Saturday, July 9, 2016

මහායානයට අනුව බුදුන් ථේරවාදය දේශනා කිරීමට හේතුව.. (සම්මා සම්බුදුවරයකුගේ උපාය කෞශල්‍ය)

(මහායානයට පෙරවදනක් බැලීමට මෙය මත ක්ලික් කරන්න)
චුල්ල පන්ථක කතාව මතක ඇති.කිසිම පදයක් මතකේ තියාගත නොහැකි වූ භික්ෂුවක් සරල උපක්‍රමයක් හරහා අවබෝධත්වයට පත්කිරීම.

සැරියුත් හාමුදුරුවෝ එක් ශිෂ්‍යයෙක්ට පිළිකුල් භාවනාව කරන්න කමටහන් දෙනවා.නමුත් ඒ ශිෂ්‍යයා උපරීමයෙන් උත්සාහ කළත් එයින් වැඩක් ගන්න,යථාර්තය දකින්න නොහැකිවෙනවා.

දවසක් උදේ තමන්ගේ අවාසනාව ගැන කම්පාවෙලා මහණකම අතාරින්න යනවා..

ඒ වේලාවේ බුදුහාමුදුරෝ ඔහුව විලක් ලඟට කැන්දාගෙන යනවා.ගිහින් උපදෙස් දෙනවා "අර පේන නෙළුම් මල් දිහා බලන් ඉන්න,ඒකයි මම දෙන කමටහන" කියලා.ඉතින් ශිෂ්‍ය හිමි ඒ දිහා බලාන ඉන්නවා.
ඉර උදාවත් එක්කම නෙළුම් පොහොට්ටුව පිපෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ දිනය පුරාම සුවඳ හා ලස්සන දර්ශනයක් දීල හවස් වෙද්දි පරවෙලා යනවා.

ඒ ක්ෂණයෙන්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන රහත්භාවට පත්වෙනවා.


ඔහු ඒ ආත්ම භවයේ සහ මෑත භවවල රන්කරුවෙක්.ඒක නිසා ලස්සන දේවල් දිහා විතරයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ.ඒත් මේ කාරණය සැරියුත් හාමුදුරුවන්වත් සලකා නොබලපු දෙයක්.

බුදු වරයෙක්ගේ උපාය කෞශල්‍ය අද්වතියයි...

නැවතත් මහායාන ප්‍රධාන සුත්‍රය සලකා බලමු.

මේකේ දෙවෙනි පරිච්ඡේදය ''උපාය කෞශල්‍ය පරිවර්තය''


බුදුන් විසින් තමන් වහන්සේගේ උපාය කෞශල්‍ය ගැන විස්තරාත්මක වර්ණනාවක් කරනවා..
http://www.sacred-texts.com/bud/lotus/lot02.htm

තුන්වන පරිච්ඡේදය ''උපමාව'' http://www.sacred-texts.com/bud/lotus/lot03.htm
ධනවත් පුරුෂයෙක්ගේ 'එක් දොරටුවක්' පමණක් ඇති මහා මන්දිරයක ලොකු ගින්නක් ඇතිවෙනවා.වහාම ගෙයින් එලියට යන මේ පුරුෂයා හිතනවා

''මම මෙහෙම ලේසියෙන් ආවට මගේ දරුවෝ එහෙම එන එකක් නැහැ.ඔවුන් තවම ගින්න,බිය කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ ඔවුන්ගේ කෙලිබඩු සහ ඔවුන්ට වටිනා දේවල් තියෙන්නෙත් ගේ ඇතුලේ.

මම ශක්තිසම්පන්න පුද්ගලයෙක්.මට රෙදි කඩකින් බැඳගෙන හරි එලියට එන්න පුළුවන්.ඒත් මේ තියන එකම දොරටුව කුඩා එකක්.නමුත් මට සියලුදෙනාවම බේරාගන්න කාල වෙලාවක් ඇතිවෙන එකක් නැහැ.''

මෙහෙම හිතල ඔහු ශබ්ද නගා දරුවන් සියල්ලන්ටම පිටවෙන්න කියනවා.නමුත් දරුවෝ මේ ගැන අවබෝධයක් නැතුව සෙල්ලම් කර කර ඉන්නවා.

