Sunday, November 28, 2021

මන්දාරම

වැස්ස වැටෙන්නට සියලු පෙරනිමිති පහල වී තිබුණි. සුළඟක් පැමිණ ටකරම් සොලවන්නට විය. මම කුඩා තේ කඩයෙන් පිටතට පැමිණ ඈත පෙනෙන විවෘත තණබිමට ඉහළින් ඇති අහස දෙස බලා සිටියෙමි. මට පසුපසින් මගේ සඟයා සිගරට්ටුව සහ ප්ලේන්ටියද සමඟ පිටතට පැමිණියේය.


' හෙන මූසලයි නේද බං'


අහස සම්පූර්ණයෙන්ම වළාකුලු වලින් පිරී ගොස් තිබුණි. නමුත් දහවල් කාලය වූ බැවින් සහ හිරු මුවා කළ වළාකුලු  එතරම් තද කලු පැහැ නොවූ බැවින් පැතිර තිබූ දසුනේ අන්ධකාරයක් නොවීය. ඉඳ හිටක අහසින් තේජාන්විත ගිගුරුමක් ඇසුණි. මේ අතර මෘදු සුළඟක් අපගේ දැවටී යන්නට විය. වැස්ස තවම ඇද නොවැටුණු නිසා පාරේ හෝ වටපිටාවේ කිසිම තෙත් බවක් නොවුණි.


' නෑ බං. මේක තමා සිරාම... මම වැස්සට කැමති නෑ. ඒත් මේ වෙලාව, මේ මොහොතෙ තියන සැනසීම... මන්දාරම!!!

 බලපං ඒ වචනෙම කොච්චර ලස්සනයිද?'


සාවඥ මුහුණකින් යුතුව ඔහු තම සිගරට්ටුවෙන් බරැති උගුරු ඇද්දේය. ඒ අතර ප්ලේන්ටියත් ශබ්ද නගා බොමින් ඔහු මට කතාකලේය.


' අනේ යකෝ... උඹට මෙහෙම ඇරිල  තියනකොටත් මේ මූසල වෙලාවෙත් ලස්සනක් පේනවනම්....'


මාගේ සිව් අවුරුදු ප්‍රේමය නිමවී තිබුණි. ඇත්තෙන්ම එය නිමවූයේ මම අපේක්ෂා නොකළ මොහොතක, ඒක පාර්ශ්විකව හේතූන් මතය.


සඟයාගෙන් සිගරට්ටුව උදුරා ගත් මම උගුරක් ඇද දුම යවා කතාකලෙමි. 


' අනේ මන්ද බං. මට ඒකි හම්බුණේ වැරදි බස් එකක ගිහින්, මාව බැස්සුවහම එතන තිබ්බ බස් හෝල්ට් එකේදි. මම ඒකිගෙන් යන්න ඕනෙ බස් එක ගැන විස්තර අහපු එක, ඒ වෙලාවෙ වැස්ස එක, ඒ වෙලාවෙ අපි දෙන්නටම කුඩයක් තිබ්බෙ නැති නිසා හෝල්ට් එකේ හිරවෙන්න වුණු එක වගේ අහම්බයන් ගොඩක් එකතුවෙලා.

මම හරි බස් එකට නැග්ගනම්, මට කුඩේ අමතක නොවුණනම්, ඒ වෙලාවේ වැස්සෙ නැත්තන්...

එහෙමනම් අද මේ තත්වෙ උදාවෙන්නෙ නෑ...'


' උඹට මතකද අනූජයව?' නැවත සිගරට්ටුව ඉල්ලා ගත් සඟයා මගෙන් විමසා සිටියේය.


' අනූජ... නෑනෙ බං'


' ඇයි යකෝ... අහිංසක...'


' ආ...'


අනූජ යනු එකල අපේ පන්තියේ සිටි අහිංසකම ළමයා විය.  පාඩමකදී ' අහිංසක' යන නමට උදාහරණයක් ලෙස ඔහුව ගත් දිනයේ සිට ඔහු ' අහිංසක' ලෙස නම් දැරීය.


' ඉතින් මොකද කේස් එක?'


' ඌට lung cancer එකක් බං. ඒක හොයාගෙන තියෙන්නෙ ටිකක් කල් ගිහින්.'


