Friday, June 14, 2019

අසුබවාදියා

'මම අසුබවාදියෙක්.'

වැව් තලය මතට පැතලි ගලක් වීසි කරන ගමන් මම ඇයට කීවෙමි.

ඇය අසා සිටියාය.
සාමාන්‍යයෙන් ලිවීමේදී 'අශුභවාදියා' ලෙස ලියූවිට එන බරපතලකම කථනයේදී හැඟවීමට ඇති අපහසුව මම වටහාගතිමි. 'අශුභවාදියා' ලෙසම මම කියූවානම් එයින් ලැබෙන්නේ තරමක අභව්‍යකමකි.
කතාවට වඩා ලිවීමට මම ආශක්ත වූයේ මෙවැනි හේතූන් නිසා විය යුතුය.

'මම ඉස්සර වුණත් කැමති වුණේ හොඳට ඉගෙනගන්න ළමයෙක් කියල අහනවට වඩා,ඉගෙනගන්න පුලුවන් වුණත් උවමනාවක් නැති ළමයෙක් කියල අහන්න.
දැන් කියලත් වැඩි වෙනසක් නැහැ.'

ඇය සිනහවක් පෑවාය.සුළඟ විසින් ඒ මේ අත අඹරවන කෙස් රොදවල් ඇය වරින් වර සකසාගත්තාය.ඒ අතර මෙසේ කීවාය

'හැබැයි ඉගෙනගන්න බැරි ළමයෙක් කියල අහගන්න කැමති වුණේ නෑනේද?'

ඇයටම විශේෂ වූ තියුණු උපහාසයට ලක්වීම මට සෑමවිටකම තරමක් ආනන්දජනක කාරණයක් විය.මම පිළිතුරු දුනිමි.

'ඔව් එහෙම එහෙකුත් තියනවා තමයි ඉතින්.
මොන තරම් අසුබවාදියෙක් වුණත් මම හිතන්නෙ නෑ මෝඩයි කියල අහගන්න කැමති ඇති කියල.'

'අනේ මන්දා' කෙහෙ රොදක් අඹරවමින් ඈත බලාගෙන ඈ කතාකලාය.

'මමනම් හිතන්නෙ නියම අසුබවාදියෙක්ට ඒක කොහොමටත් වැදගත් වෙන්න බෑ කියල.
ඉතින් ඔයාට අසුබවාදයෙන් මිදෙන්න බැරිවෙයිද?'

මම තවත් පැතලි ගලක් සෙවීම නවතා ඇය ඇමතුවෙමි.
'මම හිතන විදිහට බැරිවෙයි.'

'සමහරවිට ලෝකෙ වෙනස් විදිහකට තිබ්බනම් මම එහෙම වෙන එකක් නෑ..
බැරි වෙලාවත් අපි නාකි වෙලා,සිහි කල්පනාව අඩුවෙලා,එක්තැන් වෙලා දුර්වලම වෙලා,මර බයේ මැරෙන එකට වඩා අපි තරුණකමින්,ශක්තියෙන්,ආවේගශීකමෙන් උපරිමයට ආවහම මැරෙන්න තිබ්බනම්. මරණය පිළිගන්න පුලුවන් වුණානම්..
අපි ඉන් පස්සෙ මතකයේ රැඳෙන්නෙ ඒ විදිහටනම්.
සමහරවිට මම එහෙම වෙන එකක් නැහැ.'

ඇය කොක් හඬලා සිනාසුණාය.

'ඇයි දැන් ඔයා නාකියිද?'


පාවෙන හාද්ද

'දූ අපි යමු.. අංකල්ට බායි කියන්න.' 

 ඇගේ අතේ එල්ලී සිටි ඇයගේ කුඩා දියණිය මට 'පාවෙන හාද්දක්' දුන්නාය. මම තරමක පුදුමයකින් සිනහවෙමින් ඈ දෙස බලා සිටියෙමි. ඇය, පරීක්ෂාකාරීව මදෙස බලා, ප්‍රතිචාර ලෙස ආපසු පාවෙන හාද්දක් නොදීම ගැන ඇගේ මවට පැමිණිලි කර සිටියාය.

 'ඒ අංකල්ගෙ හැටි දූ... ඒ දවස්වලත් ඔහොමයි.'