දකුණු චීන වැසියන් සෑම කාලවලදීම උතුරු චීනුන්ට වඩා
සන්වරකමින්,නුවණින්,යහගුණයෙන් හා සෞභාග්‍යයෙන් ආඪ්‍ය වී සිටියහ.මින් රාජ
වන්ශය ආර්ම්භ වූ අළුත දකුණු චීනයේ වූ ගොන්ෂෝ නම් ප්‍රදේශයේ මහායාන චීන
බෞද්ධ නිකායක් වූ ජින්වින් නිකායේ පුරාණ පන්සලක් ශ්වේත කන්ද පාමුලෙහි
තිබුණි.
තරමක් විශාල වූ ආශ්‍රම පරිශ්‍රයේ නේවාසික භික්ෂුන් 200කට
පමණ ඉඩ පහසුකම් තිබුණි.ප්‍රධාන භික්ෂුවගේ වාසස්ථානය වෙනම විය.එය චීනයට
අවේනික රවුම් ආරුක්කු,උළු සෙවිලි කල වහල හා දේවදාර දැවයෙන් සෑදූ බිමින්
සමන්විත විය.පඩි සතරකින් ඇතුල්වීමේ දොරටුව තිබූ එහි ප්‍රවේශය වූයේ 50
දෙනෙකුට පමණ බිම හිඳගත හැකි වූ ධර්මශාලාවකි.එහි එක් කොණක නායක භික්ෂුව
පමණක් අසුන් ගන්නා ධර්මාසනය විය.තවත් පැත්තක වූයේ මඳක් විශාල අමිතාභය
බුදුන්ගේ පිළිමයකි.නායක භික්ෂුව හමුවීමට අවසර තිබුණේ ඔවුන්ගේ ජ්‍යේෂ්ඨ
භික්ෂූන් අතලොස්සකට පමණි.තවද භික්ෂූන් සඳහා දිගැති නේවාසිකාගාර හතරක්
විය.මේ ආරාමය උණබම්බු සහිත වැටකින් ආවරණය විය.මඳක් එපිටින් ජැන් ජියෑන් ගඟේ
අතු ගන්ගාවක් ගලායන්නට විය.
එකල එහි නායක භික්ෂුව ලෙස කටයුතු කරමින්
සිටියේ සංඝ පීතෲ හුවාන් යින් නම් භික්ෂුව විය.කාරණා දෙකක් නිසා ඔහු
සුවිශේෂි විය.ලාබාල වියේදී එනම් අවුරුදු 17 දී නායක පදවියට පත්වූයේ
ඔහුයි.එමෙන්ම ඔහු නායක පදවියට පත්වනවිට ලියන්න හෝ කියවන්න නොදැන සිටියේය.
භික්ෂූ භාවයට පත්වීමට පෙර ඔහු ගොවි පවුලකට උපන් ළමයෙක් විය.වරක් බැන්ඩිට්
සොරුන් පැමිණ ඔහුගේ ගම කොල්ලකා ගිනි දමා විනාශ කරන්න පටන් ගෙන තිබුණි.ඔහුගේ
මව ඔහුව බාල්දියක දමා වසා දැමූ ලිඳකට පහත්කර දැම්මාය.එසේ කරන්නට කලින්
''මොනව වුණත් සද්ද නොකර හිටපන්'' කියා ඇය කියූවාය.කවදාටත් වඩා එදා ඔහු තම
මවගේ උපදෙස පිළිපැද්දේ එම ස්වරයේ තිබූ බියපත්භාවය හා සෙනෙහස හදවතටම දැනුණු
බැවිනි.ළිං පත්ලේ තිබූ පාසි පල්වූ ගඳ,අන්ධකාරය හා බාල්දියේ ගැස්සිල්ල පස්
වියැති දරුවා හැඬවීමට සමත් නොවුණි.රාජ පුරුෂයින් ඔහු සොයාගන්නා විටත් ඔහු
ලිඳට පහත් කළ විට සිටි ලෙසම කඹය තදින් ග්‍රහණය කරගෙන සිටිනු දක්නට
ලැබුණි.ගොඩට ආ විට දුටුවේ ඔහු දැන සිටි සෑම දෙයක්ම දැවී අළුවී ගොස් ඇති
ආකාරයයි.රජුට විනාශය ගැන වාර්තාව ගෙන යන ගමන්ම ඔවුහු දරුවාව ජින්වින් ආරමයට
භාර දීගෙන යන්නට විය.
