(හුවාන් යින්ගේ පලවෙනි කතාව මෙතැනින්)
කඳුලු කන්ද සමීපයටම
පැමිණි භික්ෂුව අශ්වයා මඳකට නැවැත්වීය.හිස ඔසවා තැනිතලාවේ කෙළවර වළාකුළු
දක්වා විහිදුණු නෙරුමක් වූ කඳුළු කන්ද දෙස බැලුවේය.
කන්දේ සම උසකින් ආරම්භ වී සමාන්තරව ගමන් කළ රිදී ඉරි දෙකක් දක්නට ලැබුණි.
මේ ඒ කන්දට නම ලැබීමට හේතු වූ දිය ඇළි දෙක බව භික්ෂුව දැන සිටියේය.කන්දේ
හෘදයෙන් ආරම්භ වූ ජල උල්පත මේ ආකාරයෙන් වැටෙන්නට සැලැස්වූයේ පුරාණතම මකර
රජවරයෙක් බව පුරාවෘත වල සඳහන් විය.කන්ද පාමුලින් ආරම්භ වූ තෙරක් නොපෙනෙන
පඩිපෙළ සමීපයේ භික්ෂුව උපස්ථායකට සමුදුන්නේය.බඩු බාහිරාදියෙන් හිස්වූ
අශ්වයා පිට නැඟ කොටළුවාද සමඟම උපස්ථායක පිටත් වන්නට විය.
කාලය ගලා
ගියේය.වසන්ත ශෘතු,ගිම්හානයන් පසුවී යන්නට විය.හුවාන් යින්ගේ උදාසීන
නායකත්වයට කෙමෙන් අනෙක් භික්ෂූන් අනුගත විය.හුවාන් යින් කියවීමට
ඉගෙනගත්තේය,ලියන්න හුරු පුරුදු විය.ඔහුගේ සිවුරු අවපැහැ ගැන්විණි,මුඩු හිසේ
තැනින් තැන සුදු පැහැ කෙස් කොට පැමිණෙන්නට විය.කලක් සරදම් සිනහවකින්
සැරසුණු මුහුණ නිරාමිස ප්‍රීතියකින් පිරී තිබුණි.දෙඇසේ ඥාණය හා කාරුණික
භාවය උතුරන්නට විය.
දිනක් හුවාන් යින් දොඩම් අත්තක් ගෙන ඔහුගේ ආවතේවකරු
වූ දොළොස් හැවිරිදි භික්ෂුවක් සමඟ ටියෑන් සූජින් සොයා ගඟ අසල පිහිටි කොළ
උණගස් වනයට ඇතුළු විය.සූජින් උණගසක් පාමුල බද්ධ පර්යංකයෙන් භාවනාවකට සමවැදී
සිටියේය.ඔහුව අවදි කරන ලෙස හුවාන් යින් ආවතේවකරුට දැන්වීය.කුඩා භික්ෂුව
සූජින්ගේ උරහිස තදින් සොළවා ඔහු අවදිකළේය.දැඩි නොරිස්සීමක් සහිතවම සූජින්
පියවි සිහියට පැමිණියේය.
''නුඹ සෙල්ලම් කරනවාද?මම සිටියේ අත්හැරීමේ
අභ්‍යාසය තුල දැඩි ලෙස කිමිදෙමින්.නුඹේ බාධාව නොවන්නට මා හට සමාධිගත වන්නට
තිබුණා.හිටපන් නුඹට..''
කියමින් නැඟී සිටියේය.හුවාන් යින් ඉතා සන්සුන්ව
මෙසේ ඇමතීය.
''ටියෑන් සූජින්,කලබල කරන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්.''
සූජින්
හුවාන් යින්ව දුටුවේ එවිටයි.
හෙතෙම ක්ෂණයෙන් දණ ගසා කොන්ද පහත්කොට,හිස බිම
තබා,දෙ අත් හිස ඉදිරියෙන් තමා මෙසේ ඇමතුවේය.
''ගුරුතුමනි සමාවුව මැන.''
සෙමෙන් සූජින්ගේ පිටුපසට පැමිණි හුවාන් යින් තම අතේ තිබූ දොඩම් කෝටුවෙන්
සූජින්ගේ පශ්චාත්භාගයට වැරෙන් පහරක් එල්ලකළේය.උණගස් වනය දෙදරන කෑගැසීමක්
ඇසුණි.කුරුල්ලන් ඉවතට පියාඹා යන්නට විය.හුවාන් යින් සන්සුන්ව සූජින්
අමතන්නට විය.
