Friday, December 30, 2022

සයිමා ගැන කැලෑපත්තරයක්!

 ගරු බ්ලොග්වාසී හිතෝතුනී,

පොඩි ආරංචියක් ආවා සයිමා ගැන යම් කිසි ආකාරයක එතරම් කෙටි හෝ දීර්ඝ නොවන සඳහනක් සඳහන් තැනක් ගැන. මේක සෝබනකාරයා කියල පොතක්. හෙන අමුතුම සීන් එකක් කියල බලපු උං සයිමට කිව්වෙ. සයිමානුතල් එකක් කියල.

මෙන්න මෙතනින් ගෙන්නගෙන බලල මටත් කියන්න.




Saturday, August 13, 2022

රට පටලැවිල්ලක මූලක්

 මම හිතන්නෙ ලංකාවට තියන ලොකුම අවුලක් දේශපාලන පක්ෂවල නමේ ඉඳලම ප්‍රතිපත්තියක් නැති වැනෙන සුලු බව.


එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මේකෙ අනු නම් සියල්ල), සජබ, (පොහොට්ටුවෙ නම මතක නෑ) වගේ නම් අරන් බලමු. එකකවත් පැහැදිලිව නෑ ඒව වාමාංශිකද, දක්ෂිණාංශිකද කියල. එහෙම පැහැදිලිවම දැක්වෙන පක්ෂයකට උදාහරණය තමා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදි සමානතා පක්ෂය වගේ ඒව. ඒත් ඒව ප්‍රධාන පක්ෂ නෙවේ.


මේ නොපැහැදිලිතාවය හින්ද ප්‍රධාන පක්ෂ වලට පුලුවන් ඕනෑම වෙලාවක එක කොණක ඉඳන් අනික් කොණට රූපාන්තරණය වෙන්න. වැල යන අතට මැස්ස ගහන්න. මිනිස්සුන්ගෙන් ඩිමාන්ඩ් එකක් එනකොට ඒක බලාගෙන තමන්ගෙ ප්‍රතිපත්ති හදන්න. ප්‍රධාන පක්ෂ දෙක රවුම කැරකිල වැටෙන්නෙ එකම පාරට. ඒ නිසයි රනිල් වික්‍රමසිංහගෙන් අවසාන වෙන මේ දේශපාලනික පරිච්ඡේදයට අනුව අපිට තවදුරටත් විපක්ෂය කවුද කියල තෝරාගන්න බැරි.


මේක එක ප්‍රශ්නයක්.


දෙවෙනි ප්‍රශ්නෙ දක්ෂිණාංශික කියන වචනෙත් නිකන් පාපයක් විදිහට සලකන එක. හරිනම් සිංගප්පූරුව ආදර්ශයක් විදිහට අරන් යන ගමනෙදි සමාජවාදෙ කියන වචනෙ ඇහුණත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න ඕනෙ...


මම අදහස් කරන්නෙ නෑ දක්ෂිණාංශික වීමෙන් මේ සියලු ප්‍රශ්න විසඳන්න පුලුවන් කියල. ඒත් මේ ප්‍රවාහ දෙක (වම, දකුණ) එකිනෙකට විරුද්ධව වෙන වෙනම, පැහැදිලිව ගොඩනැඟෙන්න ඕනෙ.

මේ දෙකේ ගැටුම නිසා ඵලදායී දේවල් එලියට විසිවෙනවා.



Sunday, May 22, 2022

වික්ෂිප්තය

මම ඉතින් මේ

සුනිලවන් විල් තෙරය

ඔබේ ප්‍රතිබිම්බය 

වරින් වර කළඹවන

Wednesday, May 18, 2022

ප්‍රීති වෙසක්

නැගෙනහිර පැසිෆික් සාගරය ජාත්‍යයන්තර දින රේඛාව හරහා තරණය කර,ඇලස්කාව හරහා ජපානයට මාලු ගෙනයන කුඩා නෞකාවක මාගෙ පළමු පුහුණු වාරය ගෙවුණි.

සෑම පුහුණුවකම මෙන් මෙහිදීද මාගේ කාල පරිච්ඡේදය ගලාගියේ තද පාලන නීති රීති වලට යටත්වය.කෙසේ වුවද සියරට කිසිවකු නොමැතිව ජාතීන් කිහිපයක් සමඟ වැඩකිරීමට සිදුවීම නව අද්දැකීමකි.මෙයින්ද පිලිපීන ජාතික ප්‍රධාන කෝකියා මා සමඟ ඉතා හොඳින් යහලු විය.


නත්තල සහ අනෙකුත් සැමරීම් වලදී ඔහුගේ අතින් නිමවන්නේ විශේෂිත සාදවලට ගැලපෙන ආහාරය.දිනක වැඩ නිමවීමෙන් පසුව හුරුපුරුදු අල්ලාප සල්ලාපයේදී ඔහු මගෙන් ආගම ගැන විමසා සිටියේය.බොහෝ ලාංකිකයින් මෙන්ම මමත් බෞද්ධයෙක් බව කියා සිටියෙමි.ඒ වන විටත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය.වෙසක් යනු බෞද්ධයිනගේ උත්සවයක් බවත් අපගේ ශාස්තෲවරයා ඉපදුණේ ඒ දිනයේ බවත් මම කියාසිටියෙමි.බුද්ධත්වය ලැබීම ගැන නොකීවේ ඒ ගැන ඔහුට සංකල්පීයව තිබූ අනවබෝධය හා අප අතර තිබූ භාෂා පරතරය නිසාවෙනි.


මම එහි සිටි එකම බෞද්ධයා වූ බවද කිව යුතුය.


එක් දිනක මම ආහාර ගැනීමට භෝජනාගාරයට යාමේදී එහි උත්සවාකාරයෙන් සකසා තිබූ ආහාර දැක්කෙමි.රෝස් කරන ලද කළුකුමෙක්,විවිධාකාරයට සැකසූ හරක් මස්,බේකන් සුප් සහ කැරමල් පුඩිම,චීස් කෙක් දැක තරමක් පුදුමයකටත් සතුටක්ටත් පත්වුයෙමි.ප්‍රධාන කෝකියා මාව දැක අතට අත දී 'හැපි වෙසක්' කීවේය.


එදින වෙසක් පොහෝ දිනය බව මටත් මතක් වූයේ එවිටය...


වෙසක් උත්සවය අප සමරන ආකාරය ගැන ඔහුට කලින් කිවීමට නොහැකිවීම ගැන මට කණගාටුවක් මෙන්ම මේ ආකාරයෙන් මාංශමය සැමරීමකට එය මඟ පෑදීම ගැන මම මටම දොස් පවරාගතිමි.ඔහු මෙය වටහගෙන ඇත්තේ බෞද්ධයින්ගේ නත්තල ලෙසයි.කෙසේ වුවද මම ඔහුට ස්තූති කළෙමි. අවංක ලෙස ස්තුතිපූර්වක බව පෙන්විමට මම උත්සහ කළෙමි.


පරිනිර්වාණයද එදිනටම යෙදී ඇති බව ඔහු කලින් නොකියා සිටීම ගැන පසුතැවීමක් ඇතිවිය.


එය දැනසිටියනම් වෙසක් යනු සැමරිය යුත්තක්ද ශෝක විය යුත්තක්ද යන්න සිතාගත නොහැකිව ඔහු පත්වන ව්‍යාකූලත්වය වටහාගත් බැවින් ඒ ගැන නොකියාම සිටීමට මම තීරණය කළෙමි.


(ප්‍රබන්ධයකි)

Saturday, April 30, 2022

මාර පරාජය

 ඈෂ්ට්‍රේ එකේ දාරයක නිදැල්ලේ පත්තුවමින් තිබූ සිගරට්ටුව ගෙන අලු කඩා, උගුරක් ඇද දුම් යවා ඔහු කතාව කරගෙන යන්නට විය.


"සිරාවට මචං, එතකොට අපි හතර වසරෙනෙ. මාර පරාජෙ තේරුණාට මරඟනන්... අඩෝ ඒ කාලෙ මොකක්ද බං උංට කිව්ව වචනෙ... ඔය තණ්හා, රති, රඟාලට... මාර දූතියොද? 


හරි කොහොමහරි මේකනෙ, 

එකෙක් වෙස් ගත්‍තලු තරුණ ගෑණියෙක්ගෙ,


තව එකෙක් මැදිවියෙ ගෑණියෙක්ගෙ,


අනෙක් එකා මහලු ගෑණියෙක්ගෙ.


මුං දන්නෙ නෑ දැන් සිද්ධාර්ථ තාපසය බුදු වෙලා කියල. දැන් දාගෙන නටනවලුනෙ..."


ඔහු නැවතත් සිගරට් උගුරක් ඇද, වීදුරුවේ තිබූ පරණ අරක්කු උගුරට හලාගත්තේය.


"මේ කතාවට මම ආසයි, හැබැයි ඒකෙන් බවුන් කඩන්න උත්සහ කරපු එක මට තේරුමක් තිබ්බෙ නෑ.


හය වසරට වගේ යනකොට මට ලාවට තේරුම් වෙන්න ගත්ත. හැබැයි මට තේරුණේ අර තරුණ ගෑණියක් විදිහට වෙස් අරන් නැටුව එක ගැන විතරයි. අනික් ගෑණු දෙන්න මොන බොරු වැඩක්ද කරන්නෙ කියල මට හිතුණේ."


මෙසේ කියූ ඔහු කාලක් පමණ ඉතුරුව තිබූ සිගරට්ටුව ඈෂ්ට්‍රේ එකේ සිරස්ව ගසා නිමමින් මෙසේ කීවේය.


"හැබැයි මචං මට ඒක අද තේරෙනවා."

Sunday, November 28, 2021

මන්දාරම

වැස්ස වැටෙන්නට සියලු පෙරනිමිති පහල වී තිබුණි. සුළඟක් පැමිණ ටකරම් සොලවන්නට විය. මම කුඩා තේ කඩයෙන් පිටතට පැමිණ ඈත පෙනෙන විවෘත තණබිමට ඉහළින් ඇති අහස දෙස බලා සිටියෙමි. මට පසුපසින් මගේ සඟයා සිගරට්ටුව සහ ප්ලේන්ටියද සමඟ පිටතට පැමිණියේය.


' හෙන මූසලයි නේද බං'


අහස සම්පූර්ණයෙන්ම වළාකුලු වලින් පිරී ගොස් තිබුණි. නමුත් දහවල් කාලය වූ බැවින් සහ හිරු මුවා කළ වළාකුලු  එතරම් තද කලු පැහැ නොවූ බැවින් පැතිර තිබූ දසුනේ අන්ධකාරයක් නොවීය. ඉඳ හිටක අහසින් තේජාන්විත ගිගුරුමක් ඇසුණි. මේ අතර මෘදු සුළඟක් අපගේ දැවටී යන්නට විය. වැස්ස තවම ඇද නොවැටුණු නිසා පාරේ හෝ වටපිටාවේ කිසිම තෙත් බවක් නොවුණි.


' නෑ බං. මේක තමා සිරාම... මම වැස්සට කැමති නෑ. ඒත් මේ වෙලාව, මේ මොහොතෙ තියන සැනසීම... මන්දාරම!!!

 බලපං ඒ වචනෙම කොච්චර ලස්සනයිද?'


සාවඥ මුහුණකින් යුතුව ඔහු තම සිගරට්ටුවෙන් බරැති උගුරු ඇද්දේය. ඒ අතර ප්ලේන්ටියත් ශබ්ද නගා බොමින් ඔහු මට කතාකලේය.


' අනේ යකෝ... උඹට මෙහෙම ඇරිල  තියනකොටත් මේ මූසල වෙලාවෙත් ලස්සනක් පේනවනම්....'


මාගේ සිව් අවුරුදු ප්‍රේමය නිමවී තිබුණි. ඇත්තෙන්ම එය නිමවූයේ මම අපේක්ෂා නොකළ මොහොතක, ඒක පාර්ශ්විකව හේතූන් මතය.


සඟයාගෙන් සිගරට්ටුව උදුරා ගත් මම උගුරක් ඇද දුම යවා කතාකලෙමි. 


