ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී දෙමල චිත්‍රපට බලන්නට පටන් ගත්තේය.
සාමාන්‍ය පෙළ අවසන්ව උසස් පෙළ සදහා පන්ති ආරම්භ වූ දවසේ රැවුල නොකපා පාසලට පැමිණීම නිසා පිලිවෙලින් පන්ති භාර,අංශ භාර ගුරුවරුන්ගෙන් අතුල් පහර කිහිපයකුත්,වේවැල් පහර කිහිපයකුත් ලද්දේය.දිගු කලිසම නිසා වේවැල් පහරට වඩා අතුල් පහර වේදනා දෙන්නට විය.නිකටේ තැන තැන අපිලිවෙලින් පැමිණි රැවුල් ගස් දැක පන්තියේ පිටත දණගසාගෙන ගෙන සිටි ඔහුට නියෝජ්‍ය විදුහල්පතිවරයාද කෑ ගැසුවේය.
“බලනවා අයිසේ.හරියට මාලුවෙක්ගේ වගේ...”
ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් නොවුනේය.විශ්ව විද්‍යාලයට යන්නට අදහසක් නොවුණු බැවින් ආරක්ෂක පිටයේ පරීක්ෂණ වලට ගියේ වැඩිමනත්ම දෙවන වර විභාගය කිරීමට ගෙදරින් එල්ල වූ බලපෑමෙන් බේරෙන්නටය.සහතිකපත් හා ලේඛන පරික්ෂා කල පසු ඔහු දෙස අප්‍රසන්න බැල්මක් හෙලු හමුදා නිලධාරියා පැහැදිලි ඉංග්‍රීසියෙන් මෙසේ කිවේය.
“සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඔබගේ බාහිර ස්වරුපය පිළිබිඹු වන ආකාරයත් වැදගත්.කරුණාකර ඔබ නැවත මේ ආකාරයේ පරීක්ෂණයක් සදහා යන්නේනම් හොඳින් රැවුල කපා යන්නට වගබලාගන්න.”
සම්මුඛ පරීක්ෂණය ගැන බලාපොරොත්තු අත්හැර සිටි ඔහුට ලියාපදිංචි තැපෑලෙන් ලියමනක් පැමිණියේය.ඔහු ආරක්ෂක පීඨයට තේරී තිබුණේය.ඔහු එය භාරගැනීමට තීරණය කළේය.
උදැසන 4ට අවදිව,දත් මැද,එක් රෝමයක්වත් නැතිවන පරිදි රැවුල කපා ඔවුන් හට දැඩි ශාරීරික අභ්‍යාස වල යෙදෙන්නට සිදු විය.සුළු වරදවලටද කුණුහරුප වැල් ගලාගියේය,එකෙක්ගේ අතපසුවිමකට මුළු කණ්ඩායමටම දරාගත නොහැකි ශාරීරික ‘ඩබල්’ හිමිවිය.ඉන්පසුව සම්පූරණ නිල ඇදුමින් සැරසී ඉගෙන ගැනීමට සිදුවිය.සවස ඝන සරඹ වලින් පසුව ක්‍රීඩා වල යෙදුනේය.මෙලෙස සිවු වසරක් ගතවිය.
ඔහුගේ සමුහය කොමිෂන් ලත් නිලවලට සමත්වී විසිර ගියේය.ඔහු එදින මව හා පියා සමග ඡායාරූප වලට පෙනී සිටියේය.ඉන්පසු ඔහුට පත්වීම ලැබිණි.
ඔහුට උඩු රැවුල පමණක් වැවීමට හැකි වූ බැවින් සති කිහිපයක් උඩු රැවුල වැවීමට උත්සාහ ගත්තේය.නමුත් ඔහුට ආරුඩ වූ පරිණත පෙනුමට ඔහු කැමති නොවිය.එය කපා දැමුවේය.
අවුරුදු 9ක් ගතවූ පසු ඔහු නිල ඇදුමට සමුදුන්නේය.පෞද්ගලික සමාගමක තරමක් හොද රස්සාවක් සොයාගත්තේය.එතනම සේවය කල ඇය ඔහුට හමුවිය.ඔවුහු සැන්දෑවන් වල ඇවිද ගියහ.එකට රාත්‍රී ආහාර ගත්හ.දිනක් ඔහුගේ තුරුලේ හිද ඔහුගේ මුහුණ අතගාමින් ඇය මෙසේ කීවාය.