' හුටා... ඒ කොහොමද??? ඌ කැම්පසුත් ගියානේ... නැහැදුණාද පස්සෙ...'


' නෑ බං අහපංකො. සීන් එක දැනගත්තෙ මම දවසක් ඔඒසිස් එකේදි මූව සෙට් වුණාම. එදා මූ හල්මිල්ල බාගයකුයි ගෝල්ලීෆ් පැකට් එකකුයි තනියම තියාගෙන ගහනවා.'


' ඉතින් යකෝ ආයෙ cancer නොහැදෙයියැ'


සඟයා සිගරට්ටුව මහපට ඇඟිල්ල සහ මැඳැගිල්ල පාවිච්චි කර ඈතට වීසිකර කතාව ඇරඹීය.


' අහපංකො ඉතින්. ඌගෙ සීන් එක මම දැනන් හිටියෙ. ඉතින් මට ෂුවර් නැතුව හිටියෙ මූට මාව දකින එක අවුලක් වෙයිද කියල. මූ මාව දැක්ක. දැක්ක ගමන් නැගිටල ඇවිල්ල හෙන ගැම්මෙන් මාව බදාගෙන උගෙ මේසෙට ගෙන්නගත්ත.


උගෙන් සීන් එක වටෙන් ගොඩෙන් අහනකොට ඌ කෙලින්ම මට කිව්වෙ මෙහෙම,

' මචං. මම ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන් බැලුවෙ හරි දේ කරන්න. නීති පිළිපදින්න, පන්සිල් රකින්න, ආගම ධර්මෙට අනුව ඒ රටාවට හැඩගැහෙන්න. ඒක මමම හෙන ආසාවෙන් කරේ කොහොමත්. මම කැම්පස් එකේ රැග් වුණත් එක්ක, ඒත් මම අයින් වෙනකම් බියර් බින්දුවක් වත් බිව්වෙ නැහැ. කාමරේ උන් ජොයින්ට් පලනකොට මම බ්‍රිස්ටල් එකක් වත් බිව්වෙ නෑ.


මේ cancer එක චෙකප් එකකදි තමා මාට්ටු වුණේ මෙඩිකල් එකක් ගන්න යනකොට. ඩොකානම් කිව්ව මට තාම චාන්ස් තියනව කියල මේක හරිගස්සගන්න.

මම කල්පනා කරා යකෝ, මම මේ තරම් කාලයක් කාපු කට්ටෙ තේරුම මොකක්ද කියල... 

මොන මඟුලක්ද බං... ඊට පස්සෙ දවසක් දෙකක් කල්පනා කරන්න ගත්ත... දවස් දෙකකට පස්සෙ තවදුරටත් මගෙ ඇතුලෙ බයගුල්ලෙක් හිටියෙ නෑ...'


ඉතින් මට මූ හෙන සැහැල්ලුවෙන් මේ කතාව කිව්වෙ. මමත් ඌට පොඩි ආතල් එකක් දෙන්න හිතල ' එතකොට අහිංසක අන්තිමේට අංගුලිමාල වුණා' කියල කිව්ව... ඌට හිනා ගියේ තණකොලත් ගලවගෙනම.'

Friday, January 10, 2020

නව ලෝක රටාව

මම දැක්ක අර ගුරුවයෙක් හතේ පොත ගැන කිව්ව කතාවක්... 

 අවුරුදු තිහකට වගේ කලින් ඉස්කෝලෙක (මිශ්‍ර) අවුරුදු 17/18 කෙල්ලො කොල්ලො සෙල්ලම් කරනවා. දැන් හතේ අටේ උනුත් කෙලින්ම සීන් එකේ ඉන්නෙ. අපිට වැරදුණේ කොතනද කියල... 🤔🤔🤔 