' අනේ මන්ද බං. මට ඒකි හම්බුණේ වැරදි බස් එකක ගිහින්, මාව බැස්සුවහම එතන තිබ්බ බස් හෝල්ට් එකේදි. මම ඒකිගෙන් යන්න ඕනෙ බස් එක ගැන විස්තර අහපු එක, ඒ වෙලාවෙ වැස්ස එක, ඒ වෙලාවෙ අපි දෙන්නටම කුඩයක් තිබ්බෙ නැති නිසා හෝල්ට් එකේ හිරවෙන්න වුණු එක වගේ අහම්බයන් ගොඩක් එකතුවෙලා.

මම හරි බස් එකට නැග්ගනම්, මට කුඩේ අමතක නොවුණනම්, ඒ වෙලාවේ වැස්සෙ නැත්තන්...

එහෙමනම් අද මේ තත්වෙ උදාවෙන්නෙ නෑ...'


' උඹට මතකද අනූජයව?' නැවත සිගරට්ටුව ඉල්ලා ගත් සඟයා මගෙන් විමසා සිටියේය.


' අනූජ... නෑනෙ බං'


' ඇයි යකෝ... අහිංසක...'


' ආ...'


අනූජ යනු එකල අපේ පන්තියේ සිටි අහිංසකම ළමයා විය.  පාඩමකදී ' අහිංසක' යන නමට උදාහරණයක් ලෙස ඔහුව ගත් දිනයේ සිට ඔහු ' අහිංසක' ලෙස නම් දැරීය.


' ඉතින් මොකද කේස් එක?'


' ඌට lung cancer එකක් බං. ඒක හොයාගෙන තියෙන්නෙ ටිකක් කල් ගිහින්.'


' හුටා... ඒ කොහොමද??? ඌ කැම්පසුත් ගියානේ... නැහැදුණාද පස්සෙ...'


' නෑ බං අහපංකො. සීන් එක දැනගත්තෙ මම දවසක් ඔඒසිස් එකේදි මූව සෙට් වුණාම. එදා මූ හල්මිල්ල බාගයකුයි ගෝල්ලීෆ් පැකට් එකකුයි තනියම තියාගෙන ගහනවා.'


' ඉතින් යකෝ ආයෙ cancer නොහැදෙයියැ'


සඟයා සිගරට්ටුව මහපට ඇඟිල්ල සහ මැඳැගිල්ල පාවිච්චි කර ඈතට වීසිකර කතාව ඇරඹීය.


' අහපංකො ඉතින්. ඌගෙ සීන් එක මම දැනන් හිටියෙ. ඉතින් මට ෂුවර් නැතුව හිටියෙ මූට මාව දකින එක අවුලක් වෙයිද කියල. මූ මාව දැක්ක. දැක්ක ගමන් නැගිටල ඇවිල්ල හෙන ගැම්මෙන් මාව බදාගෙන උගෙ මේසෙට ගෙන්නගත්ත.


උගෙන් සීන් එක වටෙන් ගොඩෙන් අහනකොට ඌ කෙලින්ම මට කිව්වෙ මෙහෙම,

' මචං. මම ඉස්කෝලෙ ගිය කාලෙ ඉඳන් බැලුවෙ හරි දේ කරන්න. නීති පිළිපදින්න, පන්සිල් රකින්න, ආගම ධර්මෙට අනුව ඒ රටාවට හැඩගැහෙන්න. ඒක මමම හෙන ආසාවෙන් කරේ කොහොමත්. මම කැම්පස් එකේ රැග් වුණත් එක්ක, ඒත් මම අයින් වෙනකම් බියර් බින්දුවක් වත් බිව්වෙ නැහැ. කාමරේ උන් ජොයින්ට් පලනකොට මම බ්‍රිස්ටල් එකක් වත් බිව්වෙ නෑ.


මේ cancer එක චෙකප් එකකදි තමා මාට්ටු වුණේ මෙඩිකල් එකක් ගන්න යනකොට. ඩොකානම් කිව්ව මට තාම චාන්ස් තියනව කියල මේක හරිගස්සගන්න.

මම කල්පනා කරා යකෝ, මම මේ තරම් කාලයක් කාපු කට්ටෙ තේරුම මොකක්ද කියල... 

මොන මඟුලක්ද බං... ඊට පස්සෙ දවසක් දෙකක් කල්පනා කරන්න ගත්ත... දවස් දෙකකට පස්සෙ තවදුරටත් මගෙ ඇතුලෙ බයගුල්ලෙක් හිටියෙ නෑ...'


ඉතින් මට මූ හෙන සැහැල්ලුවෙන් මේ කතාව කිව්වෙ. මමත් ඌට පොඩි ආතල් එකක් දෙන්න හිතල ' එතකොට අහිංසක අන්තිමේට අංගුලිමාල වුණා' කියල කිව්ව... ඌට හිනා ගියේ තණකොලත් ගලවගෙනම.'

Friday, January 10, 2020

නව ලෝක රටාව

මම දැක්ක අර ගුරුවයෙක් හතේ පොත ගැන කිව්ව කතාවක්... 

 අවුරුදු තිහකට වගේ කලින් ඉස්කෝලෙක (මිශ්‍ර) අවුරුදු 17/18 කෙල්ලො කොල්ලො සෙල්ලම් කරනවා. දැන් හතේ අටේ උනුත් කෙලින්ම සීන් එකේ ඉන්නෙ. අපිට වැරදුණේ කොතනද කියල... 🤔🤔🤔 

ඒ කාලෙ නොහිටියටත් ගොලු හදවත වගේ කතාවක් කියෙව්ව ඔය 70 වගේ දශකයක මධ්‍යම පන්තිය ගැන අදහසක් ගන්න පුලුවන්. හැම දෙයක්ම වගේ පටන් ගන්නෙ 'ප්‍රේමය' මූලික කරගෙන. ඒ කිව්වෙ නිකන් කාමුකබවට වඩා එහාට ගියපු දෙයක් එතන තියනවා. ඔය කලුවරේ දාන සෙල්ලම් වල අඩුවක්, සංවෘත බවක් තියෙන්න ඇති. ඒත් ඒ ජීවිත අදට වඩා තෘප්තිමත්. ඒ සම්බන්ධකම් වුණත් දිගු කල් පැවතුණු ස්ථාවර ඒව. (ලෝකයේම 70 දශකයේ සංගීතය වගේ කලා ධාරාවක් විතරක් සැලකුවත් ඒ සමාජයේ දාර්ශනික ගැඹුර වටහාගන්න පුලුවන්) 

 මම හිතන්නෙ අද හැමදේම දුවන්නෙ මේ වෙළඳ සමාජෙක. මේ වෙළඳ සමාජෙ පැවතීමට මිනිස්සුන්ගෙ පරිභෝජනය ඇති අසීමාන්තික බව වැඩිවිම අනිවාර්‍ය අංගයක්. ඕනෙම ජරාවක් අමූලික බොරු කියල advertise වෙන එක සෑහෙන්න සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම හැම අංගයක්ම, කලා මාධ්‍යයක් වුණත් හැදිල තියෙන්නෙ මේ පද්ධතිය පවත්වාගෙන යන්න. පද්ධතියට අනුගත වෙන්න බැරි හැමෝටම ඒ සඳහා බෙහෙත් කරල් තියනවා. (Beta blockers, antibiotics වල ඉඳන් SSRI, methylphenidate වගේ පරාසයක් දක්වා යන) ඉතින් අපේ සම්බන්ධකම් වල වටිනාකම් පවා හැදෙන්නෙ මේ පරිභෝජන පද්ධතියට අනුගත වෙන්න ලේසි විදිහට. මිනිහෙක්ට තව දුරටත් තව මිනිහෙක් එක්ක සෘජුව සම්බන්ධ වෙන එක වැදගත් නෑ. ඒක මේ අතේ තියන එකෙන් එහෙම වෙන එකට අවශ්‍ය අඩුව ඕනෙවටත් වඩා පුරවන්නෙ narcissistic ගතිය සහ addiction නිසා අලුත් disorders හඳුන්වාදෙමින්. ඉස්සර කාලෙ වගේ phone, electronic හදනකොට කල් පැවැත්ම ගැන තවදුරටත් හිතන්නෙ නෑ. මොකද ඉක්මණින්ම ඒක යාවත්කාලීන වෙනවා. ඊට වඩා හොඳ එකක් එනවා. ඉතින් අපේ සම්බන්ධකම් වලටත් ඒ සෙතේම තමා. අවශ්‍ය විදිහට උපරිම පරිභෝජනය අරගෙන ඒකට ගැලපෙන්නෙ නැත්තන් අත් ඇරල දානවා. මිනිස්සුත් නිකන් වෙළඳ භාණ්ඩ වෙලා. ඕනෙම සම්බන්ධයක් ගැන හිතනකොට වුණත් ලාභ අලාභ ගැන කැල්කියුලේෂන් එක තමා සාමාන්‍යයෙන් මුලින්ම ඔලුවට එන්නෙ. 

කාලෙකට කලින් ජපානෙ වැඩිහිටි ජනයා නොසලකා හරින මට්ටමකට සමාජය පත්වෙමින් සිටින බව ඔවුන්ට නිරීක්ෂණය වුණා. මේකට හේතුව පද්ධතියට ඉතාමත් හොඳින් මිනිසුන් අනුගත වී හිටපු එක. 5S පද්ධතියේ පළමු S එකෙන් අදහස් වන්නේ මොකක්ද කියන එක සලකලා බැලුවොත්, උත්තරේ තිබ්බෙ එතන...
( seiri - අනවශ්‍ය දෑ බැහැරකරන්න. වැඩකරන තැන ඇති කැඩී බිඳී ගිය tools, සුබ පැතුම් කාඩ්පත් වගේ sentimental අගයක් පමණක් ඇතිදේ) සිංගප්පූරුව වගේ රටකට ගියපු කෙනෙක් අවුරුදු තුනේ හතරේ ළමයින් වුණත් බස් එකකට නැග්ග ගමන් ටැබ් දිග ඇරගන්න හැටි දැකල ඇති. ඒ දියුණුවක්ද? (සිංගප්පූරුව අපේ දියුණුවට යොදාගන්න පූර්වාදර්ශය වෙන එක අහඹුවක් නොවේ.) 

 Wall-E එකේ මිනිසුන් මුහුණට හමුවෙන එකිනෙකා මඟ හැර තමන්ගෙ hooverපුටුවට ඈඳලා තියන digital තිරේ බලාගෙන තමා හැම දෙයක්ම කරන්නෙ. කොටින්ම වෙන කෙනෙක්ට කතාකිරීම පවා. මෙන්න මේ තිරයක් බිඳිල ගියාට පස්සෙ තමා ඒ මනුස්සය පලවෙනි වතාවට තරු පිරුණු අහස දිහා බලන්නෙ... තව මනුස්සයෙක් එක්ක පළමු වතාවට හරියට සම්බන්ධ වෙන්නෙ.

නව වසරේ ඔබට අහස දැකගැනීමට ඉස්පාසු වැඩියෙන් ලැබේවා.

Friday, January 3, 2020

හැමදාම ලෝකෙ තිබ්බෙ එකම විදිහ

ලෝකෙ පහළ වුණු විශාල අධිරාජ්‍යය තමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. ඒ තරම් යුරෝපෙ අග්ගිස්සක තිබ්බ දූපතක් ඉන්දියාව (පාකිස්තානය, බංග්ලාදේශය සමඟ) පවා පාලනය කරන්න හැකියාව තිබ්බා කිව්වම ලේසි පාසු කාරණයක් නෙවේ. විශේෂයෙන්ම සූවස් ඇළ හදන්න කලින්, පෙරදිගට යන්න දකුණු අප්‍රිකාවේ කුණාටු තුඩුව පහුකරන්න වුණු කාලෙක. 