“දන්නවද වැඩක්.මම ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්නම්...රැවුල කපන්න පුලුවන්ද?”
ඔහු හිස සලා එයට එකග විය.
“I want a clean shave……”
මාස හයකට පමන පසුව ඇය ඔහුගෙන් වෙන්විමට අවශ්‍ය බව කියා සිටියාය.ඇයට නිවසින් පැමිණි යෝජනාවකට කැමති වන්නට සිදුව ඇත.මනාලයා මාතලේ පැත්තේ පාරම්පරික රදළ තේවතු හිමියෙකි.
සුසුමක් හෙළු ඔහු ඇයගේත් තේවතු හිමියාගේත් මංගල ඡායාරූපය සිතට නගා ගැනීමට උත්සාහ කළේය.මනාලයාගේ මුල් ඇදුම සහිත සේයාව සිතින් මවාගත් ඔහුට සිනහවක් නැගුණි.
"කමක් නෑ.." ඔහු කියා සිටියේය...
"දැන්වත් මට පුළුවනි………………රැවුල වවන්න."
Friday, October 20, 2017
Friday, October 13, 2017
කාලය..
සැතපුම් දහසක්
ආලෝකයට
තත්පරයක්
මීටර් සීයක්
ඉබ්බෙකුටනම්
කල්පයක්
පොඩි වතුර පාරකට
ඔච්චම් කළත් මහ ගංගාවක්
අවසානයේ කිසිම වෙනසක් නැති
'සයුරක්'
චැට් දෙකක් අතර
ඇති එක විනාඩියක්
පිළිතුරු ලැබෙනතුරු එය
ජීවිත කාලයක්
ආලෝකයට
තත්පරයක්
මීටර් සීයක්
ඉබ්බෙකුටනම්
කල්පයක්
පොඩි වතුර පාරකට
ඔච්චම් කළත් මහ ගංගාවක්
අවසානයේ කිසිම වෙනසක් නැති
'සයුරක්'
චැට් දෙකක් අතර
ඇති එක විනාඩියක්
පිළිතුරු ලැබෙනතුරු එය
ජීවිත කාලයක්
Monday, September 11, 2017
පුංචි හීන
ටිකෙන් ටික
ලොකු වෙන්න වෙන්න
මට තිබුණේ පුංචි හීන
ලොකු වෙන්න වෙන්න
මට තිබුණේ පුංචි හීන
පොඩි රස්සාවක් කරන්න
ඉන්දියන් බයික් එකක් ගන්න
ඔබේ වැඩ හැරුණු විට
රැගෙන යන්නට එන්න
ඉන්දියන් බයික් එකක් ගන්න
ඔබේ වැඩ හැරුණු විට
රැගෙන යන්නට එන්න
අඳුරත් එක්ක මුසුව
හීන් පොදයක් වැටෙන විට
ජැකට් එක ගලවා
ඔබට පොරවාලන්න
හීන් පොදයක් වැටෙන විට
ජැකට් එක ගලවා
ඔබට පොරවාලන්න
වාතය දෙබෑ කරගෙන
තදින් මුහුණේ ඇනෙන
හීන් වැහි උණ්ඩවලට
තනියමම මුහුණ දෙන්න
තදින් මුහුණේ ඇනෙන
හීන් වැහි උණ්ඩවලට
තනියමම මුහුණ දෙන්න
රේස්කළවිට,තද බ්‍රේක් එකකට
ඔබ තරමක් ගැස්සෙන විට
කිටි කිටියේ බඳ වටා ගිය ග්‍රහණය
තව තවත් තදවෙන හැටි දැනෙන්න
ඔබ තරමක් ගැස්සෙන විට
කිටි කිටියේ බඳ වටා ගිය ග්‍රහණය
තව තවත් තදවෙන හැටි දැනෙන්න
කිසිවිටක ඉටු නොවුණට
මට තිබුණේ පුංචි හීන
මට තිබුණේ පුංචි හීන
Saturday, July 22, 2017
අරාජිකවාදියා (ලේඛකයා සහ දොස්තර කටු සටහන්
"මිනිස්සු රැකුණේ ඔවුන් විසින් පද්ධතියක් ආරම්භ කරපු නිසා.මම හිතන්නේ මේකට ලිඛිත සාධක ඇති පැරණිම උදාහරණය මෝසස් විසින් සිනායි කන්දේ ඉදිරිපත් කරපු දස පනත.අනික් හැමදේම වගේ මේ පද්ධතියත් පරිනාමය වුනා.