''මොවුන් වහාම පිටවුනේ නැත්තන් ගින්න මොවුන්ව දවා හළු කරන එක නියතයි.මම මගේ දරුවන්ගේ විශේෂ ආශාවන් ලැදියාවන් දන්නවා.උපායක් මඟින් ඔවුන්ව පිටතට ගෙන්නනවා''

දැන් මෙහෙම හිතන පුරුෂයා නිවසේ ඉන්න දරුවන්ව මෙහෙම ආමන්ත්‍රණය කරනවා.


''ඔබලාට අවශ්‍ය දුර්ලභ කෙලිබඩු ගැන මම දන්නවා.වහාම නිවසෙන් එලියට ආවොත් මම ඒ කෙලිබඩු අඩුවක් නැතිව සියල්ලන්ටම ලබා දෙනවා.මේ අවස්තාව නැතිකරගත්තොත් ඔබලා පසු කාලයකදී සෑහෙන්න දුක් වේවි.''

මේක අහපු ළමයි ඔක්කොම ඉන්න තැන් වලින් එලියට ඇවිල්ල තමන්ගේ පියා ලඟට එනවා.ඔහුට ගොඩක් සතුටුයි තමන්ගේ දරුවෝ බේරගන්න පුළුවන් වුනු නිසා.

ඉන්පසු ඔහු තම ධනයෙන් සප්ත රත්නයෙන් කරන ලද,මුතුකුඩ සහිත,සුදු ගොනෙක් බඳින ලද ඉතා වටිනා රථය බැගින් තම දරුවන් අතරේ බෙදල දෙනවා.


මේ උපමා කතාව දේශනා කරන ගෞතම බුදුන් සැරියුත් හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා.

''ඒ පුරුෂයා මුසාවාදයට හසුවනවද'' 


සැරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා.
''නැත ස්වාමිනි.
ඔහු මේ පොරොන්දුව ලබා දෙන්නේ තම දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි.


එමෙන්ම ඔහු පොරොන්දු ප්‍රාකාරව මේ රථ ලබා දුන්නේ නැතත් ඔහු මුසවාදයට හසුවන්නේ නැත.

මක්නිසාද යත් මේ පොරොන්දුව දීමට ප්‍රථමයෙන් ඔහු 'උපාය කෞශල්‍ය භාවිතා කර ඔවුන් නිවසින් පිටතට රැගෙන එමි' කියා සිතනා බැවිනි.''

බුදුන් ථේරවාදය දේශනා කරන්නේ එය මිනිසුන්ට වැටහෙන ධර්මයක් වූ නිසා.එකල හින්දු ධර්මය සහ ජෛන ධර්මය ප්‍රභල වෙලා තිබුණු අවධියක්.
ඒ සමාජය ථේරවාදය ඉතා පහසුවෙන් වැළඳ ගත්ත.සාමාන්‍යයෙන් පුද්ගලයෙක් තව කෙනෙක්ව පිළිගන්නේ ඔහු තමන්ට වැටහෙන දෙයක් දේශනා කරනවානම් විතරයි.

අනික් දේ බුද්ධත්වය කියන්නේ සෑහෙන්න දීරඝ ගමනක්.මහායානිකයින් කියන විදිහට ථේරවාදය හරියට මූලික ගණිත සංකල්ප වගේ.උසස් ගණිතය කරන්න මේ මූලික සංකල්ප ගැන දැනගැනීමක් තියෙන්න ඕනේ.....

කොහොම වුනත් බුදුවරයකුගේ උපාය කෞශල්‍ය ඉගැන්වීම් විශිෂ්ටයි.''තුන්ලොවටම ගුරු'' විදිහට මහායාන,ථෙරවාදී කියල භේදයක් නැතිව එකඟ වෙන්න පුළුවන්.

මහයානිකයින්ට අනුව ථේරවාදය දේශනා කරන්න හේතුව වුණේ මේ කාරණාව.