 ඉතින් බ්‍රිතාන්‍යය තමන්ගෙ යටත් විජිත පාලනය සඳහා තාක්ෂණය වගේම මනෝ විද්‍යාවත් උපකාරී කරගත්තා. ඒ වගේම රට රටවලින් දැනුම අරගෙන/ පැහැරගෙන ඒව ක්‍රමානුකූලව සැකසුවා. තුවක්කු, බයිබල් සහ මත්පැන් කියන්නෙ ඔවුන්ගෙ ප්‍රාථමික හා මූලික යටත් කරගැනීමේ ආම්පන්න. නමුත් ජාතියක සම්පූර්ණයෙන්ම කොන්ද බිඳල දාපු එක තරමක ඉන්ටරෙස්ටිං කතාවක්. මොවුන්ගෙන් ලැබුණු දේවල් හැටියට අධ්‍යාපනය ප්‍රධානයි. මේ අධ්‍යාපන ක්‍රමය හරහා තමා මොවුන් මුලු යටත් විජිතයම පාලනය කරේ. 

ඒ කිව්වෙ ලංකාවේ මොවුන්ගේ අධ්‍යාපනය හදාරපු එකෙක් සිම්බාබ්වේ වල සිවිල් සේවයේ අතෑරියනම් ඌට කිසිම අවුලක් නැතුව වැඩේ කරගෙන යන්න පුලුවන්. හැබැයි වැඩේ ඒ අධ්‍යාපනයේ වරප්‍රසාද හම්බෙන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙක් වුණොත් විතරයි. බ්‍රෝකර්ලට මේ ආගමිකත්වය නිසාම සමාජෙ ඉහලට යන්න ඔවුන් වැඩ සැලැස්සුවා ( ජේ. ආර්. සහ බන්ඩාරනායකලාගේ මුතුන් මිත්තන් වගේ.). ඉතින් මේ ක්‍රිස්තියානුන්ගෙ අමුතු ලයින් එකක් තියනවා, රජා/ රැජිණ තමා දේව කැමැත්ත අනුව දෙවියන්ගෙන් පසුව පාලනය කිරීමට අයිතිය ලැබෙන (right to rule) පුද්ගලයා. එතකොට රටක ස්වදේශික ඉහලම ස්ථරය ඒ තත්වෙ උං.


හැබැයි පාලනය කිරීමේ අවුලක්, මිනිස්සු නොසන්සුන් වෙන එක දැක්ක ගමන් මේ අධිරාජ්‍යවාදීන් කරන්නෙ තමන් බැඳල තියන ලණු එක එක ලිහල දාන එක. හරියට වායු බැලුමක් පහත්වෙනකොට ඒකෙ තියන බර බිමට දානව වගේ. එහෙම නැත්තන් වෙනස් ප්‍රශ්නයක් හදන එක. හරියට වාර්ගික නොරිස්සීමක් වගේ. ඒ වගේම වාර්ගිකත්ව වරප්‍රසාද ලබා දී තමන්ට සමස්තයෙන් එන පීඩනය විවිධ පැති වලට යවන්නත් ඔවුන් කටයුතු කළා. 

නීතිය හඳුන්වාදීමේ මූලික හේතුවත් එය තමන්ගේ පාලනය පහසු කරන එක. රා පෙරීම තහනම් කරල, ගංජ වැවීම අදටත් තහනම් වෙන්නෙ සීල් අරක්කු ප්‍රවර්ධනය වෙනුවෙන් කරපු ඒකෙන්ම තමා. නමුත් කාරණේ ඒක නෙවේ. 

මේ අධිරාජ්‍යවාදීන්ට සදාතනිකව අපි ණය බව, ඔවුන්ගේ පැමිණිම අපට වුණු හොඳම දේ බව පෙන්වන පිරිසක් ඉන්නවා. ඒත් මේ ලැබුණු දේවල් වලට හිලව් වන මහා මනුෂ්‍ය ඝාතන, හරියට වෙල්ලෙස්සේ කැරැල්ල මර්දනය කරන්න ගම් පිටින් ගිනි තිබ්බ ඒව, අවිහිංසා උද්ගෝෂණය/ හර්තාල් වලදි නිරායුධ මිනිසුන් ඉන්දියාවෙදි මරා දැමීම්, හියු නෙවිල්ලා සහ බෙල්ලා විසින් උස්සන ලද ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වගේ දේවල් මේ කට්ටිය හිතාමතාම මඟ අරිනවා. යටත් විජිතවාදීන් කරපු හොඳ දේවල් තියනවා, හැබැයි ඒවත් පාලනයේ පහසුව සඳහා කරන්න වුණු දේවල්. ඉතින් එතකොට තරාදියකට දැම්මනම් යට යන්නෙ යහපත් දේවල්ද??? 


 ලෝකෙම ධනවාදයෙන් ගිනි ගන්න යනකොට පරිභෝජනවාදයේ ගුණ කියල ඒක වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න අයත් බොහෝවිට් යටත් විජිතවාදීන්ට නමස්කාර කරන කට්ටියම තමා. ධනවාදයත් මිනිස්සුන්ගෙ ඇතිවන ප්‍රතිවිරෝධීතාවය අඩු කරන්න අර වගේ විවිධ ලණු පටවල් ලිහනව. අලුත් ලණුවක් බඳිනව (minimum wage, working hours වගේ) . හැමඑකකම හොඳ දේවල් තියනව තමා. ඒත් එහෙම කියල &ක දෙන්න ඕනෙ නෑනෙ, පෝස්ට් එකක් දැක්ක ගමන් ධනවාදෙ වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී ඉන්න තරම්... ඒ වගේම ලෝකය මුහුණ පාන්න යන බැරෑරුම් පාරිසරික අර්බුදයක කට ළඟටම ඇවිල්ල ඉන්න මේ වෙලාවෙ, ඒකට මඟහරින්න ඔය ලබ්බෙ ධනවාදයවත් දියුණුවටවත් හැකියාවක් ලැබිල නෑ. ඉහලම ස්ථරයක් රකින, ඉහලම ස්ථරයක පැවැත්ම වෙනුවෙන් ධනවාදෙ හැමදාම තිබ්බ. ඒකෙ නම විතරයි කාලෙන් කාලෙට වෙනස් වුණේ. 

Tuesday, December 31, 2019

සාතන්ගේ පරීක්ෂාව

අධ්‍යාත්මය සහ භෞතිකත්වය අතර දෙගිඩියාවකින් ඇඹරිලා ජීවිතේ යුෂ එලියට ගලා යන ඕනෙම කෙනෙක්ට එක පාරක් හමුවන අවස්ථාවක් වන සාතන්ව මුණ ගැසීම මටත් අත්විඳින්න ලැබුණා, ඉර බැහැගෙන යන හැන්දෑවක සිරීපාදේ, දඹගිරිය අවසානයට කිට්ටුවෙන්... 

 'දරුවා' 

කියල සාතන් මට කතාකළා. 
'දරුවා, මේ තමා ආදි මනුලොවට ගොඩබැස්ස පාරාදීසිය. තව ටිකකින් කලුවර වැටේවි. ඉර බහින පැත්ත දිහා බැලුවොත් නුඹට කොළඹ දීප්තිමත් ආලෝක තව ටිකකින් ඉතා කුඩාවට පෙනේවි. 
මේ මිහිමත සියලූම දේ නුඹගේම කියා සිතාපන්... කැමති දෙයක් මගෙන් ඉල්ලාපන්.' මම කල්පනා කළා. 

 වටේම තියන හැම කඳු පන්තියකටම ඉහළින් මම ඒ වෙලාවෙ හිටියෙ. තෙත් ගතියක් දවටාගෙන තරමක සුළඟක් හමායමින් තිබුණ. ඉරේ මළානික කහ පාට එළිය වැටිල පඩිපෙළ දෙපැත්තේ බෑවුමේ තිබ්බ පොඩි පඳුරු වල මල් දිලිසෙන්න ගත්තා. 

 "අපි ශිෂ්ඨාචාරයක අවසානයේ ඉන්නේ... අපගේ අසීමාන්තික ඕනෑකම් අහස පොළව ජලය මේ හැමදේම විනාස කරලා... 
මම ඔබෙන් ඉල්ලා හිටින්නට කැමතියි මිනිසාගේ ක්‍රියාකාරීත්වය නිසා එකතුවී ඇති සියලුම අහිතකර දේවල්, මේ මිහිතලයට, මහමුහුදට ජීර්ණය කරගැනීමට අපහසු නොදිරන දේවල් ක්ෂණයෙන් නැති වී යන ලෙස. එමෙන්ම වාතයට එකතු කරන ලද දූෂක වායූන්ද මේ ලෙසම නැතිවී යන ලෙස..." සාතන් දිගු හුස්මක් ඇද්ද... 

"දරුවා... නුඹේ ඉල්ලීම් බොහොම දරුණුයි. ඒ වගේම මගේ වැඩ කටයුතු වන්නේ ඉටු කරන ඉල්ලීමකට සුදුසු පරිත්‍යාගයක් සහිතව බව නුඹ දන්නවා ඇති."

 "මා පරිත්‍යාග කිරීමට අවශ්‍ය මොනවාද?" 

"නුඹේ ජීවිතය සහ ආත්මය... නමුත් නුඹේ ඉල්ලීම් ඒ සීමාව ඉක්මවා යනවා..." 

 සාතන් ගිවිසුම අත්සන් කරන්නෙ පරණ පාච්මන්ට් කඩදාසියක. ඒකෙ කෙලවර ඔහුගෙ කබායෙ උඩසාක්කුවෙන් යාන්තම් එළියට පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් කමක් නෑ, ජීවිතේ යකාටම ගියාවෙ. අඩුම ගානෙ මම ජීවිත බිලියන ගාණක් වෙනුවෙන් කැපවුණු හැටිවත් ආදිගේ පරම්පරාව මතක තියාගයි. ඒ නිසා වැඩි ගානකට නැතුව මම මෙහෙම ඇහුව...

"තවත් ඔබට ඕනෙ මොනවාද?" 

 "දරුවා, මම නුඹට පැහැදිලි කරන්නම ඕනෙ කාරණය මේක. 
ලෝකය අනිවාර්‍යෙන්ම ජීවයට වඩා යහපත් වෙයි, ආදිගේ සහ නෝවාගේ පරම්පරා ගණනක් මෙයින් සුරක්ෂිත වෙයි, නමුත් නුඹේ පරිත්‍යාගය ගැන කිසිවෙක් දැන ගන්නේ නැහැ. 
ඊයේ උදයේ නිවසින් පිටව ආ නුඹ අදින් පසුව ආගිය අතක් නැතිවෙයි... නුඹේ කතාව එපමණයි." 

 දේව ශාපයට අහුවුණු කායින් වගේ මමත් පරාජිතව ඔහේ පඩිපෙළ බහින්න ගත්ත.



Friday, June 14, 2019

අසුබවාදියා

'මම අසුබවාදියෙක්.'

වැව් තලය මතට පැතලි ගලක් වීසි කරන ගමන් මම ඇයට කීවෙමි.

ඇය අසා සිටියාය.
සාමාන්‍යයෙන් ලිවීමේදී 'අශුභවාදියා' ලෙස ලියූවිට එන බරපතලකම කථනයේදී හැඟවීමට ඇති අපහසුව මම වටහාගතිමි. 'අශුභවාදියා' ලෙසම මම කියූවානම් එයින් ලැබෙන්නේ තරමක අභව්‍යකමකි.
කතාවට වඩා ලිවීමට මම ආශක්ත වූයේ මෙවැනි හේතූන් නිසා විය යුතුය.

'මම ඉස්සර වුණත් කැමති වුණේ හොඳට ඉගෙනගන්න ළමයෙක් කියල අහනවට වඩා,ඉගෙනගන්න පුලුවන් වුණත් උවමනාවක් නැති ළමයෙක් කියල අහන්න.
දැන් කියලත් වැඩි වෙනසක් නැහැ.'

ඇය සිනහවක් පෑවාය.සුළඟ විසින් ඒ මේ අත අඹරවන කෙස් රොදවල් ඇය වරින් වර සකසාගත්තාය.ඒ අතර මෙසේ කීවාය

'හැබැයි ඉගෙනගන්න බැරි ළමයෙක් කියල අහගන්න කැමති වුණේ නෑනේද?'