''ටියෑන්,වහාම පලයන් ගමට.නුඹේ මවගේ අසනීපය අසාධ්‍ය
වෙලා.මේ වෙලේ නුඹ කරන්න ඕනේ උණ ගස් යට කෝලම් කරන එක නෙවේ ඇයගේ හිත නිදහස්
වන පරිදි වැඩ කරන එක.දැන්ම ගිහින් ඇය එක්ක හිටපන් අවසාන මොහොතේ.''
සූජින්ගේ දෑස් වලින් කඳුළු කඩා හැළිණි.හෙතෙම අසාර්ථක ලෙස උත්සාහ ගනිමින්
සිටියේ මවගේ වියෝව දරාගැනීමට සිත සකස් කරගැනීමකටයි.ස්වල්ප වේලාවකින් ඔහු
ගමට යන්නට පිටත් විය.
හුවාන් යින් සෑම විටම ප්‍රශ්න සඳගා ලබාදෙන
විසඳුම් අති සරල විය.එමෙන්ම තර්කයෙන් බිඳීමට නොහැකි වන තරම් ශක්තිමත්
විය.වරක් ඔහුගේ ඥාණයේ ගැඹුරුභාවය ගැන පැහැදුණු සත්‍ය ගවේෂක සංචාරකයෙක්
ඔහුගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසා සිටියේය.
''නායකවරයාණෙනී,ඔබගේ දැනුම
පූර්ණය,ගැඹුරුය.එමෙන්ම පැහැදිලිකීරීම් සරලය,ප්‍රායෝගිකය.ඔබ මේ උගැන්ම භව
ගණනක් තිස්සේ ප්‍රගුණ කල බවක් හැඟේ.පසුගිය භවයේ ඔබ කවරෙක් වීද?දැනගනු
කැමැත්තෙමි.''
හුවාන් යින් සරල පිළිතුරක් ලබාදුන්නේය.
''නොදනිමි,මට ඉන් ඇති වැඩක් නැහැ.''
සංචාරකයා මවිතයට පත්විය.ඉන්පසු මෙසේ කීවේය.
''නායකවරයාණෙනී සමාවුව මැන.ඔබ මනැස දියුනු කිරීම මඟින් අවම ලෙස ජාතිස්මරණයවත් ප්‍රගුණ කර ඇතැයි සිතුවෙමි.''
හුවාන් යින් මෙසේ ප්‍රශ්නයක් ඇසීය.
''ගවේෂකය,ඔබ ඇසුවේ මඳක් පැටලිලි සහිත ප්‍රශ්නයක් මම එය මඳක් නිරවුල් කිරීමට උත්සාහ කරන්නම්.හුවාන් යින් යනු කවරෙක්ද?''
ගවේෂයකා මුග්ධ ලෙස පෙණුනු මේ ප්‍රශ්නයට අවිනිශ්චිතතාවයකින් මෙසේ පිළිතුරු දුන්නේය.
''හුවාන් යින් යනු ඔබයි නායකතුමණී''
''හුවාන් යින් යනු මොන මමද?ඔබගෙන් ප්‍රශ්නය ඇසූ මමද?මේ කථාකරන මමද?ඊයේ සිටි මමද?හෙට ඉන්න මමද?''
''මේ සියළු කාලවල ඉන්නේ එක හුවාන් යින් කෙනෙකි ඒ ඔබයි.''
''එසේමද?එසේනම් පස් හැවිරිදි වියේ මවුපියන් අහිමි වූ මමමද මේ ඔබ හා
සාකච්ඡා කරන්නේ?මොහොතින් මොහොත ශරීරය වයස්ගතවේ.කුඩා දරුවකු වැඩෙද්දී ශරීරය
ශක්තිමත් වී මනසද අත්දැකීම් හරහා ප්‍රත්‍යක්ෂ ඥාණයන් ලබා ගනී.ඉන්පසු සම
රැළි වැටී ඉන්ද්‍රිය සංවේදීතාවය අඩුවී සිහිකල්පනාව අඩුවීමේ පැත්තට ගමන්
කිරීම ඇරඹේ.අවසානයේ ඔහු පූර්ණ නිශ්චලතාවයකට පත්වී මියයයි.මේ සියළු අවස්ථාවල
ඉන්නේ එකම පුද්ගලයෙක් වන්නේ කෙසේද?''