(මෙය මහායානිකයින් ථේරවාදය ගැන දක්වන ආකල්පය ගැන පැහැදිලි කිරීමට යොදා ගන්න ලදී)

ෂර්ලොක් හෝම්ස් මරා දැමීම.... (දැනටම පරක්කු වැඩිවුනත්)


ෂර්ලොක් හෝම්ස් මේ රටේ සාර්ථකවම ස්ථාපනය වන්නේ චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන වලින්.මේ පරිවර්තනය කිරීම් වලට අවසර,කොපිරයිට් ප්‍රශ්න නැත්තේ ලේඛකයා මියගිහින් අවුරුදු 70ක් ගියාට පස්සේ පරිවර්තන හෝ එම චරිතය භාවිතා කිරීමකට නීතිමය බාධාවක් නැති නිසා(පොදු අයිතියට එය පැවරෙන නිසා).

කොනන් ඩොයිල් විසින් ලිව්වේ කෙටිකතා 56යි නවකතා (දීර්ඝ කතා) 4යි.මේ කතාවල ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ඔහු විසින් අමරණිය විදිහට ගොඩනන්වල තියනවා.තමන්ගේම පිළිවෙලකට මේ කතා පරිවර්තනය කරපු චන්දන මෙන්ඩිස් 'ඔබෙන් සමුගනිමි' කියන කියන කෙටිකතා මාලාවෙන් ඔහුගේ සියලු කතා පරිවර්තනය කරන එක අවසන් කරලා දානවා.නමුත් ලංකාවේ එතකොට අධික ඉල්ලුමක් ඇතිවෙලා ඉවරයි...

මේ කාරණාව නිසාම බොහෝදුරට වෙළඳ වාසි තකා ඔහු විසින් වෙනත් ලේඛකයින් ෂර්ලොක් හෝම්ස් හොදාගන්නා ලද නිර්මාණ පරිවර්තනය කරන්න පටන් ගන්නවා අර සුරක්ෂිතාගාරයක ලේඛන නැතිනම් අභිරහස් ලිපිගොනු කියල බයිලයක් ගහගෙන.වෙනත් ලේඛකයින් ලියූ කතාවලට ෂර්ලොක් චරිතය ආදේශ කරනවා.


ඩ්රැකියුලා ට එරෙහිව ෂර්ලොක් හෝම්ස් කියන අපකීර්තිමත් විගඩමේ හැඳින්විමක ඔහු දාන දෙය බ්රෑම් ස්ටෝකර්ට පවා අපහාසාත්මක දෙයක්.ඒ වගේම ජැකිල් සහ හයිඩ් කතාවේ අන්තිමේට ස්ටීවන්සන් හම්බෙන එකත්.මෙන්න අර සුවපහසු නවාතැන කියන කතාවේ නියම කෙටිකතාව..මේක රෝල්ඩ් ඩාහ්ල්ගේ.
https://www.teachingenglish.org.uk/…/files/landlady_text.pdf

ඉතින් මෙතන ප්‍රශ්නේ මේකයි.ඔහු මේ අනික් ෂර්ලොක් හෝම්ස් කතා ගහන්නේ ඒවා කොනන් ඩොයිල් විසින් ලියපු ඒවා විදිහට හැඟවෙන ආකාරයට.ඔහුගේ වානිජමය අභිලාෂයන් හරියට කරගන්න මේ කාරණය අත්‍යවශ්‍ය දෙයක්.මෙතන ඒ කතාවන් ලිව්ව ලේඛකයින් සඳහන් කරන්නෙත් නැහැ.ඒ වගේම ඒ එක ලේඛකයෙක්ට්වත් මේ චරිතය කොනන් ඩොයිල් තරම් සාර්ථකව ගොඩ නංවන්න අසමත් වෙලත් තියනවා.මම දැකල තියනවා මේ කතා සහ අභිරහස් ලිපිගොනු විශ්වාස කරන සමහර පාඨකයින් පවා.

අන්තිමේදී කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් චරිතය විහිළුකාරයෙක් වෙලා ඉවරයි...

මම විශ්වාස කරන විදිහට ෂර්ලොක් හෝම්ස් කියන චරිතය සාමාන්‍ය මිනිස්සු හා ළමුන් අතරේ ප්‍රචලිත කිරීමට දායක වීම කියන යහපත් කාරනාව තනිකරම වාණිජ අරමුණු වලට කරපු මේ වැඩේ මගින් සම්පුර්නෙන්ම අහෝසි වෙලා ගිහින්..ඔහු මේ චරිතය විනාශ කරලා.