හිස සම්පූර්ණයෙන්ම බූ ගා වී හැඩැති කතිරයක්
බෙල්ල පහළින් එන පරිදි ගුරු පැහැ සිවුර ඇඳීමට හුවාන් යින් දරුවා දින දෙකක්
පමණ පුහුණු කරන ලදී.ආධුනික භික්ෂුභාවය ලැබූවන් මුලින්මම සේවයේ යොදවන්නේ
නායක භික්ෂුවගේ සේවයටයි.ඔහුට පැවරුණු මුල්ම රාජකාරිය අමිතාභය බුදු පිළිමය
උදෑසන හා සැන්දෑ ආගමික වතාවත් සඳහා අවශ්‍ය ආකරයට සූදානම් කිරීමයි.ඔහු
වයසින් හා ශරීර ශක්තියෙන් වැඩෙද්දී නායක භික්ෂුවගේ සයනාගාරය,ආසනය ඇතුළු
ධර්ම ශාලාව ශුද්ධ පවිත්‍ර කිරීම,දර ගෙන ඒම,එළවලු කොටු හා කුස්සියේ වැඩ
කිරීම,පනිට්ටු දෙකක් සමඟ ඇති කද ගඟට ගොස් පුරවාගෙන විත් ආශ්‍රමයේ විශාල
පීප්ප පිරවීම,ජේෂ්ඨ භික්ෂූන්ගේ සිවුරු සේදීම ලෙස ඔහුගේ රාජකාරි කාලයත් සමඟම
විකාශනය විය.ඔහු දිනපතා කුරුල්ලන්ට, නොගැඹුරු වූවත් පළල් වූ නදියේ ජලය ගල්
කැට වල වැදී නඟන නාදයට හා ගොඩ සුලඟට සවන් දුන්නේය.හිරුරැස් දිය රැළි මත
වැටී නිවී නිවී පරාවර්තනය වන ආකාරය බලා සිටියේය.වේලීමට දැමූ රෙදි සුලඟට නටන
ආකාර දැකීමටත් එයින් එන ශබ්දය ඇසීමටත් ප්‍රිය කලේය.රෙදි වේළීමට දමා ගඟෙන්
එහා පැත්තේ කොල්ලන් හා සරුන්ගල් යැව්වේය.ඔහු වැඩිවියට පත්වෙමින් සිටියේ මේ
ආකාරයටයි.
ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් ඔහු තම රාජකාරි කළේය.නමුත්
කිසිදිනයක ඔහු පැරණි ධර්මය අඩන්ගු ලේඛණ කියවීමට උත්සාහ කිරීම හෝ ධර්ම දේශනා
වලට සහභාගී වීම මඟහැරියේය.එම නිසා ඔහු මෝඩයෙක් හා කම්මැලියෙක් ලෙසත්
ජ්‍යේෂ්ඨ භික්ෂූන් හැඳින්වූහ.ඔහුට සමකාලීන සමීප මිතුරන්ද නොවුණි.ඉගෙනීමට
කම්මැලි වූ නිසා ඔහුට තව තව වැඩ පැවරුණි.
දිනක් නායක භික්ෂුවගේ
වාසස්ථානයේ පිටත ආරුක්කුවක දැන්වීමක් එල්ලා තිබුණි.භික්ෂූන් ඒ අවට කණ්ඩායම්
සෑදී කථා වෙමින් සිටිහය.හුවාන් යින් භික්ෂූන් අතරින් රින්ගා එහි සඳහන්
වන්නේ කුමක්දැයි වෙනත් භික්ෂුවකගෙන් අසා සිටියේය.