ඇයටම විශේෂ වූ තියුණු උපහාසයට ලක්වීම මට සෑමවිටකම තරමක් ආනන්දජනක කාරණයක් විය.මම පිළිතුරු දුනිමි.

'ඔව් එහෙම එහෙකුත් තියනවා තමයි ඉතින්.
මොන තරම් අසුබවාදියෙක් වුණත් මම හිතන්නෙ නෑ මෝඩයි කියල අහගන්න කැමති ඇති කියල.'

'අනේ මන්දා' කෙහෙ රොදක් අඹරවමින් ඈත බලාගෙන ඈ කතාකලාය.

'මමනම් හිතන්නෙ නියම අසුබවාදියෙක්ට ඒක කොහොමටත් වැදගත් වෙන්න බෑ කියල.
ඉතින් ඔයාට අසුබවාදයෙන් මිදෙන්න බැරිවෙයිද?'

මම තවත් පැතලි ගලක් සෙවීම නවතා ඇය ඇමතුවෙමි.
'මම හිතන විදිහට බැරිවෙයි.'

'සමහරවිට ලෝකෙ වෙනස් විදිහකට තිබ්බනම් මම එහෙම වෙන එකක් නෑ..
බැරි වෙලාවත් අපි නාකි වෙලා,සිහි කල්පනාව අඩුවෙලා,එක්තැන් වෙලා දුර්වලම වෙලා,මර බයේ මැරෙන එකට වඩා අපි තරුණකමින්,ශක්තියෙන්,ආවේගශීකමෙන් උපරිමයට ආවහම මැරෙන්න තිබ්බනම්. මරණය පිළිගන්න පුලුවන් වුණානම්..
අපි ඉන් පස්සෙ මතකයේ රැඳෙන්නෙ ඒ විදිහටනම්.
සමහරවිට මම එහෙම වෙන එකක් නැහැ.'

ඇය කොක් හඬලා සිනාසුණාය.

'ඇයි දැන් ඔයා නාකියිද?'


පාවෙන හාද්ද

'දූ අපි යමු.. අංකල්ට බායි කියන්න.' 

 ඇගේ අතේ එල්ලී සිටි ඇයගේ කුඩා දියණිය මට 'පාවෙන හාද්දක්' දුන්නාය. මම තරමක පුදුමයකින් සිනහවෙමින් ඈ දෙස බලා සිටියෙමි. ඇය, පරීක්ෂාකාරීව මදෙස බලා, ප්‍රතිචාර ලෙස ආපසු පාවෙන හාද්දක් නොදීම ගැන ඇගේ මවට පැමිණිලි කර සිටියාය.

 'ඒ අංකල්ගෙ හැටි දූ... ඒ දවස්වලත් ඔහොමයි.'

Thursday, February 14, 2019

ස්වයංවරය


1.


හෙලේනා කුමරියගේ ස්වයංවරය වෙනුවෙන් වූ කොන්දේසිය ඉටුකර ගැලහැඩ් පැලඩින්වරයා මකරුන්ගේ ඔළු තුනක් තම සෑදලයේ දමාගෙන දැදුරු වී ගිය සන්නාහය හා විඩාපත් වූ අශ්වයා සමඟ හෙලේනා කුමරියගේ රාජ මාළිගයේ පිවිසුම් දොරටුව අසලට පැමිණ සිහිසුන්ව අසු පිටින් බිමට වැටුනේය.


පසුදින හෙලේනා කුමරියගේ පිය රජු තම රාජසභාව කැඳවා ගැලහැඩ් විසින් නියමිත පරිදි ඔහුගේ අභියෝග පූරණය කිරීම සම්බන්ධව දන්වා සිටියේය.මේ අතර රාජකීය වෙදැදුරු මෙසේ විමසා සිටියේය.


"රජතුමනි.කොන්දේසි ප්‍රකාරව ඔහු මකරුන් තිදෙනෙක් මරදැමුවද? එයට සාධක ඉදිරිපත් කලේද?"


ගැලහැඩ්ගේ සෑදලයේ බැඳ තිබූ මකර ඔළු තුන රාජපුරුෂයින් විසින් බිමට හැලුවහ.මෙය බලා වෙදැදුරු මෙසේ කීවේය.


"අහා.. ඉතාම අනර්ඝ හිස් තුනක්.මේ නියෝමාර්හි මකරා වියයුතුයි.නව පරපුරේ මකරෙක්.

ඉස්සර මකරුන්ට තිබ්බෙ එක හිසයි.බොහෝදුරට ගිනි පිඹින ඒවා.නමුත් පසුව මෙය විෂ දුම්,බිහිසුණු අම්ල,අයිස් පවා විදින්නන් ලෙස පරිණාමය වූණා.ඉන් පසුව හිස් එකකට වඩා වැඩිපුරව බිහිවී ඉහත ලක්ෂණ සඳහා එක් හිසක් බැගින් දරන්නට තරම් දරුණු වුණා.

මේ නියෝමාර්ගෙ ගිනි විදින හිස.සාමාන්‍ය මකර හිසක්.

මේ විෂදුම් යවන හිස.නාස් පුඩු විශාලයි වගේම ඝනයි.

මේ තියෙන්නෙ ලාවා විදපු හිස.මේකෙ දත් දියමන්ති වලට වඩා ඝනයි."


මේ අතර රජතුමා උදාර ලීලාවෙන් ඔබ මොබ ගොස් මෙසේ ඇසීය.


"ඔහු හෙලේනා සරනපාවා ගැනීමේ කොන්දේසිය වන මකරුන් තිදෙනෙක් මරා දැමීම නිසි ලෙස ඉටුර ඇති බව ඔබ හැමට ඔප්පු වි ඇතිව නිසැකයි."


රාජ උපදේශක මෙසේ කියා සිටියේය.

"එසේය රජතුමනි.එවන් නිර්භය මකරුන් එකෙක්වත් මරාදැමූ අභීත මිනිසෙක් පහළවූයේ සියවස් ගාණකට පෙර.අප වාසනාවන්තයි ඇත්තටම."


මේ අතර වෙදැදුරු කථාකරන්නට පටන්ත්තේය.

"සමාවන්න.ගැලහැඩ්ගේ අභීතබව ගැන කිසි විවාදයක් නෑ.නමුත් මෙහි කොන්දේසිය ඔහු පූරණය කර නැතිවයි මගේ වැටහීම."


මෙය අසා ඇමති මණ්ඩලය තූෂ්ණිම්භූත විය.රජු මෙසේ විමසා සිටියේය.

"මම ඉතා අවධානයෙන් බලා ඉන්නවා ඔබ විසින් මෙය කරුණු සහිතව පෙන්වා දෙන තෙක්."


වෙදැදුරු රජුට ආචාර කර පැහැදිලි කිරීම ඇරඹුවේය.

"රජතුමනි.කොන්දේසිය වූයේ මකරුන් තිදෙනෙක් මරා දැමීමයි.මෙතන හිස් තුනක් ඇති බව ඇත්ත.

නමුත් ඒ තුනම අයිති එක මකරෙකුට."


සභාවේ කසුකුසුවක් ඇතිවිය.උපදේශක වෙදැදුරුගෙන් මෙසේ විමසුවේය.

"පුද්ගලයෙක් මිය යන්නේ කෙසේද? මම අහන්නේ පුද්ගලයකු මිය යන්නේ ඇයි?"


වෙදැදුරු මෙසේ කීවේය.

"කුමන හේතුවක් නිසා හෝ අවසානයේ ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය නැතිවී යාමයි.එනම් මොළයේ මරණයයි."


උපදේශක මෙසේ කීවේය.

"මෙතන මකර හිස් තුනක් ඇත.එක හිසකට එක් මොළය බැගින් ගතහොත් මරණ තුනකි.එනම් කොන්දේසිය සපුරා ඇත."


මේ අතර වෙදැදුරු මඳ සිනාවකින් මෙසේ කීවේය.

" මරණය සඳහා තව දේ සලකා බලනු ලැබේ.

මේ හිස් සම්බන්ධ වන්නේ එකම ශරීරයකටයි.ශරීරයේ ඇත්තේ එක හදවතක් බව කිසි සැකයක් නැහැ.ඒ වගේම හිස් තුනක් වූවත් මේ හිස් තුනම ක්‍රියාත්මක වී ඇත්තේ එකම ඒකකයක් ලෙසින්.එමෙන්ම මේ සතාට තිබුණේ එක ජීවයක්."


උපදේශක මෙය අසා සිනා පහළ කළේය.


"බොහොම හොඳයි.අපි හිතමු මේ මකරාගෙ එක හිසක් කපා දැමුවා කියා.එවිට ඒ සත්වයා මියදෙනවාද?"


මේ අතර රජු උභතෝකෝටිකයක ගිලී සිටියේය.ඔහු වහාම ගිලන්හලේ ප්‍රතිකාර ගනිමින් සිටි ගැලහැඩ්ව රාජ සභාවට රැගෙන එන ලෙස අණ කළේය.


*


2.


ගැලහැඩ් රාජසභාවට ගෙන එන ලද්දේ ගිලන් ඇඳ පිටිනි.ඔහු වන්නේ කුමක්දැයි හරිහැටි නොදැන සිටි නිසා වික්ෂිප්තභාවයකට පත්ව සිටි නමුදු එය කිසි විටක තම මුවින් හෝ හැඟීම් වලින් පිට කරන්නට නොයෙදුණේය.එමෙන්ම සභාව තුල සිට ගැනීමට බැරි තරම් ගිලන් වීම ගැන රජුගෙන් හා සභාවෙන් සමාව ඉල්ලා සිටියේය.


උද්ගත වී ඇති තත්වය ගැන ඔහුට සමාලෝචනයක් කරන ලදී.මෙය ඇසූ ඔහුගේ මුවේ සාවඥ සිනහවක් සටහන් විය.එමෙන්ම රාජ සභාව තුල ඔහු ගිලන් ඇඳේම සිටි තත්ත්වය තරමක නොරුස්නා ස්වභාවයක් එක්කර තිබූ බැවින් ඔහුගේ ඇඳ රාජ සභාවේ පසෙකින් තබා තිර රෙදි වලින් ආවරණය කර තිබුණි.


මකරාව මරා දැමුවේ කෙසේදැයි ගැලහැඩ්ගෙන් ප්‍රශ්න කරනා ලදී.


වන සීමාව ඉවරවන තැන අසු බැඳදමා මකර ගුහාව අවට තිබූ අසූචී තම සිරුර පුරා තවරා ගෙන කාලයක් මකර චර්‍යාව නිරීක්ෂණය කරමින් සිටියේය.දිනයේ වැඩි කාලයක් නින්දේම පසුවූ මකරා ආහාර ගන්නා ලද්දේ සතියට දෙවරක් පමණි.ආහාර ලෙස යාබද ගම්වාසීන් විසින් පණ පිටින් ඇති මහීෂයින් තිදෙනෙක්,බැටළුවන් දෙදෙනෙක් සැපයූ අතර ගමේ දඩයක්කරු විසින් මරා පළහා දමන ලද ගෝණකුගේ හෝ වල් ඌරකුගේ වැඩි කොටසක් ගෙන,වන සීමාව කෙළවර වන හරියෙන් බැඳ දමති.


මෙසේ ආහාර සැපයීමට පෙර මකරා විසින් ගම්වැදී මහා විනාශ කර තිබුණි.එමෙන්ම ඌ මරා දැමීමට රණශූරයින් පැමිණි හැම විටකම ඔවුන්ව මරාදමා ගම්වැසියන්ද හතරෙන් කොටසක් පමණ විනාශ කිරීමට මකරා ක්‍රියා කළේය.එබැවින් ගැලහැඩ්ට ගම්වාසීන්ගෙන්ද සැඟව සිටීමට සිදුවිය.මකරා සාමාකාමීව තබාගැනීමට ඇත්තෙන්ම ඔවුන් හට දැරීමට සිදුව තිබුණේ ඉතා සහනශීලී ගාස්තුවකි.