Monday, July 4, 2016

තුන්වන ප්‍රාග්ධනය

'සංවර්ධනය' අර්ථකතනය වන්නේ එකම ආකාරයකට අනුව නොවේ.එහි අර්ථ්දැක්වීම අර්ථදක්වන්නාගේ දෘෂ්ඨිකෝණය අනුව වෙනස් වේ.සංවර්ධනය මනින සමීකරණ,ශ්‍රිත සහ එහි යෙදුම්,දත්ත වාර්තා හරහා විශ්ලේෂණ කාලානුරූපීව සහ පසුබිම මත වෙනස් විය හැක.

සංවර්ධනය සෑම විටම මහපොලවේ යථාර්තයන් සහ ප්‍රායෝගිකත්වය සමඟ බැඳී පවතී.මෙය මේසයක් මත සිට සංක්‍යා ලේඛණ විශ්ලේෂණයෙන් හැදෑරිය හැකි විශයක් නොවේ.භූමිය,සම්පත්,මානව සම්පත,ඔවුන්ගේ ආකල්ප හා විභවය අනුව මේ ක්‍රියාදාමයට ගතයුතු උපායමාර්ග වෙනස්වේ.උදාහරණ ලෙස අනුරාධපුරයේ ඉස්සන් බෝ කළ නොහැක.ගාල්ලේ ස්ට්‍රෝබෙරි වගා කළ නොහැක.මහනුවර වැවේ මිරිදිය මාළු ව්‍යාපෘතියක් කළ නොහැක.

අපේ රට අනාදිමත් කාලයක සිට පැවත එන පරිදි සහ දේශගුණික,සම්පත් අතින් වඩාත් ගැලපෙන්නේ කෘෂි කර්මය මූලික වූ ආර්ථිකය ක්‍රමයකටයි.වර්තමානයේ ඇඟළුම් කර්මාන්තය අපනය සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙයි.වාහන කර්මාන්පුරයක් සෑදීමේ සැලසුම්,විදේශික ආයෝජකයින්ට කර්මාන්ත සඳහා අවස්ථාව වැඩිකිරීමට යෝජනා සකස්වෙමින් පවතී.මෙයින් අදහස් වන්නේ කාර්මීකරණය සම්පූර්ණෙන්ම නොසලකා හැරිය යුතු බවක් නොවේ.නමුත් මූලිකත්වය දී මුලින්මම දියුණු කළ යුත්තේ වඩාත්ම ගැලපෙන දෙයයි.
රාවුල් ප්‍රෙබිස්(Raul Prebisch) ඇතුළු තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති කේන්ද්‍ර පරිවාර (center and periphery) න්‍යායට අනුව ගෝලීයකරණය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සූරාකෑමක් පිළිබඳව ඉදිරිපත් කර ඇත.සංවර්ධනය වූ රටවල් මේ වෘත්තයේ කේන්ද්‍රයේ සිටී,පරිධියේ සංවර්ධනය නොවූ රටවල් (වෙමින් පවතින කිව්වත්) කේන්ද්‍රයේ ඇති රටවලට අමුද්‍රව්‍ය,සම්පත්,බුද්ධිමතුන්,(බුද්ධි ගලනය ) හා ශ්‍රමය සපයමින් සිටී.කේන්ද්‍රයේ ඇති රටවල් මේ දේ රැගෙන එහි නිෂ්පාදන/ ඵලයන් ඔවුන් බෙදාගෙන අතිරික්තිය නැවතත් සංවර්ධනය නොවූ රටවලට අපනයන කරති.මේ අමුද්‍රව්‍ය සපයන රටවල් දියුණු වුවහොත් කුණු කොල්ලයට මේවා සපයාගත නොහැක.මේ පැහැදිලි කිරීමට අනුව පරිධියේ රටවල් සංවර්ධනය වීම කේන්ද්‍රයට පැහැදිලි අවාසියකි.