ඒ කාලෙ නොහිටියටත් ගොලු හදවත වගේ කතාවක් කියෙව්ව ඔය 70 වගේ දශකයක මධ්‍යම පන්තිය ගැන අදහසක් ගන්න පුලුවන්. හැම දෙයක්ම වගේ පටන් ගන්නෙ 'ප්‍රේමය' මූලික කරගෙන. ඒ කිව්වෙ නිකන් කාමුකබවට වඩා එහාට ගියපු දෙයක් එතන තියනවා. ඔය කලුවරේ දාන සෙල්ලම් වල අඩුවක්, සංවෘත බවක් තියෙන්න ඇති. ඒත් ඒ ජීවිත අදට වඩා තෘප්තිමත්. ඒ සම්බන්ධකම් වුණත් දිගු කල් පැවතුණු ස්ථාවර ඒව. (ලෝකයේම 70 දශකයේ සංගීතය වගේ කලා ධාරාවක් විතරක් සැලකුවත් ඒ සමාජයේ දාර්ශනික ගැඹුර වටහාගන්න පුලුවන්) 

 මම හිතන්නෙ අද හැමදේම දුවන්නෙ මේ වෙළඳ සමාජෙක. මේ වෙළඳ සමාජෙ පැවතීමට මිනිස්සුන්ගෙ පරිභෝජනය ඇති අසීමාන්තික බව වැඩිවිම අනිවාර්‍ය අංගයක්. ඕනෙම ජරාවක් අමූලික බොරු කියල advertise වෙන එක සෑහෙන්න සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම හැම අංගයක්ම, කලා මාධ්‍යයක් වුණත් හැදිල තියෙන්නෙ මේ පද්ධතිය පවත්වාගෙන යන්න. පද්ධතියට අනුගත වෙන්න බැරි හැමෝටම ඒ සඳහා බෙහෙත් කරල් තියනවා. (Beta blockers, antibiotics වල ඉඳන් SSRI, methylphenidate වගේ පරාසයක් දක්වා යන) ඉතින් අපේ සම්බන්ධකම් වල වටිනාකම් පවා හැදෙන්නෙ මේ පරිභෝජන පද්ධතියට අනුගත වෙන්න ලේසි විදිහට. මිනිහෙක්ට තව දුරටත් තව මිනිහෙක් එක්ක සෘජුව සම්බන්ධ වෙන එක වැදගත් නෑ. ඒක මේ අතේ තියන එකෙන් එහෙම වෙන එකට අවශ්‍ය අඩුව ඕනෙවටත් වඩා පුරවන්නෙ narcissistic ගතිය සහ addiction නිසා අලුත් disorders හඳුන්වාදෙමින්. ඉස්සර කාලෙ වගේ phone, electronic හදනකොට කල් පැවැත්ම ගැන තවදුරටත් හිතන්නෙ නෑ. මොකද ඉක්මණින්ම ඒක යාවත්කාලීන වෙනවා. ඊට වඩා හොඳ එකක් එනවා. ඉතින් අපේ සම්බන්ධකම් වලටත් ඒ සෙතේම තමා. අවශ්‍ය විදිහට උපරිම පරිභෝජනය අරගෙන ඒකට ගැලපෙන්නෙ නැත්තන් අත් ඇරල දානවා. මිනිස්සුත් නිකන් වෙළඳ භාණ්ඩ වෙලා. ඕනෙම සම්බන්ධයක් ගැන හිතනකොට වුණත් ලාභ අලාභ ගැන කැල්කියුලේෂන් එක තමා සාමාන්‍යයෙන් මුලින්ම ඔලුවට එන්නෙ. 

කාලෙකට කලින් ජපානෙ වැඩිහිටි ජනයා නොසලකා හරින මට්ටමකට සමාජය පත්වෙමින් සිටින බව ඔවුන්ට නිරීක්ෂණය වුණා. මේකට හේතුව පද්ධතියට ඉතාමත් හොඳින් මිනිසුන් අනුගත වී හිටපු එක. 5S පද්ධතියේ පළමු S එකෙන් අදහස් වන්නේ මොකක්ද කියන එක සලකලා බැලුවොත්, උත්තරේ තිබ්බෙ එතන...
( seiri - අනවශ්‍ය දෑ බැහැරකරන්න. වැඩකරන තැන ඇති කැඩී බිඳී ගිය tools, සුබ පැතුම් කාඩ්පත් වගේ sentimental අගයක් පමණක් ඇතිදේ) සිංගප්පූරුව වගේ රටකට ගියපු කෙනෙක් අවුරුදු තුනේ හතරේ ළමයින් වුණත් බස් එකකට නැග්ග ගමන් ටැබ් දිග ඇරගන්න හැටි දැකල ඇති. ඒ දියුණුවක්ද? (සිංගප්පූරුව අපේ දියුණුවට යොදාගන්න පූර්වාදර්ශය වෙන එක අහඹුවක් නොවේ.) 