එමෙන්ම මකරාගේ නඩත්තුව හා දරන්න වන අන්තරාය නිසා රජු විසින් මේ නියම් ගමේ සිටි සියල්ලන්ම සියලු ආකාරයේ බදු වලින් නිදහස් කර තිබුණි.


මකරාගේ ආහාර රටාව ගැන වෙදැදුරු උනන්දුවක් දැක්වූ බව පෙනුණි.

"ගැලහැඩ්, අපිට දැනගන්න හැකිද මකරා ආහාර ගැනීම කළ ආකාරය."


තිර රෙද්දට එපිටින් සිටි ගැලහැඩ්ගේ හඬ ඇදී ආවේය.


"ඔහු ප්‍රථමයෙන් කළේ සතුන් බැඳ ඇති ස්ථානයට කෙළින්ම නොගොස් අහසේ සිට පියාඹමින්ම එකිනෙකා හොඳින් නිරීක්ෂණ කිරීමයි.ඉන්පසුව දුම් විදිමින්ම පහළට පියාසර කරමින් මොවුන්ගේ සිහි විසඥ කර දමනවා. ආහාරයට ගන්නේ ඉන් පසුවයි,කිහිපයක් ගින්නේ පළඟා ගෙනත් ඉතිරිය ජීවග්‍රහයෙන්මත්..."


මේ අතර වෙදැදුරු නැවතත් ගැලහැඩ්ට බාධාකළේය.

"බොහොම හොඳයි,මම දැනගන්න කැමතියි තව එක දෙයක්.ආහාර ගැනීමට ඔහු භාවිතා කළේ එක් හිසක්ද,දෙකක්ද නැතහොත් සියල්ලමද යන කාරණය."


රාජ සභාව මොහොතකට තුෂ්ණිම්භූතව ගියේය.


*

3.


නිහැඬියාව බිඳුනේ තිරය පිටුපසින් ගලාගෙන ආ ගැලහැඩ්ගේ හඬිනි.


"වෙදදුරිනි, මකරා සෑම විටකම ආහාර ගැනීමට භාවිතා කළේ එකම හිසක් පමණයි.

එයම තමා ඔහු විසින් ගිනි විදීමට භාවිතා කළ හිසත්."


වෙදදුරු මෙය බලාපොරොත්තුවෙන් සිටි බවක් පෙනී ගියේය.


"එය පුදුමයට කාරණයක් නොවෙයි.ගිනි විදින හිස තමා මකරාගේ මූලිකම හිස.

දුම් විදින හිසේ ඇති රසායනිකයින් නිසා සහ ලාවා විදින හිසේ දිව ඉතා ඝනව ඇති නිසා ඒවාගේ රස අංකුර හරි හැටි වැඩ කරයි කියා හිතන්න අමාරුයි.


උපදේශක තුමණි!"

කියමින් වෙදැදුරු තම වාදියා අමතා සිටියේය.


"උපදේශක තුමණි, ඔබතුමාට කීමට යමක් ඇත්ද?"


මෙය ඇසූ උපදේශක ගැලහැඩ්ව ඇමතීය.


"ගැලහැඩ් පැලඩින්වරයාණෙනි..

මා හටත් ප්‍රශ්නයක් යොමු කිරීමට ඇත. කරුණා කර ඔබ විසින් මකරා මරා දැමූ ආකාරය පැහැදිලි කරන්න...."


ගැලහැඩ් විස්තරය පටන් ගන්නා ලදී...


* * *


සති තුනක් පමණ මකර අසූචි සහ මඩේ ලැග සැඟවී සිටිමින් ගැලහැඩ් මකරාගේ චර්‍යා රටාවන් ගැන ඉතා විමසිල්ලෙන් පසුවිය.අඩි විස්සක පමණ දිගකින් යුතු එම උරගයා සිටියේ අන්තරාය ගැන හැඟීමක්වත් නොදැන සිටි ආකාරයකිනි.බොහෝ මකරුන්ගෙන් මෙන්ම උගේ කොරපොතුද සෑදී තිබුණේ ලොව තියුණුම වානේ හෙල්ලයෙන්වත් පසාරු කිරීමට පහසු වන පරිදි නොවේ.ගැලහැඩ් සතු වූයේ දමස්ක අසිපතක්,හෙල්ලයක් හා පලඟක් පමණි.දුනු ඊතල කොහෙත්ම මේ කාර්‍ය සඳහා කිසිම රුකුලක් නොදෙන බව ඔහු වටහාගෙන සිටියේය.


මකර ලෙන තුලට රිංගායාමට ඔහු පෙර සිතා සිටියද මකරා ලෙනින් පිටතට පැමිණීයේ ආහාරය සඳහා පමණක්ම බැවින් ඒ සඳහා අවකාශයක් නොවීය.


එබැවින් දහවල් කාලයේ ඔහු වනයේ සැරිසරන්නට විය.කුඩා වැටි වලින් අසු පන්නන්නටද,තම ආයුධ හරඹය පුහුණු වීමටද ඔහු මේ කාලය යොදාගත්තේය. මේ අතර දිනක් ඔහුට දඩයක්කරුව හමුවිය.


දඩයක්කරුට  සතියකට සැරයක් විශාල දඩ සතෙකු මරා මකරාට කැප කිරීමට එහි ගම්පතියා අණ කර තිබුණි.ඔහුට ගමට පැමිණ දඩයම් විකිණීමට අවසරය දිගටම පවත්වාගෙන යාමටනම් එය කඩ නොකර සිටීමට සිදුවිය.මේ නිසා සමහර කාලවල අමතර දඩයම් සොයා යාමට ඔහුගේ කාලය හා ශ්‍රමය මහත්සේ නිරපරාදේ වැයවී ගියේය.මකරා කෙරෙහි තිබූ මේ වෛරය දැනගත් ගැලහැඩ් ඔහු පැමිණියේ මකරා මරාදැමීමට බවත්,එය සියලු ගම්වැසියන්ගෙන් රහසක් ලෙස තබා ගන්නා ලෙසටත් දඩයක්කාරයාට නියෝග කර සිටියේය.ඔහුට මේ සඳහා උදව් වන්නේනම් දායාද සහ තාන්න මාන්නද ලබා දීමටද ගැලහැඩ් පොරොන්දු විය.


දඩයක්කාරයා එකඟ වූයේ ඔහුට වෙන විකල්පයක් නොමැති වූ නිසා සහ මකරාගේ කරදරය ඇත්තෙන්ම නැතිකරදැමීමට උවමනාවක් තිබූ බැවිනි.එබැවින් ගැලහැඩ්ගෙන් අවශ්‍ය වන උපකාර මොනවාදැයි විමසා සිටියේය.


ගැලහැඩ් මෙයට සිනාවකින් පිළිතුරු දුන්නේය.

"සුදු ගෙම්බන්.... සුදු ගෙම්බන් මහා ගොඩක්"


*


4.


දින තුනක් ඇතුලත වනය මුළුල්ලේ සැරිසැරූ දඩයක්කරු සුදු ගෙම්බන් දෙසියයකට නොවැඩි ගණනක් රැස් කර ගැලහැඩ් හට ලබා දුන්නේය.


සුදු ගෙම්බන් යනු අධි විශ සහිත ස්‍රාවයක් නිකුත් කළ කුඩා ගෙම්බන් විශේෂයකි.මොවුන්ගේ මේ විෂ වර්ගයේ තිබූ ප්‍රධාන ලක්ෂණ වූයේ ඒවායින් බොහෝ විෂ වර්ග වලින් මෙන් නොව කිසිදු ගන්ධයක් නිකුත් නොවීමයි.


ප්‍රවේසමෙන් මැඬියන්ගේ දෙපා මුල පිහිටි විෂ ග්‍රන්ථින් සිදුරුකර වෑහෙන බින්දු භාජනයකට එකතු කළේය.ඔහු නයිට්වරුන්ගේ විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේදී 'වනයේ දිවි රැකගැනීම සහ සටන් කිරීම' යන පාඨමාලාව යටතේ විවිධ විෂඝෝර සත්ත්වයින්ගේ විෂ වර්ග හඳුනාගැනීම සහ වෙන්කර ගැනීම සම්බන්ධයෙන් හොඳම සිසුවා බවට පත්ව සිටියේය.විෂ සම්පූර්ණෙන්ම ලබාගත් පසු ඔහු එයට කහ බිම්මල්,තලාගත් කෙම්පල් කොළ මිටක්ද එකතුකළේය.ඉන්පසු එයින් ඊතල තුඩක් තෙමාගෙන ගං ඉවුරට ගොස් එල්ලය ගෙන දුනුදිය විද්දේය.


නිමේෂයකින් කිඹුල් මළකුණක් උඩුබැලි අතට හැරී පාවන්නට විය.ඒ දෙස තෘප්තියකින් බලාසිටි ගැලහැඩ් පිටත් වූයේ තවත් එක් පරීක්ෂණයක් කර බැලීමටයි.


මකරාට කැප කිරීම සඳහා දඩයක්කරු විසින් ඇටවූ උගුලකට ජීවග්‍රහයෙන් හසුවූ වල් ඌරකු විය.දිනයක් පමණ බඩගින්නේ විසූ ඌරා ගැලහැඩ්ගේ නියමය පරිදි ජීවග්‍රහයෙන් තබා තිබුණි.හෙතෙම ගෙල වැටී තිබූ මන්ද සිරවී ලේ ගලමින් තිබියදී ගැලහැඩ්ව දැක නැවත ප්‍රචණ්ඩව දඟලන්නට විය.


මඳක් ඈතින් හිඳ ගැලහැඩ් තම අතේ විශපොවා තිබූ අලය ගෙන එය ඌරා දෙසට වීසි කළේය.එය හොඳින් ඉවකළ ඌරා එක්වරම ගිල දැම්මේය.


ඌරා යනු සත්ත්වයින් අතර තියුණු ගන්ධ සංවේදනයක් ඇති සත්ත්වයකි.මෙය මකරාට කොහෙත්ම නොදැනෙනු ඇති බවට ගැලහැඩ් විශ්වාස කළේය.


තීරණාත්මක දිනය උදාවිය.දඩයක්කරු විසින් එදින මකරාගේ ආහාරයට මුවකු සහ ඌරා ගින්නෙන් පළහා සකස්කර තිබුණි. රාත්‍රිය පුරාවටම ගැලහැඩ් තම මිශ්‍රණය කුඩා ඉඳිකටු තුඩවලින් මුවාගේ හා ඌරාගේ ගාත්වලට එකතුකර තිබුණේය.ගැලහැඩ් තම කිණිස්ස පමණක් රැගෙන මකර අසූචි ඇඟපුරා තවරාගෙන ගුහාවට ඔබ්බෙන් සැඟවී සිටියේය.ගමට වැටී ඇති අඩිපාරේ බැටළුවන්,හරකුන් රැගෙන එන ගම්වාසියා සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අශ්වයකුගේ පිට ගින්නේ පළහා ගත් ඌරා සහ මුවා දමාගත් දඩයක්කරු මකරාට ආහාර සැපයීමට එන ආකාරය ඔහුට පැහැදිලිව පෙනෙන්නට තිබුණි.


*




ගැලහැඩ් රාජසභාවට සුදු ගෙම්බන් ගැන වචනයක් වත් නොකීමට ප්‍රවේසම් විය.ඔහු කියූවේ මාස ගණනක් මකරාගේ චර්‍යාව ගැන ඔත්තු බැලූ ආකාරය පමණි.


කතාව එතැන් සිට ඔහු මෙසේ රාජ සභාවට මෙසේ කියන්නට විය.


"මාස ගණනක්ම මකරාගේ උස,හැකියාවන් හා ප්‍රතිචාර දැක්වීමේ වේගයන් ගණනය කරගෙන මම නැවත නගරයට වෙස්වළාගෙන පැමිණ එහි කම්මල්කරු හා සම් පාදන්නා මුණ ගැසුනා.දියමන්ති තුඩක් සහිත ඊතල හතරක්, ශක්තිමත් වානේ හෙල්ලයක් සහ සම් පාදන්නාගෙන් හරක් සමින් කරන ලද මුලු සිරුරම ආවරණය වන පරිදි සෑදූ ශරීරාවරණ හතරක් මම ඉල්ලාගත්තා.යකඩ සන්නාහයක් භාවිතා නොකළේ එය අධිකව රත් විය හැකි බැවින්.