කොහොම නමුත් මෙය ලතින් අමෙරිකානු කලාපය හරහා බිහිවූ අර්ථදැක්වීමකි.
එක් දහවල මම බොරැල්ලේ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට මඳක් ඔබ්බෙන් ඇති වනාතමුල්ලට පිවිසීමට ඇති අතුරු පාරට පිවිසුණෙමි.එහි රේල්පාර හමුවනතුරු ගොස් කොන්ක්‍රීට් දමා තිබූ තවත් අතුරු පාරකට පිවිස වැඩි අපහසුවකින් තොරවම මඟ සළකුණු අසා 'කාන්තා සමූපකාර මූලස්ථානය' සොයාගතිමි.තෙමහල් ගොඩනැඟිල්ලේ දෙවන තට්ටුවේ තිබූ කාර්යාලයේ මම කාන්තා සමූපකාරයේ නිර්මාතෲ හා සාමාන්‍යාධිකාරී නන්දසිරි ගමගේ මහතා මුණගැසුණෙමි.

සාදරයෙන් මා පිළිගත් ඔහු මෙසේ ප්‍රශ්නය ඇසුවේය.


''රටක ප්‍රාග්ධන වර්ග මොනවාද?''


මම පිලිතුරු දුනිමි.

''රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය.''


ගමගේ මහතා ඉන් අනතුරුව නැවතත් ප්‍රශ්නයක් නැඟීය.

''හොඳයි..දෙකක් හරි..මොකක්ද තුන්වෙනි එක?''


මම තුන්වැන්නක් ගැන නොදන්නා බව කීවෙමි.ඔහු ඊර පිළිතුරු ලබාදුන්නේය.

''සමාජ ප්‍රාග්ධනය(Social Capital).එහෙම නැත්තන් සමූපකාර.''




බොහෝ දෙනෙකුට සමූපකාර කියූ සැණින් සිහි වන්නේ ලොකු ළුෑණු,කරෝල,අර්තාපල් ඇති පඩිදමා කිරන තරාදි සහිත තැනින් තැන පැරණි පෙනුමක් ඇති ගොඩනැඟිලි වල නඩත්තු වන වෙළඳසැල් බව මම දන්නේ මමත් පෙරදී එසේ සිතා සිටි බැවිනි.නමුත් සමූපකාර යනු රජය හෝ පුද්ගලයෙක් මඟින් නියාමයන/පාලනය වන්නේ නැත.සරලවම කිවහොත් එය ප්‍රජාවගේ මුදල් යොදවා,ඔවුන්ම සම්පූර්ණයෙන්ම එහි යාන්ත්‍රණයක් සාදා ක්‍රියාත්මක වන ව්‍යාපාර විශේෂයකි.ගමගේ මහතා තවදුරටත් පැහැදිලි කරමින් සිටියේය.


''මේ සංකල්පය වැරදි විදිහට අපේ රටේ වටහාගෙන ඉන්නෙ.ඒත් මේක ඉන්දියාවෙ ජාතික ආර්ථිකයට සෑහෙන උපකාරයක් දෙන ප්‍රධාන ව්‍යාපර වලින් එකක්.දැන් සමූපකාර කිව්වම වෙළඳසැල් සහ බැංකු විතරක්ම නෙවේ..ප්‍රවාහන සේවා,විශ්ව විද්‍යාල,රෝහල් එහෙමත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒ වගේම මේ ව්‍යාපාර කිසිසේත්ම පාඩු ලැබිය හැකි ව්‍යාපාර ක්‍රමයක් නෙවේ.''