එන්න එන්නම ඔවුන්ට වැටහුණු දේ තමා පද්ධතිය විසින් ඔවුන් ගිලගනිමින් ඉන්නා බව.හැබැයි පද්ධතිය නැති වුනොත් ඔවුන්ගේ පැවැත්ම නැතිවෙලා යන්න තිබ්බ.ඉතින් මේකේ පරාමිතීන් නිර්මාණය කරන්න වුනෙත් මිනිස්සුන්ටමයි.ඉතින් යම් මිනිසුන් පිරිසක් විසින් මේක ෆයින් ටියුන් කරන්න වගකීම ගත්තා.
මෙන්න මේ පද්ධතිය අන්තිමේට අද තියන තත්ත්වෙට එද්දී ගත්තේ පිරමීඩාකාර හැඩයක්.ඉහලයන්න යන්න කුඩාවෙමින් තියුණු කෙලවරකින් ඉවර වෙමින්,පහල විශාල පාදමක් මත රැඳී පවතින විදිහට.මේක තමා මේ පද්ධතියට ගන්න පුළුවන් වුනු ස්ථායිම හැඩය.නමුත් පාදමට එහෙම අඩුවක් නොදැනෙන්න ඔවුන් පොඩි පොඩි දේවල් ලබාදුන්නා.ආගම දර්ශනය ලිවින් ස්ටැන්ඩඩ් වගේ.(ඒ වගේම කවදාවත් ධනවත් හෝ බලවත් අනුග්‍රාහකයෙක් නැති ආගමක්වත් දර්ශනයක්වත් බිහිවෙලා නැහැ)
උඹට දැන් නම්බර් එකක් තියනවනේ..මම කිව්වේ කම්පැනි එකෙන් දීපු.දැන් උඹේ අංකෙ ඩේටාබේස් එකේ ගැහුව ගමන් උඹ ගැන විස්තර එනවා.නම,වයස,ලිපිනය,ගෑණි,දරුවෝ,උපත විපත මේ හැම රෙද්දක්ම.උඹ මොකක් හරි කේස් එකක් දාගෙන අයින් වුනොත් උඹේ බොසාල කරන්නේ අලුත් නොම්මරයක් හදල උඹේ නොම්මරේ මකල දාන එක.උන්ට උඹ හැඟීම් දැනීම් වලින් හැදිච්ච,හුස්ම ගන්න,බරක් තියන ප්‍රාණියෙක් නෙවේ.අංකයක් විතරයි.මේකයි ඇත්ත.... අයි. ඩි, ,සෝෂල් සිකියුරිටි නම්බර් මේ ඔක්කොම.ලෝකෙම ලොකු හිරගෙයක්.අපිට මුන් අංක දීල තියෙන්නේ.
උඹ හිතනවද පිරමිඩේ ඉහලට නගින එක ලේසියි කියල.එහෙම නැත්තන් ඉහලට ගියාම මුදුන ගලවල විසි කරන්න හිතෙනවා කියල.නැහැ.. ඉහලට යන්න යන්න මේකට තියන ආශක්ත බව වැඩිවෙනවා.පහලින් ඉන්න උන්ව පාගන් ඉන්න තියන ආසාවත් එක්කම.ඉතින්....කරන්න තියෙන්නේ...පාදම වැඩේ තේරුම් අරගෙන..මේ පිරමිඩෙන් ගැලවෙන එක විතරයි...එතකොට පිරමිඩේ වැටෙනවා...මුදුනත් එක්කම.
Subscribe to:
Posts (Atom)