 Wall-E එකේ මිනිසුන් මුහුණට හමුවෙන එකිනෙකා මඟ හැර තමන්ගෙ hooverපුටුවට ඈඳලා තියන digital තිරේ බලාගෙන තමා හැම දෙයක්ම කරන්නෙ. කොටින්ම වෙන කෙනෙක්ට කතාකිරීම පවා. මෙන්න මේ තිරයක් බිඳිල ගියාට පස්සෙ තමා ඒ මනුස්සය පලවෙනි වතාවට තරු පිරුණු අහස දිහා බලන්නෙ... තව මනුස්සයෙක් එක්ක පළමු වතාවට හරියට සම්බන්ධ වෙන්නෙ.

නව වසරේ ඔබට අහස දැකගැනීමට ඉස්පාසු වැඩියෙන් ලැබේවා.

Friday, January 3, 2020

හැමදාම ලෝකෙ තිබ්බෙ එකම විදිහ

ලෝකෙ පහළ වුණු විශාල අධිරාජ්‍යය තමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. ඒ තරම් යුරෝපෙ අග්ගිස්සක තිබ්බ දූපතක් ඉන්දියාව (පාකිස්තානය, බංග්ලාදේශය සමඟ) පවා පාලනය කරන්න හැකියාව තිබ්බා කිව්වම ලේසි පාසු කාරණයක් නෙවේ. විශේෂයෙන්ම සූවස් ඇළ හදන්න කලින්, පෙරදිගට යන්න දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව පහුකරන්න වුණු කාලෙක. 


 ඉතින් බ්‍රිතාන්‍යය තමන්ගෙ යටත් විජිත පාලනය සඳහා තාක්ෂණය වගේම මනෝ විද්‍යාවත් උපකාරී කරගත්තා. ඒ වගේම රට රටවලින් දැනුම අරගෙන/ පැහැරගෙන ඒව ක්‍රමානුකූලව සැකසුවා. තුවක්කු, බයිබල් සහ මත්පැන් කියන්නෙ ඔවුන්ගෙ ප්‍රාථමික හා මූලික යටත් කරගැනීමේ ආම්පන්න. නමුත් ජාතියක සම්පූර්ණයෙන්ම කොන්ද බිඳල දාපු එක තරමක ඉන්ටරෙස්ටිං කතාවක්. මොවුන්ගෙන් ලැබුණු දේවල් හැටියට අධ්‍යාපනය ප්‍රධානයි. මේ අධ්‍යාපන ක්‍රමය හරහා තමා මොවුන් මුලු යටත් විජිතයම පාලනය කරේ. 

ඒ කිව්වෙ ලංකාවේ මොවුන්ගේ අධ්‍යාපනය හදාරපු එකෙක් සිම්බාබ්වේ වල සිවිල් සේවයේ අතෑරියනම් ඌට කිසිම අවුලක් නැතුව වැඩේ කරගෙන යන්න පුලුවන්. හැබැයි වැඩේ ඒ අධ්‍යාපනයේ වරප්‍රසාද හම්බෙන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙක් වුණොත් විතරයි. බ්‍රෝකර්ලට මේ ආගමිකත්වය නිසාම සමාජෙ ඉහලට යන්න ඔවුන් වැඩ සැලැස්සුවා ( ජේ. ආර්. සහ බන්ඩාරනායකලාගේ මුතුන් මිත්තන් වගේ.). ඉතින් මේ ක්‍රිස්තියානුන්ගෙ අමුතු ලයින් එකක් තියනවා, රජා/ රැජිණ තමා දේව කැමැත්ත අනුව දෙවියන්ගෙන් පසුව පාලනය කිරීමට අයිතිය ලැබෙන (right to rule) පුද්ගලයා. එතකොට රටක ස්වදේශික ඉහලම ස්ථරය ඒ තත්වෙ උං.