''සවස් යාමයේ නව සංඝ පීතෲ වරයා තෝරා ගැනීමට පරීක්ෂණ'' එය හඬනඟා කියූ භික්ෂුව අවඥා සහගත ලෙස හුවාන් යින් දෙස බැලුවේය.
''තමුසෙට මේකවත් කියවගන්න බැරිද? තමුසේනම් බර වැඩ වලටමම තමයි හරියන්නේ
සතෙක් වගේ.'' කියා කියූවේය.සිරිත් පරිදි සරදම් සිනාවක් පා හුවාන් යින්
එතැනින් ලිස්සා ගියේය.
සංඝ පීතෘ වරයකුට තම නායකත්වය අත් හැරීමට කාලය
එන විට එය විවිධ සංඥා වලින් දැනෙන්නට පටන් ගනී.නායක භික්ෂුව කලින් දින
දුටුවේ සිහිනයකි.මුහුද ගිනිගෙන දැවෙනාකරයකි.තමන් නායකත්වය අත්හැර උසස්
ධර්මධර භික්ෂූන් සිටි කඳුළු කන්ද කරා යාමට කාලය එලැඹ ඇති බව ඔහුට
වැටහුණි.නව භික්ෂු පීතෲ තෝරාගන්නේ නායකත්වය අත්හැරීමට යන භික්ෂුවගේ අභිමත
පරීක්ෂණයකි.මේ පරීක්ෂණය වාචික/හස්ත මුද්‍රා හෝ සංකේතාත්මකව දැක්වෙන
පරීක්ෂණයක් පැවැත්වීම නායක භික්ෂුවගේ අභිමතය පරිදි සිදුවේ.
නායකත්වය
සඳහා ජ්‍යේෂ්ඨ භික්ෂූන් තුන් දෙනෙක් ඉදිරිපත් වූහ.ධර්මාසනයේ නායක භික්ෂුව
අසුන්ගෙන සිටියේය.අනෙක් භික්ෂූන් නායක භික්ෂුවගේ නිවස වටේ ජනේල හා දොරින්
පරීක්ෂණය බලන්නට රැස් වී සිටියහ.බහුතරයක් වූ අවශේෂ භික්ෂූන් තැන තැන
කණ්ඩායම් සෑදී පහත් හඬින් කතාවෙමින් සිටියහ.
ධර්මාසනයේ අසුන්ගෙන
සිටි නායක භික්ෂූව ඉතා බැරෑරුම් ආකාරයෙන් ඉදිරියෙන් වූ ගෙබිම දෙස බලා
සිටියේය.එහි සමපද ත්‍රිකෝණයක් ඇඳ තිබුණි.මෙය සංකේත පරීක්ෂණයකි.මෙහි පණිවිඩය
තෙරුම් ගෙන එයට නිවැරදි පිළිතුර සංකේතාත්මකවම ඇඳිය යුතුය.පළමු අපේක්ෂිත
භික්ෂූව කැඳවිනි.
හෙතෙම මඳ වේලාවක් සලකුන දෙස බලා සිටියේය.ඉන් පසුව
අවසාධිත පාෂාණය ගෙන (මෙය යමක් සලකුණු කිරීමට යොදාගත් පාෂාණයකි ) එම
ත්‍රිකෝණයේ ශීර්ෂ තුන මධ්‍ය ලක්ශ වන සේ ගෙන ඊට වඩා විශාල ත්‍රිකෝණයක්
නිර්මාණය කළේය.
ඉන් පසු නායක භික්ෂුවගේ මුහුණ දෙස බැලීය.පිළිතුර නිවැරදි
නොවූ බැවින් දෙවැන්නා කැඳවිණි.පළවෙනි පිළිතුර මකා දැමූ උපස්ථායක වරයා
නැවතත් සමපාද ත්‍රිකෝණයක් දෙවැනි අපේක්ෂකයා වෙනුවෙන් ඇන්දේය.
