Sunday, July 17, 2016

සුදු චොකලට්...


එකම පුතු දෑවුරුද්දකට පසු ජර්මනියේ සිට නිවසට පැමිණියේය.

නිවාස තීන්ත ගා තිබුණි.බිම පොලිෂ් කර ලිස්සන තරමට ඔප වැටි තිබුණි.


ජිවිතයේ පළමු වතාවට මවුපියන් වයස්ගත වී ආකාරය ඔහුට පැහැදිලිව පෙනුණි.


ඔවුන් නිවාස පිරිසිදු කිරීම් වලට දරා තිබු දැඩි උත්සාහය හා පරිශ්‍රමය සබන්ධයෙන් පුතුට මහත් අනුකම්පාවක් දැනුනි.නමුත් දූවිල්ල,දුර්වර්ණ වීම් කලකට පසු දුටු නිසා ඔහුගේ සිතේ තිබූ කුඩා අප්‍රසන්න හැඟීම සම්පුර්ණයෙන්ම ඉවත් වී නොතිබුණි.

දින දෙකකට පමණ පසු හෙතෙම තම ගමන් මළු වල අසුරා තිබු තෑගී බෝග සහ ඇඳුම් ආයිත්තම් පිළිවෙලකට සකස් කිරීම ඇරඹිය.

තම නිවැසියන් සඳහා ඉස්තරම් ගණයේ අදුරු චොකලට් එකක් ගෙන කඩා ශීතකරණයේ දැමිය.ඒ තරම්ම වටිනා තවත් සුදු චොකලට් පැකට්ටුවක් ගෙන ශීතකරණයේ පහල තට්ටුවේ තිබු ට්‍රේ එක සහ ශීතකරණයේ ඇතුළු බිත්තිය අතර ඉඩේ සැඟවිය.ඒ තරමක රස්නයක් තිබු දින කිහිපයකි.


ඉදිරි දින දෙකේ නෑගමන් යෙදී තිබුණි.
දිගින් දිගටම එකම ප්‍රශ්න නාමාවලියකට පිලිතුරු දීමෙන් ඔහු හෙම්බත් වී තිබුණි.හම්බර්ග් වල සොබා සෞන්දර්ය සහ ඔහුගේ අධ්‍යාපනය,කල අමතර රැකියා ආදිය දිගු කතාවක් ලෙස ටේප් කරගෙන කැසට් පිස් බෙදාදීමක් වැනි විකාර අදහස් පවා ඔහුගේ මනසට ඇතුළු වී තිබුණි.

වටින් ගොඩින් ඔහු ජර්මානු සුද්දියන් ගැන දක්වන ආකල්පය ගැනත් දැනගැනීමට උනන්ඳු වූ නෑයින් බොහෝ සිටියහ.නමුත් ඔහු විසින් ජර්මනියේ සිටින කාලය තුල ලංකාවේම යුවතියක් හා දිගු කාලින සන්නිවේදනයක් පවත්වාගෙන ගිය බව මවුපියන්වත් නොදැන සිටි කාරණයක් විය .අධ්‍යාපන කටයුතු නිමවී නැවතත් පැය 4ක් පමණ අමතර රැකියා වල නිරතවී හෙම්බත්ව සිටියදී ලැබූ ලොකුම සැනසුම ඇය හා කතාකරන විනාඩි කිහිපය බව දැන සිටියේ ඔවුන් දෙදෙනා පමණි.කාල වෙනස,අධ්‍යාපන කටයුතු,අධි මිලැති දුරකථන කාඩ්පත් මේ කිසිවකටත් ඔවුන්ගේ මේ කුඩා වෙලාව උදුරාගන්න නොහැකි වී තිබුණි.

නෑගමන් වලින් තම තෑගී බෝග අහවර කරගත් පසු ඔහුගේ මල්ලේ ඉඩ එහෙම පිටින්ම ඉතිරි විය.ඊළඟ දිනයේ උදෑසනම තමන් ගෙනා චොකලට් කෑල්ලක් රස බැලීමට සිතු නිසා ශීතකරණය විවෘත කල ඔහුට තරු පෙනුනි.

සුදු චොකලට් පැකට්ටුවේ ඇසුරුම විවෘත වී කුඩා කැබලි දෙකක් අතුරුදහන් වී තිබුණි.ඔහු මවට කෑගසා කතාකර එය පිලිබඳ විමසුවේය.

අදුරු කළු පැහැ චෝකලට්ටුව මව එතරම් කැමති වී නැත්තේ සිනි මඳකම නිසාවෙනි.ඇය ශිතරණයේ පහල 'වැටි සිරවී' තිබු සුදු චොකලට් පැකට්ටුව දැක ඇත්තේ අහම්බෙනි.කිසිදිනක සුදු චොකලට් දැක නොතිබූ නිසා එය අත්හදා බැලීමට සිතුවාය.නමුත් එහි රස කිසිසේත්ම චොකලට් රසක් නොවිය.හරියට කිරි වලින් පමණක් සෑදුවක් මෙනි.එමෙන්ම ඇය හෝ පියා මේ චොකලට් ජාති දෙකටම අකමැති බැවින් සියල්ල පුතුට සිත්සේ භුක්ති විඳිය හැක.


පුතු මවුපියන්,ඇය හා තම ලැජ්ජාව අතර මොහොතකට අතරමන් විය.
.
.

''මොනවද ගෙන්න ඕනේ? කියන්නකෝ ඔච්චර වාත වෙන්නේ නැතුව''

ජර්මනියෙන් පැමිණීමට දින කිහිපයකට පෙර ඇය හා දුරකථන සංවාදයේ යෙදුනු අවසාන වර ඔහුට සිහිපත් විය....


''හ්ම්...එහෙමද... එහෙනං ලොකු දෙයක් නෙවේ...පුළුවන්නම් ගෙන්නකෝ සුදු චොකලට් එකක්....ජර්මන් සුදු චොකලට්''

9 comments:

  1. සුදු චොකලට්වලට මගේත් එතරම් කැමැත්තක් නැත. ඇත්තටම ඒවාට චොකලට් කියා කීම ද විහිළුවකි.

    ReplyDelete
  2. /* සයිමන්
    සයි+මන්>sci+මං ලෙස (විද්දියාත්මක 'මං' ලෙස) හෝ සයි+මන්>මම සයි ලෙස(I am Sai) හෝ සයි+මන්>සයිගේ මනස ලෙසද ගත හැක. */

    සයි+මන් <=> මයි+සන් = මගේ පුතා

    ReplyDelete
    Replies
    1. //සයිගේ මනස// Psy ද මනස් වේ. එනිසා මනස් ඩබල් වේ.

      එනිසා නිවැරදි වන්නේ Psy + Man = මනසක් ඇති මිනිසා
      හෝ Psy + Mon = තනි මනස

      (තව පිස්සු කෙලින්න පුලුවන් . වෙලාව නෑ :-DD )

      Delete
  3. අපේ ගෙදර නම් සුදු චොකලට් වලට මාරම ආසයි.

    ReplyDelete
  4. මම නම් කිසිම චොක්ලට් එකක් කන්නෙ නෑ. හේතුව, පරම්පරා දෙකෙන්ම දියවැඩියාවට උපතින්ම උරුම ලබන්නට තරම් වාසනාවන්ත වීම. එනිසා පැණි රස කන්නෙ සෑහෙන පරිස්සමින් :)

    ReplyDelete