ගවේෂකයා නිහඬ වූ බැවින් හුවාන් යින් මෙසේ කීය.
''සත්‍ය වශයෙන්ම පුද්ගලයා මොහොතින් මොහොත වෙනස් වේ.ශාරීරික වෙනස්කම් කල්
ගත වූවත්,ක්‍රමාණුකූල වූවත් චිත්තයේ වෙනස්කම් අති ක්ෂණිකය.එය අකුණකටත් වඩා
වේගවත්ය.දැන් මම යමක් කියන්නම්.
පුද්ගලයාගේ මනස මතක ගබඩාවකි.එයට මතක
පරම්පරාවන් කාලය සමඟ එකතුවේ.මේ මතක පරම්පරාව ආවර්ජනය කරමින් සිටින ඔහු එක්
වැටහීමකට පැමිණේ.එනම් මේ මතක සැබෑ දේවල් හා තමන්ට අයිති දේවල් ලෙස
ගනී.මෙතැනින් ''මම'' යන අදහස උපදී.ඒ මතක සටහන් හා තවත් දේවල්
ඈඳේ.ඥාතීන්,හිතමිතුරන්,සතුරන් හා සමාජය යන දේවල් ඔහු එමඟින් ව්‍යුත්පන්න
කරගනී.එමෙන්ම යම් භාණ්ඩ හා වස්තූන්ගේ මතක සටහන් ඒවාගේ අයිතිය ඔහුට ඇති බවක්
පෙන්වයි.
ඉන් පසු ඔහු සම්ප්‍රදායන්ට අනුකූල
වේ.ඇඳුම්,ආහාර,විවාහ,රැකියා හරහා ඔහු තමන්ට අනුරූප ලෝකය සාදාගනී.මතක
පරම්පරාවට ''මාගේ අතීතය'' කියා ඔහු වලන්ගුතාවයක් ලබා දෙයි.අවිනිශ්චිත
හැඟීමකට හෝ බලාපොරොත්තුවකට ''අනාගතය'' කියා නමක් ලබා දෙයි.
ඔහු සෑම මොහොතකම සිතමින් ඉන්නේ පසුවූ අතීත මතක පරම්පරාව ගැනයි.නැතිනම් ඒ හරහා බිහිවන අවිනිශ්චිත අනාගතයක් ගැනය.
එක්වරම ඔහුගේ මතකය සම්පූර්ණෙන්ම නැතිවී ගියාකියා සිතන්න.ඔහු
තමා
කවරෙක්දැයි නොදනී.
ඔහුට 'මම' යන හැඟීම නැත.
අනාගතයක් ඔහුට ප්‍රක්ෂේපණය කරගත
නොහැක.ඔහු ඇත්තෙන්ම වර්තමානයේ ජීවත් වේ.නමුත් සිතේ ස්වභාවය මතකය ගබඩා කිරීම
නිසා ඔහු එතැන් සිට මතක එකතු කිරීම අරඹයි.නමුත් මතකය නැතිවීමට පෙර සිටි
මිනිසාත් මතකය නැතිවූපසු ඉන්නා මිනිසාගේත් සමානකම් නොමැත.
අප ලෝකය
දකින්නේ පන්චේන්ද්‍රියන්ගෙනි.ඒවාට ගෝචර වන දේවල් මේ මතක ගබඩාවට ඇතුල් වේ.අප
ඒ සියළු දේ ගබඩා කරගන්නේ අපගේ අත්දැකීම් හා බුද්ධියට අනුකූලව පෙරාගත්
පසුවය.මේ සංස්කරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.එමෙන්ම අප යමක් දකින්නේ
ඇති සැටියෙන්ම නොවේ.මේ කෝප්පය බලන්න.ඔබට සිතුණේ කුමක්ද?ඔබට මෙය තවත් එක්
සාම්ප්‍රදායික දකුනු චීන මෙවලමක් පමණි නමුත් මගේ මතක සටහන් හා මේ කෝප්පය
බැඳී පවතී.මාගේ උපස්ථායකට මෙය ගෞරවණීය වන්නේ මෙය මාගේ මෙවලමක් බැවිනි.නමුත්
කෝප්පය වෙනස් නොවේ.
ගඟක් උදාහරණයකට ගන්න.