දෙවැන්නා පැමිණ දණගසාගත්තේය.හෙතෙම ශීර්ෂ තුනම යා කරමින් ත්‍රිකෝනයේ මධ්‍ය
කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තයක් නිර්මාණය කෙළේය.නමුත් එයත් නිවැරදි
නොවුණි.නැවතත් පිළිතුර මකා නව ත්‍රිකෝණාකාර සළකුණක් තෙවැනි අපේක්ශකයා
වෙනුවෙන් නිර්මාණය විය.
අවසාන අපේක්ෂක පැමිණියේය.බිම දිගාවූ හෙතෙම
මහත් සැලකිල්ලෙන් ත්‍රිකෝණයේ පාද යාන්තමින් ස්පර්ශ වන පරිදි හා පාද වලින්
එළියට නො එන පරිදි එහි අන්තර්වෘතය නිර්මාණය කළේය.
නමුත් එයත් අපේක්ෂිත
පිළිතුර නොවුනි.නායක් භික්ෂුවගේ මුහුණ දැඩි දොම්නසකින් අඳුරු වී ගියේය.
මේ අතර සෙනඟ පීරාගෙන කිසිවකි දොර කරා එළැඹිනි.අනෙක් භික්ෂුන් ගේ කසු කුසුව
මැද හෙතෙම නායක භික්ෂුවගෙන් පරීක්ෂණයට සහභාගී වීමට අවසර ඉල්ලා සිටියේය.ඔහු
හඳුනා ගත් භික්ෂූන්ගේ මුහුණු වලින් දැඩි වික්ෂිප්තභාවයක් මතුවිය.මළපොතේ
අකුරු නොදත් හුවාන් යින්..නායකත්ව පරීක්ෂනයට.හොඳම ධර්මධර භික්ෂූන් තිදෙනා
අසමත් වී ඇති පසුබිමක.නායක තෙරුන්ගේ අවසර ලැබෙනු දුටු ඔවුන්ගේ විමතිය දෙගුන
තෙගුණ විය.
පාෂාණය ලී වලින් සෑදූ බිමේ තෙවරක් ඇතිල්ලෙනාකාරය
සිව්වැනි වාරයටත් ඇසුනි.
මෙය බලා සිටි හුවාන් යින්ගේ මුහුණේ සුපුරුදු සරදම්
මඳහස ඇඳුණි.ඔහු අවසාදිත පාෂාණය අතට ගත්තේය.ඉන්පසු ජනේලයක් සමීපයට ගොස් එහි
සිටින්නන්ට මෑත් වන ලෙස සංඥා කළේය.පාෂාණය ජනේලයෙන් එළියට පියාඹා යන්නට
විය.ඉන්පසු ඔහු ගෙබිම මදින රෙදි කෑල්ල උපස්ථායකගෙන් ගෙන ත්‍රිකෝණාකාර සළකුණ
මකා දැම්මේය.සිටගත්තේය.
ධර්මාසනයෙන් නැගිටි නායක භික්ෂුව හුවාන්
යින්ගේ උරහිස ඇල්ලුවේය.ඉන්පසු ඔහුව අතින් අල්ලා කැඳවාගෙන ගොස් ධර්මාසනයේ
වාඩි කරවීය.හුවාන් යින් 8 වැනි සංඝ පීතෘ වරයා ලෙස පත්විය.බොහෝ භික්ෂූන්ට තම
දිවියේ වැඩියෙන්මම මවිතයට පත්වූ දිනය ලෙස එදින සටහන්
විය.
ඊලඟ දිනයේ උදෑසනම හිටපු නායක භික්ෂුව තම උපස්ථායක සමඟ කඳුළු
කන්ද බලා යාමට පිටත් විය.භික්ෂුව අශ්වයකුගේ පිටද උපස්ථායක අවශ්‍ය බඩු භාණ්ඩ
සමඟ කොටළුවකුගේ පිටද පිටත් වන්නට විය.උපස්ථායක සතු කාර්‍ය වූයේ ආරක්ෂිත
ලෙස ඇරලවීමත් කුලියට ගත් අශ්වයා හා කොටළුවා අයිතිකරුවන්ට නැවත භාර දීමත්
විය.මධ්‍යනය වන විට හිරු රැස් දැඩි වූ නිසාත් ඔවුන් ඉදිරියේ තිබුණේ ශුෂ්ක
පරිසරයක් වූ බැවිනුත් මඳ වේලාවක් විවේක ගැනීමට පීච් ගසක් මුල දෙදෙනාම
හිඳගත්හ.
