ඔයා දන්නවද,පේරාදෙණිය කැම්පස් එක දකින හැම පාරකම වරදකාරී සහ ඊරිසියාසහිත හැඟීමකින් හිත පිරිලා යන්නේ චමත්කාරයකුත් එක්ක.
මම දන්න කාලෙක ඉඳන් උත්සාහ කළේ දවසක පේරාදෙණියේ ඉගෙනගන්න.මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනෙ.ඒ දවස්වල ඒ තරමට 'මදන විසයක්' නැත්තන් රොමාන්තික හැඟීන් තිබ්බෙ නැතිවුණාට පාසි බැඳිලා දුර්වර්ණව වැහැරෙමින් යන ඒත් ප්‍රෞඩ වික්ටෝරියානු ගොඩනැගිලි,මල් හැලෙන 'රොබරෝසියා' වගේ අමුතු නමකට ප්‍රසිද්ධ වුණු ගස්,සරච්චන්ද්‍ර නිකටෙ අතක් තියාගෙන කකුලක් උඩ කුල දාගෙන පෙර පුහුණුවීම් බලන්නට ඇති වල,කෝච්චි පාරට උඩින් තියන පොඩි ගල් පාලම,හැමදාම දුඹුරු පාටින් ගලාගෙන යන මහවැලි ගඟ,වහින කාලෙට මන්දාරමත් එක්ක දිලිසෙන කොළපාට පරිසරය,ගලහ හන්දියේ ඉඳන් යන්න තියන ඉර එළියක් වැටෙන්නෙ නැති තරමට දෙපැත්තෙ ගස් වලින් හෙවණ ලැබෙන පාර,පොඩි පාලමෙන් එහා තියන අක්බාර් හෝල් එක..මේ වගේ වරින් වර දැකපු දේවල් වලින් හදාගත්ත හරියටම පැහැදිලි කර නොගත් ආකෘතියක් මගෙ ඔලුවෙ තිබ්බා.
ඒත් මට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.වැඩේ කියන්නෙ කාලය එක්ක තීවෲ වුණු හැඟීමක් මට ඇතිවුණත් මම ආයෙ සැරයක් උත්සාහ කරන්නෙවත් නෑ.
මම හොදටම දන්නවා මම පේරාදෙණියට ගියානම් අවුරුද්දක් යන්නත් කලින්ම මට පේරාදෙණිය එපා වෙන බව.මොකද මගේ ස්වභාවය ඕනෙ දෙයක් ලේසියෙන් එපා වෙන එක.එහෙම වුණානම් මට අවුරුදු හතරක් ඉන්න තැන දිහා බලන්න වෙන්නෙ අපිරියාවකින් නැත්තන් නොරිස්සුමකින් වෙන්නත් පුළුවන්.ඒත් මට පේරාදෙණිය දිහා අදටත් පුංචි ළමයෙක්ගෙ ඇස් වලින් බලන්න පුළුවන්.
අපේ කතාව හරියට පටන් ගන්නත් කලින් ඔයා නවත්තන්න හදද්දි මම කිසිම උත්සාහයක් ගන්නෙ නැත්තෙත් ඒකයි.මම දන්නවා බොහෝ දුරට මට ආයෙ ඔයාට තරම් ආදරයක් හිතෙන, ගැලපෙන කෙනෙක් හම්බවෙන එකක් නැහැ,මේ මගේ අවසාන අවස්ථාව කියලත්.ඒත් මම ඔයාට ඇවිටිලි කරන්නවත් නවත්තන්නවත් උත්සාහ නොකරන එක ගැන ඔයා තේරුම් ගනියි කියල මම හිතනවා.ඒකෙ තේරුම ඔයා වටින්නෑ කියන එක නෙවේ...
ඉස්කෝලේ කොනකට වෙලා අඬ අඬ හිටිය පාලව දැක්ක ටීචර් කෙනෙක් ගිහින් හේතුව ඇහුවලු.
පාල අඬ අඬ මෙහෙම කියනලු.
"බලන්න ටීචර්, පරිස උගන්නන මිස් හරියට පන්තියට එන්නෙ නැහැ.සෞඛ්‍ය උගන්නන සර් ඉස්කෝලෙට ගමේ මිනිස්සු එකතුකරල දුන්නු ක්‍රීඩා උපකරණ ඔක්කොම ඉස්ටෝරු කාමරේ දාල ලොක් කරල.කැන්ටිමේ කෑම සත පහකට වැඩක් නෑ ලෙඩ වෙන ජාතියෙ ඒව.දැන් දැන් දහයසරෙ කොල්ලොත් මාව දැකල මට කොලොප්පන් කරනවා.දැන් ටිකකට ප්‍රයිමරි කොල්ලෙක ඇවිත් මට "පඹය හූ.." කියල දිව්වා..."
මේක අහපු ටීච පාලගෙ ඔලුව අතගාන්න ගත්ත.
"මේ සමාජෙ හැටි තමා ඔය.ඒත් සර් අමතක කරන්න එපා සර් මේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් බව."
ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී දෙමල චිත්‍රපට බලන්නට පටන් ගත්තේය.