නැවත මකර ගුහාව අසලට පැමිණි රාත්‍රිය කැලයේ ගතකර හරක් සම් ශරිරාවරණ දෙකක් පැළඳ,දුනු ඊතල උරහිසේ එල්ලාගෙන,අසිපත පැළඳ,හෙල්ල හා පළඟ දෑතින් ගෙන ගුහාවට ඇතුලු වූවා."


ගැලහැඩ් තම කතාව මඳකට නැවත්වූවෙය.රාජ සභාවේ පැවතුණේ ඇල්පෙනෙත්‍තක් බිම වැටුණත් ඇසෙන නිහැඬියාවකි.


"මම ගුහාවට ඇතුළුවූවා.එය දැඩි ගන්ධයකින් හා අඳුරකින් පිරී ගොස් තිබුණේ.

එබැවින් අඳුරට මඳක් හුරු වන තුරු එක්තැන රැඳී සිටියා.

කොහොම වුණත් මකරා සමඟ සටන ගුහාවෙන් එළියට පැමිණ සටන් කිරීමට වඩා ඉඩකඩ සීමා වූ ගුහාව තුලම සටන් කිරීම වඩාත් උපායමාර්ගික වුණු බව මම වටහාගෙනයි සිටියේ.

මට ඇතිව තිබූ එකම අවාසිය මකරාට ගුහාව අතිශය හුරුපුරුදු තැනක් වීම පමණයි.


ගුහාව කෙළවර වූයේ විශාල වෘත්‍තාකාර ශාලාවකින්.මෙය ඉපැරණි ශුද්ධාරක්ෂක නයිට්වරුන්ගේ ශාලාවක් බවත්,මෙතැන මකරා අත්පත් කරගෙන ඇත්තේ නයිට්වරුන් සියලුදෙනාම මරාදැමීමෙන් පසුව බවත් පුරාවෘත්තගත කතාවක්.මෙහි මැද තිබූ ශඩාස්‍රකාර ශෛලමය මේසයක මකරා නිදා සිටියා.


මම ඉතා ප්‍රවේසමෙන් ඊතල දෙකක් ගෙන දුන්න මෑනුවා.ඉන්පසුව මකරාගේ ගිනි විදින හිසේ ඇස් ඉලක්ක කළා.ඉන්පසු සියළු ශුද්ධවන්තයින් සිහි කරමින් දුනුදිය මුදා හැරියා."


නැවතත් ගැලහැඩ් මොහොතකට විරාමයක් ගත්තේ දැඩි නිහැඬියාවක් පතුරමිනි.

මේ අතර රාජකීය වෙදැදුරු ප්‍රශ්නයක් නැඟීය.

"ගැලහැඩ්, මට ප්‍රශ්නයක් මතුවූවා,අප අසා ඇති පරිදි මකරුන්ට දැඩි ගන්ධ සංවේදීබවක් තිබෙනවා.ඔබ ගැන ඌට කිසි සංවේදනයක් ඇති නොවූයේ ඇ‍යි?"


කතාවේ රස මරා දැමීම නිසා වෙදැදුරු වෙත දසතින්ම එල්ල වූයෙ අප්‍රසාදය දැඩිව එල්ලවූ බැලුම්ය.නමුත් ගැලහැඩ් සුපුරුදු ශාන්ත හඬින්ම පිළිතුරු දුන්නේය.


"මම රාත්‍රියේ දැල්වූ ගිනිමැලයේ අළු තවරාගෙන සිටියේ.මෙය මඟින් අනවශ්‍ය ගන්ධයන් සියල්ලම කපා දමනවා."


එම පිළිතුර ප්‍රමාණවත් බව පෙනුණි.

ගැලහැඩ් මකර අසූචි තවරාගත් බවත් කොහෙත්ම හෙළි නොකර සිටියේය.


*


6.

"මම ඇස් අන්ධකාරයට මඳක් හුරු වන තුරු සිටියා.මකරා නිදා සිටියේ යටිකුරුව. උගේ දුර්ගන්ධමත් ප්‍රාශ්වාස වලින් මුළු ගුහාවම පිරී ගොස් තිබුණා."


මේ වර ගැලහැඩ්ට බාධා කළේ උපදේශක වරයායි.


"ගැලහැඩ්,මටත් ප්‍රශ්නයක් මතුවූවා.සැකයක් නැතිවම ඔබට මේ හිස් තුනේ ප්‍රාශ්වාසය දකින්න ඇති.මට ඇතිවූ ප්‍රශ්න මේ හිස් ආශ්වාස හා ප්‍රාශ්වාස කළේ එක් විටමද, නැතිනම් තුන් විටකද?"


ගැලහැඩ් ආවර්ජනය කර පිළිතුරු දුන්නේය.


"එය කොහෙත්ම එක් විටම ගත් ප්‍රාශ්වාසයක් නොවේ...හරියට අශ්ව ගාලක් වගේ,හිස් තුන ආශ්වාස ප්‍රාශ්වාස කළේ තුන් විටක.එම හිස් වල ආශ්වාස හා ප්‍රාශ්වාස දීර්ඝත්වයද වෙනස්."


වෙදැදුරුගේ මුහුණ මඳක් අඳුරු වී යනු රාජ සභාව දුටුවේය.


රජතුමා තෘප්තියෙන් ගැලහැඩ්ව ඇමතුවේය.


"ඔබගේ කතාව සම්පූර්ණ කරන්න ගැලහැඩ්."


"එසේය රජතුමනී..

මම ශාලාව ඇතුලේ සැලසුමක් හදාගත්තා...


ඒ අනුව මා මකරාගේ වම් පැත්තේ තිබූ විෂ දුම් විදින හිසට මඳක් ඉහළින් වැරෙන් අසිපත අල්ලාගෙන සිටියා.


ඉන් පසු මහ හඬින් ශුද්ධාරක්ෂක නයිට්වරුන්ගේ රණ ඝෝෂාව නැඟුවා...


මකරා එක් වරම නැඟී සිටියා.මා බලාපොරොත්තු වූ පරිදිම ඌ හිස එසවූ වේගය නිසාම විෂ දුම් විදින හිස වෙන් වී ගියා.එය බලවත් ආවේගයක්,එබැවින් ඉහළ වහලයේ වැදී ඈතට පෙරළී ගියා.මකරා මරහඬ නඟමින් වේදනාවෙන් දඟලමින් සිටියේ.ඌ එක් වරම තර්ජනය වගහාගෙන මා දෙස ඉතුරු වූ හිස් දෙකෙන් බැලුවා.


මම වහාම ඊතල දෙකක් ගෙන උගේ ඇස් ඉලක්ක කර දුනු දිය ඇද්දා.නමුත් ඌ ඊට සූදානම්ව සිටියේ.එම ඊතල දෙක මඟහැර අහසට නැඟී ගින්දර ජාලාවක් මා කෙරේ මුදා හැරියා.මම වහාම දණගසා මාගේ පළඟට ආවරණය වූවා.නමුත් පළඟ ඊට ප්‍රමාණවත් වූයේ නැහැ.දමස්ක වානේ ව්ලින් තැනූ එය උණු වී වැටෙන බව මට දැනුණු අතර අධික උණුසුම නිසා සිහි මූර්ජා ගතියක් දැනෙන්නට වුණා.


මේ අතර මහා අත්භූත සිදුවීමක් සිදුවෙමින් පැවතියා....


දුර්වල එළි සහිත පාවෙන ආත්මයන්ගෙන් ශාලාව පිරි යන්න වූවා... මාගේ වම් පසින් දිලිසන සන්නාහයෙන් අංගසම්පූර්ණ වූ නයිට්වරයෙක් මහා ගිනි ජාලාව මැදින් මා කරා පැමිණෙන්නට වූවා.ඔහුගේ ලෝගුව ලෙල දෙන්නට වූයේ නිල් පැහැ ශුද්ධාරක්ෂක කුරුස සංකේතයත් සමඟයි.පළඟේ ආවරණය ඇතුලට පැමිණි ඔහු දණගසාගෙන බිම හාරන්නට පටන් ගත්තා.


මටත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ.පළඟත් ගිනි රත්වෙමින් එහි අත් ආවරණයත් ගැලවෙමිම් තිබුණේ.නයිට්වරයාට සහාය දැක්වීමට මමත් වියරුවෙන් මෙන් බිම හාරන්නට වූවා.සියවස් ගණනක දූවිලි තට්ටුවට යටින්  යමක් අතට හසුවූවා.මම එය මතුකරගත්තා.එය දිග හෙල්ලයක්.එහි කොටා තිබූ වචනය දුටුවේ ඉන්පසුවයි. අල්නිලාම්"


මේ අතර රාජ සභාවේ විශ්වයානුකූල හඬක් පැතිරී ගියේය.අල්නිලාම් යනු ශුද්ධාරක්ෂක නයිට් වරුන්ගේ මහා ශූලධර සෙබස්තියන් නයිට්වරයාගේ හෙල්ලයයි.


ගැලහැඩ් තම කතාව කරන්නට විය.

"මා අසලට පැමිණීයේ සෙබස්තියන් නයිට්වරයා බව මා වටහාගෙන සිටියේ.හෙල්ලය ගත් වහාම ඔහු මා දෙස බැලුවා.ඇස් දෙක පමණක් නිරාවරණය වූ ශීර්ෂාවරණයෙන් ඔහු මා දෙස බැල්මක් හෙලුවා.ඉන්පසු එක්වරම ඔහු නැතිවී ගියා.


මාගේ විඩාව,බිය,සංකාව පහව ගියා.තව දුරටත් රස්නයක් දැනෙන්නට වුණෙත් නැහැ.මේ අතර මකරා ගිනි ප්‍රහාරය නවත්වා මාව පරීක්ෂා කිරිමට පොළවට පහත්වෙමින් සිටියා.


වහාම පළඟ පැත්තකට දමා හෙල්ලය හැකි තරම් වේගයෙන් ඉලක්කය වත් නොගෙන දමා ගැසුවා.එතරම් පුහුණු වූ ආයුධය නොවූවත් හෙල්ලයෙන් මට දැනුණේ බොහොම හුරුපුරුදු  බවක්...


එය මකරාගේ හදවත පසාරු කළා.ඌ බිමට ඇදගෙන වැටුණේ හෙල්ලයට බර වැටෙන ලෙසටයි,මේ නිසා හෙල්ලය තවත් ගැඹුරට කා වැදුණා..ඌ මරණීය අඬහැරයක් මුදාහැරියා...


මම ඌ ළඟට ගියා.ඌ හිස් දෙකෙන්ම වේගයෙන් හුස්ම ගනිමින් සිටියා.නමුත් උගේ ඇස් වල කිසිම වෛරයක් තිබුණේ නැහැ.ඒවාගෙන් පෙනුණේ මහා බරක් නිදහස් වන බවක්...


මේ ආකාරයෙන් නියෝමාර්හි මකරා අවසන් හුස්ම හෙලුවා."


මේ අත්භූතජනක කතාව ඇසූ රාජ සභාව නැවතත් නිහඬ විය.


වෙදැදුරු කටහඬ අවදි කළේය.


"එසේනම් උගේ හදවත සිදුරු වූ නිසා උගේ හිස් දෙකම අප්‍රාණික වූවා.. එහෙම නේද ගැලහැඩ්?"


*


7.



ගැලහැඩ් පිලිතුරු දුන්නේය "ඔව්, වෙදැදුරිනි. හදවත හරහා ගිය හෙලි පහරෙන් පසුව උගේ හිස් දෙකම කඩා වැටුණේ එකවිට."


වෙදැදුරු රජතුමා දෙස ජයග්‍රාහී ලෙස බලා මෙසේ කීවේය.


"රජතුමණි, මම කලින්ම කියූ කාරණය දැන් වඩාත් පැහැදිලියි. අප හිතමු ගැලහැඩ්ට අවකාශය ලැබුණා කියා ප්‍රථමයෙන්ම හදවත හරහා හෙලි පහර යවන්න.එසේනම් ඔහුට මේ තරම් වෙහෙසක් ගන්නට වෙන්නේ නැහැ.