පරීක්ෂාව වූ ආකාරය ගැන උපස්ථායක මේ අවස්ථාවේ භික්ෂුවගෙන් විමසා සිටියේය.කිසි අකමැත්තක් හෝ උකටලීභාවයක් නැතිව භික්ෂුව පිළිවදන් දුණි.
''හොඳයි,මම ඉදිරිපත් කළේ සමපාද ත්‍රිකෝණයක්..පළමුවැන්නා පැමිණ එහි ශීර්ෂ
මධ්‍ය ලක්ෂ ලෙස ගෙන ඊට පිටින් එමෙන් දෙගුණයක විශාලත්වයෙන් යුතු ත්‍රිකෝණයක්
නිර්මාණය කළා.
ඔහු මෙම ත්‍රිකෝණය සිතුවේ උප්පතිය ලෙස.එනම් එයට අවශ්‍ය
කරුණු වූ මවගේ මාස් ශුද්ධිය,අඹු සැමි සංසර්ගය සහ ගන්ධබ්බයකුගේ පැමිණීම යන
කාරණා.ඔහු එය විශාලනය කිරීමෙන් පෙන්වූයේ එය එන්න එන්නම වර්ධනය වීමක් පමණක්ම
දක්නට ඇති බවක්.ඇත්තටම මෙය මාගේ බලාපොරොත්තු කඩවන ආකාරයේ පිළිතුරු දීමක්.
දෙවැන්නා ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා යන පරිදි එහි බාහිර් වෘත්තය නිර්මාණ
කළා.ඔහු ත්‍රිකෝණයෙන් අදහස් කළේ ජාති ජරා මරණ යන ස්වභාවයන්.මෙය ජීවියාව
චක්‍රයක් මෙන් ලුහු බඳින බව ඔහු බාහිර් වෘත්තය මඟින් පෙන්වූවා.නමුත් අවශ්‍ය
පිළිතුර එයත් නොවේ.
තෙවැන්නා කළේ ඉතා සීරුවෙන් මේ ත්‍රිකෝණයේ පාද
තුන අභ්‍යන්තරයෙන් ස්පර්ෂ වන පරිදි සහ ක්‍රිකෝණයෙන් පිටතට නොයන පරිදි
අන්තර්වෘත්තය නිර්මාණය කිරීමයි.
ඔහු ශීර්ෂ වටහා ගත්තේ ත්‍රිකාය ලෙසයි
(ත්‍රිකාය යනි නිර්මාණකාය-බුදුන් වහන්සේ,ධර්මකාය,සම්භෝගකාය-බොධිසත්ත්ව
වරුන් ලෙස මහායානිකයින් තෙරුවන් මෙන් සලකන සංකල්පයයි ).ඔහු මේ ත්‍රිකාය මැද
අඳින ලද වෘත්තයෙන් අදහස් කලේ ත්‍රිකාය වෙන් වෙන්ව පෙනුනත් එය පැන නඟින්නේ
එකම මූලය එනම් සියළු දෙනා තුල පවතින උපරිම විභවය වූ බුද්ධ ස්වභාවය මත
බවයි.මෙය තමා මොවුන් අතරින් පැමිණි හොඳම පිළිතුර එහෙත් මට ඊට වඩා වැඩි යමක්
උවමනා වුනා.
හුවාන් යින් එන්නෙ ඊට පස්සේ.මිනිහා කරන්නේ මේ
ත්‍රිකෝණෙ මකල දාන එක.ඔහු එයින් අදහස් කරන්නේ වෙනස්මම දෙයක්.අවබෝධ කරගත
යුත්තේ සෑම දේකම පවතින ශුන්‍යතාවය නම් එයට කිසි සංකේත හෝ ආධාරක අනවශ්‍ය
බව.එහෙන්ම සන්කේත මඟින් හා වචන මඟින් යථාර්තයට සමීප වීම වෙනුවට එයින්
ඈත්වීමට හේතු වන්න ලොකු සම්භාවිතාවයක් තියනවා.
