Thursday, October 6, 2016

බෝධි චිත්තය

කාශ්‍යප බුදුන්ගේ පිරිනිවීමෙන් පසුව සහස්‍ර දෙකක් පමණ ගියවිට මුළු ලෝ තළයෙන්ම උන්වහන්සේගේ ධර්මය අතුරුදහන් වී ගියේය.නැවතත් අංග ධර්මය බලවත් විය.මේ කාලයේදී උසස් ගුණදම් හා පාරමිතා පිරූවන් ජන සන්නිපාතයෙන් ඈත්ව හුදෙකලාව තම පුර්ණයන්හි අභිමතාකාරයෙන් යෙදෙමින් සිටියහ.

මේ අතර ගෞතම බුද්ධෝප්පත්තියෙන් එක සියක් හත් බුද්ධාන්තරයකට පසු ලොව්තුරා බුද්ධත්වයට සුමන බුදුන්ගෙන් නියත විවරණ ලැබ ආපසු නොහැරෙන මාර්ගයට පිළිපන් ඝෝසාල නම් බෝධිසත්ත්වවරයෙක් අත්හැර දමා ගිය සොහොනක දස පාරමිතා,උප පාරමිතා හා පරමත්ථ පාරමිතා පූරණය කරමින් සිටියේය.හෙතෙම යැපුණේ වනයෙන් ලැබෙන පල,අල වර්ග යන්තමින් තම්බා ආහාරයට ගැනීමෙනි.දිනක් දඩයමේ ගොස් වල් අලි රෑනක් කඩා වැදීම නිසා සහචරයින් සමඟ පලායාමේදී අසු පිටින් වැටි,පාදයක මඳ තැලුමක් ඇතිකරගත් රජු විසින් වනාන්තරයේ හා ග්‍රාමයේ කෙලවර වූ සොහොන කරා එළඹෙන ලදී.

හෙතෙම සොහොනේ මැද තිබූ බෝධිසත්ත්වවරයා විසූ අතුපැල දෙස බලා සා පිපාසාව බැවින් බිමට පැන් පොදක් සොයා එය කරා ඇදෙන්නට විය.ඔහු ගරාවැටුණු ගේට්ටුව පසුකළා පමණි යමක පා පැටලුනු වගක් දැනුනි.

''ඌහ්''
 ලෙස කෙඳිරියක් බිමින් ඇසෙන්නට විය.ඔහු බිම බැලු විට දිරාගිය කඩමාල්ලක් සහ දිරා යන සිරුරක් සහිත ඝෝසාල බෝධිසත්ත්වවරයා දුටුවේය.ඉන් පසු කට කොනක සිනා සහිතව මෙසේ ඇසිය.

''තාපසය...මේ ජනශුන්‍ය සොහොනේ කුමක් කරයිද? තොප තාපසයෙක් අයුරින් වෙස් ගන්වාගත් මළ සොහොන් යකෙක් විය නොහැකිද?''

තමාව මේ අමතන්නේ රජු බව ආභරණ සහ හැඳුමින් හඳුනාගත් බෝධිසත්ත්වය තෙම ක්ෂණයෙන් මොහොතකට සමාධිගතව අනාගතය දැකිය හැකි චක්ඛුව අවදී කර කාරණය පිලිබඳ අවධානය යොමු කළේය.ඔහුගේ මනස තුල ඒ මොහොතේ පටන් කර්මානුරුපිව හා ධර්මානුරුපිව සිදුවීමට නියමිත සිදුවීම් පෙළ ගැසෙමින් තිබුණි.ඔහු ඒවා දෙස පිටස්තරව තුන්වැන්නෙක් ලෙස බලා සිටියේය.

* * *

රජුගේ ප්‍රකාශයට ඔහු පිළිතුරු දෙන ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


''රජතුමනි, මම තාපසයෙක්මි.නමින් ඝෝසාල වෙමි. මළ සොහොන් යකුන්ට වේදනා දැනෙන්නේ නැත.''