ඇත්තෙන්ම එසේ කීමට ගමගේ මහතාට පූර්ණ අයිතියක් තිබුණි.1989 දී සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සහ රුපියල් 50කටත් වඩා අඩු ගණනකින් ආරම්භ කළ 'කාන්තා සමූපකාරය' අද වනවිට දිස්ත්‍රික්ක 19ක පැතිරී ගොස් ඇත.වර්තමානයේ මෙම සමූපකාරයේ වත්කම රුපියල් බිලියන 4.85කි.නමුත් වැදගත්ම කරුණ එය නොවේ....මෙම සමූපකාරය පාලනය හා නියාමනය වන යාන්ත්‍රණය සෑදී ඇත්තේ 100%ක්ම කාන්තාවන්ගෙනි.එයිනුත් සාතීශය බහුතරය අඩු ආදායම් ලාභී ග්‍රාමීය කාන්තාවනුයි.
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ ; විදේශ ශ්‍රමිකයින්ගෙන් 49%ක් පමණම වූ ගෘහසේවිකාවන්ගෙන්ය.මේ රැකියාවට අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් අනවශ්‍ය නිසා මෙයට යොමුවන්නේ ග්‍රාමීය උගත්කම අඩු කාන්තාවන්ය.පවුලක මව යනු ඉතාමත්ම වැදගත්ම භූමිකාවක් ඉටු කරන චරිතයයි. ග්‍රහසේවිකා රැකියාව නිසා දරුණු සමාජ සංකූලතා ඇතිවීමටත් හේතු වී ඇති කාරණාව එයයි.
ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රතිශතය 53%කි.එයිනුත් බහුතරය වන 74%ක් පමණ ග්‍රාමීයව ජීවත් වේ.මොවුන් නිහඬව නොමිලේම ඉටුකරන කාර්‍යයන් ගැන නිවැරදිව සමීක්ෂණයක් නොවුණත් ඉතා වැදගත් භූමිකාවක් මොවුන් විසින් ඉටු කරනු ලැබේ.ගමගේ මහතා මේ ග්‍රාමීය නූගත් ගැමි ගැහැණියගේ විභවය නිවැරදිව වටහාගත්තේය.සමූපකාර ව්‍යාපාරය හාඉබේම ලැබෙන ප්‍රතිලාභ වන සමාජ සුරක්ෂිතභාවය සහ ප්‍රගමනය මේ සාමාජිකාවන් අද භුක්ති විඳිමින් සිටී.

කාන්තා සමූපකාරයේ කුඩාම ඒකකය ශාඛාව ලෙස හැඳින්වේ.ශාඛාවක් සෑදෙන්නේ අසල්වැසි පවුල්වල කාන්තාවන් අවම වශයෙන් පස් දෙනෙක් එකතුවීමෙනි.ඊටත් වඩා සරල විය නොහැක.මේ කාන්තාවන් පස්දෙනා එම ශාඛාවේ කණ්ඩායම් නායිකාව,ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස පත්කරගනු ලැබේ.සතියකට වතාවක් අනිවාර්ය සාමාජික ගාස්තුවක් එකතු කරනු ලැබේ.අනෙක් තැන්පතු හෝ රක්ෂණ සඳහා මුදල් සියළුදෙනාගේ එකඟතාවය මත මුදල් එකතු වේ.මේ මුදල් වලින් කණ්ඩායමේ එකඟකත්වය මත සුළු එදිනෙදා කටයුතු වලට සාමාජිකාවන්ට ණය ගත හැක.කාන්තා සමූපකාරය ඔවුන් ශාඛාවක් ලෙස හඳුනාගන්නේ මාස 8ක් ක්‍රියාශීලී වුවහොත් පමණි.

ඉන්පසු ශාඛාවට එහි නමින් 'ප්‍රාදේශිකයේ' ගිණුමක් ඇරඹිය හැක.ප්‍රාදේශිකය සෑදී ඇත්තේ ශාඛාවන් 10ක් හෝ වැඩි ගණනකිනි.මෙයින් ගිණුම් තැන්පත් කිරීම සහ ශාඛා සාමාජිකාවන්ට ණය නිකුත්කිරීම සිදුවේ.ණය නිකුත්කිරීමට ශාඛා සමාජිකාවන්ගේ එකඟතාවය අවශ්‍යය.එමෙන්ම ණයකරුට එය ගෙවිය නොහැකිනම් ඒ සඳහා මුළු ශාඛාවම ඇප වේ.
'ජාතික සභාව' සෑදී ඇත්තේ ප්‍රාදේශික වල සිටිනා භාණ්ඩාගාරිකවරියන්ගෙනි.මෙය මුළු පද්ධතියේම හෘදය ලෙස හැඳින්වේ.ප්‍රාදේශික වල ඇතිවන ගැටළු,නව උපායමාර්ග සාකච්ඡාව මෙහි වගකීමයි.එමෙන්ම පහත කරුණුද මෙයින් ඉටුවේ.