මොකද පුද්ගලයාගෙන්
පුද්ගලයාට වචන හා සන්කේත වල තේරුම් වටහා ගන්න ආකාරය වෙනස්.ඔවුන් එය වටහා
ගන්නේ එය ඇති සැටියෙන්මම නොව තමන්ට වැටහෙන ආකාරයටනම් එහි තදබල ප්‍රශ්නයක්
තියනවා එය ඔවුන් අනික් එයටත් විකාශනය කරන්න ගියොත්.මොකද ඔවුන් සත්‍ය කියා
හඳුනාගන්න දෙය සත්‍ය හෝ යථාර්තය නොවී ඔවුන්ගේම මනෝභාවයන්හි අර්ථදැක්වීමක්
වන්න පුළුවන්.
මම උදාහරණයක් දෙන්නම්.උණුසුම.මේ වචනේ ඇහෙද්දි එකපාරටම ඔළුවට ආවේ මොකක්ද?''
උපස්ථායක පිළිවදන් දුණි.
''ස්වාමීනි මම කුඩාකාලේ ශීත සෘතුවේදී ලිප ලඟට වී සිටි එහි ගිනි දළු බලා සිටි ආකාරය''
''බොහොම හොඳයි.නමුත් මගේ සිතට එන්නෙ වෙනස්මම දෙයක්.උණුසුම යනු අප දෙදෙනාම
අත්විඳි දෙයක්.නමුත් අප දෙදෙනා එය හඳුනා ගන්නා ආකරය වෙනස්.යථාර්තය යනු අප
දෙදෙනාම අවබෝධ කර නොමැති දෙයක්.ඉතින් එහෙම දෙයක් ගැන අපි අනෙක් අයට
පැහැදිලි කරන්නේ කොහොමද?පැරනි ලියවිලි හා එම තත්ත්වයට පත්වූ අයගේ කථා
අනුසාරයෙන් එය අපට තේරෙන ආකාරයට වටහාගෙන අනෙක් අයට විකාශනය කිරීම මඟින්.මෙය
සාර්ථක වීමට වඩා අසාර්ථක වීමට ඇති හැකියාව වැඩියි.
කොහොම වුණත්
මිනිසා උපදින්නේ ඉහළම විභවය වූ බුද්ධ ස්වභාවය සමඟ.නමුත් එය අවදි කරගතයුත්තේ
තමන්ට අවේනික හා අනන්‍ය වූ විවිධ මාර්ග මඟින්.පුද්ගලයින් දස දෙනෙක් මාර්ග
දහයක් භාවිතා කරනු ඇති.නමුත් ඔවුන් පැමිණෙන්නේ එකම තැනකටයි ගමනාන්තය
ලෙස.හරියට ලෝකේ හැමතැනින්ම ආරම්භ වන විවිධාකාර නදියන් අවසානයේ සාගරයට
එකතුවනවා වගේ.මෙහි මූලිකම අවශ්‍යතාවය උල්පත පාදා ගැනීම පමණයි.''
උපස්ථායක මේ පැහැදිලි කිරීම අසා සිට අතුරු ප්‍රශ්නයක් නැඟුවේය.
''ස්වාමීනි නමුත් හුවාන් යින් කිසිම දැනුමක් නැති අකුරක් වත් දන්නේ නැති
මෝඩයෙක්.ඔහු මේ දේ ඔබතුමා කියූ ආකාරයටම අවබෝධ කරගෙන පිළිතුරු සැපයූවා කියා
දන්නේ කෙසේද?''
භික්ෂුව හඬ නඟා සිනාසුණි..
''සන්කේත සටහන් කිරීමට අවශ්‍ය අවසාදිත පාෂාණය ඔහු මුලදීම වීසි කර දැමුවා..ඔවු පාෂාණය වීසිකළා''
(දෙවෙනි කතාව මෙතැනින්)
No comments:
Post a Comment