හැබැයි පාලනය කිරීමේ අවුලක්, මිනිස්සු නොසන්සුන් වෙන එක දැක්ක ගමන් මේ අධිරාජ්‍යවාදීන් කරන්නෙ තමන් බැඳල තියන ලණු එක එක ලිහල දාන එක. හරියට වායු බැලුමක් පහත්වෙනකොට ඒකෙ තියන බර බිමට දානව වගේ. එහෙම නැත්තන් වෙනස් ප්‍රශ්නයක් හදන එක. හරියට වාර්ගික නොරිස්සීමක් වගේ. ඒ වගේම වාර්ගිකත්ව වරප්‍රසාද ලබා දී තමන්ට සමස්තයෙන් එන පීඩනය විවිධ පැති වලට යවන්නත් ඔවුන් කටයුතු කළා. 

නීතිය හඳුන්වාදීමේ මූලික හේතුවත් එය තමන්ගේ පාලනය පහසු කරන එක. රා පෙරීම තහනම් කරල, ගංජ වැවීම අදටත් තහනම් වෙන්නෙ සීල් අරක්කු ප්‍රවර්ධනය වෙනුවෙන් කරපු ඒකෙන්ම තමා. නමුත් කාරණේ ඒක නෙවේ. 

මේ අධිරාජ්‍යවාදීන්ට සදාතනිකව අපි ණය බව, ඔවුන්ගේ පැමිණිම අපට වුණු හොඳම දේ බව පෙන්වන පිරිසක් ඉන්නවා. ඒත් මේ ලැබුණු දේවල් වලට හිලව් වන මහා මනුෂ්‍ය ඝාතන, හරියට වෙල්ලෙස්සේ කැරැල්ල මර්දනය කරන්න ගම් පිටින් ගිනි තිබ්බ ඒව, අවිහිංසා උද්ගෝෂණය/ හර්තාල් වලදි නිරායුධ මිනිසුන් ඉන්දියාවෙදි මරා දැමීම්, හියු නෙවිල්ලා සහ බෙල්ලා විසින් උස්සන ලද ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වගේ දේවල් මේ කට්ටිය හිතාමතාම මඟ අරිනවා. යටත් විජිතවාදීන් කරපු හොඳ දේවල් තියනවා, හැබැයි ඒවත් පාලනයේ පහසුව සඳහා කරන්න වුණු දේවල්. ඉතින් එතකොට තරාදියකට දැම්මනම් යට යන්නෙ යහපත් දේවල්ද??? 


 ලෝකෙම ධනවාදයෙන් ගිනි ගන්න යනකොට පරිභෝජනවාදයේ ගුණ කියල ඒක වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න අයත් බොහෝවිට් යටත් විජිතවාදීන්ට නමස්කාර කරන කට්ටියම තමා. ධනවාදයත් මිනිස්සුන්ගෙ ඇතිවන ප්‍රතිවිරෝධීතාවය අඩු කරන්න අර වගේ විවිධ ලණු පටවල් ලිහනව. අලුත් ලණුවක් බඳිනව (minimum wage, working hours වගේ) . හැමඑකකම හොඳ දේවල් තියනව තමා. ඒත් එහෙම කියල &ක දෙන්න ඕනෙ නෑනෙ, පෝස්ට් එකක් දැක්ක ගමන් ධනවාදෙ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න තරම්... ඒ වගේම ලෝකය මුහුණ පාන්න යන බැරෑරුම් පාරිසරික අර්බුදයක කට ළඟටම ඇවිල්ල ඉන්න මේ වෙලාවෙ, ඒකට මඟහරින්න ඔය ලබ්බෙ ධනවාදයවත් දියුණුවටවත් හැකියාවක් ලැබිල නෑ. ඉහලම ස්ථරයක් රකින, ඉහලම ස්ථරයක පැවැත්ම වෙනුවෙන් ධනවාදෙ හැමදාම තිබ්බ. ඒකෙ නම විතරයි කාලෙන් කාලෙට වෙනස් වුණේ. 

Tuesday, December 31, 2019

සාතන්ගේ පරීක්ෂාව

අධ්‍යාත්මය සහ භෞතිකත්වය අතර දෙගිඩියාවකින් ඇඹරිලා ජීවිතේ යුෂ එලියට ගලා යන ඕනෙම කෙනෙක්ට එක පාරක් හමුවන අවස්ථාවක් වන සාතන්ව මුණ ගැසීම මටත් අත්විඳින්න ලැබුණා, ඉර බැහැගෙන යන හැන්දෑවක සිරීපාදේ, දඹගිරිය අවසානයට කිට්ටුවෙන්... 