1)ගිණුම්කරණය හා මුල්‍යකරණය පිළිබඳ සාමාජිකාවන්ට පුහුණුව ලබාදීම.
2)පාදේශිකයන්ට අවශ්‍ය ප්‍රධාන උපකරණ සැපයීම.
3)බාහිර මූලාශ්‍ර වලින් ලැබෙන ආධාර ණය අරමුදලට බැර කිරීම.
4)කණ්ඩායම් ව්‍යූහය ශක්තිමත් කර සහාය ලබාදීම.

මෙම ව්‍යූහයේ ඉහළම ස්ථරය(governing body) වන 'ජාතික විධායක සභාව' සෑදී ඇත්තේ දිස්ත්‍රික්කයක ප්‍රාදේශිකයකෙන් තෝරාගන්නා ලද භාණ්ඩාගාරිකවරියන්ගෙනි.දිස්ත්‍රික්කයක ප්‍රාදේශික 10ට වඩා ඇත්නම් ජාතික විධායක සභාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශික 2කින් භාණ්ඩාගාරිකවරියන් පත්කරගත හැක.
ප්‍රතිපත්ති සෑදීම හා ක්‍රියාත්මක කිරීම,සාමාන්‍යාධිකාරිවරයාගෙන් උපදෙස් ගෙන ගැටළුකාරී අවස්ථා විසඳීමට තීරණ ගැනීම මෙහි වගකීම් වේ.ව්‍යුහය නියෝජනය කරන සාමාජිකයෙක් නොවන එකම පුද්ගලයා වන්නේ මෙහි වර්තමාන සාමාන්‍යාධිකාරී වරයා වන ගමගේ මහතා පමණි.

සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තවත් අංශ ඇත.කාන්තාවන්ට සුළු පරිමාණ කර්මාන්ත වලට උපදෙස් දීමට හා ඇයව ව්‍යාවසායිකාවක් ලෙස සමාජගත කරන 'ව්‍යවසායක අංශය',සමාජ සුරක්ෂිතභාවය වෙනුවෙන් 'රක්ෂණ අංශය',ගොවිතැන් හා වගාවන් සඳහා උපදෙස් දීමට 'කෘෂිකාර්මික අංශය',තාක්ෂණික සහය දීමට 'තාක්ෂණික අංශය',අවම මිලට වෛද්‍ය පහසුකම්,රසායනාගාර පහසුකම් ලබාදෙන 'සුසේකා සේවය' පමණක් නොව 'මාධ්‍ය හා සංස්කෘතික අංශය'කින් පවා මෙය සමන්විත වෙයි.

කාන්තා සමූපකාරයේ ප්‍රධානම සේවය වන 'ණය ලබාදීම' වුවත් රැඳී පවතින්නේ නීතිමය රාමුවක් පදනම් කරගෙන නොවේ.හුදු විශ්වාසය මතය.එමෙන්ම ණය අයකරගැනීම මේ වන තෙක් 100%ක් සාර්ථකව ඉටුවී තිබේ.කාන්තා සමූපකාරයේ අද වනවිට දක්වා ඇති විශිෂ්ට සාර්ථකත්වයෙන් පැහැදිලි වන කාරණා කිහිපයක් ඇත.

1)සමූපකාර සඳහා රජයේ හෝ පෞද්ගලික ප්‍රාග්ධනය අවශ්‍ය නොවේ.
2)මේ රටේ කාන්තාවට නිසි පුහුණුවක් හා වගකීම් ලබාදුන්හොත් ඇය සමාජයට වටිනා දායාදයක් බවට පත්වේ.
3)අඩු ආදායම්ලාභීන්ව නීතියට් වඩා විශ්වාසය හරහා ණය ගණුදෙනු කිරීම සාර්ථක වී ඇත.අවශ්‍ය ඔවුන්ට නිසි අවස්ථාවක් හා මාර්ගෝපදේශයක් ලබාදීමයි.
අවසානයේ කාන්තා සමූපකාරයේ සමරු කලාපයක ඇති සටහනක් උපුටා දක්වමි.
''ළියන් නිළියන්,රැජිණන් හා වෙළඳ භාණ්ඩ කරන්නට කැසකවන සමාජයක කාන්තාව පරිභෝජන සමාජයේ නොව ආයෝජන සමාජයේ වීරවරියන් බව පසක් කළෙමු.''