සාමාන්‍ය පෙළ අවසන්ව උසස් පෙළ සදහා පන්ති ආරම්භ වූ දවසේ රැවුල නොකපා පාසලට පැමිණීම නිසා පිලිවෙලින් පන්ති භාර,අංශ භාර ගුරුවරුන්ගෙන් අතුල් පහර කිහිපයකුත්,වේවැල් පහර කිහිපයකුත් ලද්දේය.දිගු කලිසම නිසා වේවැල් පහරට වඩා අතුල් පහර වේදනා දෙන්නට විය.නිකටේ තැන තැන අපිලිවෙලින් පැමිණි රැවුල් ගස් දැක පන්තියේ පිටත දණගසාගෙන ගෙන සිටි ඔහුට නියෝජ්‍ය විදුහල්පතිවරයාද කෑ ගැසුවේය.
“බලනවා අයිසේ.හරියට මාලුවෙක්ගේ වගේ...”
ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් නොවුනේය.විශ්ව විද්‍යාලයට යන්නට අදහසක් නොවුණු බැවින් ආරක්ෂක පිටයේ පරීක්ෂණ වලට ගියේ වැඩිමනත්ම දෙවන වර විභාගය කිරීමට ගෙදරින් එල්ල වූ බලපෑමෙන් බේරෙන්නටය.සහතිකපත් හා ලේඛන පරික්ෂා කල පසු ඔහු දෙස අප්‍රසන්න බැල්මක් හෙලු හමුදා නිලධාරියා පැහැදිලි ඉංග්‍රීසියෙන් මෙසේ කිවේය.
“සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදී ඔබගේ බාහිර ස්වරුපය පිළිබිඹු වන ආකාරයත් වැදගත්.කරුණාකර ඔබ නැවත මේ ආකාරයේ පරීක්ෂණයක් සදහා යන්නේනම් හොඳින් රැවුල කපා යන්නට වගබලාගන්න.”
සම්මුඛ පරීක්ෂණය ගැන බලාපොරොත්තු අත්හැර සිටි ඔහුට ලියාපදිංචි තැපෑලෙන් ලියමනක් පැමිණියේය.ඔහු ආරක්ෂක පීඨයට තේරී තිබුණේය.ඔහු එය භාරගැනීමට තීරණය කළේය.
උදැසන 4ට අවදිව,දත් මැද,එක් රෝමයක්වත් නැතිවන පරිදි රැවුල කපා ඔවුන් හට දැඩි ශාරීරික අභ්‍යාස වල යෙදෙන්නට සිදු විය.සුළු වරදවලටද කුණුහරුප වැල් ගලාගියේය,එකෙක්ගේ අතපසුවිමකට මුළු කණ්ඩායමටම දරාගත නොහැකි ශාරීරික ‘ඩබල්’ හිමිවිය.ඉන්පසුව සම්පූරණ නිල ඇදුමින් සැරසී ඉගෙන ගැනීමට සිදුවිය.සවස ඝන සරඹ වලින් පසුව ක්‍රීඩා වල යෙදුනේය.මෙලෙස සිවු වසරක් ගතවිය.
ඔහුගේ සමුහය කොමිෂන් ලත් නිලවලට සමත්වී විසිර ගියේය.ඔහු එදින මව හා පියා සමග ඡායාරූප වලට පෙනී සිටියේය.ඉන්පසු ඔහුට පත්වීම ලැබිණි.
ඔහුට උඩු රැවුල පමණක් වැවීමට හැකි වූ බැවින් සති කිහිපයක් උඩු රැවුල වැවීමට උත්සාහ ගත්තේය.නමුත් ඔහුට ආරුඩ වූ පරිණත පෙනුමට ඔහු කැමති නොවිය.එය කපා දැමුවේය.
අවුරුදු 9ක් ගතවූ පසු ඔහු නිල ඇදුමට සමුදුන්නේය.පෞද්ගලික සමාගමක තරමක් හොද රස්සාවක් සොයාගත්තේය.එතනම සේවය කල ඇය ඔහුට හමුවිය.ඔවුහු සැන්දෑවන් වල ඇවිද ගියහ.එකට රාත්‍රී ආහාර ගත්හ.දිනක් ඔහුගේ තුරුලේ හිද ඔහුගේ මුහුණ අතගාමින් ඇය මෙසේ කීවාය.
“දන්නවද වැඩක්.මම ඔයාගෙන් එකම එක දෙයක් ඉල්ලන්නම්...රැවුල කපන්න පුලුවන්ද?”
ඔහු හිස සලා එයට එකග විය.
“I want a clean shave……”
මාස හයකට පමන පසුව ඇය ඔහුගෙන් වෙන්විමට අවශ්‍ය බව කියා සිටියාය.ඇයට නිවසින් පැමිණි යෝජනාවකට කැමති වන්නට සිදුව ඇත.මනාලයා මාතලේ පැත්තේ පාරම්පරික රදළ තේවතු හිමියෙකි.
සුසුමක් හෙළු ඔහු ඇයගේත් තේවතු හිමියාගේත් මංගල ඡායාරූපය සිතට නගා ගැනීමට උත්සාහ කළේය.මනාලයාගේ මුල් ඇදුම සහිත සේයාව සිතින් මවාගත් ඔහුට සිනහවක් නැගුණි.
"කමක් නෑ.." ඔහු කියා සිටියේය...
"දැන්වත් මට පුළුවනි………………රැවුල වවන්න."
සැතපුම් දහසක්
ආලෝකයට
තත්පරයක්
මීටර් සීයක්
ඉබ්බෙකුටනම්
කල්පයක්
පොඩි වතුර පාරකට
ඔච්චම් කළත් මහ ගංගාවක්
අවසානයේ කිසිම වෙනසක් නැති
'සයුරක්'
චැට් දෙකක් අතර
ඇති එක විනාඩියක්
පිළිතුරු ලැබෙනතුරු එය
ජීවිත කාලයක්