හිස් තුනක් තිබූ මකරාගේ ප්‍රාණය රැඳී තිබුණේ එක් හදවතකයි."


මෙය අසා රජතුමා නැවත උපදේශක දෙස බැලීය. උපදේශක කල්පනාකාරී විරාමයක් ගෙන මෙසේ කියන්නට විය.


"රජතුමණි, වෙදැදුරු තුමා හා ශාරීරික විද්‍යාව ගැන කතාකිරීමට තරම් දැනුමක් හෝ වඩා වටින්නේ මොලයද හදවතද යන වාදය නැවතත් මෙතැනත් කිරීමට මට අවශ්‍යතාවයක් නැහැ.

අප නීතිමය තත්වය හරියටම සලකා බලමු.


කරුණාකර හෙලේනා කුමරියගේ ස්වයංවර පොරොන්දු පත්‍රය රාජසභාවට නැවත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිම්."


අවසර ලැබුණි.නීතිපති සන්නස දිග හැර හඬනඟා කියවිය.


"මහරජගේ ප්‍රථම දියණිය වූත්, තේලිස් ප්‍රාන්තයේ උත්තමාවිය වූත්,රාජධානියේ උප-ප්‍රධාන කාන්තාව වූත් හෙලේනා නම් මම විසින් මාගේ ස්වයංවරය වෙනුවෙන් ප්‍රසිද්ධ කරන ලද කොන්දේසි ලේඛනයයි.


මා හා සරණපාවා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙක්, ඔහුගෙ තරාතිරම නොසලකා මා කියන කාරණයක් ඉටු කරලයි නම් ඔහුට මාගේ අත ගැනීමේ අවස්ථාව මම ලබාදෙමි.


අ) ඒ වීර පුරුෂයා මකරුන් තිදෙනෙක් හා සටන් වැදිය යුතුය.


ආ) ඒ වීර පුරුෂයා තිදෙනෙකුගේ හිස් තම විජයග්‍රහණය සම්බන්ධ සාක්ෂය වශයෙන් ඉදිරිපත් කළ යුතුය.


මෙය ලියන දිනයේ සිට වර්ශ පහක් ඇතුලත කාලයේදී මේ කාර්‍යන් කිරිමේ සමතුන් වේනම්, ඔවුන් අතරින් කෙනෙකු මාගේ අභිමතය පරිදි ස්වයංවරය අනුව මා මාගේ ස්වාමියා කරගනිමි.


නැතහොත් මා හට සරණ බන්ධනය සඳහා පනවා ඇති රාජනීතිය අනුව මම මට අභිමත යැයි සිතෙන වෙනත් කොන්දේසියක් පනවමි."


උපදේශක මේ කියවීම නැවැත්වූ වහාම මෙසේ උස් හඬින් කියා සිටියේය.


"අ) සහ ආ) කාරණා පැහැදිලිවම එකෙනෙකට සම්බන්ධ නොවන කාරණා දෙකක්.


රාජ සභාවේ අවධානය යොමු කරනවා ස්වයංවර කොන්දේසි පත්‍රයේ පළමු ඡේදයේ අවසානයට.එහි අනුව 'මා කියන කාරණයක්' ලෙසයි සඳහන් වෙන්නෙ.

'මා කියන කාරණා දෙකම' කියා නොවේ.

මේ අනුව අප ගැලහැඩ් සටන් කළේ එක මකරෙක් ලෙස සැලකුවත් ඔහු අවශ්‍ය පරිදි තම සුදුසුකම සපුරා සිටිනවා."


මේ අතර වෙදැදුරුගේ නළල රැළි වැටී ගියේය.උපදේශක ශාරීරික විද්‍යාව පසෙක තබා තම නීති


විශාරදත්වය හරහා සටනට අවතීර්ණ වී සිටී.දැන් වාදය කළ යුත්තේ ප්‍රවේසමෙනි.


"කරුණාකර උපදේශක තුමනි මට වටහා දෙන්න අ) සහ ආ) වගන්ති එකෙනකට සම්බන්ධයක් නැති ඒවා වග දැක්වී ඇත්තේ කොහේද?"


මෙයට උපදේශක මඳ සිනාවක් නැගීය.


"කාරණා දෙකක් දැක්වෙන්නේනම්, එම කාරණා දෙක විශේෂයෙන් එකිනෙකා සම්බන්ධවනබව දැක්වෙන්නේ නැත්තන් නීති සම්ප්‍රදානුකූලව අප සලකන්නේ එම කාරණා වෙන වෙනමයි.

මෙයට ප්‍රධාන හේතුව මම කලින් සඳහන් කළ පරිදි "කාරණයක්" ලෙස සඳහන් වීම මිස "කාරණා දෙකම" ලෙස සඳහන් නොවීමයි."


වෙදැදුරු මෙයට පිළිතුරු දුන්නේය.


"බොහොම හොඳයි.නමුත් මම හිතන ආකාරයට භාවිත දැනුම ඇති ඕනෑම පුද්ගලයකුට වැටහෙනවා කොන්දේසි දෙක එකිනෙකට සම්බන්ධ බවට.

එසේ නොවන්නේද රජතුමණි."


රජතුමා වැටුණේ අමාරුවකය.වෙදැදුරු කියු දේට එකඟ නොවූවහොත් ඔහු භාවිත දැනුම නැත්තකු ලෙස රාජ සභාවට පෙනේයැයි කනස්සල්ලට පත්විය.එමෙන්ම තමාව පත් කල අපහසුතාවය වෙනුවෙන් වෙදැදුරු හට දඬුවමක් කිරීමටද නොහැක.


ඒ හරහා රාජ සභාවේ හොඳ හිත පළුදු විය හැක.නමුත් රාජ තාන්ත්‍රිකත්වයේ කෙළ පැමිණ සිටි රජතුමා මෙසේ කියන්නට විය.


"නුඹලා වාද කරන්නේ ලියවිල්ලක් ගැන නුඹලාගේ අර්ථකතන වලට අනුවයි.


එබැවින් මා විමසා සිටිනවා රාජ සභාවෙන් වඩා සුදුසු අප මෙහි ප්‍රමුඛ තැනැත්තිය වන හෙලේනාගේ මතය විමසීමද නැතිනම් මේ සන්නස ගැන නිමක් නැති වාද විවාද වලින් නිශ්ප්‍රයෝජන ලෙස කාලය කා දැමීමද යන කාරණාව."


ඒකමතිකව හෙලේනා කුමරිය ගෙන්වීමට රාජ සභාව එකඟ විය.පණිවිඩකරුවෙක් හෙලේනා කුමරියගේ කාමරයට තට්ටු කළේය.


ඇය අභිමුඛවට ගිය පණිවිඩකරුවාට ඇගේ ඇස් ඉදිමී ඇති බව පෙනෙන්නට තිබුණි.


*


8.


මේ අතර රාජතුමා ගැලහැඩ්ගෙන් මෙසේ විමසා සිටියේය.


"ගැලහැඩ්.. අප දැනගන්නට කැමතියි අල්නිලාම් හෙල්ලය තවමත් ඔබ සතුව ඇත්දැයි යන්න."


ගැලහැඩ් එයට පිළිතුරු දුන්නේය.

"එය මකරාගෙන් ගලවාගැනීමට තරම් ශක්තියක් මාහට ඉතුරුව තිබුණේ නැහැ රජතුමනි.

අනෙක ශුද්ධාරක්ෂකයින්ගේ ආයුධයක් එම ගුහාවෙන් පිටතට රැගෙන යාමද මාගෙ අදහස අනුව සුදුසු දෙයක් නොවේ."


සුරූපී හෙලේනාගෙන් දිස්වූ ශෝකාකූල ස්වභාවයෙන් රාජ සභාවම කම්පනය වී ගොස් තිබුණි.


මෙහෙදී රජු තම සභාවෙන් ගැලහැඩ් තව දුරටත් එතැන රැඳී සිටීම අවශ්‍යදැයි විමසා සිටියේය. රාජ සභාව ගැලහැඩ්ව තව මොහොතක් එතැන රඳවාගත යුතු බව රාජ සභාව කියා සිටියෙය.


මින් පසුව උද්ගතවූ වික්ෂිප්තභාවය සම්බන්ධයෙන් හෙලේනාහට කරුණු පැහැදිලි කරනා ලදී.එය බිමට යොමු කළ නෙත් සහිතව ශෝභමාන හෙලේනා විමසා සිටියේය.ඉන් පසු තම ස්වයංවරය සම්බන්ධ කොන්දේසිය පැහැදිලි කරන්නට විය.


"ගරු සභිකයිනී, මාගේ ස්වයංවරයේ කෙටුම්පතේ අපැහැදිලි බවක් ඇති බව පෙනෙන්නට තිබේ.එයට සම්පූර්ණයෙන්ම වගකීම මම ගන්නෙමි.


මා අදහස් කර සිටියේ මෙලොව වෙසෙන ශක්තිවන්න, ධෛර්‍යසම්පන්න පමණක් නොව බුද්ධිමත්ම පුරුෂයා සොයාගැනීමටයි. සමහරවිට එක් මකරෙක් පමණක් මරාදැමීම හුදු වාසනාව නිසාම සිදුවන්නක් විය හැකි වූවත් මකරුන් තුන්දෙනෙක් යනු වාසනාව හා සම්භාවිතාවයන්ගෙන් ඔබ්බෙන් පවතින දෙයක්.


මෙතැන කාරණය අනුව මාගේ අදහස අනුව මකරුන් තුන්දෙනෙක් මරා දමා නැති බව ඔබ දැනටම වටහාගෙන ඇති."


රාජසභාවෙන් විස්මයානුකූල රාවයක් පිටවන්නට විය.හෙලේනා නැවතත් කතාකළාය.


"නමුත් අප සියල්ල දන්නා පරිදි කෙටුම්පතේ වරදක් සිදුවී ඇත. මාගේ වරද මෙය නිසිලෙස පරීක්ෂා කිරීමට අපොහොසත් වීමයි."


ඇය තම ඇස් ලේන්සුවෙන් පිසදාගත්තාය. ඉන් පසු ක්‍රෝධය නිසා ගිනි සිළුවක් සේ ආවේගවත් වෙමින් මෙසේ කියා සිටියාය.


"මම වහාම නියෝග කර සිටිනවා, මේ කෙටුම්පත කරන ලද ලේකම් වරයාව අද දිනය ගතවී හමාර වීමට පෙර එල්ලා දැමීමට.


එමෙන්ම මේ වරදට මා කරන වන්දිගෙවීම ලෙස ගැලහැඩ් පැලඩින්වරයා සමඟ මා විවාහ වනවා. විවාහය මෙතැන් සිට මාස තුනක් ඇතුලත පිය රජතුමා විසින් නියම කරන ලද දිනයක පැවැත්වීමට මා අනුමැතිය ලබාදී සිටිනවා."


රාජ සභාව නැවතත් තූෂ්ණිම්භූත වී ගියේය. වෙදැදුරු සිටියේ දැඩි දොම්නසකින් වෙලී ගොසිනි. උපදේශකවරයා තම සංතුෂ්ඨිය සැඟවීමට මහත් වෑයමක් දරමින් මෙසේ කතාකළේය.


"කුමරිය, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඔබතුමිය මේ කරන ලද කැපකිරීම අප විසින් සෑමකල්හිම මතකයේ ප්‍රතිරාව නංවනවා,මතු පරම්පරා සඳහාත් ආදර්ශයට ගන්නවා."


ලේකම් වරයාගේ එල්ල මැරීම සම්බන්ධ නියෝගයට රාජසභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. රජතුමා විසින් රාජසභාව විසුරුවා හරින ලදී.


එදින සවස් භාගයේදී රජතුමාව හමුවීමට චරපුරුෂයින් දෙදෙනෙක් පැමිණ සිටියේය.