Saturday, July 2, 2016

මහායානය සහ ථේරවාදය(හීනයානය)..

මහායාන බෞද්ධ සම්ප්‍රදායේ වෙනස්කම් මොනවද?

බිව්වට අවුලක් නෑ,ශරීරයට සැප දුන්නට අවුලක් නැහැ,හාමුදුරුවරු කසාද බඳිනවා? 

නැහැ....මේ එක එක නිකායන්ගේ ස්වභාවයන්.සමහර මහායානික නිකායන් තියනවා භික්ෂුන්ට මාංශ වැළඳීම පවා අකැපයි ඒ වගේම දැඩි විනය නීති යටතේ ඉන්න වෙන්නේ.

මහායානිකයින් විශ්වාස කරන්නේ නිර්වාණය ලබා ගන්න පුළුවන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් විතරයි කියල.ඒ වගේම ඔවුන් කියන්නේ මහායානය තමා බුදුන්ගේ ඉහලම ඉගැන්වීම කියල.මහායාන සුත්‍රයක තියනවා ගෞතම බුදුන් මෙහෙම කියන කොටසක්
 ''මා සොයාගත් ධර්මයෙන්,මා සරණ ගොස් ඔබහට මට වඩා අඩු බෝධියකින් නිවන් යැවීම මාගේ අරමුණ කියා ඔබ සිතනවානම්,මහණෙනි...මම එවැනි නායකයකු නොවෙමි'' කියල.

ථෙරවාදීන් විශ්වාස කරන්නේ නිවන තුන්තරා බෝධියෙන්ම අවබෝධ කරගන්න පුළුවන් කියල.ඒ කියන්නේ සම්මා සම්බුද්ධ,ප්‍රත්‍යෙක බුද්ධ(පසේ බුදු) සහ ශ්‍රාවක බුද්ධ (අරහත්) කියන යානා තුනෙන්ම නිවනට යන්න පුළුවන්.

මහායානය කියන වචනයේම තේරුම සම්මා සම්බුද්ධ කියන යානාවෙන් පමණක්ම නිවනට යන්න පුළුවන් කියන එක හිනයානයෙන් කියන්නේ සම්මා සම්බුද්ධත්වයට අඩු යානයකින් වුනත් නිවන් දකින්න පුළුවන් කියන එක.(මහායානයට-සම්මා සම්බුද්ධත්වයට වඩා අනෙක් යානා දෙක හීනයි,මේ නමේ තේරුමත් එන්නේ මෙහෙමයි.)

ථෙරවාදයට අනුව අරහත්වයට පත්වීමට දස පාරමිතා ප්‍රමාණවත්.
පසේ බුද්ධත්වයට දස පාරමිතා සහ දස උප පාරමිතා.
සම්මා සම්බුද්ධත්වයට පත්වීමට දස පාරමිතා,දස උප පාරමිතා සහ පරමත්ථ පාරමිතා සම්පුර්ණ කරන්න ඕනේ.


ඒ අතින් බැලුවම දස පාරමිතා පමණක් සම්පුර්ණ කරලා නිවන් දැකීම easy way out එක..ලේසිම ක්‍රමය...


ථෙරවාදීන් මහායානය බුද්ධ භාෂිතයක් කියල පිලිනොගත්තට මහායානිකයින් ථේරවාදය බුද්ධ භාෂිතයක් කියල පිලිගන්නවා...හැබැයි ඔවුන් පිළිගන්න විදිහට බුද්ධ භාෂිතයෙන් උසස්ම (supreme) ධර්මය ථේරවාදය නොවේ..ඒ වගේම බුදුන් ථේරවාදය දේශනා කිරීමට හේතුව සම්බන්ධයෙන් ඔවුන්ට ඉතාමත් සිත්ගන්නා සුළු පැහැදිලි කිරීමක් තියනවා..

(මතු සම්බන්ධයි)