Friday, December 15, 2017

මඟ හැරීම

ඔයා දන්නවද,පේරාදෙණිය කැම්පස් එක දකින හැම පාරකම වරදකාරී සහ ඊරිසියාසහිත හැඟීමකින් හිත පිරිලා යන්නේ චමත්කාරයකුත් එක්ක.

මම දන්න කාලෙක ඉඳන් උත්සාහ කළේ දවසක පේරාදෙණියේ ඉගෙනගන්න.මගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනෙ.ඒ දවස්වල ඒ තරමට 'මදන විසයක්' නැත්තන් රොමාන්තික හැඟීන් තිබ්බෙ නැතිවුණාට පාසි බැඳිලා දුර්වර්ණව වැහැරෙමින් යන ඒත් ප්‍රෞඩ වික්ටෝරියානු ගොඩනැගිලි,මල් හැලෙන 'රොබරෝසියා' වගේ අමුතු නමකට ප්‍රසිද්ධ වුණු ගස්,සරච්චන්ද්‍ර නිකටෙ අතක් තියාගෙන කකුලක් උඩ කුල දාගෙන පෙර පුහුණුවීම් බලන්නට ඇති වල,කෝච්චි පාරට උඩින් තියන පොඩි ගල් පාලම,හැමදාම දුඹුරු පාටින් ගලාගෙන යන මහවැලි ගඟ,වහින කාලෙට මන්දාරමත් එක්ක දිලිසෙන කොළපාට පරිසරය,ගලහ හන්දියේ ඉඳන් යන්න තියන ඉර එළියක් වැටෙන්නෙ නැති තරමට දෙපැත්තෙ ගස් වලින් හෙවණ ලැබෙන පාර,පොඩි පාලමෙන් එහා තියන අක්බාර් හෝල් එක..මේ වගේ වරින් වර දැකපු දේවල් වලින් හදාගත්ත හරියටම පැහැදිලි කර නොගත් ආකෘතියක් මගෙ ඔලුවෙ තිබ්බා.

ඒත් මට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.වැඩේ කියන්නෙ කාලය එක්ක තීවෲ වුණු හැඟීමක් මට ඇතිවුණත් මම ආයෙ සැරයක් උත්සාහ කරන්නෙවත් නෑ.

මම හොදටම දන්නවා මම පේරාදෙණියට ගියානම් අවුරුද්දක් යන්නත් කලින්ම මට පේරාදෙණිය එපා වෙන බව.මොකද මගේ ස්වභාවය ඕනෙ දෙයක් ලේසියෙන් එපා වෙන එක.එහෙම වුණානම් මට අවුරුදු හතරක් ඉන්න තැන දිහා බලන්න වෙන්නෙ අපිරියාවකින් නැත්තන් නොරිස්සුමකින් වෙන්නත් පුළුවන්.ඒත් මට පේරාදෙණිය දිහා අදටත් පුංචි ළමයෙක්ගෙ ඇස් වලින් බලන්න පුළුවන්.

අපේ කතාව හරියට පටන් ගන්නත් කලින් ඔයා නවත්තන්න හදද්දි මම කිසිම උත්සාහයක් ගන්නෙ නැත්තෙත් ඒකයි.මම දන්නවා බොහෝ දුරට මට ආයෙ ඔයාට තරම් ආදරයක් හිතෙන, ගැලපෙන කෙනෙක් හම්බවෙන එකක් නැහැ,මේ මගේ අවසාන අවස්ථාව කියලත්.ඒත් මම ඔ‍යාට ඇවිටිලි කරන්නවත් නවත්තන්නවත් උත්සාහ නොකරන එක ගැන ඔයා තේරුම් ගනියි කියල මම හිතනවා.ඒකෙ තේරුම ඔයා වටින්නෑ කියන එක නෙවේ...



3 comments: