Sunday, September 2, 2018

තවත් එක් මනමේ කතාවක්

මනමේ තමා ඉදිරියේ වූ බීර ජෝගුවේ පිටාර යමින් පිපෙන පෙණ බුබුලු දෙස බලමින් සිටියේය.ඔහුට පසුපසින් යමෙක් කතාකලේය.

'ඕක ඇල කරනවා මනුස්සයෝ.' 
වැදි රජ පැමිණ ඔහු අසලින් හිඳ ගත්තේය. මනමේ ඔහු වෙත බදින වල් ඌරු මස් කටගැස්ම දිගු කලත් හෙතෙම එය පසෙකින් තබා,තවත් දීසියක තිබූ කැපූ පිපිඤ්ඤා පෙති මත ගම්මිරිස් බිඳක් දමා සපන්නට විය.ඔහුගේ දිගු රැවුලේ පිපිඤ්ඤා සාරු ගෑවී තිබූ හැටි දුටු මනමේට මඳ අපුලක් දැණුනි.කෙසේ වුවද ඔහු වැද්දාව ස්තූතිපූර්වකව මෙසේ ඇමතුවේය.

"තමුසෙ නොහිටින්න මම ඉවරයි..."
වැදි රජු කමින් සිටි පිපිඤ්ඤා පෙත්ත පැත්තකින් තැබීය.ඉතා ශාන්තව නමුත් දැඩි හඬින් මෙසේ කියා සිටියේය.
" තමුසෙ කියල මට කවුරුත් කතාකරන එක තරම් මට පෙන්නන්න බැරි දෙයක් නෑ."
ඉන්පසුව ගෑරුප්පුව ගෙන එහි කූරු නැවීමට උත්සහ කරන්නට විය.

"උඹ නොහිටින්න මම ඉවරයි බං." සමාව අයදින ස්වරයෙන් ඇමතූ මනමේ වැදි රජුට සිගරට්ටුවක් දිගු කලේය.එය පිළිගත් හෙතෙම මඩිස්සිලයෙන් ගිනි ගලක් ඇද එය පත්තු කරගත්තේය.

"ඕකි මම තක්සලාවට ආව දවසෙ ඉඳන් දුන්නෙ ලොකු ලයින්.ඒ දවස්වල දිසාපාමොක් කට්ට අවුවෙ,ගිනිගහන වැල්ලෙ මාව දණගස්සල වරු ගාණක් තියද්දි මේකි මට පේන්න අනෝද හදාගෙන බොනවා.
දිසාපාමොක්ගෙ ගෙදර පිරිසිදු කරන්න මට සෙට් වෙන දවසට,ඔක්කොම කරල ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මේකි වත්ත වටේ ගිහින් මිරිවැඩි සඟලෙ මඩ පිටිම්ම ගේ ඇතුලට එනවා.මම ඔතන අවුරුදු 12ක් ලැග්ග,මේකි නෙවේ මම එක්ක වචනයක් කතාකලේ.... ආ එක දවසක් කතාකලා...ඒත් අර මේකිගෙ තක්සලාවෙ මොකක්ද උත්සවයකට පියරජුගෙන් දැන්වීමක් අරන් දෙන්න පුලුවන්ද කියල අහන්න."

වැදි රජු පිටකල දුම් උගුර රැවුල් ගස් අතරින් පිටවිය.රැවුලේ ඇලී තිබූ පිපිඤ්ඤා සාරු ඝන වෙමින් තිබුණි.
"ඒකි හිතුවෙ මම ඔහෙව ඇත්තටම කම්බස් කරල කියලයි.ඔහේගෙ රඟපෑම තමා රඟපෑම.අඩි දහයක් දුරින් හිටිය ගෑණිත් රැවටුණානෙ "

"කොහොම වුණත් උඹම කියපන්...දිසාපාමොකය ඔය මගෙ ඇඟේ ගැහුවෙ මට තිබ්බ ආදරේකට කියල උඹට හිතෙනවද?"

වැද්දා තරමක කල්පනාවකට වැටුණි.

".. ඌ එතන කරපු වැඩේ අලුගුත්තේරු වැඩක්. ඔහෙට ගුරු ගෞරවය දාල අසරණ කළා... එච්චරයි."

6 comments: