාව දැක්ක. දැක්ක ගමන් නැගිටල ඇවිල්ල හෙන ගැම්මෙන් මාව බදාගෙන උගෙ මේසෙට ගෙන්නගත්ත.


උගෙන් සීන් එක වටෙන් ගොඩෙන් අහනකොට ඌ කෙලින්ම මට කිව්වෙ මෙහෙම,

' මචං. මම ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන් බැලුවෙ හරි දේ කරන්න. නීති පිළිපදින්න, පන්සිල් රකින්න, ආගම ධර්මෙට අනුව ඒ රටාවට හැඩගැහෙන්න. ඒක මමම හෙන ආසාවෙන් කරේ කොහොමත්. මම කැම්පස් එකේ රැග් වුණත් එක්ක, ඒත් මම අයින් වෙනකම් බියර් බින්දුවක් වත් බිව්වෙ නැහැ. කාමරේ උන් ජොයින්ට් පලනකොට මම බ්‍රිස්ටල් එකක් වත් බිව්වෙ නෑ.


මේ cancer එක චෙකප් එකකදි තමා මාට්ටු වුණේ මෙඩිකල් එකක් ගන්න යනකොට. ඩොකානම් කිව්ව මට තාම චාන්ස් තියනව කියල මේක හරිගස්සගන්න.

මම කල්පනා කරා යකෝ, මම මේ තරම් කාලයක් කාපු කට්ටෙ තේරුම මොකක්ද කියල... 

මොන මඟුලක්ද බං... ඊට පස්සෙ දවසක් දෙකක් කල්පනා කරන්න ගත්ත... දවස් දෙකකට පස්සෙ තවදුරටත් මගෙ ඇතුලෙ බයගුල්ලෙක් හිටියෙ නෑ...'


ඉතින් මට මූ හෙන සැහැල්ලුවෙන් මේ කතාව කිව්වෙ. මමත් ඌට පොඩි ආතල් එකක් දෙන්න හිතල ' එතකොට අහිංසක අන්තිමේට අංගුලිමාල වුණා' කියල කිව්ව... ඌට හිනා ගියේ තණකොලත් ගලවගෙනම.'

10 comments:

  1. මොකද උනේ? ඉතුරු ටික කෝ?

    ReplyDelete
    Replies
    1. දැන් හරි, ස්තූතියි පෙන්වාදීමට.

      Delete
  2. මොකද උනේ? ඉතුරු ටික කෝ? 2

    ReplyDelete
    Replies
    1. දැන් හරි, ස්තූතියි පෙන්වාදීමට.

      Delete
  3. බොහොම ස්තූතියි නැවත ලිවීම ඇරඹීම ගැන! වසරක කාලයකට පසුව නැවත ලිවීම ඇරඹූ ඔබගේ බ්ලොගය පසුගිය කාලයේ අපගේ සින්ඩියේ රඳවා තිබුනේ; දැනට වසරක හා ඊට වැඩි කාලයක සිට නොලියවෙන බ්ලොග් ලැයිස්තුවක වන අතර අද අප එය සින්ඩියේ ඉහල වම් කෙළවරේ; නිර්මාණ සඳහාම වෙන්වූ "කැටපත් පවුර" කොලමට එක් කල බව සතුටින් දන්වමු. මෙරට දැනට සක්‍රීය හා එතෙක් මෙතෙක් ලියැවුනු වැඩිම බ්ලොග් සංක්‍යාවක් එක් කොට ඇති අපගේ සින්ඩියට ගොඩවැදී බලන්න! අපගේ සින්ඩිය සඳහා හැකි උපරීම ප්‍රචාරණයක් ලබා දෙන්න! අපගේ වෑයම බ්ලොග් කියැවීම නැවත ප්‍රචලිත කරවීමයි. නැවත ලිවීම ඇරඹූ ඔබට නැවත අපගේ ගෞරවය!

    ReplyDelete
  4. මේක උඹැහෙ බුකියෙ දැම්මෙ නැද්ද නැත්තං මං දැං උඹේ බුකියෙ නැද්ද.
    මොක වුණත්.
    ආතල් තමයි ඉතිං. 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං, බුකියෙ තිබ්බ මේකෙ නොතිබ්බ එකක්.

      Delete
  5. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
  6. මධුරංගJuly 27, 2022 at 11:45 AM

    හුග කාලෙකින් කියෙව්වා බන් ඒක පට්ට😍😍

    ReplyDelete