ගඟ අපි මොහොතක් නිශ්චල
කරමු.ඉන්පසු එය සම්පූර්ණෙන්ම මතකයේ තබාගමු.මොහොතකට පසු නැවතත් නිශ්චල කර එය
කලින් මතකය හා සසඳමු.ලැබෙන්නේ එක සමාන රූප දෙකකි.නමුත් ඒ එකම ගඟමද?
පළමුවෙනි වර නිශ්චල කිරීමේදී එතන තිබූ ජලය දෙවැනි වර පිටපත් කිරීමේදී
ගලාගෙන ගොස් හමාරය.නමුත් සමාන සැපයුමක් ඇති නිසා මතුපිටින් බලන විට මේ රූප
දෙකේ වෙනසක් නොතිබේ.නමුත් මේ තිබෙන්නේ එකම ගඟ නොවේ.
අපගේ
ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා බොහෝදුරට එක හා සමානය.නමුත් අප එය අර්ථකතනය
කරගන්නේ අපගේ දැනුම හා අත්දැකීම් හරහාය.එය අප අපගේ මතක ගබඩාව හා සැසඳීමක්ද
කරගන්නා ලැබේ.මේ අනුව අප සිටින්නේ එකම ලෝකයක වුණත් අපට සාපේක්ෂව අප සියළු
දේ එකිනෙකාට වෙනස්ව වටහා ගන්නා බැවින් අප ප්‍රක්ෂේපණය කරගෙන ජීවත් වන ලෝක
වෙනස්ය.ශාක්‍යමුණීන් ''ලෝකයක් බිහිවන්නේ බඹයක් පමණ වූ ශරීරයක් තුල'' බව
පවසා සිටියේ එබැවිණි.
මෙයින් අත්මිදීමට කළයුත්තේ මේ මතක ගබඩා කිරීම
නැවැත්වීමයි.සිතිවිලි නැවැත්වීම කළ නොහැක්කක් වූවත් එක සිතුවිල්ලක් ඔස්සේ
හඹා යෑම නැවැත්වීමට උත්සාහ ගත යුතුය.එසේ හඹා යෑම හරහා බොහෝ දුරට වන්නේ
අතීතයේ හෝ අනාගතයේ ජීවත්වීමකි.මෙය ඇහිරූ ගමන් පුද්ගලයකු වර්තමානයේ ජීවත්වීම
අරඹයි.
සෑම දෙයක්ම පාහේ මෙයට සම්බන්ධය.කර්මය උදාහරණයකට ගන්න.මෙය
බහුලව යෙදෙන්නේ අතීතයේ කළ දෙයක් වර්තමානයේ ඵල දීමකටයි.අතීතයේ කළ දේ නැවත
නිවැරදි කළ හැකිද?වීමට නියමිත දේ වැළක්විය හැකිද?නැත.කළ යුත්තේ කර්මය යනු
වර්තමානයේ පුද්ගලයා කරන දෙය බව සිතාගැනීමයි.එය පුද්ගලයාට තීරණය කිරීමේ හෝ
වෙනස් කිරීමේ හැකියාව පවතී.එවිට එම සංකල්පයේ වැදගත්කම වටහා ගැනීම අසීරු
නොවේ.
පුද්ගලයෙක් මතක පරම්පරාව අතහැර,අතීතය හෝ අනාගතය ගැන නොසිතා
වර්තමානය ගැන සම්පූර්න සිහිය එළැඹ ගත්තා කියා සිතමු.එම මොහොතේ ඔහුගේ සිතේ
පවතින අනවශ්‍ය දේ කෙරෙහි ඇති අවධානය දුරු වේ.විශ්වය හා සම්බන්ධ වේ.මනසේ
සැඟවී ඇති තියුනු ආලෝකය දර්ශනය වීමට පටන් ගනී.
ඔබ ඇසුවේ මාගේ පසුගිය
භවය ගැනයි.ගවේෂකය මම මොහොතින් මොහොත වෙනස් වෙමි.මට මින් පෙර භවයක් තිබූ බව
සැබෑවකි.නමුත් මම මේ මොහොතේ පවා වෙනස්වෙමින් සිටිමි.එබැවින් කවර හේතුවක්
නිසා මම මගේ අවධානය භවයකට කලින් තිබූ සිතුවිලි පරපුර කෙරෙහි යොමු කළ
යුතුද?හුදෙක් කාලය නාස්තියක් නේද?''
No comments:
Post a Comment