තමාව හඳුනාගත් බැවින් මඳ ශන්කාකුල බවක් ආරූඪ කරගත් රජ තෙම මෙසේ විමසිය.
''හඃ.. තොපට වේදනාව දැනෙනවා එසේනම්.තොප සිටින්නේ මා සමඟ දැඩි කෝපයකින් විය යුතුය.''

තාපස තෙම සයනාසනයෙන් මිදී තණගොල්ල මත පර්යන්කයෙන් හිද ගත්තේය.
ඉන්පසු මෙසේ කිවේය.

''නැත රජතුමනි.මම නුඹට තුති පුදමි.''

විශ්මයට පත් රජු මෙසේ කිය.
''තවුසන් මුසා බස් නොකියති.නමුත් තා මේ රජු සමඟ කෙලිමට යන්නේ ඉතා අන්තරාදායක කෙලියකි.තගේ වචනයක් පාසා සැඟවී ගිය උත්ප්‍රාසය වටහා ගැනීමට මට දිසාපාමොක් වරයාගෙන් උගත් ශාස්ත්‍ර අවශ්‍ය නැත.
නොඑසේනම් මිට කරුණු දක්වනු''


තාපස තෙමේ පිළිවදන් දෙන්නට විය.
''එසේ කිසි යටි අරමුණක් අදහස් නොකලෙමි මහරජතුමනි.මම කර්මය නම් නියාම ධර්මය විශ්වාස කරමි.ඒ අනුව නුඹ වහන්සේ මාව මේ ජනශුන්‍ය සොහොනේ පාගන ලද්දේ අහම්බයකින් නොවේ.මෙය මාගේ පෙර අකුසලයකට දඬුවමකි.මම දැන් දඬුවම ලැබූ බැවින් මෙහි විපාක අවසාන වී ඇත.එබැවින් මම නුඹ වහන්සේට ස්තුති කරමි.''

රජු මෙය අසාසිට මඳක් තුෂ්නිම්භූතව සිටියේය.ඉන්පසු රැවුල අතගාමින් ඒ අතට මේ අතට ඇවිදින්නට විය.ඉන්පසු කුරිරු සිනහවක් නංවමින් මෙසේ කියන්නට විය.

''බොහොම අපූරුයි.තොප දන්නවා ඇති අප කර්මය හෝ කුමනාකාරයකවත් ලෝක පාලන ධර්ම පිලිබඳ විශ්වාස නොකරන වග,අණ,නියම,නීති,පිළිපැදීම යන ස්ථම්භ සතර මුලික කරගත් පදනම මත ශ්‍රේෂ්ට රාජ වංශ ගොඩනැඟී ඇත.
ඉදින් මම නුඹට කලේ සුළු උපකාරයක් පමණි.නුඹේ ස්තුති පුර්වක බව මිට වඩා වැඩි වැඩියෙන් ලබා ගෙන බැලීමට මට ආශාවක් උපන්නේය.
සත්‍ය පවසනු තොපට මා ගැන බිඳක හෝ ක්‍රෝධයක් මතුවුයේ නැද්ද?''


තාපස තෙමේ මෙසේ කියා.
''තවුසන් මුසා නොකියන බව නුඹ වහන්සේම කිවේය.මම තවුසෙකි.''


රජු මෙය අසා තාපස කරා එළඹෙන්නට විය.හෙතෙන එන අතරමඟ තම අසිපත කොපුවෙන් එලියට ගත්තේය.එක්බිතිව තාපසවරයාගේ කන් පෙත්තක් අල්ලමින් මෙසේ කීය.

''එසේනම් තාපසය.නුඹේ අයහපත් කර්ම තව දුරටත් නිෂ්ක්‍රිය කිරීමට මම ඉටා ගතිමි.''

වමතේ මහපට හා දබරැඟිල්ලෙන් තවුසාගේ දකුණු කන්පෙත්ත ඇල්ලු රජු විසින් එක වරම සුරතේ තිබු කඩුව ගෙන 'චිරිස්' ගා පසුපසට ඇද්දේය.කන්පෙත්ත බිම වැටුණි.කනේ නෂ්ටාවශේෂය තිබු තැනින් ලේ දහරා ගොස් බිම තිබූ කන්පෙත්ත මත වැටෙන්නට විය.