තම අංගාරක්ෂකයින් හා ද්වාරපාලකයින් පිටත් කළ රජතුමා ඔවුන්ගෙන් පහත් හඬින් තොරතුරු විමසා සිටියේය.


"එසේනම් නුඹලා නැවත පැමිණියා. නුඹලා විසින් අනාවරණය කරගත් යම් සංකූලතාවයන් ඇත්ද?"


ප්‍රධාන චරපුරුෂයා හිස පහත්කර පිළිතුරු දෙන්නට විය.


"රජතුමනී, ගැලහැඩ් පැලඩින්වරයා නැවත පැමිණි දිනයේම,ඔබගේ උපදෙස් පරිදි අප නියෝමාර් මකරාගේ ගුහාව බලා ගියා.

ගම්වැසියන් මේ කාරණය නිසා සැණකෙළියක් පවා පවත්වනවා,එය පසකරගෙනයි අප කැළෑවට වැදුණෙ.


ගුහාවේ සිට තරමක් දුරට දැඩි දුර්ගන්ධයක් හමා එන්නට වුණා.නමුත් අප එය ඉවසාගෙනම ගුහාවට ඇතුළු වුණා.


මකරාගේ සිරුර ගුහාව මැද ශෛලමය ශඩාස්‍රාකාර මේසයක් මත වැටී තිබුණා."


රජු මෙහිදී ප්‍රශ්නයක් යොමු කළේය.


"නුඹලාට එහිදී මකරාගේ ශරීරයට ඇමිණී ගිය හෙල්ලයක් දක්නට ලැබුණාද?"


එයට චරපුරුෂයා පිළිතුරු දෙන්නට විය.


"නැත රජතුමණි."


"එසේනම් එය කිසිවකු විසින් සොරාගන්නට ඇති.

 මකරාගේ පපු ප්‍රදේශයේයි එය තිබිය යුතු වූයේ."


"රජතුමණී. අප නැවත ගම්වැසියන් සමඟ ගුහාවට ගොස් මකරාගේ සිරුර විනාශකරදැමීමට සැලසුම් කළා.

නමුත් ඊට පෙර අප දෙදෙනා මකරාගේ ශරීරය සෑම දෙසටම පෙරළා නිරීක්ෂණය කළා.

උගේ සිරුරේ කිසිදු තුවාලයක් තිබුණේ නැහැ."


මෙය ඇසූ රජතුමාගේ මුහුණේ සාවඥ සිනාවක් ඇඳී ගියේය.


"බොහෝම අගෙයි දරුවනේ.නුඹලා විශිෂ්ඨ ලෙස ක්‍රියා කර ඇත.

කිවයුතු තව විශේෂ කරුණක් ඇත්ද?"


චරපුරුෂයා මඳ කල්පනාවකට වැටී මෙසේ කියා සිටියේය.


"මෙය විශේෂදැයි නොදනිමි රජතුමණි.

නමුත් මකර ගුහාවට ආසන්නයෙන්ම සිටි ගමේ දඩයක්කරු ආගිය අතක් නොමැතිව අතුරුදහන් වී ඇත."


*


9.


ස්වයංවරය අවසාන කොටස.


මේ අතර රජතුමා ගැලහැඩ්ගේ සයනාගාරයට ගොස් බඩු බාහිරාදිය පරීක්ෂා කරන්නට විය.


ඔහු අසු පිටින් වැටුණු පසු අත්වැස්සන් විසින් ගෙනෙන ලද මඳක් දැවී ගිය සන්නාහයත්,අසිපත සහ දුනු හීද සහ මඩිස්සිලය පැත්තකින් තිබෙන්නට විය. විශාල කුරුස හැඩැති මිටක් තිබූ අසිපතේ වරදක් නොමැති බව ඔහු වටහාගත්තේය. හී තල පරීක්ෂාවේදී, හී තුඩට ඇති වානේය දුර්වර්වර්ණව ගොස් තිබුණි.තව මඩිස්සිලය පරීක්ෂා කිරීමේදී ගැටගසන ලද කුඩා පොදියක් විය. පිටින් එය අල්ලා බැලීමේදී මැටි වන් යම් මිශ්‍රණයක් ඇතුලේ ඇති බව ඔහු වටහාගත්තේය.ඊතලයක් කඩා එහි තුඩත්,එම පොදියෙන් ස්වල්පයකුත් ගෙන ඔහු සයනාගාරයෙන් පිට විය.


මේ අතර වෙදැදුරු රජතුමා බැහැදැකීමට පැමිණ සිටියේ වැදගත් රහසිගත කාරණාවක් සඳහා කියමිනි.

රජු ඔහුව හිස්වූ රාජ්‍ය ශාලාවේ මධ්‍යයට ගෙන විමසා සිටියේය.


'රජතුමණී, ගැලහැඩ්ගේ රෝහී තත්වය ගැන යමක් කීමටා අවශ්‍යයි.'


'ඇයි ඔහුගේ තත්ත්වය අවදානම් හෝ සුව කළ නොහැකි තත්වයක් පවතීද?'


'නැත රජතුමණී.

ඔහුගේ ශරීරයේ ඇති කැළල් සම්බන්ධයෙන් ඇති ගැටලුවක්. ඒවා කිසිසේත්ම ගින්නක් නිසා ඇතිවී ඇති ඒවානම් නොවෙයි. කිසියම් ආම්ලිකතාවයක් නිසා ඇඟ පිළිස්සී ගිය බවකුයි මටනම් පෙනෙන්නට තියෙන්නේ..

ගැලහැඩ් සම්පූර්ණ සත්‍ය අපට වසන් කර සිටිනවා..'


මෙය ඇසූ රජතුමාගෙන් වෙදැදුරු බලාපොරොත්තු වූ තරම් විමතියක් පහළ වූයේ නැත. එබැවින් වෙදැදුරු තරමක් කනස්සල්ලක් පළ කළේය.


මෙය වටහාගත් රජතුමා කතාකළේය.

' යම් කිසි ව්‍යාකූලා තාවයක් තිබෙන බව මමත් වටහාගෙන අවසන් වෙදැදුරු. මමත් ගැලහැඩ්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමට ගියා.' කියමින් තම ලෝගුවේ රෙදි කඩක දවටා තිබූ ඊතල හිස සහ මිශ්‍රණය වෙදැදුරුට පෙන්වූයේයා

'මෙන්න මා සොයාගත් දේවල්. පැහැදිලිවම ඊහිසට යම් වසක් පොවා ඇත. මෙම මිශ්‍රණය බොහෝ දුරට එම වස වර්ගය විය හැක.'


මෙය අසා වෙදැදුරු වෙව්ලා ගියේය.

'ඔබ කියන්නට හදන්නේ රජතුමණී....'


රජතුමා ස්ථිරසාරව පිළිතුරු දුන්නේය.

' තහවුරු වන තුරු මා කිසිවක් කියන්නට හදන්නේ නැත. නුඹ වහාම මේ මිශ්‍රණය හා ඊතල පරීක්ෂාවන්ට ලක්කර යුතුය. තවද මේ කාරණය සම්පූර්ණයෙන්ම රහසිගතව තබාගත යුතුය. මෙය රාජාඥාවකි.'


ඉන්පසු රජතුමා වෙදැදුරුගේ උරහිසකට අත තබමින් මෙසේ කීවේය.


'රාජාඥාවකටත් වඩා මා හිතවතකුගෙන් ඉල්ලා සිටින උපකාරයකි.'


වෙදැදුරු රජුගෙන් හමුවූ උසස්ම සම්මානය ලෙස එම මොහොත සලකා සිටියේය.


ඉන්පසු හිස නවා රෙදි කඩද ගෙන ශාලාවෙන් පිටත්ව ගියේය.


*


ගැලහැඩ් දින දෙකකට පසුව උදෑසනම රාජ සභාවට එන ලෙස රජතුමා නියෝග කර තිබුණි.


ගැලහැඩ් බස්තමක් ගෙන අමාරුවෙන් ශාලාවට පිවිසියේය.


ශාලාවේ දක්නට සිටියේ රජතුමා, වෙදැදුරු, රජතුමාගේ චරපුරුෂයින් දෙදෙනා සහ ඔහුගේ විශ්වාසී අංගාරක්ෂකයින් පස්දෙනා පමණි.


මේ අතර වෙදැදුරු ඔහු දෙස බැලුවේ අවඥාසහගත ලෙස බව ඔහු වටහාගත්තේය.


රජතුමා මුලින්ම කතාකළේය.


" ගැලහැඩ්...

මකරාගේ ශරීරයේ කිසිම තුවාලයක් වී තිබුණේ නැහැ.නුඹේ ඊතල කහ බිම්මල් සහ සුදු ගෙම්බන්ගේ ස්‍රාවයන්ගෙන් පිරී ඉතිරී ගොසින්. තවද නුඹේ ඇතිවී ඇති කැළල් කිසිසේත්ම ගින්නක් නිසා පිළිස්සුණු කැළල් නොවේ. ආම්ලිකතාවයක් නිසා පිළිස්සී ගිය හම සලකුණු.

හරියට කිසියම් දරුණු මාංශ භක්ෂකයකුගේ අසූචි ගෑවුණු විට ඇතිවන පිළිස්සුම් වගේ....."


මෙය ඇසූ ගැලහැඩ්ගේ සුරතින් බස්තම ගිලිහී වැටුණි. ඔහු කිසිවක් නොකියාම බිම බලා සිටියේය.

රජතුමා නැවතත් කතාකළේය


'මෙය අසා වාරු නැතිව හෝ සිහි විසඥව ඇද නොවැටීමට නුඹට ඇති ධෛර්‍ය අගය කරමි.

මෙය පැහැදිලි කළ හැකිද?'


මෙය ඇසූ ගැලහැඩ් දණින් වැටී හිස පාත් කරගෙන සිටියේය.


'මම සිතුවා වගේමයි. පැහැදිලි කිරීමට අවශ්‍යතාවයක් නැහැ.'


මෙසේ කියමින් රජතුමා තම අංගාරක්ෂකයින්ට සංඥාවක් දුන්නේය.


අංගාරක්ෂකයින් දෙදෙනෙක් චරපුරුෂයින් දෙදෙනාගේ පිටුපසින් ගොස් තියුණු පිහියකින් ඔවුන්ගේ ගෙල කපා දැමූහ.


මෙය දුටු වෙදැදුරු වික්ෂිප්ත වී ගියේය.

'රජතුමනී, වහා පලා යන්න මෙතැන කුමන්ත්‍රණයක්...'


මේ අතර රජතුමා වෙදැදුරු සමීපයට ගියේය.


'ඔව් වෙදැදුරු මෙය කුමන්ත්‍රණයකි. නුඹත් මගේ තැන සිටියානම් මෙහි යෝග්‍යතාවය නුඹත් වටහාගනු නියතයි.

නමුත් මරණයට පෙර නුඹ මටත් රාජ්‍යටත් ඉතා හොඳින් සේවය කල බවත්,නුඹ සමහරවිට මටත් වඩා රාජ්‍යයට පක්ෂපාතී වෙන්නට හැකි බවත්, නුඹ ඉතා දුර්ලභ ගණයේ රාජ සභිකයෙක් බවත් නුඹ දැනගත යුතුය.

එමෙන්ම නුඹව මරාදමන්නේ හේවායකුවත් අලුගෝසුවකුවත් නොව මා විසින් මාගේ සුරතිනි. නුඹට දිය හැකි විශාලම ගෞරවය එයයි.'


මෙසේ කියමින් තම අසිපතෙන් රජතුමා වෙදැදුරුගේ හදවත සිදුරු කළේය.


රාජධානිය පුරාම රාජ්‍ය කුමන්ත්‍රණයක් කිරීමට ගොස් හසුවූ වෙදැදුරු ගැන කතාව ලැව් ගින්නක් සේ පැතිර ගියේය. රාජ සභාවේ සමහරු ඔහු හෙලේනා කුමරිය ගැන ලෝභයෙන් සිටි බවට සැක කරන ලදී.


මේ අතර රාජධානිය ගැලහැඩ් හා හෙලේනාගේ රාජකීය මංගල්‍යට සූදානම් වන්නට විය.


-නිමි.-