 'දරුවා' 

කියල සාතන් මට කතාකළා. 
'දරුවා, මේ තමා ආදි මනුලොවට ගොඩබැස්ස පාරාදීසිය. තව ටිකකින් කලුවර වැටේවි. ඉර බහින පැත්ත දිහා බැලුවොත් නුඹට කොළඹ දීප්තිමත් ආලෝක තව ටිකකින් ඉතා කුඩාවට පෙනේවි. 
මේ මිහිමත සියලූම දේ නුඹගේම කියා සිතාපන්... කැමති දෙයක් මගෙන් ඉල්ලාපන්.' මම කල්පනා කළා. 

 වටේම තියන හැම කඳු පන්තියකටම ඉහළින් මම ඒ වෙලාවෙ හිටියෙ. තෙත් ගතියක් දවටාගෙන තරමක සුළඟක් හමායමින් තිබුණ. ඉරේ මළානික කහ පාට එළිය වැටිල පඩිපෙළ දෙපැත්තේ බෑවුමේ තිබ්බ පොඩි පඳුරු වල මල් දිලිසෙන්න ගත්තා. 

 "අපි ශිෂ්ඨාචාරයක අවසානයේ ඉන්නේ... අපගේ අසීමාන්තික ඕනෑකම් අහස පොළව ජලය මේ හැමදේම විනාස කරලා... 
මම ඔබෙන් ඉල්ලා හිටින්නට කැමතියි මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා එකතුවී ඇති සියලුම අහිතකර දේවල්, මේ මිහිතලයට, මහමුහුදට ජීර්ණය කරගැනීමට අපහසු නොදිරන දේවල් ක්ෂණයෙන් නැති වී යන ලෙස. එමෙන්ම වාතයට එකතු කරන ලද දූෂක වායූන්ද මේ ලෙසම නැතිවී යන ලෙස..." සාතන් දිගු හුස්මක් ඇද්ද... 

"දරුවා... නුඹේ ඉල්ලීම් බොහොම දරුණුයි. ඒ වගේම මගේ වැඩ කටයුතු වන්නේ ඉටු කරන ඉල්ලීමකට සුදුසු පරිත්‍යාගයක් සහිතව බව නුඹ දන්නවා ඇති."

 "මා පරිත්‍යාග කිරීමට අවශ්‍ය මොනවාද?" 

"නුඹේ ජීවිතය සහ ආත්මය... නමුත් නුඹේ ඉල්ලීම් ඒ සීමාව ඉක්මවා යනවා..." 

 සාතන් ගිවිසුම අත්සන් කරන්නෙ පරණ පාච්මන්ට් කඩදාසියක. ඒකෙ කෙලවර ඔහුගෙ කබායෙ උඩසාක්කුවෙන් යාන්තම් එළියට පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් කමක් නෑ, ජීවිතේ යකාටම ගියාවෙ. අඩුම ගානෙ මම ජීවිත බිලියන ගාණක් වෙනුවෙන් කැපවුණු හැටිවත් ආදිගේ පරම්පරාව මතක තියාගයි. ඒ නිසා වැඩි ගානකට නැතුව මම මෙහෙම ඇහුව...

"තවත් ඔබට ඕනෙ මොනවාද?" 

 "දරුවා, මම නුඹට පැහැදිලි කරන්නම ඕනෙ කාරණය මේක. 
ලෝකය අනිවාර්‍යෙන්ම ජීවයට වඩා යහපත් වෙයි, ආදිගේ සහ නෝවාගේ පරම්පරා ගණනක් මෙයින් සුරක්ෂිත වෙයි, නමුත් නුඹේ පරිත්‍යාගය ගැන කිසිවෙක් දැන ගන්නේ නැහැ. 
ඊයේ උදයේ නිවසින් පිටව ආ නුඹ අදින් පසුව ආගිය අතක් නැතිවෙයි... නුඹේ කතාව එපමණයි." 

 දේව ශාපයට අහුවුණු කායින් වගේ මමත් පරාජිතව ඔහේ පඩිපෙළ බහින්න ගත්ත.