ඉන්පසු රජු ගුගුරා තාපසයාගෙන් මෙසේ ඇසිය.

''දැන්...නුඹට අශුමාත්රයක හෝ ක්‍රෝධයක් ඇතිවනවා නොවේද?''


තියුණු වේදනාව මධ්‍යයේ තවුසා මෙසේ කියන්න විය.
''නැත රජතුමනි.වේදනාවක් ඇත.ක්‍රෝධයක් නොමැත.ඔබ වහන්සේට යහපතක්ම වේවා''


මෙය ඇසු රජුගේ ක්‍රෝධය පුපුරා හැලුනි.හෙතෙම ඉන්පසේ වම් කන් පෙත්ත,නාසය ද කපා දමා තවුසාගේ මුහුණින් ලේ විහිදෙන ආකාරය හා වේදනාව යටපත් කිරීමට උත්සාහ කරන ඉරියව් දැක සිනාසෙන්නට විය.ඉන්පසු පෙර පරිදිම ප්‍රශ්නය ඇසුවේය.නමුත් තාපස තෙම නැවතත් රජුට යහපතක්ම ප්‍රාර්ථනා කළේය.
වියරු වැටුණු රජු තෙමේ තාපසයාගේ අත්,පා කපා දැමු පසු තවදුරටත් හිඳගත නොහැකි වූ තවුසා බිම වැටි හොත්තේය.දණහිස් හා උරහිස අසලින් තවුසාගේ අධි පීඩන රුධිර නාල වලින් තද රතු පැහැ දීප්තිමත් ලේ එලියට විදින්නට විය.

ඉන්පසු රජු 

''දැන් වත් නුඹට ක්‍රෝධයක් ඇති වනවා නොවේද?'' කියා ඇසිය.

වේදනාව දරාගත නොහැකිව සිහි විසංඥ වෙමින් සිටි තවුසා හිස දෙපසට වැනිය.ඔහුගේ දකුණු කන තිබු තැන කොළ රොඩු ඇලි තිබුණි.

ඉන්පසුව රජ තෙමේ තවුසා අසලට ගොස් දණ ගසා තම අසිපත් තුඩින් ඇන දෑස් අන්ධ කර දැමිය.තවුසා සිහිසුන් විය.

අහස එක්වරම අඳුරු පැහැ ගන්නට විය.කළු වලාවකින් පිපුරු හෙනයක් රජු අසලම තිබු නුග ගසකට වැදුනි.හෙතෙම බිය පත්ව සුසානයෙන් පිටත් වීමට දුවන්නට විය.රජුගේ බර අඩිය එක් පස් බුරුල් වී ගිය සුසානයක් උඩින් පතිත විය.හෙතෙම සිතීමටත් පෙර ඒ සුසානය ඇතුලට ගිලී යන්නට විය.අවිචියේ දැල් රජු පිළිගැනීමට පොරොත්තුවෙන් ඉන්නා ලදී..

* * *
බෝසත් තවුසා තම අනාගත චක්ඛු දර්ශනය එතකින් අවසන් කළේය.හොරා කිහිපයක් ගිය මේ දර්ශන දැක අවසන් කිරීමට ඔහුට වැයවූයේ තත්පර කිහිපයක් පමණි.හෙතෙම අවිචියේ ඇති අනන්ත දුක් කරදර ගැන හොඳින් වැටහීමක් තිබු බැවින් රජු කරගැනීමට යන මහා පාපකර්මයෙන් නිදහස් කරගැනීමට සිතුවේය.
හෙතෙම රජු පෑගු පසු නොසරුප් වදන් කියමින්,පෑගු පුද්ගලයාට ශාප කරමින් නැඟී සිටයේය.රජුට සිනහ පහල විය.හෙතෙම
 ''විකාර රූපී මහල්ල, මේ වනසිමාවෙන් ඔබ්බේ ළඟම ඇති ගම්මානයට යාමට මා හට මං සලකුණු කියව'' 
කියා බෝසත් තවුසාගෙන් විමසා සිටියේය.

No comments:

Post a Comment